පෙර දින රාත්‍රියේ වට අනෝරා වැස්සේ තරම කෙතරම්ද යත් මහා ජලස්කන්ධයක් රැගත් බෙලිහුල් ඔය පිම්මේ දිව යයි. ඈ තම සීමා මායිමද නොතකා ලැසි ගමනින් වනාතෙන් කොටසක්ද ගිල ගෙන සිටින්නීය. පෙර දවස සෝ සුසුම් ලූ ඈ මෙදින ලද අවස්ථාවෙන් කුල්මත්ව සිටින්නීය.
ගත වූ දින කිහිපයේ අහස් කුස රැඳි වැහි වළා කැටිති පරයා හිනැහීමට වරම් නොලද හිරු අද නම් සිත පුරා හිනැහෙයි. බෙලිහුල් ඔය දෙපස වැජඹෙන කුරු උණ පඳුරු අතු ඉතිති හා සමග මුකුළු කරයි. අතු ඉති මතින් පෙරී - බේරී බිම පතිත වන අව් කැරැල්ලේද ඇත්තේ සිත පිනවන සුන්දරත්වයකි. පදමට තෙත් වූ පොලව මත හිරු රැස් වැටෙත්ම නවමු පුසුඹක් නංවාලමින් දුම් වළලු පොළෝ ගැබින් නික්මීම අරඹා ඇත. නැවුම් පුසුඹ රැඳි දුම් වළලු පසු බිමෙහි හිරු රැස් දිව යත්ම මැවෙන ෂඩ් වර්ණ දේදුනු රටාවන් වනය නම් වූ නිවහනට පිවිසුම් දොරටු තනයි.
හැල්මේ දිව යන ජල තලය අසලට දිව යමින් - යළිදු මෑත් වෙමින් ඉවුරු තලයේ නටනා අලු හැලපෙන්දෙක් කළ යුත්ත කුමක්දැයි නොදැන ළත වෙයි. මන්ද යත් මේ ඔහු කිසි ලෙසකිනුත් නොසිතූ සිදු වීමකි, මේ සිදු වූයේ. පෙර දින රාත්‍රියේ නිසොල්මනේ පසු වූ දිය කොමළිය අද හැල්මේ දිව යන්නීය. ඉදින් සුපුරුදු දින චරියාව අරඹනු වස් ගලින් ගලට පනිමින් එහා ඉවුරටත් , යළිදු මෙහා ඉවුරටත් කළ ගමන කෙසේ නම් අරඹම්ද? දිය දෑලේ සරමින්, ඒ අවට රැදෙනා කුඩා - කුඩා කෘමි සතුන් ගොදුරු කර ගනිමින් ජීවත් වීම වූ කලි හැලපෙන්දන්ගේ ප්‍රකට වූ භෝජන පුරුද්දකි.
මහවැලි - කැලණි - කළු වළවේ යන ප්‍රධාන ගංගා තුනක මව් දියතු පෝෂණය කරනා ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ මහඑළිතැනිතලාව නමින් දුරාතීතයේ හැඳින් වු හෝර්ටන් තැනිතලාව ය. සිරිලක භූ සැකැස්ම නිර්මාණයේදී බේසමක් මුණින් අතට නැමූ කල දිස් වෙන උස් වූ වේදිකාවක් හා සමව පිහිටි එකී භූ සැකැස්ම සිරිලකට උරුම වූ ජෛව විවිධත්වයෙන් පරිපූර්ණය. මුහුදු මට්ටමේ සිට මීටර් 2300 ට නොවැඩි උස් බිම මත රෝපිත ශාක වැස්ම සිත් හී ජනිත කරනුයේ බොන්සායි ශාක සැකැස්මකි.
සූටි ... ප්‍රියේ ... මයේ ... සූටි .... ප්‍රියේ ...
ජැක් ... ජෝ ... ජොයිස් , ජැක් ... ජෝ ... ජොයිස්
රොජර් ... රොජර් ... රොජර් ...
එක්වනම සියලු කුරුලු , කෙවිලි , කූජනයෝ වනපෙතේ අස්සක් මුල්ලක් නෑරම පාහේ වර නැගෙයි. වනාන්තරයේ ජීවන ගීතය එබඳුය. ඒ කෙසේ වෙතදු වරුසාව පහව ගිය බැව් පසක් කරමින් වනාත අවදි කරනා අටියෙන් විහග මිතුරෝ ස්වකීය රාජකාරිය අරඹති. නේක විධ කුරුලු - කෙවිලියෝ සප්ත ස්වර හරඹයෙන් ගයන ගැයුම් සැමත රැව් දෙති. එකී පසුබිම අභිමුව රඟන රැගුමන් මහඑළිතැන්න සජීවී වු සුන්දරත්වකින් පුරවයි.
ගත වු දින කිහිපයේම හඬන්නට රිසියෙන් බලා හිඳි කඳුළු බිඳු බරැති අහස් කුස නිල් සයුරක සිරි ගෙන ඇත. පෙනෙන තෙක් මානයේ එකදු වලා කැටිත්තක් හෝ නොමැතිය. නමුදු කළු පැහැති පැල්ලමක් සදිසිව ගුවනත සරනා ඔහු කවරෙක්ද? ගුවන් ගැබෙහි රජයන පාළුව මකනු වස් හේ දරනා ප්‍රයත්නය අහිංසකය. එනමුදු මෙකී වනපෙතෙහි දවසැරිය හුරු වු කල එහි නම් ඇති කිසිදු අරුමයක් නොමැත. මෙය වු කලී කළුකුස්සකුගේ උදා සංචාරයකි. ගොදුරු නීරීක්ෂණ චාරිකාවකි. එසේ නම් තවත් නොබෝ වේලාවකින්ම විළිරුදාවෙන් ඇඹරෙන වැසි බිජුවට බරැති වැහි වළාකුළු ස්වකීය බරින් නිදහස් වනු ඇත. යම් සහනයක් ගෙනෙනු වස් වියළි පොළෝ ගැබට පතිත වනු ඇත. එකී පණිවුඩයද මේ විහග මිතුරා අහස් කුස සරමින් පවසනුයේ.
විහඟුන්ගේ පියාසර විලාසයන් අතර ඉතාමත් අපූර්ව වූ පියාසර විලාශයකට හිමිකම් ඇති කළුකුස්සා ස්ථානෝචිත නුවණකින් හෙබියෙක් වශයෙන්ද ප්‍රකටය. එනම් මෙදින හා සම වූ ආකාරයේ පරිසරයට නවමු බවක් එක් කරනා පැහැදිලි දිනයක් තුළ පියාසැරිය යනු තම ශක්තිය වැඩිපුර වැය නොවන කාර්්‍යයක් බව හේ හොඳාකාරවම දනී. වරුසාවකට පසුව එළැඹෙන දිනය දීප්තිමත් අව් රශ්මිය සහිත දිනයක් නම් වායු ගෝලයේ රත් වී ඉහළ නගින වායු ධාරාවන් උපයෝගී කර ගනිමින් පුළුල්ව පැතිරී ගිය සර්පිලාකාර වූ ගමන් පථයක් ඔස්සේ පියාපත් විහිදා ගෙන නිශ්චලව සිටිමින්ම ඉහළට යාමේ හැකියාවක් ගොදුරු නීරීක්ෂණ පක්ෂීන් සතු වෙයි. රත් වී ඉහළ නගින උණුසුම් වායු ධාරාවන් හා සමග ඉහළට එළැඹෙන පක්ෂීන් තම පියාසැරියට උපකාරී වූ වායු ධාරාව දුර්වල බව හැඟීයත්ම එකී වායු ධාරාව අතැර සුපාවීම - නිසර්පනය ආදී චර්යාවන් උපයෝගී කර ගනිමින් ඉහළ නගින නව වායු ධාරාවක් හා සමග එක් වෙයි. හෝර්ටන්තැන්න වැනි වු කඳුකර වනාන්තරයන්ට ආගන්තුක නමුදු වියළි කලාපීය වනාන්තරයන්හීදී මෙවැනි වු පක්ෂී චර්යා රටාවන් සුලභ වනු ඇත. ඉදින් තුරු මඩලු මතත් , වනපෙතේ බිම් මට්ටමේ සියලු තැන් හි රැඳෙමිනුත් නේක විධ වූ කූජනයන්ගෙන් කුරුලු කෙවිලියෝ වනාතට අලුත් දිනයක් උදා වූ බැව් නොසඟවා පවසති. කුරුලු බසින් වනපෙත විචිත්‍රවත් කරති.
˝ එන්න සංචාරයකට කදිම දිනයක් , අපූරු මතක සටහන් පෙළක්, ‘‘මේ දිනය ඔබගෙයි ... " සියලු වනවාසීහු ඇරයුම් කර සිටිති.
සිරිලක රජ කළ රාවණ රජු ස්වකීය නැගණියට රාම කුමරුගෙන් සිදු වූ අපහාසයට පළි ගනු වස් රාම කුමරුගේ බිරිඳ පැහැර ගෙන විත් මෙකී වනපෙතේ සැඟවූ බවත් රාම කුමරුගේ යටහත් වැසි හනුමන්තා නමැති වානර රජු රාවණගෙන් පළියට පළිය ගනු වස් තම වලිගය අගට ගිනි තබා ගෙන වනපෙත පුරා දිව යමින් ගස් කොළන් දවා අළු කළ අයුරුත්, සැබැවින්ම ශ්‍රී ලාංකේය විශ්මිත ජන කතා සාහිත්‍යයේ හෝර්ටන්තැන්න සතු කතාන්තරයක් පමණි. එලෙසින් ගිනි බත් වූ වන පෙත එහි ඵලයක් වශයෙන් සම්පූර්ණයෙන්ම විවෘත තණ බිමක් වූයෙන් මහඑළිතැන්න වශයෙන් ගැමි වහරට එක් වී අතීතයේ සිට වර්තමානය දක්වා රහස් ගොන්නක් කරපින්නාගෙන සිරිලක සුන්දරත්වය ලොවට හඬගා පවසන නොපළ ගීයක් හා සමය.
1969 දෙසැම්බර් මස 05 වන දින ජාතික උද්‍යානයක් වශයෙන් ප්‍රකාශයට පත් හෙක්ටයාර් 3160 ක පමණ වපසරියක පැතිරි භූමි ප්‍රදේශයක් ආවරණය වන හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය තුළ සංචාරකයින් හට පා ගමනින් පරිසර සුන්දරත්වය විඳිමින් ළඟා විය හැකි ස්ථාන කිහිපයක්ම පිහිටා ඇත. සිරිලක දෙවැනිව උස කිරිගල්පොත්ත (මීටර් 2393) සහ තෙවැනිව උස තොටුපොළ (මීටර් 2359) කඳු මුදුන් තරණයත් , කිලෝමීටර් හතරහමාරකට ආසන්න වූ පාගමනකින් පසුව ළඟා විය හැකි පුංචි ලෝකාන්තය (මීටර් 274 ක පමණ ප්‍රපාතයකි), මහ ලෝකාන්තය (මීටර් 884 ක පමණ ප්‍රපාතාකාර දළ බෑවුමකි), චිමිණි පොකුණ, බේකර්ස් ඇල්ල සහ රංචු වශයෙන් සරමින් තණ පත් බුදින ගෝන රංචුත් හෝර්ටන්තැන්නේ ආකර්ශනීය බවට නිදසුන් සපයති. සිරිලක ස්වභාවික වනපෙත් අතරේ ගෝනුන් සාමූහිකව දැක බලා ගත හැකි ජාතික උද්‍යානයක් වශයෙන්ද හෝර්ටන්තැන්න ප්‍රකටය. මේ සියලු වන දරුවෝ නිදහසේ සුව බුක්ති විඳිමින් ජීවිතයේ සැබෑ සුව විඳින අයුරු සැබැවින්ම මිනිස් සිත්සතන් තුළද ජනිත කරණුයේ ප්‍රිතියකි. මෙකී ප්‍රීතියේ මූල බීජය වූයේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැප කළවුන්ගේ අසීමාන්තික වූ කැප කිරීම් නොවන්නේද? ප්‍රසංශාවට භාජනය නොවූවත් ඔවුන් නිහඬවම නමුත් සිදු කරන්නාවූ රාජකාරියකට සීමා නොවූ කැප කිරීම් සමුදාය වනජීවී සංරක්ෂණ විෂයට අදාළව අපි අද දිනයේදී බුක්ති විඳින්නා වූ යථාර්ථය නොවන්නේද?
සැබැවින්ම මෙදවස නිහඬ වනපෙත් යටත් විජිත සමයේ රයිෆල් හඬින් ,දඩයම් බල්ලන්ගේ උඩු බිරුම් හඬින් සහ දඩයම් ලෝලී සුදු ජාතිකයින්ගේ ජයග්‍රාහී ඔල්වරසන් හඬින් කෙතරම් නම් කැලඹෙන්නට ඇතිද? එකී හඬසන් හමුයේ අහිංසක වනජීවිත අපමණවත් බියෙන් සැඟවෙන්නට ඇත්ද? වර්ෂ 1800 ගණන් යනු හෝර්ටන්තැන්න වන රජදරුවන්ගේ රජ දහනක් වූ බවටත්, විසල් පරාසයක පැතිරුණු තණ බිම් හී නිදහසේ සැරූ වනජීවීහු නේලු මල් සහ ඵල ආදිය බුක්ති විඳිනු වස් නිරන්තරවම මෙකී වනපෙත් ස්වකීය නිවස්නයන් හා සමැව ගෙන නිදහසේ ජීවත් වූ බවටත් වන සාධකයන් ගවේෂණය කළ හැකි සමයකි. යටත් විජිත ආක්‍රමණයන්ට සමගාමීව සිදු වූ පාරිසරික විපර්යාසයන් හමුයේ තම නිජ බිම් අහිමි වීමෙන් අසරණ වූ වනජීවීහු සුදු දඩයක්කාරයින්ගේ දඩයම් කෙළි බඩු බවට පත් වූහ. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සොඳුරු දසුන් මවනා බේකර්ස් දිය ඇල්ල සැමුවෙල් බේකර් නමින් නම් කර තිබීමද ඔහු නිදහසේ කළ කී දෑ යළි යළිත් සිහිපත් කරනා වටපිටාවක් නිහඬවම නිර්මාණය කර තිබේ. බේකර්ස් ඇල්ල නගනා දුක් ගැනවිල්ලට මදකට සවන් දෙන්න. ඉන් නැගෙනුයේ, නිස්කාරණයේ අහිමි වූ වනජීවිත තමන්ට නිදහසේ ජීවත් වන්නට ඉඩ නොදුන්නේයැයි හෙලූ සෝ සුසුම් හඬද?
සැමුවෙල් බේකර් වරෙක දඩ සතුන් නිරන්තරවම ගැවසෙන තෝතැන්නක් බඳු වූ පිහිටීමක් සහිත භූ ලක්ෂණයන්ගෙන් හෙබි මධ්‍යම කඳුකරය ඇසුරේ සරමින්, වනසතුන් දඩයම් කරමින් තැබූ විත්ති සටහන් සැමුවෙල් බේකර්ගේ ජීවිතයේ අඳුරු පාර්ශ්වයේ එක් පැති කඩක් වශයෙන්ද හැඳින්විය හැකිය. එසේම මෙකී අඳුරු සටහන්ම පසු කලෙකදී ඔවුන් කළ කී දෑ පිළිබඳව යළි යළිත් තම සිත යොමු කිරීමට වූ පෙළඹවීමක් වශයෙන්ද හැඳින්විය හැකිය. හෝර්ටන් තැනිතලාව බේකර්ස්ගේ අතීත දඩකෙළි සඳහා භාවිත කළ වනගත ෙපදෙසක් වශයෙන්ද හැඳින්විය හැකිය. නිහඬතාව නිබඳවම රජයන ගැඹුරු ආගාධයන් අතරේ ඔබ - මොබ යමින් තම දඩකෙළි සැමරුම් එකතුවට වනසත්ව කුසලානයන් එක් කර ගන්නා අටියෙන් දඩයම් බලු රෑන පිරිවරා ගෙන නිබඳවම සංචාරයන්හි නිරතවීම බේකස්ගේ දවසැරියේ අනිවාර්ය අංගයක් බවටද පත් විය. එවැනි වූ දඩයම් සංචාරයන් පිළිබඳව දවස අවසානයේදී සටහනක් තබා ගැනීමටද හේ වග බලා ගත්තේය. දිනක් හෝර්ටන්තැන්න ආශ්‍රිතව සිදු කළ ගෝන දඩයමක් අතරතුරදී හේ කිසිවිටෙකදීවත් නොසිතූ සිදුවීමකට මුහුණ දුන්නේය.
හෝර්ටන් තැනිතලාවේ හමුවන සුන්දර වූ දිය ඇල්ලක් පාදක කර ගෙන සිදු වූ එම සිදු වීම ත්‍රාසය සහ දුක මිශ්‍ර වූ අවස්ථාවක් වශයෙන්ද හැඳින්විය හැකිය. මන්දයත් මෙම සිදු වීම සැමුවෙල් බේකර් වෙත ස්වකීය ක්‍රියාකලාපය පිළිබඳව යළි යළිත් සිතා බලන ලෙස ස්වයං විවේචනයක යෙදුණු අවස්ථා නිරූපණයක් ලෙසද හැඳින්විය හැකිය. එනම් පළමුව වනජීවී සංහාරයට පෙළඹුණු සිත කල් යත්ම වනජීවීන් සම්පතක් සේ සිතීමට යම් පෙළඹවීමක් දක්වා මෙහෙය වීමේ කාර්යය වෙත සුදු දඩයක්කරුවන්ව රැගෙන ඒමෙහිලා මෙවැනි වූ සංවේදී වූ සිදු වීම් යම්තාක් දුරකට හේතු වී ඇතැයි යන නිගමනයටද අප රැගෙන යයි.
දිනය පුරාවටම ලුහු බැඳ පැමිණි අපගේ දඩයම් ඉලක්කය දැන් සිටිනුයේ දෑස් අභිමුවය. දඩයම් බලු රෑනට කොටු වූ කල උන්ගේ ඉවෙන් මිදී පලා යාමට තරමේ සමත් කමක් පෑ හැකි වනසතෙක් වෙත්ද? දඩයම් බල්ලන් විසින් එක් ස්ථානයකට කොටු කරන ලද ගෝන නාම්බා හැසිරෙනුයේ අපගෙන් මිදී පළා යාමට කිසිදු හෝ මාර්ගයක් නැති බව දැන ගෙන බව ගෝනාගේ හැසිරීම් රටාව විසින්ම පෙන්වා දෙනු ලැබ ඇත. විසල් වූ ඇස් අවිනිශ්චිතව ඔබ - මොබ දුව යනුයේ ජීවිත දානය ලැබිය හැකි යම් මාර්ගයක් කොයි මොහොතේ හෝ නෙත ගැටෙතැයි යන බලාපොරොත්තුව පෙරදැරිවය. නමුත් ඉන් කවර ඵලයක්ද? දඩයමට හුරු බලු රැළ ගෝනා තව තවත් එක් ස්ථානයක් වෙත කොටු කරමින් බලා හිඳිනුයේ තම ස්වාමියා පැමිණ ගෝනා ගේ හුස්ම බිඳ මේ දැන් සිදලතියි යන ඒකායන පැතුම පෙර දැරිව විය යුතුය.
ගෝනා කොටු වූ ස්ථානය පාරිසරික සුන්දරත්වය අතින් ගත් කල මනරම්ය. මන්ද යත් පසෙකින් හෝ හඬින් ඇද හැලෙන දිය පිරි ඇල්ලකි. දඩයම් බලු රැළ සහ මා ගෝන දඩයම සඳහා තෝරා ගෙන ඇත්තේ දිය ඇල්ලක් අබිමුව වූ ප්‍රපාතාකාර දළ බෑවුමක්. වරු ගණනක් තිස්සේ වනාන්තරයේ සෑම අස්සක මුල්ලකම කරක් ගසා අනතුරුව ගෝනා මේ ස්ථානයට පන්නා ගෙන ඒමට ගත් මහන්සිය ගැන සිතත්දී, කෙසේ නම් මෙලෙසින් කොටු වී අප අභිමුව ආයාචනාත්මකව ජීවිතය යදින ගෝනාට අවස්ථාවක් ලබා දෙන්නද? අපගේ මහන්සිය අපතේ හරින්නද? ගෝනා කිසි ලෙසකින්වත් පිටවී යාමට හෝ අසීරු ඉමක් තෙක් පැමිණ ඉන් පිටව යා නොහී කොටු වී සිටී. දැන් ඉතිරිව ඇත්තේ මාගේ දඩයම් පිහි හරඹය පෑම පමණි. දඩයමට ලොබින්දෝ දඩයම් බලු රැළ ගෝනා තව තවත් දිය ඇල්ලේ මුව විට තෙක්ම සිර කරමින් සිටියි. මම යුහුසුලුව බලු රැළ උසි ගැන්වූයේ ගෝනා දිය ඇලි ප්‍රපාතාකාර දළ බෑවුම් ගැට්ටේ සිර කර ගෙනම තබා ගන්නා අටියෙනි. කෝටු වී යන එන මං හෝ නොදැන ජීවිතයේ අවසන් හෝරාවේ පසු වන ගෝනාගේ ආරක්ෂාව සඳහා ඉතිරිව ඇති එකම අවිය බවට පත් වී ඇති, දිගු අං යුවළ අමෝරා ගත් හේ ප්‍රහාරාත්මක වූ ස්වරූපයක් ආරූඪකර ගනිමින්ම තව තවත් දිය ඇල්ලේ භයංකරව ඇද වැටෙන ඇලි මුව විට තෙක්ම සමීප විය.
මම දිය ඇලි මුව විටෙන් පහළට පැන හැල්මේ දිව යන ප්‍රපාතාකාර වූ දළ බෑවුම දෙස බැලුවෙමි. ප්‍රපාතය මිහිදුම් පටලයෙන් වැසී ඇත. මිහිදුම විසින් ප්‍රපාතයට ඇද වැටෙන දිය දහර සඟවා ගෙන ඇත. ප්‍රපාතාකාර දළ බෑවුම පුරාවටම රැව් පිළිරැව් නඟනුයේ හෝ ... හෝ ... රාවය පමණි. මෙවැනි වූ පසු බිමක් මත අපගේ දඩයම් ඉලක්කය වී ඇති ගෝනාට ඉතිරිව ඇත්තේ අපට පහසු දඩයමක් බවට පත් වීම හෝ , කිසි කළෙකදී වත් සිදු වේ යැයි මා නම් නොසිතන මේ ප්‍රපාතයට පැන සියදිවි නසාගැනීම පමණී.
අහෝ සැබැවින්ම සිදු වන්නට යන්නේ කුමක්ද? එය සිදු වුවොතින් කෙසේ නම් මා එය පිළිගන්නද? දඩයම් ලොබින් පසු වන මා පිරිවරා ගත් බලු රැළ දෙස අවසන් වරට බැලූ ගෝනා සිය විසල් වු සිරුරට දඩයම් පිහියේ රස බැලීමට කෙසේවත් ඉඩ නොදෙමියි යන ස්ථාවරයේ පිහිටමින් දෝ විසල් වූ නෙත් කෙවෙනි අග දිදුලුණු කඳුළු පිරි දෙනෙතින්ම අවසන් තීරණයට එල්බ ගත් බැව් මට පසක් විය. එබැවින් මම ගෝනාට සමීප වූයේ ඌට පළමුව මා ක්‍රියාත්මක වන අටියෙනි. නමුත් සියල්ල සිදු විය යුත්තේ කෙලෙසකින්ද යන්න තීරණය කර ගත් හේ අපට පසු පස නිරාවරණය කරමින් පහළ දිය ඇලි ප්‍රපාතය වෙතට පැන්නේ ය. මම දළ බෑවුම දෙස බැලූයෙමි. මිහිදුම් කෝඩය විසින් එසැණින් ගෝන රුව සඟවා ගනු ලැබූ නමුදු ජලය කඩා වැටෙනා හෝ ... හෝ ... හඬ පරයා එක් වනම හීන් කෙඳිරියක් හා සමග චරස් සරින් අව්‍යක්ත වූ හඬක් මා සවනත පතිත විය. ඉනික්බිතිව ඉතිරි වූයේ දිය ඇල්ල ඇද හැලෙන හෝ ... හෝ ... හඬ පමණී.
දඩයමට සිත ගිය නමුදු ඒ රළු හැඩි දැඩි සිත මොහෝතකට හෝ තෙත් කිරීමට සමත් වූ මෙවැනි වූ සිදු වීම් බේකර්ස් වැනි චරිතයන් හි චිත්ත අභ්‍යන්තරයට යම් බලපෑමක් සිදු කරන්නට ඇතැයි යන්න සිතිය හැකිය. මන්ද යත් දඩයම් ලොබ චරිත විසින් තැබූ සටහන් බොහෝමයක් ආරම්භ වන්නේ උද්යෝගයකින් වුවත් ඒවා අධ්‍යයනය කිරීමේදී හැඟි යන්නේ අවසන් පාර්ශ්වයට ළං වත්ම යම් සිත් තැවුලක්ද එම සටහන්හි ගැබ් වී ඇති බවකි.
සැබැවින්ම බේකර් විසින් පෙර සඳහන් කළ සිදු වීමට පාදක වූයේ මහඑළිතැනිතලාවට ජීවයේ සුස්මක් පිඹිනා, මෙදවසදී බේකර්ස් ඇල්ල වශයෙන් හඳුන්වන දිය ඇල්ලමද යන්න ඒ අබියසට යන සෑම විටෙකදීම මගේ සිතට මතු වන ගැටලුවක් බවට පත් වී ඇත. එබැවින් මෙම කතාව බේකර්ස් ඇල්ලේ සැඟව ගිය කතාවක් වශයෙන් මම හඳුන්වමි. එසේම මා හා සමග එකඟවීමට හෝ නොවීමට ඔබටද අයිතියක් ඇත. ඒ කෙසේ වෙතිදු මෙවැනි වූ කතාන්තරයන් අපට ඉස්මතු කර පෙන්වනුයේ කුමක්ද? අපි යළිදු මනුෂ්‍යත්වයේ නාමයෙන් , සොබාදහම් මාතාවගේ දරුවන් වශයෙන් සියලු දෙනා එක්ව මිහිමත ජීවත් විය යුතු බව යළි යළිත් සිහිපත් කරන්නෙමු. එදා මෙදා තුර මිහිමත බිහි වූ සත්වයින් අතරින් යමක් තේරුම් බේරුම් කර ගත හැකි භාග්‍යක් උරුම කර ගත් සත්වයින් කොටසක් සේ මිහිමත ජනිත වූ අප , තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි සත්වයින් වෙනුවෙන් හඬක් අවදි කළ යුතුය ඇති බවද මේ සියලු කතාන්තරයන් අධ්‍යයනයේදී උගත යුතු පාඩම නොවන්නේද?
අප්‍රමාණ වූ කතාන්තර අපමණවත් , නිහඬවම සඟවා ගෙන මුනිවත රකිනා වනපෙත් ස්වකීය නිහඬතාවට සැම දා ගරු කරයි. එසේ වෙතිදු එම අනගි රහස් නිරාවරණය කර ගැනීම යුගයේ අවශ්‍යතාවක් ලෙසද මම දකිමි. සොබාදහම විසින් අපූර්වවූත්, විශ්මිතවූත් නිමැවුම් මවා පාමින් , විටෙක දී සඟවා ගනිමින් මිහිමත සොඳුරු නවාතැනක් බවට පත් කරනු ලැබ ඇත. එම සොඳුරු නවාතැනෙහි සරන්නවුන් වනුයේ ගහ - කොළ - සතා - සීපාවා ප්‍රමුඛ මිනිසත් අපම නොවන්නේද?
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
සේයා රූ : රෝහිත ගුණවර්ධන