පානදුරාවාදයෙන් පිබිදුණු පානදුරය


ගමක කතාව
 
 
​කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා ඕනෑම අයෙකුට හමුවන අසිරිමත් පාණදුරය කාගෙත් නෙත් සිත් ඇද බැඳගත් දර්ශනීය නගරයකි.   
 
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් පාණදුරය දිගු ඉතිහාසයකට උරුමකම් කියන සුන්දර නගරයකි. පාණදුර නදියත් බොල්ගොඩ ඔයත් කළු ගඟේ මායිමත් කල්පිටිය ඇළත් ආදී ජල පෝෂක ප්‍රදේශ රාශියකින් වටවී ඇති පාණදුර පුරවරය සොබා සෞන්දර්යයෙන් අනූන භූමි ප්‍රදේශයකි. 
  
විදේශීය ආක්‍රමණ තුනකට මුහුණ දුන් මුහුදුබඩ ජනතාව බුදු දහම තුළින් ඈත් වූයේ රාජ්‍ය බලය හමුවේ ඔවුන් අසරණ වූ නිසාය. එහෙත් බොදු දනන්ගේ හඬ රාව ප්‍රතිරාව දුන් ඓතිහාසික පාණදුරාවාදය ආරම්භ වූ භූමිය පාණදුරයයි. බොදු පුනරුදයේ ඇරඹුම සලකුණු කළේ මේ භූමියෙන් බව පාණදුරයෙන් ගමන් ගන්නා ඕනෑම අයෙකුට පෙනෙන දසුනකි. පාණදුරේ ඓතිහාසික බව කීමට ඉතිරිවී ඇත්තේ ඒ සුවිශේෂී වාදය පැවැත් වූ භූමි භාගයත් වාදිහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ප්‍රතිමාවත්ය. ඒ තුළින් පාණදුරයට ගෙන එන්නේ මහත් අභිමානයකි.
 
වර්තමානයේ බොදු කිතුනු මුස්ලිම් හා හින්දු බැතිමතුන් පාණදුර නගරයේ සහජීවනයෙන් ජීවත්වුවත් ඒ ඓතිහාසික උරුමය පාණදුරයට සද‌ා නොමැකෙන සිහිවටනයකි.   
 
පාණදුරාවාදයේ ඉංග්‍රීසි පිටපතක් කියැවූ ඇමරිකානු ජාතික හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා බුදු දහම ගැන පැහැදී ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ කොළඹ ආනන්ද නාලන්ද මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද ආදී කොටගත් බෞද්ධ විදුහල් අැරඹීමට ද‌ායක වූ ඓතිහාසික භූමිය මේ පාණදුර පුරවරයයි.   
 
පාණදුර යන ග්‍රාමනාමය සැදී ඇත්තේ කෙසේදැයි සොයා බැලීමේදී පාණදුර හෙවත් ගලදුර යන අරුතින් පාණදුරේ යන නාමය ව්‍යවහාරයට පත්ව ඇති බව පාණදුරේ ජීවත්වෙන පැරැන්නෝ පවසති. තවදුරටත් ඒ ගැන තොරතුරු විමසීමේදී මුහුදු කෑම හේතුවෙන් ‘‘ගෝණගල’ නමැති විශාල ගල්පර්වතය ගොඩබිමෙන් ඈත්වීම නිසා මේ අදහස ඇති වූ බව ජනප්‍රවාදයේ පවතියි. ඒ අදහස පහත දැක්වෙන පද්‍ය පංතියෙන් තවදුරටත් තහවුරු වේ. 
 
පේනයුරා ගොඩ මඩ තිබු ගලගෝණ  
ආදි සුරා කළ වරදින් වූ දොසින  
මූද ගලා උත්පාතික වූ සදින
පාණදුරා නම ඇතිවිය සිට එතැන 
 
මේ පද්‍යයෙහි ඇතුළත් කාලවකවානු වශයෙන් ගත් කළ නොගැළපුණත් එක කරුණක් පැහැදිලියි එනම් ගෝණගල නමින් කන්දක් පැවැති බවත් එය කෙමෙන් වෙරළෙන් අෑත් වූ බවත්ය.   
 
පාෂාණ යන වචනය ඔස්සේ පාණදුරේ යන්න සෑදී ඇත්තේ මේ ගෝණගල පදනම් කරගෙන බවත් බොහෝදෙනා විශ්වාස කරති.   
පාණදුරේ පුරාණය සොයා යෑමේදී හමු වූ පාණදුර රන්කොත් විහාරාධිපති මහාචාර්ය කහපොළ සුගතරතන නාහිමියන් පාණදුරය ගැන පැවසුවේ මේ අයුරිනි.   
 
පාණදුරේ යනු සාරවත් පොල් රුප්පාවන්ගෙන් සෙවණ ලැබූ නගරයක්. කෝට්ටේ යුගයේ ප්‍රසිද්ධ තොටුපොළක් පාණදුරේ තිබිලා තියෙනවා. ඒ බව අපේ සංදේශ සාහිත්‍යයෙන් වඩාත් පැහැදිලි වෙනවා. එය තවදුරටත් පැහැදිලි කිරිමේදී තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් රචිත ගිරා සංදේශයේ මේ අයුරින් පාණදුරය ගැන මෙසේ සඳහන් වෙනවා.   
 
නිලඹරේ වැජඹෙන ගනකුළු ලෙසට
මූදුකරේ යන එන නැව් පෙනෙය තට
පැරතෙරේ පිස දුක් නොසිතා ගතට
පාණදුරේ තොටිනේ තරව යව එපිට
 
 මෙහි ඇති ‘මුදුකරේ යන එන නැව් පෙනෙයතට’ යන ප්‍රකාශයෙන් පාණදුරේ නැව් තොටුපළක් තිබූ බවට සාධක ඇත.   
 
පාණදුරේ ‘පන්චුරා’ යනුවෙන් හැදින්වූ බවත් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ප්‍රකාශ කරලා තියෙනවා. එය පෘතුගීසි ව්‍යවහාරයක් බවද සඳහන්කරලා තිබෙනවා. තවද පෘතුගිසීන් හා ඉංග්‍රීසින් ලංකාවේ සමහර ග්‍රාම නාම වෙනස් විදිහට උච්චාරණය කළ බවත් ප්‍රකට කරුණක් ඕල්කට්තුමා පාණදුරය හඳුන්වලා තියෙන්නේ විජය භූමියක් විදිහට තමයි. එයට හේතුව පාණදුරා භූමියේදී මහා වාදයෙන් බෞද්ධයන් ජයගැනීමයි. පාණදුරේ සුන්දරත්වය ගැන ඕල්කට්තුමා ඉතාම විචිත්‍රවත් විදිහට තමයි දැකලා තියෙන්නේ.   
 
සෝබමාන ලංකා ගිම්හාන සාගරයේ මැණික ඔබගේ දුඹුරුවන් දරුවන් මැද්දේ මා ලද අත්දැකීම් පිළිබද කථාව ලියාගෙන යනවිට ඔබගේ මනස් කාන්තා රූපය මාගේ මනසේ පහළ වන්නේ කෙතරම් දර්ශනීයාකාරයෙන්ද ඔවුන් සතු අසහාය ආගමට ගරු සම්මාන දක්වන්නට මා ඔවුන්ගේ හදවත් උද්​ෙ‌යා්ගීමත් කළ ආකාරය පිළිබඳ කථාවක් ලියන්නෙමි මා ඔබගේ දිවයිනට ගෙන එන ලද්දේ කුසල කර්මයකිනි.’’   
 
John de Schaps පාණදුරේ සුන්දරත්වය වර්ණනා කළ තවත් විදේශිකයෙකි. ඔහුගේ The Book of Ceylon නමැති ග්‍රන්ථයේ මෙහේම සඳහන් කරලා තිබෙනවා.   
 
‘පාණදුරේ යනු මොරටුවේ ගති ලක්ෂණ බොහෝමයක් කැටි කරගත් නගර වැසියන් 2000 ක් පමණ වාසය කරන නගරයක් එහි ඇති පෘථුල ගං මෝයවල තැනින් තැන පිහිටා ඇති කුඩා දූපත් බැලූ බැල්මට පෙනෙන්නා වූ භූමි ප්‍රදේශයට සුවිශේෂ වූ චමත්කාරයක් එකතුකොට ​ඇත. ඒ දූපත් ජලචර පක්ෂින් රාශියකට විවේක ස්ථානය වී ඇති අතර ඉතා උත්කෘෂ්ටවත් වෘක්ෂලතා ආදීන්ගෙන්ද වැඩී පවතියි. ගමන් කරන මගින් දුම්රිය පොළ අසලින් ඇති ගං මෝය හරහා වැටී ඇති පාලමේ සිට පිටතින් පෙනෙන සුන්දර දසුන දෙස බැලිය යුතුමය. මෙහිදී නිරතුරුවම අපූරු දර්ශන දැකබලා ගත හැක. නගරයේ හදවත වැනි ස්ථානයක දුම්රිය පොළ පිහිටා ඇති අතර එය විසින් සාමාන්‍ය ප්‍රමාණයේ විවේකාගාරද සපයනු ලබයි. දුම්රිය නැවතුම් පොළ අසලින් හෝටලයක් ඇති අතර එය විසින් සාමාන්‍ය ප්‍රමාණයේ විවේකාගාරද සපයනු ලබයි. දුම්රිය නැවතුම් පොළ අසලින් හෝටලයක් ඇති අතර එය ‘ස්ටේෂන් විව් හොටෙල්’’ නමින් හඳුන්වනු ලබන අතර සැතපුම් භාගයක් දුරින් තානායමක්ද පිහිටා ඇත. ඉතාම සීමිත මිලකට අශ්ව කරත්ත හෝ තිරික්කල පහසුකම් දුම්රිය නැවතුම අසලදී ලබා ගැනීමට පුළුවන්.   
 
මේ පළාතේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන වන්නේ පොල්, අරක්කු, කජු, කෙසෙල්, කුරුඳු, තේ, රබර්, වී, බුලත් සහ ගම්මිරිස්ය. විශාල වශයෙන් අරක්කු නිෂ්පාදනය කරයි. එය මසකට ටොන් 80 ක් පමණ වන අතර විනාකිරි ටොන් 25 ක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. විදේශිකයකු අතින් ලියවුණු The Book of Ceylon නැමැති පොතේ පාණදුරය ගැන මේ විදිහට තමයි තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ.   
 
ලංකා ඉතිහාසයේ පාණදුරේ ගැන තොරතුරු සෙවීමේදී පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රසිද්ධ සේනාධිපතියකු වූ අලකේශ්වරට ඉන්දියානු ආක්‍රමණිකයන් පාණදුරේදී මුණගැසී පරාජය කළ බව සඳහන් වෙනවා.   
 
පොළොන්නරු යුගයේදී සොළී ආක්‍රමණ නිසා ලංකාවේ විනාශකාරී තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. කළුතර ප්‍රදේශය පාලනය කළ විකුම් පඬි රජුද සොළීන් අතින් මරණයට පත්වෙලා තිබෙනවා. රජවීමට පෙර එතුමා වාසය කරලා තියෙන්නේ පාණදුර ප්‍රදේශයේ තමයි. සිය පියාගේ මරණය ගැන බලවත් සංවේගයට පත් රවිදේව කුමාරයා බළසෙනගත් ගෙන මානවම්ම රජ පරපුරෙන් පැවත එන කීර්ති කුමාරයා සමඟ එකතු වෙලා තිබෙනවා.   
 
පුළුටුපාන නම් දුර්ගයේ පැවැති තීරණාත්මක සටනකදී සොළීන් සමූල ඝාතනය කරලා තිබෙනවා. පො​ෙළාන්නරුව නිදහස් කර ගැනීමෙන් පස්සේ රවිදේව කුමාරයා ජීවිතයේ සැඳෑසමය ගත කරලා තියෙන්නේ පාණදුරේ තමයි පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා 1175 දී පාණදුරය නගරයක් බවට පත් කරලා තිබෙනවා. 1225 දී දෙවැනි පරාක්‍රම බාහු රජතුමා පාණදුරේ උයනක් ඇතිකරලා තිබෙනවා වර්තමානයේ ඒ ප්‍රදේශය ‘උයන් කැලේ’ නමින් හඳුන්වනවා” යැයි මහාචාර්ය කහපොළ සුගතරතන නාහිමියෝ අවසන් වශයෙන් පැවසූහ. පාණදුර පුරාණය සොයා යෑමේදී හමුවූ පාණදුර හිටපු නගරාධිපති ජයන්ත කඳන මහතා පාණදුරේ ගැන අදහස් දැක්වූයේ මේ අයුරිණි.   
 
“ඈත අතීතයේ නැව්. හම්බාන් වල්ලම් පාරු ආදී ජල යාත්‍රා නැංගුරම්ලා තිබූ වෙ​ෙළඳ‌ාමට ප්‍රසිද්ධ නැව් තොටුපළක් තිබූ බව තමයි පාණදුරය ගැන මං අහලා තියෙන්නේ. දෙවැනි පැරකුම්බා රජ දවස දේවප්‍රතිරාජ නම් ඇමැතිවරයා පාණදුරය දියුණු කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතාම සාරවත් පොල් උයනක් ද ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ පොල් උයනට අද උයන්කැලේ කියලා වහරනවා. පාණදුරේ දේවාලයක්ද ඒ කාලේ තිබිලා තියෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ලියූ පරෙවි සංදේශයේ පරෙවියාට නවාතැන් ගන්න යැයි පවසා ඇත්තේ මේ සුදර්ශණ දේවාලයේ තමයි අද මේ දේවාලය මහවිල මිරිස්වත්ත පාරේ නටබුන් අතරට එකතුවෙලා තිබෙනවා එදා පාණදුරේ විසූ බොහෝදෙනා බෞද්ධ සාහිත්‍යයේ උගන්වන මහා සිටුවරු වගේ ජීවත් වූ අය තමයි. ඔවුන් විශාල වශයෙන් ධනය පරිත්‍යාග කරලා සමාජ සේවා කටයුතුවල නිරතවෙලා තිබෙනවා. පාණදුරෙන් බිහි වූ ධානපතියන් අරක්කු රේන්ද කර්මාන්තයේ යෙදිලා ධනය හම්බකරලා තියෙන්නේ. පසු කාලීනව ඒ කර්මාන්තයෙන් අත්මිදී දැහැමි කර්මාන්තවලත් ඒ අය යෙදිලා තිබෙනවා. ඒ ද‌ානපතියන් ජාතික හැඟීමෙන් ඔද වැඩුණු බුදු දහම රැකගැනීම වෙනුවෙන් ක්‍රියාකළ උදවිය තමයි. එහිදී ඓතිහාසික පාණදුරාවාදය ඔවුන්ගේ ජීවිතවලට ජීවය කැවූ බෞද්ධාගමික ප්‍ර​ෙබා්ධයේ ආරම්භය වශයෙන් කියන්න පුළුවන්. ඒ අනුව පාණදුරේ ඉපදීම ගැනත් ඔවුන් තුළ තිබුණේ දැඩි ආඩම්බරයක් මේ බොහෝ දෙනා වෙ​ෙළඳ‌ාමේ ඉහළම ඉනිපෙත්තට නැග්ගත් සිය ආගම ධර්මය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට වග බලාගත් පාණදුරේ පුත්‍රයෝ වුණා. පාණදුරේට පමණක් නොවි විවිධ ප්‍රදේශවලට මේ ද‌ානපතියන් උදව් උපකාර කරලා තිබෙනවා. පාණදුරේ විසූ පී. ජෙරමියස් දියෙස් හා දියෙස් මැතිනිය. ඒ වගේම ‘‘කොස්මාමා’’ යනුවෙන් හැඳින් වූ ආතර් වී. දියෙස් මැතිතුමා සිය ධනය නිර්ලෝභීව වෙහෙර විහාර තැනීමට පමණක් නොව පොදු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්ද වැය කරලා තිබෙනවා.   
ඓතිහාසික පාණදුරා වාදයේදී විශාල සෙනඟක් මේ ප්‍රසිද්ධ වාදය නැරඹීමට ඇවිල්ලා තියෙනවා. ඒ පිරිස පාණදුර වැල්ල දක්වා පැදුරු එළාගෙන මේ වාදය අහගෙන ඉඳලා තියෙනවා. මේ වාදය අසන්න බලන්න දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි සියලු ජනයාට දන් පැන් දී සංග්‍රහ කරලා තියෙන්නේ චාලි දියෙස් කියන ආතර් වී. දියෙස්ගේ (කොස්මාමාගේ) සොහොයුරා තමයි. පාණදුරේ විසු තවත් දීප්තිමත් වෙළෙඳ ව්‍යාපාරික පවුලක් තමයි සල්ගාදු පවුල කියලා කියන්නේ. එම්.එම්.සල්ගාදු සමාගම බේකරි කර්මාන්තයේ ඉහළ නමක් දරාගෙන හිටපු අය තමයි. පාණදුර තේ සහ රබර් කොම්පැනිය ඔවුන් සතු සමාගමක්.   
 
Panadura Tea and Ruber Company) තමයි. වෝල්ටර් සල්ගාදු කියන මහත්තයාට ඒ කාලේ කිවුවේ. ‘සත්ගුණවත් සල්ගාදු’ කියලා ඒ තරමට ඒ මහතා ජනතාවට ප්‍රියමනාප චරිතයක් වුණා. ඒකාලේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ශ්‍රීමත් සුසන්තාද ​ෙෆාන්සේකා මහතාද පාණදුරට අමරණීය සේවයක් කළ චරිතයක් කළු ගඟේ ජලකදෙන් යට වූ පාණදුරයට විශාල වේල්ලක් බැඳලා ‘පින්තුවත්ත වේල්ල’’ නමින් ගංවතුර තර්ජනයෙන් පාණදුරේ බේරගෙන තියෙන්නේ ඒ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ කාලේ තමයි. මේ රටේ වාමාංශික ව්‍යාපාරයට සේවය කළ අය අතර ප්‍රමුඛතම අය හිටියේ පාණදුරේ තමයි. ශ්‍රී ලංකාවේ රබර් රජ්ජුරුවෝ නමින් හැඳින් වූ විල්මට් ඒ පෙරේරා පාණදුරෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නයක්. සිය ධනය හා ඉඩකඩම් පරිත්‍යාග කරමින් ඉදිකළ හොරණ ශ්‍රීපාලි විදුහලේ නිර්මාතෘවරයා වන්නේ ඒ මහතා තමයි. ඒ අය ජනතාවට සේවය කළා මිස ජනතාවගෙන් ලබාගත්තේ ජනාදරය පමණයි.   
 
විල්මට්.ඒ.පෙරේරා කියන්නේ තමන් ජීවත් වූ නිවෙස පවා පාණදුරේ ශ්‍රී සුමංගල බාලිකාව වෙනුවෙන් පරිත්‍යාග කළ සත් පුරුෂයෙක්. ඒ මහතා සිදු කළ නිර්ලෝභී ජනතා මෙහෙවර වචනයෙන් විස්තර කරන්න බැහැ. ශ්‍රීපාලිය විවෘත කිරීමට ඉන්දියානු මහකවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමා පැමිණි වෙලාවේ පාණදුර නගර සභාවටත් තාගෝර්තුමා ඇවිල්ලා තිබෙනවා. එතුමා ලුම්බිණියෙන් ගෙනා සල් පැළයක් ඒ වෙලාවේ නගර සභා භූමියේ රෝපණය කරලා තිබෙනවා. මම නගරාධිපති කාලේ ඒ සල් ගස රැකගැනීමට කටයුතු කළත් පසුව ඒ ගස විනාශ වී යෑම කනගාටුවට කරුණක්.   
 
රබර් රජ්ජුරුවෝ නමින් හැඳින් වූ විල්මට් පෙරේරා මහතාගේ නැගණිය විවාහ වුණේ සත්ගුණවත් වෝල්ටර් සල්ගාදු මහත්තයා සමගයි. ඒ දෙපළට බිහි වූ දියණිය විවාහ වූයේ පාණදුරේ විසූ මුඩ්ලියර් පීරිස් මහතාගේ පුතා සමගයි. මේ පීරිස් යුවළගේ එකම පුතා තමයි මහාචාර්ය ගාමිණී ලක්ෂමන් පීරිස් හෙවත් ජී.එල්. පීරිස් කියලා කියන්නේ ඔහු නීති ක්​ෙෂ්ත්‍රයේ විද්වතකු වගේම හිටපු මුදල් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා අධිකරණ ඇමැතිවරයා වශයෙන්ද ක්‍රියාකළා.   
 
බස් කොම්පැනි කාලේ පාණදුරේ ලියෝ ප්‍රනාන්දු මහත්තයා ඉහළින්ම හිටපු බස්රථ හිමිකරුවෙක්. පාණදුර මෝටර් ට්‍රාන්ස්පෝර්ට් නමින් හැඳින් වූ ඒ බස් රථ සමාගම (P.M.T.S) පාණදුරේ සිට බදුල්ල දක්වා බස් දිව්වා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත් ඒ බස් දිව්වා. පාණදුරේ හිටපු සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම සමාජ සේවයට ළැදි කෙනෙක්.   
 
1935 පාණදුර නගරාධිපති ධුරයත් හෙබ වූ ඒ මහතා 1947 දී බුත්තල අසුන එජාපයෙන් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත්වෙලා තිබෙනවා. 1952 වසරේදීත් බුත්තල අසුන ජයගැනීමට ලියෝ ප්‍රනාන්දු මහතාට හැකි වෙලා තිබෙනවා. සිය දියණිය වූ මල්ලිකා ප්‍රනාන්දු මෙනෙවියගේ විවාහයට දෑවැද්ද වශයෙන් දී ඇත්තේ මතුගම රමණීය කඳු වළල්ලකින් පිරි ‘‘ගී කියන කන්ද’’ නම් සුන්දර වතුයායයි ඇයගේ අතගත් පුරුෂයා වූයේ මේ රටේ වසර 11ක් පිටපිටම අයවැය ලේඛනය ඉදිරිපත් කළ හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතායි.   
 
පාණදුරේ ප්‍රථම නගරාධිපතිවරයා වූයේ දොස්තර, ඒ.එස්. ගුණවර්ධන මැතිඳුන් තමයි. ඔහු මෙරට වාමාංශික ව්‍යාපාරය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ සටනේ පෙරමුණගෙන ක්‍රියාකොට සිරදුක් විඳි ලෙස්ලි ගුණවර්ධන මහතාගේ පියා තමයි.
   
ඇත්තෙන්ම පාණදුර ආසනය කියන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ රතු බළකොටුවක් තමයි.   
 
ලෙස්ලි ගුණවර්ධන මහත්තයා පිට පිට පස්වතාවක්ම පාණදුර ආසනයේ ලංකා සම සමාජ පක්‍ෂයේ මන්ත්‍රීවරයාවෙලා තියෙනවා. සම සමාජ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ හෙන්රි පීරිස් මහතාද පාණදුර ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කරලා තිබෙනවා. මේ රතු බළකොටුව 1977 දක්වා ලෙස්ලි ගුණවර්ධන මහතා රැක ගැනීමට ක්‍රියා කළා. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රවාහන අැමැතිවරයා වශයෙන්ද ලෙස්ලි ගුණවර්ධන මහතා ක්‍රියා කළා. 
 
1977 දී මේ රතු බළකොටුව බිඳ වැටී එක්සත් ජාතික පක්‍ෂයෙන් දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත් වෙනවා. එජාප ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් එජාපයෙන් අයින්වෙන නෙවිල් ප්‍රනාන්දු මහත්තයා නැවත මහජන ඡන්දයෙන් ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට යනවා. රබර් කර්මාන්තයෙන් මහා ද‌ානපතියකු වූ පී.සී.එම්. දියෙස් මහතා ගොඩනැඟූ කාමර 99කින් සමන්විත සුවිසල් මැදුර ‘‘කේතුමතිය’’ අද පාණදුරේ තිබෙන කාන්තා රෝහල බවට පත්වෙලා තිබෙනවා. එය ‘‘කේතුමතිය’’ තැනූ දියෙස් මැතිඳුන්ට ජාති ජාතිත් පින් ලැබෙන කුසලකර්මයක් තමයි.   
 
ඇම්. සීමන් චන්ද්‍රසේකර මුදලිතුමාද පාණදුරේ ජීවත් වූ නිර්ලෝභී ද‌ානපති ලැයිස්තුවේ ඉන්න කෙනෙක් තමයි. පාණදුර මොරටුව දිගරොල්ල පාලම මුලින්ම ලී වලින් හදලා තියෙන්නේ චන්ද්‍රසේකර මුදලිතුමා තමයි. මුලින්ම විදුලි ජනක යන්ත්‍රයක් ගමට ගෙනත් තියෙන්නේත් මේ මුදලිතුමා ඒ ඔහුගේ දියණියගේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන් මුලින්ම පාණදුරේට රැලේ කියන බයිසිකලයක් මිලදී අරන් තියෙන්නේ සී.වී. ඩයස් කියලා කෙනෙක් ඒ කාලේ රැලේ බයිසිකලයක මිල රුපියල් 5ක් වෙලා තියෙනවා.   
 
පාණදුරේ ධර්ම ශාස්ත්‍රීය දියුණුව ගැන කථා කිරීමේදී පාණදුර රන්කොත් විහාරය මතක් කළ යුතුයි. අපි දන්න කාලේ රන්කොත් විහාරයේ අධිපති ධූරයට පත් වූයේ මහාචාර්ය හිමිවරු දෙනමක්. ඒ මොරටුවේ ශාසන රතන අනු නාහිමි හා වර්තමාන විහාරාධිපති කහපොළ සුගතරතන නා හිමිපාණන් වහන්සේ යන දෙනමයි.   
 
පාණදුරේ ධර්ම ශාස්ත්‍රීය දියුණුවට සුවිශේෂ මෙහෙවරක් පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙනින් සිදුවෙලා තිබෙනවා. අපවත් වී වද‌ාළ රාජකීය පණ්ඩිත පින්වත්තේ දේවානන්ද නාහිමියන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි. වර්තමාන විහාරාධිපති තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමියන් ද ඒ සත්කාර්ය මැනැවින් ඉටු කරන හාමුදුරුවන් වහන්සේ නමක්. පාණදුරෙන් බිහිවූ වියතුන් ගැන කථා කිරීමේදී පාණදුරේ මාලමුල්ලේ උපත ලද මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මහතා අමතක නොකළ යුතු විශිෂ්ට ගණයේ පඬිවරයෙක්. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයකු මෙන්ම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරක යෙදුණ වියතෙක්. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය සකස් කළේ මේ මහතා තමයි. 
 
කලෙක සුසන්තාද ​ෙෆාන්සේකා මහතාද ජපානයේ තානාපති ධූරයෙන් පිදුම් ලැබූ කෙනෙකි. ඊළඟට හෙළ බසට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ භාෂා ප්‍රේමියකු වූ කුමාරතුංග මුනිද‌ාස සූරින්ද ජීවත් වූයේ පාණදුරේ ගොරකාන නැමැති ගමේ තමයි. තවත් භාෂා ​ප්‍රේමියකු වූ අලව් ඉසි සැබිහෙළ මැතිඳුන්ද ජීවත් වූයේ පාණදුරේ වෑකඩයි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සේම මහාචාර්ය නලින්ද සිල්වා මහතාද පාණදුර පුත්‍රයෝ වශයෙන් හඳුන්වන්න පුළුවන්.   
 
පාණදුරෙන් බිහි වූ කලාකරුවන් අතර ඒ කාලේ ප්‍රකට නිළියක් වූ ජීවරාණි කුරුකුලසූරිය, ‘‘එන්න මද නලේ’’ ගීතය ගැයූ තිලකසිරි ප්‍රනාන්දු, සිනමා නිළි සංගීතා වීරරත්න, සංගීතාගේ පියා වූ චිත්‍රපට අධ්‍යක්‍ෂ තිමති වීරරත්න, මූර්ති ශිල්පී හෙන්රි ධර්මසේන, සිළුමිණ පුවත් පතේ හිටපු කර්තෘ බන්දුල ශ්‍රී ශරත්චන්ද්‍ර, චිත්‍රශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර ආදී කලාකරුවන් රැසක් පාණදුරයට අයිති ගම් වලින් බිහිවෙලා තිබෙනවා විශේෂයෙන් පාණදුර පින්වත්තේ ඉපදී මහනුවර වැනි ප්‍රදේශයකට ගොස් වෙළෙඳ ව්‍යාපාරික ලෝකය ජයගත් ඉන්ද්‍රා ට්‍රේඩස් අධිපති වයි.එස්. ඉන්ද්‍රා කුමාර සිල්වා මහතා ද මතක් කළ යුතුව තිබෙනවා. ඔහුගේ සොයුරු හිටපු නගරාධිපති නැසීගිය වයි.එස්. ඕබට් සිල්වාද මගේ මිතුරෙක්.   
 
අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ පාණදුරේ වැනි බොදු පුරවරයක ඉපදීලා ඒ පුරයේම පුරපතිවරයා වශයෙන් මිනිසුන්ට සේවය කරලා අදත් පුළුවන් ආකාරයට පාණදුරේ ජනතාවටම සේවය කිරීම තමයි මගේ බලාපොරොත්තුව” යැයි ජයන්ත කදන මහතා ප්‍රකාශ කළේය.   
 
 
 
 
 
 
 
 
සටහන හා ඡායාරූප 
මහින්ද ආරියවංශ