‘රොයිටර්’ ලොව අංක එකේ පුවත් සේවාවකි. ‘රොයිටර්’ පුවත් සේවය පසුගිය දා ජනමත විමසුමක් පැවැත්වී ය. ඊට රටවල් විසිදෙකකින් පුද්ගලයෝ 23,000 දෙනෙක් සහභාගී වූහ. ජනමත විමසුමෙන් හෙළි වූයේ, පිටසක්වළ ජීවීන් මනුෂ්‍යයන් සේ වෙස්වලාගෙන මිහිමත අප අතරේ ජීවත් වෙනවා යැයි ඔවුන් සැවොම විශ්වාස කරන බවය. මෙවැනි සිතුවිල්ලක් ඇති වීමට හේතු වූයේ අතීතයේ සිට නොයෙක් නොයෙක් ආකාරයෙන්, ජන මාධ්‍ය ජනතාව මුලා කිරීමය.
1835 වසරේ අගෝස්තු 25 වැනිදා ‘ද නිව්ෙයා්ක් සන්’ නමැති ඇමෙරිකන් පුවත්පතේ අපූරු ලිපියක් පළ විය. එය විස්මිත හෙළිදරව්වක් යැයි සඳහන් විය. ලිපියේ තිබුණේ, ශ්‍රීමත් ජෝන් හර්ෂල් නමැති ලෝ සුපතල බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයා, ඔහු විසින් වැඩි දියුණු කළ අති ප්‍රබල දුරේක්ෂයක් යොදා ගෙන කළ සොයා ගැනීමක තොරතුරුය. එම දුරේක්ෂය කොතරම් ප්‍රබලදැයි කීවොත් සඳ මතුපිට දසුන් ඉතා පැහැදිලිව දැක ගැනීමට හැකි වුණේ යැයි ලිපියේ සඳහන් වී තිබුණි.
42,000 ගුණකයක් විශාල කර බැලිය හැකි කාචයක් දුරේක්ෂකයට සවිකර තිබුණු බවත් එයින් සඳ මතුපිට ජීවත් වන කුඩා කෘමීන් ඉතා පැහැදිලිව දැක ගැනීමට හැකියාව ලැබුණු බවත් ‘ද නිව්ෙයා්ක් සන්’ පුවත්පත අනාවරණය කළේය. පුවත්පතට මේ ලිපිය පළ කළේ හර්ෂල්ගේ සහායක යැයි කියාගත් ලේඛකයෙකි. පුවත්පතේ සඳහන් වූ එම දුරේක්ෂය, හර්ෂල් විසින් අටවනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ යැයි ද පැවැසිණි.
ලිපියේ දෙවැනි කොටස ඊට පසු දිනයේ ප්‍රකාශයට පත් කෙරුණි. එහි සඳහන් වූයේ කෘමීන්ට අමතරව සඳ මතුපිට ජීවත් වන සතුන් ද දුරේක්ෂයේ ආධාරයෙන් දකින්න ලැබුණු බවය. එම සතුන් අතර කුරුල්ලන්, කඟවේනුන් සහ බයිසන් ගවයන් ද සිටි බව සටහන් විය.
තෙවැනි දිනයේ ලිපිය පළ වූයේ තවත් අපූරු තොරතුරු සමඟය. එහි සඳහන් වී තිබුණේ, ඉතා කුඩා ප්‍රමාණයේ සීබ්‍රාවන් සහ සක්‍රීය ගිනි කඳු සඳ මතුපිට තිබෙන බවය. සඳ මතුපිට ජීවත් වූ බීවරයන් දෙපයින් ඇවිද ගිය බවත්, උන් ඉතා සංකීර්ණ සහ ඉතා විශාල ඉදිකිරීම් සඳ මතුපිට ඉදිකර ඇති බවත් සිවුවැනි දිනයේ ලිපියේ පළ විය. එපමණක් නොව, ස්ථාන කිහිපයකින් දුම් නැගෙන අයුරු දකින්න ලැබුණු බවත් එයින් පැහැදිලි වන්නේ සඳ මතුපිට සිටින ජීවීන් ‘ගින්දර’ භාවිතා කරන බව යැයි ද ලිපියේ වැඩි දුරටත් සඳහන් විය.
වර්තමානයේ අපට මේ දේවල් ඇසූ පමණින් සිනහා පහළ වුවත්, 1835 වසරේ එනම්, තාක්ෂණය හෝ විද්‍යාව හෝ එතරම් දියුණු නොවුණු යුගයක, මෙවැනි අපූරු විස්තර මිනිස් සිත් කැළැඹීමට සමත් විය. ඒ නිසා මේ තොරතුරු සැබෑවක් යැයි බොහෝ දෙනා විශ්වාස කළහ.
පස් වැනි දිනයේදී, ‘නිව්ෙයා්ක් සන්’ ඇමෙරිකන් පුවත්පතේ ලිපි මාලාවේ තවත් අපූරු කොටසක් පළ විය. මේ වනවිට පුවත්පත ‘උණු කැවුම්’ මෙන් අළෙවි වෙන්න පටන් ගෙන තිබුණි. එදා ලොව වඩාත් ජනප්‍රිය පුවත්පත වූයේ ‘ලන්ඩන් ටයිම්ස්’ පුවත්පතය. එහෙත් සඳේ ජීවීන් ලිපි පෙළ හේතුවෙන් ‘ද නිව්ෙයා්ක් සන්’ පුවත්පත ‘ලන්ඩන් ටයිම්ස්’ පුවත්පතටත් වඩා ජනප්‍රිය විය. කවුරුත් පුලපුලා බලා සිටියේ ‘සඳේ ජීවීන්’ ලිපි මාලාවේ මීළඟ කොටසින් කුමක් විස්තර කරාවිදැයි කියාය.
ලිපි මාලාවෙන් මීළඟට කියැවුණේ සඳේ ජීවත් වන පියාපත් ඇති මිනිසුන් ගැනය. මොවුන්ගේ පියාපත් වවුලන්ට සමාන බවත් ‘වෙස්පර්ටිලෝ හෝමෝ’ යනුවෙන් මොවුන් විද්‍යාත්මකව හැඳින්වෙන බවත් ලිපි මාලාවේ සඳහන් විය. ‘වෙස්පර්ටිලෝ හෝමෝ’ යන්නෙහි තේරුම ‘වවුල් මිනිසා’ යන්නය. ලිපි මාලාවේ තවත් කොටස් දෙකක් ඉන් පසු පළ විය. ඒවායේ සඳහන් වුණේ වවුල් මිනිසුන් විසින් සඳේ ඉදිකරනු ලැබ ඇති නිල් පැහැ දේවස්ථානයක් ගැනය.
‘ද නිව්ෙයා්ක් සන්’ පුවත්පතට මේ බොරු සැපැයූවේ රිචඞ් ඇඩම් ලොක් නමැති ලේඛකයා ය. ඔහු එසේ කළේ පුවත්පතට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සහ පුවත්පතේ අලෙවිය වැඩි කර ගැනීමටය. එය සාර්ථක විය. රිචඞ් ඇඩම් ලොක්, ශ්‍රීමත් ජෝන් හර්ෂල් සමඟ සම්බන්ධයක් ඇත්තකු හෝ සහාය විද්‍යාඥයකු හෝ නොවිණි. ජෝන් හර්ෂල්ගේ දුරේක්ෂය ඔහු දැක තිබුණේ ද නැත. එම දුරේක්ෂය ගැන ඔහු අසා තිබුණා පමණි.
පසුකාලීනව, පුවත් පතේ පළ වූ ලිපි පෙළ කුඩා පොත් පිංචක් ලෙස රිචඞ් ඇඩම් ලොක් විසින් මුද්‍රණය කළේය. පළමු මාසය ගතවෙද්දී එහි පිටපත් 60,000 ක් අලෙවි විය. තමා පුවත් පතේ පළ කළ වාර්තා බොරු බවත් ඒවා තමා නිර්මාණය කළ දේවල් පමණක් බවත් අන්තිමේදී රිචඞ් ඇඩම් ලොක් ලෝකයට හෙළි කළේය. තමා ගැනත් තමාගේ දුරේක්ෂයත් සම්බන්ධ කරමින් ඇමෙරිකන් ලේඛකයකු බොරු ලොවට කී බව විද්‍යාඥ ජෝන් හර්ෂල් දැනගත්තේ එම අවස්ථාවේදීය.
1940 වසර අවසානයේත් 1950 ආරම්භයේත් පියාඹන පීරිසි දුටු බවට ඇමෙරිකාවෙන් වාර්තා දහස් ගණනක් ඉදිරිපත් කෙරුණි. ඒත්, ඒ වන විට කිසිවෙක් පිටසක්වළ ජීවියකු දැක තිබුණේ නැත. 1953 වසරේ ජූලි 8 වැනිදා ඒ සියල්ල වෙනස් විය. එදා අලුයම, ජෝර්ජියාවේ පිටිසර බඳ මාර්ගයක ට්‍රක් රියකින් ගමන් කරමින් සිටි තරුණයන් තිදෙනකුට අමුතු විධියේ සතුන් වර්ගයක් පාර හරහා දුවනවා දකින්න ලැබුණි. මේ අමුතු විධියේ සතුන් දිව ගියේ රතු පැහැති පීරිසියක හැඩය ගත් වස්තුවක් වෙතට යැයි ද පැවැසිණි. එම සතුන් අතුරින් එකෙක් ට්‍රක්රියේ හැපුණි.
“මොකෙක්දෝ ට්‍රක් රියේ හැපුණා. මා ට්‍රක්රිය නැවැත්තුවා” යැයි එය පැදැවූ එඞ්වඞ් වෝටර්ස් සිද්ධිය විස්තර කරමින් කියා සිටියේය. “රතු පැහැ වස්තුව නිල් පාටට හැරුණා. ඊට පස්සේ එක පාරටම හරිම වේගයෙන් අහසට නැගිලා නොපෙනී ගියා.” යැයි වෝටර්ස් වැඩි දුරටත් කියා සිටියේය. ඔහුත් ඔහුගේ යාළුවෝ දෙන්නාත් පුදුමයෙන් මෙන් වාහනෙන් එළියට බැස්සාහ. ඔවුන්ට දකින්න ලැබුණේ ට්‍රක් රියේ හැපී මියගොස් සිටි අරුම පුදුම සත්වයෙකි.
සතාගේ සිරුරේ ලොම් නොතිබුණි. මීට කලින් එවැනි සත්වයකු දැක තිබුණේ ද නැත. වෝටර්ස් ඇතුළු පිරිස, මේ ගැන ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්හ. පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් එම ස්ථානයට පැමිණ සිදුවුණේ කුමක්දැයි සොයා බලන්න වූහ. ඒ සමඟ මාධ්‍යවේදීහු කණ්ඩායමක් ද පැමිණ සිටියහ.
අසාමාන්‍ය සත්වයාගේ සිරුර ආධුනික පශු වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට ලක් කෙරුණි. ‘මෙයා මේ ලෝකයේ සත්වයෙක් නොවේ’ යැයි පශු වෛද්‍යවරයා කීවේ මහත් පුදුමයෙනි. ඒ අනුව පිටසක්වළ ජීවියකු හමුවූවා යැයි පුවත රට පුරා ප්‍රසිද්ධ විය. මාධ්‍යවේදීහු එය ප්‍රසිද්ධ කිරීමේ මෙහෙවරට උර දුන්හ. ඇමෙරිකා ගුවන් හමුදාව ද මේ ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර හැරීය.
දින කිහිපයක් යද්දී සියල්ල පැහැදිලි විය. ඒ, අසල්වැසි ඇට්ලන්ටා ජනපදයේ එම්රෝයි විශ්ව විද්‍යාලයේ කායික විද්‍යා මහාචාර්ය මේරියන් හින්ස් පැමිණ සිරුර පරීක්ෂා කිරීමෙන් පසුවය. පිටසක්වළයකු යැයි සිතූ එම ජීවියා රෝම ඉවත් කළ වලිගය කපා දැමූ වඳුරකු බව තහවුරු විය. “අඟහරු ලෝකයේ වඳුරෝ නැහැ. ඒ නිසා මේ සත්වයා අඟහරු ලෝකයෙන් ආවා වෙන්න බැහැ” යැයි සත්වයා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මේරියන් හින්ස් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ සිනහා මුසු මුහුණිනි.
සුරතල් සතුන් විකුණන අලෙවිසැලකින් මියගිය වඳුරකු සොයා ගෙන, උගේ රෝම ඉවත් කර ක්ලෝරෆෝම්වල බහා තබා පිටසක්වළයෙක් යැයි ලොවට පෙන්වීමට උත්සහ කළේ යැයි වෝටර්ස්ට චෝදනා එල්ල විය. දඩ කන්නත් සිදුවිය. එම සිදුවීමෙන් පසු, වෝටර්ස් බොහෝ දෙනාගේ උසුළු විසුළුවලට ද ලක් වූයේය. පසුකාලීනව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා තිබුණේ ප්‍රසිද්ධිය බලාගෙන කළ ඔහුගේ විහිළුව දුර දිග ගිය බවය.
2009 වසරේ ඔක්තෝබර් මස නිහඬ ඉරිදා දිනයක, බෝල්ටික් රාජ්‍යයක් වන උතුරු ලැට්වියාවේ චිත්‍රපටයක් රූගත කරමින් සිටිය සරසවි සිසුන් තිදෙනකුට අහසේ මහා ගිගිරුම් හඬක් අසන්න ලැබුණි. “අප දැක්කා අහසේ ගමන් කළ ගිනි ගෙන දැවෙන වස්තුවක්. ඒක ගිනි බෝලයක්. ඒක ගමන් කළේ හරිම වේගයෙන්.” යැයි ඇන්සිස් ස්ටෙයින්බර්ග් ‘ලන්ඩන් ටයිම්ස්’ පුවත්පතට විස්තර කීවේය. ඔහු එතැන සිටි සරසවි සිසුන් තිදෙනාගෙන් කෙනෙකි.
කැමරාවක් අතැතිව සිටි නිසා සිසුහු තිදෙනා, ගිනි බෝලය කඩා වැටුණු තැනට ගොස් එතැන රූ ගත කළහ. පසුව ඔවුහු එම දසුන් අන්තර් ජාලයේ ‘යූ ටියුබ්’ වීඩියෝ ක්ලිප් එකක් ලෙස ප්‍රසිද්ධියට පත් කළහ. ගිනිබෝලය පොළොවේ ගැටිමෙන් හෑරුණු ලොකු ආවාටයක් සහ ගිනි බෝලය වීඩියෝ දසුන්පෙළට ඇතුළත් විය. ලැට්වියාවට කඩා පාත් වුණු ප්‍රථම උල්කාපාතය මෙය යැයි පැවැසිණි. එය පොළොවට කඩා වැටෙනු දැක ගැනීමට සරසවි සිසුන් තිදෙනා එතැන සිටීම වාසනාවක් යැයි මාධ්‍ය වාර්තා කරන්න විය. ඔවුන් උල්කාපාතය ගැන ගිනි නිවන දෙපාර්තමේන්තුවට දැනුම් දුන් හෙයින් ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට බොහෝ දෙනෙක් පැමිණියහ.
ඊට පසුදා උදෑසන ලැට්වියා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ ආචාර්ය ඉල්ගෝනිස් විල්ක්ස්, රිගා අගනුවර සිට සැතැපුම් දහස් ගණනක් දුර ගෙවා, උල්කාපාතය බැලීමට පැමිණියේය. “මා උල්කාපාතය බලන්න යද්දී, නොයෙක් නොයෙක් මාධ්‍යවේදීන්ගෙන් ඇමැතුම් ලැබුණා සියයකට වැඩිය. දෙස් විදෙස් මාධ්‍යවේදීන් උල්කාපාතය ගැන මගෙන් ප්‍රශ්න කළා.” යැයි ආචාර්ය විල්ක්ස් කියා සිටී. කෙසේ නමුත් උල්කාව වැටුණු තැනට පැමිණීමෙන් පසු, විල්ක්ස්ට ඒ ගැන සැකයක් මතුවිය.
උල්කාව වැටුණු තැන නිර්මාණය වූ ආවාටය වටේ පස් හෝ දූවිලි හෝ විසිරී තිබුණේ නැත. ආවාටය ඇතුළෙත් ඇතැම් තැන්වල තණ කොළ තවමත් වැවී තිබෙනු දකින්න ලැබුණි. අධික තාපයකින් යුත් උල්කාපාතයක් පොළවේ ගැටෙද්දී අවට තියෙන සියල්ල විනාශ වී යයි. “මා එතැන හොඳින් පරීක්ෂා කර බැලුවා. පැහැදිලි වුණා. ඒක ලොකු බොරුවක් බව. ඒක බොරු යැයි කියන්න මා සූදානම් වෙද්දී, එතැනට ඇවිල්ලා සිටි අනෙක් විද්‍යාඥයන්ට ආවාටයේ තිබී හමුවුණා ඇලුමිනියම් කුඩු වර්ගයක්. ඒවා ගිනිකෙළිවලදී භාවිතා කරන ආකාරයේ ඇලුමිනියම් කුඩු. ඒ වගේමයි ආවාටයේ තිබුණා ෂවල් සලකුණු. කවුරු හරි ආවාටය ෂවලකින් හාරා තිබෙන බවක් මට පෙනුණා.” ආචාර්ය විල්ක්ස් පැහැදිලි කළේය.
පසුදා සවස් වෙද්දී, ලැට්වියාවේ පිහිටි ස්වීඩන මොබයිල් සමාගමක් වන ‘ටෙල් 2’ කියා සිටියේ, උල්කාපාතය ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබූ බොරුවක් කියාය. එසේ කළේ ඔවුන්ගේ ජංගම දුරකතන ප්‍රසිද්ධ කිරීමේ වෙළෙඳ ප්‍රචාරක වැඩසටහනක් වශයෙන් යැයි ද ඔවුහු පසුව කියා සිටියහ. බොරුව නිසා ඔවුන්ට වෙළෙඳ වාසි ලැබුණේ නැත. මොබයිල් සමාගමට දඬ ගෙවන්නත් සිදුවිය. බොරු උල්කාපාතයක් මවමින් රජයේ නිලධාරීන් මුලා කළේ යැයි චෝදනා ලැබූ ‘ටෙල් 2’ සමාගමට ගෙවීමට සිදුවුණු දඬ මුදල යූරෝ 20,000 (ඇමෙරිකන් ඩොලර් 25,000) කි.
ලුසිත ජයමාන්න
ඩිස්කවරි චැනල් ඇසුරිනි