පොඩි බාප්පාගේ මරණය


​කෙටි කතාව

 

පොඩි බාප්පාගේ වාහනය කොරටුවේ ගෙදර පියසේන අයියා විසින් මහත් උජාරුවෙන් පදවා ගෙන යන අයුරු සමාගම් කඩේට ගොස් ආපසු යමින් සිටි ලොක්කේ එදින දෙතුන්වරක් ම දැක තිබුණේය. ඒ හැම වතාවකම පාහේ රිය තුළ දෙතුන් දෙනෙකු සිටියෙන් ඔහු නිච්චියටම සිතා ගත්තේ ඒවා දහයේ කෑලි බවය. එකල දහයේ කෑළි වශයෙන් හඳුන්වනු ලැබුවේ අලවතුතිස්සේ සිට අහංගම දක්වා යන කුලී ගමන්ය. එම දුර ප්‍රමාණය ගමන් කිරීම සඳහා අය කෙරුණු කුලිය රුපියල් දහයක්වීම නිසා පොඩි බාප්පා විසින් එම කෙටි දුර ප්‍රමාණය හඳුන්වනු ලැබුවේ දහයේ කෑළි යනුවෙනි.   

 

ලොක්කේට මතක තිබුණු අන්දමට පොඩි බාප්පා ඩිපල් රෙකාඩ් වර්ගයේ මෝටර් රථය මිලදී ගත් අලුත ඔහුට දවසකට දහයේ කෑළි හත අටක්ම ලැබී තිබුණේය. එම ප්‍රමාණය ඊට වඩා අඩු වූයේ එහෙමත් දිනෙකය. ඔහු එදින අන්තිමට දැක තිබුණේ ලොකු නැන්දාත් හිච්චි අක්කාත් සමග පියසේන අයියා හැටට හැටේ අහංගම පැත්තට යන අයුරුය.   
වෙනදා නම් පියසේන අයියා ලොක්කේ දුටුවිට අතවනාගෙන යාමට පුරුදුව සිටියේය. එහෙත් පොඩි බාප්පාගේ මරණයෙන් පසු ඔවුන්ගේ පවුල් අතර යම් විරසකයක් හට ගෙන තිබුණෙන් ඉන් අනතුරුව ඔහුගෙන් එවැනි සුහදතාවයක් පළ නොවීය. ඇතැම් අවස්ථාවලදී ඔහු මුහුණට මුහුණ හමුවූවිට පවා පියසේන අයියා නාඳුනන අයකු සේ ඉවත බලාගෙන ගියේය.   


පොඩි බාප්පාගේ වාහනය ගතවූ තුන්හාර මාසයට බෙහෙවින් අවලන්සන වී ඇතැයි ලොක්කේට සිතුණේය. එය අලුත්ම අලුත් කිරි ටොයියෙකු නොවුණද පොඩි බාප්පා එය දිනපතාම වාගේ සෝදා පිරිසිදු කර දිස්නය ගසන අයුරින් තියාගෙන සිටි බවද ඔහුට මතකය. එහෙත් එදින ඔහු දකිනවිට එම වාහනය දූවිල්ලෙන් වැසී අවලස්සන වී තිබීම ගැන ලොක්කේගේ සිතට දැනුණේ ඉවසිය නොහැකි තරමේ වේදනාවකි. වෙනකක් තබා අහංගම කඩමණ්ඩියේ සිටින අළුගුත්තේරු කොල්ලන් වාහනයේ පසුපස වීදුරුවේ නොයෙකුත් බලි රූප පවා ඇඳ තිබුණේය.   


හැබැයි පොඩි බාප්පා හිටියනං කාරෙකට ඔහොම වෙන්න දෙන්නේ නෑ.... යි කී ලොක්කේ ජොංගුරු කඩෙන් හාල්මැස්සන් අරික්කාල ද ගෙන ආපසු හැරුණේය.   


කඩේ ගියයි දරුවෝ   


ගල්ලිඳ අසළදී හමුවූ එන්සෝ ආච්චි එසේ ඇසුවේ ලොක්කේ දෙසත් ඔහු අත තිබූ හාල්මැස්සන් ගොටුව දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි. එහෙත් ඇයට පිළිතුරු දීමටවත් නොනැවතුණු ලොක්කේ ගල්ළිඳ ළඟින් දකුණට හැරී අඩි පාර දිගේ පිම්මේ දිවගියේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ හැකිතාක් ඉක්මනින් දුවගොස් තමන් දුටු දෑ අම්මාගේ කනේ තැබීමටය.   


‘‘අම්මා දන්නවය වැඩක්’’ යි මහ හඬින් අසමින් අම්මා අසලින් ඇන තබාගත් ලොක්කේ පැහැණු කොස් මදුලක් ගෙන ඇටය අතින් ගලවා කටේ දමා ගත්තාය. ඒ දුටු අම්මා කළේ ඔහුගේ අතට ගසමින් රවා බැලීමය.   


උඹ මක්කයි අර කියා ගෙන ආවේ? යි ඇසූ අම්මා ඇගේ දෙපා අසල දැවටෙමින් සිටි බැල්ලිය කකුලෙන් ඉවතට තල්ලු කර දැමුවාය. පොඩි බාප්පගේ කාරෙක කොරටුවේ ගෙදර පියසේන අයිය දැන් පට්ට ගහනවා. හරියට එයාලයි කාරෙකක් වගේ ඔහු එසේ කියමින් හා ස් හා ස් ගා හති දැමුවේය. ලොක්කේ මුලින් සිතුවේ ඒ කතාව ඇසූවිට අම්මා කෝපවීමට ඉඩ ඇති බවය. එහෙත් ඇගේ මුහුණේ එවන් කෝපයක ඡායාමාත්‍රයකුදු නොදුටු ඔහුට පුදුම හිතුණේය. දහයයි කාළේ රෙල්ලුව හූ හඬ නගමින් පොල්ඔය පාලම පසු කර යන හඬ ඒ සමගම ඈතින් ඇසුණේය. පෙරේදා තමන් රේල් පාර අයිනේ සිට කෝච්චියේ ගිය සුද්දෙකුට අතවැනූ විට ඒ සුද්දා තමන් දෙසට ටොපි අහුරක් විසි කර ගෙන ගිය අයුරු ඒ සමගම ඔහුගේ මතකයට නැගුණේ ඉබේටමය.   


බොලයි පොඩි බාප්පත් ඉතින් ඒ කාරෙක කොරටුවේ ගෙදර ඈයින්ටම සින්න වෙන විදියටනේ වැඩ සිද්ධ කෙරල ගියේ. යි කී ලොක්කේලාගේ අම්මා වෙලෙන් එගොඩහ පැත්තේ තිබූ පියසේන අයියලාගේ මහ ගෙදර දෙස බලා කට පැත්තකට ඇද කළාය. තම මවගේ එම වෙනස් හැසිරීම ගැන පුදුමයට පත්වූ ලොක්කේ තමන් අත තිබූ හාල් මැස්සන් ගොට්ට දුම උඩින් තබා තමන්ගේ අතේ ගැවී තිබූ කොහොල්ලෑ ගුලිය මත පොල්තෙල් බින්දුවක් උලා ඉවත් කර දැමුවේය.   
ලොක්කේලාගේ පියාගේ බාල සහෝදරයා වූ පොඩි බාප්පා ඔහු දන්නා කාලයේ සිටම අහංගම චාල්මන් මුදලාලිගේ කුළී කාරෙකේ රියැදුරෙකු වශයෙන් කටයුතු කළේය. අවුරුදු දහයකටත් වැඩි කාලයක් එලෙස අනුන් යටතේ වාහන පැදවූ ඔහු තමන්ගේම වාහනයක් මිලදී ගත්තේය. ඔහු ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත්තේ තමන්ට පිය පාර්ශ්වයෙන් උරුමවූ එකම කුඹුරු කොටහ උඩගෙදර සොමි නැන්දාට විකුණා ලබාගත් මුදල් සහ චාල්මන් මුදලාලිගෙන් අතමාරුවට ගෙන තිබූ මුදල් යොදවමිනි.   
පොඩි මල්ලියේ ඔය කුඹුරු කෑල්ල විකුණලා කාර් ගන්න එකනං ඒ හැටි හොඳ වැඩක් නෙවි. ඒ හින්ද තව කීයක් හරි එකතු වෙන කං ඉඳලා ඔය ගැන සිතුවොත් නේද හොද?   
දිනක් හෝ දින දෙක තුනක්ම තාත්තා එසේ කියමින් පොඩි කුඹුරු කෑල්ල විකුණා කාර් ගැනිල්ලෙන් වළක්වා ගැනීමට තාත්තා එසේ කී බව ඒ සමගම ලොක්කේගේ මතකයට නැගුණේය. එහෙත් තම වැඩිමහල් සොහොයුරාගේ ඒ කතාව තඹ දොයිතුවකටවත් ගණන් නොගත් පොඩි බාප්පාගේ අදහස වූයේ තමන්ගේම වාහනයක කුළී දුවන්නට ඇත්නම් සල්ලි පැටවු ගස්සන හැටි තමන් දන්නා බවය.


‘‘ කිව්වා නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි’’ කියමින් නිහඬ වූ ලොක්කේලාගේ තාත්තා ඊට පසු සතියකටත් වැඩිකාලයක් තම පොඩි මලයාගේ මුහුණවත් නොබලා සිටියේය. ඊට ටික දිනකට පසු තමන් සතු කුඹුරු සොටස සොමි නෝනාට විකුණා දැමූ පොඩි බාප්පා අහංගම චාල්මන් මුදලාලිගෙන් අතමාරුවට ගත් මුදලක්ද යොදවා ගාල්ලේ මහත්තැන් කෙනෙකුගෙන් ඕපල් රෙකාඩ් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන තිබුණේය.   
3 ශ්‍රී කාණ්ඩයේ මෝටර් රථයක් වූ එහි වර්ණය ළා නිල් පැහැයට හුරු විය. පොඩි බාප්පා කලින් පැදවූ චාල්මන් මුදලාලිගේ වාහනයට වඩා අලුත් එකකැයි එම වාහනය දුටු විටම ලොක්කේට සිතුණෝය.   


පොඩි බාප්පේ මේකද චාල්මන් මුදලාලිගෙ කාරෙකද වැඩිය අලුත්?   


ලොක්කේ එදින සවස් වරුවේ ළිඳ ළඟ වාහනය සෝදමින් සිටි පොඩි බාප්පාගෙන් එසේ විමසුවේ තමන්ගේ නිගමනය හරියටම හරිදැයි දැන ගැනීමටය.   
මේක මේක ඒ කාරෙක ඊ.එන්. එකක් නේ මේක 3 ශ්‍රී ඇරත් මේකේ හොඳට තෙල් වැඩ කරනවා. මේක තමයි දැන් කාලේ අඩුවට ගන්න තියෙන හොඳම වාහනේ යි කී පොඩි බාප්පා වාහනයේ රෝද අස්සට සරා ස් ගා වතුර බාල්දියක් ගසා පොල්ලෙල්ලකින් ටයර් සුද්ධ කළේය.   
පොඩි බාප්පාගේ කාරෙක සෝදන වැඩේට හවුල් වීමට ලෙක්කේ සැහෙන උත්සාහයක් දැරුවද එය අසාර්ථක විය.   
අන්න අර පැත්තකට වෙලා හිටින් යි කියමින් ලොක්කෙට සැර කළ පොඩි බාප්පා පසුව ඔහුට කියා ළිඳෙන් වතුර බාල්දි කීපයක් ගෙන්වා ගත්තේය.   
පොඩි බාප්පා විසින් සෑහෙන වෙලාවක් තිස්සේ සෝදා පිරිසිදු කළ වාහනය තම නිවස ඉදිරිපිට පාරේ නතර කර තිබියදී පාරේ ගමන් කළ කීප දෙනෙකුම ඒ දෙස හැරි හැරී බලන අයුරු දුටු ලොක්කේගේ සිතට දැඩි සතුටක් දැනු​ණේය. එම සතුට දෙගුණ වූයේ ඔහුට පාසලේදී කීපවරක්ම අරියාදු කර තිබූ විජේරත්නද ඒ අතර සිටි බව දැකීමෙනි. ඔහු විජේරත්නට පෙනෙන ලෙස රෙදි කෑල්ලක් ගෙන කාරෙකේ බොනට්ටුව පිස දැමුවේ ඔළුව කෙළින් කර ගෙනය. එදින රාත්‍රී ලොකු නැන්දලාගේ ගෙදර දරමඩුවේ වාහනය ගාල්කර තැබූ පොඩි බාප්පා හාපුරා කියා කුළී දුවන්නට යන දා කිරිබත් කෑමට ආවේද ලොක්කෙලාගේ ගෙදරටය.   
ඔහු ඊට කලින් දා සවස් වරුවේ ඒ ගැන කියා තිබුණෙන් ලොක්කේලාගේ අම්මා උදේ රැයින් නැගිට උම්බලකඩ යහමින් දැමූ කට්ට සම්බෝලයක්ද සමග රසට කිරිබත් උයා තිබුණාය.   


පොඩි මලයා ඒකටනේ මේ තරං කාලයක් දත කෑවේ. ඉතින් අපි මොනවටෙයි එයැයිගේ ආසාවට අකුල් හෙළන්නේ යි ඇසූ තාත්තා කලින්දා සවස වැඩ අහවර වී එනවිට සාමෙල් මුදලාලිගේ කඩෙන් කෝලිකුට්ටු ඇවරියක්ද ගෙනැවුත් තිබුණෝය. පොඩි බාප්පාගේ කාරෙක පමණක් නොව පොඩිබාප්පා පවා එදින ලොක්කේට පෙනුණේ වෙනදාටත් වඩා හැඩටය.   
අලුත් සරමකින් සහ කමිසයකින් සැරසී කහ පැහැති සිල්ක් ලේන්සුවක් බෙල්ලේ ගැටගසාගෙන සිටි පොඩි බාප්පා ලොක්කේලාගේ අන්දර වැට අසල රිය නතර කර ගෙට ගොඩ වැදුණේ එකල ජනප්‍රියව තිබූ සින්දුවක තාලයට උරුවම් බාමිනි.   
ඉතින් කොහොමද ලොකු එකෝ යි අසමින් ගෙට ගොඩ වැදුණු පොඩි බාප්පා ලොක්කෙගේ ඔළුව අත ගා ලොසින්ජර මුලක් දුන්නේ සිනාසෙමිනි. ඈ එමලින් අක්කගේ කිරිබත් ටික නං පංකාදුයි...   


පොඩි බාප්පා ලොක්කෙලාගේ අම්මා දෙස බලා එසේ කීවද ඔහු තමන්ගේ පිඟානට දමාගත් කිරිබත් කෑල්ලෙන් හරි අඩක්වත් නොකෑවේය.   
අද මිනිහගෙ හිත පිරිලා ඒකයි බෙදා ගත්තු කිබත් කෑල්ලවත් නොකෑවේ. යි කී ලොක්කෙලාගේ තාත්ත තම පිඟානේ ඉතිරිවී තිබූ කිරිබත් කෑල්ල ලේනුන්ට කෑමට අඹගස මුලට ගිය පොඩි බාප්පා දෙස බලා සිනාසුණේය. තමන්ගේ කීමට පිටුපා තම කුඹුරු කොටස සොමිනෝනාට විකුණා දැමීම ගැන සතියකටත් වැඩි කාලයක් පොඩි බාප්පාගේ මුහුණ දෙසවත් නොබැලූ තාත්තා එදින ඔහු සමග සතුටින් කතා බහ කරන අයුරු දැකීම ලොක්කෙගේ සිතටද බලවත් අස්වැසිල්ලක් විය. ඔහු මුලින් සිතුවේ තාත්තා තවත් කාලයක් යනතුරු පොඩි බාප්පා සමග කතාබහ නොකිරීමට ඉඩ තිබෙන බවය.   
අර මක්කටෙයි පොඩි බාප්පගේ කාරෙකේ ඉස්සරහින් මිරිස් කරල් එක්ක දෙහි ගෙඩි දෙකක් එල්ලගෙන ඉන්නේ?   
ලොක්කේ තම බාප්පාගෙන් එසේ විමසුවේ අම්මාටත්, තාත්තාටත් දණගසා වැඳ දකුණු කකුල පෙරට තබා ගෙයින් එළියට බැස වාහනය අසලට යන අතරතුරයි. එහෙත් ඊට කිසිදු පිළිතුරක් නොදුන් ඔහු තම කටේ උඩු ඇන්දේ සවිකර තිබූ රත්තරන් දත පෙනෙන ලෙස සිනා සුණේය.   
මේ කොලුවටත් ඕන නැති දෙයක් නැහැනේ යි කී අම්මා ඔහු දෙස රවා බැලුවාය.   
පොඩි එකෝ උඹත් නැගපං කාරෙකට මම උඹ ඉස්කෝලේ ගාවින් බස්සගෙන යන්නං යි කී පොඩි බාප්පා වාහනයේ ඉදිරිපස දොර හැර ලොක්කේ දෙස බැලීය.   
පොඩි බාප්පා කී ඒ කතාවට ලොක්කේගේ හිස මුදුණේ මලක් පිපුණාක් වැනි හැඟීමක් ඇති වූයේ ඉබේටමය. එසේ වූයේ ඔහු පොඩි බාප්පාගෙන් එවැනි ආරාධනයක් ලැබෙතැයි සිහිනයකිනුදු බලාපොරොත්තු නොවූ බැවිනි.   


‘‘මං විජහින් එනවා.... පොඩි බාප්පේ.... යි කී ලොක්කේ වහා ගෙතුලට ගොස් තම ගල්ලෑලි පොත් ටික රැගෙන ආවේ සතුටින් ඉපිලයමිනි අම්මා හෝ තාත්තා ඒ ගැන විරුධත්වයක් නොදැක්වූයෙන් හෙතෙම දුවගොස් කාරෙකේ ඉදිරිපස අසුනට නැග හරිබරි ගැසුණේය.   
‘‘කාගෙද මල්ලී ඒ කාරෙක?   


තමන් පොඩි බාප්පාගේ රියේ ඉදිරි අසුනේ සිට රියෙන් බැස පාසලේ ගේට්ටුවෙන් ඇතුළට යනවිට ඒ අසල සිටි ඉහළ පන්තියක අයියලා දෙදෙනෙකු එසේ විමසූ බව ඔහුට මතකය.   
අපේ පොඩි බාප්පා ගත්තු කාරෙකයි මහත් උජාරුවෙන් කී ලොක්කේ තම කම්මුල් දිගේ පහළට බේරි ආ පොල්තෙල් සිරාව පිටි අත්ලෙන් පිසදමමින් පාසල තුළට වැදුණේය. පොඩි බාප්පා තමන් පාසලේ ගේට්ටුව අසලින් බස්සවා ආපසු ගොස් විනාඩි කීපයක්ම ගතවනතුරුත් පෙට්ට්‍රල් ගඳ ඔහුගේ නැහැයට දැනුණේය. තමන් පොඩි බාප්පාගෙන් රියෙන් බැස පාසල තුළට යනු දුටු ඔහුගේ පන්තියේ මිතුරන් දෙතුන් දෙනෙක්ද ඒ ගැන විස්තර අසා තිබුණාහ. තමන්ට හැමදාමත් එම රියෙන් පාසලට එමට හැකි නම් කොතරම් හොඳදැයි ඔහුට බොහෝ අවස්ථාවල දී සිතුනද හෙතෙම ඒ අදහස වෑයමින් යටපත් කර ගත්තේය.  
ලොක්කේලාගේ සීයා ඔහුගේ ළඟ ගෙදර ලියා තිබුණේ තනිකරම පොඩි බාප්පාගේ නමටය. එසේ වුවද ලොකු නැන්දලාට එහි ඕනෑ තරම් කාලයක් වාසය කිරීමට ඉඩ දුන් පොඩි බාප්පා පපුවේ අමාරුවක් නිසා මිය යනතුරුම වාසය කළේ මහ ගෙදර ඉඩමේ පොඩි ගෙපලක් අටවා ගෙනය.   
මට පුළුවන ඔය මහ තඩි ගේක තනිපංගලාවේ ජීවත් වෙන්න. කිසිවකු පොඩි බාප්පාගෙන් ඇසුවිට ඔහු එම තැනැත්තාට කීමට තිබුණේ ඊට සමාන පිළිතුරකි. උදේටත් දවල්ටත් අහංගම ගුණවර්ධන බේකරියෙක් කෑම කෑ ඔහු රෑ කෑමට ලොක්කලාගේ ගෙදරට ආවේය.   
පොඩි මල්ලියේ දැන් උඹ කෙහේද ඔය වාහනේ රෑට නතර කරන්න හිතාගෙන ඉන්නේ.   
පොඩි බාප්පා වාහනය මිල දී ගැනීමට දින දෙක තුනකට පෙර තාත්තා එලෙස විමසු බව ලොක්කේට මතක තිබුණේය.   
මං එක මහ ගෙදර දර මඩුවේ නතර කරන්නයි හිතාගෙන ඉන්නේ.   
ඉතින් බං මහ ගෑනි ඒ වැඩේට කැමැත්ත දුන්න නිසා නේ මං කාරෙක දර මඩුවේ නතර කරන්නේ. යි ඊට පිළිතුරු වශයෙන් කී පොඩි බාප්පාට සුළු වශයෙන් හෝ සිත් රිදීමක් සිදුවී තිබුණේ ලෙකු නැන්දාගේ වැඩිමහල් පුත්‍රයා වන පියසේන අයියා සාමෙල් අප්පුගේ කඩේ දී කියා ඇති මොකක්දෝ කට කැඩිච්ච කතාවක් නිසාය.   
ඔන්න ඔය වගේ වෙලාවට තමයි මල්ලියේ වත්ත බද්දට දීලා ඇස් සහ දත නියවනවයි කියන්නේ.   
පොඩි බාප්පාගේ ඒ කතාව ඇසූ අම්මා කුස්සිය පැත්තේ සිට උස් හඬින් කීවාය.   
මේ ගෙදර හරි හමන් පාරක් තොටක් තියෙනං මල්ලියේ තොට ඔය එක එකාගේ ආඩම්බර බලන්න වෙන්නේ නැහැනේ. යි කී තාත්තා ඊළඟට කියා සිටියේ වාහනය රෑ තිස්සේ එළිමහනේ නතර කර තබනවාට වඩා මහගෙදර දරමඩුවේ හෝ ගාල් කිරීම හොඳ බවය. වාහනය එළිමහනේ ගාල් කර තැබීමෙන් එය ඉක්මනින් දිරා පත්වීමට ඉඩ ඇති බව ද හෙතෙම කීවේය.   
එදා සිට පොඩි බාප්පා කාලයක් යනතුරු තමන්ගේ වාහනය රාත්‍රී කාලයේ ගාල්කර තබන ලද්දේ මහ ගෙදර පිළිකන්න පැත්තේ තිබූ දර මඩුවෙහිය. බොහොමයක් දිනවල පොඩි බාප්පා ද වාහනය තුළම වකුටු වී නිදා ගත්තේය.   
මුල් කාලයේ දී ඔහුට කර කියා ගැනීමට නොහැකි තරමට හයර් ලැබුණු බව ලොක්කේට මතකය. චාල්මන් මුදලාලිගෙන් අතමාරුවට ගෙන තිබු ණය මුදලෙන් අඩකටත් වඩා ගෙවා තිබුණේ එලෙස ලැබුණු මුදල් වලිනි.   


දවල් කාලයේ හයර් තුන හතරක් ගොස් අතමිට සරු වූ දිනවල පොඩි බාප්පා හීන් අඩියක් ගසා අාපසු පැමිණියේ ලොක්කෙට ගුණවර්ධන බේකරියෙන් සීනි බනිස් මුලක්ද රැගෙනය. එවැනි දිනවල ලොක්කෙලාගේ තාත්තාට කළු සුරුට්ටු මිටියක් ද රැගෙන එමට ඔහු කොහෙත්ම අමතක නොකළේය. එලෙස හවස් අතේ ලොක්කෙලාගේ ගෙදරට පැමිණ පැයක් හමාරක් ගත කරන පොඩි බාප්පා අාපසු ගියේ රෑට කෑමත් කා එතෙක් කාරෙක මුර කරමින් සිටින ටොමියාට බත් ඩිංගක් ද කඩඳාසියක ඔතාගෙනය.   
දැන් ඉතින් තමන්ගෙම කියලා වාහනයකුත් තියෙන එකේ නරක ද මල්ලියේ ටිකක් පිළිවෙළක් වුණොත්. එහෙම මොකෝ ඒ වැඩ කටයුතුත් කෙරෙන්න එපා යෑ.   
දිනක් අතමිට සරුවූ පොඩි බාප්පා වෙලාසනින් ලොක්කෙලාගේ ගෙදරට පැමිණ බුරු ඇඳ මත වාඩිවී උණු තේ කොප්පයක් බොමින් සිටිය දී ඒ අසලට ආ අම්මා එසේ විමසුවේ තාත්තාගේ මුහුණ දෙස ද බලමිනි.   
ඔන්න ඉතින් එමලින් අක්කත් ඔය හදන්නේ මේ යසට ඉන්න මාවත් අමාරුවේ දාන්න.යි කී පොඩි බාප්පා හිස් කොප්පය කනප්පුව උඩින් තබා තම උඩු ඇන්දේ තිබු රත්තරන් දත පෙනෙන ලෙස සිනාසුණේය.   


අර පත්තිනි ගෙදර ගුණවතීගේ වැඩුමල් එකී උඹට හොඳට ගැලපෙනවායි කියලා මේ ගිය සතියෙත් එලින් කියනවා ඇහුණා යි.. කී ලොක්කෙලාගේ තාත්තා ඒ කතාවට අගුල්පත් කියමින් සුරුට්ටුවක් ඉරුවේය. එහෙත් ඔහු ඒ කතාව එතැනින්ම නතර කළේ පොඩි බාප්පා ගෙන් ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවිනි.   
බොගේ හිතේ වෙන කවුරු හරි ගැන අදහසක් තියෙනවා නං එ ගැන ඔය එමලින්ටවත් කියාපන්. එතකොට අපට හොයලා බලන්න බැරියැ. ලොක්කෙලාගේ තාත්තා එසේ කියද්දී බක බක ගා සිනාසුණු පොඩි බාප්පා කතාවක් නැතිවම එතැනින් මාරුවී ගියේය.   
උඹ කැමති නැද්ද ලොක්කේ කාර් එළවන්න ඉගෙන ගන්න.   


දිනක් තමන් ද ඉදිරිපස අසුනේ හිඳුවා ගෙන වාහනය පදවන අතරතුර පොඩි බාප්පා තමාගේ එසේ විමසු බව ලොක්කේට මතකය බාප්පා තමන්ගෙන එසේ ඇසුවේ විහිළුවට යැයි සිතූ ඔහු ලැජ්ජාවෙන් හැකිළුණෝය. ඔහුගේ සිතට එතරම් ලැජ්ජාවක් දැනුනේ වාහනයක් පැදවීමට තරම් තමන්ගේ කකුල් දෙක දිග මදී යැයි ඔහුටම හැඟුණු බැවිනි.   
හැබැයි පොඩි එකෝ එ්කට තව ටිකක් ලොකු මහත් වෙන්න ඕන. එතකොට මං උගන්වන්නං අගේට යි කී පොඩි බාප්පා තම රත්තරං දත පෙනෙන සේ හොක් හොක් ගා සිනාසුණේය.   


ලොක්කේ ඒ කතාව පන්තියේ යහළුවන් සමඟ කියා තිබුණේ පොඩි බාප්පා අනාගත කාලයෙන් කී ඒ කතාව වර්තමානයට ආදේශ කරමිනි.   
ඉතින් මරුණේ යකෝ, උඹ ඒකට හා කිව්ව ද? යි ඇසූ ඔවුන් ඇස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලද්දී ලොක්කේගේ දෑස් සතුටින් දිලිසුණේය. තමන් කෙසේ හෝ ලොකු මහත් වී පොඩි බාප්පාගෙන් වාහන පැදවීමට ඉගෙන ගත යුතු යැයි ඔහුගේ සිත මුර ගා කීවේය. ඔහු එදින සිට දිනපතාම පාහේ තමන්ගේ උස මැන ගන්නේ ඒ සඳහා පෙර සූදානමක් වශයෙනි.   
එහෙත් ඊට ටික දොහකට පසු පොඩි බාප්පා උන්හිටි ගමන් මිය ගියේය. ලොක්කේ පමණක් නොව ඔහුගේ දෙමාපියන් පවා එ් බව දැන ගත්තේ චාල්මන් මුදලාලිගේ ගෙදරින් ලැබුණු පණිවිඩයකිනි.   
එම ආරංචිය ලැබුණු විගස වැලේ වනා තිබු අත් දිග මේස් බැණියම අතට ගෙන ඇඟට දමාගත් ලොක්කෙලාගේ තාත්තා හෙන්දිරික් මාමාගේ තිරික්කලයෙන් ගොන්නගහහේනේ ග්‍රාමීය රෝහල වෙත ගියේය.   
තමන් රෝහල වෙත යනවිටත් පොඩි බාප්පාගේ මෘත දේහය රෝහලේ මිනී කාමරය වෙත යවා තිබිණැයි තාත්තා ගෙදර පැමිණ අම්මා සමග කියන අයුරු ගෙයි මුල්ලකට වී හඬමන් සිටි ලොක්කෙගේ කනට ඇසී තිබුණේය.   
‘‘වැඩක් වුණේ නැහැ බං ඉස්පිරිතාලෙට ගේන කොටස් පොඩි මලයගේ හුස්ම ටික ගිහින් තිබුණයි කියලයි දොස්තර මහත්තොරු කිව්වේ. මොනව කරන්න ද ඉතින් පොඩි මලය ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇත. නැත්නං මේ ගහක් ගලක් වගේ හිටපු මිනිහ කොහොමෙයි ඔය විදියට මැරෙන්නේ යි අම්මා සමග කී තාත්තා මරණයේ ඉතිරි වැඩ කටයුතු කිරීම ගැන කතා කර ගැනීම සඳහා ලොකු නැන්දලාගේ ගෙදරට ගියේය. ඒ දක්වා ගෙයි මුල්ලකට වී හොරෙන් කඳුළු සලමින් සිටි ලොක්කේ මහ හඬින් හඬා වැටුණේ පොඩි බාප්පා මියගිය දුකටත් වඩා තමන්ට යළි කිසි දිනෙක වාහනයක් පැදවීමට ඉඩක් නොලැබෙතැයි සිතුණු බැවිනි.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර