අශෝක රජතුමා බුදු දහම වෙත නැඹුරු වූයේ කාලිංග යුද්ධයෙන් මිනිස් ජීවිත රැසකට සිදු කෙරුණු විනාශය දැකීමෙන් ඇති වූ කලකිරීමෙන් බැව් අපේ වංශ කතාවල සඳහන්වේ. ඔහු නිග්‍රෝධ නමැති කුඩා සාමණේර නමකගෙන් බණ ආසා බුදුදහම වැළඳගත් බවත් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරේ ධර්මය හදාළ බවත් පැවසේ. අශෝක රජුගේ 13 වැනි ගිරි ලිපියේ කාලිංග යුද්ධය පිළිබඳව සඳහන්ය. යුද්ධය සිහිපත් කරන විට තම සිතට දැඩි කම්පාවක් පැනනැෙගන බවද, මින්පසු කිසි කලෙක කිසිදු රාජ්‍යයක් අත්පත් කර ගැනීම සඳහා යුද නොවදින බවද සැමට මෛත්‍රිය, ආත්ම දමනය හා ශාන්තිය ප‍්‍රාර්ථනා කරන බවද එහි සඳහන් කර තිබේ.
පාහියන් භ්‍රමණවෘත්තාන්තයේ (ගමන් විස්තරයේ) සඳහන් වනුයේ රජුගේ වධකාගාරයේ දණ්ඩනයට නියමව සිටි භික්ෂුවකගෙන් බණ ඇසීමෙන් පසු එතෙක් මිථ්‍යදෘෂ්ටිකව සිටි රජතුමා බුදු දහම වැළඳගත් බවකි. භික්ෂුවගෙන් බණ ඇසූ රජතුමා වධකාගාරය විනාශ කොට එම ස්ථානයේ චෛත්‍යයක් කරවූ බැව් හියුං සාංගේ ගමන් විස්තරයේ ද සඳහන්ය. අශෝක අධිරජු චෛත්‍ය 84,000ක් ඉදිකරන ලද බවත් ඒ සියල්ල අතුරින් ප‍්‍රමුඛස්ථානය හිමිවූයේ වධකාගාරය විනාශකොට එම ස්ථානයේ ඉදිකරන ලද චෛත්‍යයට බවත් හියුං සාං භික්ෂුව සඳහන් කරයි.
හියුං සාංගේ ගමන් විස්තරයට අනුව අශෝක රජතුමා වධකාගාරය විනාශ කර දැමීය. ඔහු විසින් බුදුදහම වැළඳ ගනු ලැබුවේ උපගුප්ත නම් මහ රහතුන්වහන්සේ නමකගෙන් යැයි දිව්‍යාවදාන නමැති මහයාන බෞද්ධ ග‍්‍රන්ථයේ සඳහන්ය. හියුං සාං ද මෙය සනාථ කරයි. ඔහුගේ සඳහන අනුව උපගුප්ත මහරහතන්වහන්සේගෙන් බණ ඇසූ අශෝක අධිරජ උන්වහන්සේ අමතා මෙසේ කීය. ‘පෙර පිනෙන් රාජ්‍ය බලය ලද නමුදු මා හට බුදුරදුන්ගෙන් බණ අසා මාර්ගඵල අවබෝධ කර ගැනීමට පින් නොමැති විය. දැන් මම උන්වහන්සේගේ ධාතූ තැන්පත් කර තැබීම සඳහා චෛත්‍ය ඉදිකොට මහත් පූජා කරනු කැමැත්තෙමි’යි පැවසීය. එහිදී රජතුමාගේ පෙර භවයක ඔහු බුදුරදුන්ට මැටි පිඩක් පිදූ අවස්ථාවක බුදුන්වහන්සේ රජුට පලකළ අනාවැකියක් පිළිබඳව මහරහතන්වහන්සේ සිහිපත් කළ සේක. බුදුන් ජීවමාන සිටි අවධියේ මේ රජතුමා ජයා නමැති ගැමි දරුවකු ලෙස වෙනත් භවයක ඉපදී සිටියේය. දිනක බුදුන් වහන්සේ පිඬු සිඟා වැඩි අවස්ථාවක මාවතේ ක්‍රිඩා කරමින් සිටි කුඩා දරුවා මහත් ගෞරවයකින් යුතුව මැටි දෝතක් ගෙන උන්වහන්සේට පූජා කළේය.
බුදුන්වහන්සේ දරුවාට අනුකම්පා කර එම මැටි පිඩ පිළිගෙන විහාරයට පැමිණ එම මැටි සක්මන් මළුවෙහි විසුරුවාලූ සේක. එම කුසලයෙන් මේ භවයේදී ඔබ අධිරාජ්‍යත්වය ලැබුවේයැයි තෙරුන්වහන්සේ ප‍්‍රකාශ කළ බවට හියුං සාං භ‍්‍රමණවෘත්තාන්තයේ (ගමන් විස්තරයේ සඳහන්ය.
අශෝක රජතුමා කලක් භික්ෂූන් සමඟ ජීවත් වූ බවට සාධක ඇතැයි ‘අශෝක’ නමින් කෘතියක් පළ කළ ඉන්දියානු ඉතිහාසඥයකු වන ආචාර්ය රාධ කුමුද් මුකර්ජි සඳහන් කරයි. 7 වැනි සියවසේ ඉන්දියාවට පැමිණි චීන භික්ෂුවක වූ ඉන්සිං, අශෝක රජතුමා සිවුරු දරන භික්ෂුවක ලෙස දැක්වෙන කැටයමක් සාංචියේදී දුටු බැව් සඳහන් කර තිබේ. බ‍්‍රහ්මගිරි සෙල් ලිපිය අනුව රජතුමා මහා සංඝයා වෙත එළැඹ කෙටි කලකින් විසල් ධර්මාවබෝධයක් ලද බැව් සඳහන්ය.
බුදුදහම වැළඳගත් අශෝක අධිරාජයා ක්‍රි.පූ. 250 වැනි කාලයේ මෞර්ය රාජ්‍ය පුරාද අනෙකුත් රාජධානිවල හා පසුව ලොව පුරාද බුදු දහම ව්‍යාප්ත කිරීමට අනුග‍්‍රහ දැක්වූ බවට ඉතිහාසඥ ඒ.එල්. බෂාම්ගේ ‘ද වොන්ඩර් දැට් වෝස් ඉන්ඩියා’ නමැති කෘතියේ සඳහන්ය. ශ්‍රී ලංකාවේ බුදු දහම ව්‍යාප්ත කරනු සඳහා ඔහු තම පුත‍්‍රයා වන මහේන්ද්‍ර (මිහිඳු) භික්ෂුව සහ දියණිය සංඝමිත්තා මෙහෙණිය මෙහි එවීය. මහේන්ද්‍ර යනු අශෝක අධිරාජයාගේ සහ ඔහුගේ බිසවක වූ වේදිසා මහාදේවි ශාක්‍යකුමාරි නොහොත් දේවී බිසවගේ වැඩිමහලු පුත‍්‍රයාය. ක්‍රි.පූ. 3 වැනි සියවසේ උජ්ජේනයේ උපත ලද මහේන්ද්‍ර කුමරා ශ‍්‍රමණ දිවියට පිවිසියේ 20 හැවිරිදි වියේදීය. ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල යන භික්ෂූන් සහ සුමන සාමණේරයන් සමඟිනි. දීපවංශය හා මහාවංශයට අනුව ශ්‍රී ලංකාවට වැඩම කළ මිහිඳු හිමි ඇතුළු පිරිස දේවානම්පියතිස්ස රජතුමාට බුදුන් සරණ යන්නට මඟ පෙන්වා දුන්හ.
ඉන්දියානු ඉතිහාසඥයන්ගේ නිගමනය අනුව අශෝක අධිරාජයාට අවශ්‍ය වූයේ තම වැඩිමහලු පුත‍්‍රයා තමාගෙන් පසු රාජ්‍යත්වයට පත්වනු දැකීමටය. වෛශ්‍ය කුලයේ මවකගෙන් උපත ලද බෞද්ධ කුමාරයකු තමන්ගේ අධිරජ බවට පත්වනවාට සාම්ප‍්‍රදායික හින්දු සමාජය අකමැති විය. මහේන්ද්‍ර කුමරුට අධිරජ පදවියට පත්වීමට කැමැත්තක් නොවූ බැව් ද පැවසේ. මහේන්ද්‍ර නොහොත් මිහිඳු කුමරා බෞද්ධාගම ප‍්‍රචාරය සඳහා ශ්‍රී ලංකාවට යැවීම පසුපස ඇත්තේ ආධ්‍යාත්මික පසුබිමකට වඩා දේශපාලන පසුබිමක් බවට ඉන්දියානු ඉතිහාසඥයෝ තර්ක කරති. තමා සොහොයුරු සුෂීම ඝාතනය කළ අයුරින් මහේන්ද්‍රගේ අනෙකුත් සොහොයුරන් මහේන්ද්‍ර ද ඝාතනය කරනුු ඇතැයි බියට පත් අශෝක රජතුමා ඔහු ශ්‍රී ලංකාවට එවන ලදැයි ඔවුහු සඳහන් කරති.
අශෝක රජුට මහේන්ද්‍ර නමින් සොහොයුරෙකු සිටි බැව් හියුං සාං තම භ‍්‍රමණවෘත්තාන්තය නමැති කෘතියේ සඳහන් කර තිබේ. එම කුමරා පැවිදි වූවකු බවත් රාජ මන්දිරයෙන් උතුරු දෙසට වන්නට පර්වතයක් මෙන් පෙනෙන ගලින් තනන ලද විශාල ගෘහයක් අශෝක අධිරාජයා විසින් ඔහු උදෙසා ඉදිකරනු ලැබ තිබූ බවත් එහි සඳහන්ය. ඉහත සඳහන් මහේන්ද්‍ර කුමරු අශෝකගේ පිය රජු වූ බින්දුසාරගේ අන්‍ය දේවියකගේ පුත‍්‍රයකු බවද ඔහු නීතියට ගරු නොකළ, ධනය නිකරුණේ වියදම් කළ පුද්ගලයකු බවද එහෙයින් නොසතුටට පත් රටවැසියන් හා ඇමතිවරුන් ඔහුට දඬුවම් පැමිණවිය යුතු බවට ඉල්ලා සිටි බැවින් අශෝක රජු ඔහුට දඬුවම් පැමිණවීමට පියවර ගත් බවත් හියුං සාං සඳහන් කරයි. තමාට යහපත් පුද්ගලයකු වීම සඳහා දින හතක කාලයක් ලබා දෙන මෙන් මහේන්ද්‍ර කුමරු එහිදී ඉල්ලා තිබේ. රජු ඔහු අඳුරු ගුහාවෙක දමා එම කාලය තුළ යහපත් පුද්ගලයකු විය යුතු බවට අණ කළේය. සත් දිනක් ගුහාව තුළ බවුන් වැඩූ කුමරු රහත් ඵලයට පත් විය. සතුටට පත් අශෝක රජතුමා ඔහුගේ වාසයට ඉහත කී ගෘහය තනා දුනි. හියුං සාංගේ විස්තරයේ එන මහේන්ද්‍ර නොහොත් මිහිඳු නමැති භික්ෂුව ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ආ මිහිඳු හිමියන් නොවන බවද, අශෝක රජුගේ සොහොයුරා, මිහිඳු නොව ශ‍්‍රමණ දිවියට පත් තිස්ස නමැති යුව රජු විය යුතුයැයිද, හියුං සාං අශෝක රජුගේ පුත‍්‍රයාගේ නම කිසියම් දෝෂයක් නිසා සොහොයුරා ලෙස සඳහන් කර ඇති බවද අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ පෙන්වා දෙති.
අශෝක රජතුමා 36 වසරක් රාජ්‍යය කරවූ බැව් පැවසේ. බෞද්ධාගම ලොව ප‍්‍රචලික කරවූ බෞද්ධ නායකයන් අතර පැහැදිලි නිදර්ශකය අශෝක රජතුමා ලෙස සැලකිය හැකිය. ඔහු මගපෙන්වීම සහ ශක්තිය ලබා දීමෙන් නොනැවතී නිරිත දිග ආසියානු කලාපය පුරා ථෙරවාදය ප‍්‍රචාරය කිරීමට හා එය පිළිගත් රාජ්‍යය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට ද පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාවේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ජෝන් හියුබට් මාෂල් සහ ඉන්දියාවේ පුරාවිද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් හා මෝටිමර් වීලර් වැනි පුරාවිද්‍යාඥයෝ අශෝක රජු බෞද්ධාගමේ උන්නතිය සඳහා කරවන ලද පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් සාන්චිය, සාරානාත්, මහබෝධිය සහ තක්ෂිලාව වැනි ප‍්‍රදේශවලින් අනාවරණ කර ගැනීමට සමත් වූහ.
අශෝක රජතුමා විසින් පනවන ලද ආඥා 33ක් අශෝක ස්ථම්භවල, ගල් පර්වත මත සහ ගුහා බිත්තිවලින් හමුවී තිබේ. මෙම ආඥා සහිත සෙල්ලිපි වත්මනෙහිද ඉන්දියානු හා පාකිස්තානු භූමියේ දැකිය හැකිය. එමගින් බෞද්ධාගම ප‍්‍රචලිත කළ බවට නියත සාක්ෂි සපයා ගත හැකි වේ. අශෝක රජතුමා සම්බන්ධ තොරතුරු ඇතුළත් ක්‍රි.ව. 2 සියවසේ රචිත බවට සැලකෙන ‘අශෝකවඩන’ නමැති ග‍්‍රන්ථයේ අශෝක රජතුමා බෞද්ධ භික්ෂූන් අතර පැවැති සමීප සබඳතා පැවැත්වූ බවට සඳහන් වේ. මෙම ග‍්‍රන්ථය ක්‍රි.ව. 300 පමණ පාහියන් භික්ෂුව විසින් චීන බසට පෙරලනු ලැබ තිබේ.
බෞද්ධ දර්ශනය මිනිසුන්ට පමණක් නොව සතුනට හා ගහකොළට ද එකසේ වැදගත් බැව් අශෝක අධිරාජයාගේ විශ්වාසය විය. ඔහු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා ස්තූප, සංඝාරාම, විහාර හා චෛත්‍ය රැසක් ඉදිකළේය. අශෝකවඩන ග‍්‍රන්ථයට අනුව බුදුන්ගේ සර්වඥධාතු තැන්පත් කිරීම සඳහා ඔහු ස්තූප 84,000ක් ඉදිකරවීය. මෙම ස්තූප වන්දනා කිරීම සඳහා එම ස්ථානවලට අශෝක රජතුමා තම අශ්වරථයෙන් ගමන් කරන ලදැයි ‘ආර්යමන්ජු ශ්‍රී මූලකල්පය’ නමැති ග‍්‍රන්ථයේ සඳහන්ය. අශෝක රජතුමා ධර්මාශෝක බවට පත් වූයේ මෙම ස්තූප සහ විහාර ඉදිකිරීමෙන් පසුව යැයි තෝමස් විලියම් රයිස් ඩේවිස් නමැති පඬිවරයා ඔහුගේ ‘අශෝක ඇන්ඩ් ද බුද්ධ රෙලික්ස්’ නමැති ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. බුදු දහම වැළඳ ගැනීමෙන් පසු රජුට දේවානං පියෙ පියදසි ලාජා (දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශි රජ) දේවානං පියෙ අසෝක (දෙවියන්ට ප්‍රිය වූ අශෝක) වැනි නම් පටබැඳී තිබේ.
බෞද්ධාගම ප‍්‍රචලිත කිරීම සඳහා මහේන්ද්‍ර නොහොත් මිහිඳු නමැති තම පුත‍්‍රයා සහ දියණිය සංඝමිත්තා ශ්‍රී ලංකාවට පිටත් කර යැවූ අශෝක රජතුමා මජ්ඡුන්තික ස්ථවිර කාෂ්මීරයට හා ඇෆ්ගනිස්තානයටද, මහා රක්ෂිත ස්ථවිරයන් සිරියාව, පර්සියාව, ඉරානය, ඊජිප්තුව, ග්‍රීසිය, ඉතාලිය හා තුර්කිය වැනි රටවලටද, මජ්ක්ධිම නමැති ස්ථවිරයන් ඇතුළු භික්ෂූන් පිරිසක් නේපාලය, භූතානය, චිනය සහ මොන්ගෝලියාව වැනි රටවලටද, සෝන සහ උත්තර ස්ථවිරයන් කාම්භෝජය, ස්වර්ණභූමි නමින් එකල හැඳින්වුණු බුරුමය, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවලටද, මහා ධම්මරක්ඛිත ස්ථවිර මහාරාශ්ට‍්‍රයටද, මහා රක්ඛිත ස්ථවිර හා යවන ධම්මරක්ඛිත ස්ථවිර දකුණු ඉන්දියාවටද ධර්ම ප‍්‍රචාර සඳහා පිටත් කරන ලදැයි එම ග‍්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන් වේ. මිථ්‍යාදෘෂ්ටියෙන් අපවිත‍්‍රවෙමින් පැවැති බුදුදහම පවිත‍්‍ර කිරීමේ අරමුණින් ක්‍රි.පූ. 250දී 3 වැනි ධර්ම සංගායනාව සිදුවූයේ අශෝක රජුගේ මූලිකත්වයෙන් වූ අතර මොග්ගලීපුත්ත තිස්ස මහරහතුන්ගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
අශෝක අධිරජු බුදුන්වහන්සේ විසින් දෙසන ලද දසරාජ ධර්මයෙන්, සතර සංග‍්‍රහ වස්තු හා සතර බඹ විහරණ අනුව අවිහිංසාව මූලික කරගත් ප‍්‍රතිපත්තියකට යටත්ව රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු කෞටිල්‍යගේ අර්ථශාස්ත‍්‍රයේ එන ඇතැම් නියමයන්ද අනුගමනය කළේය. නීති පද්ධතියේ විවිධ ප‍්‍රතිසංස්කරණ සිදු කළ රජු ‘දණ්ඩ සම්හාර’ සහ ‘ව්‍යවහාර සම්හාර’ වැනි නව නීති හඳුන්වා දුන්නේය.
අශෝක රජුගේ අභාවය සිදු වූයේ ක්‍රි.පූ. 232දීය. ඔහුගේ සිරුර, පුරා දින හතක් මුළුල්ලේ දැවුණු බව පැවසේ. ඔහුගේ මරණින් පසු මෞර්ය රාජ වංශය පැවතියේ තවත් වසර 50ක් වැනි කාලයක් පමණි. අශෝක අධිරාජයාට ප‍්‍රධාන බිසෝවරුන්ට අමතරව තවත් බිසෝවරු විශාල පිරිසක් හා දරුවන් බොහෝ දෙනෙක් සිටි බැව් සඳහන් වුවද ඔවුන්ගේ නම් අඥාතය. අගබිසව වූ අසන්ධිමිත‍්‍රාහට දරුවන් නොමැති බැව් පැවසේ. අශෝකගෙන් පසු දශරථ, සම්ප‍්‍රාති, ශලිෂුක, දේවර්නම්, ශතධනවන් සහ බ්‍රිහාද්‍රථ යන රජවරු මෞර්ය රාජ්‍යය පාලනය කළහ. ක්‍රි.පූ. 322දී ඇරඹි මෞර්ය රාජධානිය ක්‍රි.පූ. 180දී අවසන් වූයේය.
මතු සම්බන්ධයි.
ප්‍රියන්ජන්
සුරේෂ් ද සිල්වා