පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’


වීදුරු උණුකළ උඳුන් 40ක් තවමත් පොළොව යට

ගවේෂණය කරන ලද ස්ථානය

 

  • වීදුරු පබලු නිෂ්පාදනය කළ බවට හඳුනාගත් උදුන් තුනක් සොයාගන්න ලැබුණා. අපිට ඕනැ වුණා මේ උදුන් සහ පබලු කොයිතරම් දුරට විහිදිලා තියෙනව ද කියලා සොයන්න. මේ පබලු හැදුනේ කොහොමද මේක පිටුපස තියෙන තාක්ෂණය මොකක්ද කියන එක තමයි අපේ අරමුණ වුණේ.

 

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම් මගින්ද තහවුරු කර ඇත. එමෙන්ම ප්‍රාථමික යුගයට අයත් මහා ශිලා සුසානය තුළින්ද ආගමික මධ්‍යස්ථාන තුළින් ද පැරැණි වරාය හා වෙ​ෙළඳ මධ්‍යස්ථානවලින් මෙන්ම ජනාවාස ක්ෂේත්‍රවලින් ද පබලු හමුවීමෙන් පෙනී යන්නේ එකළ සමාජයේ පබලුවලට විශේෂයක් තිබුණු බවය.  


තත්කාලීන සමාජයේ පබලු අලංකාර පලඳනාවක් වශයෙන් පමණක් නොව සමාජීය තරාතිරම්ද දැක්වීම පිණිස යොද‌ා ගෙන ඇති බව ද ඉබ්බන්කටුව වැනි මහා ශිලා සුසාන වලින් සොයා ගත් පබලුවලින් පැහැදිලි වේ.  


ප්‍රාග් ඓතිහාසික මානවයාගේ පටන් වසර තිස්දහසකට පමණ පෙර සිට පබලු ආභරණ ලෙස පැලඳ ඇති බවට පාහියංගල, බටදොඹලෙන ආදී ස්ථානවලින් හමු වී තිබීමත් සමඟ පබලු තත්කාලීන සමාජයේ විශේෂ ස්ථානයක් ගත් බව පෙනේ. 

 
අනුරාධපුර හා පොළොන්නරු යුගයටත් එහා සිට වීදුරු පබලු මෙරටට දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ඇතැයි අනුමාන කෙරෙයි. දකුණු ආසියාවේ පැරැණිතම වීදුරු පබලු නිෂ්පාදනාගාරයක නටබුන් කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ කළ කැණීම් වලින් සොයා ගැනීමත් සමඟ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටී.  


මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් යැයි අනුමාන කෙරෙන අතර පුරාණ වීදුරු පබලු නිෂ්පාදනාගාරයේ නටබුන් හමුවන්නේ කුරුණෑගල ගිරිබාව ‘පබලුගල’ ප්‍රදේශයෙනි. එහිදී දකුණු ආසියාවේ පුරාණතම වීදුරු කර්මාන්තය පිළිබඳව ද සාක්ෂි හා සාධක රැසක් හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පල මහතා පැවසුවේය. තවදුරටත් අදහස් දැක්වූ ආචාර්වරයා ‘පබලුගල’ සිදුකළ කැණීම් පිළිබඳ තොරතුරු දැක්වූයේ මෙලෙසය.  

 


‘පබලු ගල’ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමක්. මීට අවුරුදු ගණනකට ඉහතදී මේ පබලුගල කියන ගමේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තියෙනවා. ඒ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත්කරලා තමයි තිබුණේ. මේ ගමේ මතුපිටින් අක්කර ගණනාවක වීදුරු පබලු හමුවීමත් එක්ක කාලයක් තිස්සේ ඉඳලා මේ ගමට පබලුගම කියලා හඳුන්වලා තිබෙනවා.  


 මුලින්ම අපි මේ ප්‍රදේශය පිළිබඳ ගවේෂණ කටයුතු කළා. ඊට පස්සේ පසුගිය මාසේ පස්වෙනිද‌ා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන අංශය සහ ප්‍රංශ ජර්මන් පුරාවිද්‍යාඥයින් පිරිසක් සමග සහයෝගිතා ගිවිසුමක් යටතේ අපි මේ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කළා.  


 එහිදී වීදුරු පබලු නිෂ්පාදනය කළ බවට හඳුනාගත් උදුන් තුනක් සොයාගන්න ලැබුණා. අපිට ඕනැ වුණා මේ උදුන් සහ පබලු කොයිතරම් දුරට විහිදිලා තියෙනව ද කියලා සොයන්න. මේ පබලු හැදුනේ කොහොමද මේක පිටුපස තියෙන තාක්ෂණය මොකක්ද කියන එක තමයි අපේ අරමුණ වුණේ.  


 ඉන් අනතුරුව භූ භෞතික ක්‍රමවේදය යටතේ පොළවේ කළ ස්කෑන් පරීක්ෂණයකින් තවත් උදුන් 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශය අවට ඇති බවට හඳුනා ගන්නට ලැබුණා. අපට හමුවූ මේ සාක්ෂි අනුව පබලුගම කියන ප්‍රදේශයේ අතීතයේ පුරාණ වීදුරු පබලු නිෂ්පාදනාගාරයක් පවතින්නට ඇති බවටත් ඒ වගේම වීදුරු පබලු විදේශයන් වෙත අපනයනය කර ඇති බවටත් විශ්වාස කළ හැකි සාක්ෂි අපට හමුවෙලා තිබෙනවා. මේ උදුන් ක්‍රියා කළ තාක්ෂණය මොන අනුකාරයේද යන්න සොයා කැණීම් තවදුරටත් අපි සිදුකරනවා.  
 ඒ වගේම දකුණු ආසියානු කලාපයේ රටවල්වල මෙවැනි පෞරාණික පබලු නිෂ්පාදනය පිළිබඳව සාක්ෂි හමුවුවත් එකම ස්ථානයකින් මේ තරම් පබලු ප්‍රමාණයක් සහ උදුන් ප්‍රමාණයක් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස හඳුන්වන්න පුළුවන්.  

 

ගවේෂණය කරමින්...

 


මේ ස්ථානය පිළිබඳව පුරාවිද්‍යාත්මක වටිනාකම, අයත් වූ කාල රාමුව, පබලු නිෂ්පාදනය කිරීම සඳහා යොද‌ාගත් තාක්ෂණය මෙම ස්ථානයේ සිට ආසන්නම ඓතිහාසික ස්ථාන සමග පැවැත්වූ සබඳතා ආදී කරුණු පිළිබඳ සොයා බැලීමට අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා.  


 පබලුගල ප්‍රදේශයේ සිදුකළ මූලික සමීක්ෂණ තුළින් පබලු, වළං කටුවලින් විවිධ වූ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. ඒ සමග මෙම ප්‍රදේශයේ ජනාවාස පවතින්න ඇති බවටත් අපට මේ වන විට යම් සාක්ෂි හමු වී තිබෙනවා යැයි ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  


මෙම කැණීම් සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා, ජර්මන් ජාතික පුරාවිද්‍යා ආචාර්ය Ariane de Saxce, ආචාර්ය Joelle Rolland සහ Roman Scholz ඇතුළු නිලධාරීහු පිරිසක් ද‌ායක වී ඇත.

 

 

 

නදීශා අතුකෝරළ