නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු


හෙළ දෙරණ

ඉතිහාසයේ පිටු අතරින්   
සැඟවුණු අපූරු සිදුවීම් පෙළක්  

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී කතා පොකුර හද පපුවේ දබර කරමින් මතුවේ. හිත කොඳුරන්නේ ඒ කතාවේ අග මුල මැද හැම අතය. මල් උඩින් සමනළයන්ය. පැණි උරන උදෑසනකි. බරින්දු මල් මත රඟන සමනල රෑනේ තනිවී හිතූ තරම් හිතුවේ සාහිත රසය ගැනය. වටකුරු අකුරු දෑඟිළි තුඩින් ලියන්න කියා දුන් දවස සිහිවිය. ඒ දවස දැනුනේ කියා ගන්න බැරි හැඟු‍මක් යැයි බරින්දුගේ ගැටවර හිත කොඳුරයි. තංගල්ලට ලංසිකාරයෝ ඇවිත් හදපු පල්ලිය ළඟ නතර වී මී ආතා කියපු කතාව ඒ ඇහිල්ලේ බරින්දු ගේ හිත පතුලෙන් පැන ඇවිත් හද ඇතුළ පුරාම දුව පනින්න ගත්තේය. දුව පැනපු සිතුවිල්ල නතර වුණේ සමනල රෑන මැදින් මිදුලට වැඩපු කහ සිවුරේ රුව දු‍ටුවාමය. දු‍ටු දා ලද හැඟු‍ම් බරින්දුව යළි කිසිවක් මතක නැති තරම් ළබැඳි කළේය. ඔහු කහ සිවුරේ දු‍ටුව රුව කදුරුපොකුණේ සාමණේර සමඟ පසුපසම වැටී  යන්නටම ගියේය. 

 එසේ නික්ම ගිය බරින්දු ධම්මජෝති නමින් ගිහි ගද ඉවතලා සිවුරු වත දරා ගත්තේය. සිටිනාමළුවේ උපන් නිසා ධම්මජෝති සිටිනාමළුවේ ධම්මජෝති යැයි නම් විය. ධම්මජෝති පොඩි නම ඒ කාලයේ ජීවත් වූ හැමෝටම වඩා වෙනස්ය. පද අරුතක්, ව්‍යාකරණයක්, සැලලක්, විත්තියක්, පද අරුතක් ඔහු ඇහිඳ එය වටහා කියවා සාධනය කරයි. සර්ග රිද්ම තාල ඡන්දස් ගැනම සොයයි. දවසක කදුරුපොකුණේ සාමණේර ඇවිත් කීවේ දෙනගමින් විහාර කැලේට වැ‍ටුණු පාරේ ගියාම හමුවන්න හැකි අමුතු මිනිසෙක් ගැනය. සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන්ට සිල්වතුන් වහන්සේ නමක වෙන්න පාර හමුවූයේ එහෙමය. “විහාරකැලේ“ කැලේ පීරාගෙන විහාර කැලයට වැඩිය උන්වහන්සේට මුංකො‍ටුවේ රාළ හමුවූයේ එහෙමය. දුසිල්වතුන් අතර සිල්වතුන් වන අගේ අගේටම වැටහුණේ මේ හමුව මැදය. මුංකො‍ටුවේ රාළ පද බැඳපු පුස්කොළ පද කවි ගොතාන කියවමින් කැලේ යටින් විල්පිට වනවාසේට වැ‍ටුණු දවසේ සාලිය වැව අද්දරදී තමයි වනිගචිත්තාමනි මොහොට්ටාල හමුවන්නේ. ඒ කාලේ පෘතුගීසීන්ගේ කටුවන කො‍ටුව බිඳ දමලා මහා විරුකමක් පෙන්වූ චිත්තාමනි මොහොට්ටාල බුද්ධිගම ගම්වරය ලබාපු පරපුරේය. වල් වැදී කැලෑ රොද මැදින් කිරඹ ආර සැලි සැලී වක්ව ගලන තැනය. ඒ ගතාරය. ගතාර වෙල් යායේ වල් නෙළන දා මේ දෙන්නා හමුවන්නේය. ඡන්දස් ශාස්ත්‍රය ගැන සිටිනාමළුවේ සිල්වතුන් කී කතාව චිත්තාමනීට මතක හැඟීම් අවදි කළේය. එවිට ඔහුට සිහිවූයේ කැකුණේවෙළ ගනේගොඩ ආරාමයේ ගල්පොත්ගුලය. සිටිනාමළුවේ සිල්වතුන් සමඟ චිත්තාමනි මොහොට්ටාල එහි ගියේය. ගනේගොඩ අරමේ තිබුණේ සියවස් පහක්ම මඟහැරී තිබූ මව් බසේ පද මිහිරි තනුවය. ගනේගොඩ ආරාමයේ හිටපු ගනේගොඩ උපාසක දිවියෙන් සමුගන්න ඔන්න මෙන්නය. එසේ තිබියදී ඔහු සොයා ගෙන පැමිණි මේ ශාස්ත්‍රවන්ත සාමණේරට ප්‍රාණ සමාන වස්තුව පූජා කළේය. ගනේගොඩ අරමේ අතුරලිය වෙල්යායට මුහුණ ලාපු ගල උඩ හිදන් සිටිනාමළුවේ සාමණේර හිමි සිදත් සඟරාවම වනපොත් කළහ. සිංහල බසේ පද මිහිර සෛද්ධාන්තික තාල වියමන බැ‍ඳෙන වග අරුත දන්නා අන්තිමයා වූ ගනේගොඩ උපාසක එදා ‍රැයේ සතු‍ටු සිතින් මියගියේ ප්‍රතිසන්ධියක යහපත් ආරම්මණ ලැබය. මිය යන්න තිබූ දැනුම යාවත්කාලීන කිරීමේ යුගවගකීම තමන්ට පවරා උපාසක ගනේගොඩ මියගිය වග සිටිනාමළුවේ සාමණේර දැන ගත්හ. ගනේගොඩ උපාසකගේ භූමිදානයට ‍රැස්වූ ගම්මුන් පුදුම කළේ මේ තරම් අරුම මිහිරි බුදු බණ පද සජ්ඣායනා කරනා සිටිනාමළුවේ සාමණේර වහන්සේ දැකය. ආරාමය භාර ගෙන ගම්වැසිව සිටින්නැයි ගම්මුන් ඉල්ලා සිටියේ සතර පේරුවෙන් වැද ධවල රෙද්දෙන් පාවඩ අතුරාය. 

 

 වතුපිටි කුඹුරු දෙණිවල ආදායම ගැනීම, වී මැනීම, පොල් ගැනිල්ල, කුරුඳු තැලවිල්ල, යකදුරු රක්ෂාව සමඟ සිවුරු දරා ගත්තන් එකල කළ වෙනත් යමක්ද ඇත. එනම් අඹුවන් ගම් වටේ තබා ගෙන ගණ ගැටව් තැනීමය. ගනින් වහන්සේලාගේ ළමයින්ට, ඒ කීවේ ගනින් වහන්සේලාට දාව උපාසක අම්මලාට උපන් ළමයින්ට ගම්මුන් කීවේ ‘‘ගණ ගැටව්’’ කියාය. ගණ ගැටව්ද තාත්තගෙන් සිවුර උරුමකර ගෙන ඒ කාරියම කළේය. කාරියෙන් කාරිය රාජකාරිය විය. කවුරුත් වෙන කාරියට කරබාගෙන වැඳ වැ‍ටුනා මිසක නිමල සසුනේ කහට තවරන මේ පිළිල ප්‍රශ්න නොකළේය. ගනේගොඩ අරමේ අන්තිම ගනින් වහන්සේ මියගොස් සිටියේ ගණ ගැටයෙක් නැතුවය. ඒ ගනේගොඩ ගනින් වහන්සේය. කාලයේ තාලය ප්‍රතික්ෂේප කළ ගනින් වහන්සේලා අතර පියවරයෙක් නොවූ ගනින් වහන්සේය. ගනේගොඩ ගනින්වහන්සේගේ ගනේගොඩ ආරාමයේ ගල් පෙට්ටගමක වටිනා වස්තුවක් තබා රකින බවට කසු කුසු තිබුණද උපාසක අම්මලා මායිමට නොගත් නිසා කිසිවෙක් ඒ ගැන මායිම් අසන්න එහි නොගියේය. උන්වහන්සේට පැන් විතක් දන් බිඳක් ‍රැගෙන ආව ගිය එකම තැනැත්තා ගනේගොඩ උපාසකය. ගනේගොඩ ගනින් වහන්සේ මියගියේ ගනේගොඩ උපාසකට ගල්පොත්ගුලේ රහස කී දිනේය. මේ රහස දැනගත යුත්තා එන තෙක්ම ‍රැක ආරක්ෂා කොට ගනේගොඩ උපාසක මියගියේද ඔහොමය. 


සිදත ලැබුණු ආරාමයෙන් වඩින සිටිනාමළුවේ සාමණේරයන් වහන්සේට යළි සිහි වූයේ මී ආතා තංගල්ලේ පල්ලිය පෙන්වා කී කතාවය. 
“ඔය වනවාස විහාරය තිබුණ තැන පුතේ මහ මුහුදෙන් එතෙර වැඩපු මහ රහතුන් මෙතෙර වැඩියේ මෙතැනින් තමයි ! 
ඉතින් ආතේ ! 
ඉතින් පුතේ මහ වනවාසේ බිමට පෙරළා ලංසි පල්ලි හැදුවා. එදා තමයි වනවාසේ තිබුණ ගල්පොත්ගුල පෙරළුණේ. “ 


ගල්පොත්ගුල සොයාගෙන දෙනගමින්, විහාරකැලේ, ඇල්ලවෙල, නාරංදෙණිය, කඹුරුපිටිය, විටියල හරහා ගනේගොඩට පා තැබුව වග ඒ ඇසිල්ලේ සිහිවිය. ව්‍යාකරණ පද රීති වැකි තනමින් භාෂා නෛපූර්ණත්වය ලද එකම සිංහලයෙක් වත් නැති සමයකි. ඡන්දස් අලංකාරය පාලි ව්‍යාකරණය නොදන්නා සමයකී. බුදු වදන් කිමදැයි දන්නා අයෙකු නැත. යාග හෝම පුද පූජා මිසක දහම ලෙස දන්නා කිසිවෙක්ද නැත. ගනේගොඩින් මූකිරිගල ගිය දවසය. මූකිරිගල මූලායතනයේදී ගනේතැන්නට ගෙන ගිය ග්‍රන්ථ රත්නයන් ගැන ලියා තැබූ වටාපතක් නෙත ගැටේ. සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන් වහන්සේ අනලස්ය. පා යුග පැළී ලේ ගැලු‍වද ගමන නොනවතී. භාෂා ශාස්ත්‍රය ඔප් නැංවූ කල ඥාන ශාස්ත්‍රයද, ඥාන ශාස්ත්‍රය ඔද වැඩුන විට ශීල ශාස්ත්‍රයද පාදා ගත හැකි යැයි උන්වහන්සේ දෙඩුවේය. ඒත් සිටිනාමළුවේ දොඩන වදන් අපට මොටදැයි කීවා මිසක ගනින් වහන්සේලා අතර දන්නා උන්වහන්සේ ගැන ඊර්ෂියාව මිසක නැමියාවක් නොවීය. දැනුමෙන් පලක් නැති අන්ධකාරය ඉරාගෙන දැනුම පිපාසාවක් සේ සොයන ළබැඳියෙක් හමුවිය. ඒ වේහැල්ලේ ධම්මදින්න සාමණේරය. වහ වහා පිපාසිත සිත නිවි නිවි සනහාලන පද අරුත් ව්‍යාකරණ ඡන්දස් ශාස්ත්‍ර උර උරා බොමින් සිටිනාමළුවේ සාමණේර පසුපසේ වැ‍ටුණ ධම්මදින්න සාමණේරය. වේහැල්ලේ ධම්මදින්න සාමණේරයන් හා සිටිනාමළුවේ සාමණේරයන් ගනේතැන්න පන්සලට පැමිණ පාලි ව්‍යාකරණය ඡන්දස් හා විරිත් රිද්ම ගැන හදාරණ අතර දෙදෙනාගේම පාද මූලයේ වැ‍ටුණ ශිෂ්‍ය පුත්‍රයා වූයේ කඹුරුපිටියේ සඟිධර ගුණරතන සාමණේරය. තිදෙනාම ශාස්ත්‍ර ශික්ෂාවෙන් සීල ශික්ෂිතව සොයන මග ගැන කතිකාවේය. භාෂා මිහිර දු‍ටු දු‍ටුවන් නලවන සිටිනාමළුවේ සාමණේරයන් වහන්සේ සොයාගෙන ශාස්ත්‍ර ආලින් රොද බැ‍ඳෙන්නට විය. භාෂා සාහිත්‍යය ශාස්ත්‍රයට කමටහනක් වැනිය. සිත ඒ මතට ‍රැඳී ඇත. ගනින් වහන්සේලා අතර සිල්වතුන් සේ උන්වහන්සේලා මතු වී පෙරට පැමිණියේය. මේ සමඟ මුංකො‍ටුවේ රාළගෙන් ලද සැලවි පත්‍රය සිටිනාමළුවේ සාමණේරයන් වහන්සේගේ හද පැතුමට මල් පිපුණා වැනිය. 


 තමන් වැනිමය. තම ප්‍රාර්ථනාවේ උසස් බව කදිමට වටහාගෙන වඩා පූර්වගාමී වී ඇත. සසුනම පිහි‍ටුවාලීම අරමුණ වශයෙන් ගෙන නිෂ්ක්‍රමණය ජීවිත ප්‍රාර්ථනාව කොටගත් ශ්‍රමණ සගයෙකුය. වැලිවිට සරණංකර සිල්වතුන් වහන්සේ සහ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන්ගේ ශාසන මාමක මිත්‍ර බන්ධනය ඇරඹෙන්නේ ඒ සැලවි පතින් ලද සංඥාව ඔස්සේය. රුහුණින් මහනුවර වඩින සිටිනාමළුවේ සාමණේරයන් තත්කාලීන ලංකාවේ භාෂා නෛපූර්ණයාය. උන්වහන්සේගේ හසලත්වය නොමැතිව පෙරට යන්නම බැරිය. නිමල ශාසනය පිහි‍ටුවීමේ අරමුණ සැල කර ගැනීම සඳහා වඩා සංවිධාන ශීල තපෝ ව්‍යාපාරයක් ලෙස “සිල්වතුන්ගේ සමාගම“ නැඟ එන්නේ මෙලෙසිනි. 


සිල්වතුන්ගේ සමාගම බැ‍ඳෙන සීල තපෝ ප්‍රාර්ථනාගාමී නව යති ප්‍රවාහයහි ශාස්ත්‍ර ආචාර්යපාදයන් වූයේ සිටිනාමළුවේ හිමියන්ය. සිටිනාමළුවේ සාමණේර, වේහැල්ලේ සාමණේර සහ කඹුරුපිටියේ සාමණේර යන තිදෙනා වැලිවිට සාමණේර සමඟ එක් වීම දුස්සීලයන් භීතියට පත් කළේය. ඒ භීතියේ ප්‍රතිඵලය සිටිනාමළුවේ සිල්වතුන් වහන්සේලා උඩරට ගම් දනව් පුරා ඇති කළ ශාස්ත්‍ර ප්‍රබෝධයට තහංචි පනවා රුහුණට පළවා හැරීමය. ඒත් උන්වහන්සේ අරමුණ අත්නොහළේය. සිය ගණන් සාමණේරයන්ද භාෂා ලෝලීන්ද සොයමින් ශාස්ත්‍ර ශික්ෂාවේ අගතැන් කළහ. සිටිනාමළුවේ සිල්වතුන් වහන්සේගේ ව්‍යක්ත කවීත්වයද එයටම බැඳි තිබූ මිහිරි අරුම බස් වහරද යළි ප්‍රාචීන භාෂා ශිල්පය සොයා යෑමට ළබැඳියාවක් වගා කළේය. එහි ප්‍රතිඵලය අවබෝධය සහිත පරපුරක නැඟී ඒමය. එම අවබෝධගාමී සිල්වතුන්ගේ සමාගම සමඟ අවබෝධ සහිත ගිහියන්ගේ බැඳියාව රාජ්‍යයට නව පාඩමක් බවට පත්විය. ආධ්‍යාත්මික ශාසනයක නැඟීම රාජ්‍ය පාලනය දක්වා සුසංයෝග වන්නේ මේ සමඟය. 


 මෙම පඬිවර ජයෙන් සිල්වතුන්ගේ භාෂා රසය හුදී ජනයාද පහන් කළේය. අකමැත්තෙන් වුවද භාෂා ශාස්ත්‍රය පිණිස සිටිනාමළුවේ ධම්මජෝති සිල්වතුන් වහන්සේට තම ශිෂ්‍යවරයන් යොමු කරන්න දුසිල් ගනින් වහන්සේලාට සිදුවිය. එම ශිෂ්‍යයන් අතින් උන්වහන්සේගේ කීර්තිය රටපුරා පැතිර යන්නේ උන්වහන්සේ රචිත පතපොත හරහාය. සිටිනාමළුවේ සිල්වතුන් වහන්සේ දිනෙක වැලිවිට සරණංකර සිල්වතුන් වහන්සේට කීවේ සියම් දේශයට සංදේශයක් පිටත් කර යැවිය යුතු බවය. සිටිනාමළුවේ ධම්මජෝති සිල්වතුන්ගෙන් සිංහල භාෂාව හදාරන්න එක් දිනක් ෆන් එග් නම් ලන්දේසි නාවිකයා පැමිණීම ප්‍රතිඵලය මෙම අනගි අදහස උපත තනූ තැනය. නරේන්ද්‍රසිංහ රජතුමාගේ ගුරුවරයා වූයේ වැලිවිට සරණංකර සිල්වතුන් වහන්සේය. ඒත් රජතුමාට දේපළ ගැති ගණින් වහන්සේලාගේ බලය නොතකා සිටීමට නොහැකි විය. ඔහු කොතරම් වටහා ගනු ලැබුවද අවසානයේ කුමන අයුරකින් හෝ උපසම්පදාව යළි පිහි‍ටුවීමට බාධා කරන පාර්ශවයේ අනුග්‍රාහකයා විය. මේ බාධාව මඟහැරී යන්නේ ෆන් එග් නාවිකයාගේ සිංහල භාෂා ලෝලීත්වයම නිසාය. එබැවින් වැලිවිට සරණංකර හිමියන්ගේ අපේක්ෂාව බලවත්ව නැඟ ඒමෙන් සියම් රජතුමා වෙත සංදේශය ලියවේ. සංදේශය පද බැන්දේ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන්ය. ව්‍යක්ත පාලි භාෂාව මනාව ගැළපූ මෙම සංදේශය හෙළදිව මහ සඟු‍න් වහන්සේලාගේ පාලි භාෂා ප්‍රවීණත්වය තහවුරු කළේය. නමුත් සිදුවූයේ දුස්සීල සමාගමේ ගනින් වහන්සේලා එම සංදේශයට එරෙහිව සංදේශයක් සියම් රජතුමාට ගොතා බැඳ යැවීමය. මේ අනුව යළි පිරිසිදු සසුන පිහි‍ටුවීම යටපත් වේ. මේ අතර නරේන්ද්‍රසිංහයන්ගේ මධුලෝලීත්වයේ කෙළවර වනුයේ රජු හතළිස් හත් වියැති අඩු වියෙන්ම මිය යෑමය. නිල අපුත්‍රක රජුගේ අනුප්‍රාප්තිකයා වනුයේ ඔහුගේ මස්සිනා වූ නායක්කාර කුමරු හෙවත් විජය රාජසිංහය. නායක්කාර කුමරු බොළඳ වියේ පටන් සිප් සතර හැදෑරුවේ සිටිනාමළුවේ ධම්මජෝති සහ වැලිවිට සරණංකර සිල්වතුන්ගේ සිල්වත් සමාගමේය. 


විජය රාජසිංහගේ රාජ්‍යපද ප්‍රාප්තය නිසැකව යළි ශාසනෝදයේ මාවත බවට පත් වන දේශපාලන වාතාවරණය මතු විය. මේ සමයේ සිටිනාමළුවේ ධම්මජෝති සිල්වතුන් වහන්සේ ආරම්භ කළ “සැලවි කවි“ හූදී ජනතාවගේත් දැනුවත් ජන තීරුවේත් නිබඳ අවධානය දිනා ගත්තේය. “සැලවි කවි“ ලෙස ලේඛන ගත වූයේ තල්පත්වල පණිවිඩයක් සේ කවි පබඳාලීමය. සැලවි කවියෙන් නිමල සසුන පිළිබඳ අචල පැතුමන් ලේඛන ගත විය. එම සැලවි පත් පරවියන් අත රට තොට සරන්නට විය. පරවියන්ගේ පාද වලින් ගම් දනව් වෙල් ඉපනැලි සහ කඩමණ්ඩිවලට ලැබෙන සැලවි පත්‍ර රටවටා කතා තේමාවක් තැනුවේ නිමල ශාසන උදානයක අගයය. සිටිනාමළුවේ ධම්මජෝති සිල්වතුන් වහන්සේගේ මහා පාණ්ඩිත්‍යයෙන් උදම් ආචාර්යපාද භූමිකාවේ සිටි චරිත සිරිතක් නොවීය. පොදු ජන මතය අවුලු‍වා ලීමේ ශූර ඥාන භාවිතාවයෙන්ද හෙබියෙකි. එබැවින් දන් දෙන්න පින් ගන්න නමක් නැකතක් ගන්න උන්වහන්සේ හමුවන කවරෙකු අත වුවද සැලවි පත් පද බැඳ දීම සිරිතක් කළේය. එම සැලවි පත් සිරිත නිසා සිදු වූයේ මහජන මතය කුළුගැන්වීමය. සැබැවින් නූතන සමයේ මහජන මත නැඟිටීමක් ආරම්භ කළ චරිතය සේද සිටිනාමළුවේ සිල්වතුන් වහන්සේ ඉතිහාසයේ කේන්ද්‍රීය චරිතයක්මය. කෙසේ නමුත් විජය රාජසිංහ රජතුමා මියයන තුරුම පවිත්‍ර මහණ උපසම්පදාව යළි සිරිලක ස්ථාපිත නොවුණේය. ඒත් ෆන් එග් හරහා සිදුවන දූත මෙහෙවරයන් දිගටම සිදුවිය. දෙවන වර සියමට යෑමට යළි දූත ගමනයක් පිළියෙල වූ අතර ඒ අතර විජය රාජසිංහ රජතුමා මිය යන්නේය. 


විජය රාජසිංහ රජුගේ අභාවය සමඟ කීර්ති ශ්‍රී රාජසිංහ නමින් රජ වන්නේ විජය රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරාය. ඔහුද කුඩා වියේ පටන් වැලිවිට-සිටිනාමළුවේ සිල්වත් දෙනමගේ ශිෂ්‍යයෙකු ලෙස බුදු දහම හා පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍රය හැදෑරූ කුමරෙකි. ඔහු අන් හැම රජ දරුවෙකුට වඩා ඉදිරිගාමීව සසුන යළි ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාමය තම රාජ්‍ය පාලනයේ මුදුන් කාරිය සේ තබන්නේය. ඒ සිල්වත් සමාගම එරෙහි ගනින් වහන්සේලාගේ මෙන්ම බ්‍රාහ්මණ පූජක පැලැන්තියේ අභියෝග ප්‍රහාර මැදය. දීර්ඝ ආයාසයක ප්‍රතිඵල උදාවේ. සියම් රටින් සියම් රජ අණ ලැබ සියම් උපාලි මහ තෙරිදු සමඟ උපසම්පදාව සිරිලකට සැපත් වේ. ශාසන උදානයෙහි නිෂ්ක්‍රමණ ප්‍රහර්ෂය සතර අත උදාවිය. මහනුවර මල්වතු පෝයගේද අස්ගිරි පෝය ගෙය පුරා උපසම්පදා අපේක්ෂාවේ උළෙල නිමැවිනි. සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන් වහන්සේ ඒ වන විට අසූ තුන් විය ඉක්මවූ වෘද්ධයෙකි. සියළු සිල්වතුන්ට භාෂා ශාස්ත්‍රය කියා දුන් ගුරු දේවාචාර්ය සියළු පිළිකෙව්, ඉවත් කිරීම හා පළිගැනීම් මැද පසුපස නොහැරී ඉදිරි මඟ පෑදු ශාස්ත්‍රවන්ත සීල වෘද්ධයානන්ය. ඒ නයින් තපෝ වෘද්ධයාය. සිංහල ශාසන වංශයේ භාෂා ශාස්ත්‍රීය විදග්ධත්වය සීල කමටහනක් සේ පූජාබර පැවිදි දිවියක අඩිතාලම කරගත් දුර්ලභයාණන්ය. මේ අපූර්ව කෞෂල්‍යයේ පහන් සිල උපසම්පදා අපේක්ෂාවෙන් තමන්ගේ ශිෂ්‍යවරයන් සමඟද තමන් සමඟ එකට හිඳ මහා සටන් මැද සටන් කළ කල්‍යාණ මිත්‍රයන් තිදෙනා ද සමඟ බලා සිටියහ. ඒ වැලිවිට සරණංකර, වේහැලේලේ ධම්මදින්න, කඹුරුපිටියේ සඟිධර ගුණරතන සිල්වතුන් සමඟය. 


 නමුත් පුදුමය. සියලු දෙනාටම උපසම්පදාව හිමි විය. නූතන ශාසන පුනර්ජීවනයේ අසමසමයන් සිව්දෙනාගෙන් සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන්ගේ උපසම්පදා ශීලය පිරිනැමීම ප්‍රතික්ෂේප විය. ඒ ලක් සසුන ඉරිතලා ගිය දවසය. රාජකීය පාලකයා පවා නිෂ්ශබ්දව මේ මහා ශාසනික අයුක්තිය ඉවසා සිටියේය. සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන්වහන්සේ පෝය මැදුරින් නික්ම සෙංකඩගල වැව් තලාවට පියමැන හන්තාන කඳු වැටිය දෙස බැලීය. ඝන මීදුම තුනී කර කඳු වැටිය මැදින් ඉර එළිය ඝනට එබුණේය. බෞද්ධ ශාසන ඉතිහාසයේ දීර්ඝතම උපසම්පදා උත්සහාය ජයගත් මොහොත ශීල වන්ත තපෝ වෘද්ධයා තනිකර දමාය. මහත් කම්පිත වැලිවිට සරණංකර මහ තෙරිඳු කඹුරුපිටියේ මහ තෙරිඳු සමඟ සෙංකඩගල වීදි පුරා සිටිනාමළුවේ ධම්මජෝති සාමණේර මහා ප්‍රඥා වෘද්ධයන් සොයන්නට වූහ. උන්වහන්සේ උඩවත්ත වනවාසයට වඩිනු දු‍ටු වගක් කීවේ නාථ දේවාලේ මාලකම්මා වූ “තංගාමාධි”ය. 


 නික්ම වැඩිය මඟ දිගේම අසරණ සරණ සඟරජ වැලිවිටියේ සරණංකර මහ තෙරිඳු මේ සොයා වඩින්නේ තමාටද භාෂා ශාස්ත්‍ර දීපනයේ ශිල්ප තැනූ ආචාර්යාණන්, සිංහල යති සසුන පිහි‍ටු වූදා පිටමං කළ ප්‍රඥා පහන් ටැඹ සොයාය. උඩවත්ත වනවාසයේ සෙංකඩ ගුහාවේ එරමිණිය ගොතා බවුන් වඩන තම කල්‍යාණ මිත්‍ර ආචාර්ය වහන්සේ දු‍ටු වැලිවිට මහ තෙරිඳු වහා උන්වහන්සේට උපසම්පදා පැවිද්ද දෙන්නට තීරණය කළේය. ලක් ශාසන ඉතිහාසයේ සම්මත සංඝ ගණ සභාව ව්‍යුක්ත උපසම්පදාවට පත් වූ එකම මහ තෙර හිමිනම සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් වූයේ එලෙසය. ඒ නූතන ශාසනයේ මහ ශාස්ත්‍රවන්තයන්ය. ශාස්ත්‍රවන්තයන් පසෙක තැබීම පිළිවෙත වූයේ ඉන් පසුවය. ඒත් වැලිවිට සිරි සරණංකර සඟ රජුවන් මහ ගුණැති මහ තෙරක් නොවන්නට සිටිනාමළුවේ හිමි අපවත් වන්නේ සාමණේර ලෙසමය. උන්වහන්සේ ඉතිහාසයේ නමකට සීමා වී පිටමං වූයේ එබැවිනි. නූතන සිංහල ශාස්ත්‍ර සම්ප්‍රදායේ ආරම්භකයා වූ රුහුණු සංඝ සම්ප්‍රදායේ ආරම්භකයා වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන්ගේ විශේෂත්වය තමා පෙලූ අයුක්තියට සසුන කඩා නොයා පිළිවෙත් සරු මඟ පිවිස නික්ම වැඩීමය. සිටිනාමළුවේ මහ තෙරිඳු නිෂ්ක්‍රමණය කොට නික්ම ගිය මහ තෙරය. උන්වහන්සේ නිෂ්ක්‍රමණය කරන මොහොතේ දෙපස වැඩ සිටියේ වැලිවිටියේ සඟරජු හා කඹුරුපිටියේ මහ තෙරිඳුය.