පුරාණ ලංකාවේ අලි දඩයම


 

පුරාණ කාලයේ ලංකාව එහි ඇති වටිනා වෙළෙඳ ද්‍රව්‍ය නිසා විදේශිකයන් අතර ප්‍රචලිතව පැවතිණි. ග්‍රීක - රෝම අධිරාජ්‍ය යුගයේ මෙන්ම චීන හා පර්සියානු අධිරාජ සමයේ ද ලංකාවේ ​ෙව​ෙළඳ බඩු සම්බන්ධයෙන් අධික ඉල්ලුමක් තිබිණි. මුතු සහ අලි ඇත්තු මේ වෙළෙඳ ද්‍රව්‍ය අතර මුල් තැනක් ගත්තේය.   


​ෙරා්මයෙන් පැමිණ ක්‍රිස්තු පූර්ව 302 පාටලීපුත්‍ර (අද පැට්නා) නගරයේ විසූ බව කියන මෙගස්තීනීස් තමා ඉන්දියාවේදී ඇසූ දුටු දේ ඇසුරින් පොතක් ලිවීය. එහි මෙසේ සඳහන් වේ.   

“අප සිටින රටට එපිටින් මුහුදේ විශාල රටක් තිබේ. එයට තප්‍රොබේනය යැයි කියති. එහි නගර කිසිවක් නැති බවත් ඇත්තේ ගම් පමණක් බවත් ආරංචිය. ගම් 200ක් එහි ඇති බව දැන ගන්නට ඇත. වටිනාම දේ අලිඇතුන්ය. දේහයෙන් අති විශාල වූ ඇත්තු මහ ගොඩබිමේ (ඉන්දියාවේ) සිටින ඇතුන්ට වඩා ශක්ති සම්පන්නය. එම අවධියේ වැඩියෙන් අලි ඇත්තු අල්ලා දැව දඬුවලින් තනා ගන්නා නැව්වල පටවා ඉන්දියාවට එවා විකුණා ගනිති.”
මෙගස්තීනීස් එදා එසේ ලීවේ තමා ඇසූ දේ මිස දුටු දේ නොවේ. එහෙත් ලංකාවේ අලි ඒ තරමටම එතෙර ප්‍රචලිතව තිබිණි.  


ඇත් දළ සහ අලි පුරාණ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු කෝට්ටේ උඩරට ආදී සියලු රාජධානිවල රජකම් කළ රජවරු ද 1505 දී පහත රට අල්ලා ගත් පෘතුගීසී ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලකයෝ ද මෙරට සිටි අලි ඇතුන් අල්ලා එතෙර රටවලට විකිණූහ.   


ලංකා​වේ අලි ඇතුන්ට එතෙර රටවල විශාල ඉල්ලුමක් තිබිණ.   


පැරණි සේද මාවතේ ආ චීන නෞකා මගින් යුරෝපය සහ චීනය දක්වා රටවලට අලි ඇතුන් විකිණීම සඳහා ගෙන යන ලදී.   


යුරෝපීයයන් ලංකාව අල්ලා ගත් පසු පෘතුගීසි හා ලන්දේසීහු උඩරට රජුන් සමග අලි ඇතුන් අල්ලා ගැනීම සඳහා විවිධ කෝලාහලවල ද පැටලුණහ.   


පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ ප්‍රංශ යන යුරෝපීය ජාතීන් හතරම ආසියාවට කඩා පාත් වූයේ වෙළෙඳ බඩු ගෙනයාම සඳහාය. චීන සහ මුස්ලිම් වෙළෙඳුන් ආසියාවේ රටවල සිට යුරෝපයට ගෙන යන අලි ඇතුන් මුතු පබළු, කුරුඳු ආදී ද්‍රව්‍ය එම වෙළෙඳුන්ගෙන් මිලදී ගන්නවාට වඩා ලාබයක් තමන් එම රටවල් අල්ලා ගැනී​ෙමන් ලබා ගත හැකි බව සිතූ යුරෝපීයයෝ තම නැව් හමුදාව ගෙන ආසියාවට කඩා පාත් වූහ. පරංගි හෙවත් පෘතුගීසීන් මුලින්ම කඩා පාත් වූයේ එසේ මුස්ලිම් වෙළෙඳ නෞකා පසුපස හඹා ගිය ගමනේදීය.   


ලංකාවේ නිෂ්පාදන භාණ්ඩ වලින් ඉන්දියාවේ දී අලෙවි කළ හැකි වූයේ අලි ඇතුන් පුවක් සක්බෙල්ලන් සහ මුතු පමණය.   


ඉන්දියානු රජවරුන් ද යුද වාහනයක් ලෙසත් රාජකීය හමුදාවේ අලංකාරත්වය වැඩි කර ගැනීමටත් අලි ඇතුන් මිලදී ගැනීමට පෙළඹී සිටියහ. වසර දහස් ගණනක් තිස්සේ ලංකාව හා ඉන්දියාව අතර අලි ඇතුන් වෙළෙඳාම සිදුව තිබේ.   


ලන්දේසීන් මෙරටට පැමිණ සිටි කාලය වන විට ඉන්දියාවේ බොහෝ තැන්වල පාලනය ගෙන ගියේ මුස්ලිම්වරුය.   


මුස්ලිම්වරු හා හෙට්ටි යන ජන වර්ගය ද ඉන්දියාවේ වෙළෙඳ ආදිපත්‍යයේ හයිකාරයෝ වූහ. බෙංගාලය හා ගොල්කොණ්ඩා නුවර මුස්ලිම්වරු ලංකාවට සහල් එවා ඒ වෙනුව​ට ඇතුන් ගෙන්වා ගත්හ. පරසතුරු ආක්‍රමණ හේතුවෙන් ඒ කාලයේ ලංකාවේ ගොවිතැන තිබුණේ බෙහෙවින් දුර්වලවය. මේ නිසා සහල් ගෙන ආවේ ඉන්දියාවෙනි.   


සහල් ගෙන ආ නැව්වලින්ම අලි ඇතුන් අපනයනය කිරීමට හැකි වීම ලංකාවේ රජ වරුන්ට ලාබදායක විය. මේ කාලයේ බෙංගාලයේ රජතුමා (ඔහු මුස්ලිම්වරයකු විය) සහ කොරමැන්ඩල් වෙරළ දිගට සිටි ප්‍රාදේශීය රජවරු ලංකාවේ අලි ඇතුන් මිලදී ගත් අය අතර මුල් තැනක සිටියහ.   


​ෙබංගාලයේ පාලනය ඒ වන විට තිබුණේ මුස්ලිම්වරුන් සතුව ය. එහි පාලකයා හැඳින්වුණේ නවාබ් යන නමිනි. ලන්දේසිහු ද වෙළෙඳ කටයුතු මුවාවෙන් බෙංගාලයේ බළ කොටුවක් තනාගෙන සිටියහ. තමාට අවශ්‍ය ලංකාවේ අලි ඇතුන් ලන්දේසීන් ලවා ගෙන්වා ගත්තේ බෙංගාලයේ නවාබ්වරයාය. ඒ සඳහා ගෙවන මුදල් වෙනුවෙන් ලන්දේසීන් කුවිතාන්සියක් ලබා දෙන අතර එය ලංකාවේ ලන්දේසි භාණ්ඩාගාරයේදී මාරු කර ගනිති.   
1662 වසරේදී ලන්දේසි මුදල් ඒකකය වූ ගිල්ඩර් එක්ලක්ෂ හතළිස් නව දාහක් අලි ඇතුන් අපනයනයෙන් ලන්දේසීන් උපයා ගෙන තිබිණි. එය ඔවුන් ලංකාවෙන් ලැබූ ආදායමෙන් සියයට විසි පහක් විය. ගම්මිරිස්. පුවක්, මුතු, ලාක්ෂා බඩු ඔවුන්ගේ සෙසු අපනයන ද්‍රව්‍ය විය. මෙම අලි ඇතුන් අල්ලා ගන්නා ලද්දේ ඇත්ගාල් අනුසාරයෙනි. මහ කැලෑවේ විශාල කොටසක් වටකොට එම ගස් අතරට කැපූ ගස් කඳන් සිටුවා තනාගන්නා ශක්තිමත් කොටුවක් ඇත්ගාල නමින් හැඳින්විණි. වනයේ ගැවසෙන අලිඇතුන් හීලෑ අලි යොදවා මේච්චල් කරගෙන මෙම ගාල් තුළට කොටු කර ගැනීම ඇත් ගාලකින් කෙරෙන කටයුත්ත විය. මේ සඳහා පළපුරුදු අලි අල්ලන්නන්ගෙන් යුතු ජන කොට්ඨාසයක් එකල විය. සබරගමු රදළයකු වූ මඩුවන්වෙල දිසාවේට ඇත් ගාල 50 ක් තිබූ බව කියති. ප්‍රසිද්ධ පනාමුරේ ඇත් රජු කලබලකාරීව හැසිරීම නිසා වෙඩි කා මියගියේ ඔහුගේ පරපුරට අයත්ව තිබූ පනාමුරේ ඇත් ගාලේ දී ය.   


ලංකාවේ දිගු කාලයක් වාසය කර පසුව බ්‍රිතාන්‍යයට ගොස් පොතක් ලියූ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ෆර්ගසන් 1882 වසරේ ඇත් ගාලක තත්ත්වයත් ඇත් ගාල නැරඹීම සඳහා බ්‍රිතාන්‍යයෝ ඔටුන්න හිමි ඇල්බට් කුමාරයා පැමිණි අන්දමත් විස්තර කරයි. ඔහු එකල ලංකාවේ පළ වූ “සිලෝන් ඔබ්සර්වර්” පත්‍රයේ සම කර්තෘවරයා ලෙසද සේවය කර ඇත.


එම ලිපියේ මාතෘකාව හැටියට සඳහන් කර ඇත්තේ ලබුගම ඇත්ගාල බැලීමට ඇල්බට් කුමාරයාගේ පැමිණීම යන හිසිනි.  


මේ ඔහු ඇත්ගාලකට ගිය ගමන විස්තර කරන අන්දමයි.


“එච්.එම්.එස්. රූබි නෞකාවේ කපිතාන් ෆුට් සමග මම එක්තරා හිමිරිදි උදෑසනක වනාන්තරයට ඇතුළු වීමි.   


එදින ඉතාම සුන්දර දවසකි.   


දිගු කාලයක් තිස්සේ බලාසිටි අවස්ථාවක් අපට උදා වී තිබේ. අප මේ සූදානම්ව සිටින්නේ අැත්ගාල නැරඹීම සඳහා යෑමටය. ඒ සඳහා සැතපුම් දහයක් දුර යා යුතු බව අපගේ මඟ පෙන්වන්නෝද කීහ. මාස දෙකක් තිස්සේ මේ අවස්ථාව උදා වන තුරු බලා ගෙන සිටියත් උදා වී ඇති මේ මොහොතේ මම අවදානමට බිය වීමි.   


එහෙත් ඇත් ගාල් පිළිබඳ ප්‍රවීණයන් පිරිසක් මෙම කටයුතු සංවිධානය කර ඇති හෙයින් මගේ බිය අහේතුක විය. අප වෙනුවෙන් උදව් උපකාර කිරීම සඳහා ස්වදේශිකයන් (ලාංකිකයන්) දහස් ගණනක් මහ දිගට පෙළගැසී සිටියහ.   


ක්‍රාලය හෙවත් ඇත්ගාල තිබුණේ එම වනාන්තරයේ ය. උසැති ගසින් යුත් මහා ගණ වනය එක දිගට පැතිර පැවතුණේය. හිමිදිරි නිහඬතාව මැදින් සිහින් බටලී නළා හඬක් පාව ආවේය. දේශීය ජනයා එම සංගීත භාණ්ඩය තනා ගන්නේ කුඩා බම්බු යොදා ගනිමිනි.   


අැත්ගාල අසල ඉදි කර ඇති තාවකාලික නගරයේ ජීවත් වන යම් කෙනෙක් මේ උණ බට සංගීතය සපයන්නට ඇත.   


ජෝර්ජ් කුමාරයා 1882 ජනවාරි 30 වැනිදා සවස 5 ට පමණ ඇත් ගාල වෙත පැමිණියේය. ජෝර්ජ් කුමරු පැමිණියේ කඩිසර පෙනුමක් සහිත අසෙකු පිටේ ය.   


ඇත් ගාල සහ පිට පෙදෙස වෙන් කෙරෙන කුඩා ඇළ මාර්ගය මතින් අශ්වයා පැන්නූ ආකාරයට ජෝර්ජ් කුමරු දක්ෂ අසරුවකු බව පෙනී ගියේය. මෙය දුටු එහි රැස්ව සිටි වතුවවන්​නෝ සහ පරිවාර පිරිස් ඔල්වරසන් දී කුමරුට සුබ පැතූහ.   


ඇල්බට් කුමරු පැමිණියේ පා ගමනිනි. එතුමා සමග ආණ්ඩුකාර ලොන්ඩන් ද විය. ​ලොන්ඩන් ආර්යාව පුටුවක හිඳුවා ඔසවා ගෙන එනු ලැබීය.   


ඇත් ගාලට සැතපුමක් තරම් මානයේ අලි රංචු දෙකක් සිටින බව වාර්තා විය. ඉන් එක් රංචුවක හත් දෙනෙකු සහ අනෙක් රංචුවේ අලි පහළොස් දෙනෙකු වශයෙනි. පසුදා උදෙන්ම එම අලි රංචු ගාල් කර ගැනීමේ සාර්ථක මෙහෙයුමක් අරඹන්නට සියල්ල සූදානම් කොට තිබිණ.


වනාන්තරයෙහි ඇත් ගාල වටා කුඩා මඩු රැසක් අටවා තිබුණි. ඒවායෙහි විවිධ බඩු භාණ්ඩ විය. එය කුඩා නගරයක් වැනිය. මෙතරම් දුර බැහැර කුඩා නගර නැතත් අලි අල්ලන ඇත්ගාල් අසල මෙවැනි කුඩා නගර තාවකාලිකව ඉදි වේ. එහි විවිධ විසිතුරු බඩු ඇත.   


එ් අසලදීම මට කෝරාල කෙනෙකු හමු විය. ඔහු දේශීය ජනයාගේ ප්‍රධානියෙකි. සුදෝ සුදු රැවුලෙන් යුතු ඔහුට ස්වදේශිකයෝ බිය මුසු ගෞරවයක් දැක්වූහ. මෙම කෝරාළ අලි ඇතුන් අල්ලන්නන්ගේ ප්‍රධානියෙකි. පුරාණ උඩරට රාජධානියේ සිට ඔහු තම පිරිවර කැටුව පැමිණ සිටියේය. මෙම කෝරාළගේ විශේෂත්වයක් මම දුටුවෙමි. එනම් ඔහුගේ ඉහළම ප්‍රධානියා වූ එක්නැලිගොඩ නිලමේට අතිශය බියමුසු බවක් දැක්වීමයි. ලක්දිව ප්‍රධානීන්ට මෙවැනි හෙංචයියන් (හෙන්ච්මන්) බහුලය.   


එක්නැළිගොඩ සංඥාව දුන් පසු කෝරාළ ඇතුළු සහචර පිරිස රිද්මයානුකූල ගායනයක් කරති.   


හාරි හාරි හාරි හාරි
හාරි හාරි හෝ හෝ........   


මෙම ඇත් ගාල සකසා ඇති අන්දම අපූරුය. අඩි දහයක් දොළහක් පමණ උස ඇති ශක්තිමත් ගස් කපා එම දැව කඳන්වලින් වැටක් සකසා ඇත් ගාල සකසා ඇත. ගාල වටේ පිහිටි සමහර ගස් එසේම තිබෙන්නට හැර තිබේ.   
එම ගාල සවි ශක්තිමත් වරපටින් ලණු හෝ වැල්වලින් වියා ගත් ලණු බැඳ ඇත්තේ අලියකුගේ ප්‍රහාරයකින් නොකැඩෙන සේය.   


මෙම ඇත්ගාල ඉදි කරන්නේ අලිඇතුන් දිය සොයා එන මංකඩක හෝ ඔවුන් ගමන් ගන්නා කොරිඩෝරයක් අසලය. ගාලට ඇතුළුවීම සඳහා එක තැනකින් ඉඩක් තබා තිබේ.”   


මේ අන්දමට මෙම ඉංග්‍රීසි ජාතිකයා තමා ඇත්ගාල දුටු අන්දම විස්තර කරයි. ඔවුන් ඇත් ගාල නැරඹීමට ගොස් ඇත්තේ අශ්වයන් සහ හීලෑ හස්තීන් පිටය. තමා මුහුණ පෑ ත්‍රාසජනක මොහොතක් ද ඔහු ඉන් පසු සටහන් කර ඇත.   

 

 

එදින අලි ඇතුන් කොටුව තුළට ගාල් කර ගන්නා දවසක් විය. අපි අපිටම වෙන් කර තිබූ දැවැන්ත වෘක්ෂයක සකසා තිබූ නැරඹුම් මධ්‍යස්ථානයකට නැංගේ වල් අලින් ඇත් ගාලට කොටු කර ගන්නා අන්දම දෑසින්ම දැක ගැනීමේ ආශාවෙනි.   


අැත්ගාල බාරව සිටි ඉංග්‍රීසි නිලධාරියා වූ සහකාර ලේකම් ඩෝසන් මහතා කපිතාන් ෆුට් සහ තවත් ඉංග්‍රීසි නිලධාරිහු කිහිප දෙනෙක් ඇත්ගාල අසලින් එක් පැත්තකට යන අයුරු මම දුටුවෙමි.   


“අලියෙක් අලියෙක් (අලි අලි) යනුවෙන් මහ හඬින් හඬනගන ශබ්දයක් අනතුරුව ඇසුණි. ඒ සමගම මහත් කලබලයක් ඇති විය. එය ගෝෂාවකට හැරුණි. මහ හඬින් හූ නද දෙන ශබ්ද ද කලින් සූදානම් කර තිබූ දර ගොඩකට ගිනි තබා එයින් නගින ගිනි ජාලා ද පෙනුණි. අනතුරුව වෙඩි ශබ්ද ගණනාවක් ඇසුණි. මහත් පුදුමයකි!   


ෂෙල් වෙඩි ද ඊට එක් විය. ෂෙල් වෙඩි කැබලි හැම තැනම විසිර යනු මම දුටුවෙමි.”


 මෙම ඉංග්‍රීසි ජාතිකයා පවසන ෂෙල් වෙඩි කාල තුවක්කු උණ්ඩ නොවන්නට පුළුවන. එය මහත් හඬකින් යුත් රතිඤ්ඤා වි​ෙශ්ෂයක් වන්නට ඇත. ඒ හැර අන් සියල්ලම එකල අලි ඇල්ලූ ක්‍රමයයි.   


​ෙමම මහා වනාන්තර වල අලි මංකඩවල් බහුලය. දිය පිපාසාවෙන් එන අලි ඇතුන් ගමන් ගන්නා මාර්ගය අසල බැඳ ඇති ගාලට ඔවුන් ​ෙකාටු කර ගත්තේ මහ හඬින් කෑ ගසා ගිනි දල්වා සහ වෙඩි තැබීමෙන් ඇති කර ගන්නා කලබලයෙනි.   


ගිනිසැරට බිය වන අලි ඇත්තු තම ගමන් මාර්ගයෙන් මිදී වෙනත් අතකට දුවති. අහසට හෝ ඉවතට හරවා වෙඩි තැබීමෙන් මේ සතුන් තවත් කලබල කර ගත හැකිය. තම ගමන් මාර්ගයෙන් ඉවතට හැරෙන සතුන් ඉන් පසු යොමු කර ගත යුත්තේ ගාලට ඇතුළුවීම සඳහා ඉඩ කඩ තබා ඇති කඩුල්ල වෙතය. මෙම කලබලය මැද ගාල තුළට අලි ඇතුන් ගණනාවක් කොටු වූ කළ ඉණිමංකඩ තදින් වසා දැමීමට එහි රැස්ව සිටින සේවකයෝ යුහුසුළු වෙති.   


හීලෑ අලින්ද එම කාර්යය සඳහා යොදා ගැනෙයි. මහ වනයේ නිදහසේ සිටින අලි ඇතුන් ගණනාවක් දැන් මේ කොටුව තුළ සිරව සිටිති.   


රට පැටවෙන්නේ මෙසේ හොඳින් හීලෑ කර ගත් අලි ඇතුන්ය.  

 

 

මතු සම්බන්ධයි.  

 

 

 

 

 

 

 

 


ප්‍රේමකීර්ති රණතුංග