අප කළ කරුණු සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණු පරිදි මේ වනවිට ඇඟලුම් කර්මාන්තශාලා කලාප ආශ්‍රිතව මිනිස් ශ‍්‍රම” (මෑන් පවර්* ජාවාරම ජයටම සිදුවේ. මෙහිදී සිදුවන්නේ මෑන් පවර් සේවා පවත්වාගෙන යන ආයතන හෝ පුද්ගලයන් හෝ කර්මාන්ත ශාලාවලට සේවකයන් සැපයීම මගින් විශාල මුදලක් ඉපයීමය. ලියාපදිංචි වූ මිනිස් ශ‍්‍රම සපයන ආයතන කීපයක් හැරුණුවිට සෙසු බොහෝ ඒවා ක්‍රියාත්මක වන්නේ තනි පුද්ගල මට්ටමින්ය.
කිසිදු ලියාපදිංචියකින් තොරව එක් එක් පුද්ගලයන් විසින් දිනකට සේවක සේවිකාවන් දෙසීය, තුන්සිය දෙනා බැගින් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයට යොදවනු ලැබීමෙන් ඔවුන් හොද්ද බොරකරගෙන ඇති බවට වන තොරතුරු ඕනෑ තරම්ය. විශේෂයෙන්ම එලෙස සේවයට යොදවන එක් සේවකයකුට කර්මාන්ත ශාලාවක් මගින් දිනකට රුපියල් 1500 සිට 1700 දක්වා වන මුදලක් ගෙවනු ලැබුවද සේවකයාගේ අතට ලැබෙන්නේ රුපියල් 900ක් හෝ 950කි. ඉතුරු ටික යන්නේ මෑන් පවර් කරගෙන යන පුද්ගලයාටය. පිළිගත් ලියාපදිංචි මෑන් පවර් ආයතනවල සිදුවන්නේද මේ ටිකමය.
මේ මෑන් පවර් කාරණය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේදී අපට දැන ගන්නට ලැබුණේ ඇතැම් කර්මාන්තශාලා හිමියන් පවා ස්ථිර සේවකයන් සේවයට බඳවා ගැනීම වෙනුවට මෑන් පවර් සේවකයන් බඳවා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවය. මේ ඇගලුම් කර්මාන්තශාලා මගින් පවත්වන සමුම්ඛ පරීක්ෂණවලට සහභාගිවන ඇතැම් අයට ඒවායෙහි පිරිස් බඳවා ගන්නා නිලධාරින් සුලභව පවසන දෙයක් වී ඇත්තේ මෑන් පවර් නියෝජිතයින් හරහා සේවයට එන ලෙසය. කර්මාන්ත ශාලාවලට සේවක පිරිස් සපයන මෑන් පවර් ආයතන හෝ පුද්ගලයන් සමග ඔවුන් පවත්වන සබඳතා නිසා එලෙස උපදෙස් දීම් සිදුකරන බවද තොරතුරු වාර්තා වෙයි. මේ අතර ඇතැම් කර්මාන්තශාලාවල සේවය කරන නිලධාරින් වෙනත් පුද්ගලයන් මගින් මෑන් පවර් සේවා පවත්වාගෙන යමින් විශාල ලෙස මුදල් උපයන බවද දැන ගන්නට ලැබිණි. මෑන් පවර් ආයතන හෝ ඒවා පවත්වාගෙන යන පුද්ගලයන් හරහා සිය කර්මාන්ත ශාලාවලට සේවකයන් බඳවා ගැනීමට කර්මාන්ත හිමියන් වැඩි කැමැත්තක් දැක්වීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ එලෙස වැඩට ගන්නා අනියම් තාවකාලික සේවකයන්හට සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවීමට අවශ්‍ය නැති නිසාය. කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සමහර මෑන් පවර් අයතන සිය සේවකයන්ගේ වැටුප්වලින් අර්ථසාධක මුදල් කපා හැරියද ඒවා නියමිත පරිදි එම සේවකයන් නමින් ඇති ගිණුම්වලට බැර කරන්නේද යන්න ගැන සොයා බැලීමක් නැත.
මෑන් පවර් ආයතන මගින් කිසියම් ආයතනයක් සඳහා සේවකයන් බඳවා ගන්නේ තාවකාලික පදනමිනි. එලෙස බඳවා ගන්නා සේවකයන් නිත්‍ය සේවාවල පිහිටුවීම සිදු නොකරන අතර මීට අදාළව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2005 වසරේදී චක‍්‍රලේඛයක්ද නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ කර්මාන්තශාලාවල නිත්‍ය සේවා සඳහා කොන්ත‍්‍රාත් පදනමින් සේවකයන් බඳවා නොගත යුතු බවය. මෑන් පවර් ආයතන හරහා සේවකයන් තාවකාලික පදනමින් බඳවා ගැනීම සිදුකළ යුතු බවත් එලෙස බඳවා ගන්නා සියලූ සේවකයන් පිළිබඳ තොරතුරු ආයෝජන මණ්ඩලය වෙත ලබාදිය යුතු බවත් එහි වැඩි දුරටත් දැක්වේ. කර්මාන්තශාලා හිමියන් මේ චක‍්‍රලේඛය මායිම් නොකර ක්‍රියා කරන බවද පැවැසේ.
පිස්සන්ට දෙන පෙති
ඇඟලූම් කර්මාන්ත ශාලා පිළිබඳ අප කළ ගවේෂණයේදී ‘‘මේ පිස්සන්ට දෙන පෙති” ගැන කතාන්දරයද දැනගත හැකි විය. ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන් අතර හෙරොයින් ඇතුළු මත් ද්‍රව්‍ය භාවිතය ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බව දැන ගන්නට ලැබුණු අතර ”පිස්සන්ට දෙන පෙති” යනුවෙන් සේවකයන් අතර ප‍්‍රචලිතව ඇති මත් පෙත්තක් නිසා ඇතැම් තරුණ සේවකයන්ගේ ජීවිත විනාශ මුඛයට ඇද වැටෙමින් තිබෙන බවටද තොරතුරු අසන්නට ලැබුණි. පිස්සන්ට දෙන පෙති යනුවෙන් ප‍්‍රචලිත මේ මත් පෙති පානය කරන සේවකයන් කඩිසරව වැඩ රාජකාරි කරන නිසා ඇතැම් කර්මාන්තශාලාවලින් ඒ සඳහා නොනිල සහයක් හිමිවන බව ද පැවසේ. විශේෂයෙන්ම මේ මත් පෙති ජාවාරම පසුපස සමහර කර්මාන්තශාලාවල සේවය කරන ”සුපර්වයිසර්ලා” සිටින බවත් සාමාන්‍ය සේවකයන් ආයතනයට ප‍්‍රවිශ්ට වීමේදී ඔවුන් පරීක්ෂාවට භාජන කළ ද සුපර්වයිසර්ලා එලෙස පරීක්ෂාවට භාජන නොකරන නිසා එම මත් පෙති ආයතන පරිශ‍්‍රයට පහසුවෙන් ගෙන ඒමේ හැකියාව ඔවුන්ට තිබෙන නිසා ඇතැම් සුපර්වයිසර්ලා මේ මත්පෙති අලෙවියට යොමුවී ඇති බවට කරුණු හෙළිවී තිබේ. රාත්‍රී කාලයේ සේවය කරන සේවකයන් මේ මත්පෙති වර්ගය පාවිච්චි කිරීමට තදින්ම ඇබ්බැහිවී ඇති බවත් මෑන් පවර් සේවකයන් වැඩි වශයෙන් මේවා ආයතන පරිශ‍්‍රවලට ගෙන ඒමට කටයුතු කරන බවත් පැවසේ. ඇඟලුම් කර්මාන්ත ශාලා කලාප ආශ‍්‍රිතව ශීඝ‍්‍රයෙන් පැතිර යන මේ මත් ද්‍රව්‍ය උවදුර මැඩලීමට කර්මාන්ත ශාලා බලධාරීන් උනන්දුවක් නොදක්වන බව සේවකයෝ චෝදනා කරති. විශේෂයෙන්ම කටුනායක හා බියගම යන ආයෝජන කලාප ආශ‍්‍රිතව මේ මත් ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු කෙරෙන බවට තොරතුරු අනාවරණය වී තිබියදී ඒවා පාලනය කිරීමට පොලිසියෙන් සාධනීය කාර්ය භාරයක් සිදුනොවන බවටද මැසිවිලි නැගේ.
සටහන:
උපුල් වික්‍රමසිංහ