රජ බිසව වෙන්න අකමැතිව කොස් ගසේ සැඟවුණු කුමාරිය


සිංහලයේ අන්තිම රජු ශ‍්‍රී පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (ක‍්‍රි.ව. 1707 - 1739) කන්ද උඩරට රාජ්‍යත්වයට පත්ව සතළොස් වියේදී නානායක්කර් වංශික අධිපතියෙකුගේ කුල කුමරියක් සරණ පාවා ගන්නා ලදී. මංගල උත්සවය ඕලන්ද ආණ්ඩුකාර තැනගේ විශේෂ සහාය ලැබී ඉතාමත් ඉහළින් පවත්වා ඇත. නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය සමයේ පැමිණි ඕලන්ද ජාතික ලැනරෝල්වරුන් සහ රජුගේ හිතවත්ම මිතුරා බවට පත් ගස්කොන් හෙවත් අධිකාරම් තනතුරේ සිටි දස්කොන්ද පැමිණ ඇත්තේ මේ අවදියේදීය. 

එම මංගල්‍යයෙන් සරණපාවා ගත් කුමරියට දරුවන් නොවීය. රජු එයින් පසු විජයරාජ බිසව සරණපාවා ගත්තත් සිංහලයේ කුමරියක සරණපාවා ගත්තත් දරුවන් නොවීය. සිංහලයේ අන්තිම මෙහෙසිය වූ උඩුමාල් දේවියට ද දරුඵල නොවූවාය. දරුවන් නොමැති කමින් සිටි රජු එයින් නොනැවතී උඩුමා දේවියගේ සහෝදරියන් දෙදෙනාද සරණපාවා ගන්නා ලදී. එහෙත් එම කුමාරිකාවන් දෙදෙනාද දරුඵල නොලැබුවාය.   


නරේන්ද්‍රසිංහ රජතුමා නානායක්කර් වංශික රාජකුමාරිකාවක් ගෙන්වා විවාහ කර ගැනීමෙන් පසු නානායක්කර් බලය ලංකාවේද කලක් පැතිර තිබී පසුව විනාශ විය.   


සිංහල රාජ්‍ය බලය ගෙන යෑමට සිංහල රජතුමා වූ නරේන්ද්‍රසිංහ රජතුමාට දරුවෙකු නොලැබුණත් නානායක්කර් බලය විනාශ වුවත් මලබාර් ප‍්‍රදේශයෙන් පැමිණි මොවුන් මලබාර් දේශික නමින්ද හැඳින්වීම නිසා මහනුවර මොවුන් පදිංචි වී සිටි ප‍්‍රදේශ බූවැලිකඩ මලබාර් වීදිය නමින් අද දක්වා ව්‍යවහාර කෙරෙයි.   


නරේන්ද්‍රසිංහ රජතුමා රාජ්‍ය පිළිබඳ සියලූ කටයුතු සඳහා මහනුවර අසලදී මහවැලි ගඟ සමීපයේ පිහිටි කුණ්ඩසාලේ නැමැති ප‍්‍රදේශයෙහි උඩමළුව නමැති ප‍්‍රදේශයෙහි මාලිගාවක් ඉදි කර එහි පදිංචි වීමට පටන් ගත්තේය. කුණ්ඩසාලේ මාලිගාවට ආසන්නව විහාරයක් කරවීය. ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහාරාමය නමින් අද දක්වා තිබෙන විහාරයයි.   


සිංහලයේ අන්තිම රජතුමාට දරුවෙකු නොමැතිකමින් රජුගේ හිතවත් අමාත්‍ය, පුරෝහිතයන් කණ්ඩායම ඉමහත් කණස්සල්ලෙන් පසු වූහ. එයට පිළියමක් සෙවීමට කුමන්ත‍්‍රණය කළේය. රජු කුමාර කාලයේ හැදී වැඩුණු කුරුකොහොගම පල්ලේ වලව්වේ ඉතාමත් රූපශ‍්‍රීයෙන් යුත් කුමාරිකාවක් ඇති බව දත් රාජපුරුෂයින් ඇය රජුගේ අගමෙහෙසිය බවට පත් කිරීමට කටයුතු කිරීමට සැලසුම් කරන ලදී. ඒ අවස්ථාව වන විට වයෝවෘද්ධව සිටි රජතුමා මෙය සැලවීමෙන් උද්දාමයට පත් වන්නේය. තම හිතවතුන් කුරුකොහොගම සිටිනා අතර නිතර එම ගම්පියසට ආගිය රජු වඩාත් ආදරය කළ සුන්දර ගම්පියසක් වන කුරුකොහොගම තමාට හුරු පුරුදුය. රජුගේ නියෝගයෙන් රාජ පුරුෂයින් සහ ඇමැතිවරයෙකු කුරුකොහොගම බලා පිටව යයි. කෙසේ හෝ මෙම රාජපුරුෂයින්ගේ පැමිණීම කුරුකොහොගම පල්ලේ වලව්වේ හීන් කුමාරි කුමරියට සැලවෙයි. ඇය වයෝවෘද රජුගේ අගමෙහෙසිය වීමට මනාප නොවන්නේය. රූපශ‍්‍රීයෙන් අගතැන්පත් මෙම කුමරිය රජෙකුගේ අගමෙහෙසිය වීමට වාසනාව ලැබුවත් ඇය වයෝවෘද රජුගේ අගමෙහෙසිය වීමට ප‍්‍රිය මනාප නොවුවාය. එම හේතුවෙන් එයින් මිදීමට වලව්ව අසල ඇති විශාල කොස් ගසේ බෙනයේ සැඟවෙයි. රාජ පුරුෂයින් වලව්වට පැමිණ කුමරිය සෙවුවත් ඇය නොවුවාය. එහෙත් කුමරියගේ ක‍්‍රියාදාමය අසාර්ථක වන්නේ රාජ පුරුෂයින් ඇය කොස් ගසේ බෙනයේ සැඟව සිටියදී සොයා ගැනීමයි. ඇය සොයා ගැනීමෙන් පසු කුමරියට කළ යුතු අන් කිසිවක් නොමැත රාජ පුරුෂයින් සමඟ කුණ්ඩසාලේ විරාජමානව සිටින ශ‍්‍රී පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු වෙත යා යුතුය. රජුගේ අගමෙහෙසිය විය යුතු වන්නේය. ඇය රාජ කුමාරිකාවක් මෙන් රාජ පුරුෂයින් සහ ඇමැතිවරයා සමඟ කුණ්ඩසාලේ රජ මැදුර වෙත ගමන් ගනී.   


කුරුකොහොගම සිට ඇළ දොළ ගංගා, ගිරිදුර්ග පසු කරමින්, හීල් ඔය, මහරවෙල, කරල්ලියද්ද, තෙල්දෙණිය, උඩදුම්බර, මැදමහනුවර, දුම්බර මිටියාවත, සිරිමල්වත්ත යන ගම්මාන පසු කරමින් නොයෙක් සිතිවිලි අතරේ තමා අකමැති මනාප නොවූ මංගල්‍යයක මනාලියකසේ දුක්බරව ගමන් ගන්නා කුරුකොහොගම හීන් කුමාරි කළුකෑල්ල නම්වූ ගම් පියසට පිවිසෙත්ම තම දිව ඇද දිව හපා ගනිමින් දිවි නසා ගත්තේය.   


කුමරිය දිවි නසා ගත් මොහොතේ රාජ පුරුෂයින් සහ අමාත්‍යවරයාට බිසෝවුන් වහන්ස ගැන කර කියා ගත දෙයක් නොමැතිව හැකි ඉක්මනින් ඇමැති කුණ්ඩසාලේ රජු වෙත ගොස් සැල කර සිටියේ කුමරිය රැගෙන එන අවස්ථාවේ අසවල් ස්ථානයේදී එලෙස දිවි නසා ගත් බවයි. මෙයින් රජු ශෝකයට පත්ව ඒ උත්තමාවිය ගැන අනුකම්පා කර කුමරියගේ දේහය මහනුවර පාතදුම්බර උඩුගම්පහ කෝරලයට අයත් පිලවල නැමැති ගමේ කොටසක කළුකෑල්ල නැමැති ප‍්‍රදේශයක ආදාහනය කරන ලදී. කුමරිය කළුරිය කළ ප‍්‍රදේශය කළුකෑල්ල කියා අදටත් ව්‍යවහාරයේ පවතී.   
එයින් නොනැවතුණ රජතුමා ආදාහනය කළ ස්ථානයට ආසන්නයේ ඉතාමත් දර්ශනීය කළුගල් තලාවක බෝධි වෘක්ෂයක් කුමරිය සිහි කිරීම වෙනුවෙන් රෝපණය කර ඒ අසල කළුගලින් මටසිළුටු කරන ලද දර්ශනීය පොකුණක් නිර්මාණය කර ඇත. මෙය බෝධිගල නමින් ප‍්‍රකටව අදටත් පවතින අතර අදවන විට බෝධිගල රජ මහා විහාරය නමින් පවතී. උඩදුම්බර උඩසිය පත්තුවේ කුරුකොහොගම රජ මහා විහාරය මගින් පාලනය කරනු ලබයි.   


ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කුණ්ඩසාලේ සිට නත්තරම්පොත ගම මැදින් බෝධි ගලට නැග බෑවුමෙන් සිරිමල්වත්තට බැස මහවැලි ගඟින් ස්නානය කොට ලේවැල්ලට පැමිණ මහනුවර රජ වාසලට පැමිණෙන්නේය. එතුමන්ගේ ගමන් මාර්ගයේ බෝධි ගලට නැගීම බැසීම කරන පැතිවල බෝධිගලේ කැපූ ගල් පඩි අදටත් හොඳ හැටි පැහැදිලිව දැකිය හැක.   


රජතුමා බෝධි ගලින් බැස මහවැලි ග​ෙඟ් ජල ස්නානය කළ ස්ථානය රිටිගල නමින් ව්‍යවහාරයේ පවතී. රිටක් වැනි උස් ගලක් මෙහි පිහිටා තිබෙන බැවින් රිටිගල යයි කියනු ලැබේ. රජතුමා දිය පිනුම් ගැසූ ගලක් ලෑල්ලක ආකාරයකින් ඒ අසලම පිහිටා තිබේ. එයට පිනුම්ගල යැයි ව්‍යවහාරයේ පවතී. එම ස්ථානයේ රාජාභරණ තැබීමට මණ්ඩපයක ගල් කණුවලින් නිර්මාණය කර තිබුණු නෂ්ටාවශේෂ දක්නට තිබේ. මෙය සිරිමල් වත්තේ උයන් වත්ත නමින් හැඳින්වෙන ගං ඉවුරෙහි පිහිටා තිබේ.   


හීන් කුමාරි සැඟවුණ කුරුකොහොගම වලව්වේ කොස් ගස අදටත් විශාල වෘක්ෂයක් ලෙස පවතින අතර මිනිස් ක‍්‍රියාකාරකම් වලින් තර්ජනයක්ව පවතින එම කොස් ගස කුරුකොහොගම වැසියන්ගේ උත්සාහයෙන් සුරැකී ඇතත් අසල්වැසි නිවසක පියස්සකින් ගසේ බෙනයට ජලය ගලා ඒමට සැලැස්වීමෙන් ගස විනාශයට පත් විය හැකි බව ඉතිහාසයටත්, රජු වෙනුවෙන් දිවි පිදු හීන් කුමාරිටත් ආදරය කර කුරුකොහොගම පැරැන්නන් පෙන්වා දෙයි. එය රැකීම කාගේත් යුතුකමකි. රජ සමයේ පටන් කුරුකොහොගම ගමේ ගම් සභා කටයුතු, වෙල් විදානේ කටයුතු කළ මණ්ඩපයද තවමත් ඉතාමත් දර්ශනීයව ආරක්ෂා වී ඇත්තේ වෙල්යායේ ඉහත්තේය. එම මණ්ඩපය කවදත් කාටත් ඉතා සිත්කළු මණ්ඩපයකි. මොහොතක් හෝ විඩාහැර ගැනීමට කොයි කාටත් සැනසිලි දායක ස්ථානයකි.   


ශ‍්‍රී පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පියා II විමලධර්මසූරිය රජුය. 1687 දී II විමලධර්මසූරිය රජු සෙංකඩගල පුර සිංහාසනාරූඪ විය. II විමලධර්මසූරිය රජුගේ පියා II රාජසිංහ රජුය. 1635 - 1687 දක්වා වසර පනහකටත් වැඩි කාලයක් කන්ද උඩරට රාජ්‍ය කළ එඩිතර සිංහල රජෙකු විය. එනම් සිංහලයේ අවසන් සිංහල රජුගේ අත්තා හෙවත් සීයා වන්නේය. II රාජසිංහ රජ සමයේ පෘතුගීසින්ට යටත්ව තිබූ දකුණු ප‍්‍රදේශ විනාශ කොට ජන ගුන්‍ය කර එම ගම්වල සිංහල වැසියන් කන්ද උඩරට රාජ්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. එයට කිපුණු පෘතුගීසින් 1638 දී උඩරට රාජ්‍යය ආක‍්‍රමණය කරන ලදී. එහිදී ගන්නෝරුවේදී ඇති වූ දරුණු සටනින් II රාජසිංහ රජු ජයග‍්‍රහණය ලබා පෘතුගීසින් අන්ත පරාජයට පත් කරන ලදී'   

 

 

මෙම ජයග‍්‍රාහි සටනින් පසු කන්ද උඩරට සිංහල රාජ්‍යයට වඩාත් බලපෑම් එල්ල නොවීය. II විමලධර්මසූරිය රජු වසර 2 ක කාලයක් දැහැමින් රජකම් කළ වකවානුව විය. ජනතාවද නිහඬව ගත කල කාලයක් විය. II විමලධර්මසූරිය රජුගේ බිසෝවරුන්ටද දරුවන් නොවීය. රජුගේ අන්තපුපරයේ බිසෝ තනතුරේ සිටි යකඩ දෝලිය වූ වත්තේගම මුතුකුඩ වලව්වේ මුතුකුඩ කුමාරිහාමි හට දරුඵල ලැබීය. ඇය කුල කුමරියක් නොවුවාය. කුමරිය පුත් රුවනක් ප‍්‍රසූත කළාය. රජු ඉතාමත් සතුටින් කුමරා කෙරෙහිත් කුමරිය කෙරෙහිත් ආදරයෙන් පසු විය. සෑම විටම රජුගේ අනුග‍්‍රහය වරප‍්‍රසාද ආදර ගෞරවය දෙදෙනාට ලැබිණ. II විමලධර්මසූරිය රජුගෙන් පසු රාජ්‍යයට කුමරෙක් සිටීම එයට ප‍්‍රබල හේතුවක් විය.   


මෙය තරමක් රහසිගතව තිබුණු අතර අන්තඃපුර අනෙක් ස්ත‍්‍රීන් හා කුමරියන්, ඇමැතිවරුන් රජුගේ නානායක්කාර් වංශිකයන්ටද හිසරදයක් විය. කීප දෙනෙකුගේද විරුද්ධත්වයටද හේතු විය. මීළඟට රජ වීමට සුදුසුකම්ව සිටියේ මාංපිටියේ කුමාර බණ්ඩාරයි. ඔහු රජ කිරීමට පිරිසක් බලාගෙන සිටින ලදී. රජුගේ අවසරයෙන් කුමරියත් කුමාරයාත් වත්තේගම මුතුකුඩ වලව්වට ගොස් ඒම සිරිතක් වශයෙන් සිදුවිය. එයට රජු ආරක්ෂාව පිරිවර සපයා ඇත. මෙසේ කල්ගතවත්ම කුමරාට විරුද්ධ ඇමැතියෙකුගේ කුමන්ත‍්‍රණයක් සිදුවිය.   


II විමලධර්මසූරිය රජුට පුත් කුමරෙක් සිටින බව සැලවීමත් සමඟ රජුගේ නානායක්කාර් වංශිකයන් කුමරා මැරීමට කුමන්ත්‍රණය කළහ. රජු වඩාත් කුමරා කෙරෙහිත් මුතුකුඩ දේවිය කෙරෙහිත් ආදරයෙන් පසු විය. එයද නානායක්කාර් වංශිකයන්ට හිසරදයක් විය. දික් රජුගේ අනුග‍්‍රහය ඇතිව කුඩා කුමරා සහ දේවිය වත්තේගම මුතුකුඩ වලව්ව බලා යන අතරතුර ලේවැල්ලේ ගංතොටින් එගොඩ වෙන අවස්ථාවේ ගෙඟ් ගිල්වා මැරීමට කුමන්ත‍්‍රණය කර සැලසුම් කර ඇති අතර ග​ෙඟ් ජලය වැඩි බැවින් තොටියා දැනුම් දී තිබෙන්නේ පළමුව කුමරා සහ කුමරිය ගඟන් එගොඩ කර පිළිවෙලින් එක එක්කෙනා එගොඩ කළ හැකි බවයි. එයට මනාප වු කුමරිය කුමරා තුරුළු කර ගෙන ඔරුවේ නැගී ගමන් කරන අතරතුර ගඟ මැදදී ඔරුව සැඬ පහරකට හසු වූවාක් මෙන් කැරකී ගිලී ඇත. කුමාරියත් කුමාරයාත් ජලයේ ගසා ගෙන ගියත් කුමරිය කුමාරයා තුරුළු කර ගෙන ආධාර ඉල්ලා ලතෝනි දෙද්දී තරුණයෙකු කුමරාත් කුමරියත් බේරා ගෙන මෙගොඩ කර ඇත. මෙය රජුට සැලවීමත් සමඟ රජු ඇමැතියන් ලවා ඔරු කරු සොයා දේපළ රාජ සන්තක කර නගරයේ වීදී පුරා ඇද ගෙන ගොස් හිස ගසා දමන ලදී.   


කුමන්ත‍්‍රණයට සම්බන්ධ ඇමැතියෙකු සහ සෙසු පිරිස සොයා රජු රාජ දඬුවම් පමුණුවා දේපළ රාජ සන්තක කිරීමෙන් අනතුරුව කුමන්ත‍්‍රනයට සම්බන්ධ අන්ත:පුර ස්ත‍්‍රීන් ද හිස මුඩු කර දඬුවම් පමුණුවා රජවාසලින් පිටුවහල් කර ඇත. රටවැසියන්ද කුමරා සහ කුමරිය මැරීමට පිරිසක් කටයුතු කළ බව දැන ගත් මොහොතේ II විමලධර්මසූරිය රජු විසින් රහසිගතව කුමරියත් කුමරාත් රජ වාසලෙන් පිටකර රහසිගතව සැඟවීමට කටයුතු කරන ලදි. කුමාරත් කුමරියත් බේරා ගත් රඹුක්වැල්ලේ තරුණයාට රජවාසල මහා ගබඩා නිලමේ තනතුරට පත් උදුදුම්බරින් නින්දගමද පවරා දෙන ලදී.   


මුතුකුඩ කුමාරිහාමිගේ පුත් කුමරා රහසිගතව කුරුකොහොගම පොද්දල්ගොඩ කඩතුවා ගල්ලෙනේ සැඟවීමට රජු කටයුතු කර ඇත. ඉතාමත් දර්ශනීය ප‍්‍රදේශයක් වන කුරුකොහොගම දිය ඇලි ජලධාරා වලින් සහ සරුසාර කෙත්වතු වලින් සපිරි ආරක්ෂිත ප‍්‍රදේශයකි. මෙහි පොද්දල්ගොඩ කන්ද පිහිටි කඩතුරා ගල්ලෙන තුළින් අවට පරිසරයද මැනවින් දර්ශනය වෙයි. ගල්ලෙන විශාල මණ්ඩපයක පියස්සක් මෙනි.   


පියස්සේ තැනින් තැන ගල මුදු දැමීමට සේ හිල් විද ඇති අතර එයින් කියා පාන්නේ ගල්ලෙන රාත‍්‍රියට ආලෝකය සැපයීම සඳහා පහන් එල්ලා තිබූ බවයි. එය අද නවීන පන්නයේ නිවාසයක සිවිලිමේ එල්ලෙන විදුලි ලාම්පු ආකාරයට සැලසුම් කර ඇති බවයි. ඉදිරිපසින් දිය දහරක් ගලා බසින අතර දිය දහරට යටින් ගල් තලාවේ තවත් ගල්ලෙනක ඉහළින්ද ඇති විශාල ගල් කුළු අතර මුර කුටි කටාරම් කොටන ලද ගල්ලෙන් පවතී. එම ගල්ලෙන අවට ගල්ලෙන් වලින් සමන්විත ලෙස ගල් ලෙන් සංකීර්ණයක් පහළින් ඇති විශාල කුඹුරු යාය සරු සාරය. එදා ඔවුන්ගේ බත සපුරා ගත් කුඹුරු යායයි. ගල්ලේනේ සැඟව හැදුණු කුමරාට එම ගල්ලෙන විශාල රජ මැදුරක් මෙන් විය.   

 

 

සියලුම පහසුකම් මෙම ගල්ලෙනේ ඇති අතර ගල්ලෙන තුළ ගමන් කිරීමට උමං මාර්ගයක්ද තිබී ඇත. මේ වන විට එම උමං මාර්ගය වැසී ඇති අතර එම උමං මාර්ගය වැටී ඇත්තේ කන්දෙන් එහා පැත්තේ දිය දහරක් අද්දරට බව පැරැන්ණන්ගේ මතයයි.   


දිය අද්දරින් මතු වී ඉහළට පැමිණිය හැකි අතර එය අසලට තල් අත්තක් ඇල්ලූ පසු උමං දොර ඇරෙයි. උමඟ තිබෙන බව කුරුකොහොගම වැසියන් ප‍්‍රකාශ කරයි. උමං දොරින් දෙපස කඳු මිටියාවත් තුනක් ඇති අතර හාවුන් කෙලිනා ගල, නයින් කෙලිනා ගල, ඩෙංකුටු ගල වශයෙන් හඳුන්වයි. අතීතයේ ඩෙංකුටු ගල හේවිසි නද ඇසුන බවත් එබැවින් ඩෙංකුටු ගල වශයෙන් මේවා ගම්මුන් හඳුන්වයි. හාවුන් කෙලිනා ගලෙන් විහාල ලෙස හාවුන් සෙල්ලම් කරමින් සිටි බවත්, නයින් කෙලිනා ගල නයි සිටි බවත් ප‍්‍රකාශ වෙයි.   


කුඩා කල සිට මෙසේ සෙල්ලම් කුමාරයා හෙවත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු කුරුකොහොගම තම ගම් පියස බවත් නිතරම කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ බවත් නිතරම ආගිය බවත් සඳහන් වෙයි. කුමරුට සතළොස් වියේදී II විමලධර්මසූරිය රජතුමා ජම්මාන්තර ගත විය. එයින් හිස්වු කන්ද උඩරට රාජ්‍යයට කුමරෙකු තෝරා ගැනීමේ තරඟයක් එවකට පැවති මන්ත‍්‍රී මණ්ඩලයෙන් පැන නැගී ඇත. විමලධර්මසූරිය රජුගේ මෙහෙසිය රාජ කන්‍යාවක් වුවා නම් මේ තරඟ පැන නොගන්නේය. එහෙත් මෙම තරඟයේදී දෙදුම්බර අධිපති මුතුකුඩ කුමරියගේ පුත් කුමරා II විමලධර්මසූරිය රජුගේ ලේ උරුම කුමරා බව දැන සිටි බැවින් රාජ්‍යයට සුදුසු යැයි ඡන්දය දීමෙන් දෙනුවර අධිපතියන්ගේ විරුද්ධත්වය ව්‍යවර්ථ විය. බලගතු පක්ෂයේ අදහස් උදහස් බලය හමුවේ 1706 දී මුතුකුඩ කුමරියගේ සහ II විමලධර්මසූරිය රජුගේ පුත් කුමරා ශ්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ යන නමින් සෙංකඩගලපුර සිංහාසනාරූඪ විය.   


කුරුකොහොගම හීන් කුමාරියත් හීන් කුමාරි කොස් ගස පිළිබඳවත් අතීතයේ තොරතුරු ගවේෂණයේදී සහාය වූ කුරුකොහොගම වලව්වේ තිස්ස සෙනෙවිරත්න මහතාට ස්තූතිය පිරිනැමේ.   

 

 

 

 

 

 

 


සටහන / ඡායාරූප
සෙනරත් බණ්ඩාර