ත‍්‍රස්තවාදී කණ්ඩායම්, නොයෙක් නීති විරෝධී ජාවාරම්කරුවන්, සොර කල්ලි විසින් ගුවන් යානා පැහැරගත් අවස්ථා ඉතිහාසයේ සුලබ ය. කිසිවෙකු විසින් එසේ ගුවන් යානා පැහැර ගන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම, කප්පම් ලබාගැනීම හෝ වෙනත් ඉල්ලීම් මුල්කර ගනිමිනි. එවන් අවස්ථාවල ප‍්‍රාණ ඇපයට ගන්නා ගුවන් මගීන් නිරපරාදේ මරා දැමීමත් බහුලව සිදුවේ. සිවිල් වැසියන් ප‍්‍රාණ ඇපයට ගැනීමකදී රජයකට ඉතා සැලකිලිමත් වීමට සිදුවේ. මන්ද යම් හෙයකින් ඔවුන්ට කප්පම්කරුවන් ජය ගැනීමට හෝ තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වුවොත් එයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ අසරණ සිවිල් වැසියන්ටයි. එමනිසා එවැනි අවස්ථාවක මගීන් හැකි තරම් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සිදුවීම නිසා ත‍්‍රස්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කරන්නට සිදු වූ අවස්ථාද, ඉල්ලීම් කෙරෙහි දැඩිව සිටිමින් රජය හෝ අදාළ පාර්ශ්වය බිය ගැන්වීමට මගීන් මරා දමන ලද සිදුවීම්ද බහුලය. ත‍්‍රස්තවාදීන් විසින් මගීන් රැගත් ගුවන් යානා පැහැරගත් සිද්ධීන් අතර ලූෆ්ටාන්සා-මොගඩිෂු ගුවන් මංකොල්ලය සුවිශේෂ සිද්ධියකි.
ඒ, 1977 ඔක්තෝබර් 13 වැනිදායි. ලෑන්ඩ්ෂට් යනුවෙන් හඳුන්වනු ලැබූ බෝයිං 737 - 230 Adv මගී ගුවන් යානය ස්පාඤ්ඤයේ පැල්මා ඩි මැලෝකා හි සිට ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් වෙත පියාසර කරමින් තිබුණි. මහා විපතක් සිදුවීමට ඉතා ආසන්න බව එහි සිටි මගීන් 82 දෙනා ද, කාර්ය මණ්ඩලයේ 4 දෙනා ද නොදැන සිටියහ.
යානය තුළ පැවති සාමකාමී වාතාවරණය වෙනස් වෙන්නට ගත වූයේ තත්පර කිහිපයකි. ඊළඟ මොහොතේ ලෑන්ඩ්ෂට් යානය පලස්තීන ත‍්‍රස්තවාදීන් සිවු දෙනෙකු විසින් පැහැරගනු ලැබිණි. මෙම ත‍්‍රස්තවාදීහු පලස්තීනයේ Popular Front for the Liberation of Palestine (PFLP) සාමාජිකයන් වූහ. ත‍්‍රස්තවාදීන් මෙම ගුවන් යානය පැහැරගැනීමේ අරමුණ වූයේ ජර්මන් හමුදා අත්අඩංගුවේ සිටි Red Army Faction (RAF) නම් වූ ත‍්‍රස්තවාදී කණ්ඩායමක නායකයින් නිදහස් කරගැනීමයි. මෙම ගුවන් මංකොල්ලය එයට කලකට පෙර සිට ජර්මනියේ කොලෝන් නගරයේ සිදුවූ ත‍්‍රස්ත ක‍්‍රියා මාලාවක ප‍්‍රතිඵලයකි.
කොලෝන් හි භීෂණය
1977 සැප්තැම්බර් 05 වැනිදා කොලෝන් හි සිදුවූ ත‍්‍රස්තවාදී වෙඩි තැබීම් හා හිටපු එස් එස් නිලධාරියකු වූ හාන්ස් මාටින් ෂයිලර් පැහැර ගැනීම සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර්වරයා දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් ත‍්‍රස්තයන් මර්දනය කිරීමට අරමුණු කළේය. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුවෙන් අත්අඩංගුවට පත් රතු හමුදා කල්ලියේ නායකයන් බේරා ගැනීම සඳහා මෙම රතු හමුදා සාමාජිකයෝ තවදුරටත් සටන් කළහ. පැහැරගත් නිලධරයා කෙසේ හෝ බේරා ගැනීමේ අදිටනින් යුතු වුවත් ජර්මානු රජය ත‍්‍රස්තයන්ටද බුරුලක් නොදුන්නේය. එසේ, ජර්මානු ඉතිහාසයේ විශාලම ඒකාබද්ධ මෙහෙයුම ඇරඹිණි. රතු හමුදා සිරකරුවන්ට ඔවුන්ගේ නීතිඥයින් හමුවීමට පවා අවසරයක් නොතිබිණ.
ෆෙඩරල් පොලීසිය කොලෝන් අවට කිලෝමීටර් 40ක් ආවරණය වෙන පරිදි මෙහෙයුමක් දියත් කළේය. සැක කටයුතු පෙනුමක් සහිත පුද්ගලයන් පවා අත්අඩංගුවට ගැනිණි. පැහැර ගැනීමෙන් පැය 48කට පසුත් ත‍්‍රස්තයන් අල්ලා ගැනීමට හෝඩුවාවක් නොලැබිණි. එහෙත් එයින් මෙහෙයුම් අඩපණ නොවිණි. මොනිකා හෙල්බීන් නමැති දරුණු ත‍්‍රස්තවාදී සාමාජිකාවද මෙම ක‍්‍රියාවට සම්බන්ධ බවට වාර්තා ලැබිණි.
පැහැර ගැනීමට ලක්ව
සති ගණනාවක් යනතුරු ත‍්‍රස්තවාදියෝ සැඟවුම් ස්ථාන මාරු කරමින් සිරකරුවා සඟවාගෙන සිටියහ. ත‍්‍රස්තවාදීන්ට ඉක්මන් විසඳුමක් අවශ්‍ය විය. ඔවුනට තෝරාගැනීම් දෙකක් තිබිණි. එක්කෝ ජර්මානු රජය ඔවුන්ගේ ඉල්ලීම් පිළිගන්නා තුරු බලා සිටීම හෝ ලුෆ්ටාන්සා ගුවන් යානය පැහැර ගැනීමයි. ලුෆ්ටාන්සා හෙවත් ලෑන්ඩ්ෂට් මගී ගුවන් යානය ත‍්‍රස්තවාදී පැහැර ගැනීමකට ලක් වූයේ එසේය. සිවු දෙනෙකුගෙන් යුත් ත‍්‍රස්ත කල්ලිය ගුවනේදී යානයේ පාලනය සියතට ගත්හ. එම කල්ලියේ ප‍්‍රධානියා කැප්ටන් මාටිර් මහ්මූඩ්, යානය නිදහස් කරගැනීමට අවශ්‍ය නම් අත්අඩංගුවේ සිටින රතු හමුදා සාමාජිකයන් 11 දෙනෙකු නිදහස් කරන ලෙසත්, ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ද කප්පම් වශයෙන් ලබාදෙන ලෙසත් නියෝග කළේය.
පැහැර ගැනීමට ලක්වූ ගුවන් යානය දකුණට පියාසර කරවන ලෙස ත‍්‍රස්තයන්ගෙන් අණ ලැබිණි. පැහැර ගැනීමෙන් පසු දින පහක් ඔවුහු මෙසේ යුරෝපයේ, මැද පෙරදිග හා අප‍්‍රිකාවේ ගුවන් තොටුපළවලින් තෙල් පුරවා ගනිමින් ගමන් කළහ. එසේ යේමනයේ ඒඩන් ගුවන් තොටේ නැවැත්වූ අවස්ථාවේ ත‍්‍රස්ත කල්ලියේ නායකයා ගුවන් යානයේ කපිතාන් ජර්ගෙන් ෂූමාන්ට වෙඩි තබා ඝාතනය කළේය.
මේ අතර පැහැරගැනීමට ලක් වූ ගුවන් මගියෝ මහත් බියට හා පීඩනයට පත්ව සිටි අතර දැඩි උෂ්ණය නිසා කායිකවද අපහසුවට පත්ව සිටියහ. වරක් යානයේ නියමු කුටියට වැදුණු ත‍්‍රස්ත නායකයා ගුවන් නියමුවන් තිදෙනා පසුදින රාත‍්‍රියේ මරණ බවට තර්ජනය කළේය. ඩයනා මුල් නමැති ගුවන් මගියා ඉදිරි දොර වෙත කැඳවාගෙන ගිය ත‍්‍රස්තයෝ ඈට තුවක්කුවක් එල්ල කරගෙන ප‍්‍රධාන මෙහෙයුම් මැදිරිය අමතන්නට වූහ.
....මේ ඉන්නේ ඩයනා. වයස අවුරුදු 19යි. 10 වෙන විට යානයට ඉන්ධන පුරවා නොතිබුණොත් අපි ඇයට වෙඩි තියනවා.....
එතැන් සිට ගණනය කිරීම ඇරඹිණි. මෙම අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් සෙවීම ඉතා අසීරු තත්ත්වයකට පත්වෙමින් තිබිණි.
යානය තුළ පැවති සාමකාමී වාතාවරණය වෙනස් වෙන්නට ගත වූයේ තත්පර කිහිපයකි. ඊළඟ මොහොතේ ලෑන්ඩ්ෂට් යානය පලස්තීන ත‍්‍රස්තවාදීන් සිවු දෙනෙකු විසින් පැහැරගනු ලැබිණි. මෙම ත‍්‍රස්තවාදීහු පලස්තීනයේ Popular Front for the Liberation of Palestine (PFLP) සාමාජිකයන් වූහ. ත‍්‍රස්තවාදීන් මෙම ගුවන් යානය පැහැරගැනීමේ අරමුණ වූයේ ජර්මන් හමුදා අත්අඩංගුවේ සිටි Red Army Faction (RAF) නම් වූ ත‍්‍රස්තවාදී කණ්ඩායමක නායකයින් නිදහස් කරගැනීමයි. මෙම ගුවන් කොල්ලය එයට කලකට පෙර සිට ජර්මනියේ කොලෝන් නගරයේ සිදුවූ ත‍්‍රස්ත ක‍්‍රියා මාලාවක ප‍්‍රතිඵලයකි.
මැජික් ෆයර් මෙහෙයුම
සැබෑ අන්තරායකාරී තත්ත්වයනට මුහුණ දී මෙහෙයුම් කිරීමට වසර පහක විශේෂ පුහුණුවක් ලබාදී සිටි ජී.එස්. ජී 9 විශේෂ මෙහෙයුම් කණ්ඩායම අති විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුමට සූදානම් විය. ඔක්තෝබර් 17 වැනිදා වන විට යානය සෝමාලියාවේ මොගඩිෂු ගුවන් තොටුපළෙහි නවතා තිබිණි. ඉල්ලීම් ව්‍යර්ථ වූ තැන ප්ලාස්ටික් පිපිරුම් ද්‍රව්‍යවලින් යානය පුපුරවා හරින බවත්, මගීන් මත්පැන්වලින් නහවා ගින්න ඇවිළවීමට ගන්නා බවත් කියා ත‍්‍රස්ත නායකයා තර්ජනය කර සිටියේය.
අල්රිච් වෙගනර්, ජී. එස්. ජී 9 කොමාන්ඩෝ විශේෂ මෙහෙයුම් කණ්ඩායමේ නායකයා පවසන පරිදි පැහැර ගැනීමට ලක්වූවන් සියලුදෙනා ගලවා ගත හැකි වෙතැයි ඔවුන් බලාපොරොත්තු තබාගෙන සිටියේ නැත. එමෙන්ම කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ හෝ ජීවිත ද නැති වෙන්නට ඉඩ තිබූ බව ඔවුහු දැන සිටියහ.
ජයත් පරාජයත් අතර අවිනිශ්චිතව දෝලනය වෙමින් පැවති ඒ බිහිසුණු අවස්ථාව ළඟාවෙමින් තිබිණි. මධ්‍යම රාත‍්‍රිය උදාවීමට තවත් ඉතිරිව තිබුණේ සුළු වේලාවකි.
යානය තුළ සිටි මගියෝ ත‍්‍රස්තයන් හා සිය ජීවිත කෙරෙහි ඇති වූ බියෙන් වෙළී, ඔවුන්ගේ ජීවිතයේ දිගුම බලා සිටීමෙහි යෙදී සිටියහ.
මේ අතර කොමාන්ඩෝ භටයින් 30 දෙනෙකු මැජික් ෆයර් යනුවෙන් නම් තබා තිබුණු මෙහෙයුම සඳහා සූදානම්වී අඳුරු වැටීමෙන් පසුව හොර රහසේ ගුවන් යානය වටලන්නට වූහ. එය මෙම විශේෂ ඒකකයේ පළමු මෙහෙයුම වීමත් විශේෂත්වයක් විය.
ඒ අවස්ථාවේ යානයේ විදුලි පහන් නිවා දමා තිබිණි. ජර්මානු නිලධාරීන් උපක‍්‍රමශීලීව ත‍්‍රස්තයන්ගෙන් කාලය ලබා ගැනීමට කටයුතු කරන අතරවාරයේ කොමාන්ඩෝ සෙබළු වැලි කඳුවලට මුවා වෙමින් ගොස් යානයේ පිටුපසින් එක වර යානයට ඇතුළු වූහ. තමා වටලනු ලැබ තිබෙන බව නොදැන සිටි ත‍්‍රස්ත නායකයා මේ අවස්ථාවේ සිටියේ නියමු කුටියේ සන්නිවේදන කටයුත්තක නිරත වෙමිනි. ඔහුගේ අවධානය ගැනීම පිණිස එස් ඒ එස් භටයෝ යානයේ ඉදිරිපසට පැමිණ පෙට‍්‍රල් බෝම්බ දමන්නට වූහ.
ගත වූයේ තත්පරයකි. .....ඔළු පහත් කරන්න...පහත් කරන්න....ඌරෝ කොහේද?........”
ජර්මානු බසින් කෑ ගසමින් කොමාන්ඩෝ සෙබළු යානය දෙවනත් කරන්නට වූහ. යානය එකම යුද පිටියක් බඳු විය. ජී. එස්. ජී 9 විශේෂ මෙහෙයුම් කණ්ඩායම හා ත‍්‍රස්තයන් අතර විනාඩි හතක් තිස්සේ වෙඩි හුවමාරු විය. ත‍්‍රස්තයන් දෙදෙනෙකු එතැනදීම මිය ගිය අතර එක් ත‍්‍රස්තවාදියෙක් අධික ලේ වහනය නිසා මඳ වේලාවකට පසුව මරණයට පත් විය. අනෙක් තස්තවාදියා ජීවතුන් අතර සිටියද දරුණු ලෙස තුවාල වී සිටියේය. මගීන් හා කාර්ය මණ්ඩලයේ සිවු දෙනාද ඇතුළුව යානයේ සිටි 86 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනිණි. ඊළඟ තත්පරයේ කුමක් වේවිදැයි අවිනිශ්චිත බවින් හා ජීවිත බියෙන් ඇළලී සිටි ගුවන් මගීහු සැනසුම් සුසුම් හෙළුෑහ.
ගුවන් මංකොල්ලකෑම් පිළිබඳ ඉතිහාසයේ මගීන් කිසිවෙකුට හෝ ගලවා ගැනිීමේ කණ්ඩායමට හානියක් නොවී විසඳා ගත් අර්බුදකාරී අවස්ථාවක් ලෙස මෙය ලෝක ඉතිහාසයට එක් වේ.
තමාට කිසිදු ගැලවීමක් නැතැයි තිර වශයෙන් දැනගත් රතු හමුදා සාමාජිකයෝ තිදෙනා වෙඩි තබාගෙන සිය දිවි නසාගත්හ. එහෙත් ජර්මානු හමුදාව සිය සගයන්ට වෙඩි තබා මරා දැමූ බව විශ්වාස කළ ත‍්‍රස්තයෝ පළිගැනීමක් වශයෙන් සති පහක් අත් අඩංගුවේ තබාගෙන සිටි පැහැරගත් එස් එස් නිලධාරියාටද වෙඩි තබා ඝාතනය කළහ. ඔහුගේ සිරුර කොළ පැහැ අවුඩි රථයක ඩිකියට ඔබා මහමග දමා ගොස් තිබියදී පොලිසියට හමුවිය. එක් පුද්ගලයකු නිසා මුළු රටක්ම තර්ජනයට ලක්වීම ජර්මනිය විසින් වළකා ගන්නා ලදී.
රතු හමුදා කල්ලිය එම වසරේ මුල් භාගයේද නීතිපති වරයා හා තවත් කිහිප දෙනෙකුව ඝාතනය කර තිබිණි. ලෑන්ඩ්ෂට් ගුවන් යානය පැහැර ගැනීමේ සිද්ධිය, එස් එස් නිලධාරියා පැහැර ගැනීම ඇතුළු මෙම සිදුවීම් මාලාව පසු කලෙක German Autumn වශයෙන් හැඳින්විණ.
යානය කෞතුක වස්තුවක් වෙයි
පැහැර ගනු ලැබූ ලෑන්ඩ්ෂට් ගුවන් යානය දශකයකට ආසන්න කාලයක් මළකඩ කමින් දිරා යමින් තිබී පසුගිය දිනක නැවත ජර්මනියට ගෙන එන ලදී. ඒ, ANTANOVAN 124 රුසියානු ගුවන් යානාවක් මගින් කොටස් වශයෙනි. පැහැර ගැනීමට ලක්වූ යානයේ සිටි මගියකු වූ ඩයනා මුල් හා ගුවන් නියමුවෙකුද ජර්මානු ගුවන් කෞතුකාගාරයක තැන්පත් කිරීමට එය ගෙන ආ අවස්ථාවට සහභාගී වූහ. මෙම අවස්ථාව නැරඹීමට විශාල පිරිසක් රැස්ව සිටියහ.
පවුම් 20,000කට ගුවන් යානය මිලදී ගත් ජර්මානු විදේශ ඇමැති සිග්මා ගාබ්‍රියෙල් පවසන්නේ ලෑන්ඩ්ෂට් ගුවන් යානය ත‍්‍රස්තවාදය හා බිය ප‍්‍රතික්ෂේප කරන නිදහස් සමාජයක සජීවී සංකේතයක් බවය. පැහැර ගත් යානයේ සිටි, මොගඩිෂු හි සුරදූතිය වශයෙන් හඳුන්වනු ලබන ගුවන් සේවිකාවක වූ ගාබ්‍රියෙල් වොන් ලුට්සාවු පවසන්නේද මෙම ගුවන් යානය කැලයේ දිරන්නට හැර තැබීම නුසුදුසු බවය.
අලුත් වැඩියා කෙරෙනු ලබන යානය ඉන්පසු ජර්මානු ගුවන් යානා කෞතුකාගාරයක ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.
නිසංසලා දිසානායක
අන්තර්ජාලය ඇසුරිනි.