බිම්බෝම්බ නැත. ක්ලේමෝ බෝම්බද නැත. සියලු මාර්ග ආරක්‍ෂා සහිතය. හමුදාවන් ඉලක්කකොට ගත් ප‍්‍රහාරයන් ද සිදුවී නොමැත.
එහෙත් හොරබඩු ජාවාරම ජයට සිදුවේ. කුඩා සන්නද්ධ කල්ලි විසින් සිදුකරනු ලබන සන්නද්ධ ක්‍රියා ද විටින් විට සිදුවේ. නීර්වේලිහි දී ඔවුන්, මහජන බැංකුවේ රුපියල් 7,909,813 /-ක මුදලක් යාපනයේ සිට පේදුරුතුඩුව දක්වා, පොලිස් ආරක්‍ෂක මුරයන් සහිතව ප‍්‍රවාහනය කරමින් තිබියදී මංකොල්ලකති. පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් එහිදී මියයති. එල්ටීටීඊ කල්ලියේ ප‍්‍රභාකරන් ඇතුළු ඔහුගේ කිහිපදෙනෙක් හා ටෙලෝ කල්ලියේ තංගදොරේ මෙම මංකොල්ලය සිදුකර ඇති බවට තොරතුරු ලැබේ.
ඉන් මාස කිහිපයකට පසුව කන්කසන්තුරෙයි - යාපනය මාර්ගයේ නච්චිමාර්කෝවිලඩි හි පැවැත්වූ දේශපාලන රැලියක් ඉලක්කකොට ගෙන හඳුනානොගත් කල්ලියක් වෙඩි ප‍්‍රහාරයක් එල්ලකරයි. දිස්ත‍්‍රික්ක සංවර්ධන සභා මැතිවරණ සඳහා තරග වදින එජාපයේ ප‍්‍රධාන අපේක්‍ෂකයා ඇතුළු එම රැලියට ආරක්‍ෂාව සැපයූ පොලිස් මුරයේ සිටි සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තවත් කොස්තාපල්වරු දෙදෙනෙකු තුවාල ලබති. යාපනය පුස්තකාලය ඊට පසු දින ගිනිගනී. එය පොලිසිය විසින් සිදුකරන ලද බවට චෝදනා එල්ල වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව ස්ථානගත වේ. ඉන් දින කිහිපයකට පසු දිස්ත‍්‍රික්ක සංවර්ධන සභා මැතිවරණය පැවැත්වේ. අනාකෝට්ටේ පොලිස් ස්ථානයට උමා මහේෂ්වරන් ප‍්‍රමුඛ ප්ලොට් කල්ලිය පහර දී එහි තිබූ අවි ආයුද පැහැරගනී. ඒ ඊට පසු මසදී ය. රාත‍්‍රියේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරු දෙදෙනෙකු අදාළ ප‍්‍රහාරයේදී ඝාතනය වේ. මේ සියල්ල සිදුවන්නේ 1981 වර්ෂයේ යාපනය අර්ධද්වීපයේදීය. දිනය ඔක්තෝබර් 01 වනදායි. වේලාව 15.00 පැයට පමණ ඇත. අලිමංකඩ කඳවුරෙන් පලාලි උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානයට හදිසි රේඩියෝ සංඥා පණිවිඩයක් ලැබේ. අදාළ පණිවිඩය ලද විගස එය ආඥාපති වෙත දැනුම් දීමෙන් අනතුරුව සියලු කඳවුරු වෙත “ක්‍ෂණික විහිදුම් මෙහෙයුම” සඳහා සංඥාව නිකුත් කෙරේ. ‘‘හෙලෝ ඕල් ස්ටේෂන්ස්, ඇක්ටිවේට් ඔපරේෂන් ‘අලිබබා’ ඔපරේෂන් ‘අලිබබා’ ක‍්‍රියාත්මක කරන්න . දිස් ඊස් සියාරා ඔස්කාර් ත‍්‍රී ඕවර්” මෙහි ‘සියරා-ඔස්කාර්-ත‍්‍රී’ යනු එස්-ඕ / ස්ටාෆ් ඔෆිසර් හෙවත් මාණ්ඩලික නිලධාරී තුන්වෙන්නාය. කපිතන් කෝලිත ලියනගේ එම තනතුර හෙබවීය. මේ අතර කඳවුරු ‘අලිබබා’ මෙහෙයුම ක‍්‍රියාත්මක කරයි. පාමුර සංචාර, ජංගම මුර සංචාර, බෝට්ටු මුර සංචාර, රැක සිට පහරදීම්, සීමිත වටලා සෙවීම් යනාදිය සිදුකිරීම හා නිරීක්‍ෂණ ස්ථාන හා මාර්ග බාධක යොදවා වාහන පරීක්‍ෂණ ස්ථාන ස්ථාපිත කිරීම වැනි විවිධ කාර්යයන් එක් එක් කඳවුරුවල සිටින භට පිරිස් මගින් ඉටුවීම ඒ අනුව සිදුවේ. ‘ඔපරේෂන් අලිබබා’ යනුවෙන් හැඳින්වූ මෙම ‘ක්‍ෂණික විහිදුම් මෙහෙයුම’ පිළිබඳ විස්තර රැගත් ලිපියක් පසුගිය ඔක්තෝබර් 15 වන දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවිණි.
මේ අතර වැඩිදුර තොරතුරු ලබාගැනීම පිණිස සියලු කඳවුරුවල අනුඛණ්ඩ භාර නිලධාරීන්හට රේඩියෝ සංඥා උපකරණය ඔස්සේ පලාලි අමතා කථා කරන ලෙසට දැනුම් දේ. මේ අවස්ථාවේදී ‘දෙවන මාණ්ඩලික නිලධාරී’ මේජර් අශෝක ජයවර්ධන පලාලි සංඥා මැදිරියේ සිට අමතයි. ‘‘හෙලෝ ඕල් ස්ටේෂන්ස්, ටෙරරිස්ට්ස් හෑව් හයිජැක්ඩ් අ ලයිට් ග‍්‍රීන් කලර් ඩයිහට්සු ජීප්. බෙයරින් නම්බර් 31 ශ‍්‍රී .... ෆ්රොම් වටකච්චි ෆාම් ඉන් කිලිනොච්චි.... එරවුන්ඩ් 13.00 අවර්ස්. ඉන්ෆෝම් යුවර් ට්රූප්ස් ඔන් ‘ඔපරේෂන් අලිබබා’ ...ඕවර් ” (ත‍්‍රස්තවාදීන් කිලිනොච්චි, වටකච්චි ගොවිපළෙන් 31 ශ්‍රී ... දරන ලා කොළ පැහැයෙන් යුත් ඩයිහට්සු වර්ගයට අයත් ජීප් රථයක් පැහැරගෙන ඇති බව ‘අලිබබා මෙහෙයුමේ’ කාර්යයන් සිදුකරන භට පිරිස් හට දැනුමි දෙන්න) යනුවෙන් ඔහු කඳවුරු භාර අනුඛණ්ඩ නිලධාරීන් වෙත දැනුම් දේ.
‘‘සර්, ඔය කියන ජීප්එක මේ පැත්තට නම් එන එකක් නැහැ” පැහැරගත් ජීප් රථය පිළිබඳව තොන්ඩමනාරු භටපිරිස් වෙත දැනුම් දුන් පසු කඳවුර ආසන්නයේ පිහිටි තොන්ඩමනාරු පාලම මත වාහන පරික්‍ෂා කිරීම සඳහා ස්ථානගත කළ මාර්ග බාධක මුරයේ සිටි කෝප‍්‍රල්වරයෙක් කීය. ‘‘ඒක හරි.. බොහෝ වේලාවට ඔය ජීප්එක එලිෆන්ට්පාස් පැත්තට එන්නේ නැතුව, කිලිනොච්චියේ ඇතුළකට ගෙනියන්න ඇති. ‘‘2/ලුතිතන් එස්එස් කෝප‍්‍රල්වරයාගේ ප‍්‍රකාශය තහවුරු කරමින් පැවැසීය.” අනික ඔය ජීප්එක යාපනය පැත්තට ගේනවා නම් එලිෆන්ට්පාස් රෝඩ් බ්ලෝක් එක මඟ ඇරලා ගෙනෙන්නත් පුළුවන්. ඒ කොහොම ආවත් අපිට අහුවෙන්නේ නැතුව ලෙහෙසියෙන්ම ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍ය තැනට යන්නත් පුළුවන්. අපිට කැම්ප්ස් කීයද තියෙන්නේ මුළු යාපනේටම” ඔහු තවදුරටත් කීය.
එය, ඇත්තෙන්ම නිවැරදිය. සමස්ත යාපනය අර්ධද්වීපයේම පිිහිටා තිබූ කඳවුරු සංඛ්‍යාව 06 කි. මින් දෙකක් මූලස්ථාන කඳවුරු වේ. එනම්, පලාලි ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටා ඇති ‘උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානය’ හා යාපනය ගුරුනගර් හි ස්ථාපිත කර තිබූ ‘යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයයි’ ඉතිරි කඳවුරු හතරෙන් තුනක් වැල්වෙට්ටිතුරය, තොන්ඩමනාරු, මාදගල් යන ස්ථානයන්හි උතුරු වෙරළබඩ ආශ්‍රිතව පිහිටා තිබුණි. මුහුදින් හොර බඩු ප‍්‍රවාහනය කිරීම වැළැක්වීම හා සන්නද්ධ කල්ලි විසින් සිදුකරනු ලැබූ ප‍්‍රචණ්ඩත්ව ක්‍රියා මැඩපැවැත්වීම යන කාර්යයන් ඉටු කිරීම අදාළ කඳවුරුවල ප‍්‍රධාන වගකීම විය. එවකට මෙකී කඳවුරු තුන හැඳින්වූයේ ‘බෝට් ඔපරේෂන්ස් ඩිටැචිමන්ට්ස්’ හෙවත් ‘බෝට්ටු ක‍්‍රියාන්විත අනුඛණ්ඩ’ ලෙසය. වැල්වෙට්ටිතුරය හා මාදගල් හි ‘කණ්ඩායම් මට්ටමේ’, එනම් 120-150 අතර භටපිරිසක් හා නිලධාරී 4/5 දෙනෙකු යුත් කඳවුරු/ අනුඛණ්ඩ දෙකක් තිබිණි. කඳවුර/ අනුඛණ්ඩ භාර නිලධාරියා කපිතන් හෝ මේජර් නිලයේ වූ අතර ඔහු කණ්ඩායම් භාර නිලධාරි ලෙස ද හැඳින්වීය. තොන්ඩමනාරුහි ‘ඛණ්ඩ මට්ටමේ’, එනම් 25-35 අතර භට පිරිස් සංඛ්‍යාවකින් හා නිලධාරියෙකුගෙන් සමන්විත කඳවුරක්/ අනුඛණ්ඩයක් පිහිටා තිබිණි. කඳවුර/අනුඛණ්ඩ භාර නිලධාරියා නිලයෙන් 2/ලුතිතන්වරයෙක් හෝ ලුතිතන්වරයෙක් ද විය. අලිමංකඩ මෙහි හයවැන්නයි. යාපනය අර්ධද්වීපයට පිවිසුම් ප‍්‍රදේශයේ පිහිටි එය, 120-150 අතර භට පිරිසකින් හා නිලධාරින් 4/5 දෙනෙකුගෙන් සමන්විත ‘කණ්ඩායම් මට්ටමේ’ කඳවුරක්/අනුඛණ්ඩයක් විය. පූනරීන් හි ලන්දේසි බළකොටුවේ ස්ථාපිත කර තිබූ කඳවුර/අනුඛණ්ඩය අර්ධද්වීපයෙන් පිටතය. 25-30 අතර භටපිරිස් සංඛ්‍යාවකින් හා නිලධාරියෙකුගෙන් සමන්විතවූ ‘ඛණ්ඩ මට්ටමින්’ යුත් මෙම කඳවුර/අනුඛණ්ඩෙයහි අණදීම හා පාලනය සිදුවූයේ අලිමංකඩ කඳවුරෙනි. කරයිනගර් හි පිහිටි ‘එළාර’ කඳවුරේ උතුරු කලාප නාවුක අණදෙන මූලස්ථානය හා පලාලි ගුවන් තොටුපොෙළහි පිහිටි ගුවන් හමුදා අනුඛණ්ඩය ස්වාධීන කඳවුරු වූ අතර ඒවා අදාළ හමුදා මූලස්ථානයන්ගේ අණදීම හා පාලනය යටතේ පැවතිනි.
වේලාව, 16.30 පැයට පමණ ඇත. වෙල්වෙට්ටිතුරය (සංඥා සංකේතය ‘වන්’) කඳවුරේ කණ්ඩායම් නිලධාරි අණදෙන මේජර් නිමල් රත්නායක වෙතින් තොන්ඩමනාරු (සංඥා සංක්තය ‘ටු’) කඳවුරේ ඛණ්ඩ භාර නිලධාරි 2/ලුතිතන් එස්එස් වෙත ඇමතුමක් ලැබේ. “හෙලෝ වන් ෆොර් ටු, සිග්නල්ස් .. ඕවර්” (අමතන්න) “ටු ෆොර් වන් , ඕ කේ. ඕවර්” (ඇමතුම ලැබුණා) “වන් ෆොර් ටු, ස්ටැන්ඩ් ඩවුන්, යූ මේ නවි විත්ඩ්‍රො. ඕවර්” (කාර්යය අවසන්, ඔබට දැන් ඉවත්වන්න හැකියි) ‘‘ටු ෆොර් වන්, රෝජර්. ඕවර්” (පණිවිඩය ලැබුණා) ‘‘වන් ෆොර් ටු, රොජර්. අවුට්” (ඇමතුම අවසන්) මේ අනුව තොන්ඩමනාරු පාලම මත මාර්ග බාධක හා වාහන පරික්‍ෂා මුරය ඉවත් කෙරේ. පසු දින පලාලි උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානයේදී හා ගුරුනගර් හි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැහැරගත් ජීප් රථය පිළිබඳව සාකච්ඡා කෙරේ. අලිමංකඩ කඳවුරේ සිට නිලධාරියෙකුගෙන් සමන්විත භට පිරිසක් අදාළ ගොවිපළ වෙත ගොස් විමර්ෂනයක් ද සිදු කරති. ඉන් ලද තොරතුරුවලට අනුව ජීප් රථය කිලිනොච්චි ප‍්‍රදේශයේ සඟවා ඇති බවට දැන ගනී. නමුත් එය කුමක් සඳහා ද යන්න පිළිබඳව කා තුළත් ඇත්තේ කුතුහලයකි. තොරතුරු නොමැතිව ජීප්රථය සොයා පීරා සෙවීමේ මෙහෙයුමක් කිරීම නිෂ්ඵල කාර්යයක් බව ද වටහා ගෙන ඇත. තවද, හුදකලා කැලෑබද ප‍්‍රදේශයන්ගෙන් ගහණ වූ කිලිනොච්චිය අවට ප‍්‍රදේශයේ අදාළ රථය සඟවා ඇතැයි සිතිය හැකි ස්ථාන නිශ්චය කිරීම ද අපහසුය.
එදා කිලිනොච්චිය අද මෙන් නොව ඉතා හුදකලා ප‍්‍රදේශයක් විය. ‘ඩෙමොග‍්‍රැෆියට’ (ජනවිකාශය) අනුව ඉතා අඩු ජනගහනයකින් එහෙත් ගොවිපළවල් රැසකින් යුත් ප‍්‍රදේශයක් විය. දිවයිනේ සෙසු අභ්‍යන්තරික ප‍්‍රදේශයන්හි පිහිටා තිබූ හුදකලා කඩමණ්ඩියක් සේ කිලිනොච්චි නගරය දිස්වුනි. එය කිලිනොච්චියට පමණක් සීමා නොවීය. ප‍්‍රධාන නගරය වූ යාපනය හැර පේදුරුතුඩුව, වෙල්වෙට්ටිතුරය, කන්කසන්තුරය, චුන්නාකම්, චාවාකච්ෙච්රි යන ස්ථානයන් සුළු නගර විය. දිවයිනේ සෙසු ප‍්‍රදේශයන්ට වඩා අඩු මෝටර් රථ සංඛ්‍යාවක් සමස්ත උතුරු ප‍්‍රදේශයේ ධාවනය විණි. රාත‍්‍රි 9 න් පසු රථ වාහන ධාවනය ඉතාම අල්ප විය. රාත‍්‍රි 12 න් පසු කාලය දිස් වූයේ ඇඳිරි නීතිය පනවා ඇති අයුරිනි. කෝවිල් පූජාව හැර වෙනත් කිසිදු උත්සවයක් උතුරේ ප‍්‍රජාව එවකට රාත‍්‍රීයේ දී පැවැත්වූයේ නැත. යම් මෝටර් රථයක් මැදියම් රැයට ආසන්න කාලයේ දී හෝ අලුයම කාලයේ දී ගමන් කරයි නම් බොහෝවිට එය හදිසි ලෙඩෙකු හෝ හොර බඩු හෝ සන්නද්ධ කල්ලියක් හෝ රැගෙන යන අවස්ථාවක් විය. කෙසේ වුවද පාපැදිය බහුතරයකගේ පොදු ප‍්‍රවාහනය විය. පාපැදි භාවිතය දිවයිනේ අන් ප‍්‍රදේශයන්ට වඩා යාපනය අර්ධද්වීපයේ අධික විය. සන්නද්ධ කල්ලි සාමාජිකයින් ද බොහෝවිට භාවිතයට ගත්තේ පාපැදියයි. මෙම පරිසර හා සංස්කෘතික තත්ත්වයන් යටතේ සන්නද්ධ කල්ලිවලට සැඟවී සිටිමින් තම ක්‍රියාකාරකම් කිරීම පහසු විය. දිනය, ඔක්තෝබර් මස 07. පැහැර ගත් ජීප් රිය පිළිබඳව සෙවීම තව දුරටත් සිදුවේ. මේ දක්වා ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙම පැහැරගැනීම ‘ප්ලොට්’ කණ්ඩායම විසින් සිදුකරන ලද බව මේජර් බලගල්ල ප‍්‍රමුඛ ගුරුනගර් හි ස්ථාපිතව ඇති බුද්ධි අංශය දැන ගනී. මෙම කාලය තුළ සිදුවූ සන්නද්ධ ක‍්‍රියාකාරකම්වලට අනුව ‘ප්ලොට්’ කල්ලිය එල්ටීටීඊ හා ටෙලෝ ඇතුළු අන් කල්ලිවලට වඩා ඉදිරියෙන් සිටී.
ඒ ඔක්තෝබර් මස පළමු සතියේ දිනකි. වේලාව, (උදෑසන) 10.00 පැයට පමණ ඇත. තොන්ඩමනාරු අනුඛණ්ඩයේ සංඥා සෙබළ තම සංඥා මැදිරියේ සිට පණිවිඩයක් රැගෙන 2/ලුතිතන් එස්එස් ගේ කාර්යාල මැදිරියට පැමිණේ. සර්, වීවීටී ඕසී (වෙල්වෙට්ටිතුරේ නිලධාරී අණදෙන) සර්ට අද ලන්ච්වලට එන්න කියලා දන්වනවා. නේවී එකේ සර්ලා වගයකුත් එනවාලු”. ලද පණිවිඩයට අනුව නිලධාරියා වෙල්වෙට්ටිතුරයට යයි. අනුඛණ්ඩ නිලධාරි නිවස්නයේ යුද - නාවුක සුහද හමුවකි. දේශීය, විදේශීය රහමෙර පමණක් නොව ‘ජැෆ්නා වීවීටී ස්පෙෂල්’ හෙවත් යාපනයේ තල්රා ද ඇත. ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, මාළු හා මස් වර්ගවලින්ද මේසය පිරී ඇත. මින් ඇතැම් දෑ සපයා ඇත්තේ කඳවුර ඉදිරි මුහුදේ නැංගුරම්ලා ඇති ‘සාගරවර්ධන’ නෞකාවෙනි. එහි අණදෙන්නා ලෙස කටයුතු කරන්නේ ලුතිතන් කමාන්ඩර් පියල් ගුණසේකරයි. මෙලෙස නාවුක හමුදා නිලධාරින් ‘පෝර්ක් සමුද්‍ර සන්ධියේ’ යුද නෞකා මුර සංචාරයේ යෙදෙන විටදී වෙල්වෙට්ටිතුරය හා මාදගල් යන යුද හමුදා කඳවුරුවලට පැමිණීම සාමාන්‍ය පුරුද්දක් විය. මින් නාවුක නිලධාරින් බොහෝමයක්, යුද හමුදා නිලධාරීන් උගත් පාසල්වල සිටි මිත‍්‍රයන් හෝ සමකාලීනයන්වීම මෙහි තිබූ විශේෂත්වය විය. ‘‘නිමල්, කොහොමද දැන් ග‍්‍රවුන්ඩ් සිටුවේෂන් එක. ඉස් ඉට් ගෙටින් බෑඩ්? (තත්ත්වය නරක අතට හැරෙනවා ද?) ‘‘ලුතිතන් කමාන්ඩර් පියල් ගුණසේකර එසේ විමසීය . ” නැහැ පියල්, එහෙම කියන්න බැහැ .. සෝෆා, දේ හෑව් නොට් ට‍්‍රයිඩ් ද ආර්මි (මේ දක්වා ඔවුන් යුද හමුදාවට යමක් කරන්න උත්සාහ කරලා නැහැ). බට් තින්ග්ස් කැන් හැපන් (නමුත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්)” යනුවෙන් පැවසූ මේජර් නිමල් රත්නායක” ඔව් ඉතින් මේ තියන සිටුවේෂන් එක නරක අතට හැරුනොත් අපිට මේ විදිහට නම් හමුවෙන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ”යි කීය.
එවකට සිටි යුද හමුදා නිලධාරිහූ හා සෙසු නිලයෝ උතුරේ රාජකාරි කිරීමට දැඩි කැමැත්තක් දැක්වූහ. කොළඹ, පනාගොඩ, දියතලාව වැනි ස්ථානයන්හි පිහිටි තම මූලස්ථාන කඳවුරුවලදී ඒකාකාරි පාලන හා පුහුණු රාජකාරි ස්වභාවයකට කොටු වී සිටි ඔවුන් හට ඉන් මිදී ෙක්‍ෂ්ත‍්‍ර රාජකාරීවල යෙදීමට අවස්ථාවක් උතුරේ සේවය කිරීම තුළින් ලබා ගැනීමට හැකිවීම ඊට ප‍්‍රධාන හේතුව විය. දුෂ්කර ප‍්‍රදේශවල වුවද ‘ඩිටෑචිමන්ට් ඩියුටීස් ‘හෙවත් ‘අනුඛණ්ඩ රාජකාරීන්’ ලෙස ඉටු කළ යුතු මෙම රාජකාරීන්, දකුණේ සේවා ස්ථානයන්හි ඉටු කළ යුතු ‘සෙරිමෝනියල් ඩියුටීස්’ හෙවත් ‘සම්මාන රාජකාරීන්’ මෙන් දරදඬු නොවීම හා ඒ සඳහා අමතර ‘දුෂ්කර දීමනාවක්’ ලබාගැනීමට හැකිවීම තවත් හේතුවකි. එසේම, එක් එක් ඒකකයන්ට ‘සම්ප‍්‍රදායානුකුලව’ අයත් වූ අනුඛණ්ඩ උතුරේ තිබුණි. මාන්කුලම් අනුඛණ්ඩය, පළමුවන සන්නාහ සන්නද්ධ බළකායට මන්නාරමේ තල්ලඩි හා තෝඩවේලි අනුඛණ්ඩ, පළමුවන කාලතුවක්කු හමුදාවට ද මුලතිව් අනුඛණ්ඩය, පළමුවන ෙක්‍ෂ්ත‍්‍ර ඉංජිනේරු බළකායටද තලේමන්නාරම හා සිලාවතුර අනුඛණ්ඩ හා යාපනය අර්ධද්වීපයේ වෙල්වෙට්ටිතුරය, තොන්ඩමනාරු, මාදගල් හා අලිමංකඩ යන අනුඛණ්ඩ පළමුවන පාබළ හමුදාව, පළමු වන සිංහ රෙජිමේන්තුව හා පළමුවන ගැමුණු හේවා බළඇණිය යන පාබල සටන් ඒකකයන්ට ද වෙන් වී තිබුණි.
වේලාව, 16.30 පැයට පමණ ඇත. ‘සුහද හමුව’ දිවා භෝජනයෙන් පසු අවසන් වේ. නාවුක නිලධාරිහූ, වෙල්වෙට්ටිතුරේ කඳවුරේ සිටි පළමුවන ගැමුණු හේවා බළඇණියේ නිලධාරින් හට ස්තූති කිරීමෙන් අනතුරුව තම නෞකාව වෙත යති. යුද හමුදා නිලධාරින් යාත‍්‍රා අංගණයේ සිට ආපසු නිලධාරි නිවස්නයට පැමිණේ. ‘‘සර්, සර්ලාට කෑම වගයක් එවලා ඉස්සරහ ගෙදරින්” නිලධාරි නිවාසයේ කටයුතු භාර කෝප‍්‍රල්වරයා කීය.” ආ, දැන් එතන ද ඔෆිසර්ස් මෙස් එක (නිලධාරි නිවස්නය) තියෙන්නේ? එහි සිටි තරුණ නිලධාරීන් වූ 2/ලුතිතන් සජිත් විජේකෝන්, 2/ලුතිතන් ලෙනාඩ් මාර්ක් සහ 2/ලුතිතන් ලක්වින් රණසිංහ දෙස බලා 2/ලුතිතන් එස්එස් සරදමට මෙන් ඇසීය.
වෙල්වෙටිටිතුරය කඳවුර ඉදිරියේ පිහිටි නිවස හා එවකට සිටි හමුදා නිලධාරීන් අතර කිට්ටු සුහදත්වයක් පැවැතිනි.
පාබල, සිංහ, හා ගැමුණු යන ඒකකයන්ට අයත් වෙල්වෙට්ටිතුරය කඳවුරේ සේවය කළ බොහෝ නිලධාරීහූ එම නිවසේ අයවලුන් හොඳින් දැන සිටියහ. එම නිවසේ යෞවන වියේ පසුවු රූමත් සහෝදරියන් දෙදෙනෙකු සිටීම ඊට ප‍්‍රධාන හේතුව විය. පසුකලෙක, ‘මීනා’ යන නමින් සිටි වැඩිමහල් සහෝදරිය විවාහ කරගැනීමට නිලධාරියෙක් සූදානමින් සිටියේය. එහෙත් 1983 ජූලි 23 එල්ටීටීඊය හමුදාවට එල්ලකළ ප‍්‍රහාරයෙන් පසුව උතුරේ සහ දිවයිනේ හටගත් විවිධ සමාජීය තත්ත්වයන් හේතුවෙන් එය වැළැක්විණි. ශ්‍රී ලංකාව හැර යුරෝපා රටකට ඔවුන්ට යාමට සිදුවීම එහි අවසන් ප‍්‍රතිඵලය විය.
දිනය, ඔක්තෝබර් 14 දාය. වේලාව, 09.30 පැයයි. 2/ලුතිතන් එස්එස් නිල කටයුත්තක් සඳහා වෙල්වෙට්ටිතුරේ කඳවුරට පැමිණේ.” ලක්වින් ඊස් ගොයින් ටු ජැෆ්නා ටුමෝරෝ (ලක්වින් හෙට යාපනය නගරයට යනවා). ඔයාට ඕනෑනම් අනිද්දා යන්න. ගිහිල්ලා මුවී එකක් එහෙම බලලා රවුමක් දාලා එන්න” එසේ කීවේ මේජර් රත්නායකය. ඒ සමගම ‘‘ටේක් ද සිවිල් ජීප් (සිවිල් ජීප් රිය ගෙනියන්න). බෙටර් හෑව් ද පිස්ටල් විත් යූ” (පිස්තෝලය ලඟ තියාගැනීම වඩාත් හොඳයි) යනුවෙන් ද උපදෙස් දුනි. එවකට, නිලධාරීහූ චීන වර්ගයේ හෝ බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලය තම පුද්ගලික අවිය ලෙස භාවිතා කළහ. ඇතැමෙක් එය ‘ස්ටලින්-සබි-මැෂින්-ගන්’ (එස්එම්ජී) තුවක්කුවට මාරු කළහ. 1983 වර්ෂයෙන් පසුව සියලු නිලධාරීන්හට ටී 56/ටී 81 /එෆ්එන්සී අවිය තම පුද්ගලික අවිය ලෙස තෝරා ගැනීමට සිදුවිය.
ඒ දක්වා තිබූ ආරක්‍ෂක තත්ත්වයට අනුව පුද්ගලික අවශ්‍යතාවන් සඳහා අවසර ඇතිව කඳවුරෙන් පිටතට යාම තහනම් නොවුවද යම් සීමාවක් පනවා තිබිණි. යුද හමුදා පාලන නියෝගවලට අනුව කඳවුරු/අනුඛණ්ඩවල සේවය කරන සියලු නිලයන්හට තම රාජකාරි වේලාවෙන් පසු කඳවුරෙන් පිටතට ගොස් වාසය කිරීම හෝ පුද්ගලික හේතුන් මත පිටතට යාම, අනුමැතිය මත සිදුවිය යුත්තකි. ‘ආරක්‍ෂාව’ හා ‘විනය’ යන කරුණු මත එය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට අදාළ ‘ගැරිසන් ඕඩර්ස්’ (ප‍්‍රාදේශීය ආරක්‍ෂක සේනා ස්ථාවර නියෝග) වලට අනුව වෙනස් විය හැක. මෙලෙස සීමාවන් පැනවීමට ඇතැම් අතීත සිදුවීම් බලපා ඇත. 1960 දශකයේදී මන්නාරම ප‍්‍රදේශයේ ‘තාලුපාඩු ’ ධීවර ගම්මානයට ගොස් සිටි සෙබළුන් දෙදෙනෙකු, මඟ රැක සිටි ධීවරයින් පිරිසක් විසින් කපා මරා, වළලන ලද සිදුවීම ඒ අතුරින් බරපතළම විය. අදාළ සිද්ධිය සැලවීමෙන් පසු කෝපයට පත් හමුදාවේ ඇතැම් පිරිස් ගම්මානයේ ගෙවල් කිහිපයකට ගිනි තැබූහ. මියගිය සෙබළුන් දෙදෙනා විසින් ඇති කර ගනු ලැබූ අනියම් කාන්තා සබඳතාවයන් සිද්ධියට මුල්විය. අදාළ සිදුවීමෙන් පසු විශේෂයෙන් නිලධාරියෙකු නොමැතිව සෙසු නිලයන් හට එවැනි කඳවුරු/අනුඛණ්ඩ වෙතින් පිටතට යාම තහනම් කෙරිණි.
දිනය, ඔක්තෝබර් 15 දාය. වේලාව, (උදෑසන) 08.30 ට පමණ ඇත. 2/ලුතිතන් ලක්වින් රණසිංහ යාපනය නගරය වෙත යාමට සූදානම්ය. රජයේ ආයතනයකින් හමුදාවට පවරාගත් ඩයිහට්සු ජීප් රිය හා එම රථයේ සිවිල් රියදුරු ඇතුළු ආරක්‍ෂක සෙබළුන් දෙදෙනෙකු මේ ගමනට ඔහු සමඟ එකතුවේ. මේ අතර ‘ඩී‘ කණ්ඩායමේ කාර්යාල භාර කෝප‍්‍රල් හේරත් හා සෙබළ සේනාධීර ලිපි කිහිපයක් සූදානම් කරමින් සිටී. ‘‘සර් මේ ලිපි ගුරුනගර් එස්.එෆ්.එච්. කියු එකට (ආරක්‍ෂක සේනා මූලස්ථානය) භාර දෙන්න තියෙන්නේ” අදාළ ලිපි 2/ලුතිතන් රණසිංහ වෙත භාරදෙමින් කෝප‍්‍රල් හේරත් කීය. වේලාව, 08.45 පැයට පමණ ඇත. රථය යාපනය නගරය බලා පිටත් වේ.
ස්ථානය, පලාලි උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානයයි. වෙනදා මෙන් 4 වන ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් ජීප් රථයක් අවශ්‍ය ගොඩනැගිලි උපකරණ කිහිපයක් මිලදී ගැනීම සඳහා යාපනය නගරයට පිටත් වේ. සැරයන්වරයෙක් හා ආරක්‍ෂක භටයෝ තිදෙනෙක් රථයේ ගමන් ගනිති. වේලාව, 10.00 පැයයි. 2/ලුතිතන් රණසිංහ ගුරුනගර් හි ආරක්‍ෂක සේනා මූලස්ථානයට ලිපි භාරදීමෙන් අනතුරුව කන්කසන්තුරය - යාපනය මාර්ගයේ කොකුවිල් දෙසට ගමන් කරමින් සිටී. මේ අතර පලාලි වෙතින් පිටත්වූ ජීප්රථය කොකුවිල් හි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් අසල නවතයි. සැරයන්වරයා ආරක්‍ෂක භටයෙක් සමගින් අලෙවිසැල තුළට යයි. රථයේ රියදුරු ලාන්ස් කෝප‍්‍රල් හේවාවසම් තම හිස සුක්කානම මත තබා ගෙන සිටී. ආරක්‍ෂක භටයෙකු වන පුරෝගාමී සෙබළ තිසේරා රථයට පිටුපසින් සිටී. ඔහුගේ 303 අවිය රථය තුළය. ඔහු දන්නා සිවිල් පුද්ගලයෙකු ඔහුට කථා කිරීමට සැරසේ. ඒ සමඟම පාපැදි දෙකකින් ගමන් ගන්නා සිව් දෙනෙක් රථය අසලට පැමිණේ. ක්‍ෂණිකව පාපැදිවලින් බැස ගත් ඔවුන් ලාන්ස් කෝප‍්‍රල් හේවාවසම් හා සෙබළ තිසේරා හට ඉතාම ආසන්නයට පැමිණ වෙඩි තබති. කෝප‍්‍රල්වරයා ක්‍ෂණයකින් මිය යයි. ප‍්‍රහාරකයින් අවිය පැහැරගෙන පලායති.
වේලාව 10.30 පැයට පමණ ඇත. 2/ලුතිතන් රණසිංහ රැගත් ජීප්රිය කොකුවිල් වෙත ළඟාවේ. ක්‍ෂණයකින් මාර්ගයේ ගමන් කරන මිනිසුන් කලබලවී රථය දෙසට දිව ඒ. 2/ලුතිතන් රණසිංහ රථයෙන් බැස සිදුවන්නේ කුමක් දැයි අසයි.”ෂූටිං .. ෂූටිං” යනුවෙන් පවසමින් අයෙක් දිව යති. මඳක් ඉදිරියට ගිය ලුතිතන්වරයා හමුදා ජීප්රිය දකී. මේ මොහොතේ තම එක් ආරක්‍ෂක භටයෙක් දිව යන සිවිල් පුද්ගලයින් දෙසට වෙඩි තැබීමට සූදානම් වේ” ඒයි, ෆයර් කරන්න එපා .. සිවිලියන්ස්ලාට වදිනවා” කෑගසා එසේ අණ කළේ 2/ලුතිතන් රණසිංහය. සිදුවී ඇත්තේ කුමක් දැයි ඔහු වටහාගනියි. වහාම තම සංඥා උපකරණයෙන් ගුරුනගර් අමතා සිද්ධිය දැනුම් දේ.
වෙඩිතැබීමට උත්සාහ කළ භටයා කෝපයෙන් රිය තුළට ඇතුළු වේ. මඳ වේලාවකින් ගුරුනගර් කඳවුරේ සිට කමාන්ඩෝ කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණේ. වේලාව 11.00 පැයට පමණ ඇත. ‘‘හෙලෝ ඕල් ස්ටේෂන්ස් ‘ඔපරේෂන් අලිබබා’ ඔන් ” යනුවෙන් සංඥා ඇමතුමක් සියලු කඳවුරුවලට ලැබේ. ස්ථානය, තොන්ඩමනාරු පාලමයි. 2/ලුතිතන් එස්එස් තම භටපිරිසත් සමග මාර්ග බාධකය ස්ථානගත කරයි. සිදුව ඇත්තේ කුමක් දැයි මේ වන විට ඔවුහු සියල්ල දති. ‘‘ආමි එකටත් ගැහුවා එහෙනම්... මදැයි ඉඳලා ඉඳලා යාපනේ පැත්තේ රවුමක් ගහන්න හිටියා. ඔහු කීය. වේලාව, 15.00 සවස පැයට පමණ ඇත.” සර් වීවීටී ජීප් එක එනවා. හරි වේගයකින් එන්නේ සෙබළෙක් කියයි. රථය නවතයි. “ලක්වින් , මොකද මෙච්චර හයියෙන් යන්නේ. මොකක්ද වුණේ” 2/ලුතිතන් එස්එස් ඇසීය.”මාර වැඩක්නේ වුණේ මචං .. පස්සේ කියන්නම්” යනුවෙන් පවසමින් 2/ලුතිතන් රණසිංහ පිටත් විය.
ස්ථානය, වෙල්වෙට්ටිතුරය කඳවුරයි. 2/ලුතිතන් රණසිංහ කඳවුරට පැමිණේ. කෝපයට පත් සෙබළා රථයෙන් බැස වෙරළ දෙසට දිව ගොස් තම අවියෙන් ‘පොකුරුඋණ්ඩ’ කිහිපයක් වෙඩි තැබීය. කඳවුර කලබල වේ. කණ්ඩායම් සැරයන් මේජර් වහා පැමිණ ”ගන්නවා මෙයාගේ අවිය .. දානවා මෙයා සෙල් එකට” යනුවෙන් අණකරයි. මේජර් රත්නායක ”ලැහැස්ති කරන්න එයාව හෙට සීඕ (අණදෙන නිලධාරී) ට ඉදිරිපත්කරන්න. යනුවෙන් උපදෙස් දේ. වේලාව 17.30 පැයයි. ”හෙලෝ ඕල් ස්ටේෂන්ස් , ස්ටැන්ඩ් ඩවුන් .ඕවර් ”යනුවෙන් සංඥාවක් ලැබේ. භටපිරිස් ඒ අනුව නැවත කඳවුරට පැමිණේ. සිදුවූයේ කුමක්දැයි අසා දැනගැනීමට 2/ලුතිතන් එස්එස්ට සිතේ. ඒ සඳහා වෙල්වෙට්ටිතුරය කඳවුරට යායුතුය. වේලාව, 18.00 පැය පසුවී ඇති බැවින් තනි රථයකින් යාම තහනම්ය. ”සාජන්ට් කරුණාපාල , කෝප‍්‍රල් මහින්දට කියන්න බෝට්ටු දෙකක් ලැහැස්ති කරන්න කියලා. දන්වන්න වීවීටීවලට අපි බෝට්ටුවෙන් එනවා කියලා ”. වෙල්වෙට්ටිතුරේ කඳවුරේදී 2/ලුතිතන් රණසිංහ තමා ලත් ඒ පළමු අත්දැකීම 2/ලුතිතන් එස්එස්හට විස්තර කළේය. දිනය, ඔක්තෝබර් 16 දාය.
සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ණශය කිරීම සඳහා 2/ලුතිතන් රණසිංහ ගුරුනගර් කඳවුර වෙත කැඳවයි. අණදෙන නිලධාරී, තමන් ඉදිරියට පමුණුවන ලැබු සෙබළා, යුද හමුදා පනතේ 129 වන වගන්තිය වන ‘සංග‍්‍රාමික නීතියට පටහැණිව කටයුතු කිරීම’ යටතේ යුද හමුදාවෙන් නෙරපයි. තුවාල වී ප‍්‍රතිකාර ලබමින් සිටි සෙබළ තිසේරා මියයයි. එල්ටිටිඊයේ සීලන් හෙවත් ‘චාර්ල්ස් ඇන්තනි’ ප‍්‍රහාරය මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබේ.
දිනය, ඔක්තෝබර් 23 දා. වේලාව (අලුයම) 02.00 පැයට පමණ ඇත. ප්ලොට් කල්ලිය කිලිනොච්චි බැංකුව මංකොල්ලකෑමට පැමිණේ. බැංකුවේ පිටුපස දොරෙන් ඇතුළු වූ ඔවුන් රුපියල් කෝටි 2.7 වටිනා රත්රන් තැන්පත් කර තිබූ සේප්පුව රැගෙන පලා යාමට සැරසේ. බැංකුව ඉදිරියේ පිහිටි පන්සලේ ආරක්‍ෂාව සඳහා මුර රාජකාරියේ යෙදී සිටි ගැමුණුහේවා බළඇණියේ ලාන්ස් කෝප‍්‍රල් විජේවීර ඔවුන්ට වෙඩි තැබීමට සූදානම් වීමේදී කොල්ලකරුවන්ගේවෙඩි පහරකින් මියයයි. එදා, එනම් ඔක්තෝබර් 01 දින ප්ලොට් කල්ලිය විසින් වටකච්චි ගොවිපළෙන් පැහැර ගනු ලැබූ ජීප්රිය, බැංකු-සේප්පුව රැගෙන යාමට ඔවුන් භාවිතාකර ඇත. අදාළ රථය අතහැර දමා තිබී පසුව හමුවිය.