නැකත් හෙවත් ශුභ මුහුර්ත


නැකතට වැඩ කිරී​ෙමන් කටයුතු සඵල වන බව අප බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයේ බොහෝ අවස්ථා නැකතට යොදා ගැනීම සිරිතය. නැකතට කළ නොහැකි කරුණු දෙකක් ජීවිතවල තිබුණි. ඒ ඉපදීම හා මිය යාමය. එයිනුත් ඉපදීම දැන් දැන් නැකතට සිදු කෙරේ. ඒ ශුභ වේලාවට ශල්‍ය කර්මයකින් දරුවා ලබා ගැනීමෙනි. මිය යාම නම් තවමත් නැකතට කළ ​නොහැකි වැඩකි. එය කෙනෙකුට සිතා මතා කළ නොහැකිය. ස්වභාවික මරණය අපට අවශ්‍ය වෙලාවට ලබා ගත නොහැකිය. ඉපදුණු වේලාවට කේන්ද්‍රයක් සාදා ඒ අනුව පලාඵල කීමෙන් කෙනෙකුගේ ජීවිතයේ බොහෝ අවස්ථා කලින් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. ලෙඩ දුක්, දුප්පත් වීම හෝ පො​හොසත් වීම, හදිසි අනතුරු, ඉගෙනීම, රැකියාව, තනතුරු ලැබී ආදී නොයෙකුත් දේ අනාගත වාක්‍ය ලෙස ප්‍රකාශ කළ හැකිය. එහෙත් සමහර අය කරන වැරදි ප්‍රකාශ නිසා ඔවුන් පමණක් නොව ජ්‍යොතිෂයම හාස්‍යයට ලක් වුණු අවස්ථා තිබුණි. 
  
නැකත් සෑදීමේදී පිළිපැදිය යුතු කරුණු රාශියක් ඇතත් එයින් ප්‍රධානම කරුණු කීපයක් සාකච්ඡා කරමු. එසේ නීති රිතී රාශියකට යටත්ව නැකතක් සාදනුයේ එම වේලාව ශුද්ධ වේලාවක් බවට පත් කර ගැනීමටය. එම වේලාව කිසි ලෙසකින්වත් අශුභ නොවිය යුතුය.   


ගෙවැදීම, විවාහය, ව්‍යාපාර ආරම්භය, ගෙවල් සෑදීම ආදී කරුණු පුරපක්ෂයේ දිනයකම යොදා ගත යුතුය. අවපක්ෂයේ දින යොදා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා නොවේ. එහෙත් අවපක්ෂයේ දින ද යොදා ගන්නා අවස්ථා තිබේ. උදාහරණයක් වශයෙන් ගත හොත් මල්වර වීමෙන් පසුව කරන පළමු ස්නානය සමහර අවස්ථාවලදී අවපක්ෂයේ දිනයක කරනු ලැබේ.   


ඒ පළමු ස්නානය සති තුන හතර පසු කළ නොහැකි නිසාය. විභාගයකට යාම, උසාවි යාම, රැකියා භාර ගැනීම ආදී දින වෙනස් කළ නොහැකි අවස්ථා ද කන් විදීම, ඉඳුල් කට ගෑම වැනි අවස්ථා ද අව පක්ෂයේ කරන අවස්ථා ඇත.   


එහෙත් බොහෝ කටයුතු අනිවාර්යයෙන්ම පුරපක්ෂයේ දිනයකම සිදු කළ යුතුය. ඒ සඳහා ගනු ලබන දින තිථිය අනුව සිදු කෙරේ. චන්ද්‍රයාගේ ගමන අනුව එය ගණන් ගනු ලැබේ. අමාවක පෝයෙන් පසු දින පුරපක්ෂයේ පළමු තිථිය ලෙසත් දෙවන තුන් වන ආදී වශයෙන් පහළොස් වන තිථිය දක්වා තිථි පහළොවක් යෙදේ. පහළොස් වන තිථිය පසළොස්වක පෝයදාය.  ඒ අයුරින් පසළොස්වක පෝයෙන් පසු දින අව පක්ෂයේ පළමු තිථිය ලෙසත් පහළොස්වන තිථිය අමාවක පෝය ලෙසත් සළකනු ලැබේ. මෙයින් සාමාන්‍යයෙන් 4 9 සහ 14 වන තිථි කිසිම ශුභ වැඩකට ගනු නොලැබේ. එමෙන්ම අමාවක දිනයේත් පසළොස්වක දිනයේත් ශුභ නැකත් ගනු නොලැබේ.   


නැකත් විසි හතක් තිබුණත් ඒ සියලුම නැකත් ශුභ කටයුතුවලට නොගැළපේ. ඒ අතරින් බෙරණ හා කැති නැකත් දෙක ශුභ වැඩට යොදා නොගැනේ. අද, අස්ලිස, විසා, දෙට, පුවපුටුප යන නැකත් ද විශේෂ ශුභ කටයුතු සඳහා යොදා නොගැනේ. සොරකම් කිරීම, වස දීම, නපුරු කටයුතුවලට යාම වැනි නරක වැඩ සඳහා බෙරණ නැකත යොදා ගනු ලැබේ. කැති නැකත සියලු කටයුතු සඳහා අශුභය. සොරුන් ඇල්ලීම සඳහා යක්ෂ ප්‍රේත තොවිල් ආදී කටයුතු සඳහා සතුරන් විනාශ කිරීම සඳහා විශාල ද්‍රව්‍ය හෝ ස්ථාන ගනි තැබීම වැනි කටයුතු සඳහා අද නැකත යොදා ගනු ලැබේ.   


​ෙමම නැකත ශුභ ක්‍රියාවලට අශුභය. අශුභ ක්‍රියාවලට ශුභය.   


ඔබට දෙන නැකත හරි දැයි බලා ගැනීමට කරුණු රාශියක් ඇතත් එයින් ඔබට ප්‍රායෝගිකව බලා ගත හැකි එක හෝඩුවාවක් දීමට කැමැත්තෙමි. සතියේ දවස් හතට මරු සිටින දිසා හතක් ඇත. මරු සිටින දිශාව අශුභයි. මරු සිටින දිශාව බලා වැඩ කිරීමට දුන්නොත් ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත. පහත සඳහන් අශුභ දිශා වලට එක් එක් දවසේදී මුහුණ නොදීමට වග බලා ගන්න. එදින එම දිසාවේ මරු සිටින බැවිනි.   


ඉරිදා උතුර   
සඳුදා වයඹ   
අඟහරුවාදා බස්නාහිර   
බදාදා නිරිත   
බ්‍රහස්පතින්දා දකුණ   
සිකුරාදා ගිනිකොන   
සෙනසුරාදා නැගෙනහිර   
(ඊසාන දිසාවේ මරු නැත)


දකුණ බලා වැඩ කළ යුතු නැකත් 13 ක් ඇත. එම දිනවල බස්නාහිර බැලීමටත් හැකි වෙතත් බස්නාහිර දිශාව නරක යයි සම්මතයක් සමාජයේ පවතින නිසා ජ්‍යෙතිෂ වේදීහුත් බස්නාහිර බලා කටයුතු කිරීමට උපදෙස් නොදෙති.   


ජ්‍යොතිෂයට අනුව නම් බස්නාහිර බලා කටයුතු කිරීම නරක නැත. බොහෝ ජ්‍යොතිෂවේදීන්ට අමාරු වන්නේ මෙම නැකත් 13 න් වැඩ කරන කාලවලදී බ්‍රහස්පතින්දා දකුණ නොබලා සිටින නැකත් සෑදීමය. ඒනිසා බොහෝ දෙනෙක් වෙනත් උප්පරවැට්ටයක් යොදා එදිනට නැකත් සාදති. කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දකුණ බලා නැකතට වැඩ කිරීම ශුභ නැති බව මතක තබා ගත යුතුය.   


ඉරිදා, අඟහරුවාදා සහ සෙනසුරාදා ශුභ මුහුර්ත යොදා ගනු නොලැබේ. රවි හෝරාව සමහර ශුභ වැඩවලට යොදා ගත්තත් කුජ හෝරාව හා ශනි රෝහාව යොදා ගනු නොලැබේ. අනෙක් ශුභ හෝරාවලත් සමහර පංචම කාල හෝරාවලත් විෂ පංචම හෝරා ඇත. ඒවා ගැන ශූභ වැඩවලදී අත් හරිනු ඇත. උදා චන්ද්‍ර හෝරාවේ චන්ද්‍ර පංචම කාල හෝරාව රවි හෝරාවේ ගුරු පංචම කාල හෝරාව පැවිදි කිරීම වැනි කටයුතු සඳහා සෙනසුරාදා ද ගනු ලැබේ. රාහු කාල මඟ හැර ශුභ වේලාව ගැනීම ඉතා වැදගත් වේ.   


තිථිය අනුව ද නොබැලිය යුතු දිශා ඇතත් සාමාන්‍ය මහජනයාට මෙය සංකීර්ණ වැඩි නිසා ඒවා මෙහි සඳහන් කරනු නොලැබේ. එමෙන්ම සඳු සිටින දිශාව බලා හෝ එම දිශාවට දකුණු අත යොමු කර කටයුතු කිරීම ශුභ දායක වේ. උදා දකුණු දිශාවට දකුණු අත යොමු කර සිටියොත් මුහුණ දෙන්නේ නැගෙනහිරටය.   


ජ්‍යොතිෂයේ අමාරුම කාර්යය නැකත් සෑදීම යයි සිතමි. ඒ නිසා මහජනයා ඉක්මණින් නැකත් සාදා දෙන ලෙස ජ්‍යොතිෂවේදීන් ගෙන් ඉල්ලා නොසිටිය යුතුය. තවද අසවල් දිනයට නැකතක් සාදා දෙන ලෙස ජ්‍යොතිෂවේදීන්ට දින නියම නොකරන්න. නැකත තිබෙන දිනය සොයා අප යනවා විනා අපට අවශ්‍ය දිනයට නැකත එන්නේ නැත.   


පඳුර ළඟට මා යනවා විනායේ   
පඳුර මා ළඟට එනවා හිනායේ   

 

 

 

 


ජ්‍යොතිර්වේදී   
ඒ.ඩී. කරුණාතිලක, 
32, ගලමැටි මෝදර පාර, නල්ලුරුව, පානදුර