ඉන්දියානු රුපියල් කෝටි 1216ක් වැයකොට නිපදවන ලද සුවිශේෂී ටෙලි වෘත්තාන්තයක් ‘දිග්විජය‘ නමින් මේ දිනවල රූපවාහිනි නාලිකාවකින් විකාශය වේ. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ආසියානු ආක්‍රමණය සහ ඉන්දියාවේ පෞරව රාජ්‍යයේ රජු වූ පුරුෂෝත්තම් නොහොත් පෝරස් රජුගේ ජීවන චරිතය අළලා මෙය නිර්මාණය වී ඇත. පුරාණ පෞරව රාජ්‍යය පිහිටා තිබුණේ පන්ජාබයේ චේනබ් හා ජේලම් යන ගංගාවනට මැදිවය. පෝරස් රජුගේ හා මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදා අතර හයිදස්පස්හි පැවැති මහා සටන ඇතුළත් ‘පෝරස්’ නමැති මෙම ටෙලි නාටකය ඉන්දියාවේ විකාශය ඇරඹුණේ පසුගිය මැයි මාසයේ සිටය. ‘දිග්විජය‘ නමින් විකාශය කෙරෙනුයේ සිංහල හඬ කවන ලද එකී මාලා නාටකයයි.
මෙම ලිපි පෙළේ අරමුණ එම ටෙලි වෘත්තාන්තය පිළිබඳව සාකච්ඡා කිරීම නොව එම ටෙලි නිර්මාණයට පාදක වූ එක් ප්‍රධාන චරිතයක් වන මෙසිඩෝනියාවේ තුන් වැනි ඇලෙක්සැන්ඩර් නොහොත් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජීවන චරිතය පිළිබඳ විමසා බැලීමය. මහා ඇලෙක්සැන්ඩර් යනු යුරෝපයේ සිට ඉන්දියාව තෙක් ගොඩබිම ඔස්සේ මහා අධිරාජ්‍යයක් ගොඩනැඟූ රණශූරයෙකි. ඔහු මැසිඩෝනියාවේ සිට තුර්කිය, පර්සියාව, බැබිලෝනියාව, ඉරානය, ඇෆ්ඝනිස්තානය ඔස්සේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශය දක්වා තම අධිරාජ්‍යය පුළුල් කළේය. යුද ශිල්පයේ සර්වකාලින ප්‍රවීණයකු වශයෙන් ඔහු පිළිගැනෙයි. පසු කාලයේ හැනිබල්, සීසර් සහ නැපෝලියන් වැනි රණශූරයන්ද අනුගමනය කරන ලද්දේ ඔහුගේ ක්‍රියා පිළිවෙතය.
ග්‍රීසියේ ලිඛිත ඉතිහාසය ක්‍රි. පූ. 750 දී පමණ ආරම්භ වූ බැව් පැවසේ. අතීතයේ ග්‍රීසිය පාලනය වූයේ නගර රාජ්‍යය වශයෙනි. එහි නගර රාජ්‍ය 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් පැවැති බැව් සඳහන්ය. මෙම නගර රාජ්‍ය අතුරින් ප්‍රධානතම නගර රාජ්‍ය වූයේ ඇතන්ස්, ස්පාර්ටා, කොරින්ත්, තීබස්, එරෙත්‍රියා, චල්සිස්, සයිරකස් සහ මසේලා වැනි රාජ්‍යයයි. මෙම නගර රාජ්‍ය “පොලිස්” නමින් ප්‍රචලිත විය.
ආරම්භයේ දී මෙම කුඩා නගර රාජ්‍ය සාමාන්‍ය පාලනයක් යටතේ පැවැතියද පසු අවදියේ ඒවා රදලයන්ගේ පාලනයට නතු වූයේය. කල්යත්ම එයට ධනවත් වෙළෙන්දෝද එක් වුහ. පසුකාලීනව නගර පාලක රදලයන් හා සාමාන්‍ය ජනයා අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වන්නට විය. එහිදී නගරවාසී ජනප්‍රිය පුද්ගලයන් බලයට පත් කිරීමට සාමාන්‍ය ජනයා පියවර ගත්හ. එහෙත් අවසන සිදුවූයේ ඔවුන් නොසිතූ පරිදි මෙකී ජනප්‍රිය පුද්ගලයෝ ඒකාධිපතියන් බවට පත්ව ජනතාව තලා පෙළා දැමීමට පියවර ගැනීමය. ජනතා විරෝධය මැද කෙටි කලෙකින්ම ඒකාධිපති පාලනය අවසන් විය.
පසුකාලීනව මෙම නගර රාජ්‍යයෝ එකිනෙකා පරයා නැඟී සිටින්නට උත්සාහ කළ අතර එකිනෙකා අතර තරගකාරිත්වයක් නිර්මාණය වූයේය. සෑම නගර රාජ්‍යයකටම අවශ්‍ය වූයේ අනෙක් නගර රාජ්‍ය පසුබා ගොස් තම නගර රාජ්‍යය ආර්ථික වශයෙන් ඉහළට ඔසොවා තැබිමටය. එහි ප්‍රතිඵලය වූයේ එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වීමය.
මෙහිදී සම මතධාරී නගර රාජ්‍ය එක් පාර්ශ්වයකට එක් වී සන්ධානගත විය. එවක ග්‍රීසියේ බලවත්ම සන්ධානය වූයේ පෙලපොනීසියන් නමැති නගර රාජ්‍ය එකතුවය. පර්සියාවේ සයිරස් රජු හා ඔහුගේ පසුකාලීන රජවරුන්ගේ තාඩන පීඩනවලට නතු වී සිටි ග්‍රීක නගර රාජ්‍ය පර්සියාවට එරෙහිව නැගී සිටින්නට උත්සාහ කළද පර්සියානු බලය හමුවේ ඔවුන් පරාජය වී බොහෝ නගර රාජ්‍ය පර්සියානුවන් යටතට පත් විය.
නගර රාජ්‍ය අතර වඩාත් ප්‍රබල වූයේ ඇතැන්ස් හා සපාර්ටාවයි. ඔවුන් අතරද වරින්වර සිවිල් යුද්ධ නිර්මාණය වූයේය. එහෙයින් ග්‍රීසියේ නගර රාජ්‍ය පැවැතියේ සාමුහිකත්වයකින් තොර, බෙදුණු රාජ්‍ය වශයෙනි.
මැසිඩෝනියාව උතුරු ග්‍රීසියේ පිහිටි කුඩා රාජ්‍යයකි. එහි මුල් වැසියන් වූයේ මැකඩ්නොයි ගෝත්‍රිකයන්ය. ඉතිහාසඥ හෙරඩෝටස්ට අනුව ඔවුන් හැඳින්වූයේ හෙලනස්වරු ලෙසිනි. (පසුව සියලු ග්‍රීකයෝ එම නමින් හැඳින්විණි.) මැකඩ්නොයිවරු දකුණු ග්‍රීසිය සමඟ සමීප සබඳතා නොපැවැත්වූහ. පර්සියානු ආක්‍රමණයෙන් පසුවද මැසිඩෝනියාව ග්‍රීසියෙන් ඈත්ව සිටින්නට උත්සුක වූයේය. මෙම තත්ත්වය වෙනස් වන්නට වූයේ ක්‍රි. පූ. 382 සිට 336 දක්වා රජ කළ දෙවැනි පිලිප් රජුගේ පාලනයත් සමඟිනි. මැසිඩෝනියාවේ තුන් වැනි අමින්ටාස් රජුගේ පුත්‍රයා වූ ඔහු රාජ්‍යයත්වයට පත් වූයේ 23 වැනි වියේ දීය.
බෙදුණු නගර රාජ්‍ය වශයෙන් පැවැති ග්‍රීසිය එකම පාලනයක් යටතේ එක්සත් කිරීමට මුල් වූයේ ඔහුය. පුරාණ නගර රාජ්‍යන්හි අභියෝග මැඬලිය හැකි වන්නේ බලය යෙදීමෙන්ම පමණක් යැයි විශ්වාස කළ ඔහු විශාල යුද හමුදාවක් ඇති කළේය. එතෙක් 10,000කින් සමන්විත වූ හමුදා භට සංඛ්‍යාව 24,000 දක්වා වැඩි කළ ඔහු 600ක් වූ අශ්වාරෝහක හමුදාව 3500, දක්වා වැඩි කළේය. එතෙක් පසුගාමී, දුර්වල රාජ්‍යයක් ලෙස පැවැති මැසිඩෝනියාව බලවත් රාජ්‍යයක් බවට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. මැසිඩෝනියානු දේශ සීමාව නැගෙනහිරින් ඒජියන් මුහුද දක්වා ව්‍යාප්ත කළේය. පළමුව ග්‍රීක නගර රාජ්‍ය පරාජය කොට ඉන්පසු තම පැරණි සතුරා වූ පර්සියාවට එරෙහි දැවැන්ත සටනක් ආරම්භ කිරීම ඔහුගේ සැලසුම විය.
ප්‍රථමයෙන් උතුරු ග්‍රීසියේ තෙසාලි නගරය අත්පත් කර ගත් ඔහු පොටේඩියා සහ පයිඩ්නා යන නගර රාජ්‍යද අත්පත් කර ගත්තේය. අවසානයේ ස්පාටාව හැර අනෙකුත් සියලු නගර රාජ්‍ය අත්පත් කර ගැනීමට ඔහුට හැකිවිය. ක්‍රමයෙන් ග්‍රීසිය පුරා තම බලය ව්‍යාප්ත කළ දෙවැනි පිලිප් රජුගේ ඊළඟ අරමුණ වූයේ පර්සියාව ආක්‍රමණය කිරීමය. නගර රාජ්‍ය අතර පැවැති මහා සභාවේදී පර්සියාවට එරෙහිව යුද වැදීම සඳහා නායකත්වයට පත් කර ගැනුණේ පිලිප් රජුය. (ක්‍රි. පූ. 336 ඔහු ඝාතනය කෙරුණු හෙයින් ඔහුට ඒ සඳහා නායකත්වය දීමට නොහැකි විය).
දෙවැනි පිලිප් රජුට බිරියන් සත් දෙනෙක් වූහ. ඔවුන් අතුරින් වඩාත් ප්‍රකට ඔලිම්පියාස් කුමරියයි. ඔලිම්පියාස් කුමරිය ඉපිරස්හි පළමු වන නියොප්ටලමස් රජුගේ දියණියයි. නියොප්ටලමස් රජුගේ මරණින් පසු ඔහුගේ සොහොයුරු ඇරිබ්බස් සිහසුනට පත් විය. ඔහු මැසිඩෝනියානු පාලක දෙවැනි පිලිප් රජු හා සම්මුතියකට එළැඹියේය. ක්‍රි. පූ. 357 දී ඔලිම්පියාස් කුමරිය හා පිලිප් රජ අතර විවාහය සිදු වූයේ එකි සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔවුන්ගේ පළමු දරුවා වූයේ තෙවැනි ඇලෙක්සැන්ඩර් ලෙස නම් ලද කුමරුවාය. පසුකලෙක මහා රණශූරයකු බවට පත්ව ලොව දිග්විජය කරන ලද්දේ ඔහු විසිනි.
ඇලෙක්සැන්ඩර් කුමරුගේ උපත සිදු වූයේ ක්‍රි. පූ. 356 ජුලි 20 වැනිදාවකය. ඔහුට ක්ලියෝපැට්රා නමින් බාල සොහොයුරියකද විය. ඔවුහු පෙලාහි රජ මාළිගයේ හැදී වැඩුණාහ. කළු පැහැයෙන් යුත් දිදුලන දැසකින් හා රැලි වැටුණු හිසකෙසින් යුතු ඇලෙක්සැන්ඩර් කුමරා ඉතා ප්‍රියමනාප දරුවකු විය. කුඩා ඇලෙක්සැන්ඩර්ගේ මුල්ම ගුරුවරයා වූයේ එපිරස්හි ලියොනිදාස්ය. කුමරුට ගණිතය, අසුන් පිට යෑම හා දුනු ශිල්පය ඉගැන්වීම ඔහු වෙත පැවරිණි. ක්‍රි. පූ. 343 දී කුමරුගේ අධ්‍යාපනික කටයුතු පැවරුණේ ග්‍රීක දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් පඬිවරයා වෙතය. තම පියා නිරතුරුව යුදයේ නිරතව සිටි හෙයින් කුඩා ඇලෙක්සැන්ඩර්ට ඔහු මුණගැසුණේ කලාතුරකිනි. එහෙයින් ඔහුට පියකු බඳු වූයේ ඇරිස්ටෝටල් පඬිවරයාය. ඇලෙක්සැන්ඩර් කුමරු මෙසිඩෝනියාවේ පිටිසර ගම්මානයක් වූ මියෙසාහි වසර තුනක් ඇරිස්ටෝටල් පඬිවරයා යටතේ අධ්‍යාපනය ලැබීය. දර්ශනය, රාජ්‍ය පාලනය, කාව්‍ය ශාස්ත්‍රය, නාට්‍ය කලාව හා විද්‍යාව යන විෂයන් ඔහු උගත්තේ එම කාලයේ දීය.
දෙවැනි පිලිප් රජු බයිසෙන්තියන් රාජ්‍ය සමඟ සටනට පිවිසි සමයේ පෙලාහි උපරාජයා ලෙස 16 හැවිරිදි ඇලෙක්සැන්ඩර් කුමරුන් පත් කළේය. පිලිප් රජුගේ සේනාධිපතිවරයා වූ ඇන්ටිපාටර් ඇලෙක්සැන්ඩර් කුමරුට අවවාද අනුශාසනා ලබාදුන්නද අනෙකුත් ජනරාල්වරු සිතුවේ ඔහු පහසුවෙන් නැටවිය හැකි රූකඩයක් ලෙසිනි. එහෙත් වසරක් ගතවීමට පෙර තම හැකියාව ප්‍රකට කළේය. ක්‍රි. පූ. 338 දී ඔහු අශ්වාරෝහක හමුදාව මෙහයෙවමින් ඇතීනියානු හා තීබන් හමුදා සහමුලින් පරාජය කිරීමට තම පියාට සහය විය.
ඔලිම්පියාස් කුමරියට අවශ්‍ය වූයේ යම් මතු දිනයක ඇලෙක්සැන්ඩර් කුමරුට රාජ්‍ය පාලනය හිමිකර දීමටය. පිලිප් රජුගේ අනෙකුත් බිරියන්හට තෙසලොනිකෙ සහ සිනේන් නමින් දියණියන් දෙදෙනෙක්ද, පිලිප් නමින් පුත්‍රයෙක්ද වූහ. පසුකාලීනව තුන් වැනි පිලිප් වශයෙන් හැඳින්වූයේ ඔහුය.
පිලිප් රජු තම ජනරල්වරයකුගේ දියණියක වූ ක්ලියොපැට්රා සමඟ විවාහ වූ අතර ඇලෙක්සැන්ඩර්ගේ මව වූ ඔලිම්පියාස් බිසව මාලිගයෙන් එළවා දැමීමට පියවර ගත්තේය. එහිදී තම මව තනි නොකළ ඇලෙක්සැන්ඩර් කුමරු ඇය හා සමීප මිතුරන් කිහිප දෙනකු සමඟ ඊපිරස්හි සිටි ඔලිම්පියාස් බිසවගේ ඥාතීන් වෙත ගියේය. පිය පුතු දෙදෙනා අතර නිතර වාග් ප්‍රහාර එල්ල කෙරුණු අතර ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය අනුව පිලිප් රජු හා සටන්කොට මැසිඩෝනියාව යටත් කර ගන්නා මෙන් ඔලිම්පියාස් බිසව තම සොහොයුරා පොළඹවන ලදැයි පැවසේ. කොරින්ත්හි ඩෙමටරස් විසින් පිය පුතු දෙදෙනා සමගි කරන තෙක් ඔහු තම මව සමඟ වාසය කළේය.
ක්‍රි. පූ. 336 දී ඇලෙක්සැන්ඩර්ගේ සොහොයුරිය වූ ක්ලියෝපැට්රා විවාහ වූයේ ඇයගේ මව වූ ඔලිම්පියාස් බිසවගේ සොහොයුරා වූ පළමු වන ඇලෙක්සැන්ඩර් රජු සමඟිනි. මැසිඩෝනියානු අගනගරය වූ අයිගෙයිහිදී පැවැති එම මංගල උත්සවයේ දී පවුසානියාස් නම් මැසිඩෝනියානු තරුණ රදලයකු විසින් පිලිප් රජු ඝාතනය කෙරිණි. එම ඝාතනයට බලපෑ සාධකය කිසි දිනෙක අනාවරණ නොවීය. එය ඔලිම්පියාස් බිසවගේ අනුදැනුම මත සිදු වූ බවට ඇතැමෙක් සැක කරයි.
පිලිප් රජුගේ ඝාතනයෙන් පසු මෙසඩෝනියානු කිරුළට එකම හිමිකරු වූයේ ඇලෙක්සැන්ඩර් කුමරුය. ඔහුට හමුදාවේ සියලු සහය හිමි විය. රාජ්‍යත්වය පත් ඔහු ක්‍රමයෙන් තමාට තර්ජනයක් විය හැකි සියල්ලන් ඝාතනය කිරීමට කටයුතු කළේය. යළි මාලිගයට පැමිණි ඔලිම්පියාස් බිසව පිලිප්ගේ නව බිසව වූ ක්ලියෝපැට්රාගේ දියණිය ඝාතනය කළ අතර ක්ලියෝපැට්රාට දිවි නසා ගැනීමට බල කළාය.
මැසිඩෝනියාවේ රජු බවට පත් වුවද කොරින්තියන් ලීගයේ නායකත්වය ඔහුට පහසුවෙන් හිමි වූයේ නැත. දකුණු ග්‍රීක නගර රාජ්‍ය පිලිප්ගේ ඝාතනය පිළිබඳව උද්දාමයට පත් වූ අතර දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවැති ඇතැන්සය එම ලීගයේ පාලනය සියතට ගැනීමට අපේක්ෂා කළේය. ග්‍රීසිය පුරා නිදහස් ව්‍යාපාර පැන නැඟෙන්නට විය. මෙම අවස්ථාවේ දකුණු ග්‍රීසියට තම හමුදා යැවූ ඇලෙක්සැන්ඩර් රජ එම ප්‍රදේශ තමන් වෙත නතු කර ගත්තේය. කොරින්තියන් ලීගයේ නායකත්වයද තමන් සතු කර ගැනීමට ඔහුට හැකි විය.
ක්‍රි. පූ. 336 ශරත් සෘතුවේ ඔහු එම ලීගයේ ගිවිසුම් නැවත සකස්කොට සාමාජික රාජ්‍ය සමඟ සුහදත්වය ගොඩානඟා ගැනීමට පියවර ගත් අතර එම රාජ්‍ය ඔහුගේ නායකත්වය පිළිගැනීමට එකඟ විය. එහෙත් ස්පාර්ටාව ඔහු හා එක් වීම ප්‍රතික්ෂේප කළේය. පර්සියාවට එරෙහිව යුද වැදීම සඳහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදා යැවීමට එකඟ වූ ලීගය ඒ සඳහා තම සහය ලබා දෙන බවටද ප්‍රතිඥා දුන්නේය.
මතු සම්බන්ධයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දියානු ආක්‍රමණය රසවිතෙන් ඔබ හමුවට...