පිදේනි තොවිලේ නටා යක්‍ෂ බන්ධනයෙන් මුදවා ගන්නා අයුරු


යක්‍ෂ බන්ධනයක්  මගින් කිසිවෙකු රෝගී කිරීම හෝ ඒ තුළින් ඔහුව මරා දැමීම පිළිබඳව පසු ගිය සතියේ දී අණාවරණය කලෙමු.  එසේම යකුන්ට පිදේනි තටුවක් ලබා දී ආතුරයව සුවපත් කරගන්නා ආකාරය ද පරගහකැලේ අප්පුහාමි ගුරුන්නාන්සේ පැහැදිලි කළේය.  පිදේනි තටුවක් දීමෙනුත් යක්‍ෂයා ආතුරයාව අත්හැර නොයන්නේ නම් පිදේනි කාරී තොවිලයක් නටා පිදේනියක් දී යක්‍ෂයා යවා ආතුරයව  සනීප කරගන්නා ආකරය හෙතෙම අණාවරණය කලේ මෙසේය.

“පිදේනී තටුවක් දීලත් ආතුරයට  තියෙන ලෙඩ රෝග අවසන් වෙන්නේ නැත්නම් යක්‍ෂයා තවමත් ආතුරයට බන්ධනය වෙලා ඉන්න බව තේරෙනවා. ඒ සඳහා පිදේනි කාරි තොවිලයක් නටා පිදේනි තටුවක් දීලා ආතුරයව බේර ගන්න සිද්ධ වෙනවා . මේකටත් ප්‍රධාන ගුරුන්නාන්සේ කෙනෙක් ඇතුළුව සහය ගුරුන්නාන්සේලා හතර දෙනෙකුත් ආවතේව කටයුතු වලට කීප දෙනෙකුත් සහභාගි වෙනවා. ”


“මේවා ගොඬේ පිදේනි කාරි , තොවිල් ශාන්ති විදිහටත් හඳුන්වනවා. ආතුරයා නිතරම අසනීප වෙන එක වගේම හූ තියන එක කෑ ගහන එක කැලේ දුවන්න හදන එක තුළින් ඇඟවෙන්නේ යක්‍ෂයා තවමත් මේ ආතුරයාගේ ශරීරයේ ඉන්න බවයි. දැන් ඉතින් පිදේනි තොවිලේ නටන්න සියල්ල සූදානම් කර ගන්නවා. ගොඩක් වෙලාවට සතියේ මුල දිනයක තමා මේ පිදේනී තොවිලේ නටන්නේ. මුලින්ම අඩි දෙකයි දෙක හමාරේ පිදේනි තටු 05 ක් හදා ගන්නවා. ඒ සඳහා පොල් අතු ගොක් කොල භාවිතා කරනවා. කෙසෙල් ගස් වල කෙසෙල් පතුරුත් අර ගන්නවා. මේ පිදේනි පහ නොයෙක් සැරසිලි වලට හදාගත්තට පස්සේ රත්මල් ගහනවා. ඉන්පස්සේ ආතුරයා ඇතුළුව එන අයට ඉන්න වීදිය බඳිනවා. වීදිය බඳිනවා  කියන්නේ කිසියම් සීමාවක් තුළ විවිධ ආකාරයේ සැරසිලි කරලා සකස් කිරීමයි. මේ සීමාව ඇතුළේම ආතුරයට ඉන්න වෙනම තැනක් හදනවා. කෝටු හතරක් ගහලා ඒකේ තුන් පැත්තකින් සුදු පිරුවටයක් ඇදලා ඉහළිනුත් සුදු වියනක් බැඳලා එතැන සකස් කරනවා ආතුරයා ඉන්නේ ඒක ඇතුළේ. ආතුරයට වාඩි වෙලා ඉන්න පන් පැදුරකුත් එලනවා. ආතුරයගේ ආරක්‍ෂාවට තවත් දෙන්නෙක් විතර දෙපැත්තෙන් ඉන්නවා. ”
“මේ සියළු කටයුතු සම්පූර්ණ වුණාට පස්සේ යාග හෝම කටයුතු ආරම්භ කරනවා.මුලින්ම කවියක් කියලා තමයි වීදිය ඇතුළට ඇතුල් වෙන්නේ. ඒ අතර තුර මෙන්න මෙහෙම යාගයකුත් කරනවා. ”


“විස්කම් දෙවියන්ගේ වත්ත පහල තිබුණු 
එරන් දොඹේ කප්පා 
වඩුවන් පන්සියයක් ගෙන්නා
එදා ලොප කර දුන්නා වූ 
එරන් තොට කනුවයි
එරන් පොලු මුගුරු තුනයි
එරන් ශ්‍රී හැලියයි........ ”

(02)
“මේ විදිහටත් කියනවා. ”
පිදෙන්න හදන්නේ 
තොට යකාට
කළු යකාට අභිමානයාට...... ”


“මේ සියළුම දේ කෙරෙන අතරේ දවුලත් ගහනවා. පන්දම් එළියෙන් තමා සියළුම කටයුතු කෙරෙන්නේ .මේ වැඬේට ගුරුන්නාන්සේලා පස් දෙනෙක් සහභාගි වෙනවා. හැමෝම හොද අවධානයෙන් තමා වැඩ කරන්නේ .රැයක් එළිවෙනකම් කවි කියනවා මන්තර ජප කරනවා වැඩ ගොඩයි. වීදියට ඇතුල් වුනාට පස්සේ නොකඩවා එක දිගටම වැඩ ටික කෙරෙනවා. ආතුරයා ඉන්නේ පිදේනී තටු පේන විදිහට. නිවසේ උදවියගේ උදව්වට අවට ගොඩක් දෙනෙක් ඇවිත් ඉන්නවා. කල් වේලා ඇතිව හදා ගත්ත කැවිලි පෙවිලි වලින් ආව අයට සංග්‍රහ කරනවා. ගුරුන්නාන්සේලා මුල ඉඳලාම කරන්නේ යක්‍ෂයින්ට අඬ ගැසීමයි. විවිධ යකුන්ගේ නම් කිය කියා තමා ඒ අඬ ගැසීම කරන්නේ. මධ්‍යම රාත්‍රිය පහු වුණාට පස්සේ ප්‍රධාන ගුරුන්නාන්සේ සුදු රෙද්දක් අතුරලා ඒකේ දපනවා. උඩු බැලි අතට ඉන්න ගමන් කකුල් දෙකට කුකුලෙක් හිර කර ගන්නවා. ගුරුන්නාන්සේගේ මුළු ඇඟම වැහෙන විදිහට පච්ච වඩම් රෙද්දකින් වහනවා. මූණවත් පේන්නේ නෑ, එහෙම ඉඳගෙන තමා ගුරුන්නාන්සේගේ ජප කිරීම් කරන්නේ. පිදේනි තටුවකුත් ගුරුන්නාන්සේගේ පපුව උඩින් තියනවා. දැන් තමා අමාරුම හරිය තියෙන්නේ . අනිත් ගුරුන්නාන්සේලාත් නිකං ඉන්නේ නෑ ඒ අයත් දුම්මල ගසමින් කවි කියනවා. දිගටම දවුලත් ගහනවා. තොවිල් පිටිය බොහෝ ම කාර්ය බහුලයි. ”
“ප්‍රධාන ගුරුන්නාන්සේ ජප කරන ගමන් කියන්නේ ආතුරයව අත් ඇරලා මාව බිලි ගනින් කියලා. එහෙම කිව්වට ආතුරයට බන්ධනය වුණ යක්‍ෂයාට ගුරුන්නාන්සේව බිලි ගන්න බෑ. ගුරුන්නාන්සේ වැඬේට බහින්නේ තමන්ට අවශ්‍ය ආරක්‍ෂාවට  කටයුතු යොදාගෙන. ”


“සක්වල ගලේ -ගලේ ගල මුදුනේ වෙසෙන්නී
ඔක්කල ලෙසින් සක්වල දෙස බලන්නී
දැකුමට හිරු තුං සමයං යකින්නී
බිල්ල බිල්ල මා කැප ගං යකින්නී ”


“මෙන්න මේ විදිහට තමා කවි ගායනය සිද්ධ වෙන්නේ. මෙහෙම මධ්‍යම රාත්‍රිය වෙනකම්ම බොහෝම කාරුණිකව යක්‍ෂයාගෙන් හෝ යකින්නියගෙන්  ඉල්ලා හිටිනවා ආතුරයට කරදර නොකර යන්න කියලා. යක්‍ෂයා අර ආතුරයට බන්ධනය වෙලා ඉන්න නිසා ආතුරයා ආරුඪ වෙනවා. ආරූඪ වුණාම ගුරුන්නාන්සේ අහනවා උඔ කවුද උඹ මොන යකාද උඔ කෙහෙන්ද ආවේ උඹ මොන හේතුවකට මේ ආතුරයාගේ ලේ ,මස් උරා බොන්නේ කියලා අහනවා. ඔන්න එතකොට යක්‍ෂයා එක එක හේතු කියනවා. අන්තිමට ගුරුන්නාන්සේ කියනවා හරි උඹට ඕන දේවල් අපි සූදානම් කරලා තියෙන්නේ කරුණාකරලා ඒවත් අරන් පලයං කියලා . නමුත් යකා මොන මොනවා හරි බොරු හේතු කියලා යන්නේ නැතුව ඉන්නවා. නෑ නෑ උඹ යන්නම ඕන කියලා බල කලාම යකා ආයෙත් කියනවා හා කියලා . එහෙම බෑ උඹ දිව්රලා කියන්න ඕන කියනවා. යකා ඒකටත් හා කියනවා. දැඩි මුන්ඩ දෙවියන්පල්ල යනවා කියාපං, වෙසමුනියා පල්ලා යනවා කියාපං , ඊශ්වර දෙවියන්පල්ලා යනවා කියාපං කියලා පොරොන්දු කරවා ගන්නවා. ඒත් මේ යකා යන බවක් පේන්නේ නෑ. ආතුරයා දිගින් දිගටම ආරුඪ වීම තුළින් ඒ බව පේන්න ගන්නවා. යක්‍ෂ බන්ධනයෙන් මිදුනානම් ආතුරයා නිහඬ වෙලා පියවි තත්ත්වයට එන්න එපැයි.      ඒ කියන්නේ යක්‍ෂයිනුත් බොරු කරනවා.... මම ඇසුවෙමි 
(03) මනුස්ස ලෝකේ මිනිස්සු බොරු කරන විදිහ දැක්කම අමනුස්සයෝ බොරු නොකර ඉඳියිද මහත්තයා ... ඒ ගුරුන්නාන්සේගේ පිළිතුරයි. කෙසේ නමුත් තව දුරටත් ඒ පිළිබඳව අදහස් දැක් වූ ගුරුන්නාන්සේ මෙසේ ද කීය.”
“එහෙනම් අපි අමු සොහොනේ දපලා උඔව එලවලා දානවා. කියලා ගුරුන්නාන්සේ කියනවා.ඔන්න එතකොට යකා නිහඬව ඉන්නවා. දැන් දිගටම තොවිලේ නටනවා. මෙහෙම නටලා අළුයම තුන හතර වෙනකොට අර බිම දපලා හිටපු ගුරුන්නාන්සේ නැගිටිනවා.නැගිටලා අර පිදේනි තටුවත් කුකුලත් සමග ඒ විදිහටම ලී වලින් තැණූ මැස්සක් මත ආයේ දපනවා ඒක බොහෝ ම ලස්සනට කල් වේලා ඇතුව සකස් කරලා සරසලා තමා තියෙන්නේ. මේකෙ දැපුවට පස්සේ පිරිසක් මේ මැස්ස ඔසොව ගන්නවා . සමහරු මේකට කුරාලය කියලත්  කියනවා. දැන් ඉතින් අමු සොහොනක් වෙතට මේ ගුරුන්නාන්සේ සහිත මැස්ස ඔසොවාගෙන යනවා.හැබැයි ආතුරයව එක්කරගෙන යන්නේ නෑ. ආතුරයගේ ආරක්‍ෂාවට ගුරුන්නාන්සේලා දෙන්නෙක් විතර සහ නිවැසියෝ  කිප දෙනෙක් නතර කරනවා. මේ යනකොට දවුල ගගහා අයියෝ අපේ ගුරුන්නාන්සේ මලා කිය කිය කෑ ගසමින් අඬමින් යන්නේ . ඉතින් යක්‍ෂයා හිතනවා මගේ ප්‍රතිවාදියා ඉවරයි කියලා. ඒ නිසා යකා හරි සතුටින්  තමා ඉන්නේ.  විශාල පිරිසක් මේ පිටිපස්සේ යනවා.අමු සොහොනක් කියන්නේ මෑත භාගයේ මිනියක් වල දාපු තැනක්. එහෙම නැත්නම් අන්තිමට මිනියක් වල දාපු තැනක් . අමු සොහොනේ දපනකොට ක්‍රම දෙකක් අනුගමනය කරනවා. මේ සොහොනේ බාගයක් හාරලා ඒ තුළ දපලා යාග හෝම කරනවා.නැත්නම් හාරන්නේ නැතුව වල මතු පිටම  දපනවා. වල දර හැව සහ ගොඩ දර හැව කියන්නේ ඒකට. ”
“මේ විදිහට පැයක් දෙකක් අමු සොහොනේ දපලා යාග හෝම කරනවා . ගුරුන්නාන්සේගේ අතේ කහ දියරයේ පෙඟවූ නූලක් තියෙනවා . ඒකට තමා මන්තර ජප කරන්නේ. මේ විදිහට ජප කරද්දි යක්‍ෂයාට ඉන්න බෑ අමාරුයි. ඉතින් යක්‍ෂයා ආතුරයට රිදවනවා ආතුරයා කෑ ගහනවා දඟලනවා සමහරු නම් බිමත් පෙරලෙනවා. ඔය අමු සොහොනක්  බාගෙට හාරනකොට ඒ මිය ගිය අයගේ නෑදැයින්ගෙන් අවසර ගන්න ඕන. ඒ කාලෙනම් ඕවා කලේ හොර රහසේ. මහ රෑ ඕවා හොයන්නේ කවුද. දහ පහලොස් දෙනෙක් එකතු වුණාම විනාඩි දහයෙන් වලෙන්  බාගයක් හාරන්න පුළුවන් හැබැයි ඒ හාරපු සොහොන වැඬේ ඉවර වුණාම වහලා පෙර තිබුණ තත්ත්වයටම තියන්න ඕන. මේ වැඬේට සොහොනට යනකොට අවශ්‍ය උදළු අලවංගු එහෙමත් අරගෙන තමයි යන්නේ. කොහොම හරි අවසානයේ දී නැගෙනහිරෙන් ඉර පායන්න කලින් වැඬේ ඉවර කරනවා. ගුරුන්නාන්සේ  ජප කරපු අර නූල එයා වලේ ඉඳලම අත දික් කරලා කාගේ හරි අතකට දෙනවා . ඒක ගන්න කවුරු හරි සූදානම් වෙලා තමයි ඉන්නේ. ඒක ගත්ත ගමන්ම එයා ඒ නූලත් අරන් දුවන්න ඕන එයාට එක දිගටම දුවන්න බැරි නිසා අතර මග කට්ටිය ඉන්නවා අර රිලේ තරඟයක යෂ්ටිය ගෙනියනවා වගේ තමා මේක අරගෙන යන්නේ. නූල අතට දෙන වලේ ඉන්න ගුරුන්නාන්සේ ඒ මොහොතේ ඉඳලා මහා හඬින් හූ තුනක් කියනවා. ඒ හූ තුන එසේ මෙසේ හූ නෙවෙයි ඒක මුළු ගමම නින්දෙන් ඇහැරෙන තරමේ හූ හඬක් .. ඒ හූව හොඳට ඇදලා තමා කියන්නේ. ඒ  හූ තුන කියන්නේ යම් කිසි කාලයක් තුළ අතරමැද යම් ඉඩක් තියලා. ඒ කාලය ඇතුළත දි අර නූල අරන් ගිහිල්ලා ආතුරයගේ බෙල්ලේ හෝ අතේ හෝ බඳින්න ඕන. තුන්වෙනි හූව අවසන් වෙන්න කලින් ඒක නොබැන්දොත් යක්‍ෂ  බන්ධනයෙන් මිදෙන්න බෑ. ”


“ඒ නූල ආතුරයගේ බැන්දම ආතුරයා නිට්ටාවටම සුව වෙනවා. එයා පියවි තත්ත්වයට එනවා. පියවි තත්ත්වයට ආවම එයා වට පිට බලන්නේ අමුතු විදිහට මට මොකද වුණේ  කියලා අහන්නා වගේ. මේ සියළු කටයුතු අවසන් වුණාම ගුරුන්නාන්සේ ලාට වැඳලා ඔවුන්ට පුද පඬුරු දීලා සත්කාර කරනවා. සතියක් යනකම් මස් මාළු කන්න බෑ. වෙනත් පිළි ජාති කන්නත් බෑ. ආගමික කටයුතු වලට ආතුරයා නැඹුරු වෙන්න ඕන. ඒ විදිහට තමා පිදේනි කාරි තොවිලය අවසන් වෙන්නේ.


කටිනා රූප රීරී යක් බලි තොවිලය ලබන සතියට........
සටහන 
දිගාමඩුල්ලේ සමන් දිසානායක