මන්ත්‍රී පුටුව හා බ්‍රෝහියර්ගේ බූරු ඇඳ


රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමයේදි බ්‍රෝහියර් රාජ්‍ය අමුත්තන් පිරිසක් දින කිහිපයක් නැවතී සුහද හමුවක් සඳහා පැමි​නෙණ බවක් දැන්වීය. මේ අමුත්තන් පිරිස පිළිගැනීමට සතුටු වූ රජතුමා ඒ ආරාධනය පිළිගත්තේය. ඒ බව ඔවුන්ටද දැන් වීය.   


එහෙත් මේ පිරිස සඳහා නවාතැන් දීමේදී බලවත් ප්‍රශ්නයක් මතුවිය. ඒ පිරිසට ඇඳන් සපයන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. එදා මෙම ලී බඩු සාප්පු තිබුණේ නැත. අද නම් දුරකථන පණිවිඩයක් දුන් පමණින් පැය ගණනකින් එය නිවසට ලැබෙන පහසුකම් ඇත. එහෙයින් රජතුමා දක්ෂ වඩු බාස්වරුන් කීප දෙනෙකු කැඳවා තම අවශ්‍යතාව දැන්වීය. අවශ්‍ය ඇඳන් ප්‍රමාණය ඉක්මනින් අවශ්‍ය බව තරයේම අවධානයට යොමු කළේය.  


  රජතුමාගේ අවශ්‍යතාව අවධානයට යොමුකළ වඩුබාස්වරුන් ඒ ඉල්ලීම ඉටුකළ හැකිබව දැන්වූයෙන් සතුටටපත් රජතුමා තම රටේ දක්ෂ වඩුවන් සිටීම ගැනද සිය ප්‍රසාදය පළ කළේය. 


පසු දිනම ශ්‍රී ලංකා වඩු පිරිස ආදර්ශ ඇඳක් සාදා රජතුමා වෙත ඉදිරිපත් කළහ. ඒ ඇඳ වූ කලී අදත් දුප්පත් රට වැසියන් ප්‍ර​යෝජනයට ගනු ලබන බූරු ඇඳයි. බ්‍රෝහියර්වරුන් සඳහාම නිර්මාණය කරන ලද ඇඳක් හෙයින් එය බූරු ඇඳ සේ නම් කරනු ලැබීය. බූරුවකු මෙන් බර ඉසිලිය හැකි හෙයින් එය බූරු ඇඳ වුයේය යනු වැරැදි හැඳින්වීමකි.   


බූරු ඇඳ ගැන කතා කළේ වෙනත් සිද්ධියක සුදුසු මඟ හෙළි කර ගැනීමට මිස බූරු ඇඳ ගැන කථා කිරීමට නොවේ. එසේම අපේ රටේ විශ්ව කර්ම වඩුවන් සිටින බව පසක් කිරීමටය. මොරටු නගරයට ගිය කෙනෙකුට ඒ බව පසක් වෙයි.   


මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා සැප පහසු පුටුවක් අවශ්‍ය වුවෙන් ඒ පුටුව බෙල්ජියමෙන් ගෙන්වා ගැනීමට රජය සූදානම් වන බවක් පුවත්පත් වල පළවිය. ඒ එක පුටුවක් සඳහා අපේ මුදලින් ලක්ෂ හයකට වැඩි මුදලක් වැය වන බවත් එම පුටුවේ තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා නියෝජිත පිරිසක් ඒ රටට යෑමට සූදානම් බවත් පුවත් පත් වල හා සෙසු ජන මාධ්‍යය කෙරෙන් වාර්තා විය. ඒ සංචාරක වියදම් සමග බලන විට පටුවක මිල තවත් වැඩි විය හැකිය.   


ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන බලවතුන් සඳහා හොඳ පුටුවක් සැපයීම ගැන හෝ එහි මිල වැඩි වීම ගැන අපේ විරුද්ධත්වයක් නැත. එහෙත් ඕනෑම උසස් තත්ත්වයක පුටුවක් පමණක් නොව වෙනත් නිර්මාණයක් වුවද නිර්මාණය කිරීමට තරම් දක්ෂ වඩු කාර්මිකයන් ශ්‍රී ලංකාවේ සිටින බව අමතක කිරීම වරදකි. මේ දේශපාලනමය පුටුව විදෙසින් ගෙන්වීමේ අරමුණ පසුබිමෙහි කොමිස් වශයෙන් ගසා කෑමක් විය හැකි බවට සැකයක් මතු වන බව නම් සඳහන් කළ යුතුය.   


මේ හැම වැරැදි ක්‍රියාවකම දෝෂාරෝපණය එල්ල වන්නේ රාජ්‍ය නායකත්වයටය. මේ රට සියලු සෞභාග්‍යයෙන් සපිරි රටක් වූයේ නම් මන්ත්‍රීවරුන් සඳහා සිංහාසනය බැගින් සැපයුවත් ජනතාව මැසිවිලි නගන්නේ නැත. මේ විරෝධය ජනතාවට පැදුර එළා දී පාලක පිරිසක් සැප පුටුවක වාඩිකිරීමට දරන උනන්දුව ගැනම නොවේ. වාඩි වන පුටුවත් පරගැති වීම හා යටි අදහස ගැනය.   


බ්‍රෝහියර්වරුන් සඳහා මේ රටේ නිර්මාණය කළ බූරු ඇඳ ගැන මුලින් සඳහන් කළේ මේ පුටු කථාවට සුදුසු ප්‍ර​වේශයක් මතු කර ගැනීමටය.   


පංච ශීලයෙහි පිහිටන බෞද්ධයන් ගෙන් වැඩි පිරිසක් තුන්වැනි ශික්ෂාපාදය හරි හැටි තේරුම් ගෙන නැත. එහි අරුත වැරැදි කාම හැසිරීමට සීමා කළ යුතු නැත. දරුවාට පැන්සලක්, පොතක් සැපයීමට තරම් වත් ආර්ථික ශක්තියක් නැති කෙනෙකු ටෙලි නාට්‍යයක් බැලීම සඳහා රූපවාහිනියක් ණය ගෙවීමේ ක්‍රමයට ගැනීමත් කාමයේ වරදවා හැසිරීමකි. ආර්ථික වශයෙන් අගාධයකට ම වැටුණු රටක මන්ත්‍රීවරයෙකුට ලක්ෂ හත, අටක පුටුවක් ගෙන්වීමත් තුන් වැනි ශික්ෂාපදය කඩ කිරීමකි.   


මේ රටේ ඇතැම් පිටිසර පාසලක ඉගෙනීම ලබන දරුවන් සඳහා හොඳ පුටුවක් මේසයක් නැත. ප්‍රමාණවත් වැසිකිළි - කැසිකිළි පහසුකම් නැත. තවත් අවශ්‍යතා නැත. උසස් පාසල් වල පිහිණුම් තටාක පවා ඇත. මේ ඇති - නැති පරතරය භයානකය. රට හදන්න කැප වී දේශපාලන ක්ෂේත්‍රයට පිවසෙන පිරිසට යම් ප්‍රමාණයක පරිත්‍යාගශීලී වන්නට බැරිනම්, රටකට දැරිය නොහැකි සැප පහසුවක් වෙනුවෙන් නැඹුරුවක් නැතිනම් ඒ අය රටට හිතකර පිරිසක් නොවේ. අපට රටකට දරන්නට බැරි තරම් සුව පහසුව එපා යයි කියන දේශපාලනඥයින් ගැන අසන්නට නොලැබේ.   


ගිනස් පොතේ ඇත්තේ කුමන හෝ දක්ෂතාව රටට පෙන් වූ දක්ෂයන්ගේ නාමාවලියයි. ඒත් බූරු ඇඳ නිර්මාණය කළ වඩුවාගේ නම් ඒ පොතේ නැත. ඒ හිස් තැන පිරවීමට විදෙසින් රුපියල් හය ලක්ෂයක් වැය කර සැප පුටුවක් ගෙන්වන්නට යෝජනා කළ බලවතාගේ නම ඇතුළත් කළ යුතුය.   

 

 

 


ආචාර්ය පියසේන රතුවිතාන