පෙරභවයේදී සුනඛයා සැපූ තැන යළි ඉපදී පෙන්වයි


 

එක්දහස් නමසිය හැත්තෑ නමයේ ජනවාරි 22 වැනිද‌ා ගම්පහ රෝහලේදී උපත ලද ඩෙරික් කුඩා කළ සිට නින්දෙන් බියපත් වී අවදිවීම සිරිතය. එසේ අවදිවන දරුවා නොනවත්වා හැඬීම නිසා ඔහු කිසියම් රෝගී බවකින් සිටින්නේද යන්න සැමට සිතුණි.  තම දරුවා නිදියහනේ සිට කරනු ලබන අස්වභාවික හැසිරීම නතර කිරීම සඳහා විවිධ සෙත්ශාන්තිද පවත්වනු ලැබීය. එහෙත් එ්වායින්ද එතරම් සතුටුද‌ායක තත්ත්වයක් උද‌ා නොවිණි. අවසානයේ දරුවා වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළහ. එහෙත් කිසිදු රෝගී බවක් නැතැයි වෛද්‍යවරු තීරණය කළහ.

 

වසර එකහමාරක් පමණ ගතවන තුරුම ඔහුගේ බියපත් වීමත් හැඩීමත් එලෙසම නොකඩවා පැවතුණි. දෙවසරක් ගතවන විට ඔහුට හොඳින් කතා කළ හැකි විය. ඩෙරික්ගේ මුවින් පිටවූ පළමු වදන වූයේ ‘‘බැලුම්මහර අම්මා’’ යන්නය. තම සිඟිති පුත්‍රයා කරන මෙම ප්‍රකාශය පිළිබඳව දිනක් මව පුංචි විමසීමක් කළාය.   


‘‘බැලුම්මහර අම්මා කියන්නෙ කව්ද?’’   


මවගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් කුඩා දරුවා මෙසේ කීය.   


‘‘ඒ අම්ම සුදුයි. අපිට ලොකු ගෙයක් තියෙනවා. ඒ ගෙදර වී පෙට්ටියක් තියෙනවා. මම එහිදී පන්සල් යනවා දරුවා නොනවත්වා පැවසීය. තම දරුවා පෙර භවයක තොරතුරු හෙළි කරන්නේද යන්න මවට සිතුණි මව ඒ පිළිබඳව උනන්දුවන්නට විය. තවත් දිනක් බෑගයක් අතට ගත් ඩෙරික් ‘‘මම බැලුම්මහර යනවා’’ යයි කියමින් මිදුලට බැස්සේය.   


එදිනද මව ඇමතූ ඔහු මම එහෙදී ගියේ මිරිස්වත්ත ඉස්කෝලෙට යයිද කීවේය. ඒ අයුරින් පෙරභව මතක සටහන් වරින් වර හෙළි කළ ඩෙරික්ට කිසිවකුගේ ඉගැන්වීමක් හෝ ශ්‍රවනය වීමක්ද නොමැතිව ගාථා කීපයක් කීමටද හැකියාව ලැබී තිබිණි. මල් පූජා කිරීම් වැනි ආගමික කටයුතු වලටද ඔහු දැඩි ආශාවක් දක්වන බැව්ද වැටහුණි.   


‘‘අපේ පන්සලේ ලොකු ඝාණ්ඨාරයක් තිබුණා. අපි පන්සල් ගියාම ඒක ගහනවා.’’ යයි නිතර පන්සලට ගිය බවක්ද ඩෙරික් හෙළි කළේය. මේ අතර දිනක් කකුලේ ඇගිල්ලක් පෙන් වූ ඔහු ‘‘මෙන්න මෙතන බල්ලෙක් කෑවා’’ යයි ප්‍රකාශ කළේය.   


ප්‍රථම වරට ප්‍රකාශ කළ එම වදනින් බියට පත් වූ මව තම පුත්‍රයා කිසියම් සුනඛයකු විසින් සපා කෑමක් සිදුවූයේද යන්න සිතුවාය. වහා ඒ පිළිබඳ අවධානය යොමු කළ මව සුනඛයෙකු සපා කෑ බැව් කියන ස්ථානය පෙන්වන ලෙස පුත්‍රයාට කීවේය. ඔහු වම් කකුලේ මහපට ඇගිල්ලේ උඩ කොටස පෙන්වීය. එය පරීක්‍ෂා කළ මවට එහි කිසිදු තුවාලයක් දක්නට නොවීය.   


‘‘කොතැනද කෑවේ’’ යයි නැවත විමසු විට එම ඇඟිල්ල මත දක්නට ලැබෙන කැළලක් මතට අතඟිල්ල තැබීය. එය පරීක්‍ෂා කළ මවට දක්නට ලැබුණේ උපන් ලපයකි. තවදුරටත් එය පරීක්‍ෂා කළ මවට තම පුත්‍රයා හෙළි කරන සුනඛයා සපා කෑමේ සිදුවීම පෙරභවයට සම්බන්ධ සිදුවීමක් බැව් අවබෝධ විය.   


‘‘කොහේදිද බල්ලා කෑවේ’’ යයි නැවත විමසූවිට එයට පිළිතුරු දුන් ඩෙරික්, ‘‘පන්සලට ගියාම එතනදී බල්ලා කෑවා’’ යයි පැහැදිලිව ප්‍රකාශ කළේය. අනතුරුව පෙරභව මතක අනාවරණය කළ ඩෙරික්, ‘‘අපේ ගේ ළඟ වෙල් යායක් තියෙනවා අපි ඒකේ සරුංගල් යවනවා. ඒ ගේ ඉස්සරහ කොස්ගහක් තියෙනවා’’ යනුවෙන්ද කියා සිටියේය.   


නියත වශයෙන්ම තම පුත්‍රයා අනාවරණය කරනු ලබන්නේ පෙරභවයේදී සුනඛයෙකු සපාකෑම නිසා මියගිය අයකුගේ තොරතුරු බැව් මවට පැහැදිලි විය.   

 


ඩෙරික් හෙළිකරන පෙරභව තොරතුරු සොයා යෑමට මව එතරම් උනන්දුවක් නොදැක්වූවාය. එහෙත් ඇය ඇසුරු කළ මිතුරියකට එම තොරතුරු ඇය විසින් අනාවරණය කරනු ලැබිණ. මවගේ එම මිතුරිය පුංචි ඩෙරික්ගේ පෙරභව තොරතුරු පිළිබඳව සොයා බැලීමට උනන්දු වූවාය.   


ඩෙරික් හෙළි කරන කරුණු වලට සමානව සුනඛයකු විසින් සපා කෑමෙන් පසු මරණයට පත්වූ තරුණයකු පිළිබඳව ඇයට අසන්නට ලැබිණි. බැලුම්මහර ප්‍රදේශයේ විසූ දහතුන් හැවිරිදි මෛත්‍රීනම්  යෞවනයකු වසර ගණනකට පෙර මියගොස් තිබිණි. ඔහු නිතර විහාරස්ථානයට ගිය අතර එහිදී සුනඛයකු සපා කෑමක් සිදුවිය. එම සුනඛයා සපා කෑ ස්ථානය ඩෙරික් විසින් පෙන්වා දුන් කකුලේ ඇඟිල්ල බවද අනාවරණය විය.  


එය එතරම් දරුණු තුවාලයක් නොවීම නිසා මෛත්‍රීගේ පවුලේ අය ඔහුට සිංහල වෛද්‍ය ප්‍රතිකාර සිදු කරනු ලැබීය. එහෙත් සුනඛයා මිය යෑම නිසා එම සුනඛයාට ජලභීතිකා රෝගය වැළඳී ඇති බැව්ද ඔවුන්ට අසන්නට ලැබිණි. මෛත්‍රීට දිගින් දිගටම නොනවත්වා සති දෙකක්ම සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් නමුත් අවසානයේ ඔහු මරණයට පත් විය.  


තම පුත්‍රයාගේ හදිසි වියෝවීම මවටත් සොයුරු සොයුරියන්ටත් විඳ දරා ගත නොහැකිව බලවත් කම්පනයට පත්ව සිටියහ. තම පුත්‍රයාගේ ජීවිතයට සමාන තොරතුරු​ හෙළි කරන ඩෙරික් පිළිබඳව ඔවුන්ට අසන්නට ලැබිණි.  


එ් වන විට මෛත්‍රී මරණයට පත් වී වසර ද‌ාහතක් ගත වී තිබිණි. පෙරභව නිවස හමුවීමෙන් පසු ඩෙරික්ට එම නිවසට යාමට අවස්ථාව සලසා දුන්නේය. එදා ඔහු පෙරභව නිවසට ගිය විටදී නිවසේදී ඔහු භාවිත කළ මුහුණ බැලූ කණ්නාඩි මේසයක් සහ ඔහු භාවිතා​ කළ පොත් මේසයද නිවැරදිව හඳුනා ගත්තේය.   


නිවස පිහිටි භූමියේ තිබූ ස්ථානය තුළ ළිඳ සහ සරුංගල් යැවූ පරිසරයද ඔහු නිවරැදිව හඳුනා ගත්තේය. පෙරභවයේදී සුනඛයා සපා කෑම සිදුවූ විහාරස්ථානයට ගිය ඩෙරික් එය සිදු වූ ස්ථානයද නිවැරදිව පෙන්වාදීමද සුවිශේෂි හඳුනා ගැනීමක් විය.  


පෙරභවයේදී මරණයට පත්වන විට මෛත්‍රී ඉතා හොඳින් ගාථා කියමින් ආගමික කටයුතු වල නිරත වී සිටි බැව්ද අනාවරණය විය. පෙරභවයේ නිවසේ භාණ්ඩ කීපයක් නිවැරදිව හඳුනා ගනු ලැබූවද ඔහුට පෙරභව ඇසුරු කළ පුද්ගලයින් හදුනාගැනීමට එතරම් අවබෝධයක් නොවීය.  


ඩෙරික්ගේ පුනර්භව සාධකය පිළිබඳව පර්යේෂණ ආරම්භ කිරීමේදී ඔහු අනාවරණය කළ සුනඛයා සපාකෑමේ සිදුවීම ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ සුනඛ දත් පහර වැදී තිබූ මහපට ඇඟිල්ලේ උඩ කොටසේ දක්නට ලැබුණු උපන් ලපයයි.  


පෙරභවය සම්බන්ධ බහ තෝරන අවදියේ සිට එද‌ා ඩෙරික් අනාවරණය කළ පෙරභවය සම්බන්ධ කරුණු ද‌ාහතරක් පර්යේෂණයේදී විමර්ෂණයට ලක් කැරිණි.  


එයින් එක් කරුණක් හැර අනෙක් සියල්ල සනාථ විය. සනාථ නොවූ කරුණු වූයේ ඔහු සඳහන් කළ භික්‍ෂූන් වහන්සේගේ නම විය. ඩෙරික් හෙළි කළ පෙරභව කරුණු පරියේෂණ වාර්තාවේ සඳහන් වූ අයුරින්ම මෙසේය.  


බැලුම්මහර අම්මා  
පදිංචිව සිටි නිවස විශාලයි.  
මිරිස්වත්තෙ පාසලට ගියා.  
බැලුම්මහර මල්ලි ඉන්නවා.   
මල්ලි එක්ක සරුංගල් යවනවා.  
නිවස අසල වෙල්යායක් තියෙනවා.  
ගේ ඉස්සරහ කොස්ගස් තියෙනවා.  
ජම්බු ගහක් තියෙනවා.  
ගාථා කියන්න පුළුවන්.  
පන්සලට නිතර යනවා.  
පන්සලේදී බල්ලෙක් කකුල කෑවා.  
මහපට ඇඟිල්ල සපා කෑවා   
එහෙදී සරොන් ඇන්ද‌ා  
පන්සලේ ජිනරතන හාමුදුරුවො ඉන්නවා.  


මෙම කරුණු අතරින් භික්ෂූන් වහන්සේගේ නම හැර සියල්ල සත්‍ය බැව් දක්නට ලැබිණි. ඩෙරික් කුඩා කළ සිට ආගමික කටයුතු වලට මහත් ආශාවක් දක්වන්නට විය. මෛත්‍රීද ආගමික කටයුතු වලදි දැඩි උනන්දුවක් දැක්වීම විශේෂත්වයක් ලෙස ඔහුගේ හැසිරීම් රටාව තුළ පැවතියේය. ඒ පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඔහුගේ පර්යේෂණ වාර්තාවේ ඔවුන් දෙදෙනා තුළ තිබූ ගාථා දැනුම සඳහන් කර ඇත. (DEREK BEHAVIOR RELATED TO PREVIOUS LIFE )


(DEREK SHOWED AND UNUSUAL PRECOCIOUS INTEREST IN BUDDHISM, AND PARTICULARLY LIKED TO CHANT. (MITHRI HAD HAD A KEEN INTEREST IN BUDDHISM, OFTEN FREQUENTED THE TEMPLE NEAR HIS HOME AND HE PARTICIPATED IN THE CHANTING) යනුවෙනි.   


සුනඛ්‍යා සපා කෑම පිළිබඳව කළ ප්‍රකාශය සහ එය සනාථ වූ අන්දමට එහි දක්වා ඇත්තේ.   


HE SAID THAT HE HAD LIVED IN PLACE CALLED BALUMMAHRA HE ATTENDED SCHOOL AT MIRISWATTA ONE DAY WHEN HE WAS AT A TEMPLE A DOG HAD BITTEN HIM AND HE DIED   
MAITHRI HAD BEEN BITTEN BY A DOG NEAR THE LEFT GREAT TOE AND HAD DIED ABOUT TWO WEEKS LATER යනුවෙනි. පෙර භවයේදී සුනඛයා සපා කෑමෙන් මරණය සිදුවී තිබූ නමුත් ඩෙරික් කුඩා කළදී සුනඛයන්ට විශේෂ බියක් නොදැක්වීය. ඔහු මහමගදී හෝ කිසියම් සුනඛයකු දුටු විට ‘‘හොඳ එවුන් මාව කන්නේ නෑ’’ යනුවෙන් නිතර පැවසූ බැව් ඩෙරික්ගේ මව එද‌ා අප සමඟ ප්‍රකාශ කළාය.  


එද‌ා පෙරාභවය හෙළි කළ ඩෙරික් අද විවාහක තරුණයෙකි. පෙරභවය පිළිබඳ ඔහු තුළ ඇති මතක සටහන් ගැන විමසීමට පසුගිය දිනෙක අපට නැවත අවස්ථාව ලැබිණි.  


‘‘පෙරභවයේ සිදුවීම් ඔබේ මතකයේ දැන් ඇත්තේ කෙසේදැයි’’ අප ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරු මෙසේය.   


‘‘පෙරභවයේ ඉස්සර හිටපු ගෙදර ළගින් මම ගමන් කරනවා. ඒ හැම විටකම මම හිටපු ගෙදර කියන හැඟීම මට දැනෙනවා. ඒ අම්මා මීට වසර කීපයකට උඩදී මිය ගියා.  


ඒ පන්සලට ගිය විටදීත් කුඩා කළ හෙළිකළ සිදුවීම් මතකයට එනවා. බල්ලන් ගැන නම් මගේ හිතේ පුදුම කෝපයක් ඇතිවෙනවා. ඒත් මම බල්ලන්ට පහරදීම් වැනි දේ කිරීමට පෙළඹෙන්නේ නැහැ. ඒත් මගේ සිතට උන් දකිනවිට කෝපයක් නම් ඇතිවෙනවා. සමහර විට පෙරභවයේ මරණය සිදුවිමට ​ෙහ්තු වූ සුනඛයා සපා කෑම නිසා ඇති වූ දෙයක්ද කියා මට සිතනවා.’’ යයිද ඔහු පැවසීය.  


උපත සහ මරණය සිදුවූ කාල සීමා නිරීක්‍ෂණය කිරීමේදී මරණය සිදුවී වසර ගනණාවකට පසු උපත සිදු වූ පුනර්භව පර්යේෂණයක් ලෙස මෙම කතා පුවත හඳුන්වනු ලැබේ.   


මෙම පෙරභව සිදුවීම ගැන පර්යේෂණ පැවැත් වූ විදේශ මහාචාර්යවරුන් අතර ජර්මනියේ මනෝවිද්‍යා, පරීක්‍ෂණ ආයතනයක් වූ (INSTITUTE FOR GRENZGEBIETE DER PSYCHOLOGIE AND PSYCHOHYGIENE හි මහාචාර්ය හැන්ස් බ්ලෙන්ඩර් ද වෙයි.   


ඩෙරික්ගේ කතා පුවත ඇතුළත් කර මහාචාර්ය බ්ලෙන්ඩර්ගේ අනුග්‍රහය ඇතිව 1985 දී පුනර්භව රූපවාහිනී වැඩසටහනක්ද නිෂ්පාදනය කළේය. ජර්මනියේ රාජ්‍ය රූපවාහිනී නාළිකාවක් වූ GERMAN STATE TELEVISION මගින්ද ඩෙරික්ගේ කතා පුවත ලොව පුරා විකාශනය කළේය.

 

සටහන :
තිස්ස ජයවර්ධන