රට හෙල්ලු සිදුවීමක මං සලකුණු දිගේ මෙවර අප ගියේ එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ සමයේ මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයාව සිටි ගෝපාල් යෝගේස්වරරාසා හෙවත් සීලන් සොයාගෙනය.
සීලන් නමැති මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයා පදිංචිව සිටින්නේ ත්‍රිකුණාමලය මොරවැව ඩී එක දකුණු කොටසේය.
අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය යුධෝපකරණ තොග පිටින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන ඒමට පමණක් නොව ගාල්ල ත්‍රිකුණාමලය හා කොළඹ වරායවල්වලට ප්‍රහාරඑල්ල කිරීමට පවා නායකත්වය දුන් ගෝපාල් යෝගේස්වරරාසා හෙවත් සීලන් සෘජුවම දායකත්වය ලබාදී ඇති මුහුදු කොටි නායකයෙකි.
සීලන් එල්ටීටිඊයේ ලුතිනන් කර්නල්වරයෙකි.
ඔහුගේ සිරුර පුරාම පාහේ සුවවූ තුවාල කැලල්ය.
නාවික හමුදාව සමග ඇති වූ ගැටුම්වලදී ඇති වූ සුවවූ තුවාල කැලැල්ය.
මුහුදු කොටි සංවිධානයේ මුහුදු කොටි බළකායේ නියෝජ්‍ය නායකයාව සිටි යෝගේස්වරරාසා හෙවත් සීලන් මේ වනවිට පුනරුත්ථාපනය ලබා යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වන්නේ කිරි ගවයන් ඇති කිරීමෙන් හා ගොවිතැන් කිරීමෙනි.
විවාහ දිවියට ඇතුළත් වී වසර 1 1/2ක දියණියකගේද දරු සුරතල් බලන මුහුදු කොටි බලකායේ හිටපු නියෝජ්‍ය නායකයා සිය බිරිඳ හා දරු පැටියාද සමග යහපත් පවුල් ජීවිතයක් ගත කරයි.
වවුනියාවේ සරණාගත කඳවුරක සිටියදී මුහුදු කොටි බලකායේ හිටපු නියෝජ්‍ය නායකයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මධ්‍යම පළාත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ එවකට ස්ථානාධිපති තනතුර දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.එච්. බෝවල මහතා ප්‍රධාන පොලිස් සැරයන් එස්.බී. තෙන්නකෝන් (32520) සහ පොලිස් සැරයන් ඩී.ඩී.එස්. නන්දසිරි යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.
බෝවල මහතා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ලබා සිටින අතර සැරයන් තෙන්නකෝන් මහතා මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ පරීක්ෂක අංශයේද සැරයන් නන්දසිරි මහතා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේද රාජකාරියේ නිරතව සිටිති.
බෝවල මහතා මෙන්ම සැරයන් තෙන්නකෝන් සහ සැරයන් නන්දසිරි යන මහත්වරුද මධ්‍යම පළාතේ එවකට පැවැති එල්ටීටීඊ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට සුවිශේෂ දායකත්වයක් සපයා ඇති දක්ෂ නිලධාරීන් දෙදෙනෙකි.
මුහුදු කොටි බළකායේ හිටපු නියෝජ්‍ය නායකයා මුණ ගැසීමට ත්‍රීකුණාමලය මොරවැව ප්‍රදේශයේ පිහිටි නිවස සොයා පසුගිය සතියේ අප ගියේ එදා ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන පරීක්ෂණ මෙහෙයවූ කේ.එම්.එච්. බෝවල මහතාද සමගය.
හිටපු මුහුදු කොටි නියෝජ්‍ය නායකයා සොයා ගිය මේ ගමනේ අපේ මාතලී වූයේ කපිලය.
අප එන බව කල්තියා දැන සිටි ඔහු ඔහුගේ පොඩි එකාද වඩාගෙන මග බලාගෙන සිටියේය.
අපේ වෑන් එක නිවස ඉදිරිපිට පාරේ නවත්වනවාත් එක්කම දුවගෙන ආ ඔහු හිටපු මුහුදු කොටි නියෝජ්‍ය නායකයා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතා වැළඳගත්තේ ‘‘මාව හොඳ මිනිහෙක් කළේ මේ සර් තමා’’ යැයි පවසමිනි.
අද මෙතන නොසිටියත් සාජන් නන්දසිරි මහත්තයත් සාජන් තෙන්නකෝන් මහත්තයත් මගේ ජීවිතය යහමගට ගන්න මග පෙන්වූවා යැයි ද ඔහු කියා සිටියේ ඒ දෙදෙනාම කෘතවේදීව සිහිපත් කරමිනි.
සීලන්ට හොඳට සිංහල කතා කිරීමට හැකියාව ඇත්තේ ඔහු මොරවැව සිංහල ගම්මානයක උගත් අයකු වන නිසාය.
නිවස ඉදිරිපිට තිබූ ගල් බංකු මත වාඩිවී අප හෝරා කිහිපයක් හිටපු නියෝජ්‍ය කොටි නායකයා සමග සුහද කතාබහක නිරත වුණෙමු.
මුලතිව් වෙල්ලමුල්ලිවෛයික්කාල් ප්‍රදේශයේ සඟවා තිබූ මරාගෙන මැරෙන අධිවේගී බෝට්ටු සැබ්මැරින් අධික බල පුපුරණ ද්‍රව්‍ය සහ අධිබලැති ක්ලේමෝ බෝම්බ තොග ගැන අපි මෙයාගෙන් ප්‍රශ්න කරලා යුද්ධය අවසන්වුනාට පස්සේ සොයා ගත්තා යැයි කතාබහ ආරම්භ කිරීමට මත්තෙන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතා පවසද්දී හිටපු නියෝජ්‍ය මුහුදු කොටි නායකයා හිස වනා ඒ බව සනාථ කළා පමණක් නොව ඔහු කළ දේවල් අකුරක් නෑර කියන්න ඉදිරිපත් විය.
ඒ වෙන කිසිවක් නිසා නොව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා හා ඔහු අතර තිබූ අන්‍යොන්‍ය බැඳීම නිසාය.
සීලන් කියන්නේ ඔහුට එල්ටීටීඊ යට බැඳුණට පස්සේ ලබාදුන් නමය. මෙතැන් සිට ඔහුව හඳුන්වන්නේ ඒ නමින්ය.
එල්ටීටීඊ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග ද කිට්ටු ඇසුරක් තිබූ සීලන් ප්‍රභාකරන් ගැන මෙතෙක් හෙළි නොවු රහස් ද මේ සුහද කතාබහේදී හෙළි කිරීමට ද අමතක කළේ නැත.
හොඳයි අපි ඔබගේ පවුලේ විස්තර හා එල්ටීටීඊයට බැඳුණු තැන ඉඳලම මේ කතාබහ ආරම්භ කරමු යැයි මම ඔහුට යෝජනා කළෙමි.
මගේ උපන්ගම මොරවැව. මුලින්ම ගියේ ගමේම පාසලකට. හතරවැනි පන්තිය වෙනකම් ගමේ ඉස්කෝලෙට ගිහින් ඊට පස්සේ කිලිනොච්චියේ උදයාර්කට්ටු කියන ගමේ ඉස්කෝලෙකට ගියා. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තිබුණ. 9 වැනි පන්තියේ ඉගෙන ගන්න කාලයේ මම එල්ටීටීඊයට බැදුණා.
ගොඩක් අය එල්ටීටිඊයට බැඳෙන්න යන නිසා මමත් ඉස්කෝලේ ගමන නවත්වා එල්ටීටීඊයට බැඳෙන්න ගියා. එතකොට මගේ වයස අවුරුදු 16ක්. පවුලේ සේරම අටදෙනයි. මහ පවුලේ බාලයා අයියලා දෙන්නෙක් ඒ ෙවනකොටත් එල්ටීටීඊයට බැඳිලා. එක් අයියා කෙනෙක් ප්‍රභාකරන්ගේ රාධා බළකායේ සේවය කළා. ඔහු දැන් පුනරුත්ථාපනය වෙලා මුලතිව් වල ඉන්නවා.
එල්ටීටිඊයට බැඳිලා හිටිය අනිත් අයියා ත්‍රිකුණාමලයේදී මැරුම් කෑවා. තවත් අයියලා දෙන්නෙක් අසනීප වෙලා මිය ගියා.
එල්ටීටීඊ ළමා සොල්දාදුවෙක් වශයෙන් මල්ලාවි තෙන්නයාන්කුලම් බේස් එකේ මාස 03 ක පුහුණුවක් ලැබුණා. මාව 1242 අංකය යටතේ ලියාදිංචි කරගෙන සීලන් කියන නම එල්ටීටීඊයෙන් ලබා දුන්නා. මම එල්ටීටීඊයට බැඳුණේ 1990 වසරේ. ඒ අවුරුද්දේම මම මුහුදු කොටි බලකායට බැඳුණා. මාස තුනක පුහුණුවකින් පස්සේ මම මුලතිව් චලෙයි කියන මුහුදු කොටි බලකායේ ප්‍රධාන බේස් එකට දැම්මා.
පිටරටවල ඉඳලා අපේ සංවිධානයට මුහුදු මාර්ග ඔස්සේ අවි අායුධ, බෙහෙත් වර්ග විතරක් නෙමේ රෙදි පිලි පවා තොග පිටින් ගෙනාවා. ජාත්‍යන්තර මුහුදු සීමාවට අපේ ලොකු නැව්වලින් ගෙන එන බඩු අරගෙන එන්න අපි කුඩා බෝට්ටුවලින් යනවා.
නැව් වලින් ගෙන එන සේරම දේවල් චලේ මුහුදු කොටි බේස් එකට ගෙන ඒම තමා අපි කළේ. අපිට අවශ්‍ය අවි ආයුද බෝම්බ පුපුරණ ද්‍රව්‍ය අැතුළු බඩු මුට්ටු ගෙනාවේ අපේම සංවිධානය සතුව තිබුණ නැව්වලින්.
සීලන් ඉන්දුනීසියාවට ගොස් පුහුණුවීම් ලැබූ ආකාරය ගැන මෙන්ම එරටේ සිට ජර්මනියට ගොස් එල්ටීටීඊයට නැවක් මිලදී ගත් ආකාරය ගැනද තොරතුරු අපිත් එක්ක කීමට අමතක කළේ නැත.
මගේ දක්ෂතාවයන් හඳුනා ගත්ත මුහුදු කොටි නායක සුසෙයි සීමන් කෙනෙක් විදිහට ඉගෙන ගෙන පුහුණුවීම් ලබාගන්න ඉන්දුනීසියාවට යැව්වා. එ් ගමනත් ගියේ මුහුදු මාර්ග ඔස්සේ. වසර පහක් මම ඉන්දුනීසියාවේ ගත කළා. ඉන්දුනීසියාවේ ඉන්න කාලයේ මම සුසෙයිගෙන් ලැබුණු නියෝගයක් අනුව පර්මනියට ගියා. එල්ටීටීඊයට නැවක් සල්ලිවලට ගන්න.
ප්ලයිට් එකේ තමා ජර්මනියට ගියේ. ඒ රටේදී මට කේපීගේ පෞද්ගලික සහකාර විදියට වැඩ කරන එල්ටීටීඊ නායකයා මුණ ගැසුණා. ඔහුගේ සැබෑ නම මම දන්නේ නැහැ. මාත් එක්ක නැව ගේන්න ඉන්දුනීසියාවේ ඉඳලා තවත් එල්ටීටීඊ නියෝජිතයෝ කට්ටියක් ගියා.
කේ.පී. අයියා නැමත්තා තමා නැව මිලදී ගැනීමේ කටයුතු සේරම කරලා තිබුණා. ඒ නැව අපේ සංවිධානයට මිලදී ගත්තේ අපි ආයුධ පුපුරණ ද්‍රව්‍ය බෝම්බ ප්‍රවාහනය කරන්නයි. ඒ නැව අරගෙන අපි ජාත්‍යන්තර මුහුදු සීමාවට යාත්‍රා කරගෙන ආවා. මම ඒ නැවේ තුන්වැනිය විදියට තමා හිටියේ.
ඒ නැවේ මම වැඩ කර කර ඉන්නකොට මුහුදු කොටි නායක සුසෙයිගෙන් හදිසි කැඳවීමක් ලැබුණා වන්නියට එන්න කියා. ගාල්ල වරායට ප්‍රහාරයක් එල්ල කරන්න මේ අය සැලසුම් කරලා තිබෙනවා. ඒ ප්‍රහාරයට නායකත්වය දෙන්න තියෙන්නේ සීලන්ටයි කියා තමා මට වහාම වන්නියට එන්න කියා නියෝගය ලැබුණේ. ඒ නියෝගය ලැබුණට පස්සේ අවුරුදු පහකින් පස්සේ මම ආයෙත් වන්නියට ආවා.
වන්නියට ආවට පස්සේ මොකද වුණේ. අපි ඒ කතාවක් සීලන්ගෙන් අසා දැන ගනිමු.
සුසෙයිගේ උපදෙස් අනුව මම හම්බන්තොට මිරිජ්ජවිල කියන ගමට ආවා. බන්දුල කියන කෙනාගේ නිවසේ තමා මම නවාතැන් ගත්තේ. බන්දුලගේ අම්මා දෙමළ තාත්තා සිංහල. ඒ කාලයේ අම්පාර අක්කරෙයිපත්තු ප්‍රාදේශීය දේශපාලන අංශ නායකයා වශයෙන් බබා කියන නමකින් හැඳින්වෙන කෙනෙක් හිටියා. ඔහු තමා බන්දුල කියන කෙනා මට හඳුන්වා දුන්නේ.
ඔහුට අපි ලොරියක් අරන් දුන්නා. අජිත් කියා ඒ ගමේම හිටිය කෙනෙක් ද අපිට ගාල්ල වරායට ගහන්න උදව් කළා. එයා අපිට කළ උදව්වලට ට්‍රෝලර් යාත්‍රාවක් හා කුඩා ධීවර බෝට්ටුවක් අරගෙන දුන්නා. ඒ දෙන්නාම පස්සේ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ප්‍රහාරයට අවශ්‍ය සියලුම තොරතුරු රැස් කරගෙන මම මිරිජ්ජවිල ඉඳලා අක්කරෙයිපත්තුව බලා පිටත්ව ගියා.
සුසෙයිගේ හා පොට්ටු අම්මාගේ නියෝග අනුව තමා මම ගාලු වරායේ ප්‍රහාරය සැලුසුම් කළේ. චාල්ස් කියන කොටි නායකයත් මේ ප්‍රහාරයට අවශ්‍ය උපදෙස් ලබාදුන් කෙනෙක් කටුනායක ප්‍රහාරයට නායකත්වය ලබා දුන් මොහු මන්නාරම කොටි අඩවියේදී හමුදාව අටවා තිබූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් පසුකාලයක මියගියා.
ගාල්ල වරායට ප්‍රහාර එල්ල කිරීමට මම අක්කරෙයිපත්තුවේ ඉඳලා බෝට්ටුවකින් ආවා. මේ සමග තව බෝට්ටු 4ක් ආවා. ඒ එක බෝට්ටුවක දෙන්නා බැගින් ඒවායේ මරාගෙන මැරෙන කළු කොටි 8 දෙනෙක් හිටියා. මමත් ඒ එක බෝට්ටුවක ආවා. මම තමා ඒ කණ්ඩායමට නායකත්වය දුන්නේ. බෝට්ටු හතරේම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යොදා තිබුණා. කළු කොටි හතර දෙනා ළඟ ආර්.පී.ජී. එල්.එම්.ජී. වාගේ අවි තිබුණා. ඔවුන් අට දෙනාම මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගෙන හිටියා.
ප්‍රහාරයට අවශ්‍ය සියලුම උපදෙස් මරාගෙන මැරෙන කළු කොටි අට දෙනාට මම අවසාන මොහොතේ ලබා දුන්නා. ගාලු වරාය කිට්ටුවට ආවාට පස්සේ මම බෝට්ටුවෙන් මුහුදට පැනලා ගොඩබිමට පිහිනාගෙන ආවා. බන්දුලගේ ලොරිය මුහුදු වෙරළ අයිනට ඇවිත් තිබුණා. මම ඒකේ නැගලා යන්න ගියා.
ගාලු වරායේ නැංගුරම්ලා තිබුණ නාවික හමුදාවට අයිති පරාක්‍රම නැවට හානි සිදුවී තිබුණා කියාත් ඩෝරා එකකට හා මෝටර් ජෙට් එකක් ප්‍රහාරයෙන් විනාශ වුණා කියලා පසුව දැන ගත්තා. ප්‍රහාරයට ගිය කළු කොටි 8 දෙනාම නාවික හමුදාවේ ප්‍රහාර වලින් මියගියා.
සැලසුම් කරගත් ආකාරයට ප්‍රහාරය සාර්ථක කර ගන්න බැරිව ගියා. මම පෙන්වූ මාර්ගය කුමන හේතුවක් නිසා හෝ වැරදී ගොස් වෙනත් මාර්ගයකින් ගොස් ප්‍රහාරය එල්ල කිරීමට යාම නිසා තමා බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රහාරය සාර්ථක කර ගන්න බැරිව ගියේ.
මට අද වගේම මතකයි අපි ගාලු වරායට ප්‍රහාරය එල්ල කළේ 2006 වසරේ ඔක්තෝබර් මාසයේ 16 වැනිදා.
ගාලුවරායට අමතරව 2007 වසරේ ජනවාරි මාසයේ 27 වැනිදා කොළඹ වරායට හා 2008 මැයි මාසයේ 10 වැනිදා ත්‍රිකුණාමලය වරායට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් සකස් කර නායකත්වය දුන්නේ මමයි.
මන්නාරම දිස්ත්‍රික්කය බාර මුහුදු කොටි නායකයා වශයෙන් සීලන් මුහුදු කොටි නායක සුසෙයි විසින් පත් කර ඇත්තේ ගාලු වරාය ප්‍රහාරයෙන් පසුවය.
මන්නාරම දිස්ත්‍රික්කය බාර මුහුදු කොටි නායකයා වශයෙන් සීලන් 2006 වසරේ සිට 2008 වසර වනතෙක්ම කටයුතු කර තිබේ.
මන්නාරම මුහුදු කොටි නායකයා වශයෙන් සීලන් කළ කී දේවල් ගැන අපිත් එක්ක ෙතාරතුරු හෙළිකර සිටියේ මෙසේය.
එල්ටීටීඊ එකට අධි බලැති පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ තොග වශයෙන් ඒකාලේ වැඩිපුරම ගෙනාවේ උතුරු කොරියාවෙන්. ඒ රටේ නායකයන් මේ බව දන්නේ නැහැ. වැඩිපුරම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගෙනාවේ උතුරු කොරියාවෙන් තමා. ඉතිං ජාත්‍යන්තර මුහුදු සීමාවට පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ වාගේ දේවල් ගෙනාවාම අපි ගිහින් සිලාවතුර මුහුදු කොටි බේස් එකට අරගෙන එනවා.
මෙහෙමයි ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර තිබෙන නැව් වලින් ගෙනා ඒවා ට්‍රෝලර් යාත්‍රාවලට පටවාගෙන එනවා. ධීවරයින් විදිහට වෙස්වලාගෙන ගිහින් තමා අවි ආයුධ බෝට්ටුවල පටවාගෙන එන්නේ. සිලාවතුර මේ බේස් එකේ ගබඩාකර තියාගෙන ඉඳලා කුඩා බෝට්ටු වලින් වෙඩිතලතිව් කොටි කඳවුරට අරගෙන යනවා. ඒ කඳවුරේ ඉඳලා අවශ්‍යතා අනුව කොටි කඳවුරු වලට ගෙනියනවා.
මේ විදිහට උතුරු කොරියාවෙන් අපිට අවශ්‍ය කරන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ තොග පිටින් වරින්වර අරගෙන ආවා. උතුරු කොරියාවේ හාබර් එකකින් තමා නැව්වලට පටවන්නේ. ඒවා අපිට අයත් නැව්. මේකට කියන්නේ හොරා මාර්කට් ක්‍රමය කියලයි. එරටේ ආණ්ඩුවට හොරා තමා මේවා අරගෙන ආවේ. නාවික හමුදාවට අහුවෙලා අපේ ආයුධ පටවාගෙන එන යාත්‍රා බර ගාණක් විනාශ වුණා.
නාවික හමුදාවෙන් බේරිලා මේවා ගේන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.
වන්නි මානුෂිය මෙහෙයුම පටන් ගත්තාට පස්සේ සිලාවතුර හා වෙඩිතලතිව් මුහුදු කොටි බලකායේ කඳවුරු සංකීර්ණයක් අපට අහිමිවුනා. අපි වන්නියට පැන ගත්තා. මුහුදු මාර්ග ඔස්සේ තමා අපි වන්නියට පලා ගියේ. වන්නියට පලා ගියාට පස්සේ මම මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ගියා. මම ඉන්දියාවට ගියේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගේන්න. අපිට ඒ වෙනකොට පුපුරණ ද්‍රව්‍ය වල ලොකු හිඟයක් තිබුණා. එ්නිසා තමා ඒවා ගේන්න මාව ඉන්දියාවට යැව්වේ.
වන්නි මානුෂිය මෙහෙයුමේ භට කණ්ඩායම් අපේ බල ප්‍රදේශ අල්ලා ගනිමින් වේගයෙන් ඉදිරියට එන්න පටන් අරගෙන තිබුණේ. අපේ අය බුරුතු පිටින් මැරුණා. ඒවගේම බරපතළ තුවාල ලැබුවා. නාවික හමුදාව අපේ සැපයුම් මාර්ග එහෙම්පිටින්ම අවහිර කර තිබුණා. ඒ වෙනකොට මුහුදේ අපි එතෙක් කාලයක් පතුරුවාගෙන සිටිය බලය හොඳටම බිඳ වැටිලා තිබුණේ. ඒ කාලයේ නාවික හමුදාපතිවරයා වශයෙන් හිටියේ වසන්ත කරන්නාගොඩ කියලා මහත්තයෙක්.
කරන්නාගොඩ මහත්තයා එයාගේ භට කන්ඩායම් මෙහෙයවමින් මුහුදු කොටි බළකායේ මෙහෙයුම් කටයුතු ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම වාගේ අඩපණ කරලා තිබුණා. අවි ආයුධ ගෙන එමින් අපේ නැව් හා විශාල ප්‍රමාණයේ යාත්‍රා ගොඩක් නාවික හමුදාව විනාශ කරලා දැම්මා. කරන්නාගොඩ අපිට ලොකු හිසරදයක් බව සුසෙයි මාත් එක්ක නිතරම කිව්ව දෙයක්. සුසෙයි එහෙම කිව්වේ කරන්නාගොඩගේ නාවික හමුදාව අපේ බලය අඩපන කර දැමීම නිසයි. ඒ වෙනකොට නාවික හමුදාව එක්ක හැප්පෙන්න තරම් හැකියාවක් කොහොමත් තිබුණේ නැහැ.
මුහුදු කොටි බළකායේ නියෝජ්‍ය නායකයාව සිටි සීලන් පවසන ආකාරයට ඊලාම් සිහින රාජ්‍යයේ අගනගරය ලෙස එල්ටීටීඊය සලකාගෙන සිටි කිලිනොච්චියේ යාත්‍රාව අහිමි වුදා හා මුහුදු සීමාවේ කොටි ක්‍රියාකාරකම් අඩපන වූ දා පටන් වේලුපිල්ලේ ප්‍රභාකරන් අපි දැන් පරාජය වෙලා ඉවරයි යැයි කියා ඇත.
ප්‍රභාකරන් පැවසූ හා මෙතෙක් හෙළි නොවූ කතා කිහිපයක් ගැන සීලන් කියන කතා ඊළඟ සතියේ කියවමු.
සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රී