
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හංවැල්ල වර්තමාන නගරයක සිරි ඉසිලුවත් ඈත අතීතයේ සිටම ඉතාම දැකුම්කලු සුන්දර පරිසරයකින් හෙබි ගම්මානයකි.
අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශයේ පිහිටි මෙම දර්ශනීය ගම්මානය පළාත් නගර ගම් නියම් ගම්මාන රැසකට යෑමේදී හමුවන ප්‍රධාන මංසන්ධියකි.
කන්ද උඩරට නුවරඑළිය, මස්කෙළිය, තලවකැලේ, හැටන්, ශ්‍රීපාදය වැනි ප්‍රදේශවලට ද ඌව වෙල්ලස්සේ බදුල්ල, මොනරාගල, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලට ද සබරගමුවේ ඇඹිලිපිටිය, රත්නපුර, කෑගල්ල වැනි ප්‍රදේශවලට ද යෑමට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටි හංවැල්ල ඉතා ජනාකීර්ණ මංසන්ධියකි.
හංවැල්ලට සම්බන්ධ වී ඇති තවත් මාර්ගයක් වනුයේ ගම්පහ දිසාවට ඉතා ඉක්මනින් ඇතුළුවීමට හැකි බියගම මෙන්ම පූගොඩ හරහා වැටී ඇති මාර්ගයය. මේ අයුරින් දිවයිනේ විවිධ පළාත් හා ප්‍රදේශවලට යෑමේදී හංවැල්ල අපට හමුවන්නේය.
ඓතිහාසික වශයෙන් ඇති වටිනාකම ගැන සඳහන් කළොත් ජාතියේ ගෞරවය හා අභිමානය රැක ගැනීමට දිවිහිමියෙන් කටයුතු කළ විරෝදාර නරපතියන්ගේ හා රණවිරුවන්ගේ ක්‍ෂේම භූමිය වූයේ ඓතිහාසික හංවැල්ල බළකොටුව බව ඉතිහාසයෙන් අපට පෙන්වා දී ඇත.
1505 දී පෘතුගීසි ආක්‍රමණ හමුවේ නොසැලී මුහුණදෙමින් ජාතියේ අභිමානය රැකගත් සීතාවක මායාදුන්නේ රජු විසින් ඓතිහාසික හංවැල්ල බළකොටුව නිර්මාණය කොට ඇත.
ගුරුබැවුල යනුවෙන් එදා අපේ රටේ වංශ කතා සාහිත්‍යයේ හැඳින්වූ හංවැල්ල තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් විසින් විරචිත සැළලිහිණි සංදේශයේ පහත සඳහන් පද්‍යයෙන් ඒ බව මෙසේ පෙන්වා දී ඇත.
රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී
මත කොවුලේ තුරු වදලේ හඬණ නිසී
වන සැවුලේ මඟ අසලේ පොර සැලසී
ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසී
ඈත අතීතයේ වන උයන්, මල්වතු, ලිය ගොමුවලින් පිරුණු සුන්දර පරිසරයක සිරි අසිරිය ගුරුබැවුලේ පැවැති බව සැළලිහිණි කතුවරයා පෙන්වා දී ඇත්තේ ඒ අයුරිනි.
කැලණි නදී අසබඩ සුන්දර වන පෙතකින් ගහනය වූ මේ බළකොටුවේ භූගෝලීය පිහිටීම අනුව පර සතුරු උවදුරු හමුවේ සතුරාට පහසුවෙන් පහරදීමට නොහැකි අයුරින් නිර්මාණය කොට ඇත. වර්තමාන හංවැල්ල නගරයේ තානායම පිහිටි ස්ථානය අතීතයේ ගුරුබැවුල බළකොටුව පැවැති ස්ථානය වශයෙන් හැඳිනගෙන ඇත. මායාදුන්නේ රජතුමා මෙන්ම ඔහුගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහ රජතුමා මේ ස්ථානය පෘතුගීසි විරෝධී අරගලයේ ප්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් භාවිත කළ බව ඉතිහාසයෙන් පෙන්වා දෙයි. රාජසිංහ රජතුමාගේ අැවෑමෙන් පසු මේ ස්ථානය පෘතුගීසින් විසින් අත්පත් කරගෙන ඔවුන්ගේ බළකොටුවක් වශයෙන් ද පාවිච්චි කිරීමට අමතක නොකළහ.
පසුව එදිරිල්ලේ රාල හා කුරුප්පු ආරච්චි වැනි සෙන්පතියන් විසින් යළිත් ගුරුබැවුල බළකොටුව සිංහලයන් අතට අත්පත්කර ගත් බව සඳහන් වේ. මේ බළකොටුවේ ආරක්ෂිත විධි අනුගමනය කිරීමේදී ගැඹුරු දිය අගලක් කපා ආරක්ෂාව තරකර ගෙන ඇති බව අදටත් පෙනෙන්නට තිබෙන නෂ්ඨාවශේෂවලින් තහවුරු වේ. අවසානයේ ඉංග්‍රීසින්ගේ ද බළකොටුවක් වශයෙන් ගුරුබැවුල බළකොටුව පාවිච්චි කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
කන්ද උඩරට රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් සමඟ මේ ස්ථානයේදී දරුණු සටන් ඇවිළී ඇත. ඉංග්‍රීසින් සමඟ කන්ද උඩරට රාජධානියෙන් කරන ලද යුද සටන් භාරව ක්‍රියා කෙළ් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දක්ෂ සෙනවියකු වූ ලෙව්කේ දිසාවේය. ඉංග්‍රීසී සමඟ සටන නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බවට රජුට කේලාම් බස් සැපයීමත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කේලම් බස්වලට රැවටෙන අයකු වීමත් නිසා ලෙව්කේ දිසාවෙට හංවැල්ල නිරිපොළ කොට්ටැල්ල වෙළේදී ඉංග්‍රීසීන් අතින් නොව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතින් මරු වැළඳ ගන්නට සිදුවීම අපේ ඉතිහාසයේ සිදු වූ ඉතාම ශෝචනීය සිදුවීමක් බවට පත්වී තිබේ.
මේ සිදුවීම අපේ ජනකවියකු දැක ඇත්තේ මේ අයුරිනි.
පුන්සඳ සේම පායාලා රට මැද්දේ
රන් කෙඳි සේම පීරාලා පිට මැද්දේ
මාර සෙනඟ වටකරගෙන යම යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ
මොණරා පිල් වල්ල බිම ගාව ගාවා
මොණරා නොවේ දෙවියනි දේවතාවා
එතැනම තිබුණු ගිනිදැල් තාරකාවා
ලෙව්කේ මැතිඳු කඩුවට බොටුව පෑවා
මේ වනවිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කන්ද උඩරට රදලයන්ට සිදුකළ ජීවිත හානි ඇතුළු විනාශකාරී සිදුවීම් නිසා රජුගෙන් කුමන මොහොතේ හෝ පළිගැනීමට කන්ද උඩරට රදළයන් සූදානමින් සිටින වකවානුවක ලෙව්කේ දිසාව ගැන ඇති වූ සැකය ද තියුණු වී ඇත. එහි ප්‍රතිඵලය වූයේ ලෙව්කේ දිසාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බව ඉතිහාසඥයේ සඳහන් කරති.
සීතාවක රාජසිංහ රජු යුද්ධයට යනවිට නතර වූ තාවකාලික රජ නිවාසයක් හංවැල්ල ප්‍රදේශයේ පැවැති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
මේ ප්‍රදේශය හඳුන්වන්නේ මාලිගාවත්ත යනුවෙනි. මේ තාවකාලික රාජ නිවාසයට යෑමට කැලණි ගඟේ සිට කිලෝමීටරයක පමණ උමගක් ඇති බව ගම්වාසීහු සඳහන් කරති. මේ උමග ආරම්භ වන ගංගාවේ ස්ථානය විශාල වක්කලමකි. මේ ස්ථානය “මාලිගාව වත්කලම” යනුවෙන් හඳුන්වනු ලබයි.
හංවැල්ලේ පුරාණය ගැන කතා කිරීමේ දී හංවැල්ල කේ. නිහාල් පෙරේරා මහතා සඳහන් කළේ මෙවැනි තොරතුරුය.
“ගුරුබැවුල යනුවෙන් ග්‍රාම නාමය සෑදී ඇත්තේ ගුරු පැහැති බෑවුමක් ඇති ප්‍රදේශය ගුරුබැවුල වූ බවත් ගුරු කියත මත්ස්‍යයන් හිටපු විල ගුරුබෑවුල බවත් ආදී වශයෙන් ගුරුබැවුලට ග්‍රාම නාම රාශියක් තිබෙනවා.
හං කියන ගස් වර්ගයක් තියෙන වැල්ල හංවැල්ල වූ බවත් සංඥා දුන් ස්ථානය සංවැල්ල වී පසුව හංවැල්ල වශයෙන් ව්‍යවහාර වූ බවත් සංඝයා වහන්සේලා ස්නානය කළ ස්ථානය සංවැල්ල හංවැල්ල වූ බව ආදී වශයෙන් හංවැල්ලට ග්‍රාම නාම රාශියක් ලැබිලා තියෙනවා.

ඉංග්‍රීසි පාලන සමයේදී එංගලන්තයේ වේල්ස් කුමාරයා නමින් සිට පසුව 7 වැනි එඩ්වඩ් රජු වශයෙන් කටයුතු කළ රාජකීයයා පැමිණි මොහොත සිහිවීම පිණිස ඔහු විසින් රෝපණය කළ කොස් පැළය අද විශාල වෘක්ෂයක් බවට පත්වී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන සිහිවටනයක් වශයෙන් හංවැල්ලේ තානායමේ නිරුපද්‍රිතව පවතිනවා. 1875 දෙසැම්බර් මස 7 වැනිදා මේ කොස් පැළය වේල්ස් කුමාරයා (7 වැනි එඩ්වඩ් රජු) රෝපණය කරල තිබෙනවා. ඒ ස්ථානයේම පවතින ගල් බංකු දෙක ද ඒ යුගයේ තැනූ බව සඳහන් වෙනවා” යැයි නිහාල් පෙරේරා මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.
මීළඟට හංවැල්ලේ පුරාණය ගැන අදහස් දැක්වූයේ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති ගාමිණී වැලිකල මහතාය.
“1915 පැවැති මුස්ලිම් සිංහල කෝලාහලයේදී හංවැල්ලේ විශේෂ යුද්ධාධිකරණයක් පිහිටුවා නඩු අසා 17 දෙනකු මරණයට පත් කරලා තිබෙනවා. තවත් සමහරු පස්සේ නිදහස ලබා තිබෙනවා. ඔවුන් අතර කලපලුවාවේ පංසලේ හාමුදුරුවෝ, බත්තරමුල්ලේ සුභූති නාහිමි, හංවැල්ලේ ප්‍රධාන පාසලේ ප්‍රධානාචාර්ය රොමානිස් පෙරේරා, දොන් ජැකෝලිස් රූපසිංහ ගුණවර්ධන (බොරලුගොඩ රාලහාමි), ගලගෙදර මුස්ලිම්වරු දෙදෙනෙක් ද ඉඳල තිබෙනවා.
හංවැල්ල ගැන කතා කිරිමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ ආරම්භය ඇති කළේ බොරලුගොඩ රාලහාමිගේ පුත්‍රයා වූ පිලිප් ගුණවර්ධන මහතාගෙන් බව මේ අවස්ථාවේදී සඳහන් කිරීමට පුළුවන්. සීතාවක අභිමානයත් හේවාගම් කෝරළයේ සටන්කාමීත්වයත් උරුම කොටගෙන අධිරාජ්‍ය විරෝධී ජාතික සටන් ව්‍යාපාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වුණා.
අපේ රටේ තිබෙන අංගම්පොර ක්‍රීඩාව සටන් කලාවක් වශයෙන් මේ ප්‍රදේශයේ ඒ කාලේ තිබිලා තියෙනවා. මේ අංගම්පොර සටන් කලාව පුහුණු වී තිබීම දිගුකාලීන යුද්ධයකට මුහුණදීමට හමුදාමය ශක්තිය ඒකරාශී කරගැනීමට පදනම වෙලා තිබෙනවා
නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ශ්‍රී ලංකාව පුරා ආරම්භ කළ මධ්‍ය මහා විද්‍යාල 60න් 29 වැනි මධ්‍ය මහා විදුහල ලැබුණේ හංවැල්ලටයි.
මේ බළකොටුවේ භූගෝලීය පිහිටීම අනුව පර සතුරු උවදුරු හමුවේ සතුරාට පහසුවෙන් පහරදීමට නොහැකිය. වර්තමාන හංවැල්ල නගරයේ තානායම පිහිටි ස්ථානය අතීතයේ ගුරුබැවුල බළකොටුව පැවැති ස්ථානය වශයෙන් හැඳිනගෙන ඇත. මායාදුන්නේ රජතුමා මෙන්ම ඔහුගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහ රජතුමා මේ ස්ථානය පෘතුගීසි විරෝධී අරගලයේ ප්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් භාවිත කළ බව ඉතිහාසයෙන් පෙන්වා දෙයි. රාජසිංහ රජතුමාගේ අැවෑමෙන් පසු මේ ස්ථානය පෘතුගීසින් විසින් අත්පත් කරගෙන ඔවුන්ගේ බළකොටුවක් වශයෙන් ද පාවිච්චි කර ඇත.
එදා පිලිප් ගුණවර්ධන මහතා ඇති කළ දේශපාලනය තමයි මේ ප්‍රදේශයේ අදටත් අඩු වැඩි වෙමින් පවතින්නේ. කොස්ගමට තුනී ලෑලි සංස්ථාවක් ලබාදීමට පවා එතුමා ක්‍රියා කළ අන්දම අමතක කරන්න බැහැ. හංවැල්ල ආසන්නයේ ඓතිහාසික විහාරස්ථානයක් වශයෙන් සමනබැද්ද රජමහා විහාරය තිබෙනවා. ගම්වැසියකු වශයෙන් මා දන්නා කාලයේ සිට මිනිසුන්ගේ ජීවන රටාව හැඩ ගැහිලා තිබුණේ කැලණි ගඟ ආශ්‍රිතව. වැලිගොඩ දැමීම, ගඩොල් කර්මාන්තය වගේම එළවළු වගාව මේ මිනිසුන්ගේ අාර්ථිකය ශක්තිමක් කළා.

මීළඟට අදහස් දැක්වූයේ හංවැල්ල තානායමේ කළමනාකරු ජනක කීර්තිසිංහ මහතාය.
“අද තානායම වුණාට එදා විශාල බළකොටුවක් වශයෙන් තමයි මේ ස්ථානය පැවතිලා තියෙන්නේ. මුර සෙබළුන් සහිත කිඹුලන් දාපු දිය අගලක් මේ ස්ථානයේ ඒ කාලේ තිබිලා තියෙනවා. හංවැල්ල බළකොටුවේ ඉතිහාසය ගැන මමත් කිසියම් අධ්‍යයනයක් කරමින් තමයි ඉන්නේ.
ඒ මේ ස්ථානයට පැමිණෙන විදේශිකයන්ට එහි ඉතිහාසය නිවැරදිව සඳහන් කරන්න. අපේ හෝටල් සංස්ථාව ආරම්භයේම පටන් ගත් ස්ථානයක් තමයි හංවැල්ල තා!නායම කියන්නේ. මේ තානායමේ නැවතිලා කැම කාලා ගිය දේශීය මෙන්ම විදේශිකයෝ තවම මේ ස්ථානයට ආදරය කරනවා. ඒ මෙහි ඇති ප්‍රෞඩත්වයට හා දැකුම්කලු බවට ඔවුන් ආස නිසයි.
මේ ස්ථානය පුරාවිද්‍යාවේ ආරක්ෂිත ස්ථානයක් වශයෙන් සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ‘ගඟ අද්දර’ චිත්‍රපටියේ විජය කුමාරතුංග ගායනා කරන ‘ගඟ අද්දර මා සිසිල් සෙනෙහේ සැනහී’ යන ගීතය සහිත රූපරාමුව විජය කුමාරතුංග සමඟ වසන්ති චතුරානි රඟපාන ඒ අවස්ථාව රූගත කරලා තියෙන්නේ කැලණි ගඟ මායිමේ හංවැල්ල තානායම සමීපයේ තමයි. එ්කත් මේ ස්ථානයේ සිදු වූ සුවිශේෂ දෙයක් වන්නේ එය කලා නිර්මාණයක් වන නිසයි.
මේ අයුරින් එදා හංවැල්ල බළකොටුව අද මිනිසුන්ගේ සොඳුරු නවාතැන්පොළක් බවට පත්වෙලා තියෙනවා. ඒ උරුමය රැක ගැනීම අපි කාගෙත් යුතුකම හා වගකීම වෙලා තියෙනවා” යයි ජනක කීර්තිසිංහ මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.
සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ