අශෝක අධිරජයාගේ චරිතය පාදක කර ගනිමින් මේ දිනවල ප්‍රචාරය කෙරෙන රූපවාහිනී ටෙලි කතා මාලාව හේතුවෙන් ඒ පිළිබඳ කතාබහක් යළි මතුවී තිබේ. මෙරට බුදු දහම ව්‍යාප්ත වූයේ ඔහුගේ රාජ්‍ය පාලන සමයේ වීම හේතුවෙන් අශෝක අධිරජ ශ්‍රී ලාංකිකයන් වන අපටද සුවිශේෂී චරිතයකි. චණ්ඩාශෝක ලෙසින් ප්‍රකටව සිටි අශෝක අධිරාජයා ධර්මාශෝක බවට පත් වූයේ බුදු දහම වැලඳ ගැනීමෙන් පසුවය. ඔහු ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ අධිරාජයා විය.
ක්‍රි. පූ. 326 වන විට ග්‍රීක අධිරාජයකු වූ මහා ඇලෙක්සැන්ඩර් සිරියාව, පර්සියාව සහ ඊජිප්තුව ආක්‍රමණය කොට යටත් කරගෙන තිබිණි. ඉන්පසු ඔහු ඉන්දියාවේ පංච ගංගා භූමිය නොහොත් පන්ජාබය ආක්‍රමණය කළේය. එකල පන්ජාබයේ පාලකයා වූයේ පාර්වට්ක නොහොත් පෝරස් රජතුමාය. ඇලෙක්සැන්ඩර් සමඟ පැවැති සටනින් පෝරස් පරාජය වුවද පසුව ඔවුහු මිතුරන් බවට පත් වූහ. මහා ඇලක්සැන්ඩර් යළි ග්‍රීසිය වෙත නික්ම යෑමෙන් පසු බටහිර ඉන්දියාවේ බල රික්තයක් ඇති විය. මෙම බල රික්තය තුළට රිංගා ගැනීමට චන්ද්‍රගුප්ත මෞර්යයට හැකි වූයේය.
ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍යය ආරම්භ වූයේ ක්‍රි. පූ. 322දීය. මගධ රාජ්‍යය වශයෙන් ප්‍රචලිත වූ එහි ආරම්භකයා වූයේ චන්ද්‍රගුප්ත මෞර්ය රජතුමාය. ඔහු රජ පෙළපතකට අයත් නොවූ අතර ඔහුගේ පියා එෙඬ්රකු බවද දිනක් ඔහු නිදා සිටියදී සිංහයකු ඔහුගේ සිරුර ලෙවකෑම නිසා ඔහු රාජ්‍යත්වයට සුදුසු වූ බවද ඉතිහාසයේ සඳහන් වේ. එතෙක් පැවැති නන්ද රජ පෙළපත පරාජය කළ චන්ද්‍රගුප්ත මෞර්ය රාජ්‍යත්වයට පැමිණියේය. ඔහුට ඒ සඳහා සහය වූයේ චාණක්‍ය නමැති බ්‍රාහ්මණයාය. පසුව රජුගේ අග්‍ර පුරෝහිත වූ චාණක්‍ය (මොහු කෞටිල්‍ය නමින්ද හැඳින්වෙන අතර අර්ථශාස්ත්‍ර නමැති ග්‍රන්ථය රචනා කරන ලද්දේ ඔහු විසින් බැව් පැවසේ) රාජ්‍ය පාලනය පිළිබඳව උපදෙස් දෙමින් රජුට සහය වූයේය. එකල ලොව පැවැති විශාලතම අධිරාජ්‍යයන්ගෙන් එකක් වූයේ මෞර්ය අධිරාජ්‍යයයි. එය උතුරින් හිමාලය තෙක්ද, නැගෙනහිරින් වර්තමාන ඇසෑමය තෙක්ද, බටහිරින් වර්තමාන බාලුචිස්තාන් (නිරිතදිග පාකිස්තානය හා ගිනිකොනදිග ඉරානය) හා දකුණින් වර්තමාන ඇෆ්ඝනිස්තානය තෙක් විහිද පැවතියේය. එය වර්ග සැතපුම් මිලියන 5කට අධික ප්‍රදේශයක් පුරා විහිද පැවතියේය.
චන්ද්‍රගුප්තගෙන් පසු බලයට පැමිණියේ ඔහුගේ පුත්‍ර බින්දුසාර මෞර්යයි. ජෛන ග්‍රන්ථයක් වන රාජාවලිකතා කෘතියට අනුව ඔහු සිංහසේනා ලෙසින් නම් කිරීමට නියමිතව තිබුණද ඔහුගේ හිසෙහි වූ නිල් පැහැති බින්දුවක් වැනි සලකුණ හේතුවෙන් බින්දුසාර ලෙසින් නම් කරනු ලැබිණි. බින්දුසාර රාජ්‍යයත්වයට පත් වූයේ 22 හැවිරිදි වියේදීය. ඔහු දකුණුදිග ඉන්දියාවේ (වර්තමාන කර්ණාටකය) බොහෝ ප්‍රදේශ ඇතුළු ප්‍රාන්ත 16ක් මෞර්ය රාජ්‍යයට ඈඳා ගත්තේය. එහෙත් ඉලම්චෙට්සිනි රජුගේ පාලනයේ පැවැති චෝල රාජ්‍යයද, පාණ්ඩ්‍ය හා චේර රාජ්‍යයද ආක්‍රමණය නොකළ අතර ඔවුහු සමඟ සහයෝගයෙන් කටයුතු කළහ. බින්දුසාරගේ පාලනයට නතු නොවූ අනෙකුත් දකුණු ඉන්දියානු රාජ්‍යය වූයේ කාලිංගයයි. (වර්තමාන ඔඩිෂාව). පසු කාලයේ එය ආක්‍රමණය කරනු ලැබුවේ බින්දුසාරගේ පුත් අශෝක විසිනි.
අශෝක යනු බින්දුසාරගේ සහ ඔහුගේ එක් දේවියක වූ ශුභද්‍රාංගි නොහොත් ධර්මා බිසවගේ පුත්‍රයාය. පුරාණ හින්දු, ජෛන හා බෞද්ධ ග්‍රන්ථවල ශුභද්‍රාංගි දේවිය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ වෙයි. අශෝකවඩන නමැති ග්‍රන්ථයට අනුව ඇය චම්පා නගරයේ බ්‍රාහ්මණයකුගේ දියණියයි. ඇය තම පුත්‍රයාට අශෝක යැයි නම් තබන ලද්දේ ‘ශෝකයෙන් විනිර්මුක්ත වූ පුද්ගලයා’ යන අරුතිනි. දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී සම්රාත් අශෝක ලෙසින් නම් ලද අශෝක අධිරාජයා මෞර්ය රජ පෙළපතේ තුන්වැනි රජතුමා විය.
යෞවන වියේ සිටම අශෝක රණශූරයකු විය. බින්දුසාර රජු ඔහු අවන්තියේ පාලකයා ලෙස පත් කළේය. බෞද්ධ ග්‍රන්ථයක් වන දිව්‍යාවදාන කෘතියට අනුව අශෝක දුෂ්ට අමාත්‍යවරුන්ට එරෙහිව නැඟී සිටියේය. තම බාල සොහොයුරා තමන්ට තර්ජනයක් විය හැකියයි සිතූ බින්දුසාර රජුගේ පළමුවැනි බිසවගේ පුත්‍රයා වූ සුෂීම විවිධ සැලැසුම් ක්‍රියාත්මක කොට අශෝක පාටලීපුත්‍රයෙන් ඈත් කර තැබීමට උපක්‍රම යෙදුවේය. ඒ අනුව තක්ෂිලාවේ කැරැල්ලක් මැඬ පැවැත්වීමට හේ යවනු ලැබිණි. අශෝක එය සාර්ථකව මැඬ පැවැත්වීය.
නැවත වරක් සුෂීමගේ බලපෑම මත බින්දුසාර රජු අශෝක කාලිංගයට පිටුවහල් කරනු ලැබීය. උජ්ජෙයින් පළාතේ කැරැල්ලක් ඇති වූයේ මෙසමයේය. බින්දුසාර රජු අශෝක යළි කැඳවා එම කැරැල්ල මැඬපවත්වන ලෙසට අණ කළේය. එහිදී තුවාල ලද අශෝකට ඇපඋපස්ථාන කරනු ලැබුවේ බෞද්ධ භික්ෂූන් විසිනි. අශෝක ප්‍රථම වරට බුදුන්වහන්සේ පිළිබඳව හා එතුමන්ගේ දහම පිළිබඳව දැනුම්වත් වූයේ එම භික්ෂූන් වෙතිනි.
අශෝක කාලිංගයේ ගත කරන සමයේ බින්දුසාර රජු දැඩි සේ ගිලන් විය. රජු තම වැඩිමහලු පුත් සුෂීම තම අනුප්‍රාප්තිකයා ලෙසින් නම් කිරීමට පියවර ගත්තේය. එහෙත් ඔහු ඇමතිවරුන් අතර ජනප්‍රිය පුද්ගලයකු නොවීය. රාජගුප්ත බ්‍රාහ්මණයා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් අශෝක රජකමට පත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආහ. ක්‍රි. පූ. 272දී බින්දුසාර රජු අභාවප්‍රාප්ත විය.
පසු කාලයේ අශෝක පාටලීපුත්‍රය ආක්‍රමණය කොට තමන්හට එරෙහිව සිටි සොහොයුරන් මරා දමා බලය අත්පත් කර ගත්තේය. දීපවංශයට හා මහාවංශයට අනුව අශෝක තම අර්ධ සොහොයුරන් 99 දෙනකු ඝාතනය කළ බැව් පැවසේ. ඔහු තම විටාශෝක නොහොත් තිස්ස නමැති සොහොයුරා පමණක් ආරක්ෂා කළේය. එහෙත් මේ පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති බවට ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
අශෝකට තම මෞලි මංගල්‍යය පැවැත්වීමට තවත් වසර 4ක් බලා සිටින්නට සිදු විය. ඔහුගේ මෞලි මංගල්‍යය පැවැත්වුණේ ක්‍රි. පූ. 269දීය. බෞද්ධ පොතපතේ සඳහන් වන ආකාරයට අශෝක සැහැසි, අනුකම්පා විරහිත, තදින් කිපෙනසුලු රජෙකි. එහෙයින් ඔහු හැඳින්වූයේ චණ්ඩාශෝක රජු ලෙසිනි. ඔහු මිනිසුන් වධ බන්ධනවලට ලක්කිරීම සඳහා වධකාගාර ඇති කළේය. ඔවුන් ඝාතනය කිරීමට ගිරිකා නමැති වධකයකුගේ ප්‍රධානත්වයෙන් වධකයන් පිරිසක් පත් කළේය. චීන භික්ෂුවක වන හියුං සාංගේ දේශාටන සටහන්වලට අනුව අශෝක අධිරජු මගධයේ පාලනය ගෙන ගියේ බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර සියයකට පමණ පසු බැව් සඳහන්ය. එම සටහන්වලට අනුව ආරම්භයේදී වරද කරුවන්ට පමණක් එම වධකාගාරයන්හි දඬුවම් පැමිණවුවද පසු කාලයේ ඒ අසලින් යන එන පුද්ගලයන් පවා අල්ලා දඬුවම් පැමිණවීමට ඔහු සැහැසි විය.
අශෝක ක්‍රි. පූ. 269 සිට ක්‍රි. පූ. 232 දක්වා ඉන්දියාව පාලනය කළේය. ඉන්දියාවේ විසූ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය පාලකයකු ලෙසින් සැලකෙන අශෝක අධිරාජයා මෞර්ය අධිරාජ්‍යය තවදුරටත් ව්‍යාප්ත කළ අතර ඉරානය, ඇෆ්ගනිස්තානය හා බුරුමය දක්වාද, සමස්ත දකුණු ඉන්දියානු කලාපයද අත්පත් කර ගත්තේය. ඔහුගේ අගනුවර වූයේ වත්මන් පැට්නාව නමින් හැඳින්වෙන පාඨලීපුත්‍රයයි. ප්‍රාදේශික අගනගර වූයේ උජ්ජෙයිනය සහ තක්ෂිලාවය. එකල මෞර්ය අධිරාජ්‍යය කෝසල, තක්ෂිලා, ස්වර්ණගිරි සහ උදේනි යනුවෙන් පළාත් 4කට බෙදා තිබිණි. තම රාජ්‍යය ව්‍යාප්ත කිරීමේ අරමුණින් රාජාභිෂේකයෙන් පසු පළමු වසර අට පුරාම ඔහු යුද වැදුණේය.
කාලිංග දේශය නැඟෙනහිර මුහුදුතීරය ආසන්නයේ මහානදී සහ ගෝදාවරී යන ගංගාවලට මායිම්ව පිහිටි රාජ්‍යයක් විය. එය වර්තමානයේ ඔඩීෂා ප්‍රදේශය ලෙසින් හැඳින්වෙන අතර වත්මන් අන්ද්‍රා ප්‍රදේශ්හි උතුරු කොටසද, චටිස්ගාර් සහ තෙලන්ගානා ප්‍රදේශද එයට අයත් වී තිබිණි. දඹදිව සෑම රාජ්‍යයක්ම තමනට නතු කරගත් අශෝක අධිරාජයා තම මුතුන් මිත්තන් කිසි දිනෙක යුදයට නොගිය කාලිංගය ආක්‍රමණය කිරීමට පියවර ගත්තේය. කාලිංග දේශය යුද ශක්තියෙන් බලවත් රාජ්‍යයක් විය. ක්‍රි. පූ. 262 සිට ක්‍රි. පූ 261 දක්වා පැවැති කාලිංග යුද්ධය ඉන්දියානු ඉතිහාසයේ පැවැති බිහිසුණුම හා කෲරතම යුද්ධය ලෙසින් ඉතිහාසයට එක් වූයේය. මෙම සටනින් අශෝක අධිරාජයා ජයග්‍රහණය කළද විශාල ලේ වැගිරීමක් සිදුවිය. සොල්දාදුවන් හා සාමාන්‍ය ජනයා 100,000කට අධික පිරිසක් මරණයට පත් විය. 150,000 අධික පිරිසක් පිටුවහල් කෙරිණි.
යුද ජයග්‍රහණයෙන් පසු අශෝක අධිරාජයා සටන් සිදුවූ ප්‍රදේශවල සංචාරය කළේය. ඔහුට දැකගත හැකි වූයේ සැම තැන විසිර තිබූ මළ සිරුරුය. තැන තැන දැවුණු නිවාස හා ගොඩනැඟිලිය. යුද්ධයේදී ගලාගිය මහා රුධිර ගංගාව දුටු අශෝක මහත් පසුතැවිල්ලකට පත්විය. කාලිංගය සහමුලින් විනාශයට පත් වී තිබිණි. යුද ජයග්‍රහණය පිණිස තම හමුදාවේද, කාලිංග හමුදාවේද විශාල ජීවිත ප්‍රමාණයක් තමා විසින් විනාශ කරනු ලැබුවේද යන්න ඔහුට වැටහී ගියේය.
කාලිංග යුද්ධය සම්බන්ධයෙන් අශෝක අධිරාජයාගේ ප්‍රතික්‍රියාව ඔහු විසින් පනවන ලද අශෝක ආඥාවලියේ සඳහන් වී තිබේ. ඒ පිළිබඳ ලියැවුණු ශිලා ලේඛන 33ක් අශෝක ස්ථම්භවල, පර්වතවල හා ගුහා බිත්තිවල දැකිය හැකිය. පාටලීපුත්‍රයට පැමිණි ඔහු යළි යුද නොකරන බවට සපථ කළේය. අහිංසා මාර්ගයට යොමු වීම ඔහුගේ එකම අරමුණ වූයේය. හමුදා පුළුල් කිරීම නවතා දැමූ ඔහු එතැන් සිට වසර 40ක් පුරා තම රාජ්‍යයේ සාමකාමි හා සමෘද්ධිමත් පාලනයක් ගෙන ගියේය.
අශෝක අධිරාජයාට බිසෝවරුන් පස් දෙනකු සිටි බැව් සඳහන්ය. ඉන් පළමු බිසව වේදිසා මහාදේවි ශාඛ්‍යකුමාරි නොහොත් දේවී බිසවය. කෞර්වකී, අසන්ධිමිත්‍රා, පද්මාවතී සහ තිස්යාරක්ෂිතා අනෙකුත් බිසෝවරුන්ය.
ඉතිහාසඥ ඒ. එල් බෂාම්ට අනුව අශෝක අධිරාජයා එතෙක් තමන් විසින් අදහන ලද ජෛන ලබ්ධියෙන් බැහැරව බුදුන් සරණ ගියේය. අශෝක අධිරාජයා විසින් බුදු දහම වැලඳ ගනු ලැබුවේ නීග්‍රෝධ නම් සාමණේර නමකගෙන් බණ ඇසීමෙන් පසුව බවට ලක්දිව වංශ කතාවල පැවසෙන අතර මහයාන ග්‍රන්ථයක් වන දිව්‍යාවදාන ග්‍රන්ථය අනුව ඔහු උපගුප්ත නම් හිමි නමකගෙන් බණ අසා බුදු දහම වැලඳගත් බව පැවසේ.
හියුං සාංගේ සටහන්වලට අනුව අශෝකගේ ජිවිතය වෙනස් මඟකට යොමු කිරීමට එක්තරා සිදුවීමක් බල පෑ බැව් සඳහන්ය. දිනක් පිඬු සිඟා වැඩි බෞද්ධ භික්ෂුවක් ඔහු විසින් පිහිටුවා තිබූ වධකාගාරයක් අසලින් ගමන් කළේය. ඒ අසලින් ගමන් ගන්නවුන් පවා අල්ලා වධ බන්ධනවලට ලක් කළ හෙයින් වධකයා භික්ෂුව අල්ලා වධබන්ධනයට ලක්කිරීමට පියවර ගත්තේය. එහිදී භික්ෂුව ‘වධබන්ධනයට ලක් කිරීමට පෙර මට ආහාර වේලක් වළඳන්නට අවසර දෙන්නැයි’ වධකයාගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී වධකයන් විසින් අල්ලා ගන්නා ලද තවත් මිනිසකු එහි ගෙන එන ලදි. ඔහුගේ අත් පා කපා දමා වධබන්ධනයට ලක් කරනු දුටු භික්ෂුව සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව සලකා භාවනා කොට රහත් ඵලයට පත් විය. වධකයයෝ භික්ෂුව අල්ලා උතුරන තෙල් කටාරමක දැමූහ. භික්ෂුව තෙල් කටාරමේ හිඳගෙන සිටියේ සිහිලැති විලක සිටින අයුරිනි. ඔහුට කිසිදු අනතුරක් සිදු නොවීය. වධකයෝ මේ පුවත රජුට දැන්වූහ. රජු එහි පැමිණ එම ආශ්චර්ය දැක විස්මයට පත් විය. මෙහිදී භික්ෂුව රජුට කිසිවක් මතක් කර දුන්නේය. ‘ අධිරජුනි මෙහි පැමිණෙන කවරකු හෝ අල්ලා ඝාතනය කිරීමට ඔබතුමා අණ පනවා තිබේ. එහෙයින් මෙහි පැමිණි ඔබටද එය සිදු කළ යුතු නොවේදැයි විමසා සිටියේය. පාහියන්ගේ භ්‍රමණවෘත්තාන්තයේද මෙවැනි පුවතක් සඳහන් වන අතර මෙම භික්ෂුවගෙන් බණ අසා අශෝක රජතුමා බෞද්ධයකු වූ බැව් පැවසේ.
කෙසේ වුවද අශෝක අධිරාජයා විසින් තම මානසික ව්‍යාකූලත්වයෙන් මිදීම සඳහා බොහෝ උත්සාහ දරන ලද බවත් වසර කිහිපයත් ඒ සඳහා උත්සාහ කිරීමෙන් පසු ඉන් මිදීමට බුදු දහම සරණ ගිය බවත් බ්‍රහ්මගිරි සෙල් ලිපියෙන් පැහැදිලි වෙයි. බෞද්ධ භික්ෂූන්ගේ ඇසුර හා බුද්ධ වචනය ශ්‍රවණය කිරීමෙන් පසු අශෝක අධිරාජයාගේ සිත නිවී සැනහුණු බවද ඉන්පසු ඔහු බුදු දහම වැලඳගත් බවද ඓතිහාසික ලේඛනවලින් සනාථ වෙයි.
මතු සම්බන්ධයි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා