දෑහිතකාමීන් බිහිකළ බළපිටිය


බළසෙන් රැස් කළ පිටිය 
භට පිටිය බළපිටිය 
වූ බව කියනවා

 

 

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි බළපිටිය ගිහි පැවිදි ජනනායකයන් රැසකගේ ඡන්ම භූමිය වශයෙන් චිරප්‍රසිද්ධියට පත්වූ ගම්මානයකි.  


ජාතික හා ආගමික වශයෙන් විවිධ තාඩන පීඩනවලට නොබියව මුහුණ දෙමින් ජාතික හා ආගමික ප්‍රබෝධය ඇති කිරීමට බළපිටියෙන් බිහිවූ ජනනායකයන් ක්‍රියාකොට ඇත.   


ඓතිහාසික පානදුරා වාදයෙන් මුළු ලොවටම කිතුගොස නැංවූ වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි මෙන්ම ශ්‍රී ලංකා අමරපුර සමාගම පිහිටුවා වදාළ වැලිතොට ඤාණවිමල නාහිමි, ඒ.යූ.ඒ. ඥානතිලක වැනි යතිවරයාණන් වහන්සේලා ඡන්ම දායාදය ලැබූ පුන්‍ය භූමිය බළපිටියයි.  

 

බළපිටියෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයන්ගේ නාමාවලිය සිහිපත් කිරීමේදී ජාතික දේශපාලනයේ නියුතු වූ ජාතික නායකයන් කීපදෙනෙකුගේ නම් මේ මොහොතේ සිහිපත් වේ. නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැති ශ්‍රීමත් ලලිත රාජපක්ෂ, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල්පාට සහ අත ලකුණ මෙන්ම සිය නමෙන් පක්ෂයට නම තැබූ සල්ගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවරයා ද නිදහස් ශ්‍රී ලංකාවේ කුරුණෑගල ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වූ රාජ්‍ය නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක, අනුරාධපුරය සහ පොළොන්නරුව මහදිසාපතිවරයා වශයෙන් සිට පසුව පොළොන්නරුව මින්නේරිය අසුනින් පාර්ලිමේන්තුව නියෝජනය කළ සභානායක සී.පී. ද සිල්වා, කළුතර බෝධිය ගොඩනැංවූ සෙනෙට් සභික අධිනීතිඥ සිරිල් ද සොයිසා වැනි ජනහිතකාමී ජනනායකයන් රැසකගේ නිජභූමිය වූයේ මේ ​ඓතිහාසික බළපිටියයි.  


පරිසරයේ චමත්කාරජනක සොඳුරු දසුන් මවමින් ගලා බසින මාදු නදිය මහා සයුර සිපගන්නේද බළපිටියෙනි. එය මුළු ප්‍රදේශයටම මහත් වූ ආශිර්වාදයකි. මුලින්ම බළපිටිය යන ග්‍රාම නාමය බළපිටියට ලැබී ඇත්තේ කෙසේද යන්න සොයා බැලුවෙමි. මුලින්ම මාදු ගඟ හඳුන්වා ඇත්තේ ‘වැලි ගඟ’ යනුවෙනි. වැලි ගඟ මුහුදට වැටුන තැන ‘වැලිතොට’ වූ අතර වැලිතොට වැලිතර යනුවෙන් හඳුන්වා ඇත.   


තිසර සංදේශකරුවා අද බළපිටිය එදා වැලිතොට වශයෙන් දුටුවේ මේ අයුරිනි.  


මුතුපට සේය වැලිතර උඳුල මුවදොර   
දියපිට සේය දිසිවරු තගෙ මැ මනහර  
සහතුට ඒය සියලිය යන සැකිනෙ වර  
වැලිතොට ඒය ඉන්ලැසි නොව යව මිතුර  


අදත් මුතුපට වැනි වැලි තලයකින් හෙබි වැලිතොට මුහුදු වෙරළට ස්වදේශිකයන් මෙන්ම වි​ෙද්ශිකයන්ගේද මන බැඳගන්නා බව නොරහසකි. දඹදෙණි යුගයේ සිටි දේවපතිරාජ ඇමැතිවරයා කේරළයෙන් පැමිණි සතුරු සේනා පරාජය කිරීමට භට පිරිස රැස්කළ පිටිය පසුව භටපිටිය වශයෙන් හඳුන්වා ඇති අතර, බොහෝ දෙනාගේ උච්චාරණ පහසුවට භටපිටිය පසුව බළපිටිය වූ බව ගමේ ජීවත්වන පැරැන්නෝ පවසති. බළපිටිය පුරාණය සොයා යෑමේදී හමුවූ ත්‍රිවිධ හමුදා ආගමික උපදේශක, බළපිටිය උතුර ශාසනාරක්ෂඛ බලමණ්ඩලයේ සභාපති කොස්ගොඩ සිරි විමල නාහිමියන් බළපිටිය ගැන අදහස් දැක්වූයේ මේ අයුරිනි.  


“පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණවලින් බළපිටියේ ශ්‍රී විභූතිය විනාශ වී ගියත් පසු කාලීනව බිහිවූ උගත් හිමිවරුන් සහ බෞද්ධ ජනනායකයන් තවදුරටත් ඉතිරිවී ඇති ඒ නටබුන් රැක ගැනීමට ක්‍රියාකළ බව මේ මොහොතේ සඳහන් කිරීමට පුළුවන්. මහින්දාගමනයෙන් පසු සඟමිත් තෙරණිය ගෙන ආ සිරිමාබෝධියේ දෙතිස් ඵල බෝධීන් වහන්සේලාගේ අවසන් බෝධිය මේ බළපිටිය වාලුක තීර්ථයේ රෝපණය කරලා තිබෙනවා. දේවානම්පියතිස්ස රජු දවස සිදුවූ ඒ සිදුවීමත් සමඟ මේ ප්‍රදේශය බෞද්ධ ජනපදයක් බවට පත්වෙලා තියෙනවා. ඉසුරුමුණි කප්පිත බමුණා සමඟ පැමිණි නා නා කුලවල අය මෙහි පදිංචි වූ බව ඉතිහාසයෙන් අපිට පෙන්වා දෙනවා. දේවානම්පියතිස්ස සොයුරු මහනාග, මුණුබුරු ගෝඨාභය රජු විසින් බළපිටියේ අභිනව විහාරයක් වාලුක තිත්ථ විහාරය නමින් ගොඩ නංවනු ලැබ ඇත.  


පොළොන්නරු යුගයේදී විජයබා රජුට ඔටුණු පළඳවන්නට පැමිණි බ්‍රාහ්මණයන් අතුරෙන් වැඩි පිරිසක් බළපිටියේ පදිංචි වෙලා තිබෙනවා. දඹදෙණි යුගයේදී දේව පතිරාජ අමාත්‍යවරයාගේ බලමධ්‍යස්ථානය වුණේ මේ බළපිටියයි. බළපිටියේ ශ්‍රේෂ්ඨ යුගයක් වශයෙන් ‘දේවපතිරාජ’ යුගය හඳුන්වා දීමට පුළුවන්. වැලිතර ඥාණවිමල නාමිහියන්ගෙන් ඇරඹුන අපේ භික්ෂු පරපුර මේ රට ශාසනික උන්නතිය වෙනුවෙන් ඉටුකර ඇති මෙහෙවර අපමණයි. බළපිටිය තරම් වෙහෙර විහාරස්ථාන අැති ප්‍රදේශයක් මේ ලංකාවේම ඇත්තේ නැහැ. ඒ තරමටම වෙහෙර විහාර සාදා සසුනට පූජා කරන්න අ​ෙප් ප්‍රදේශයේ මුතුන් මිත්තන් ක්‍රියාකරලා තිබෙනවා. ඊළඟට මේ ප්‍රදේශයෙන් බිහිවූ පැවිදි පඬිවරු පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, හින්දි වැනි භාෂා ශාස්ත්‍රඥානයෙන් අනූන භික්ෂූන් වහන්සේලා බව සිහිපත් කළ යුතුයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පියාණන්ගේ ගමත් බළපිටියේම කොස්ගොඩ හෑගල්ල වීම නිසා රණසිංහ ප්‍රේමදාස මහතා ‘පියගම’ යනුවෙන් ගම්මානයක් හදා සිය පියාණන්ට ගෞරව කළා. ඊළඟට මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ වූ රාජකීය පණ්ඩිත කොස්ගොඩ ධම්මවංශ නායක හාමුදුරුවෝ සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහනායක ධුරයෙන් පිදුම් ලැබූ යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේත් මුළු බළපිටියටම ගෞරවය ගෙන දුන් යතිවරයාණන් වහන්සේ නමක්” බව අවසන් වශයෙන් කොස්ගොඩ සිරි විමල නාහිමියෝ පැවසූහ.  


බළපිටියේ පුරාණය ගැන බො​ෙහා් කරුණු දන්නා එ්වා සොයමින් නිතර අධ්‍යනයක නිරත වී සිටින අහුන්ගල්​ලේ දේ.සු. ද සොයිසා ඒ අතීත තොරතුරු විස්තර කළේ මෙසේය.  


“බළපිටියේ විශාලත්වය කිලෝමීටර් 64ක් වෙනවා. ග්‍රාමසේවා වසම් 52ක්ද ගම්මාන 110කින් සමන්විත බළපිටියේ පවුල් 18,578ක් මෙන්ම මුළු ජනගහනය 77,780ක් වෙනවා. ප්‍රධාන වැවිලි භෝග ගැන කථා කළොත් පොල් සහ කුරුඳු ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්වෙලා තිබෙනවා.   


කුරුඳු වගාවට මෙන්ම පොල් වගාවට ඉතාම සරු පොළොවක් පිහිටීම නිසා මේ වැවිලි භෝග දෙකෙන්ම සරුසාර අස්වනු නෙළා ගැනීමට අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ ඉඳලා අද දක්වාම සමත් වෙලා තියෙනවා. බළපිටියේ තිබෙන ප්‍රධාන කර්මාන්ත ගැන කථා කළොත් කොහු කර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තයද ඈත අතීතයේ ඉඳලම බළපිටියේ තිබිලා තියෙනවා. 

 
1931 සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් පස්සේ ගාලු දිසාවේ අාසන තුනකට බෙදෙනවා. ඒ තමයි උඩුගම, ගාල්ල, බළපිටිය කියලා. එසේ මැතිවරණ කොට්ඨාස තුනක් බෙදුන අවධියේ ඉඳලා බළපිටිය මැතිවරණ කොට්ඨාසයක් වශයෙන් තිබිලා තියෙනවා. දඹදෙණිය යුගයේ සිටි දේවපතිරාජ ඇමැතිවරයාත් බළපිටියේ පුත්‍රයෙක්. එ් ඇමැතිවරයාගේ සොහොන තිබෙන්නෙත් මේ බළපිටිය ප්‍රදේශයේම තමයි. බළසෙන් පිටිය බළපිටියේ දේවපතිරාජ ඇමැතිවරයාගේ කාලයේ අංගම්පොඩිවරු 5ක් ඉඳලා තියෙනවා. සේනා සංවිධානයේදී ඔවුන් ඉදිරියෙන්ම ඉඳලා තියෙනවා. අදටත් ඒ අගම්පොඩි වාසගම තියෙන අය මේ ගම්වල ජීවත් වෙනවා. බළපිටිය ආසනයෙන් මුලින්ම රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයා වන්නේ බළපිටිය ගරුමුණි වලව්වේ රොබට් සොයිසා මහත්තයා. ගරුමුණි වලව්වෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු තුන්දෙනෙක් බිහිවෙනවා. ඒ තමයි කුරුණෑගලින් 1948 පාර්ලිමේන්තුවට පැමිණෙන රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහත්තයා, ඊළඟට බළපිටිය අම්බලන්​ෙගාඩ බහුමන්ත්‍ර්‍රී ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට යන ඉයන් ද සොයිසා මහතා ද ගරුමුණි වලව්වේ අයෙකි. 1948 මහා මැතිවරණයෙන් පළමු වතාවට ‘මාමයි බෑණයි’ දෙන්නම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ තමයි බළපිටියේ රොබට් සොයිසා මහතා මාමා වන අතර කුරුණෑගලින් පාර්මේන්තුව ජයගන්නා රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංකයන් බෑණා වීමයි. ඊළඟට 1970 දී මාමයි බෑණලා දෙන්නෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එයින් මාමා සහ එක බෑණනුවන් කෙනෙක් බළපිටියෙන් පත්වෙනවා. ඒ මාමා තමයි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බෑණා බළපිටිය ජයගන්නා ලංකා සමසමාජ පක්ෂයේම නීතිඥ පී.ඩී. වීරසිංහ ද සිල්වා මහත්තයා. ඊළඟට අනෙක් බෑණා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් කළවාන අසුනින් පාර්ලිමේන්තුවට පැමිණි නීතිඥ සරත් මුත්තෙට්ටුවේගම මහතායි. මේ දෙදෙනාම කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දියණියන් දෙදෙනා සමඟ විවාහ වූ බෑණාවරු දෙදෙනා වන්නේය. 


බළපිටියේ වලව් ගැන කතා කිරීමේදී බලපිටියේ වලව් ඉතිහාසයේ කිරුළ වශයෙන් හඳුන්වන්න පුළුවන් වලව්ව තමයි ‘මහා කප්පින වලව්ව’ කියන්නේ. මේ වලව්වේ හිමිකරු වූයේ සැම්සන් රාජපක්ෂ මහා මුදලිතුමා තමයි. ඉඩම් හිමි වැවිලිකරුවකු වූ සැම්සන් රාජපක්ෂ මුදලිතුමා සම්බුදු සසුන වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ මුදලිවරයෙක්. අමරපුර නිකායික ශ්‍රී සද්ධම්මවංශ පාර්ශ්වයේ උපසම්පදා පුන්‍යකර්මය සිදු කරන්නේ මහා කප්පින උදකුක්ඛේප සීමා මාලකයේ තමයි ගම්පෙරළිය, විරාගය, කලියුගය, ගම්පෙරළිය ටෙලි නාට්‍යය පවා රෑගත කිරීම් සිදුවූ ස්ථානය තමයි බළපිටියේ මහා කප්පින වලව්ව කියලා කියන්නේ. සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගෙන් පසුව ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා කොළඹ ආනන්ද විදුහලට වර්තමාන මරදානෙන් ඉඩම් පරිත්‍යාග කළ එකම දානපතියා වුණේ බළපිටියේ ටියුඩර් රාජපක්ෂ මුදලි බව මේ මෙහොතේ සඳහන් කරන්න ඕනෑ. ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාගේ පුත්‍රයා වුණේ හියුබට් රාජපක්ෂ මහතාය. ඔහු තමයි දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා යන ගීතය ඉංග්‍රීසි බසින් ගායනා කළේ. හියුබට් රාජපක්ෂ මහත්මයාට පුතුන් දෙදෙනෙක් හිටියා. එක පුතෙක් තමයි ඒ කාලේ හදිසි අනතුරකින් මියගිය ගිරිජා රාජපක්ෂ කියලා කියන්නේ. අනෙක් පුත්‍රයා හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ ජයනාත් රාජපක්ෂයන්ය. ඔහුද පසුගිය කාලේ අභාවප්‍රාප්ත වුණා. ඊළඟට හාරඹ වලව්ව අද අනුලා විජේරාම ළමා නිවාසය වශයෙන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයෙන් පාලනය වන ළමා නිවාසයක්. ප්‍රථම අධිකරණ ඇමැති ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මේ වලව්වෙන් බිහිවූ අයෙක්. හාරඹ වලව්වේ හිමිකරු වූයේ ලුවී ද සොයිසා ජයතිලක මහතා තමයි. ඔහුගේ මුණුපුරා වූයේ ශ්‍රීමත් ලලිත රාජපක්ෂයි. ඒ මහතාගේ නැගණිය වූ අනුලා රාජපක්ෂ මහත්මිය විවාහ වූයේ කොළඹ දොස්තර විජේරාම මහතා සමඟයි. 


කොළඹ විජේරාම මාවත තියෙන්නේ ඒ දොස්තර මහත්තයාගේ නමින් තමයි. පසුකාලීනව අනුලා රාජපක්ෂ විජේරාම මහත්මිය මේ ‘හාරඹ වලව්ව’ ළමා නිවාසයකට පරිත්‍යාග කළා. බළපිටියේ තිබෙන පැරණිම නිවෙස තමයි ‘හාරඹ වලව්ව’ කියලා කියන්නේ. ඒක හදලා තියෙන්නේ 1918. මේ හාරඹ වලව්වේ හිටපු මුල්ම හිමිකරුවා වූ ලුවී ද සොයිසා ජයතිලක ශ්‍රීමතාණන් තමයි විසිරිලා තිබුණ ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ එකට එකතු කරලා මුද්‍රණාද්වාරයෙන් එළි දැක්වීමට ක්‍රියාකරලා තියෙන්නේ. රන්දොඹේ සේනානායක වලව්වේ හිමිකරු වූයේ දොන් මැන්දිස් වික්‍රමසිංහ සේනානායක මහතායි. ඒ මහතා විනිසුරුවරයෙක් වශයෙන්ද ක්‍රියාකර ඇති අතර පොත් පත් රැසක් රචනා කළ ගත්කතුවරයෙක්.  

 

 

බස්නායක වලව්වේ ජීවත් වූ ඒබ්‍රාහම් මැන්ඩිස් ගුණසේකර මහතා භාෂා ශාස්ත්‍ර පිළිබඳ හසල දැනුමක් තිබූ කෙනෙක්. එතුමා තමයි ඉංග්‍රීසි F අකුරට සිංහලෙන් ‘ෆ’ අකුර නිර්මාණය කළේ. ඔහු තමයි මුලින්ම සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් නිර්මාණය කළේ. අහුන්ගල්ලේ ගල් වෙහෙර වලව්ව, නොතාරිස් වලව්ව, කුරුඳුවත්තෙ වලව්ව, පාරේ වලව්ව, අහුන්ගල්ල වලව්වේ දිනේෂ් කළුවත් ආබ්‍රේව්, කළුවත් හෙන්ද්‍රික් අාබ්‍රේව්, කුරුඳු දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු දැරූ අයෙක්. ඊළඟට රෝන්දේ වලව්ව. ඉස්සර මුදලිවරු හා ලන්දේසීන් සංචාරය කරලා ඇවිත් නතර වන ස්ථානය රෝන්දේ වලව්ව වශයෙන් හඳුන්වනවා. පත්තුවේ වලව්ව, ගොඩගම වලව්ව, ආදාදොළ රත්නගිරි වලව්ව ආදී වලව් රාශියක් බළපිටිය සතුව තිබෙනවා.  


බළපිටියෙන් බිහිවූ කලාකරුවන් ගැන සඳහන් කිරීමේදී විශාල පිරිසක් ඉන්නවා. ළමා ගත්කාව්‍ය ආදී රචනා රැසක් බිහි කළ මහකවි ආනන්ද රාජකරුණා මෙන්ම ලංකා සමසමාජ පක්ෂය යැයි ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂයට නම තැබූවේද බළපිටි පුත්‍රයෙකි. 


එපමණක් නොව සිංහල සිනමාවේ ප්‍රකට නිළියක මෙන්ම හෙළයේ ගීත කෝකිලාවිය වූ මුල් කාලයේ ඩේසි ඩැනියෙල් නමින් හැඳින්වූ රුක්මණී දේවියට ඒ නම තබා ඇත්තේද ඔහුය. ඊළඟට හෙළයේ ගීත කෝකිලයා වූ බද්දලියනගේ දොන් ජෝසප් ජෝන්ට සුනිල් ශාන්ත යනුවෙන් නම තබා ඇත්තේ මේ බළපිටි පුත්‍රයාය. ඔහු අන් කවරෙකුවත් නොව ජයන්ත වීරසේකර නම් මහා පඬිවරයාය. ඔහුට පැවැති දියුණු ජ්‍යොතිෂ ඥානයද උපයෝගී කර ගනිමින් තැබූ මේ නම්වලින් ඔවුන්ගේ කීර්ති රාවය පැතිර ගිය බව රහසක් නොවේ. ‘හෙළ හවුල’ යන නමද තමා ඇත්තේ ජයන්ත වීරසේකරයන් ය. ලංකා ජාතික සංගමයේ ජේ.අාර්. ජයවර්ධන මහතා සමඟ සමලේකම් ධුරය ද මෙතුමා දරා තිබෙනවා. ඔහුගේ පුත් සංගීත ක්ෂේත්‍ර​ෙය් දුටු දුර්ලභ සංගීතධරයෙක් වුණු වික්ටර් රත්නායක ගායනා කරන ‘සිහිල් සුළං රැල්ලේ’ යන ගීතය ඇසෙන විට සිහිපත් වෙන ඔහු සංගීතඥ සේන වීරසේකරයන්ය. විවියන් ද සිල්වා බොරලැස්ස ගායනා කරන ‘දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී සිනා පපා ටිකිරි නඟා’ යන ගීතය රචනා කළ පණ්ඩිත කිවිපති විමල් අබේසුන්දරයන්ද අපේ බළපිටි පුත්‍රයෙකි. ‘වැල්ලබඩ විමල’ හිමි නමින් පැවිදි දිවියක් ගෙවූ එතුමා පසුව උපැවිදිවී සාහිත්‍ය ලෝකයට අමිල මෙහෙවරක් ඉටුකළ කලාකරුවෙකි. ඔහුගේ පුත් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ද ඒ මඟ යන විද්වතෙකි. වතුරේගම විමලඛත්ති හිමි නමින් සිට පසුව උපැවිදි වූ විමලේන්ද්‍ර වතුරේගම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම කවියෙකු වශයෙන් ප්‍රකට වුණා. ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා වූද, ජනකාන්ත ගායන ශිල්පී ජෝතිපාලයන්ට ‘කොතනක සිටියත් ඔබ මෙළොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ’ වැනි ගීත රැසක් ලියූ චිත්‍රානන්ද අබේසේකරයන්ද බළපිටි පුත්‍රයෙකි. හෙළ සිනමා වංශ කතාවේ නොමැකෙන සිහිවටන තැබූ ප්‍රකට සිනමාවේදියෙකු වූ තිස්ස අබේසේකරයන්ද බළපිටියේ පුත්‍රයෙකි. නීතිඥයෙකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ නාමෙල් වීරමුණි මහතාද බළපිටියෙන් බිහි වූ අයෙකි. තවත් රංගධරයෙකු වන ජීවන් හඳුන්නෙත්ති ද බළපිටියේ උපන් අයෙකි.  


වර්තමාන දේශපාලනය ගැන තකා කරද්දී බදුල්ලෙන් ඡන්දේ ඉල්ලුවත් නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා වර්තමාන ප්‍රවාහන ඇමතිවරයා බළපිටි​ෙයන් බිහිවූ ජනතා පුත්‍රයෙකි. එපමණක් නොව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මෙන්ම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ද බළපිටි පුත්‍රයන්ය.  


නැවතත් ඉතිහාසය ගැන කථා කළොත් දොන් කොස්මෝ විජේසේකර මුහන්දිරම්වරයා බළපිටිය බ්‍රාහ්මණවත්ත වලව්වේ සිට පරදේශක්කාරයන්ට විරුද්ධව සටන් කළ නායකයෙකි. ඔහුගේ මුණුපුරෙකු වශයෙන් වීර කැප්පෙටිපොළ නිළමේතුමා සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ ජනහිතකාමී විරෝධාර නායකයෙකි. 1971 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන කතා කළොත් රෝහණ විජේවීර ළඟින් සිටිය සගයන් අතර කෙලී සේනානායක බළපිටියේ උපන් අයෙකි. රක්වාන ආසනය එජාපයෙන් නියෝජන කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා වූ හැරල්ඩ් කුලරත්න බළපිටියේ පුත්‍රයෙකි. හිටපු සභානායක හා ප්‍රවාහන අමාත්‍යවරයෙකු වූ විජයපාල මෙන්ඩිස් මහතාගේ සීයා සිලියස් මෙන්ඩිස් මහතා ද බළපිටියේ උපත ලද්දෙකි. ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන කතා කළොත් සිදත් වෙත්තමුණි, නුවන් සොයිසා, 80 දශකයේ හදිසි අනතුරකින් මියගිය ඩී.එල්.එස්. ද සිල්වා, සීක්කුගේ ප්‍රසන්න, මිරැන්ඩු යන ක්‍රීඩකයන් සම වර්තමාන ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් බළපිටිය පුත්‍රයන් වීම බළපිටියට ආඩම්බරයකි.  


වර්තමාන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා වන කපිල වෛද්‍යරත්න මහතා මෙන්ම වර්තමාන යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාද බළපිටි පුත්‍රයෝ දෙදෙනෙක් වීම බළපිටියට අභිමානයක්” බව දේ.සු. ද සොයිසා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.  


ඊළඟට බළපිටියේ සිරිත් විරිත් චාරිත්‍ර ගැන කථා ක​ළේ වලිමුනි විනිදාස මෙන්ඩිස් ය. “අපේ පැරැණි චාරිත්‍ර වාරිත්‍ර ගැන කථා කිරීමේදී මාස 12කට වරක් පැමිණෙන ඇසළ පුන්පෝය දවස ‘සුද්දේ පෝය’ නමින් හඳුන්වනවා. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා අලුත් මුට්ටිවල කිරිබත් වගේම හාල් පිටිවලින් සෑදූ හාල් කිරිවලින් මිශ්‍රකර නැවුම් ආහාර පාන, කෙසෙල් කොළවලට බෙදා මුල්​කොටස කතරගම දෙවියන් උදෙසා නිවෙස ඉදිරියේ තැනූ පහන් පැලක තබා දෙවියන්ට පිං දී නිවෙසේ සියලු දෙනාම එකතු වී ආහාර අනුභව කිරීම මේ ගම් පළාත්වල සිදුවන ඉතාම වැදගත් චාරිත්‍රයකි. එයට මස් මාළුවල කිසිදු සම්බන්ධතාවක් ඇත්තේ නැහැ. මේ දානයෙන් පසු පළතුරු වර්ග ද පවුලේ සියලු දෙනාම සමඟින් අනුභව කරනවා. පවුලේ සාමූහික බව වගේම අසල්වාසීන්ගේ ඇති එකමුතු බව විදහාපාන චාරිත්‍රයක් මෙන්ම දෙවියන්ට පුද පඬුරු පූජා කරන දේව දානයක් වශයෙන් මේ සුද්දේ පෝය හඳුන්වා දෙන්න පුළුවන්. ඇසළ පුන්පොහෝ දින තිබෙන මේ සුද්ද පෝයට ඈත පළාත්වල වාසය කරන ඥාතීන් පවා ගම රටට එන දිනයක් තමයි සුද්දේ පෝය කියන්නේ.  


ඊළඟට බළපිටියේ බලමාළුත් හරිම ප්‍රසිද්ධයි. බලමාළු හොඳ රසට උයන්න අපේ පළාතේ කාන්තාවන්ට පුළුවන්. බළපිටියේ බලමාළු උයලා පොල් සමඟ අනුභව කිරීම අපේ ගමේ මිනිසුන්ගේ සිරිත. අපේ මුළු පරිසරයේම හදවත තමයි මාදු ගඟ කියලා කියන්නේ. දූපත් රාශියක් මේ මාදු ගඟේ තිබෙනවා. මාදුව, වඳදූව, කොත්දූව, සත පහේ දූව ආදී දූපත්වලින් මේ ගඟ අලංකාර වෙලා තිබෙනවා. ඕළු මුවා නම් මාදු ගඟ කලාපයට ආවේණික මුව වර්ගයක් ඉන්නවා. සමනළ වර්ග 30ක්ද උරඟ විශේෂ 11ක් ද කුරුළු විශේෂ 7ක් ද ක්ෂීරපායී සතුන් විශේෂ 6ක්ද මේ පරිසර කලාපයේ ජීවත් වෙනවා. සංක්‍රමණික කුරුල්ලෝ 10%ක් ඉන්නවා. මත්ස්‍ය වර්ග 70ක් ද මත්ස්‍ය විශේෂ 2ක් ද ආසියාවේ රතවිල්ල දුර්ලභම කඩොලාන ශාක 50ක් මේ කලාපයේ තිබෙනවා. ‘රම්සා’ තෙත් බිම් කලාපයේ සංරක්ෂිත පරිසර කලාපයක් වශයෙන් මාදු ගං තීරයේ පරිසරය රැකගත යුතු පරිසරයක්. සංචාරකයන් පැමිණීම සමඟ බෝට්ටුවලින් වැටෙන ඉන්ධන හා දුමෙන් මෙහි ජලයත්, පරිසරයත් දූෂිතවීම වළක්වා ගත යුතු වෙනවා. බළපිටියට ස්වභාවධර්මයෙන් දී තිබෙන මේ අගනා වස්තුව රැක ගැනීම අපි කාගේත් වගකීම හා යුතුකම වෙනවා. 


අපේ ගම් පළාතේ සිදුවූ පැරණි දේශපාලන සිද්ධියක් තියෙනවා. එ්කත් මතක් නොකළොත් හොඳ නැහැනේ. ඒ තමයි 1953 ශත 25ට තිබුණ හාල් සේරුව ශත 75 කළ අවස්ථාවේ කොළඹ ගාලු පාරේ රන්දොඹේදී කොහු කර්මාන්තයේ නියැලුණ අය ඇතුළු අපේ ගමේ මිනිස්සු කොහු තලන පොලුත් රැගෙන ඇවිත් ගාලු පාර අවහිර කරමින් රොටි පුච්චගෙන කමින් විශාල හර්තාලයක් කළා මට මතකයි. මෙවැනි සුන්දර සහ අමිහිරි අත්දැකීම්වලින්ද අ​ෙප් ගම් පළාත අමරණීය වෙලා තිබෙනවා.” අවසන් වශයෙන් ජිනදාස මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.  

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ