මදුරාසි ගුවන්තොටේදී බෝම්බ පිපිරවූ කොටි කල්ලියේ රහස්


 

මදුරාසියේ මීනම්බක්කම් අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී 1984 වසරේ අගෝස්තු මාසයේ 02 වැනිදා කාල බෝම්බයක් පුපුරායාමෙන් ඉන්දියාව පමණක් නොව අපේ රටද හෙල්ලුම්කා ගියේය.   


ඒ බෝම්බ පිපිරීම අපේ රට ද හෙල්ලුම්කා යාමට තරම් බලගතු සිද්ධියක් වී තිබුණේ වෙන කිසිවක් නිසා නොව බෝම්බය පුපුරායාමෙන් මියගිය 30 දෙනාගෙන් 4 දෙනෙක්ම ශ්‍රී ලාංකික කාන්තාවන් වීම නිසාය.   

බෝම්බය පුපුරා යාමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20කට පමණ ආසන්න වූ අතර ඒ අයගෙන් වැඩි පිරිසක් අපේ රටේ අය වූහ.   


මීනම්බක්කම් බෝම්බ පිපිරවීම අපේ රටේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කල්ලියක ක්‍රියාවක් වීම ද මෙහි ඇති විශේෂත්වයක් විය.   


බෝම්බය පුපුරා ගොස් තිබුණේ ගුවන් තොටුපොළේ අන්තර් ජාතික ශාලාවේදීය.   


ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කල්ලිය මෙම බෝම්බ පිපිරවීම සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ මීනම්බක්කම් අන්තර් ජාතික ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණීමට නියමිතව තිබූ එයාර් ලංකා ගුවන් යානයක් තුළදී බව පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය විය.   


ගමන් බෑග් දෙකක මෙම කාල බෝම්බය අටවා තිබූ අතර අයිතිකරුවන් නොමැති නිසා එම බෑග් ගුවන් යානය තුළට නොපැමිණීම නිසා එය පුපුරා ගියේ මීනබක්කම ගුවන් තොටුපොළේදීය.   
යම් හෙයකින් කාල බෝම්බ අටවා තිබූ ගමන් බෑග් දෙක ගුවන්යානය තුළට ගත්තේ නම් එය උඩුගුවනේ දී හෝ කටුනායක ගුවන් තොටුපොළට යානය ගොඩබැස්ස වීමෙන් පසු පිපිරී යාමට ඉඩ තිබිණි.   


බෝම්බය ඇටවීමට නියමිතව තිබී ඇත්තේ 1984 අගෝස්තු මාසයේ 2 වැනිදා මීනම්බක්කම ගුවන් තොටුපොළේ රාත්‍රී 8.20ට ශ්‍රී ලංකාව බලා ඒමට නියමිතව තිබූ බෝයිං 737 වර්ගයේ ගුවන් යානයකය.   


මේ කාල බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් ඉන්දීය රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ එවකට ක්‍රියාත්මක ඊළාම් හමුදාවේ නායක පනාගොඩ මහේෂ්වරම් නැමැත්තෙකි.   


ශ්‍රී ලංකා​ෙව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක්ද මීනම්බක්කම බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේ මෙය ශ්‍රී ලාංකික ත්‍රස්තවාදී කල්ලි නායකයෙකු අත්අඩංගුවට ගත් නිසාය.   


පනාගොඩ මහේෂ්වරම් නැමති ත්‍රස්ත කල්ලි නායකයා සමඟ සම්බන්ධවෙමින් මීනම්බක්කම් බෝම්බ පිපිරවීමට ඔහුගේ කල්ලියේ සිටින ත්‍රස්තයන් හවුල්වී ඇත්දැයි යන්න සොයා ගැනීම මෙම පරීක්ෂණවල අරමුණ විය.   


එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාව සිටියේ දක්ෂ අපරාධ පරීක්ෂකවරයෙක් ලෙස නමක් දිනා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමරසේන රාජපක්ෂ මහතාය.   


ගල්කිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රා අතුකෝරාළ අමරසේන මහතාගේ සහෝදරියකගේ පුතෙකි.   


අමරසේන මහතා විශ්‍රාම ගියේ නියෝජ්‍ය පොලිස්පති නිලයේ සිටියදීය. නියෝජ්‍ය පොලිස්පති අමරසේන රාජපක්ෂ මහතා මිය ගියේ 2011 වසරේදීය.   


රහස් පොලිස් අධ්‍යක්ෂවරයා ලෙස සිටි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් මදුරාසිය බලා පිටත්ව ගියේ ද මේ බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටය.   


අපේ රට තුළ දී සිදුකෙරුණු මෙම පරීක්ෂණ සඳහා පත්කර සිටි රහස් පොලිස් කණ්ඩායමට මේ වන විට විශ්‍රාම ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතාද අතුළත්ව සිටියේය.   
එ් කාලයේ සේනක කුමාරසිංහ මහතා උප පොලිස් පරීක්ෂකවරයෙකි.   

 

මීනම්බක්කම බෝම්බ පිපිරවීමේ සිද්ධියේ පරීක්ෂණ පැවැත්වීමට පත්කර තිබු රහස් පොලිස් කණ්ඩායමට කුමාරසිංහ මහතාද ඇතුළත්ව සිටි නිසා ඔහු මේ ගැන තොරතුරු හොඳින් දන්නේය.   


රට හෙල්ලූ සිදුවීමක අඩි සලකුණු දිගේ කතාව ගැන කරුණු විමසීමට මා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා සොයා ගියේ ඒ නිසාය.   


මේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා මීනම්බකම් බෝම්බ පිපිරවීම ගැන සිය මතකය හාරා ඇවුස්සවමින් කියන කතාවයි.   


මීනම්බක්කම අන්තර්ජාතික ගුවන් තොටුපොළේ දී මෙම කාල බෝම්බ දෙක පුපුරා ගියේ 1987 වසරේ අගෝස්තු මාසයේ 2 වැනිදා රාත්‍රි කාලයක. ශ්‍රී ලාංකිකයන් විතරක් 24ක් මියගොස් තිබුණා. ඒ අතර කාන්තාවක් ද සිටියා. බෝම්බය පුපුරායාමෙන් ගුවන් තොටුපොළට ද ලොකු හානියක් වෙලා තියෙනවා.   


මදුරාසි පොලිසිය අපට වාර්තා කරලා තිබුණ ආකාරයට සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. අපේ රට බලා පියාසර කිරීමට නියමිත තිබුණු බෝයිං 737 වර්ගයේ ගුවන් යානයට මේ ගමන් බෑග් දෙකක් පැටවීමට නියමිතව තිබිලා තියෙනවා. නමුත් බෑග් දෙකේ අයිතිකරුවන්ගේ නම සඳහන් වෙලා නැහැ. ඒ නිසා එම ගමන් බෑග් දෙක ගුවන් යානයට පටවා නැහැ. යානය අපේ රට බලා පිටත්වීමෙන් පස්සේ ඒ බෑග් දෙක නික්ම යෑමේ අංශයේ සිට පැමිණීමේ අංශය වෙත ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් ගෙනවිත් තබා තිබෙනවා. බෑග් දෙකේ අයිතිකාර ගුවන් මගියා යානයේ අසුනක් ද වෙන්කරගෙන සිටිය අයෙක් බව පසුව කළ පරීක්ෂණවලින් හෙළිවී තිබුණා.   


ගුවන් යානය පිටත්ව යාමට පැයකට විතර කළින් තමා යම් පුද්ගලයෙක් මෙම ගමන් බෑග් දෙක ගුවන් තොටුපොළට ගෙනවිත් තිබෙන්නේ. ගමන් බෑග් දෙකේ වැඩිපුර බරක් තිබුණ නිසා ගුවන් මගියා ඒ බරට මුදල් ගෙවා තබා ගොස් තිබෙන බව පසුව හෙළිවී තිබුණා. ගුවන්යානයට පටවානොගත් ඒ ගමන් බෑග් දෙක අයිතිකරු පැමිණෙන තෙක් යැයි කියා පැමිණීමේ අංශයේ තබා තිබෙනවා.   


ගුවන් තොටුපොළේ ගමන් බෑග් අතර කාල බෝම්බ දෙකක් තිබෙන බවට කිසියම් අයෙක් ගුවන් තොටුපොළ බලධාරීන්ට ඇමතුම් දෙකක්ම ලබාදී තිබෙනවා. ඒ ක්ෂණික දුරකථන ඇමතුම් දෙක ලැබුණාට පස්සේ ගුවන් තොටුපළේ ආරක්ෂකයන් එහි තිබෙන ගමන්මලු පරීක්ෂා කිරීමට වෙනත් ස්ථානයකට රැගෙන යන අතරවාරයේ බෝම්බ පිපිරවීම සිදුවී තිබෙනවා.   

 

 

මීනම්බකම් ගුවන් තොටුපොළේ ​බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. කදිරේෂන් නැමති අයෙක් එයාර් ලංකා ගුවන් යානයෙන් ලංකාවට එන්න ගුවන් ටිකට්පතක් අරගෙන තිබුණ බව ඒ පරීක්ෂණ වලින් කරුණු අනාවරණ්‍ය වෙලා තිබුණා. නමුත් මොහු එදා ගමන යන්න ඇවිත් නැහැ. කදිරේෂන්ගේ අවශ්‍යයතාව හෙළිකර ගැනීමට කරන ලද පරීක්ෂණවලින් ඒ නම ව්‍යාජ එක්ක බවට තහවුරු වූයේ අපේ රටේ උතුරේ ක්‍රියාත්මක වූ ඊළාම් හමුදාවේ නායකයා පනාගොඩ මහේෂ්වරන් නැමැත්තා බව පසුව ඉන්දීය රහස් පොලිසිය තහවුරුකර ගෙන තිබුණා. පනාගොඩ මහේෂ්වරන් නැමැති ත්‍රස්තවාදී නායකයා කදිරේෂන් කියන ඔහුගේ ව්‍යාජ නමට පාස්පෝට් එකක්ද සකසා ගෙන තිබෙනවා.   


බෝම්බ පිිපිරීමේ සිද්ධියෙන් පස්සේ පනාගොඩ මහේෂ්වරන් හා ඔහුගේ සගයෙක් තමිල්නාඩු ප්‍රාන්තයේ ඔවුන් පදිංචි වෙලා හිටිය නිවසින් අතුරුදහන් වී ඇති බව රහස් පොලිසිය කරන ලද සොයා බැලීම්වලදී තහවුරු වී තිබෙනවා. බෝම්බ පිපිරීම සිදුවෙලා දවස් කිහිපයකට පස්සේ පනාගොඩ මහේෂ්වරන් හා ඔහුගේ සගයකු වන සරවා භවන් නැමැත්තා ද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පනාගොඩ මහේෂ්වරන් නැමති ත්‍රස්ත කල්ලි නායකයා අත්අඩංගුවට ගත්තාට පස්සේ ඒ බව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අපටත් දැනුම් දීමක් කළා.   


මීනම්බකම එයාර්ෆෝර්ට් එකට බෝම්බ සහිත බෑග් දෙක ගෙනයාමට ඉන්දීය පොලිස් කොස්තාපල් කෙනෙකුගේ සහාය ලබාගෙන තිබෙනවා. බෝම්බය සහිත බෑග් දෙක පෙන්වා ‘මේ බෑග් දෙක ගුවන් යානය තෙක් අරගෙන ගියොත් ඒ වෙනුවෙන් තෑග්ගක් වශයෙන් ගුවන් විදුලි යන්ත්‍රයක් පරිත්‍යාග කරන බව පවසා තිබෙනවා. මෙම කොස්තාපල්වරයා ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.   


මහේෂ්වරන්ට පනාගොඩ මශේෂ්වරන් යන නම පටබැඳුණු ආකාරය ගැන ද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා කියන්නට අමතක කළේ නැත.   


ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිය මහේෂ්වරන් නැමැත්තා පනාගොඩ යුද හමුදා කඳවුරේ රඳවා තබාගෙන ඉඳලා තිබෙනවා. මොහු පනාගොඩ හමුදා කඳවුරෙන් පැන පෑලියගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලිසියට කොටු වුණා. පොලිසියට කොටුවුණු මහේෂ්වරන් අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ රිමාන්ඩ් බාරයට පත්කළා. මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහු එම බන්ධනාගාරයෙන් ද පලා ගොස් තිබුණා. පනාගොඩ කඳවුරෙන් පලාගියාට පස්සේ තමා මහේෂ්වරන් පනාගොඩ මශේෂ්වරන් ලෙස හඳුවන්න පටන් ගත්​ෙත්.   


පනාගොඩ මහේෂ්වරන් ලන්ඩනයේ ඉගෙනගත් ඉංජිනේරුවරයෙක්. ලංකාවට ඊළාම් හමුදාව නමින් සංවිධානයක් ගොඩනගා ගත්තා. එහි නායකයා වෙලා හිටියේ ඔහුයි. ඔහු උතුර බැංකු කොල්ලකෑම් හා මිනීමැරුම් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණ අයෙක්. පනාගොඩ මහේස්වරන් එක්ක ඉන්දීය රහස් පොලිසිය අල්ලාගත් සරවා භවන් නැමැත්තාද ශ්‍රී ලාංකිකයෙක්. දෙමළ ඊලාම් හමුදාවේ සාමාජිකයෙක්. වෛද්‍ය විද්‍යාව හදාරන්න ඔහු ඉන්දියාවට ගොස් සිට ඇති බව හෙළිවී තිබුණා.   


ඔය පනාගොඩ මහේෂ්වරන් කියන ත්‍රස්තවාදී නායකයා ඉන්දියාවට ගෙන ගියාට පස්සේ එහේ ඉඳලා තම සගයන් මෙහෙයවා උතුරේ බැංකු කොල්ලකෑම් හා මිනීමැරුම් සිදුකළා යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා කීය.   


මීනම්බක්කම ගුවන් තොටුපොළේ බෝම්බ පුපුරා ගිය වකවානුවේ මෙරට ජාතික ආරක්ෂක ඇමැතිවරයාව සිටියේ ලලිත් ඇතුලත්මුදලි මහතාය.   


මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලලිත් ඇතුලත්මුදලි මහතා මීනම්බක්කම් බෝම්බ පිපිරවීමේ පරීක්ෂණ කටයුතු කඩාකප්පල් කිරීමට තමිල්නාඩුවේ දේශපාලනඥයන් පිරිසක් බලවත් උත්සාහයක නිරතව සිටින බවට චෝදනාවක් කර ඇත.   


බෝම්බය පුපුරා යාමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකුගේ සිරුරු බොහොමයක් කැබලි වලට කැඩී ගොස් තිබූ අතර ඒ නිසා එම සිරුරු මෙහි ගෙනවිත් අවසන් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් තිබිණි.   


ඒ නිසා ශ්‍රී ලාංකිකයන්ගේ අවසාන කටයුතු සිදුකෙරුණේ මදුරාසියේදීය.   


බෝම්බ පිපිරවීමෙන් බරපතළ තුවාල ලබා මදුරාසි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය යසුන්තා ලියනගේ හේමාවතී නැමැති තරුණියගේ සිරුරු මෙරටට රැගෙන එනු ලැබුණි.   


හේමාවතී තරුණිය අම්බලන්ගොඩ බොරලුවතොට පදිංචිකාරිනිියක වූවාය.   

 

 

 

 

 

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය