පරපුරක උරුමය
ප්‍රවීණ ලේඛක කරුණාසේන ජයලත්ගේ දෙවැනි පුතු ධම්මික ජයලත් සමග කතාබහක්
“විභාගයෙන් සමත්වීම ගැන සතුට පළ කර සුගත්ට ලියුමක් ලිවීමට තීරණය කළ දමයන්ති ඒ ලිපියේ කුමක් සඳහන් කළ යුතුදැයි බොෙහා් දුරට කල්පනා කළාය. ඔහුගේ සැපදුක් දැන ගැනීමටත් ඔහුට තමාගේ සැප දුක දැන්වීමටත් ඇයට ලොකු වුවමනාවක් තිබේ. කඩදාසි මිටියත් පෑනත් අතට ගත් ඇය දිනය දමා ‘තිසරණ සරණයි’ යනුවෙන් ආශිර්වාදය යෙදුවාය. ලියුම ලිවීම ඒ තරම් පහසු නොවන බව ඇයට තේරුම් ගියේ ආමන්ත්‍රණය ලිවීමේදීය. ‘ප්‍රිය සුගත්’ යැයි ලිවීමට ඇය මුලින්ම සිතුවාය. නෑ ඒ විදිය හිතවත් මදියි ඇයට සිතිණි.
‘ආදරණීය සුගත්’
එක අතකින් එසේ ඇමතීමද ඇයගේ හිතට නොසෑහෙයි.
මේ අන්දමින් දමයන්ති ලියුම් කිහිපයක් ලියන්නට පටන්ගෙන ඉරා දැමුවාය.”
දම්මි - සුගත් යැයි ඇසූ සැනින් හිත නවතින්නේ ‘ගොළු හදවත’ ළඟ. මෙරට යොවුන් පරපුර කියවීමට හුරුකොට, මේ වෙනවිට පරම්පරා තුනක සිත් සතන් රසවත් කළ ඒ සදාතනික සිහිවටනයේ නිමැවුම්කරු, කරුණසේන ජයලත්.
නව තාක්ෂණයත් සමග පොත් ප්‍රකාශනයේ ඉහළ වර්ධනයක් දක්නට ලැබෙන මෙකල වුව ‘ගොළු හදවත’ නවකතාව වෙළෙඳපොළේ පොත් රාක්කයෙන් ඉවත් නොවී, තවමත් ඉදිරියෙන් සිටිනවා. එහි අරුත යොවුන් වියේ නැවුම් හෘද සංවාදය එතරම් නිර්ව්‍යාජව හෙළිදරව් කරන ඊට සමාන විය හැකි අන් කෘතියක් මෙතෙක් ඉස්මතු වී නැති බව නොවේද?
කරුණාසේන ජයලත් ‘ගොළු හදවතින්’ පටන් ගත් එම ලේඛන විප්ලවය නැවතුනේ නවකතා පහළොවක් සහ වෙනත් ග්‍රන්ථ කිහිපයක් ද ලියා නිම කළ පසුවයි. ඒ ලිවීමට ඔහු දැරූ වෙහෙස ඔහු කළ කැපකිරීම්වල දිග පළල පවුලේ උදවිය තරම් දන්නා අන් කෙනෙක් සිටිය නොහැකියි.
ජයලතුන්ගේ දෙවැනි පුතු ධම්මික ජයලත් මේ කියන්නේ ඒ කතාවයි.
“තාත්තා ‘ගොළු හදවත’ ලියන කාලෙ අපට ඒ තරම් දැනුමක් තේරුමක් නෑ. අපි පුංචි ළමයි. ඒත් අපට යමක් තේරුම් ගන්න පුළුවන් කාලෙ වෙනකොට තාත්තා රටේ නමක් හදාගත්ත ජනප්‍රිය පුද්ගලයෙක්. ඒ ජනප්‍රියතාව අපටත් නිතැනින්ම ඇඟට දැනුණා. ‘කරුණාසේන ජයලත්ගෙ පුතා’ කියලා කවුරු හරි කිව්වොත් අපි හිතුවා තාත්තා හැමෝම දන්න විශේෂ කෙනෙක් කියලා.
ඒත් ඒ කාලෙ අපි දන්නෙ අපේ තාත්තා අපි එක්ක, අනුරාධපුර, පොළොන්නරුව, කතරගම ගිය හැටි, කොහේහරි කැලෑවක්, වැවක් ළඟ පවුලේ කට්ටිය එකතුවෙලා සිරි නරඹමින් කෑම කෑ හැටි, නෑව හැටි වගේ දේවල්. මොකද ඒ කාලෙ අපි එක්ක තාත්තා හරියට ගමන් යනවා. ඓතිහාසික ස්ථාන බලන්න. එ් ගැන තොරතුරු එක් රැස් කරන්න. එ්වා ගැන අපට කියා දෙන්න හරි කැමැත්තක් තිබුණෙ.
තාත්තගෙ ළමා කාලය ගත වුණෙත් හොරණ කුඹුක පොකුණුවිට ගම් අතර ඇළ දොළ, ලඳු කැළෑ, ගහ කොල, වෙල් යාය ඇසුරෙ. කුඹුක අම්මගෙ ගම. පොකුණුවිට තාත්තගෙ ගම. ළඟ ළඟ තියෙන්නෙ. සෞන්දර්ය එක්ක කළ ඒ ගනුදෙනුව තමාගේ නිර්මාණාත්මක හිත අවදි කළ මුල්ම බලවේගය බව තාත්තා කියා තිබෙනවා.
පවුලේ එකම දරුවා වූ නිසා තාත්තගෙ අම්මා යන යන තැන යන්නත් තාත්තා පුරුදු වෙලා හිටියලු. ආච්චිත් එක්ක බදාදා පොළට, ගෝනපොළ යන්න පාසල් නිවාඩු කාලෙ එනකල් බලා ඉන්නවාලු. එහිදී හමුවන කවි කොළ කාරයා, නළා කාරය, සාත්තරකාරය, විජ්ජාකාරයා, තෙල් බෙහෙත්කාරය වගේ එක එක විදිහෙ චරිත දිහා බලා ඉන්න අතරේ පොළේ සිටි ‘හිටගෙන බාබර්’ ළඟ තමා තාත්තා වැඩිපුරම ඉන්නවා කියන්නෙ. ඒ ඒ වෙනස් චරිත ගැන පුංචි කාලෙ ඉඳලම තිබුණු කුතුහලයත් නිර්මාණාත්මක ලෙස පසු කාලෙ මතුවෙන්න ඇති.” ධම්මික හුඟක් අෑතින් කතාව පටන් ගත්තා.
කරුණාසේන ජයලත්ගේ අම්මාත් පොත් කියවීමට ප්‍රිය කළ කෙනෙක්. රාත්‍රියේ නිවසේ කටයුතු නිමා කොට අම්මා පොතක් කියවන විට කුඩා කරුණාසේන ද ඇය අසල දැවටෙමින් සිටියා. ගමේ කාගේත් ඇඳුම් මැසීම කළ අම්මා සමහර දවස්වල රෑ තිස්සේ මහනවා. නැත්නම් කියවනවා. තවත් දවස්වලට ගමේ මිනිසුන් කරුණාසේනලාගේ ගෙදරට එක්ව රාත්‍රියේ සතුටු සාමීචියේ යෙදෙන සිරිතක් ද තිබුණා. ඕපා දූප විතරක් නොවෙයි. ගමේ වැඩ ගැන, රටේ තොෙට් සිද්ධි ගැන, නොයෙක් ඇසූ දුටූ දේ පමණක් නොව බණ කතා, රජ කතා එහෙමත් ඔවුන්ට මාතෘකා වුණා. මේ කතා බහ අසාගෙන සිටීමටත් කරුණාසේනගේ ලොකු උනන්දුවක් තිබුණා. කතන්දර ගෙතීමේ හැකියාව ලැබුණේ ඒ අැසුරින් බව ඔහු පවසා තිබෙනවා.
“තාත්තා මුලින්ම කුඹුක ගමේ පාසලේත් ඊළඟට හොරණ තක්ෂිලා විද්‍යාලයේත් ඉගෙන ගත්තා. තක්ෂිලාව තමා තාත්තාගේ දේශපාලනය, කලාව, විප්ලවය, සාහිත්‍යය, ප්‍රේමය වගේ හැම දෙයකටම තෝතැන්න වුණේ. එහිදී මුලින්ම පුංචි පුංචි කවි පොත් ලියලා යහළුවන්ගේ අතින් අතට යැවීම තමා කළේ. ඒවා ළමයි අතර හුඟක් ප්‍රසිද්ධ වුණාලු. ඉතින් තාත්තාට කොපි පොත් අරන් දීලා ආච්චිට ඉවරයක් නැහැ කියනවා.
තාත්තා දක්ෂ කථිකයෙක් වුණෙත් තක්ෂිලාවේදී. ‘විප්ලවයෙන් පසු රුසියාව’ යන මාතෘකාව යටතේ තක්ෂිලාවේ පළමු සිංහල කතාව තාත්තා කළේ එහි සාහිත්‍ය සංගමයේ මංගල දේශනය හැටියට.
ගොළු හදවත නවකතාවට තේමා වුණෙත් තක්ෂිලාවේ අත්දැකීමක් කියනවනෙ.
පරම විඥානාර්ථ බෞද්ධ සංගමයෙන් පාලනය වූ තක්ෂිලා විද්‍යාලය රජයට පවරා ගෙන මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කර නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමට තාත්තා ශිෂ්‍යයකු වශයෙන් ඉතා බරපතළ සටනකට නායකත්වය දී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගයට ලියා ප්‍රතිඵල බලා සිටින කාලයේ තමා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සම සමාජ පක්ෂයෙන් ඉවත් වී කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තෙ. ඒ දේශපාලන වාතාවරණයෙන් හොරණ රත් වෙන්න වැඩිකල් ගියේ නෑ. පක්ෂ කාර්යාලයක් පටන් ගැනීම නිසා මාක්ස්, ලෙනින්. ට්‍රෝස්ට්කි වැනි නායකයින් ගැන පොත්පත් පවා හොරණ තරුණයන් අතට පත් වුණා. තාත්තාත් ඒ හෝඩුවාව පස්සේ ඇදී ගියා.
ඔය වාතාවරණයත් එක්ක තමා තාත්තා ජ්‍යෙෂ්ඨය සමත් වී තක්ෂිලාවට යන්නෙ. ඉතින් ඔය රතු බලපෑම තාත්තගේ සටන්කාමී අදහස් අවදි වෙන්න පන්නරය සපයන්න ඇති. ඇත්තටම තාත්තා තක්ෂිලාවෙන් ඉවත් වී පුවත්පත් කලාවටත් ලේඛනයටත් යොමු නොවුණ නම් අනිවාර්යයෙන්ම පූර්ණ කාලීන දේශපාලනඥයකු වෙන්නට තිබුණා” යැයි ධම්මික කියන්නේ එසේ නොවීම ගැන සතුට පළ කරමින්.
ගොළු හදවතින් පටන් ගත් කරුණාසේන ජයලත්ගේ නවකතා චාරිකාව, මුව දඩයම, ලස්සන ඇස්, බඹා කෙටූ හැටි, ගැහැනු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි, මව සහ දුව, ඇවැස්ස නෑයෝ, හතුරු හිතක්, රිදී නිම්නය, සතීගේ කතාව, කුල කුමරිය, මානවිකාවෝ හා පෙම් පුවතක් වශයෙන් නවකතා පහළොවකින් මෙරට තරුණ හදවත් ආමන්ත්‍රණය කළා. ‘සාහිත්‍ය කලාව හා ජීවිතය’ සහ ‘කාන්තා විමුක්ති අරගලය’ නමින් තවත් ග්‍රන්ථ දෙකක් ද ලියා තැබුවා. ස්වයං චරිතාපදානයක්, ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලියන්නටත් පටන් ගෙන තිබුණා.
‘‘ලංකාව පිළිබඳ දෙස් විදෙස් වියතුන් විසින් ලියන ලද සිංහල ඉංග්‍රීසි පොත් මහ ගොඩක් තාත්තාගේ පුස්තකාලයේ තිබුණා. ඓතිහාසික ස්ථාන ගැන ගවේෂණාත්මක තොරතුරුත් විශාල වශයෙන් එකතු කළා. ඒ ඇසුරෙන් මෙරට ඉතිහාසය ගැන මෙතෙක් ලියවී නැති අන්දමේ පොතක් ලියන්න තාත්තාට දැඩි වුවමනාවක් තිබුණා. ලිවීම වගේම කියවීමටත්, සෙවීමටත්, විමසීමටත් හුඟක් කාලය කැප කළා. තාත්තා ගෙදරදි හෝ පිටස්තර සමාජයේදී ඉංග්‍රීසි අකුරක්වත් නොදන්නා කෙනෙක් හැටියට පෙනී හිටියත් ඉතා හොඳින් ඉංග්‍රීසි පරිහරණය කළා. තක්ෂිලාවෙන් අස්වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්නම කොළඹ ‘පෙම්බ්‍රෝක් ඇකඩමිය’ කියන ආයතනයට ඇතුළත් වෙලා තියෙනවා.
එදා ගමේ සිට කොළඹ ගමන දුර නිසා කොළඹ නැන්දා කෙනෙකුගේ ගෙදර නැවතිලා හිටියලු. පෙම්බ්‍රෝක් අධ්‍යාපනය අවසන් වූ පසුත් එහි සිට නැන්දාගේ පවුලේ ව්‍යාපාරික කටයුතුවලට උදව් වෙමින් දුෂ්කර කාලයක් ගත කළා කියනවා. ඒ අතර තාත්තාට යාළුවෙකුගෙ මාර්ගයෙන් ‘සිංහල ජාතිය’ පුවත්පතට බැඳීමට අවස්ථාව ලැබුණා පරිවර්තකයකු හැටියට. ඒ රස්සාවෙන් මාසයකට රුපියල් තිහක් ලැබුණා. එතන කර්තෘ මණ්ඩලයේ සිටි සිරිලාල් කොඩිකාර, රොබට් ජයවර්ධන යන මහත්වරුන් තමාට පත්තර කලාවේ මුල් පොත කියා දුන් බව තාත්තා ලියා තිබෙනවා”. ධම්මික මොහොතක විරාමයක් ගත්තා.
ඒ රස්සාවේ වැඩිකල් නොසිටි ජයලත් තරුණයා ඊළඟට ‘සරසවි සඳරැස’ට සම්බන්ධ වී චන්ද්‍රරත්න මානවසිංහගේ ඇසුරට පත් වුණා. මානවසිංහයන් මගින් ලංකාදීප පුවත්පතේ කර්තෘ ඩී.බී. ධනපාල මහතා දැන හඳුනාගත් ඔහු ‘කනිෂ්ඨ වාර්තාකරුවකු’ ලෙස ලංකාදීපයේ රැකියාවට බැඳුණා. ලංකාදීපය ජයලත්ගේ සිත්ගත් තැනක් වූයේ පුවත්පත් කලාවේ ‘යෝධයන්’ රැසක් එහිදී ඇසුරට ලැබීම නිසයි. මහානාම දිසානායක, ධර්මපාල වෙත්තසිංහ, ප්‍රින්ස් ගුණසේකර. වී.ඩී. ද ලැනරෝල්, ධර්මසිරි ජයකොඩි, රත්න දේශප්‍රිය වැන්නෝ එකල එහි සිටියා.
කනිෂ්ඨ වාර්තාකරුගේ මනා සේවය නිසා වැඩිකල් නොයා ඔහුට පරිවර්තක ලෙස උසස් වීමක් ලැබුණා. ඒ කාලේ පුවත්පත්වලට වැඩිපුර ලිපි ලැබුණේ ඉංග්‍රීසියෙන් නිසා ඒවා සිංහලට පරිවර්තනය කර දීමත් රොයිටර් වැනි විදේශ පුවත් සේවාවන්ගෙන් ලැබෙන තොරතුරු පරිවර්තනය කර විදේශ පිටුව සකස් කරන්නත් කරුණාසේන ජයලත්ට පැවැරුණ බව ඔහු පිළිබඳ ලියමින් ප්‍රකට ලේඛක ගුණදාස ලියනගේ සඳහන් කරනවා.
“ගොළු හදවත නවකතාවට එදා රසිකයන්ගෙන් ඒ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල තාත්තත් හිතන්න නැතුව ඇති. අපේ ගෙදර පෙට්ටි ගණන් පුරවලා තිබුණා පාඨකයන්ගෙන් ලැබුණු ලියුම්. ගොළු හදවතින් පස්සේ තාත්තගෙ පොතක් නිකුත් වූ හැමවිටම ඊළඟ කතාව මොකද්ද, කොයි කාලෙ විතරද එන්නෙ කියලා රසිකයො අහල එවනවා. ඒ කාලෙ ටෙලිෙෆා්න් නෑනෙ. ලියුම් තමා එවන්නෙ.’’
“ලංකාදීපෙ වැඩ කරන කාලෙ තාත්තා පොකුණුවිට ගෙදර ඉඳලමයි කොළඹ ගියේ. එතකොට මීමන ප්‍රේමතිලක, ගුණදාස ලියනගේ ඇතුළු හොරණ ප්‍රදේශයේ ලේඛක කණ්ඩායමක් එක බස් එකේ යනවලු හරිම විනෝදෙන්. තාත්තා ලංකාදීපයේ උපකර්තෘ කෙනෙක් විදිහට වැඩ කරන කාලෙ තමා ‘ගොළු හදවත’ ලියන්නෙ. කැමැත්තෙන්ම රාත්‍රී වැඩ මුරය බාරගෙන පත්තර කන්තෝරුවේ කඩිමුඩිය අවසන් වූ පසු මැදියම් රැයේ නවකතාව ලියනවා. දවල්ට ගෙදරදි ලියන කොල ටික ලිපි ගොනුවක කිහිලි ගන්නාගෙන රෑට වැඩට යනවා. මට මතකයි ගෙදරදි තාත්තා එක දිගටම ලියනවා. දවසම වුණත් පුටුවෙන් නැගිටින්නෙ නැතුව තාත්තාට ලියන්න පුළුවන්. ඒ වගේම දවස් ගණන් පෑන අල්ලන්නෙවත් නැතුව ඉන්න අවස්ථාත් තියෙනවා. ගෙදර මොන කලබලයක් තිබුණත් තාත්තාට ලියන්න පුළුවන්.” ධම්මික ජයලත්ගේ කුඩා කල මතක පිටු අතර එවැනි මතක කෙළවරක් නෑ.
ජයලත්ගේ රාත්‍රී වැඩ මුරයේ සගයන් කියන්නේ ඔහු ‘ගොළු හදවත’ ලියා නිම කරන්නට අවුරුදු හතරක් පමණ ගත කළ බවයි. එය මුද්‍රණයට බාර දීමට ගිය විට එක් ප්‍රකාශන ආයතනයක් බොළඳ නවකතාවක් යැයි ප්‍රතික්ෂේප කර ඇතත් ඔවුන්ම ඊට ටික කලකට පසු එය ඉල්ලා එවා මුද්‍රණය කළ බව ප්‍රකට සිද්ධියක්.
“ගොළු හදවත නවකතාවට එදා රසිකයන්ගෙන් ඒ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල තාත්තත් හිතන්න නැතුව ඇති. අපේ ගෙදර පෙට්ටි ගණන් පුරවලා තිබුණා පාඨකයන්ගෙන් ලැබුණු ලියුම්. ගොළු හදවතින් පස්සේ තාත්තගෙ පොතක් නිකුත් වූ හැමවිටම ඊළඟ කතාව මොකද්ද, කොයි කාලෙ විතරද එන්නෙ කියලා රසිකයො අහල එවනවා. ඒ කාලෙ ටෙලිෙෆා්න් නෑනෙ. ලියුම් තමා එවන්නෙ.
ගොළු හදවත මේ වෙනවිට මුද්‍රණ 30ක් එළිදැක තිබෙනවා. 31 වැනි මුද්‍රණයටත් ලෑස්තියි. අවුරුද්දකට පොත් දෙදහසක්වත් අඩුම තරමින් අලෙවි වෙනවා. අනික් නවකතා ටිකත් අවුරුද්දකට දහසක්වත් අලෙවි වෙනවා. ඒ නිසා ඇත්තටම හැම කාලෙම ඒ පොත්වලින් අලුත් පාඨක පරපුරක් බිහි වෙනවා කියලා මට හිතෙනවා.
ඉස්සර ‘ගොළු හදවත’ කියවූ අය අද පිට රටවල ඉන්න ඒ අයගේ දූ දරුවන්ට යවන්න තාත්තගේ නවකතා නිතරම ඉල්ලනවා. හුඟක් අය රට ඉන්න ළමයින්ට ඒ නවකතාවල ඉංග්‍රීසි පරිවර්තන තියෙනවද අහනවා. ගොළු හදවත දෙමළ පරිවර්තනයක් තියෙනවා. මුව දඩයම ඉංග්‍රීසි පරිවර්තනයක් තියෙනවා. ඉතින් එක එක පොත හරි ඉංග්‍රීසියට පරිවර්තනය කළොත් හොඳයි කියා අපිත් දැන් අදහස් කරගෙන ඉන්නවා. ඒත් එය ආවාට ගියාට කරන්න බෑ.
ඒ කාලෙ ගොළු හදවත කොටස් වශයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඔබ්සවර් පත්තරේ පළවෙලා තියෙනවා. ගොළු හදවත චිත්‍රපටයත් විදේශවල ජනප්‍රිය වුණා. පස්සෙ කාලෙක රූපවාහිනී හා ගුවන් විදුලි නාට්‍ය වශයෙනුත් ගොළු හදවත විකාශය වුණා. ප්‍රකට තිර රචකයකු වන රෙජී සිරිවර්ධන පිටපත ලියා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියා අතින් ගොළු හදවත චිත්‍රපටයක් වීම ගැන තාත්තාට ලොකු සතුටක් තිබුණා. මොකද ගොළු හදවත බොළඳ නවකතාවක් කියල හංවඩු ගැසූ අයට එය හොඳ පිළිතුරක් වූ නිසා.
තාත්තගෙ නවකතාවල ගැහැනු චරිතවලට ලොකු අගයක් දීල තියෙනව කියන එක ප්‍රසිද්ධ කතාවක්නෙ. ‘ගැහැණු ළමයි’ නවකතාවෙ පෙරවදනෙ තාත්තා කියනවා ‘දුක් කම්කටොලු බාධක පරාජය විඳ දරාගෙන වුවත් ජීවිතය කෙරෙහි බලාපොරොත්තු අත් නොහරින තරමට ධෛර්ය සම්පන්න ගැහැනු දරුවකු ගැන ලියන්න මට ඕනෑ වුණා’ කියලා. කාන්තා දිවි නසාගැනීම් දෙකක් ඊට පාදක වුණා කියලත් තියනවා. ඒ වගේ කාන්තාව ගැන සානුකම්පිත හැඟීම් තාත්තාට තිබුණා.
තාත්තාගෙ පවුලේත් ගැහැනු දරුවන් හිටියෙ නෑ. අපේ පවුලෙත් අයියයි මමයි මල්ලියි විතරයි. ඒ ගැන යම් කනගාටුවක් තාත්තා තුළ තියෙන්න ඇති. කොහොම වුණත් ‘කාන්තා විමුක්ති අරගලය’ වැනි කෘතියකින් කාන්තාව පිළිබඳ සමාජ ප්‍රශ්න සාකච්ඡා කිරීමට යොමුවීමෙන් පෙනෙන්නෙත් කාන්තාව කෙරෙහි තාත්තා තුළ තිබූ ගෞරවයයි.” ධම්මික දිගටම කතා කළා.
කාරුණාසේන ජයලත්ගේ ප්‍රේම කතා තුළ වුව සියුම් සමාජ කතිකාවක් ගොඩනගා තිබුණා. සමාජ අසාධාරණය, තරුණ අසහනය, පන්ති පරතරය, මානව දයාව පිළිබඳ එහි වූ යටි පෙළ කියවීම බොහෝ විට අමතක කළ ඇතැමුන් ජයලත් දෙස බැලුවේ හුදු ප්‍රේම කතාකරුවකු ලෙස පමණයි. ඒත් ඔහුගේ ප්‍රේම කතාවල ජීවත්වූයේ සැබෑ සමාජයේ එදිනෙදා දකින ජීවමාන චරිතයි. මවාගත් ඕලාරික චරිතවලින් ඔහු ඒ ප්‍රේම කතා දියාරු කළේ නෑ. යහළු යෙහෙළි, හතුරු හිතක්, පිරුණු හදක්, තුන් ඈඳුතු නවකතාවලින් ජයලත් කතා කළේ මෙරට අධ්‍යාපනික විෂමතා තුළින් සමාජයේ පන්ති පරතරය පෝෂණය වෙන අයුරුයි.
“මට මතක් වෙනවා 71 කැරැල්ලට කිසිම චෝදනාවක් නැතුව තාත්තා සිරගත කළ හැටි. තාත්තා මාස 7ක් 8ක් සිරබත් කෑවා. මුල් මාස කිහිපයේ අම්මාටවත් බලන්න යන්න දුන්නේ නෑ. ඒ කාලෙ තාත්තා සිගරැට් පෙට්ටි දිගහැරලා යම් යම් සටහන් ලියා තිබුණා. ලිවීමට පවා කිසිම දෙයක් පෑනක් කොළයක්වත් දෙන්න අවස්ථාව නැතුව ගියා. පස්සෙ ඒ තහංචි ඉවත් වෙලා සතියකට සැරයක් ගෙදර අයට බලන්න දුන්නා. එතකොට තමා පෑන් කොළ ගෙන්නා ගෙන තාත්තා ලියන්න ගත්තෙ. ‘ඇවැස්ස නෑයෝ’ පොත ඒ සිරගත කාලෙ ලියූ පොතක්.
චේ ගුවේරාගේ දිනපොත පරිවර්තනය කර කොටස් වශයෙන් තාත්තා ‘සිරිලක’ පත්තරේට ලිව්වා ඒ කාලේ. තාත්තා සිරගත කිරීමට අනුමාන හේතුව එය බවයි කියන්නෙ. ඒ වුණත් කිසි කෙනෙක් එක්ක වෛරයක් තියා ගන්නෙ නැතුව තාත්තා ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගත්තා.” ඒ ධම්මිකගේ නිගමනය.
කොතරම් ලස්සනට යෞවනය, ප්‍රේමය, ආදරය ගැන කතා කළත් කරුණාසේන ජයලත්ගේ ඇඟේම තිබුණු දේශපාලනයෙනුත් ඔහුට බේරිල්ලක් නැති වුණා. 56 බණ්ඩාරනායක පෙරළියේ සිටම බණ්ඩාරනායකවරුන්ට පක්ෂව වැඩ කළා. 65 දී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පරාජය වුවාට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පත වු ‘සිරිලක’ කර්තෘකමට ජයලත් ගියේ ලංකාදීපයෙන් අස්වෙලා. හැබැයි එතන වැඩි කාලයක් නොසිටි ඔහු ගෙදර ඇවිත් දිගින් දිගටම පොත් ලියුවා.
පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාවාස කොමිසමේ සභාපති වශයෙන් පත් වූ විට ජයලත් එහි අධ්‍යක්ෂවරයෙක් වුණා. 1989 විජය-චන්ද්‍රිකා මහජන පක්ෂය පිහිටුවන විට ජයලත්ට එහි උසභාපතිකම ලැබුණා. ඒ අතර දිනකර පුවත් පතේ කතුකමත් ජයලත්ටම කරන්න සිදුවුණා.
එවැනි දේශපාලන පුවත්පත්වලට අතගැසීම නිසා ජයලත් පවත්වාගෙන ආ විශිෂ්ට පුවත්පත් කලා ජීවිතය කඩාවැටුණු බවයි තතු දත් අය කියන්නේ.
“පුවත්පත් ජීවිතය විතරක් නොවෙයි තාත්තගෙ නවකතා ලිවීමත් කඩා වැටුණා දේශපාලනය නිසා. තාත්තගෙ නවකතා 15න් 12ක්ම ලියා තිබෙන්නේ 1962-1977 කාලය තුළ. 77න් පස්සෙ 94 වෙනකල් ලියුවෙ පොත් තුනයි. ඒ කියන්නෙ තාත්තගෙ ජීවිතේ හොඳම කාලෙ අත්දැකීම් හා දැක්මෙන් පරිණත ඒ කාලෙ තමා තාත්තා වැඩියෙන් පොත් ලිවිය යුතුව තිබුණේ. ඒත් සිදුවුණේ අනිත් පැත්ත. දේශපාලනය නිසා තාත්තගෙ ජීවිතේ හොඳම කාලය අපතේ ගියා.
ගොළු හදවත, ගැහැනු ළමයි, යහළු යෙහෙළි, රිදී නිම්නය පොත්වලට තාත්තාට සාහිත්‍ය සම්මාන ලැබුණා. ගොළු හදවත, ගැහැනු ළමයි, බඹා කෙටූ හැටි, යහළු යෙහෙළි පොත් චිත්‍රපටයට නැගුණා. ඒ නිසා තමාගේ නවකතා ගැන තාත්තාට තෘප්තිමත් හැඟීමක් තිබුණා. ලංකාදීපයේ ඉන්න කාලෙ ඉතාම නිර්භීතව චිත්‍රපට විචාරය කළා. තාත්තා පුවත්පත් ජීවිතයේ කැමතිම භූමිකාව එයයි.
කිව යුත්ත කෙළින් කීම කවදත් තාත්තගෙ පුරුද්දක්. සමහරු ඒ විචාර ගැන විලාප, අවලාද නැගුවත් තාත්තා කිව්වෙ දකුණු ඉන්දියානු අභාෂයෙන් බැහැර දේශීය සිනමාවක් ගොඩනැගීමේ අවංක චේතනාව තමා ඒ විචාරවල හරය වුණේ කියලා. දිනමිණේ වැඩ කළ ජයවිලාල් මිලේගොඩත් තාත්තත් එක්ක හරි හරියට එම චිත්‍රපට විචාර කලාව ඉදිරියට ගෙන ගියා.
පුංචි කාලෙ ඉඳලම චිත්‍රපට ගැන ආසාවක් තාත්තට තිබුණා. නළුවෙක් වෙන්න කැමැත්තෙන් හිටියලු. පස්සෙ පත්තර රස්සාවෙදි නළු නිළියන් ආශ්‍රයට ලැබීම ගැන සතුටු වුණා. රුක්මණී දේවිගේ ජීවිත කතාව කොටස් වශයෙන් ලංකාදීපයට ලියූ කාලෙය් පත්තරේ අලෙවිය වැඩි වුණා වගේම එය පොතක් වශයෙන් මුද්‍රණය වූ විටත් ඉක්මනින් අලෙවි වී තිබෙනවා.
තාත්තා ගීත රචකයෙක් බව වැඩිය කියවෙන්නෙම නෑ. ඉන්ද්‍රාණි-සිසිර සේනාරත්න ගයන ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා’ ගීතය තාත්තා ගොළු හදවත ඇසුරු කරගෙන ලියූ සරල ගීයක්. එය ගොළු හදවත චිත්‍රපටයේ නොවෙයි. සුජාතා අත්තනායක ගයන ‘ජීවන විල මැද වැජඹෙන කුසුමකි’ ගීය සහ ඉන්ද්‍රානි සේනාරත්න සිසිර සේනාරත්නගේ ‘ආදරය කරුණා දයා ගුණ සාගරය පරදයි’ ගීයත් තාත්තා චිත්‍රපටවලට ලියූ ඒවා. තවත් නෑසෙන ගීත කිහිපයක් තිබෙනවා.” ධම්මික සියල්ල පිළිවෙළට ගොනු කරනවා.
ධම්මිකලාගේ අම්මා රූපා අමරසිංහ. ජයලත්ගේ ලිවීම පිටුපස සිටි දැවැන්ත ශක්තිය ඇය බවයි සඳහන් වෙන්නේ.
“අපේ තාත්තගේ අකුරු අම්මට විතරයි කියවන්න පුළුවන්. තාත්තාගෙ පොත් මුද්‍රණයට යන්නේ අම්මාගේ අත් අකුරින්. ඇය හරි කැමැත්තෙන් ඒවා පිටපත් කරනවා. තාත්තා නිදි මරාගෙන ලියනකොට අම්මා වරින්වර තේ හදා දෙමින් එතැනම නිදා ගන්නවා. තාත්තා ලියමින් ඉන්න ගමන් සමහර විට පිටු 50-60 විතර ඉරල විසි කරනවා. නැවත ලියනවා. මුද්‍රණයට බාර දීලත් ඇතැම් විට ආයෙත් හදනවලු.
සමහර පොත් බාගෙට ලියල වීසි කළාම අම්මා ඒවා පස්සෙ ලියන්න කියලා අරන් තියනවා. අපේ අම්මා කියන්නේ ‘එයා පුදුම විදිහෙ කෙනෙක්. කවදාවත් කේන්ති යන්නෙ නෑ’ කියලා. ඇත්තටම තාත්තා අපට කවදාවත් පාරක් ගහල නෑ.
අපේ ගෙදර සියලු කටයුතු ඉටු වුණේ අම්මා අතින්. තාත්තා කඩේකට ගියේවත් අපි වෙනුවෙන් ඉස්කෝලෙකට ආවෙවත් නෑ. අඩු තරමින් අපේ උපන් දිනයක්, අපි කීවෙනි පන්තියෙද කියලවත් තාත්තා දැනගෙන හිටියද කියලා මට නම් සැකයි. තාත්තගෙ නම නිසා අදට වුණත් අපට ලැබෙන සමාජ පිළිගැනීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
77 මැතිවරණයට හොරණ ආසනයට තරග කරලා පැරදුනාට පස්සෙ ජයග්‍රාහක පිලේ අය අපේ ගෙදර විනාශ කළා. තාත්තගෙ ලියන මේසය කීතු කීතු කරලා තිබුණා. පොත්පත් සියල්ල විනාශ කළා. ඒත් තාත්තා බොහොම සන්සුන් ලෙස ඊට මුහුණ දුන්නා. අපි කම්පා වුණා. ටික කලක් දේශපාලනය අත ඇර සිටියත් මැතිවරණයක් එනකොට තාත්තා ඔන්න ආයෙත් වේදිකාවක. 1994 මැතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනවන්න රට පුරා වේදිකාවල කතා කළා. තාත්තලා දිනුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිවීම තාත්තාට දරාගන්න බැරි තරම් සතුටක් වුණා.
ඒ වසරේම තාත්තා හෘදයාබාධයකින් නැතිවෙන කොට වයස 66 යි. තාත්තා දේශපාලනයෙන් ලැබූ දෙයක් නෑ. හැම දෙයක්ම ලබා ගත්තෙ පොත් ලිවීමෙන්. පොත් ටික විකුණාගෙන තමා පොකුණුවිට ගෙදර හැදුවෙ. කාර් එකක් ගත්තෙ. කොතැනත් තමන්ගේ යුතුකම උපරිමයෙන් ඉටු කරලා පැත්තකට වුණා මිස ලොකු දේවල් ඉල්ලාගෙන තාත්තා කවදාවත් කාගෙවත් පස්සෙන් ගියේ නෑ.”
ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ ප්‍රධාන කළමනාකරු ලෙස විශ්‍රාම ගිය ධම්මික ජයලත් දැන් තාත්තාගේ පොත් ගැනම උනන්දු වෙමින් මතු පරපුරටත් ඒවා රැකදීමේ යුතුකම කරට ගෙන සිටිනවා.
“අපේ තාත්තාට ගොළු හදවතක් නොවෙයි තිබුණේ. හොඳ හදවතක්. ඉතා හොඳ හදවතක්”.
අපට සමුදෙමින් ධම්මික ජයලත් පැවැසූ වචන කිහිපයයි ඒ.
පුෂ්පා ඉලංගන්තිලක
ඡායාරූප : චානුක කුලසේකර