ජීවත්ව සිටිනා කාලයේ සිටි ඥාති මිත‍්‍රාදීන් මියගිය පසු ද තමන්ගේ ගේදොර ඉඩකඩම්, යාන වාහන ආදී තමන් ප‍්‍රිය කළ බොහෝ දේට ප‍්‍රිය කරන බව මිනිසුන් බොහෝ දෙනාගේ මතයයි.
නොයෙක් ආගම් මත, විශ්වාස මත මෙවැනි මතයන්වල ඇලී ගැලී ජීවත් වෙති. ඇත්තෙන්ම, මළගියවුන්ට යම් යම් දේ කළ හැකිද?
ජීවත්ව සිටිනා අයට ආරූඪ වීමට, ජීවත්ව ඉන්න අය ලවා සාස්තර කීම, ජීවත්ව සිටින අයට පෙනී සිටීම, ගල් ගැසීම, නිවෙස් තුළ ගිනි තැබීම, බඩුමුට්ටු එහා මෙහා කරවීම, මිනිසුන් අසනීප කරවීම, මිනිසුන් බිය කරවීම, සිහිනෙන් පෙනී සිටීම, පවුල් ආරවුල් ඇති කිරීම, ජීවත්ව ඉන්න අයගෙන් පළිගැනීම ආදිය කිරීමට පුළුවනි ද?
අද මෙම මාතෘකාවෙන් අප බලාපොරොත්තු වෙන්නේ මෙහි සත්‍ය අසත්‍ය සොයා බැලීමයි.
තිමිරිගේ වයස අවුරුදු තිස් දෙකකි. තවමත් අවිවාහකව සිටින තිමිරි, අම්මා හා තාත්තා සමඟින් ඔවුන්ගේ නිවසේ වාසය කරන්නීය. වැඩිමහල් සහෝදරයන් හතර දෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයා වූ තිමිරි කුඩා කල සිටම සෑම දෙනාගේම සුරතලය ආදරය දිනාගෙන හැදී වැඩුණය. මැයගේ පියා නිතරම බීමත්ව හැසිරෙන පුද්ගලයෙකි. නමුත් ඔහුගෙන් නිවසේ කිසිවකුටවත් තාඩන පීඩන සිදුවූයේ නැත. සුරාවෙන් මත්වුණු කල නිවසේ තිබෙන ඩොලැක්කිය ගෙන එයට ගසමින් සිංදු කීම මොහුගේ සිරිතය.
තිමිරිට විවාහ යෝජනා කොතෙකුත් ගෙනාව ද තිමිරිගේ වෙලාවටම කිසිවක් සාර්ථක නොවීය. වයස ටිකෙන් ටික වැඩිවීමත් සමඟ අවිවාහක බව මැයට මහත් සිත් පීඩාවක් විය. තම සම වයසේ යහළු යෙහෙළියන්, නෑදෑ සොයුරු සොයුරියන් සියල්ලන්ම විවාහ වී ඔවුන්ට දරුවෝද සිටිති.
මේ අතර හිටිහැටියේම තිමිරිගේ පියා රෝගී විය. එය තිමිරිගේ සිත් පීඩාව වැඩි කිරීමට තවත් හේතුවක් විය. පියාගේ අසනීප තත්ත්වය සුව වන පාටක් නැත. එතරම් රෝගීව සිටිය දී පවා ඔහු ඉල්ලන්නේ මත්පැන්මයි. මෙලෙස ගතවූයේ මාස දෙකක් වැනි කෙටි කාලයකි. තිමිරිගේ පියා මෙලොව අතහැර දමා ගියේ ඇයගේ මානසික පීඩනය තව තවත් වැඩිකරමිනි. මළගමෙහි වැඩකටයුතු අවසන් වී දින කිහිපයක් ගතවිය. තිමිරිගේ වැඩිමහල් සහෝදරයෙක් ඔහුගේ බිරිඳ හා දරුවන් ද සමඟ එම නිවසේ වාසය කිරීමට පැමිණියේය. ටිකෙන් ටික තිමිරිත් අයියාගේ නෝනාත් එනම් නෑනත් අතර හැලහැප්පීම් ද සිදුවන්නට විය.
කෙසේ හෝ ඒවා යටපත් කරගෙන අම්මාත් සමග ඇය ජීවත් වූවාය. අයියාද එන්න එන්නම ණය බරින් පීඩා විඳින්නට විය. එම නිවසට කණකොකා අඬන කාලයක් උදාවිය. නිවසේ තිබුණු සතුට සාමය ක‍්‍රමයෙන් කඩා වැටුණි. නිවසේ ඔප්පුව උකස් කර හෝ ණය මුදලක් ලබාගෙන ණය බරින් නිදහස් වීමට අයියා තීරණය කළේය. නමුත් අම්මාත් තිමිරිත් එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. අම්මාගේ අදහස වූයේ මේ නිවසට කවුරුන් හෝ කරපු විනයක් නිසා මෙම නරක කාලය උදාවී ඇති බවයි. නිවස උකස් කිරීමට පෙර නිවසේ ආරක්ෂාව සඳහා ඇදුරකු ගෙන්වා සෙත් ශාන්තියක් කරවීම අම්මාගේ කැමැත්ත විය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ අංජනමින් සාස්තර කියන එක්තරා කපු මහතෙකි. එම දිනය උදාවිය.
කපු මහතා පැමිණ මල් බුලත් තටුවේ අංජනම තබා නිවසේ දෝෂ සොයන්නට විය. මහා පුදුමයකි. නිවසේ මියගිය අයෙක් නිවැසියන්ට බලපෑම් ඇති කරවන බවට අංජනමින් පෙනේ.
මොහුගේ පෙනුම කපු මහතා ක‍්‍රමයෙන් විස්තර කරන්නට විය. “මේ මළගිය ප‍්‍රාණකාරයා බීමට තදින් ඇබ්බැහි වූවෙක්. ඔහු අවසාන කාලයේත් බීමට පුදුමාකාර පෙරේතකමක් දක්වා තිබෙනවා. ඔහු මිය ගිහිල්ලත් පවුලට, නිවසට හා ඉඩමට තිබෙන බැඳීම ඉවත් වී නැහැ. ඔහු මේ අවටම සැරිසරමින් ජීවත් වෙනවා”. යනුවෙන් කපු මහතා අංජනම බලාගෙන බලා සිටියා මෙන් මියගිය පියාගේ විස්තර කියන්නට විය. නිවසේ සියළු දෙනාටම පියා නැති වූ දුක වෙනුවට මේ සිදුවන්නේ කුමක්ද ? යන හැඟීම සිත් තුළ වද දෙන්නට විය. මෙය ඉවත් කිරීමට නම් යාගයක් කළ යුතු බව පවසා ඒ සඳහා දිනයක් යොදාගෙන ඔහු නිවසින් නික්ම ගියේය.
ශාන්ති කර්මය සිදු කෙරිණි. මෙතැන් සිට හෝ නිවසට නැවත කරදරවලින් තොරව කාලයක් උදා වෙතැයි මොවුන්ගේ විශ්වාසය විය. මෙලෙස මාස කිහිපයක් ගතවිය. නමුත් සිතූ තරම් වෙනසක් නිවස තුළ නොවීය. ණය බරින් මිදීමට නැවත ගේ උකස් කිරීමේ අදහස ගැන සිතන්නට විය. හිටිහැටියේම තාත්තා ජීවතුන් අතර සිටිය දී වාදනය කළ ඩොලැක්කි ශබ්දය ඇසෙන්නට විය. මෙම ශබ්දය සමඟ අම්මාත් අයියාත් ඉක්මනින්ම ඩොලැක්කි ශබ්දය ඇසෙන කාමරය වෙත දිව ගියවිට ඔවුන්ට දැකගත හැකි වූයේ අදහාගත නොහැකි දෙයකි. තිමිරි තාත්තාගේ ඩොලැක්කිය ගෙන එයට ගසමින් සිනහ වෙමින් ගීත ගයමින් සිටියාය.
“මේ මොන විකාරයක්ද, තාත්තා මැරිලා මාස කීයද? මේකි විනෝද වෙනවා. නවත්තලා දාපන් ඕක”. කියමින් අම්මා කෑ මොර දෙන්නට විය. තිමිරි තව හයියෙන් ඩොලැක්කිය නාද කරමින් සිනහා සෙමින් මහා හයියෙන් ගීත ගයන්නට වූවාය. බැරිම තැන අම්මා ඩොලැක්කිය උදුරා ගෙන “උඹට මේ මොකක් වෙලාද” කියමින් තිමිරි දෙස බැලීය. තිමිරිගේ ඇස් ලොකු වී ඇත. අමුතු විදියට අම්මාගේ මුහුණ දිහා බලාගෙන “මෙච්චර ටික කලකට උඹලට මාව අමතක වුණා නේද?” කියමින් තිමිරි මියගිය තාත්තා ලෙස හැසිරෙන්නට වූවාය.
“මේ මොන නරක වෙලාවක්ද?, කෙල්ලට තාත්තා වැහිලා නේද?” කියමින් අම්මා අහල පහළ අයට ද මහා හයියෙන් අඬගසන්නට වූවාය.
“මට අරක්කු ටිකක් දීපන්. උඹලා දෙන් නැත්තම් මමම ගන්නම්” කියා තිමිරි අයියාගේ කාමරයට ගොස් එහි බෝතලයක ඉතිරිවී තිබූ මත්පැන් ටිකක් එක හුස්මට බීගෙන බීගෙන ගියාය.
ඉක්මනින්ම ගොස් කපු මහතා කැඳවාගෙන ඒමට එක් පුද්ගලයෙක් මැදිහත් විය. කපු මහතා පැමිණ තිමිරිට වැසුණු පියාගේ ආත්මය සමඟ කතා කරන්නට විය.
“උඹ මොකටද මේ ශරීරෙට ආෙව්. එක පාරක් අපි යැවුවා නේද? ආයෙත් මේ කෙල්ලගෙ ඇඟට ආවෙ ඇයි?”. කපු මහතා ප‍්‍රශ්න කරන්නට විය.
“උඹලා හිතුවද ලේසියෙන් මාව යවන්න. මේවා මගේ දේවල්. මේවා මං හරිහම්බ කළේ මුන්ට උකස් තියන්න නෙමෙයි. මේ කාලකණ්ණි මං මහන්සියෙන් හම්බ කරපුවා විකුණන් කන්න හදනවා. ඒවට මං ඉඩ තියන් නැහැ”. මෙලෙස පිළිතුරු දුනි.
මෙලෙස දෙදෙනා අතර කතාබහ අවසන් වී තවත් යාගයක් කර තිමිරිගේ සිරුරෙන් පියාගේ භවය ඉවත් කෙරුණි. එලෙස ද ගත වූයේ දින කිහිපයකි. මේ ආකාරයට මියගිය පියා වරින් වර තිමිරිගේ ශරීරයට පැමිණ කරදර කරන්නට විය. තොවිල්පවිල් කීපයක්ම කෙරුණි. කෙටි කාලයකට ගැටළු විසඳුන ද පියාගේ බලපෑම නතර නොවිණි. පවුලේ සියලු දෙනාටත් අසල්වාසීන්ටත් මෙය මහත් පීඩාකාරී තත්ත්වයක් ගෙන දෙන්නක් විය. කරන්නට කිසිම දෙයක් නැති නිසාවෙන් ඇය වෛද්‍යවරයකුටවත් යොමුකළ යුතු යැයි ග‍්‍රාමසේවක මහතාගේ අදහස විය.
ඉන්පසු තිමිරිව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරුණි. වෛද්‍යවරයා විස්තරය අසා සිට තිමිරිගේ සිරුරට මියගිය පියාගේ භවය ගෙන්වන්නට විය.
වෛද්‍යවරයා: කවුද මේ ශරීරයට ඇවිල්ලා ඉන්නේ? තමන් කවුද?
තිමිරි: මම සියදෝරිස්.
වෛද්‍යවරයා: මොකටද මේ ශරීරයට ආවේ?
තිමිරි: මේ කෙල්ල ගෙනියන්න.
වෛද්‍යවරයා: මොකටද මේ කෙල්ල ගෙනියන්නෙ? මේ ඔබේ දරුවනේ. ඇයි ඔබ ඔවුන්ට වද දෙන්නේ?
තිමිරි: මේ කෙල්ලට මං ආදරෙයි. මේකිට මේ ගෙදර ඉන්න තරම් සුදුසු පරිසරයක් නැහැ. මුන් මේ ගේයි ඉඩමයි විකුණන් කන්න හදනවා. මේකිට වෙන්නෙ මහපාරට බහින්න.
වෛද්‍යවරයා: නෑ. ඔබට මේ කෙල්ලව ගෙනියන්න දෙන්නෙ නැහැ. ඔබට වෙන මොනවා හරි අවශ්‍ය දෙයක් තිබෙනවා නම් කියන්න.
තිමිරි: මට මුකුත් ඕන නෑ. මේ කෙල්ල ගෙනියනවාමයි.
වෛද්‍යවරයා: නෑ. ඔබට කිසිසේත්ම ගෙනියන්න දෙන්නෑ. අපි මේ කෙල්ලට අවශ්‍ය පරිසරය හදලා එයාගේ ගැටලුවට විසඳුම් දෙන්නම්. ඔබට යන්නම වෙනවා.
තිමිරි: නෑ මම යන්නෙම නෑ.
මෙලෙස වෛද්‍යවරයාත් තිමිරිත් අතර කතා බහා සිදුවී තාවකාලිකව පමණක් ශරීරයෙන් ඉවත් වෙන බවට පොරොන්දු ගෙන තිමිරි පියවී තත්ත්වයට ගෙන ඇය මෝහන නිද්‍රාවට පත් කෙරුණි. එහිදී මියගිය පියා සිරුරට නොපැමිණි බවත් මෙය තමන්ගේ හිතේම ඇති වූ ක‍්‍රියාකාරිත්වයක් බවත් පහදා දුණි. ඉන්පසුව මව සහ අයියාද කැඳවා ඔවුන්ගේ ගැටලු කලබල තීරණ නොගෙන විසඳා ගන්නට නොයෙකුත් විකල්ප මාර්ග පෙන්වා දුණි. තිමිරිගේ පියා සම්පූර්ණයෙන්ම ඉවත් වී ගියේය.
අද වනවිට වසර 06 ක කාලයක් ගතවුවද තිමිරිගේ පියා ඇයගේ ශරීරයට පැමිණියේ නැත. මෙය කෙසේ සිදුවුණිද? මෙහි විද්‍යාත්මක සත්‍ය කුමක්ද? වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙසේ පැහැදිලි කරන්නට විය.
ඇත්තටම මෙම තත්ත්වය සුළු මානසික ගැටලුකාරි තත්ත්වයක්. හිස්ටීරියා නැතහොත් මායා රෝගය ලෙස හඳුන්වන මෙම තත්ත්වය අද වෙනවිට මනෝ විද්‍යාවේදී Dissociative Disorders ලෙස හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ තමන්ගේ සිතේ ඇති අභිප‍්‍රායක් ඉෂ්ට කරගැනීම සඳහා යටි සිත මගින් කරන ප‍්‍රයෝගයක් ලෙස මෙලෙස ආරූඪ වීමකින් ප‍්‍රකාශ කිරීමයි.
මෙහිදී ඔබට ගැටලු කිහිපයක් මතු වනු ඇත. එහි පළමු කරුණ නම්, අංජනම්කරු විසින් කොහොමද මේ හැම දෙයක්ම බලා සිටියා සේ පවසන්නේ. එය මෙලෙස සිදුවේ.
අංජනම්කරු එම ගමේම පුද්ගලයෙකි. මොහු මියගිය පුද්ගලයා ගැන හොඳින් දනී. ඔහු බීමත්ව සිටි පුද්ගලයෙකු බවත්, අසනීප කාලයේ පවා නිතරම මද්‍යසාර ඉල්ලන බවත් ඔහු දනී. එම නිසා ඔහු එම ආකාරයට විස්තර කර ඇත.
දෙවැනි ගැටලුව නම් තිමිරි තාත්තා ලෙසම කතා බහා කරමින් හැසිරෙමින් මත්පැන් පානය කළේ කෙසේද? යන්නයි. එයට හේතුව මෙසේයි.
තිමිරි තාත්තාගේ හැසිරීම් රටාව හොඳින් දැක තිබෙන අයකි. එම නිසා ඇයට තාත්තාගේ හැසිරීම් රටාව ඉදිරිපත් කිරීම බොහෝම පහසුයි. මෙම අවස්ථාවල දී මත්පැන් බීම, දැඟලීම, නැටීම වැනි කිසිම දේකට ලජ්ජාවක් හටගන්නේ නැත. ඇය බී ඇත්තේද ඉතිරිව තිබූ මද්‍යසාර කොටසක් පමණි.
ඊළඟ ගැටලුව නම්, ඇත්තටම තාත්තා ශරීරයට නොපැමිණියේ නම් තිමිරි මෙලෙස හැසිරුණේ ඇයි? එයට හේතුව මෙසේය.
ඇය මානසික පීඩාවෙන් හිටපු කාන්තාවක්ය. විශේෂයෙන් අවිවාහක බවත් ඉදිරි රැකවරණයක් තමන්ට නොමැති යැයි සිතීමත් නිසාවෙනි. ඒ සමඟම අයියා නිවස උකස් කිරීමට යෑමත් සමඟ ඇයගේ බිය තවත් වැඩිවිය. ඇයත් මවත් නිවස උකස් තැබීමට විරුද්ධ වුවද අයියා එය තැකීමකින් තොරව නිවස උකස් තැබීමට යෑම නිසා එය වැළැක්වීමේ උපක‍්‍රමයක් ලෙස තිමිරිගේ යටි සිත විසින් මියගිය තාත්තාගේ භවය ඇතුළු වුණා සේ හැසිරුණි.
අද වනවිට තිමිරි විවාහ වී එක්දරු මවකි. අයියාගේ ගැටලු ද ක‍්‍රමයෙන් විසඳාගෙන ඔවුන්ගේ සිතේ ද සතුට සැහැල්ලුව නැවත පැමිණ ලස්සන ජීවිතයක් ගත කරන්නීය.
(නම් ගම් පමණක් වෙනස් කර ඇති අතර, සත්‍ය කතාවකි.)
සටහන:
හබරාදුව නිමල් අල්ගෙවත්ත