බදුලු-මොණරාගල මායිමේ පො​ෙළාව යට මහා උමගක්


රාවණා රජු නිදා සිටින්නේ උමග ඇතුළේ කාමරයකද?  
උමඟ තුළට කොතරම් වවුලන් ගියත් උන් උමඟ තුළ නැත්තේ ඇයි? ​  
මෙම කුතුහලය අපට ඇති වූයේ කුරුලන්ගල සංචාරයේදීය.  
 

කරඳගොල්ලේ පිහිටි මෙම දැවැන්ත උමං ගුහාවද සොයා ගනු ලැබුවේ මෙත්තානන්ද මහතා විසිනි. එය වත්මන් සමාජයට දායාද කිරීමේ අයිතිය ඔහු සතුය. නමුත් මෙම උමඟ මීට පෙර ලාංකේය ජන සමාජයට හෙළිදරව් වූවාද නැත්ද යන්න පුරාතන හෙළයින්ගේ අතීත තොරතුරු මත පදනම් වේ. 
  
පොළොව යටට කිලෝමීටරයක් පමණ බැස ගත් පසු ජලය පිරි විශාල පොකුණක් සහ එම ප්‍රදේශයේ තට්ටු 6ක් පමණ උසට ගොඩනැගිල්ලක් වුව සෑදිය හැකි තරම් අවකාශයක් පිහිටීමත් ඉන් ඔබ්බට තවමත් පය නොතැබූ උමගේ ඉතිරි ඉසව්වක් තිබීමත් එහි ඇත්තේ කුමක්දැයි අදටත් කිසිවකු සොයාගෙන නොමැත. මෙම උමග කරුණු කාරණා මත අබිරහස් සමූහයක් පිරි අඳුරු ලෝකයකි.  

 
කරඳගොල්ල ග්‍රාමය ඌව පළාතේ බදුල්ලටත් මොණරාගලටත් මායිම්ව පිහිටා ඇති අහිංසක ගම්මානයකි. නමුත් කුරුලන්ගල හා නිල්දිය පොකුණ උමඟ පිහිටා ඇති මෙම ග්‍රාමය වර්තමානය වනවිට දිවයින පුරා ප්‍රකට වී ඇත. මන්ද ලංකාවේ සංචාරය කරන බොහෝ දේශීය සංචාරකයන් නිල්දිය පොකුණ උමඟට බැසීම තම ජීවිතයේ වැදගත් හා අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරගෙන ඇත.

  
හුදෙක් උමගකට බැසීමේ ආශාවෙන් මෙහි පැමිණෙන සංචාරකයින් හැරුණු විට කිසිවෙකුත් මෙහි පිහිටීම හා මෙහි සැකැස්ම පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැත. මීට වසරකට ඉහතදී රාවණ රජුගේ නිදාාවත පිළිබඳ පුවතකින් හා ක්‍රියාවකින් ඇළලීගිය පසු මෙහි පැමිණෙන පිරිසද වැඩිවූ අතර වර්තමානය වනවිට පොළොව යට පිහිටි පොකුණ සාමාන්‍ය ජල තටාකයක් බවට පත්ව ඇත. එහි අවසන්ම ප්‍රතිඵලය වනුයේ රටට අහිමි වීමට යන තවත් සොබාදහමේ අපූරු නිර්මාණයක් බවට පත්වීමය. මන්ද ඉවක් බවක් නැති සංචරණ ක්‍රියාවන් නිසා උමඟ ඇතුළත පොකුණ පිහිටි ප්‍ර​ෙද්ශය සති අන්තවල ජනාකීර්ණ ස්ථානයක් වී තිබීමයි.   


කෙසේ හෝ අද කථිකාව වනුයේ උම​ෙඟ් විනාශය ගැන නොවන අතර එහි තිබෙන අබිරහස් පිළිබඳව සොයා බැලීමයි. ඉතිහාස කථා පුවත් පරිදි විසි එක්වැනි සියවස ඉක්මවූ දියුණු යුගයක පවා තවමත් සම්පූර්ණයෙන් හරිහැටි පර් යේෂණයකට ලක් නොවුණු මෙම උමඟේ අප සොයාගත් අරුම පුදුම විස්තර හා මතවාද පිළිබඳ මෙසේ විශ්ලේෂණය කරමු.   


ස්ත්‍රීපුර, උමඟ, ඇඳිරිලෙන, ඉදල්ගස්හින්න උමඟ, බෝගොඩ උමඟ ආදී උමං හැරුණු විට වර්තමානයේ අප දන්නා කරඳගොල්ලේ නිල්දිය පොකුණ උමඟ සමාජයට හෙළිදරව් වී තවමත් වසර 20ක් ගතව නැත. එහි මුල්ම හෙළිදරව්ව ඉරිදා ලංකාදීපයේම පළවූයේ මීට වසර කිහිපයකට පෙරය.   


අප මෙම උමඟට බසිනු ලැබුවේ මිට වසර දෙකකට පමණ පෙර කිසිඳු කඹ ආධාරයකින් තොරවය. දැනට පිවිසීම තහනම් කරන ලද උමඟට පිවිසිය හැකි ප්‍රධාන දොරටුව යනු අප පිවිසි ස්ථානයයි. එවකට එම ප්‍ර​ෙද්ශයෙන් පොකුණට බැසීම යනු ජීවිතය හා මරණය අතර සටනකි. මන්දයත් කෑලි කැපෙන අඳුරේ ගල් කුට්ටි මතින් ඇවිදිමින් විටෙක ගලට සමාන්තරව ගල් පතුරුවල අඩි තබමින් බැස්සේ සෙන්ටිමීටරයක පය ලිස්සීමක් වුවහොත් අඩි ගණනක් ගැඹුරු මහ හෙලකට වැටෙන බව දැනගෙනය.   


ගල් කැටයක් එම හෙලට දැමුවද විටෙක සද්දයක් නොඇසෙන තරම්ය. පිවිසුමේදී අපට හමුවන වවුලන් කිසිවකු ගමන අතරතුර අපට දැක ගැනීමට නොහැකි වන්නේ වවුලන් අප ගමන් කරන ගල් කුට්ටිවලට පහළින් පිහිටි මහා අගාධයට ගමන් කරන හෙයිනි.   


විටෙක උල් ගල් උඩට පය තබමින් මුළු ශරීරයම භාවිතා කොට ගල් දිගේ ලිස්සමින්ද, විටෙක පපුවට අඟල් 6ක් ඉහළින් ගල් කට්ටි පිහිටි ප්‍ර​ෙද්ශයකින් බඩගාගෙන යමින්ද පසු ගල් කැබලි පිරුණු ප්‍රදේශයකට අවතීර්ණ වන අපට ගල් කැටයක් ගසා ජලය සෙලවන බව දැකීමකින් තොරව පොකුණ දැකිය නොහැකි ස්ථානයකට ළඟාවිය හැක. ජලය කෙතරම් විනිවිදදැයි කිවහොත් පොකුණට ඉහළින් පිහිටි ගල් කුට්ටිවල සියුම් රටාවන් ජලයෙන් හරි අපූරුවට දැකගත හැක. කිසිදු සුළං ප්‍රවාහයක් නොමැති හෙයින් පොකුණේ ජලය චලනය වන්නේ නැත.   


මෙහි ඇති මුල්ම අබිරහස නම් වවුලන් කොතරම් උමං කටෙන් ඇතුළු වුවද උන් අප ගමන් ගන්නා මාර්ගය තුළ හෝ එහි ඉහළ දක්නට නොලැබීමයි. නමුත් උන් අප ගමන් ගන්නා ගල් කුට්ටිවලට පහළින් පිහිටි හෙල තුළ සිටින බව අපට ඇසෙනු ඇත. එම පිවිසීමෙන් පිවිස පහළට බැසීම යනු සෘජුවම පොළොව යටට බැසීමය. එහිදී ගල් පිහිටා ඇති ආකාරයද පුදුමය දනවනසුලුය. ප්‍රථම හරියේදී ගල් කුට්ටිවලට වම් පසින් දැවැන්ත හෙළකි. එක්තරා ස්ථානයකදී අපට අපගේ පසුපස ගල් තලාවක තබමින් රූටා ගමන් කිරීමට සිදු වන්නේ පාද ඉදිරියෙන් පිහිටි ගල් තලාවට දිගු කරලමිනි.   


එහිදී පාද හා පසුපස අතර හිඩැස තුළ පහළට ඇත්තේ දැවැන්ත අඳුරු ආගාධයකි. ආත්ම විශ්වාසය හෝ බිය වීමකින් තොරව මෙම ගමන යා යුත්තේ එහෙයිනි. එතනින් ගිය පසු කුඩා සිදුරක් වැනි ගල් වටේට සෑදුණු ස්ථානයකින් පහළට බැසීමටත් පසුව දෙකට නැවී මද දුරක් ගමන් කිරීමටත් සිදුවේ.   


​ෙමහිදී සතර අත ගල්වලින් වැසී ඇති බව මතක තබා ගන්න. හදිසියේ හෝ යම් ගල් පෙරළීමක් සිදුවුවහොත් මේ අඳුරු ගුහාවේ හිරවීමට වුව සිදුවන බව නියතයි. පසුව දැවැන්ත ගල් කුට්ටි දිගේ ලිස්සමින් උල් ගල්වලට අඩිය තබමින් බැසීමට සිදුවේ. පසුව අඩි 20ක් පමණ බඩගාගෙන යා යුතුය. එහිදී අපට ශරීරය හා ඉහළින් පිහිටි ගල අතර හිඩැස ඇත්තේ අඟල් 6ක් පමණය.   


විදුලි පන්දම්ද දල්වාගෙන සීරුවෙන් මෙම ගමන යාම අතිශය ත්‍රාසජනක හා ක්‍රියාන්විත ගමනකි. මන්ද ශාරීරික අපහසුතා ඇතිවුවද නැවත උමගෙන් පිටතට යාමට බොහෝ දුෂ්කර හා කාලය වැයවන සුලු හෙයිනි. තවද කෙනෙකුව වාරු කරගෙන උමග බැසීම හා නැගීම කළ නොහැක්කකි.   


මෙසේ නිශ්චිතව හඳුනාගත නොහැකි පටු මාර්ගයක් දිගේ කිලෝමීටරයකට ආසන්න දුරක් පහළට බැසගත් පසු දැවැන්ත හිස් අවකාශයක් අපට හමුවේ. එම ස්ථානයේ පය තබා සිටින පොළොව හා ඉහළ ගල් කුට්ටිය නැතහොත් උමඟේ වහලය අතර උස මීටර් 100කට වඩා වැඩිය. එතරම් හිස් ඉඩක් එක්නෙකුට පමණක් රිංගා ආහැකි උමං කටකින් ඇතුළුවී පොළව අභ්‍යන්තරයේ තිබීම සැබැවින්ම විස්මය දනවන සුලුය.  


මේ අප කථා කළේ දැනට පිවිසීම තහනම් කරන ලද මීට වසර දෙකකට පෙර අප පිවිසුණු ගුහාවේ ප්‍රධාන කටින් පිවිස පොකුණ දක්වා ගමන් ගත් මාර්ගයයි. ජීවිත අවදානම බහුල වන හෙයින් එම මාර්ගය තුළින් සංචාරකයින් ගෙනයාම වත්මන් මගපෙන්වන්නන් සිදු නොකරන අතර මෙත්තානන්ද මහතා විසින්ම සොයා ගත් වෙනත් ගුහා කුහරයකින් පොකුණ දක්වා බැසීම සිදු කරයි. පෞද්ගලික ඉඩමකට අයත් එම ස්ථානය පොළොව තුළට හෑරුණු විශාල වළකි. ඒ තුළින් කඹයක ආධාරයෙන් පහළට බැසිය යුතුය. පසුව එතරම් අවදානම් සරල ගමන් මාර්ගයකින් පසු පොකුණ වෙත ළගාවිය හැකි නමුත් එම මාර්ගය තුළදී මාර්ගය බෙදෙන ස්ථාන හමුවන බව සමහර විට එහි යන සංචාරකයන් පවා නොදන්නවා විය හැක. ඒ එක් ස්ථානයකදී සම්මත මගෙන් පිට ගමන් කරන විට විශාල කුටි ලෙස ගල් කුට්ටි රැඳී පිහිටා ඇති ස්ථානයක් හමුවන අතර ගමනේ දුෂ්කරතාව තරමක් වැඩි වේ. තවද පොකුණට අමතරව තරමක් උස දිය ඇල්ලක්ද මෙහි තිබෙන බව බොහෝ අය නොදන්නා කරුණකි.   


මෙම උමඟට සම්බන්ධ ප්‍රධානම අබිරහස් මූලය නම් රාවණා රජුය. රාවණ රජු නිද්‍රාස්ථව මෙම උමගේ කාමරයක් තුළ සිටින බව එක් මතයක් වන අතර තවමත් කිසිවකු ඊට ආසන්න පර් යේෂණයක් සිදු කොට නැත. තවද මෙම උමග තව තවත් පහළට යන අතර එහිදී උමං මාර්ග නැවත බෙදෙන බවත් ඉන් එක් උමඟක් හපුතලේ සිට මහනුවර දක්වාත් තවෙකක් බදුල්ල සිට නැගෙනහිර දක්වාත් තවෙකක් දකුණටත් ලෙස බෙදෙන බව ජනප්‍රවාද පවතියි.

  
එලෙසම ​ෙපාකුණ පිහිටි ප්‍රදේශයේ වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී දැවැන්ත හිරිගල් කුට්ටි පිහිටි ප්‍ර​ෙද්ශයක් අසල නැවතත් පහළට බැසිය හැකි ස්ථානයක් ඇති බව හඳුනාගත හැක. ඉන් ඔබ්බට මාර්ගය ඇති අතර එහි හුස්ම ගැනීමේ හැකියාව තවමත් නිරීක්ෂණය කොට නැත. තවද හිරිගල් කුට්ටි හා වැහිලිහිණි කූඩු බහුලව එම ප්‍රදේශයේ දක්නට ලැබේ.   

 

මෙත්තානන්ද මහතා අප සමග පැවසූ හරි අපූරු සිදුවීම් කිහිපයකි. එනම් ඇල්ල වැල්ලවාය මාර්ගය සකස් කිරීමේදී හමුවූ උමඟක් එවකදී වසාදැමුණු අතර ඒ පරිදිම තවත් උමඟක් රක්ඛිතකන්ද පංසල හා උමා ඔය ව්‍යාපෘතියට යන මාර්ගය සකස් කිරීමේදී හමුවී ඇති අතර එයද එවකදී වසා දමා තිබේ. තවද උමා ඔය වැඩබිම ආශ්‍රිතව හමුවූ උමඟද මේ වනවිට වසා දමා තිබෙන බව ඔහු පැවසීය. මේ උමං සියල්ල කරඳගොල්ලේ නිල්දිය පොකුණ නම් ප්‍රධාන හා විසල් උමඟට සම්බන්ධ වී තිබිය හැකි අතර මන්ද එම උමඟ හා බැඳී ඉසව් තවමත් බොහොමයක් තිබෙන බැවිනි.   


සාමාන්‍යයෙන් ඕනෑම කන්දක උඩ ගල හා යට ගල ලෙස වර්ග කළ හැක. මේ ගල් අතර පිහිටි හිඩැස බොහෝ විට උමඟකි. ආදිකාලේ පැරැන්නෝ මේබව දැන සිටියහ. ඒ නිසාම කඳු යටින් හෝ මැදින් රිංගා යා හැකි උමං සකස් කළේ සටන් කිරීමේ උපක්‍රමයක් ලෙසය. මෙලෙස සෑදුණු උමං රාශියක් ලංකාව පුරා පවතියි. ඒ සියල්ල සමහර විට එකිනෙකට සම්බන්ධ විය හැකිය. නමුත් අද තාක්ෂණය කොතරම් දියුණු වුවද මෙම උමං හරහා ගොස්​ මෙහි සැඟවුණු අබිරහස් සොයා ගැනීමට අපට පුළුවන් වී නැත. තවද එවැනි උමං තුළින් වාතාශ්‍රය ගැටලුවක් නොවන පරිදි ගමන් කිරීමට පැරැන්නන් සතුවූ ශිල්පීය ක්‍රම පුදුමාකාරය. තවද උමා ඔය උමඟ සාදනුයේ මෙම යට ගලටත් යටින් බව මෙත්තානන්ද මහතා පැවසුවේ එම් ප්‍රදේශයේ උමං හා ගුහා ගැන ඔහු හොඳ හැටි කරක් ගසා ඇති හෙයිනි   
නිල්දිය පොකුණ පිහිටියේ දළ වශයෙන් කිලෝමීටරයකට අසන්නව පොළොව මතුපිටට දුරිනි. එහිදී ගුප්ත කලාපයක් වූ මෙම ප්‍රදේශයේ භූමිය මතුපිට හෝ අභ්‍යන්තර පාෂාණ කුටීර තුළ තැන්පත් වූ ජලය මෙම පොකුණ තුළට පැමිණීම සහ විශේෂයෙන්ම එම ස්ථානයට පමණක් ජල කඳ සීමාවීම සිතිය යුතු කරුණකි. මන්ද ඊටත් පහළින් තව තවත් ගුහාව දිවෙන නමුත් ජල කඳ එම අවට ස්වභාවයෙන්ම සැදුණු පොකුණක් ලෙස පිහිටීම ගුප්තසහගතය. එලෙසම ඊට විරුද්ධව කෙළවරින් අති විශාල හිරිගල් කුට්ටි පිහිටීමත් මීටර ගණනක් දිග හිරිගල් කඳන් වීමත් විශේෂිතය. දැවැන්ත ගල් කුට්ටි ඈත් මෑත් වී සැදුණු මෙම අවකාශය ඉහළ ගල් ස්ථරය කාලාන්තරයක් මුළුල්ලේ ඛාදනයට ලක්වෙමින් ඒ ගැලවුණු පාෂාණ කැබලි පොළව පුරා ඇති බව අපි දුටුවෙමු.   

 
මන්ද කුඩාවට කැඩුණු ගල් කැබලි ගල් පතුරු රාශියක් ​ෙපාළොවේ විය. පය තබා නැග යන ඇතැම් ගල් කුට්ටිවල සෙවල බැඳී තිබුණි. පොකුණ ආශ්‍රිතව ගල් කුට්ටි සීතලින් යුක්ත වූ අතර ඒවායේ පිහිටීම විශේෂිත විය. පොකුණේ කෙළවර වෙත යෑම තරමක් අසීරු නමුත් දිය මත පිහිනා යාමෙන් පොකුණේ පරිමාණ නිශ්චය කරගත හැක. සමහර ස්ථානවලදී ඉහළින් දියසීරාවන් කඩා වැටෙන බව දැකගත හැකි අතර ​ෙපාළොව මතුපිට එම ප්‍රදේශයේ කිසිදු ජල පෝෂකයක් නම් නොතිබේ. නමුත් රාවණා ඇල්ලට යන ජල කඳ ඊට තරමක් දුරින් පිහිටා ඇත. මෙම ප්‍රදේශය නිතරම වියළි වන පියසක් වේ. ජලය උරා ගන්නා ශාඛ ඇති අතර පොළොව මතුපිට ජලය රැඳීම ඉතා අල්පය.   

සුමනරංසි හිමියන් තවදුරටත් පැවසූ පරිදි එක්තරා පුද්ගලයකු පොකුණින් එහා ඉසව්වකට යාමේදී යම් ගුප්ත සිදුවීමක් දැක බියට පත්වඇත. ඔහු සාමාන්‍යයෙන් එවැනි චංචල සිත් ඇත්තකු නොවන ශක්තිමත් පුද්ගලයකු වුවද එම සිද්ධිය යම් දර්ශනයක් බවත් එහි සත්‍ය අසත්‍යතාව සිතාගත නොහැකි බවත් පැවසූහ.   

 


ඇතැම්විට මෙවැනි භූගත ප්‍ර​ෙද්ශ අතීතයේ පිටසක්වළ අාක්‍රමණවලදී නැවතුම්පොළක් විය හැකි බවද උන්වහන්සේ පැවසූහ. ඌවේ තිබෙන උමං ගත්කල බොහොමයක් අද වනවිට වැසී ගොසිනි. අප මීට පෙර ගිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අසළ පිහිටි උමඟද එලෙස තරමක් වැසී ගිය ස්ථානයකි.   


එයද මෙම උමග මෙන් බඩගාගෙන රිංගාගෙන යායුතු ස්ථාන වලින් සැදුම් ලත් පර්වතයක් මධ්‍යයේ පිහිටි උමඟකි. ඌව පළාත හා ආශ්‍රිත නගර තුළ මෙවැනි අබිරහස් උමං තිබුණු බව පැරැන්නෝ දැන සිටියහ. විශේෂයෙන් යුද ආක්‍රමණ කාලයේදී සැඟව සිට පහරදීමටත් විවිධ ප්‍රදේශවලට සංචරනය කිරීමටත් යොදා ගන්නට මෙවැනි භූගත උමං මාර්ගයන් වේ.   


ලංකාවේ තිබෙන උමං අතරින් විශාලතම හා සංකීර්ණතම උමඟ මෙය වන අතර කුඩාම පිවිසීම දොරටුව සහිත උමඟද මෙය වේ. පැරැන්නන් ජනප්‍රවාද හා ප්‍රදේශ​ෙය් ජනප්‍රවාද අනුව මෙම උමඟ ලංකාවේ බොහෝ ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වේ. ඇල්ල කපොල්ල මිටියාවත දැවැන්ත පතල් සහ කඳු ශිඛර වලින් සමන්විතය. එසේම රාවණා ඇල්ල රක්ෂිතය තුළ තවමත් මිනිස් පහස නොලැබූ ඉසව් සේම සැඟවුණු ගල්ලෙන් හා ගුහා ඇති බව ප්‍රදේශවාසීහු දනිති.   


අතීතයේ විශාල වශයෙන් එම ගුහා හා ලෙන් විවිධ අවශ්‍යතා සඳහා භාවිතයට ගැනුණද කලයාගේ අැවෑමෙන් දැන් ඒවා වල් වැදී හමාරය. මන්ද රක්ඛිතකන්ද විහාරයද සම්පූර්ණයෙන් ස්වභාවික ගල් වලින් යුත් පුද බිමකි. එහි කාමරවල වහල පවා වන්නේ ගල් පර්වතයයි. කරඳගොල්ල ආශ්‍රිත කැලෑ තුළ ගල් ගුහා පවතින අතර රාවණා ගුහාව ලෙස ප්‍රකට ගුහාව රාවණා ඇල්ලට ප්‍රථම හමුවන විහාරස්ථානයේ පිහිටා ඇත. රාවණා රජු සම්බන්ධ පුරාවෘත්ත රාශියකින් ඇළලී යන ඇල්ල හා කරඳගොල්ල ප්‍රදේශය ඉතිහාසයේ යම් අබිරහස් කථා රාශියක් සඟවා තිබෙන ඉසව්වකි.   


භූ විෂමතා ලක්ෂණ හා පාෂාණ ස්ථරවල පිහිටීමත් කඳු දියඇලි නිම්න කපොලු උමං හා ගුහා මේ සියලුම ආකාරයේ සොබාවික නිර්මාණ පිහිටි මෙම ප්‍රදේශය පිළිබඳ රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුය. එය හුදෙක් සංචාරක ප්‍රවර්ධනය සඳහා නොව වැළලී ගිය අතීතයක නටබුන් සොයා ගෙන පැරණි මානව ශිෂ්ටාචාරයක තොරතුරු ලෝකයට හෙළිකිරීමක් විය යුතුය.  


අප සමග වැඩිදුරටත් අදහස් දැක්වූ මෙත්තානන්ද මහතා පැවසුවේ කැලයේ ඇවිදීම විනෝදාංශයක් ලෙස තිබූ අවධියේ ඔහු මෙවැනි තවත් දේවල් දුටු බවත් වර්මානයේ පවතින අසංවිධිත සංචාරක උන්මාදය නිසා එම ස්ථාන හෙළි කිරීමෙන් ඒවාද විනාශ විය හැකි බවත්ය. මන්ද ​ෙපාළොව යට පිහිටි අලංකාර නිල්දිය පොකුණ අවධිමත් සංචාරක ඉසව්වලට සහභාගී වන අසංවර සංචාරකයන්ගේ නොමනා ක්‍රියා මගින් විනාශ මුඛයට ඇද යන බවත්ය. මන්ද නොඉඳුල්ව තිබූ විනිවිද පෙ​ෙනන පොකුණ ඇතැමුන් පැමිණ නා පිහිනා මඩ කර පැමිණෙන බැවිනි.   


ලංකාවේ සතර දිග් භාගයට දිවයන උමං පද්ධති සංකීර්ණයක අන්තර් හුවමාරුව හා ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස පිහිටා ඇති මෙම උමඟේ නොවිසඳුණු අබිරහස් මතු දිනක ලෝකයට හෙළිකරගත් විට හෙළයාගේ අතීත ශිල්ප පිළිබඳ යළි කථිකාවක් ගොඩනැගෙනු ඇත. තවද හුදෙක් මාර්ග සංවර්ධනය සඳහා වසාදැමුණු උමඟ මාර්ග විධිමත් පරීක්ෂාවට ලක්කොට ඒවා පිළිබඳව වාර්තා ඉදිරිපත් කර එහි සත්‍යය අනාවරණය වීමෙන්ම යම් දුරකට අබිරහස් වලට විසඳුමක් ලැබෙනු ඇත. නිල්දිය පොකුණට මතු දිනක ඔබ ගමන් කරයි නම් හුදෙක් විනෝදය පමණක් නොව එම සැකැස්මේ අබිරහස් පිහිටීම හා අවට පරිසරය සම්බන්ධ මැනවින් නිරීක්ෂණය කරමින් යන්නේ නම් ඔබටද එහි විස්මිත බව දැනෙනු ඇත.

 

 

  
සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු