ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ ඉපැරණි පුදුම 7
මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහාගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණ ලෝක පුදුම ලෙස සැලකෙයි. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය මෙවැනි පුදුම අතරට ඇතුළත් වෙයි.
ලෝකයේ ඉපැරැණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලැයිස්තු දෙකක් ඇත. ඊජිප්තුවේ මහා පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, සූස් දෙවිඳුගේ ප්‍රතිමාව, ආටිමීස් දෙවොල, හොලිකාර්නෑසස් සොහොන් ගැබ, ඇලෙස්කැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ රෝඩ්ස් යෝධ ප්‍රතිමාව පැරැණි පුදුම 7 ට අයත් වෙයි. මේවායින් අදටත් නොනැසී පවතින්නේ ඊජිප්තුවේ පිරමීඩ පමණි. නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේ දී ය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ෙෂඩ්න්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විස්ටර්ලන්තය කේන්ද්‍ර කර කොටගත් ආයතනය මගිනි. නූතන යුගයේ ලොවපුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි.
ලොව සෑම කෙනෙක්ම පාහේ මෙම ජනමත විමසුමට එක් වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුණ අතර, දුරකතන ඔස්සේ කෙනකුට කැමති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණි. ලොව පුරා මිලියන 100ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජූලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.
මොසෝලස් රජුගේ සොහොන් ගැබ එසේත් නැතිනම් ‘හොලිකාර්නෑසස් සොහොන් ගැබ’ යනුවෙන් හැඳින්වෙන්නේ පර්සියානු රාජවංශයේ මොසෝලස් රජු සිහි කිරීම වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලකි. සමාධියකි. මෙය නිර්මාණය කර අවසන් කළේ ක්‍රි.පූ. 353 සිට 350 දක්වා කාලයේ යැයි ඓතිහාසික වාර්තාවල සඳහන් වෙයි.
පුරාණයේ මෙම සොහොන් ගැබ ඉදිකර තිබුණේ ආකෙමීඩියානු අධිරාජ්‍යයේ අගනුවර ලෙස සැලකුණු හොලිකාර්නෑසස් නගරයේය. ක්‍රි.පූ. 4 වැනි සියවස වෙද්දී හොලිකාර්නෑසස් අගනුවර සුළු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට පත්වී තිබුණි. වර්තමානයේ මෙම ස්ථානය ඇත්තේ තුර්කියේ ගොඩ්රුම් නගරයේය. මොසෝලස් රජුගේ සොහොන් ගැබ පිහිටි ස්ථානයේ ඇති නටබුන් සංචාරක ආකර්ෂණයක් වී ඇත.
ක්‍රි.පූ. 353 දී, හොලිකාර්නෑසස් හි මොසෝලස් රජු මියගියේය. ඔහුගේ බිරිඳ වූයේ ඔහුගේ සොහොයුරිය කාරියාවේ දෙවැනි ආටිමීසියා රැජින ය. ඒ වනවිට මොසෝලස් රජුගේ දේහය තැන්පත් කිරීම සඳහා සොහොන් ගැබක් ඉදි කෙරෙමින් පැවැතිණි. තම සැමියාට ගෞරවයක් කිරීමට එය යොදා ගැනීම කළ හැකි යැයි ඇයට සිතුණි.
ඒ අනුව, ඇය පුරාණ ග්‍රීසිය පුරා පණිවුඩකරුවන් පිටත් කර හැරියාය. දක්ෂ ගල් වඩුවන්, මූර්ති ශිල්පීන් අවශ්‍ය බව ඇය දන්වා සිටියාය. ඇය තෝරා ගත්තේ අති දක්ෂ නිර්මාණකරුවන් පමණි. රජුගේ සොහොන් ගැබ ඉතා අලංකාර අයුරින් නිර්මාණය විය යුතු බවත්, මුදල් ප්‍රශ්නයක් නොමැති බවත් ආටිමීසියා රැජින පැවැසුවාය. ලොව මෙතෙක් දකින්න නොලැබුණු ආකාරයේ සොහොන් ගැබක් නිර්මාණය කර දෙන ලෙස ඇය ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ යැයි පැවැසෙයි.
නිර්මාණකරුවෝ පැමිණ වැඩ පටන් ගත්හ. වසර ගණනාවක් ඔවුහු නිර්මාණකරණයේ නියැළුණහ. ග්‍රීක වාස්තු විද්‍යාඥ ස්ටයිරෝස් සහ ප්‍රියෙන්ස් මූර්ති ශිල්පී පයිතියස් ඒ අතරින් කැපී පෙනෙයි. කිරිගරුඬ යොදා ගනිමින් නොයෙක් නොයෙක් ආකාරයේ මූර්ති නිර්මාණය කරන්න වූහ. සොහොන් ගැබ අද දකින්න නොලැබුණත්, ඉදි කළ මෙම ප්‍රතිමා සහ ගල් කැටයම් කිහිපයක් දකින්න ලැබේ. තුර්කි රජය ඒවා සංරක්ෂණය කර තිබේ. ග්‍රීක මූර්ති ශිල්පීන්ගේ විශිෂ්ටත්වය ඒවා හරහා මැනැවින් කැපී පෙනෙයි. ලන්ඩන් කෞතුකාගාරයේ ද මෙම සොහොන් ගැබේ ඉතිරි වූ ප්‍රතිමා සහ ගල් කැටයම් ප්‍රදර්ශනයට තබා ඇත.
සොහොන් ගැබ ඉදිකර අවසන් කිරීමට පෙර ආටිමීසියා රැජින මියගියාය. රැජින නොමැති වුවත්, බාරගත් කටයුත්ත අවසන් කිරීමට මූර්ති ශිල්පීන් සහ ඉදිකිරීම් ශිල්පීන් තීරණය කළේ යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. ඒ, මොසෝලස් රජුට ගරු කිරීමක් ලෙස පමණක් නොව, විශිෂ්ට නිර්මාණයක් බව ලොවට පෙන්වීමේ ද අරමුණ ඇතිවය.
ඔවුන්ගේ අවසන් නිර්මාණය සැබැවින්ම විස්මිත අපූරු ගොඩනැගිල්ලක් විය. ලොව වෙන කිසිම තැනක එවැනි අපූරු නිර්මාණයක් නොමැති බව ග්‍රීකයෝ පැවැසූහ. සොහොන් ගැබට ඇතුළුවීමට ගලින් කළ පඩි පෙළකි. දෙපස යෝධ සිංහ රූප පෙළකි. ගොඩනැගිල්ලේ සිවු කොනේ හෙල්ල සහ පළිහ අතින් ගත් අසරුවෝ සිවු දෙනෙකි. රජුගේ දේහය තැන්පත් කළ කොටස වට කරමින් ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ සුදු පැහැති කිරිගරුඬවලිනි. සොහොන් ගැබ අඩි 150ක් උසින් යුක්ත විය. ඉහළ වහලය මුදුණේ රජු සහ රැජින අසුන් සිවු දෙනකු යොදා ගත් අශ්ව කරත්තයකින් ගමන් කරන අයුරු දැක්වෙන ප්‍රතිමාවක් ඉදි කර තිබුණු බව පැවැසෙයි. මොසෝලස් රජුගේ සොහොන් ගැබ විනාශ වූ බව පැවැසෙන්නේ භූමි කම්පා හේතුවෙනි. 12 වැනි සහ 15 වැනි සියවසේ දී භූමි කම්පා හටගෙන සොහොන් ගැබ විනාශ වුණැයි වාර්තා වේ.
ලුසිත ජයමාන්න
විකිපීඩියා ඇසුරිනි