මව් සෙනෙහසට පුදදුන් දවස


 

 

දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා, දෙවියන් තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මුළුල්ලේ පවතී. මවක් දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය. ඇයට තම දරුවා වෙනුවෙන් ඉටු කළ නොහැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි. 

 
මිහි මඩල ජීවත් වන මා ඔබ මෙන්ම මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවියකුම බිහි කිරීමේ උදාර කර්තව්‍යයේ ගෞරවණීය නිර්මාතෘත්වය මව්වරුන් වත හිමි වන්නේ නිතැතිනි. දස මසක් කුස දරා සිටිනා කාලය පුරාවට, බිහිවන දරුවාගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින් පිළිවෙත් සම්භාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේද ලෝකයෙහි විඳිය නොහැකි අපහසුතම වේදනාව වූ ප්‍රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ ගනිමිණි. දරුවා බිහි කරත්ම දරුවා වෙනුවෙන් ඇය හද පත්ලෙන් මතු වන හෘදයංගම අසීමිත සෙනෙහසින් ඇය සිරුරේ දිවෙන රත් පැහැ රුධිරය ශ්වේත වර්ණ මව් කිරි බවට පත්වීම විශ්මිත විශ්වීය සිදුවීමකි. කිරෙන් බරවූ පියයුරෙහි තුඩු ඇය සිය බිළිදාගේ සුසිනිදු දෙතොල් අතර රඳවන්නේ බිළිඳා හිමි ඇඟිළි තුඩින් පිරිමදිමින් අසීමිත දයාවක් සිය සන්තානයෙහි දරාගෙනය. මෙම නිමේෂය බිළිඳාගේ කායික පෝෂණය මෙන්ම මානසික වර්ධනය උදෙසා අතිශයින්ම හේතු කාරක වන බව නුතන වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර ඇත. උපත ලද දින සිට දරුවා හැදී වැඩී යෞවනත්වයට පත්වණ තුරා දරුවා රැක බලා ගනිමින් ලෙඩට දුකට ඇවැසි ප්‍රතිකාර ලබා දෙමින්, පෝෂණය කරමින්, යහ ගුණ දම් වඩවමින් නිසි අධ්‍යාපනයක් වෙත යොමු කරවමින් දරුවා වෙනුවෙන් මවක විසින් ඉටුකරනු ලබන යුතුකම් සම්භාරය ඉමහති. ඒ වෙනුවෙන් තමන් වැඩිවිය පත්වූ පසුව දරුවන් විසින් මවුපියන් හොඳින් රැකබලා ගැනීම ඔවුන් වෙත පැවරෙන පරම යුතුකමකි.  


මාපිය උපස්ථානය මංගල කාරණාවක් සේ දැක්වූ බුදුන් වහන්සේ ප්‍රියවචනයෙන් ඔවුන් අමතන ලෙසත්, වන්දනාමාන කරන ලෙසත්, ගරු සැලකිලි කරන ලෙසත්, ගෞරවනීය ලෙස ඔවුන් ඉදිරියේ හැසිරෙන ලෙසත්, ඔවුන්ව ඉක්මවා නොයන ලෙසත්, ඔවුන් නවා කවා පොවා ලෙඩට දුකට පිහිටවන ලෙසත්, මිය ගිය පසු සිහිපත් කොට පින් පමුණුවන ලෙසත් වදාළ සේක.

 

  


යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේද? ඔහු වසලයෙක් වන බව වසල සුත්‍රයෙන් දේශිතය. බුදුරජාණන් වහන්සේ තරම් මවගේ පියාගේ අගය වටිනාකම ධර්මානුකූලව විග්‍රහ කළ වෙනත් ශාස්තෘවරයෙක් මිහිපිට නොමැති තරම්ය.  
යු​රෝපයෙහි මාතෘත්වයට ප්‍රණාමය දැක්වීමේ ප්‍රවණතාව ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසට පූර්වයෙහි ග්‍රීක රෝම යුගයන් දක්වා ඈත අතීතයට දිවයයි. එම යුගයේ මවුවරුන්ගේ අධිපති දෙවගන ලෙසින් රියා දෙව්දුව මවුවරුන් අතර ඉහලම ගෞරවයට බඳුන්වූ බැව් පැවසේ. ග්‍රීක බසින් රියා යන්නෙහි අරුත ප්‍රවාහය යන්නයි. රියා දෙවඟන ගලායාම, ස්ත්‍රීත්වය හා සාරවත් බව යන ත්‍රිවිධ අංශයන්හි සිය බල පරාක්‍රමය පැතිරූ දේවතාවියක් ලෙසින් ග්‍රීක වැසියන් අතර පිලිගැනීමක් පැවතිණි.   


මැද පෙරදිග සහ යුරෝපා රටවල මාතෘත්වය අති ප්‍රබල ලෙසින් පූජනීය සහ ගෞරවණීයත්වයට පත්වූයේ ක්‍රි.පුර්ව 6-4 කාල පරාසය තුළය. එනම් මරියා මවු තුමිය කුසින් ජේසු තුමන්ගේ උපත සිදුවීමත් සමගය. කිතුනු සමාජය මරියා මවුතුමිය දේවත්වයෙන් අදහන අතර එතුමියගේ උපත සමරමින් ගෞරවාදරය දැක්වීම සඳහා සෑම වසරකම සැප්තැම්බර් 08 වැනි දින යොදාගෙන ඇත.   


තම මව වන ඇනා එම්. ජාවිස් මහත්මියට සහ ලෝකයේ අනෙකුත් සියලුම මව්වරුන්ට උපහාර දැක්වීමට තීරණය කළ දියණියක වන ඇනා මේරි ජාවිස්ගේ දැඩි අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙසින් ලෝක මව්වරුන් සැමරීමේ මුල්ම උත්සවය 1908 මැයි 09 වැනි දින මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදිණි. ජාවිස් මැතිනියගේ සුවිශේෂී ඉල්ලීම මත මව්වරුන්ගේ දිනය ෆෙඩරල් රජය විසින් පිළිගෙන 1914 දී එවකට සිටි ජනාධිපති වුඩ්‍රෝ විල්සන් සෑම වසරකම මැයි මස දෙවැනි සතියේ ඉරිදා මව්වරුන්ගේ දිනය ලෙස නම් කරන ලෙස නිර්දේශිත පනතට සිය නිල අත්සන යොදනු ලැබිණි. මවගේ දිනයෙහි නිර්මාතෘ වන ඇනා ජාවිස් සිය සැබෑ ජිවිතයේදී කිසි දිනෙක මවක් නොවූ බවද වාර්තාවේ.  


ජාවිස් මැතිණිය 1948 නොවැම්බර් 24 වැනි දින මිය ගියාය. ඇයව ෆිලඩෙල්ෆියා හි බටහිර ලෝරල් හිල් සුසාන භූමියේදී තැන්පත් කරන ලදී. එදින ග්‍රැෆ්ටන්හි මෙතෝදිස්ත පල්ලියේ සීනුව ඇයට ගෞරවය පිණිස 84 වතාවක් නාද වූයේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 84 ක් බැව් සනිටුහන් කිරීම පිණිසය. සුසානයට සැතපුම් හතරක් ඔබ්බෙන් පිහිටි ඇනා ජාවිස් උපන් නිවස කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබයි.  
මව්වරුන්ගේ දිනයේදී දූ දරුවන් එක්ව මව්වරුන් සතුටින් තැබීම පිණිස විවිධ අන්දමේ උත්සව සංවිධානය කෙරේ. ආහාරපාන, ඇදුම් පැළදුම්, ඔවුන් ප්‍රිය කරන විවිධ තෑගි බෝග පිරිනැමීම පමණක් නොව ඔවුන් විනෝද චාරිකාවන්ට සහභාගි කරවා ගැනීම ද සිදු කෙරේ. සංගීත සහ විවිධ ආගමික උත්සව ද මව්වරුන් ගේ දිනයේදී සුලභ ලෙස දැකගත හැකිය. දුර බැහැර ප්‍රදේශයන්හි සේවයේ නිරත දූ දරුවන්, තෑගි භෝග රැගෙන සිය මවුවරුන්​ගේ සුවදුක් බැලීමට පැමිණීමද මවුවරුන්ගේ දිනයේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවට පත්ව ඇත. තම දරුවන් මැනවින් හදා වඩා ඔවුන් රටේ දැයේ උන්නතියට උර දීම පිණිස සමාජය වෙත යමු කිරීමට එහා ගිය සුවිසල් කාර්ය භාරයක් මව්වරුන් වෙතින් ඉටුවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. දේශයේ නිවහල් භාවය රැක ගන්නට ගැමුණු කුමරුන් බිහි කළ විහාර මහා දේවිය, තම පුතු මෙහෙයවූ සේනා සංවිධානයේදී සිය පුතුගේ සෙවනැල්ලක් සේ රැඳෙමින් ගැමුණු කුමරුන් දිරිමත් කල අයුරු ඉතිහාසය අපට සිහි ගන්වයි. තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ යන සාම්ප්‍රදායික ආප්තෝපදේශය තුළින් ද ජනගත කෙරෙන්නේ රටක් දේශයක් යහපත් දිශානතියකට යොමු කිරීමට ඇය තුළ පවත්නා උත්තරීතර අධිෂ්ඨානශීලී ශක්තියයි.  
තාරුණ්‍යය මැකී යයි, සියලු ආදර බැඳීම් පෑල දොරින් පලා යයි. එනමුදු දරුවා වියපත් වුවද මවකගේ දරු සෙනෙහස බිඳකුදු, කෙදිනකවත් කෙලෙසකවත් නොසිඳෙන්නේය යනුවෙන් වරක් ප්‍රංශ ජාතික සාහිත්‍යධර වික්ටර් හියුගෝ (1802- 1885) පැවසීය. දරුවා කෙතරම් වියපත් වුවද මව ඔහු වෙත සෙනෙහස දල්වන්නේ, බාල කාලයේ තම ඇකයේ නැළවුණු බිළිදාට දැක්වූ සෙනෙහස විලසින්ම බව යථෝක්ත ප්‍රකාශයෙන් ගම්‍යවේ.  
මවකගේ නොපසුබස්නා වීර්යය මූර්තිමත් කෙරෙන මැක්සිම් ගෝර්කි විසින් ලියන ලද ‘‘අම්මා’’ නැමැති කෘතියේ ‘‘අම්මා’’ මැයෙන්වූ ප්‍රධාන චරිතද මෙහිදී අපට නිතැතින්ම සිහිපත්වේ. ඉතාමත් ධෛර්යවන්ත කාන්තාවකගේ චරිත ස්වභාවය කදිමට නිරූපනය කරන ‘‘නීලව්නා’’ ඒ දිරිය සම්පන්න අභීත අම්මාය. ඇගේ ස්වාමි පුරුෂයා සාමාන්‍ය කම්කරුවෙකි. නිරන්තරයෙන් බීමත්ව සිටින මෙම ස්වාමි පුරුෂයා සාමාන්‍ය කම්කරුවෙකි. නිරන්තරයෙන් බීමත්ව සිටින මෙම ස්වාමි පුරුෂයා තම බිරින්දෑට තලා පෙලා පමණුවන අනේක විධ වද හිංසා අපමණය. ඒ සියලු ගැහැට විඳ දරා ගනිමින් සිය එකම පුතු පෝෂණය කරමින් මැනවින් හදා වඩා ගැනීමට ඇය කාර්යශූර වුවාය. සැමියා අකාලයේ මියැදුණු පසුව ඇය සිය පුතු සමග අන්ත අසරණ භාවයට පත්වූවාය.   

 

 

තරුණ වියට එළැඹි ඇයගේ පුතු එවකට රුසියාවේ පැවැති අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කිරීම පිණිස විප්ලවවාදී ක්‍රියාකාරකම්වලට යොමු වෙයි. තම පුතුගේ ක්‍රියාකාරකම් සඳහා සහාය දීම පිණිස ඇය වෙස්වලාගෙන ප්‍රචාරක පත්‍රිකා රහසින් ගෙන ගොස් කර්මාන්ත ශාලා සේවකයින්, ගොවීන් අතරේ බෙදා හරිමින් ඔවුන් දැනුවත් කිරීම සාර්ථකව සිදු කරනු ලැබුවාය. මේ අතර දුම්රියපොළකදී ඇය පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට පත්ව ඔවුන්ගේ කෲරවධ හිංසාවලට නොසැළී මුහුණ දුන්නේ සිය දැඩි ආත්ම ශක්තිය මැනවින් ප්‍රකට කරවමිණි.  


‘අම්මා’ කතාව පුරාම ගලා යන මේ දිරිය මවගේ චරිතය මවකගේ වීරත්වය මොනවට ඉස්මතු කර දක්වයි. මැක්සිම් ගෝර්කි ගේ සැබෑ ජීවිතයේ මව වූ වාවරා පෙෂ්කෝව් ගේ චරිතය ආශ්‍රයෙන් ‘අම්මා’ නවකතාව නිර්මාණය කරන්නට ඇතැයි අපට අනුමාණ කළ හැකිය.  


ජපානය, මහා භාරතය, වියට්නාමය, ඇමෙරිකාව වන් රටවල් ගණනාවක අම්මාවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය නිරූපණය කෙරෙන කෞතුකාගාර ගණනාවක් ස්ථාපනය කර ඇත. එම කෞතුකාගාරයන්හි විශේෂයෙන්ම තම රට කීර්තියට පත් කළ ප්‍රකට දේශපාලකයින්, සාහිත්‍යධරයින් නව්‍ය නිෂ්පාදනයන් ලොවට හඳුන්වාදුන් වියතුන් ලොවට බිහිකළ අම්මා වරුන්ගේ චරිතාපදානයන්, ඔවුන් ලද අත්දැකීම් මූර්තීන් සහ ජායාරූප ප්‍රදර්ශනය කෙරේ. ශ්‍රී ලංකාවේ ද මෙවන් කෞතුකාගාරයක් ස්ථාපනය කිරීමේ යෝග්‍යතාව පිළිබඳව සංස්කෘතික අමාත්‍යාංයේ සුවිශේෂි අවධානය යොමු කිරීම යුගයේ කාලීන අවශ්‍යතාවයකි. මෙමගින් දේශයේ ප්‍රගමනයට උර දුන්, අප්‍රකට නන්නාඳුනන දැයේ වීර මාතාවන් ගේ මාතෘත්වයේ සුවඳ අපගේ බාල පරපුරට මැනවින් ග්‍රහණය කර ගැනීමට අවකාශයක් සැලසෙනු නියති.  


විහාර මහා දේවිය, මහ පැරකුම්බා නිරිඳුන්ගේ මෑණියන් රත්නාවලී බිසව, ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ මෑණී කැතලින් එලිසබෙත් ගුණසේකර මැතිනිය, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති මෑණියන් ඩේසි ඔබේසේකර මැතිනිය, වත්මන් ජනාධිපති හා අගමැති මෑණියන් දැන්ඩිනා රාජපක්‍ෂ මැතිනිය, හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මෑණියන් ලියනගේ නොච්චිහාමි මැතිනිය. සිංහලයේ මහා ගාන්ධර්වයා අමරදේව මෑණියන් මැගී වෙස්ලිනා මෙන්දිස් මැතිනිය වන් ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි විස්කම් පෑ දරුවන් බිහි කළ අම්මාවරුන් පිලිබඳව වත්මන් සමාජය දැනුවත් කිරීමට මවුවරුන්ගේ කෞතුකාගාරයකින් ඉමහත් සේවාවක් සැලසෙනු නියතය. එසේම එමගින් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් බිහි කළ ඒ නන්නාඳුනනා අම්මාවරුන් වෙනුවෙන් ඉටුකරනු ලබන නොමියෙන උපහාරයක් ද වනු නිසැකය.   
මව්වරුන්ගේ දිනය පමණක් නොව, වසරේ සෑම දිනයක්ම මව්වරුන් ගේ දිනය සේ සළකා දරුවන්ගෙන් මව්වරුනට ඉටුවිය යුතු යුතුකම් සපුරාලන්නට කැපවීම කෙරෙහි අප සැමගේ දැඩි අවධානය යොමුකිරීම අතිශයින් වැදගත්වේ.  


ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් (1732 - 1799) තම මව වන මේරි බෝල් වොෂිංටන් මැතිණිය අනුස්මරණය කරමින් තබන ලද කීර්තිමත් සටහනකින් මෙම ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි.  
මා දුටු ආකර්ශනීයම කාන්තාව මගේ අම්මා. මම මගේ මවට බෙහෙවින්ම ණයගැතියි. ඇයගෙන් මට ලැබුණු සදාචාරාත්මක මග පෙන්වීම, බුද්ධිමය හා ශාරීරික අධ්‍යාපනය මගේ ජිවිතයේ සාර්ථකත්වයට හේතුවූ බැව් කෘතවේදීත්වයෙන් සනිටුහන් කරමි.

 

ආචාර්ය ගාමිණී කාරියවසම්