කඩුගන්නාවේ අඩිපාර මහපාරක් කළ සුදු ඉංජිනේරුවා-2
බ්‍රිතාන්‍ය යුද හමුදා නිලධාරියකු වූ මේජර් ජේම්ස් කෝඩිනර් තමා කරන රාජකාරිය අතරතුර සිදවූ සමහර සිදුවීම් යටපත් කර තබා ගැනීමට පුරුදුව සිටි අයෙකි. එම සටහන් පසුකාලීනව මුද්‍රිත කෘතියක් හැටියටද එළිදැක්විණ.
ජේම්ස් කෝඩිනර්ගේ කෘතියෙහි මහා මාර්ගයක් කපන්නට පෙර බලන ප්‍රදේශයේ පැවැති පරිසරය විස්තර කර තිබේ. එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ බ්‍රවුන්රිග් සහ එම ආර්යාව කොළඹ සිට උඩරටට ගිය ගමන් විස්තරයක්ද ඔහු සටහන් කර ඇත. එම ගමන බලන හරහා මාර්ගය කැපීමට පෙර කාලයේ සිදුවූවකි. පහත පළවන්නේ ඔහුගේ ගමන් විස්තරයෙන් උපුටා ගැනීමකි.
අපගේ ඊළඟ සංචාරය උඩරටටයි. ආණ්ඩුකාරතුමාත් එම ආර්යාවත් පහතරට සිට උඩරටට යන දුෂ්කර සංචාරයට එක් වූහ.
අපගේ ගමනේදී හංවැල්ලේ කොටුව දක්වා සාමාන්‍ය තැනිතලාව විය. ඉන්පසු එළඹියේ හෙට්ටිමුල්ලය. එම ස්ථානයට යන විට කඳුබෑවුම් දැකගත හැකිය. මාර්ගය දුෂ්කරය.
(ඔහු විස්තර කරන්නේ උඩරට සහ පහතරට අතර ගමන් මාර්ගය වූ අවිස්සාවේල්ල, හංවැල්ල, අරන්දර හෙට්ටිමුල්ල හරහා බලන කඳු පංතිය යටින් විහිද ගිය මාර්ගය ගැනය. සැබැවින්ම මෙය මාර්ගයක් නොව අඩිපාරක් විය. මහා යුද ගමන්වාරවලදී අලිඇතුන්ගේ ගමන් නිසා තැනිතලාවේ පාරවල් හැදුණද බලන දක්වා වූයේ අඩිපාරය.)
මෙම ගමනේදී ආණ්ඩුකාරතුමාත් එතුමාගේ ආර්යාවත් දෝලා දෙකක තබා ඔසවාගෙන යන ලදී. එය දර්ශනීය පෙරහරක තත්ත්වය නිරූපණය වූ අවස්ථාවක් විය. දෝලාවලට පසුපසින් ආණ්ඩුකාරතුමාගේ නිලධාරීහු අශ්වයන් පිට නැගී පැමිණියහ. ඒ පිටුපසින් ආවේ ආවතේවකරුවන්ය. එහෙත් පෙරහර අවසන් නැත. ඉන්පසුව ආවේ ගෙජ්ජි බැඳි අශ්වයකු පිට නැඟුණු පළාතේ දිසාවේය. ඔහුගේ අශ්වයාගේ ආවතේවයට එම සතා දෙපසින් ආ කුදිරකරුවන්ද එයටත් පිටුපසින් විවිධාකාර ඇඳුමින් ඇරඹුණු දිසාවේගේ ආවතේවකරුවන් පිරිසද දැකගත හැකි විය. දිසාවේගේ බලය සංකේතවත් කරන කොඩි සහ තල්අතු අතින් ගෙනසිටි එම පිරිසට පිටුපසින් තවත් පිරිසක් අශ්වයන් පිට නැගී ආ අතර දිසාවේගේ අභිමානය පෙන්වන පල්ලැක්කිකරුවන් හා බර ඔසවන පිරිස එහි සිටියහ.
එංගලන්තයේ අපේ හිතවතුන් මෙම පෙරහර දුටුවේ නම් එය විගඩමක් යැයි සිතෙන්නට ඉඩ ඇතත් මේ රටේ මිනිසුන් පුරුදු වී සිටි පිළිවෙල මෙය වේ. ඔවුන්ගේ ඉහළ මුලාදෑනින් ගමන් කරන්නේ මේ පිළිවෙළටය.
අපේ ගමන මහත් දුෂ්කරතාවකට පත්ව තිබුණේ රටේ මේ කොටසේ නවාතැන් පොළවල් කිසිත් නැති නිසාය. මේ නිසා ජලය ආහාර ඇතුළු තමන්ට අවශ්‍ය සියලු දේ රැගෙන යාමට සිදුවීම අපගේ ගමනට දුෂ්කරතා එකතු කළේය.
අනතුරුව අපි ගංගාවක් අසලට පැමිණියෙමු. එය පෘතුගීසින් සහ දේශීය ජනයා නිතර ගැටුණු ස්ථානයක් විය. එහි කුඩා කොටුවක්ද ගෝලාකාර කඳුමුදුන් තුනක්ද ඇත. වසර තුනකට පෙර කැලෑවට යටව තිබූ එම ස්ථානය අද කඩමණ්ඩියකි. එම ස්ථානයේදී ගතට විඩාවක් නොදැනුණේ පරිසරය සීතලට තිබුණ නිසාය. එහි උස මුහුදු මට්ටමේ සිට අඩි 631ක් විය.
අපගේ ඊළඟ නැවතුම වූයේ අමුණුපුරයි. අපට ඈතින් බලන කටුවැටිය පෙනුණි. අපි තවත් ඉදිරියට ගියෙමු. එතැන අලි අල්ලා ගන්නා කොටුවක් විය. එය හතරැස්ය. ශක්තිමත් කණු සිටුවා ආවරණය කර ඇති එහි දොරටුව කුඩාය. කොටුව මැද සුවිසල් වෘක්‍ෂයකි. මෙරට අලි ඇතුන් අල්ලා ගන්නා ක්‍රමය ඉතා ලෙහෙසිය. මෙසේ අල්ලා ගන්නා අලි ඇතුන් මහනුවර රාජධානිය කරා දක්කාගෙන යයි. සත්වයා සුදුසුයැයි ප්‍රධානීන්ගෙන් අනුමත වුවහොත් මෙම කොටුවට ගෙනැවිත් විලංගු දමා ගසේ බැඳ තබයි. ටික දිනක් යන විට ආහාර හිඟකම නිසා මෙම සත්තු බෙලහීන වී යටත්වෙති. සමහර සත්තු ආහාර ප්රතිෙක්ෂ්ප කර හාමතේම මියයති. අපි මෙම කොටුව තුළ ගසක බැඳ සිටි අලි හය දෙනකු දුටුවෙමු.
ඉන්පසු අප බලන කදුවැටිය නැගීම ඇරඹීමු. එය මුහුදු මට්ටමේ සිට අඩි තුන්දහසක් උසින් සිටියේය. එම කන්ද නැගීම මා සිතා සිටි තරම් අසීරු වුණේ නැත. ස්කීනර් මෙහි පාර කැපීමට පෙරනම් කන්ද නැගීම දුෂ්කරව තිබෙන්නට ඇත.
(මෙම පාර බලන කඳුවැටිය පාමුලට කැපූ පාර මිස ඩෝසන්ගේ පාර නොවේ.)
අාර්යාව කඳුමුදුනට ඔසවාගෙන ගිය දෝලාකරුවන්ට පවා එතරම් වෙහෙසක් නොදැනුණේ පරිසරය සිසිල්ව තිබූ නිසාය. අවට තිබුණේ සුවිසල් ගසින් යුතු මහා වනාන්තරයකි. එයද සුවදායක විය. අපි ඒ ජීවිතය වින්දෙමු.
කඳුමුදුනට නැගීමට පෙර ස්ථාන දෙකක බෑවුම් දෙකක් ඔස්සේ යා යුතු කුඩා කපොලු දෙකක් ඇත. එකක් ඉතා පටු කපොල්ලකි. එය මැදින් ඉතා වේගයෙන් ගලන දියපාරක් ඇත. අනෙක් කපොල්ලේ සොල්දාදුවන් කිහිප දෙනකු නැවතී සිටින අන්දම දුටුවෙමු. අලි අල්ලන කොටුව සෑදීම සඳහා ගස් කපන්නේ එහිය. කුඩා දියපාර සතර කෝරලය සහ යටිනුවර වෙන් කරන ස්ථානය වේ.’’
කෝඩිනර්ගේ ගමන් විස්තරය ඉතා වැදගත් වන්නේ ඔවුන්ගේ ගමන 1815 දී බ්‍රිතාන්‍යයන් උඩරට අල්ලා ගත්තාට වසර කිහිපයකට පසු සිදුවූ නිසාය. ආණ්ඩුකාරවරයා බලන හරහා මහා මාර්ගයක් කපන්නට තීරණය කළේ මෙම ගමනින් පසුවය.
කපිතාන් ඩෝසන්ට මහාමාර්ගය කැපීමේ කටයුතු භාරවූයේ ඉන්පසුවය. මාවනැල්ලේදී මාඔය හරහා පාලමක් තැනීම එකල ඔහුට මහත් අභියෝගයක්ව තිබිණ. මාඔය හරහා තිබූ ගල්තලාව විද ගල් වෙඩි දමා පුපුරුවා හරිද්දී ප්‍රදේශවාසීන්ට එය මහත් පුදුමයක් වන්නට ඇත්තේ එයට පෙර එවන් පිපිරීම් ඔවුන්ට නුහුරු නුපුරුදු නිසාය. ගල්තලාව විදින හැටි බලන්නට අහල ගං හතේම සිට කොලු කුරුට්ටෝද මහල්ලෝද වැල නොකැඩී පැමිණියහ. වැඩ බිම පණ ගසා තිබිණි.
‘‘මේව අම්ම මුත්තගෙ කාලෙ කරපුවද...? හෙණ සද්දෙට පිපිරුවා... ගිහින් බලපුවාම ගල් පරුවතයක් තිබ්බ තැනක් නෑ..’’ අහල ගමක වැඩිහිටියෙක් කීවේය. ඩෝසන්ගේ පාර හදන නඩය ගැමියන්ට ඇතිකර තිබුණේ පුදුමයක් සහ කුහුලකි.
‘‘මං බැලුවා ඔය ඉවුර... එක මල් බුලත් තට්ටුවක් තියල නෑ.. මේවා ආවාට ගියාට කරන වැඩ නෙවෙයි.. මේක අලුත් නුවර දැඩිමුණ්ඩ දෙයියන්ගේ අඩවිය.. උන්නාන්සේ කෝප ගන්නගෙන නං වැඩ කරන්න බෑ පුතෝ..’’ තවත් වැඩිහිටියෙක් කීවේය.
ඩෝසන් සිතුවේ වියළි කාලගුණය වෙලාවේ වැඩේ පටන් ගත්තොත් පාලම ඉක්මණින්ම අවසන් කළ හැකි බවය. අණ දීම ඔහුගේ රාජකාරියටද වැඩ කිරීම කම්කරුවාගේ රාජකාරියද වේ.
1826 වසරේ ඉදිකිරීම් ආරම්භ වූ මාවනැල්ල පාලම ඉංගිරිසි හා ලාංකික වාස්තුවිද්‍යාවේ අපූරු සංකලනයකි. ආරුක්කු හතරකින් යුතු මෙම පාලම ඉදිකර ඇත්තේ තනිකරම පිළිස්සු ගඩොලෙනි. ගඩොල් පිළිස්සීම සඳහා මැටි බදාමය මී පැණි සහ බිත්තර සාරු සමග මිශ්‍රකර ඉන්පසු පුළුස්සාගත් බව කියැවේ. මෙම මිශ්‍රණය පුරාණ ලංකාවේ බොහෝ ආගමික ඉදිකිරීම්වලදී යොදා ගත් මිශ්‍රණයකි. මීපැණි හා බිත්තර සාරු සමඟ මැටි මිශ්‍රකිරීම දිගු කාලීන සවිශක්තිය සඳහා දේශීය ඉදිකිරීම් තාක්‍ෂණයේ මහඟු තෝරාගැනීමකි.
මාවනැල්ල පාලම සැදුවේ කවුරු....
අත්තිවාරමට ගත්තේ සොඳගල් පතුරු.
බදාමයට ගත්තේ බිත්තර සාරු...
පාලම තිබේ මේ කප පවතිනා තුරූ..
මාවනැල්ලේ ගැමියා පාලම ගැන වර්ණනා කරන්නේ ඒ විදිහටය.
පාලම ඉදිකිරීම සඳහා කළුගල් පතුරු සිය ගණනක් යොදාගෙන ඇත. මාඔය යනු නිරතුරුව වේගවත් ගංවතුර ගලන ජලමාර්ගයකි. කළුගල් තලාවක් පාදමට ගෙන ඒ මත දැවැන්ත කළු ගල් කුට්ටි අතුරා මෙහි අත්තිවාරම සකසාගෙන ඇත. උසින් අඩි 35ක්ද පළලින් අඩි 30ක්ද වන පාලම ඕනෑම ගංවතුරකට ඔරොත්තු දෙයි.
පාලම ඉදිකිරීම සඳහා ගඩොල් කපා ඇත්තේ මැටි අනා ඒවා අලි ඇතුන් ලවා පෑගීමෙනි. පුරාණ වාරි කර්මාන්තයේදී වැව් බැමි ඉදිකිරීමේදීද දාගැබ් ඉදිකිරීමේදීද අත්තිවාරම ඇතුන් ලවා පාගවන ක්‍රමය ප්‍රසිද්ධව පැවතුනි. මාඔය හරහා ඉදිකරන මෙම පාලම සඳහාද කපිතාන් ඩෝසන් දේශීය ගැමි ජනතාව අතර ප්‍රකටව තිබුණ මෙම ශිල්පීයඥානය පාවිච්චි කළේය. එය සාර්ථක වූ බව අද දක්වාම බිඳවැටීමකින් තොරව පවතින පාලම දෙස බැලීමෙන් පෙනෙයි.

මාවනැල්ලේ ගඩොල් පාලම - ඡායාරූපය සමන් විජය හෙම්මාතගම
මෙම පාලම කොන්ක්‍රීට් සහ සිමෙන්ති භාවිත නොකර සෑදූ ලෝකයේ ඇති එකම පාලම ලෙස වාර්තා ගතව ඇත.
ගඩොල් කපා පුළුස්සා ගැනීමෙන් පසු පාලම ඉදිකිරීම අැරඹිණ. එහෙත් මේ සියල්ල ලේසි පහසු කාර්යයක් නොවීය.
ජලගැලීම් කිහිපයකින් පාලමේ පාදමට හානි සිදුවිය. ගල්වෙඩි පිපිරීමෙන් සහ හදිසි අනතුරුවලින් කම්කරුවෝ විශාල පිරිසක් මරුමුවට පත්වූහ. මේ වන විට ඉන්දීය කුලී කරුවන් කිසිවක් කරකියා ගත නොහැකිව බියෙන් ගැහෙමින් සිටිබව ජනප්‍රවාදයේ එයි. අවසානයේ ඔවුන්ට පිහිටවූයේ අවට ගැමියන්ය.
‘‘මේක දැඩිමුණ්ඩ දෙයියන්ගෙ අඩවිය. උන්වහන්සේට අපි කියන්නෙ අලුත්නුවර දෙයියො කියලා. උන්නාන්සේට පූජාවක් තියල මේ වැඩේ පටන් ගත්තානම් අතුරු ආන්තරා නෑ...’’ හදිසි අනතුරු ගැන ගැමියන් කී කතා ඉන්දියානු කුලීකරුවන්ගේ සවනටද වැටිණි. ඔවුන් සිටියේ බියෙන් මුසපත් වෙමිනි.
දැඩිමුණ්ඩ දෙවියන් මෙරටට ආවේද ජනී ජනයා අතර පූජනීයත්වයට පත්වෙමිනි.
‘‘අපේ බෝධිසත්වයො නේරංජනා නදී තීරයේ බුද්ධත්වය ලබමින් ඉඳිද්දී තණ්හා, රතී, රඟා කියන මාර දූතිකාවො ටිකත් දස බිම්බර මාර සෙනඟත් පිරිවරාගෙන මාරයා සිද්ධාර්ථ බෝසතාණන් ළඟට එනවා. මාරයා හදන්නෙ සම්මා සම්බුද්ධත්වයෙ කඩඉම මත ඉන්න උන්නාන්සෙ ළඟට භයංකාර වේෂයකින් ආක්‍රමණයක් කරන්ට.. මේක කඩඉම් අවස්ථාවක්... පරචිත්ත විජාරන ඥානය, ලෝකෝත්තර ඥානය ලබමින් ඉන්න වෙලාව උන්නාන්සෙගෙ සිතුවිලි එක තැනක තියාගෙන ලබන්න ඕනෑ මහා බලගතු ඥානයක්... ඒක කඩල දැම්මොත් ආයෙ බුදු බව ලබනවා බොරු...
විවිධ වේෂ අරන් විවිධ ආයුධ අරන්, පිරිමියකුගෙ සිත කඩල ගන්න පුළුවන් දූතිකාවො අරන් මාරයා එන්නෙ අද නම් මම දිනනවා කියන චේතනාවෙන්... මොකද දන්නවද වෙන්නෙ... මේ මහා භයංකාර මොහොත උන්නාන්සෙගෙ ආරක්‍ෂාවට හිටිය සියලු දෙවිවරු පණ එපා කියල පැනල දුවනවා. දැන් මාරයා දිනනවද කල්ප කෝටි ගාණක් පෙරුම් පුරල දිනන්න ඔන්න මෙන්න කියල ඉන්න පාරමී ධර්මවල බලය දිනනවද කියල හිතෙන වෙලාව..
ඔන්න එතකොට වෙසමුණි දෙයියො මේ මොහොත දකිනවා. උන්නාන්සෙ වහාම එතෙන්ට එවන්නෙ දැඩිමුණ්ඩ දෙයියන්ව.. දැඩි හිතක් තිබ්බ දැඩිමුණ්ඩ දෙයියො දැඩි මුගුරක් වන වනා මේ බිමට ආවා... සිදුහත් බෝසතාණන් වහන්සෙ සියලු බාහිර බැඳීම් අත හැරලා මාර දූවරුන්ගෙ සියලු නැටුම්වලට අවධානය අත හැරලා උතුම් වූ බුද්ධත්වය ලබා ගන්න සිතුවිලි මෙහෙයවමින් ඉන්නවා.
මාරයා දැක්ක දැඩිමුණ්ඩ දෙයියො අතේ තිබූ මුගුරෙන් මාර සේනාවට බැට දෙනවා. දැඩිමුණ්ඩ උන්වහන්සේ ඒ ප්‍රහාරය නතර කරන්නෙ මහා මේරු පර්වතයේ තිබ්බ වසවර්ති මාරයාගෙ මාලිගාවත් පොඩි පට්ටම් කළාට පස්සෙ.. බුදු හාමුදුරුවො පහළ වෙන්නෙ අන්න ඒ මොහොතෙ.. සිදුහත් බෝසත් තුමා බුද්ධත්වය අත්පත් කර ගන්නෙ අන්න ඒ මොහොතේ.
අන්න ඒ දැඩි හිතක් තිබ්බ දැඩිමුණ්ඩ දෙයියො තමයි අපේ අලුත් නුවර වැඩ වාසය කරන්නෙ.. උන්නාන්සෙගෙ දැඩි හිත මෙලෙක් කරන්න ලේසියෙන් බෑ.. ඉස්තීරෙටම උන්නාන්සෙ මේ බිමේ ඇවිදිනවා.. තමන්ට නොකියා ගල් පර්වත පෙරළනවා උන්නාන්සෙ එතෙන්ට ගිහිල්ලාම බලා ගන්න ඇති.’’ ගැමියන් දැඩිමුණ්ඩ දෙවියන් ගැන කියා සිටියේ ඒ අයුරිනි.
දැඩිමුණ්ඩ බල පරාක්‍රමය එතැනින් අවසන් වූයේ නැත. ඔහු ලංකාවට ආවේ තම සටන් ශක්තිය තවත් වැඩි කර ගැනීම සඳහාය. තමන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බුදුරජාණන්වහන්සේගෙනුත් පැසසුම් ලැබූ දැඩිමුණ්ඩ ලක්දිව තිබූ පුරාණ අංගම්පොර ක්‍රමය ඉගෙනීම සඳහා මෙහි ආවේය. අංගම් සටන් ශාස්ත්‍රය පරතෙරටම ඉගෙන ගත් දැඩිමුණ්ඩ දෙයියන් බලංගොඩ ග්‍රාමයේ මහ දේවාලයක් ඉදි කරන්නේ ඉන්දියාවේ වඩිගපුරයේ සිට ගෙන්වා ගන්නා වහලුන්ගේ උදව්වෙනි.
ඊට පස්සේ උන්නාන්සේ මාවනැල්ලේ අලුත් නුවරට සැපත් වෙනවා. සැපත් වෙලා අද වෙනකල්ම එතන ඉඳල අපේ රට රකිනවා.’’
‘‘ලක් රන් දෙරණ රැකදෙන දෙවි දැඩිමුණ්ඩ
වක්කොට හරින් රුපුණගෙ උගුරෙහි දණ්ඩ...
ඔන්න ඔහොමයි දැඩිමුණ්ඩ දෙයියන්නෙ බලය රැඳිලා තියෙන්නේ ගැමියන්ගේ හඳුන්වා දීම එසේ විය.
(මතු සම්බන්ධයි)
ප්‍රේමකීර්ති රණතුංග
ඡායාරූප සමන් විජය බණ්ඩාර