උතුරේ ජන විශ්වාස ගැන කතා කරමින් සිටි අපි පසුගිය සති දෙකේ කිලිනොච්චිය ධර්මපුරම්හි පුලියම්පොකුණ නාග තම්බිරාන් කෝවිල ගැන කතා කළා. මේ නාග තම්බිරාන් කෝවිලේ සම්බන්ධ අවසන් ලිපියයි.
උතුරු ප්‍රදේශය ඒ කාලේ කොටස් 13කට බෙදිලා තිබුණා. කරෙයිච්චි කියන්නේ එම ප්‍රදේශයේ තිබුණු සශ්‍රීකම පැත්ත. කරෙයිච්චි කියන ප්‍රදේශය තවත් කොටස් 18කට බෙදිලා තිබුණා. පුලියම්පොකුණ කියන්න එම ප්‍රදේශ 18නුත් වඩාත් සශ්‍රීක ප්‍රදේශයක්.
පුලියම්පොකුණට අල්ලපු ගමේ හිටපු නීදිනායක කියන මුදලිට සහ කාමලාම් එහෙම නැතිනම් කමලා කියන කාන්තාවට උපන් නිවුන් දරුවන්ගෙන් එක් අයෙක් නාගයෙක් බව අපි මීට පෙර සඳහන් කළා.
මේ නාගයා කාමලාම් සමඟ තරහා වෙලා වෙනත් ප්‍රදේශයකට ගිය පසු සිවපෙරුමාන් දෙවියන්ගේ මග පෙන්වීම අනුව නීදිනායක ඇතුළු ගම්වාසීන් පෙරහරින් ගිහින් නයා ගෙනැවිත් පුලියම්පොකුණ ප්‍රදේශයේ කෝවිලක් ඉදි කළා. කෝවිල නයා වෙනුවෙන් පූජා කළා.
එදා ඉඳන් සෑම වසරකම කෝවිලේ විශේෂ පූජා පැවැත්වෙනවා. මේ පූජාවන්ට නොයෙක් ප්‍රදේශවල ඉඳන් විශාල පිරිසක් සහභාගී වෙනවා. පූජාව සඳහා යාපනයේ ප්‍රදේශයේ සිටත් පිරිස් එනවා. ඔවුන් පෙරහරින් කිරිඅරගෙන එන බව ප්‍රදේශවාසීන් කියනවා. ඉතින් යුද සමයේ මෙහෙම පෙරහරින් එද්දී එක්තරා ස්ථානයකදි ආරක්ෂක අංශයේ දෙදෙනකුගෙන් බාධා ඇවිත් තියෙනවා.
ගෙන යන සියලු දේ පරීක්ෂා කරන්න අවශ්‍ය බව ඔවුන් කියලා තියෙනවා. ඉතින් මේ කිරි කළ එතනම හළලා දාන්න කියලා මේ දෙදෙනා නියෝග කළා. ඒ අනුව කිරි අරගෙන අපු පිරිස කළය විවෘත කරලා කිරි හැලුවත් කිරි බිමට වැටුනේ නැහැලු. ආරක්ෂක අංශයේ උදවියත් පුදුම වෙලා. ටික වෙලාවකින් කිරි කළය ඇතුළෙන් සුදු නාගයෙක් එළියට ආවලු. ආරක්ෂක අංශ දෙදෙනා බියට පත්වෙලා එතැනින් ඉවත් වෙලා ගිහින්. පසුව නයා යළි කිරි කළය ඇතුළට ගියා කියලයි ජනප්‍රවාදයේ තියෙන්නේ.
යාපනයේ සිට කිරි ගෙන ඒම තවමත් සිදු වෙනවා. කෝවිලේ විශේෂම පූජාව තිබෙන්නේ අප්‍රේල් මාසයේදියි. ප්‍රදේශයේ ජනතාව වගා කර ලබා ගන්නා අස්වැන්නේ මුල්ම කොටස අප්‍රේල් මාසයේදී පූජා කරන්නේ මේ කෝවිලට. කෝවිලේ පූජාවට කිරි ගෙන එන්නේ යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ සිටයි. ඒ විශාල පෙරහරකින්. කරත්ත සහ ටැක්ටර් වලින් විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වෙනවා. එය කිලිනොච්චියට ළඟා වෙද්දී ටැක්ටර්, කරත්ත සහ වාහන 700ක් පමණ ඊට එකතු වෙනවා.
කෝවිලේ තවත් විශේෂ දෙයක් සිදු කරනවා. ඒ තමයි නළලේ සින්දූර් වලින් මොට්ටුවක් තියද්දී නූලකුත් අතේ ගැටගසනවා. සින්දූර් තිබෙන පීරිසියේ පහනක් පත්තු කර තිබෙනවා. ඒ පහනට නූල අල්ලන් මද වේලාවක් ඉන්නවා. නූල පිච්චුනොත් ඒ පිච්චුණු ආකාරය අනුව අදාළ පුද්ගලයාට තිබෙන රෝගාබාධ කියනවා. නූල පිච්චුණේ නැතිනම් එය අතේ ගැට ගසනවා.
කෝවිලට ගිය කෙනෙක් අපි සමඟ මෙහෙම කිව්වා.
‘කෝවිලේ උත්සව අවස්ථාවක අපිත් ගියා. ගිහින් නූලක් බැඳගන්න හදද්දි මං වෙනුවෙන් ගත්ත නූල අර පහනට පිච්චුණා. ම ඉන් පසු පූසාරි මට කිව්වා මහත්තයට ලොකු බඬේ අමාරුවක් තියෙනවා නේද කියලා. ඒ බඬේ අමාරුවට කරන්න ඕනෑ දේවලුත් කිව්වා.
ඇත්තටම මට මුත්‍රා ගල් හැදිලා හරිම අමාරුවෙන් හිටියේ. මට කිව්ව දේ හරියටම හරි ගියා. කෝවිලට බාරයක් වුණොත් අනිවාර්යයෙන්ම එය හරි යනවා.’ යැයි ඔහු කීවේය.
තම්බිරාන් කියන සුදු නාගයා කෝවිලට පැමිණීම ගැන අපි කළින් සඳහන් කළා. මේ නාගයා තවමත් ඉන්නවා කියලා විශ්වාසයක් ජනතාව තුළ තිබෙන බවත් කිව්වා. මේ නාගයා දකින්න ලැබෙන්නේ වාසනාවන්ත අයට කියලයි ප්‍රදේශවාසීන්ගේ අදහස. කෝවිලේ පූසාරිත් එය තහවුරු කළා.
මීට වසර කිහිපයකට පෙර සුදු නාගයා කෝවිලේ ශිව පිළිමයට ඉහළින් පෙනය පුප්පාගෙන සිටින අයුරු ඒ අවස්ථාවේ සිටි උදවිය දැකලා තියෙනවා. නාගයා දැකපු කිහිප දෙනක්ම කිව්වේ මේ සුදු නාගයාගෙන් කිසිවෙකුට කරදරයක් නැහැ කියලයි.
මේ නාගයා දැකපු සිංහල පුද්ගලයෙක් ඉන්නවා කියලා ප්‍රදේශවාසීන් අපට කිව්වා.
ඒ තමයි ධර්මපුරම් පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂක එම් එම් ඩී එන් චතුරංග මහත්මයා. ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයට තමයි මේ කෝවිල අයිති.
සෑම වසරකම දීපවාලි දිනයට මේ පුලියම්පොකුණ නාග තම්බිරාන් කෝවිලට විශාල පිරිසක් සහභාගී වෙනවා. මේ අයට අවශ්‍ය පහසුකම් සැපයීම සහ ඒ කාලයට ආරක්ෂාව ලබා දීම පොලිසිය සිදුකරනවා.
2016 දීපවාලි දිනය දවසෙත් කෝවිලට විශාල පිරිසක් ආවා. ආරක්ෂාවට පොලිසියෙනුත් යොදවලා හිටියේ.
එදා හවස 4ට 5ට විතර එහි කටයුතු ගැන සොයා බලන්න ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම් එම් ඩී එන් චතුරංග මහත්මයත්, ධර්මපුරම් සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාත් තවත් අයෙකුත් කෝවිලට ගියා. ගිහින් පූසාරි සමඟත් කතා කළා.
අවශ්‍ය කටයුතු සොයා බලමින් ඉන්න ගමන් මේ තුන්දෙනා කෝවිල මැද තියෙන ඉපැරණි බෝධිය අසලට ගිහින් තියෙනවා. ටික වෙලාවක් එතන ඉන්දි පොලිස් ස්ථානාධිපතිවරයා එක පාරටම මවිත වෙලා බෝධිය දෙස බලාගෙන ඉන්නවාලු. අනිත් දෙදෙනත් ඒ එක්කම ස්ථානාධිපතිවරයා බලා සිටින පැත්ත බලලා තියෙනවා. සුදු පාට නාගරයෙක් බෝධියේ බෙනයකින් එළියට ඔළුව දාගෙන ඉන්නවාලු.
මිනිත්තු දෙක තුනකින් මේ නාගයා අඩි දෙකක් පමණ එළියට ඇවිදින් මිනිත්තු පහක් වගේ ඉඳලා නැවතත් ඇතුළට ගිහින්. තමන් දකින දේ හීනයක්ද කියලා අදහා ගන්නට නොහැකි වුණු මේ පිරිස තමන්ගේ අතේ තිබුණු ජංගම දුරකතන වලින් නාගයාගේ ඡායාරූපත් අරගෙන තියෙනවා. තම්බිරාන් නාගයාගේ කතාවේ යම් ඇත්තක් ඇති බව මේ අය විශ්වාස කරන්න පටන් අරගෙන තියෙන්නේ එදා ඉඳලයි.
නාගයාට කිරි තබා ඇති අයුරු ,බෝධිය අසල පඬුරු ගැට ගසා ඇති අයුරු
කෝවිලේ පූසාරිවරයා අපිත් එක්ක කිව්වේ මේ කෝවිලට ඇවිත් කවුරුන් හෝ බාරයක් වුණොත් එය නියත වශයෙන්ම ඉටු වන බවයි.
(ප්‍රදේශවාසීන් හා පූසාරි විසින් ලබා දෙනු ලැබූ තොරතුරු අනුව ලිපිය සකස් විය)
තරිඳු ජයවර්ධන සහ
සිතුම් චතුරංග