රත්වෙන කොළඹ නගරය මැද සිසිල දෙන ගමක්


 

කොළඹ නගරයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට දැනෙන්නේ දැඩි විඩාබර බවක්. වාහන තදබදය දැඩි අව් රශ්මිය තැන තැන ඉදිවෙන විශාල තට්ටු ගොඩනැගිලි ඒ අවට සිදුවන වායු දූෂණය ආදී සියලු දේවල්වලින් සිතට දැනෙන්නේ දැඩි කර්කශක බවකි  එහෙත් ගතට මෙන්ම සිතට සිසිලසක් දැනෙන පුංචි ගම්මානයක් මේ කොළඹ නගරයේ ඇත. මේ පුංචි ගම්මානයට ඇතුළු වූ කල මේ කොළඹ නගරය ද කියා සිතා ගැනීමට නොහැකි තරමේ නිහඬ නිස්කලංක බවක් අදටත් ශේෂ වී ඇත. ඒ පුංචි ගම්මානය කපුහේන් තුඩුවයි.

 

 

ඈත අතීතයේ කපුහේනක් තිබූ නිසා මේ ප්‍රදේශයට කපුහේන් තුඩුව යනුවෙන් නම් කොට ඇත. කොළඹ කාසල් වීදියේ දේවි බාලිකා විදුහලත් කොළඹ කනත්ත අතර මැදි මේ කපුහේන්තුඩුව නම් පුංචි ගම පිහිටා ඇත.  


වර්තමානයේ මේ ගම හඳුන්වනු ලබන්නේ ආදර්ශ ගොවිපොළ පාර මොඩල් ෆාම් (Model Farm) යනුවෙනි.  


යටත් විජිත සමයේ ආදර්ශ ගොවිපොළ නමින් හඳුන්වා ඇත්තේ මේ ගමේ කපු වගාව තිබූ නිසාය. කැලණි වැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම අයෙකුට මේ ගම්මානයේ සුන්දරත්වය මොහොතකට හෝ විඳ ගැනීමේ හැකියාව ඇත. පසුකාලීනව ඉංග්‍රීසින්ගේ ජනප්‍රිය ක්‍රීඩාවක් වූ ගොල්ෆ් ක්‍රීඩාව සඳහා ගෝල්ෆ් ක්‍රීඩා පිට්ටනිය ඉදිකර ඇත්තේ කපු වගාව තිබූ භූමියේ බව අදටත් ගමේ ජීවත්වෙන පැරැන්නෝ පවසති.  


කපුහේන්තුඩුව ගමේ පුරාණය සොයා යාමේදී හමුවූ කොළඹ විදුහල් කිහිපයක විදුහල්පතිවරිය වශයෙන් සේවය කොට විශ්‍රාම සුවයෙන් පසුවන ලලිතා අමරසිංහ මහත්මිය ගමේ අතීත තොරතුරු පැවසුවේ මෙලෙසය.  


“1800 ගණන්වල ඉඳලා අපේ ගම කපුහේන්තුඩුව තිබුණ බවට ගමේ ඔප්පු තිරප්පුවල සඳහන් වෙලා තිබෙනවා. අපේ ගමේ මුල් ඉඩම් හිමිකරු වෙලා තියෙන්නේ කැතනිගොඩ ගමගේ ඩේවිඩ් අප්පුහාමි කියලා කෙනෙක් තමයි. ඒ කාලේ ගමේ තිබුණ මුළු නිවාස ගණන 72යි. මුළු ගමේම බිම් ප්‍රමාණය අක්කර 8ක් පමණ වෙනවා. අපේ ගම කොළඹ ගෝල්ෆ් ක්‍රීඩා පිට්ටනියත් අනෙක් පැත්තෙන් කාසල් වීදියේ කාන්තා රෝහලටත් මැදිවෙලා තමයි තියෙන්නේ.  


මුල් කාලයේ දී රිජ්වේ ගෝල්ෆ් පිටිය (Ridgway Golf Links) ලෙස හැඳින්වූවා. ඒ ජෝර්ජ් වෙස්ට් රිජ්වේ බිත්‍රාන්‍ය ආණ්ඩුකාරවරයාගේ කාලයේ ආරම්භ වූ නිසයි. කැලණි වැලි දුම්රිය මාර්ගය ගෝල්ෆ් පිටිය මැදින් වැටී තිබෙනවා. ඒ කාලේ අපේ ගමත් ගෝල්ෆ් පිටියත් දෙකත් නෙමෙයි එකක් වශයෙන් තමයි තිබුණේ. ඒ තරමට ගෝල්ෆ් ක්‍රීඩාපිටියත් ගමත් අතර අවියෝජනීය සම්බන්ධතාවක් තිබුණා. ගෝල්ෆ් පිටියේ බිම් ප්‍රමාණය අක්කර 90ක් විතර වෙනවා. ගෝල්ෆ් වළවල් 18ත් තිබෙනවා. 1879 දී Clolmbo Golf Club නමින් ක්ලබ් එක ආරම්භ වෙලා 1928 දී එය රෝයල් ගෝල්ෆ් ක්ලබ් බවට (Royal Golf Club) පරිවර්තනය වෙලා තිබෙනවා. හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහත්තයා ගෝල්ෆ් ක්‍රීඩා කරන්න ගෝල්ෆ් පිටියට තනියම තමයි එන්නේ. පිති බෑගය කරේ එල්ලගෙන යන්නාට කියන්නේ කැඩි මාස්ටර් කියලා. ඔහුත් ඩඩ්ලි මහත්තයා සමඟ පිටියට යනවා.  


ඩඩ්ලි මහත්තයා තනිව පිටිය පුරා වළවල් 18ම සෙල්ලම් කරනවා. බොරැල්ලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සිංහයා සිසිල් බීම සමාගමේ හිමිකාර කුසලා අබේවර්ධන මහත්මියගේ සොයුරු පී.අයි.එන් ප්‍රනාන්දු මහතා. අපේ ගමේ මිනිස්සු ආදරේට ඔහුව හැඳින්වූවේ පින් ෆර්නෑන්ඩු මහත්තයා කියලා තමයි. ඔහුත් ගෝල්ෆ් ක්‍රීඩාවේ අති දක්ෂයෙක්. වාර දෙකකින් හෝ වළවල් දහ අටටම (18) බෝලය දැමීමට (Put කරන්න) දක්ෂයෙක්. පිටරටවලදීත් මේ ක්‍රීඩාවෙන් සම්මාන ලබා රටට කීර්තිය ගෙන දුන් ක්‍රීඩකයෙක් තමයි ප්‍රනාන්දු මහත්තයා කියන්නේ. ඒ කාලේ සිංහල ජාතික ගෝල්ෆ් ක්‍රීඩකයන් හිටියේ බො​හෝම අතළොස්සයි. ඒ අයත් ඉතාම ධනවත් පුද්ගලයන් තමයි විශාල වශයෙන් මේ ක්‍රීඩාවේ ඒ කාලේ නිරත වුණේ සුදු ජාතිකයන් තමයි.  


පිති බෑගය ඔසවාගෙන ගිය (Cady Masters) අතර වෙල්යායට වැටෙන බෝලය සොයා දීමට වගේම පිට්ටනිය පිරිසිදු කිරීම ආදී ක්ලබ් එකේ වැඩවලට අපේ ගමේ ගම්වැසියොත් හිටියා. මේ අයුරින් අපේ ගමත් ගෝල්ෆ් ක්ලබ් එකත් අතර ඉතාම කිට්ටු සහජීවනයක් ඒ කාලේ තිබුණා.  


ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ අනුග්‍රහයෙන් සෑම වසරකම දෙසැම්බර් 31 වැනිදා ජනවාරි පළමු වැනිදා උදාවන තුරු ‘බයිලා නැටුම් සංදර්ශනයක්’ පැවැත්වූවා. මංගල දර්ශනය පවත්වන්නේ ගෝල්ෆ් ක්ලබ් එක ඉදිරිපිටදී තමයි. ඊට පස්සේ ගමේ ඉන්න ප්‍රභූන්ගේ නිවෙස්වලට ගිහිල්ලා මේ සංදර්ශනය පවත්වනවා. ක්ෂණිකව සාදාගන්නා එළිමහන් රඟමඩලක රඟ දැක්වූ මෙම සංදර්ශනය ලොකු කුඩා කාගේත් සිත්ගත් සංදර්ශනයක් වුණා. මේ බයිලා නැටුමට ආලෝකය ලැබුණේ පැ​ෙට්‍රාල් මැක්ස්, ඇලඩින් ලාම්පු, ලන්තෑරුම්වලින් තමයි. ඒ කාලේ ගොල්ෆ් පිටිය ගමේ පොදු ස්ථානයක් බවට පත් වුණා. ගම්වැසියෝ හරක් බැන්දේ ගොල්ෆ් පිටියේ තමයි. ගමේ දරුවෝ සවසට සෙල්ලම් කළේ පිටියමැදින් පිහිටි රේල් පාරේ සිල්පර කොටන් මැද දුව පැන ඇවිදිමින් තමයි.  


රේල් පීලි මත සමබරව ඇවිදිනවා. විනෝදෙට ගමේ තරුණයෝ පුංචි කෝච්චිය එන වෙලාවට රේල් පීලි මත ටොනික් මූඩි තියනවා. කෝච්චිය ගියාට පස්සේ රේල් පීලිමත තැලුණු මූඩි පියන්වලට මැදින් හිලක් විඳලා කම්බියකට අමුණලා ගිගිරි වළළු හදනවා. එහෙම හදපු ගිගිරි වළලු කුඩා දරුවන්ට සෙල්ලම් කරන්න දෙනවා.  


අකුණු ගසමින් වැහි වැටෙන කාලේට රාත්‍රියේ මුළු ගෝල්ෆ් පිටිය පුරා ලේනහතු, වැලිහතු, ඉඳලොලු ලස්සනට පිපිලා තියෙනවා. උදේට හරිම ලස්සනයි. පාන්දරින් ගමේ කාන්තාවෝ ගිහිල්ලා ඒවා කඩාගෙන එන සිරිතක් ඒ කාලේ තිබුණා.  


අද බිම්මල් වශයෙන් සුපිරි වෙළෙඳ සැල්වලින් මිලදී ගත්තත් ඒ කාලේ ස්වාභාවික මේ හතු වර්ග ගමේ වැ​ෙවනවා.  


තරමක උස් බිමක පිහිටි ගෝල්ෆ් ක්ලබ් ගොඩනැගිල්ල දෙවැනි ​ෙලා්ක යුද සමයේ තාවකාලික යුද මෙහෙයුම් මධ්‍යස්ථානයකට අරගෙන තිබුණා. මේ මධ්‍යස්ථානයේ හිටපු කාපිරි ජාතික භටයන් ගමට ඇවිත් යනවා. ඔවුන්ගේ තොල් දෙක අතර ලොකු වළලලක් දැමීම ඔවුන්ගේ චාරිත්‍රයක් මෙන්ම විලාසිතාවක් වශයෙන් තිබිලා තියෙනවා. නමුත් මේ කාපිරි ජාතිකයන් මිනී කන නිසා කටට ඉබ්බෝ දාලා තියෙන්නේ. යනුවෙන් ගමේ වැඩිහිටියෝ පැවසූ අයුරු මා මතකයේ තිබෙනවා.  


පිට්ටනියේ තිබෙන වෙලටත් පිට්ටනියටත් ජපන් යුද ගුවන් යානා දෙකක් ඒ කාලේ කඩා වැටිලා තියෙනවා. තවත් ගුවන් යානයක් කොළඹ කනත්තට වැටිලා තියෙනවා. ඒ කාලේ ජපන් ජබර පාසී වලින් වෙලත් වැහිලා තිබිලා තියෙන්නේ. එක් ගුවන් භටයෙක් පිට්ටනිය කියලා හිතාගෙන වෙළට තමයි පැරිෂූටයෙන් පාත් වෙලා තියෙන්නේ. ඒ ගුවන් භටයා මඩේ එරී මිය ගිය දසුන වරින්වර ගැමියන් සිහිපත් කළේ කම්පා සිතින් යුතුව තමයි.  


ගොල්ෆ් පිට්ටනියේ එක පැත්තක කිතුල්වත්ත කියලා ගමකුත් අනිත් පැත්තේ දුන්වත්ත කියලා ගමකුත් තිබෙනවා. දුන්වත්තට හා ගෝල්ෆ් පිටියට යාබදව රොඩි ගම්මානයක් තිබුණා. අදටත් ඒ ගම තිබෙනවා. ඒ කාලේ මේ හරියට කිව්වේ රොඩි ගුබ්බෑයම කියලයි. කොළඹ නගරයේ රොඩි මිනිසුන් එකට ජීවත්වෙන එකම ස්ථානය මෙය තමයි. ඒ කාලේ හිටපු රොඩි රැහේ නායකයා දක්ෂ සර්ප වෙදෙක්.  


ඒ කාලේ කපුහේන්තුඩුව (මොඩල්ෆාම්පාර) ආලෝකවත් වුණේ ගෑස් ලාම්පුවලින් තමයි. දිනපතාම සවසට පාපැදියක නැගී එන නගර සභා සේවකයා පහන් කණුවේ තිබෙන හැඬලයකින් ලාම්පු පත්තු කරනවා. උදේට පැමිණ හැඬලය ඔසවා මේ ලාම්පු නිවා දමනවා.  
ඒ කාලේ විදුලිය තිබුණේ ගෝල්ෆ් ක්ලබ් එකටත් මහපාරේ එක පැත්තක තිබුණ ගෙවල් දෙක තුනකට පමණයි. මුළු ගමටම ශීතකරණයක් තිබුණේ ක්ලබ් එකේ පමණයි. ගමේ දරුවෝ ක්ලබ් එකෙන් ආසාවට අයිස් කැට ඉල්ලා ගන්නවා. ගමේ වැඩිහිටියෝ උදරාබාධාවලට ඖෂධයක් ලෙස බ්‍රැන්ඩි ටිකක් ඉල්ල ගන්නේ ක්ලබ් එකෙන් තමයි.  


ගමේ සෑම නිවෙසකම පාහේ ඒ කාලේ තිබු​ෙණ් බාල්දි වැසිකිළි තමයි. හැමදාම නගර සභාවෙන් එන කම්කරුවෝ මළපහ එකතු කරගෙන ගිහින් කාසල් වීදියේ කුණු මෝලට භාර දෙනවා.  


මේ ගමේ ජීවත්වූ දරු දැරියන්ට සුන්දර ළමා වියක් උරුම වෙලා තිබුණා. කොළඹ අග නගරයේ වුවත් හරිත වර්ණයෙන් පිරි පරිසරයක මිහිර ළමාවියේදී විඳින්නට පුළුවන්කම ලැබුණා.  


අක්කර දෙකකට වැඩි ලොකු පොල්වත්තක් ගම මැද තිබුණා. ඒ පොල් වත්තේ තැනින් තැන තමයි පොල් කඩන්නේ මේ මුළු ​ෙපා​​ල්වත්තම කුඩා ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක් වෙලා තිබුණා. මැකෝ ගිරව් සැළලිහිණියෝ මේ පොල්වත්තේ ඇවිදගෙන යනවා. පුංචි දුරුවෝ සෙල්ලම් කරනවා. අපේ පාසල් නිවාඩු කාලේ ගෙවෙනවා දැනෙන්නේ නැහැ. ඒ තරමටම කපුහේන්තුඩුව ගමේ දරුවෝ සතුටින් ඒ ළමාවිය ගත කළා.   


ගමේ ​ෙවල්යාය අසලින් ගලායන දියකඩිතිවල මෙන්ම ගොල්ෆ් පිටිය අසල විලේ පිපුණු නිල්මහනෙල් ඕලු වැනි මල්වලින් මුළු පරිසරයම හරිම ලස්‍සනයි. වෙල්යාය බඩවැටි දිගේ ගමන් කරද්දී ලස්සන ඕවිටි තිබුණා. නොයෙක් වර්ගයේ කුරුලු කිරිල්ලියන්ගේ සුමිහිරි ගී නදින් මුළු ගමේම ගැමිකම ගීතවත් වුණා කියලා මගේ මතකයට එනවා. වල්බෙලි, මාර, රුක් අත්තන, අතික්කා මල් සුවදින් මුළු ගමම ඒ කාලේ සුවඳවත් වුණා.  


ගමේ උරුමය හා බැඳි වෙල්යායේ කොක්කු කොරවක්කෝ දියකාවුන් සේරූන් වැනි පක්ෂීන් මෙන්ම හුංගා කාවයියා මඟුරා ලූලා කනනයෝ වාගේ මාළු සෑම දියකඩිත්තකම හිටියා. ගමේ ගම්වැසියෝ මේ වෙල් මාළු අල්ලලා ඉරටුවල අමුණලා මාළු වැල් හදාගෙන ශත දහයට පහළොවට විකුණනවා.  


1940 - 1950 දශකවලදී වාර්ෂිකව ගමේ ගම්මඩු දෙවොල් මඩු නටනවා. ගමේ සාමුහික බව මෙවැනි කටයුතුවලින් තවත් ශක්තිමත් වෙනවා. ගොක් කොළ සැරසිලි කෙසෙල් පතුරු වලින් අලංකාර වුණ අතර පොල් මල් පුවක් මල්වලින් හා නැවුම් මුට්ටි හා කළවලින් පිරුණු පිරිසිදු දියර වර්ගවලින් හා ගුරුන්නාන්සේලා කියන ස්ත්‍රොත්‍රවලින් ගමට සෙත ශාන්තිය ලැබෙන බවට ගමේ වැඩිහිටියන් තුළ දැඩි විශ්වාසයක් තිබුණා.  


අතුරුගිරිය ගමෙන් තමයි ගමේ ගෙවල්වල තිබෙන රෝග භය අමනුෂ්‍ය භය දුරුකිරීමට යකැදුරන් ආවේ. මේ සඳහා බලි තොවිල් යාගහෝම ගමේ ගෙවල්වල ඒ කාලේ සිදු කළා. මේ යකදුරන් අතරින් ලොකු ගුරුන්නාන්සේ, පොඩි ගුරුන්නාන්සේ, බව්වා ගුරුන්නාන්සේ කපුහේන්තුඩුව අපේගම සමඟ හොඳ කිට්ටු සබඳතාවක් පැවැත්වුවා. ලොකු ගුරුන්නාන්සේ ලොකු උදරයක් සහිත කාල වර්ණ ශරීරයක් හිමි පුද්ගලයෙක්. පොඩි ගුරුන්නාන්සේ රතු හීන්දෑරි ලස්සන පුද්ගලයෙක්. ගම්මඩු දෙවොල් මඩුවල පත්තිනි මෑණියන්ට ඇන්දේ පොඩි ගුරුන්නාන්සේ තමයි.  


1953දී තමයි දේවී බාලිකා විදුහල ආරම්භ කළේ. වගුරු බිමක් ගොඩ කරලා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තනි මහලේ ගොඩනැගිලි තුනක විදුහල ආරම්භ කළා. ඒ වසරෙම අපේ ගමේ දැරියකට විදුහලට ඇතුළත්වීමේ වාසනාව ලැබුණා. ඒ මගේ අක්කාට. ඊට පසුව මමත් දේවි බාලිකා විදුහලට ඇතුළත් වුණා. අපේ ගම ආසන්නයේම තිබුණු කිතුල්වත්ත ගමේ උපන් කෙනෙක් තමයි අද ප්‍රසිද්ධ ගායිකාවක් වෙලා ඉන්​ෙන්. ඇය ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මියයි. ඇයත් දේවි බාලිකා විදුහලේ ආදි සිසුවියක්.  


 දේවි බාලිකා විදුහල ළඟ පස්මංහන්දිය පුරාණයේ හැඳින්වූයේ නුගගහ ළඟ හන්දිය කියලයි. නුග ගහ ළඟ හන්දියේ සිංහල මුදලාලි දෙන්නෙකුගේ සිල්ලර කඩ දෙකක් තිබුණා. කාසල් වීදය හා කනත්ත පාර යාවන ස්ථානයේ තම්බි කඩයක් හා බාබර් සාප්පුවක් තිබුණා.  
ගොල්ෆ් පිටියේ විශාල අතුපතර විහිදී ගිය මාර ගහක් තිබෙනවා. මේ මාර ගහ යට දී ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාට වෙඩි තැබූ ස්ථානය බව ප්‍රසිද්ධ රහසක්. මේ මාර ගහයට 1960 දශකයේ වෙරළු අච්චාරු විකුණන ආච්චි කෙනෙක් හිටපු බව මට මතකයි. ශත 5කට තේ කෝප්පයෙන් එකක් වෙරළු ​අච්චාරු දෙනවා. ගොල්ෆ් පිටිය කෙළවරේ පිහිටි කිතුල්වත්තේ කොතලාවල පරපුරට අයත් බෝගල පතලෙන් ගෙන එන මිනිරන් කැට තෝරන මිනිරන් මඩුවක් ඒ කාලේ තිබුණා. ගමේ වයසක කාන්තාවෝ මේ මිනිරන් මඩුවේ මිනිරන් තෝරා යම් මුදලක් සොයා ගත්තා. ගමට පොදු නාන ළිඳක් තිබුණා. ළිඳ මැදින් ජලමට්ටමට ඉහළින් තාප්පයක් බැඳලා වෙන් කරලා. එක පැත්තක පුරුෂ පක්ෂය අනිත් පැත්ත කාන්තා පක්ෂයට. ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව පුංචි දරුවන්ට වැඩිහිටියන් සමඟ දෙපැත්තෙම විවෘතයි. ළිඳ දෙපැත්තේ විශාල නුග ගස් දෙකක් තිබුණා. ඒ නුග ගස් දෙකෙන් ලැබුණු සිසිලස වගේම පිරිසිදු වතුර ටික කෘතිමව හැදු නාන කාමරයකින් කිසි දිනෙක නොලැබෙන්නක්. මේ නුගගස් දෙකේ බෙන අතරේ වැල් අතරේ මුල් උඩ තමයි නෑමෙන් පසු අඳින රෙදි තියන්නේ. මේ ළිඳේ නෑමට ආ දරුවන් මෙන්ම පිරිමින් ද නුගවැල් වල එල්ලී ඔන්චිලි පැදීමත් ඒ කාලේ විනෝදාංශයක් තමයි. ගමේ සිල්ලර කඩ දෙකක් තිබුණා. මේ දෙකම දෙමළ මුදලාලිලාගේ. මේ කඩ දෙකම හැඳින්වූයේ තමිබ් කඩේ කියලා තමයි. මුදලාලිව ඇමතුවේ ‘තම්බි’ කියලා තම්බි කිව්වාට උරණ නොවුණත් ‘තම්බි නානා’ කිව්වොත් උරණ වෙනවා. මේ කඩ දෙකටම තලගුලි දාන්න ‘ජිනදාස මුදලාලි’ පැතිකාරයේ තලගුලි පුරවාගෙන මෝටර් සයිකලයෙන් ගමට එනවා.  


ඒ දවස්වල ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙන ගත් අපේ ගමේ සිසුවියක් හිටියා. ඇයගේ නිවෙසට වාහනයකින් එන තරුණ සිසුවියන් දෙදෙනෙක් හිටියා. ඒ තමයි සුනේත්‍රා බණ්ඩාරනායක හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන සොයුරියන් දෙදෙනා.  


ගමේ ගවයින් ඇති කළා. ගමේ ගව පට්ටි හිමිකරුවන් තිදෙනෙක් හිටියා. ඒ කාලේ මී කිරි මුදවනු ලැබුවේ හිස් කිරිටින්වල තමයි. මුදවපු කිරිටින් එකක් ශත 15යි. එ්ක දෙතුන් දෙනෙකුට ප්‍රමාණවත්. ඒ කාලේ පාන් ගෙඩියක් ශත 25යි. බාගය ශත 15යි. කාල ශත 7යි. ගමට පාන් ගෙනාවේ බොරැල්ලේ ශ්‍රී කාන්ත බේකරියෙන් හා බොරැල්ල​ බේකරියෙන් තමයි.  


ගමට සම්බන්ධ ගමේ ජීවත්වූ ගමට නෑගම් කියන පුද්ගලයන් සිහිපත් කිරීමේදී බස්නාහිර පළාත් සභාවේ මහා ඇමති ධූරය දැරූ නිතීඥ මොරිස් රාජපක්ෂ මහතා කපුහේන්තුඩුව ගමේ ඉපදුණු කෙනෙක්. ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ රැඟ පෑ විමලා වෙනීෂියා නිළිය අපේ ගමේ ජීවත් වූ කාන්තාවක්. ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති රිට්ස් සිනමා ශාලාවේ කළමනාකරු වූ එම්. කේ. ඩයස් ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ අධිපති නැසීගිය ඊ.ඒ.පී. එදිරිසිංහ මහතා කපුහේනතුඩුව ගම සමඟ සෑම පොදු කටයුත්තකටම සහභාගිවූ ගම්වැසියෝ.

‘කොටිවලිගය’ චිත්‍රපටයේ නිෂ්පාදක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපති පීටර් පෙරේරාද ගම්වැසියෙකු වශයෙන් ජීවත් වූ අයෙක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම ‘දවස’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ නීතිඥ එස්.එල්. ගුණසේකර මහතා ද පසුකාලීනව ගමට ඇවිත් පදිංචි වූ අයෙක්. දස්කොන් චිත්‍රපටයේ රඟපෑ මාර්කස් පෙරේරා මෙන්ම කලාසූරී කරුණාරත්න අබේසේකර මහතාගේ නැන්දණිය ජීවත් වූයේද අපේ ගමේ තමයි. ඒ දවස්වල කරුණාරත්න අබේසේකර මහතා ඒ නිවසට එනවා. කපුහේන්තුඩුව ගමත් අපේ ළමා වියත් හරිම සුන්දරයි. මව පියා හැරුණු කල අප උපන් ගම අපට අමතක කරන්න බැරි බව අවසන් වශයෙන් ලලිතා අමරසිංහ මහත්මිය පැවසූවාය.  


කපුහේන්තුඩුවේ පුරාණය ගැන අදහස් දැක්වූ එච්.ඒ. චන්ද්‍රාවතී පෙරේරා මහත්මිය : අපේ ගමට අඩු පාඩුවක්ව පැවැති පන්සලක් ආරම්භ කිරීමට ආදි කැතිගොඩ පරපුරේ උදවිය ඔවුන් සතු නිවෙසක් දොඹගොඩ රේවත ස්වාමීන් වහන්සේට පූජා කළා. ඊට පසුව දොඹගොඩ ඉන්ද්‍රජෝති හිමියන් වැඩ සිටි අතර වර්තමානයේ එහි අධිපති ධූරය දරන්නේ පැල්පොල විපස්සි ස්වාමින් වහන්සේයි. වර්තමානයේ ඒ විහාරස්ථානය පැල්පොල විපස්සි පදනම ලෙස හැඳින්වෙනවා. 50 දශකයේ අපේ ගමේ නම් පන්සලත් ආරම්භ වුණා. එහි අාරම්භක ස්වාමීන් වහන්සේ වූයේ නෙටොල්පිටියේ පුඤ්ඤානන්ද‌ කියන ස්වාමින් වහන්සේ තමයි.  


අපේ ගමෙන් බිහිවූ පළමු ගුරුභවතුන් දෙදෙනා වූයේ කැතනි ගොඩගමේ එළිසබෙත් පෙරේරා සහ කැතිගොඩ ගමගේ ලීලාවතී පෙරේරායි. ගම්වැසියෝ ජාති ආගම් භේදවලින් තොරව සෑම උත්සවයක්ම සැමරුවා. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දට හද්දා පිටිසර ගමක අසිරිය අපේ ගමේ ඒ කාලේ හොඳින් තිබුණා. ගෝල්ෆ් ක්‍රීඩා පිට්ටිනිය සමඟ ගමේ භූමිකාව වගේම අලුත් විදිහට හිතන අඳින පලඳින පිරිසකුත් ගමෙන් බිහිවුණා. අදටත් කොච්චර කොළඹ නගරය කලබලකාරී වුවත් අපේ ගමට ආ කෙනෙකුට දැනෙන්නේ දැඩි නිහඬ බවක් තමයි. ඒක අපට හරිම වාසනාවක් බව අවසන් වශයෙන් චන්ද්‍රාවති පෙරේරා මහත්මිය පවසන්නීය.  
ගත සිත නිවෙන ස්ථානවලට ගොස් ලබන සතුට තවමත් කපුහේන්තුඩුව ගමේ ඇත.

 

සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ