මාලදිවයින ඇල්ලූ ප්ලොට් කල්ලියම ඉන්දීය හමුදාවට කොටුවෙයි


ලංකාවේ උමා මහේෂ්වරන්ලා මාලදිවයින අල්ලා ගත් හැටි 

 

(පසුගිය සතිය හා සම්බන්ධයි)

 

එහෙත් ඒ වනවිටත් ඔවුන් පිළිගන්නට සූදානමින් සිටිනවායැයි කී ලුතුෆිගේ සගයෝ එහි නොවූහ. ඒ ඇතැම් විටෙක ඔවුන් එනවායැයි කී දිනට නොපැමිණීම නිසා විය හැකි යැයි රහවන් අනුමාන කළේය. කෙසේ වෙතත් ගොඩබිමට ආ කණ්ඩායමට මේ වනවිට හමුදා කඳවුරට පහර දෙනවා විනා වෙන කළ හැකි දෙයක් නොවිණි. මේ වනවිට ඔවුන් රැගෙන ආ සන්නිවේදන හුවමාරු කට්ටලය ද ඔවුන්ට අහිමිව තිබුණේ එය මුහුදට වැටීමෙනි. මේ වනවිට ඔවුන්ට අඩුම තරමේ අනෙක් යාත්‍රාව සමග හෝ ශ්‍රී ලංකාවේ ප්ලොට් නායකත්වය සමග හෝ කිසිම සන්නිවේදනයක් කර ගත හැකි තත්ත්වයක් නොවිණි.   


 මේ අතරතුර වරායේ එහෙ කරක් ගසමින් සිටි මෙම කල්ලිය පොලිස් නිලධාරීන් පිරිසකගේ මෙන්ම ආගමන විගමන නිලධාරීන්ගේ ද ඇස ගැටිණි. ඔවුන් මෙම පිරිස නවතන්නට උත්සාහ කරනවාත් සමග එක් ප්ලොට් සාමාජිකයෙක් ඔවුනට වෙඩි තැබුවේය. නිලධාරී පිරිස හතර අත දිව ගියත් වෙඩි හඬත් සමග කඳවුරේ සිටි සෙබළ පිරිස විමසිලිමත් ව සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ මෙම කැරැලිකරුවන් කඳවුරට ඇතුළු වනවාත් එක්කම වෙඩි වරුසාවකට මුහුණ දීමටය.   


 කැරැල්ලේ සියලුම සැලැසුම් සතුව තිබූ වසන්ති මෙහිදී මුලින්ම වෙඩි කා මියගිය අතර මෙම කණ්ඩායමට කඳවුර මුළුමනින් අත්පත් කර ගැනීමට නොහැකි වුවත් සෙබළුන් කඳවුර තුළම තබා ගැනීමට සමත් විය.   
 මේ අතර අනෙක් කණ්ඩායම ද වරායට සේන්දු වී ඉන් පසු සන්නිවේදන මධ්‍යස්ථාන අල්ලා ගැනීමට පිටත්ව ගිය අතර එක් ප්ලොට් කාඩර්වරයකු පමණක් ට්‍රෝලර් යාත්‍රාවේ රැඳී සිටියේ මෙහෙයුම සම්බන්ධ තොරතුරු හුවමාරුවටය. ඔහු පීටර්ය. 

 
 බාබුගේ කණ්ඩායම දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානය සහ ගුවන් විදුලි මධ්‍යස්ථානය සොයා ගත්තත් ඒ වනවිටත් ඒවා වසා දමා තිබුණේ එදින මාල දිවයිනට නිවාඩු දිනයක් වූ බැවිනි. ඒවායේ වූ වානේ දොරවල් පවා කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට යටත් නොවිණි. අනෙක් අතට දුරකථන මධ්‍යස්ථානය විසන්ධි කරන අයුරු බාබු පවා දැන නොසිටියෙන් එය ඔවුන්ටම ලොකු අවාසියක් විය. මේ අතර ෆාරුක් සහ ඔහුගේ කණ්ඩායමේ පිරිස ජනපති ගයුම් සහ ආරක්‍ෂක ඇමැති අල්ලා ගැනීමට ගියහ. එහෙත් ඒ වෙද්දී වටෙන් ගොඩින් ඇහුණ වෙඩි සද්ද පිළිබඳ විමසිලිමත් ව සිටි ජනපති ආරක්‍ෂක අංශය ජනපති ගයුම් මන්දිරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ආරක්‍ෂිතව රැඳවීමට සමත් ව සිටියේය. ආරක්‍ෂක අමාත්‍යවරයා ද වෙනත් තැනෙක සැඟවී සිටියේය. ෆාරුක්ගේ කණ්ඩායම නියම තැනට ළඟා වෙද්දී කුරුල්ලන් ඉගිල ගොසිනි. අඩුම තරමේ ජනපති ගිය ඉසව්වක සේයාවක්වත් සොයා ගත නොහැකි විය. ගුවන් විදුලි සහ දුරකථන සන්නිවේදන මධ්‍යස්ථාන ඉසව්වෙන් වෙඩි හඬ නැගෙද්දී ඒ පිළිබඳ අවධානයෙන් සිටි ජනපතිවරයා තමන්ට ප්‍රහාරයක් එල්ල වන බව වටහා ගත්තේය. ඒ වනවිට වෙලාව උදෑසන හත පමණ වී තිබූ අතර තවමත් දුරකතන මාර්ග විවෘතව ඇති බව ඔහුට ඒත්තු ගියේය. ඔහු වහා දුරකතන ඇමැතුම් ගෙන උද්ගතව ඇති තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව යන රටවලින් සහාය පැතීය.   


 රහවන් පවසන අන්දමට මාල දිවයින් රජයට මුලින්ම උදව්වට ආවේ දියාගෝ ගර්සියා කඳවුරේ ඇමෙරිකන් යානයකි. උදෑසන 7.30 පමණ වෙද්දී අහසේ කරකැවුණ ඇමෙරිකානු යුද ගුවන් යානය ටික වේලාවකින් නොපෙනී ගියේය. මේ වනවිට රහවන්ටත් ෆාරුක්ටත් තමන්ගේ මෙහෙයුම අසාර්ථක බව හොඳාකාරයෙන්ම වැටහී ගොස් තිබිණි. දැන් කළ යුතු එකම දෙය පසු බැස පලායාම බව ද ඔවුනට ඒත්තු ගොස් තිබිණි. එහෙත් එය කරන්නේ කෙසේද? ඔවුන් ඉදිරියේ ඇත්තේ විශාල පැනයකි. මෙහි මහ මොළකාරයා වූ වසන්ති දැන් මළවුන් අතරේය. මෙම මෙහෙයුම වැරදුණොත් පලා යන ආකාරය පිළිබඳ සැලසුම වූයේ ද ඔහු අතේය. “අපි කොහොම හරි නැගී ඉඳිමු...” රහවන් සගයන්ට කීවේය. “කිසිම සන්නිවේදයක් නෑ... ආපහු යන්න ක්‍රමයක් නෑ... අපේ කාඩර්වරුන් අසූ දෙනාම නොරටක අතරමං වෙලා...

”   
 ඔවුන්ට ආපසු පලායාම සඳහා වෙනමම සැලසුමක් සකසන්නට සිදු විය. ඒ එක් කණ්ඩායමක් නැවක් පැහැර ගන්නටත් අනෙක් පිරිස ප්‍රාණ ඇපකරුවන් පිරිසක් සොයා ගැනීමටත් සැලසුම් කළහ.   


 මද්දහන් කාලය වෙද්දී වරායේ නවතා තිබුණු “ප්‍රෝග්‍රස් ලයිට්” නමැති නැව අත්පත් කර ගැනීමට කැරලිකාර කාඩර්වරුන් සමත් ව සිටි අතර එහි කාර්ය මණ්ඩලය ඔවුන් ගෙන යාමට ද එකඟ වී සිටියේය. දෙවැනි කණ්ඩායම මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් පිරිසක් සොයාගෙන සිටියේය. මෙම ප්‍රාණ ඇපකරුවන් ගොන්නේ වැඩි පිරිසක් සිටි සාමාන්‍ය වැසියන් වූ අතර මාල දිවයින් අධ්‍යාපන ඇමැතිවරයා ද ඔහුගේ ස්විස් ජාතික බිරිය ද ප්‍රාණ ඇපකරුවන්ව සිටියහ.   


 “හවස හය විතර වෙද්දී ඉන්දීය ගුවන් යානා සහ සෙබළු එන්න පටන් ගත්තා... අපි ඒ වෙන කොට දැන ගත්තා තව දුරටත් මාල දිවයිනේ රැඳී සිටීම බොහොම භයානක තත්ත්වයක් බව... අපේ කාඩර්වරුන් එක්ක ආපහු යන්න කාලය ඇවිත් කියන සංඥාව ලැබී තිබුණා... පැය දෙකක විතර කාලයක් ඇතුළත භට කණ්ඩායම් පුරවා ගත් ඉන්දියන් යානා හතක් ඇතුළු වී තිබුණා... අපි මාල දිවයිනේ විදුලි පද්ධතිය එහෙම පිටින්ම විසන්ධි කර රටම අඳුරේ තියලා රටින් පැන ගත්තා... අපේ කාඩර්වරුන් තුන් දෙනෙක් මාලේදී මිය ගොස් සිටියා... අන්තිමේ දී අපේ ඉතිරිවෙලා හිටිය කාඩර්වරුන් හැමෝම ආවා කියලා සනාථ කර ගත්තට පස්සේ හරියටම නොවැම්බර් හතර වැනිදා රෑ දොළහයි දහයට නැවේ ගමන පටන් ගත්තා...”

   
 මාලේ මුහුදු මාර්ගය වැටී ඇත්තේ ගුවන් තොටුපොළ හරහාය. එබැවින් ඔවුන්ගේ නියම ගමන් මාර්ගය සැඟවීම සඳහා ඉන්දුනීසියාව දෙසට ගමන් කරන ලෙස නාවික කාර්ය මණ්ඩලය කැරලිකරුවන්ට උපදෙස් දුන්නේය. මෙම නැව මාලේ ගුවන් තොටුපොළ දෙසට ගමන් ගනිද්දී ඉන්දීය සොල්දාදුවන් සිතුවේ කැරලිකරුවන් ඔවුනට පහර දීමට පැමිණෙන බවය. මේ නිසා ඉන්දීය සොල්දාදුවන් නැවට වෙඩි තැබීමට පටන් ගත්තත් කිසිවකුටත් තුවාල සිදු නොවීය. වෙඩි ප්‍රහාර මැද්දේ ම නැව ඉදිරියට ගිය අතර තවත් අපූරු සිද්ධියක් මේ අතරතුර සිදු වෙමින් පැවැතිණි. ඒ මුලින්ම හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ට්‍රෝලර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය සහ සන්නිවේදන හුවමාරු කාර්යයේ නිරත ව සිටි පීටර් අතරය. පැහැරගෙන ආ ට්‍රෝලර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය ආපසු යාමට අවසර ඉල්ලා සිටිද්දී පීටර් ඔවුන්ට යන්නට ඉඩ දුන්නේය.   
 ඩිංගි යාත්‍රාවක බොහෝ වේලාවක් රැඳී සිටි පීටර් බලාගෙන සිටියේ කොයියම්ම වේලාවක හෝ ගොඩබිමට පැමිණෙන ලෙසට සගයන්ගෙන් සංඥාවක් ලැබෙන තුරුය. අනතුරුව නොවැම්බර් හතර වැනිදා තම සගයන් මාලේ නුවර අත්පත් කර ගෙන ඇතැයි සිතා වරායට සේන්දු විය. වරායට ඇතුළුවත්ම ඔහු පිළිගන්නට සැදී පැහැදී සිටියේ ඔහුගේ මිතුරන් නොව ඉන්දීය හමුදාවය. ඔහු ‘‘සාදරයෙන් පිළිගෙන’’ ප්‍රශ්න කරන්නට පටන් ගත් ඉන්දීය භටයෝ ශ්‍රී ලාංකිකයකු පමණක් නොව කැරලිකාර ප්ලොට් කණ්ඩායමේ කාඩර්වරයකු බව ද සනාථ කර ගත්හ.   


 ප්‍රෝග්‍රස් ලයිට් නැවේ පිරිසට ද වැඩි දුරක් යහතින් යාමට ඉඩ නොලැබුණ අතර ඉන්දීය යුද ගුවන් යානා මගින් ඔවුන් සිටින ඉසව්ව හඳුනාගෙන ඕස්ට්‍රේලියාවේ සිට ආපසු එමින් තිබූ ඉන්දීය යුද නැවකට දන්වා ඔවුන් කොටු කර ගත්තේය. ප්‍රෝග්‍රස් ලයිට් නැව කොටු කරගත් ඉන්දීය යුද නැවියෝ නැවේ බෝයාවට වෙඩි තබන්නට වූ අතර ඉන් පසුව ඇති වූයේ විශාල කලබැගෑනියකි. එක් ප්‍රාණ ඇපකරුවකු නැවේ තට්ටුවට ඇද දැමූ කැරලිකරුවෝ තමන්ට නිදහසේ යාමට ඉඩ නොදුන්නොත් ඔහු මරා දමන බවට තර්ජන කළේය. මෙම ඉල්ලීම ඔවුන් බලධාරීන්ට දැන්වූවේ නම් ඇතැම් විටෙක ඊට ඉඩ ලැබෙන්නට ඉඩ තිබිණි. එහෙත් එය එසේ නොවිණි. ප්‍රෝග්‍රස් ලයිට් නෞකාව හරියටම ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිසීමට සැරසෙන බව දැන ගත් සැණින්ම නැව නතර කරන ලෙසට ඉල්ලා එක දිගට වෙඩි වරුසාවක් එල්ල වන්නට පටන් ගත්තේය. එහෙත් එය නතර වන බවක් පෙනෙන්නට නොවුණි. දිගින් දිගටම එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් නැවට හානිවී ගිලෙන්නට පටන් ගත්තේය.   


 ප්‍රාණ ඇපකරුවන් ද කැරලිකාර ප්‍රහාරකයන් ද නැවේ කාර්ය මණ්ඩලය ද ඉන්දියන් නාවික හමුදාවේ අත් අඩංගුවට ගත්තේ මාල දිවයින අල්ලා ගැනීමේ කැරැල්ල එතැනිත් නිමාවට පත් කරමිනි. මෙම ඉන්දීය කණ්ඩායම් මාල දිවයිනට ඇතුළු වීමට පෙරාතුව පැය 16 ක පමණ කාලයක් කුලී හේවායන් මාල දිවයින අල්ලාගෙන සිටි අතර ඉන්දීය හමුදාව මාල දිවයින බේරා ගැනීමේ මෙහෙයුම නම් කර තිබුණේ ඔපරේෂන් කැක්ටස් (OPERATION CACTUS– පතොක් මෙහෙයුම) යන නමිනි. 

 

 


 මාලදිවයින අල්ලා ගැනීමට තැත් කිරීමේ නඩුව එරට ඉහළ අධිකරණයක් මගින් විභාග කෙරුණ අතර මෙහි සියලු වරදකරුවන්ට මරණ දඬුවම නියම විය. එහෙත් ඉන්දීය රජයේ ඉල්ලීම මත මෙම මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් විය. මෙම කැරැල්ල සඳහා මාල දිවයිනේ පළමු ජනපති ඊබ්‍රාහිම් නසීර්ගේ නම ද ගෑවී තිබූ නමුත් ඔහු මීට සම්බන්ධ බවට සනාථ කිරීමක් හෝ ඔහුට සමාව දීමක් හෝ සිදු නොවිණි.   


 ප්ලොට් නැතහොත් දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය යනු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ සංවිධානය සමග ඉන්දියාවේ චෙන්නායිවල වීදිවල පවා සටන් වැදීමෙන් පසු උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ දෙමළ දේශපාලන සංවිධානයකි. වෘත්තියෙන් මිනින්දෝරුවකු වූ උමා මහේෂ්වරන් 1989 වසරේදී එල්ටීටීඊය විසින් කොළඹදී ඝාතනය කරනු ලැබීය. සමාජවාදී මතවාදයට වඩාත් අනුගත ව සිටි මහේෂ්වරන් එවකට ලංකාවේ තිබුණ අනෙකුත් බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානවල නායකත්වයට වඩා සාපේක්‍ෂව බෙහෙවින් වෙනස් නායකයෙක් විය. මෙම සිද්ධියෙන් වසර හතර පමණ පසු ප්ලොට් කණ්ඩායමේ නායකත්වයට පත් ඩී සිද්ධාර්ථන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ මෙම ප්ලොට් සාමාජිකයන් නිදහස් කර ගැනීම සඳහා විවෘතවම පෙනී සිටියේය.   


 (ෂර්ලි කන්දප්පා විසින් 2015 ඔක්තෝබර් 15 වැනිදා ඩේලි මිරර් පුවත්පතට රචිත REVISITED - The 1988 Maldivian coup that failed නම් ලිපියේ සිංහල පරිවර්තනය) 

 

 

සටහන
රන්ජන් වික්‍රමනායක