මණිමේඛලා දෙවඟන සොබාදහමේ සියලු ශක්තීන් නියෝජනය කරන්නීය. ඇසට පෙනෙන සිතට දැනෙන බුද්ධ ශක්තිය විශ්වයේ සැරිසරන නොපෙනෙන දේව ශක්තීන් ඒ තුළ පවතියි. සියලු ශක්තීන් විශ්වාස කළ යුතුයි. විශ්වාස කිරීම යනු පිහිට ඉල්ලීමයි. එවිට පිහිට ලැබෙනු නියතයි. එක් වරක් විශ්වාසය මත රැඳී බලන්න.
සිතේ ශක්තිය, සිතේ විශ්වාසය රැඳුණු බිම්කඩ කුමක්ද? හදවතේ ප්‍රාර්ථනාවන් රැඳුණු බිම්කඩ කුමක්ද?
ඒ මණිමේඛලා දෙවඟනගේ පුදබිමයි.
මතු බුදුවන පත්තිනි මෑණියන්ගෙන් වරම් ලැබූ මුහුදු දෙවඟන හෙවත් කරුණාවේ දෙවඟන කවරෙක්ද?
ඒ මණිමේඛලා දෙවඟනයි.
සැබැවින්ම මෙම මණිමේඛලා දෙවඟන යනු කවරෙක්ද?
මුහුදට අධිපති දෙවඟනයි. කරදිය මෙන්ම මිරිදියටද අධිපතිකම් දරයි. පත්තිනි මෑණියන්ගෙන් දේවත්වයේ වරම ලබා සිටියි. එය රසවත් කතා පුවතකි.
ඒ පත්තිනි මෑණියන් සීනිගම පුදබිම වැඩ සිටි කාලයයි. පත්තිනි මෑණියන් වෙත පැමිණි විෂ්ණු දෙවියන් පත්තිනි මෑණියන්ට පවසා සිටියේ මෑණියන්ගේ සහෝදරයන් හත්දෙනා මුහුදේදී අනතුරට ලක්ව සිටින බවයි. අනතුරට පත් සහෝදරයන් බේරාගැනීම පත්තිනි මෑණියන් පැවරුවේ මුහුදු දෙවඟනටයි. ඒ මණිමේඛලා දෙවඟනටයි. දෙවඟන ඔරු හතක් මවා පත්තිනි මෑණියන්ගේ සහෝදරයන් හත්දෙනා ආරක්ෂා සහිතව ගොඩබිමට ගෙන්වා බේරාගත් බව මණිමේඛලා කතා වස්තුව දක්වයි.
දෙවඟන කළ මෙම උපකාරයට ප්‍රතිඋපකාර කරමින් තමන්ගේ පුදබිමත්, ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ හිමිකම මණිමේඛලා දෙවඟනට ලබාදෙමින් පත්තිනි මෑණියන් වැඩම කරනු ලැබුවේ නවගමුව පත්තිනි දේවාල බිමටයි. පවරා දීම සමගම මණිමේඛලාවන්ට හිමිකර දෙනු ලැබූවේ දේවත්වයේ වරමයි. දේවත්වයේ වරම මණිමේඛලාවන්ට ලබාදෙමින් පත්තිනි මෑණියන් කළ ප්‍රකාශයක්ද මණිමේඛලා කතාව සඳහන් කරයි.
දියණියනි, මගේ පුදබිම දැන් තුන් ආකාරයකින් පූජනීය වී තිබේ. අද සිට මෙහි මව් දෙවඟනක් සිටියි. ඒ පත්තිනි දේවතාවිය වන මමයි. මතු දේවත්වයට පත්වන දෙවිවරු හත් දෙනෙක්ද සිටියි. ඒ මගේ සහෝදරයන් හත් දෙනායි. දේවත්වයට පත්වූ දේවතාවියක්ද සිටියි. ඒ මණිමේඛලා දේවතාවියයි. අද මේ තිදෙනා එකවිට, එකට මුණ ගැසී සිටියි. මේ හේතුව මතම අද දිනය බෙහෙවින් බලගතුයි. එම බලගතු බව කොටස් දෙකකින් යුක්තයි. ඉන් පළමුවැන්න වනුයේ බුද්ධත්වය ලබන දේවතාවියක් මෙහි සිටීමයි. දෙවැන්න වනුයේ එලෙස බුද්ධත්වය ලබන උත්තමාවියකගේ අසූ මහා ශ්‍රාවකයන්ගෙන් එක් කොටසක්ද මෙහි සිටීමයි.
මාගේ දියණියනි, මෙතෙක් කලක් මා සතුව පැවැති මාගේ සීනිගම පුදබිම ඇතුළු රුහුණු ප්‍රදේශය මෙතැන් සිට රැකීම නුඹට බාරයි. සීනිගම පුදබිමට පැමිණෙන සියලු පිහිට පතන්නන්ට මණිමේඛකලාවනි, නුඹ පිහිට විය යුතුයි.
දියණියනි, නුඹගේ රැඳෙන විමානය වූ වරුණ ලෝකයෙන් ඕනෑම මොහොතක නික්මීමට නුඹ සූදානම්ව සිටිය යුතුයි. වරුණ ලෝකයෙන් නික්මෙන නුඹ පිහිට ඉල්ලන්නන් සිටින තැන්හි සැරිසැරිය යුතුයි.
දියණියනි, අද දින නුඹ බුද්ධ ශ්‍රාවකයෙකි. පෙර ආත්ම භවයක නුඹ හින්දු භක්තිකයෙකි. එම ආත්ම භවයන් දෙකෙහිම නුඹ මනුෂ්‍යයෙකි. මෙයින් නුඹ වටහාගත යුතු දෙයක් තිබේ. ඒ මනුෂ්‍ය ප්‍රජාවේ සියල්ලන්ට නුඹ එක හා සමානව සැලකිය යුතු බවයි.
දියණියනි, නුඹට ජාති භේද නොතිබිය යුතුයි. ආගම් භේද නොතිබිය යුතුයි. කවරකු හට හෝ අසමාන කොට නොසැලකිය යුතුයි. නුඹ කරුණාවේ දෙවඟන වනුයේ එම අර්ථයෙනුයි.
නුඹ සිටින මාගේ පුදබිම මුහුදු ගම්මානයක්. මේ කලාපයේ ජීවත්වන මුහුදට අධිපති මුහුදු දෙවඟන වන ඔබට මා රැස්කරගන්නා පින්වලින් කොටසක් ඔබේ දේවත්වයට මම අනුමෝදන් කරන්න කැමතියි.
පත්තිනි මෑණියන්ගෙන් දේවත්වයේ වරම් ලැබූ මණිමේඛලා දෙවඟන සතු ශක්ති වරම් මණිමේඛලා කතා වස්තුව මෙසේ දක්වයි.
දරුඵල අහිමි කන්තාවන්ට දරුවන් ලබාදීමට ඇති දිව්‍යමය හැකියාව. ගර්භණී මාතාවන්ගේ දරුගැබ ආරක්ෂා කිරීමේ විශේෂ වරම. විවාහ අපේක්ෂා ඉටුකරදීමේ වරම. නවග්‍රහ අපල දුරුකරලීමේ හැකියාව.
වා, පිත්, සෙම් කුපිත වූවන් එයින් මුදවාලීමේ හැකියාව. ජලය ආශ්‍රිත රැකියා කරන්නන්ට පිහිට වීමට ඇති හැකියාව. රැකියාවේ දුක් කරදර දුරු කිරීමට ඇති බලය. ජීවිතය උසුලන සියලු දුක පියවරෙන් පියවර ඉවත් කරයි. සියලු දනන්ගේ දුකට පිහිට වෙයි බිඳුණු ප්‍රාර්ථනාවන් ඉටු කරයි.
යහපත උදෙසා වන මණිමේඛලා පූජාව අනුහස් සහිතයි. අනුහස් ලැබීමට නම් අනුහස අයදිනු ලබන්නන් ඒ සඳහා පිළිවෙත් සමූහයක් පිරිය යුතුයි. කතා වස්තුව එය දක්වා තිබෙනුයේ මෙම ආකාරයටයි.
පළමුව සත් දිනක් පේවිය යුතුයි. අවමය දින තුනක් විය යුතුයි. එම දිනයන් තුළ කිළි ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. පේවූ දිනට පසු එළඹෙන පළමු කෙම්මුර දිනයේදී පූජා භූමියට පැමිණීම අනිවාර්යයි. එහිදී පළමුව තුනුරුවන් වැඳ පුදා ගැනීම, දෙවනුව දෙවොල් දෙවියන් වැඳ පුදා ගැනීම, තෙවනුව මණිමේඛලා දෙවඟන වැඳ පුදා ගැනීම නිවැරදි පිළිවෙතයි. කතා වස්තුව දක්වනුයේ දෙවඟන වැඳ පුදා ගැනීම සිදුකළ යුත්තේ පිහිට ඉල්ලීමේ ආරාධනාවක්ද කරමිනුයි. ඒ ක්‍රම තුනක් යටතේයි.
ක්‍රමානුකූල දේවාරාධනා භාරවීම. භාරවී මේ සංකේතාත්මක පූජා වට්ටිය. බලාපොරොත්තුවේ සෘජු පිහිට සහ අවශේෂ පිහිට ඉල්ලීම. ප්‍රාර්ථනාවන් ඉටුවූවාට පසු අංගසම්පූර්ණ දෙවඟන නෑවීමේ මංගල්‍යය කිරීම. මුරුතැන් දානය දීම. සමුදුරු පූජාව කිරීම. මෙය සප්ත මහා සාගරය සමග ගනුදෙනු කිරීමයි. සාගරයට පින්දීමයි.
සමුදුරට අධිපති දෙවඟන ප්‍රධාන නාගයන්ට පුද පූජා කර ආශිර්වාද ලබාගැනීම කළ යුතුයි. දෙවඟනගේ දේව කණ්ඩායමට ඇතුළත් නාග, යක්ෂ දෙවිවරු, පිරිවරට පින් දීම. පොළෝ මහී කාන්තාවට පින් ලබාදීම.
විශේෂ පූජාව වනුයේ සළුවක් මුහුදට පා කර යැවීමයි. අග්නි පූජාව, පලතුරු පූජාව සමග මල්පෙති ඉසීමේ පූජාවෙන් මණිමේඛලා පූජාව අංගසම්පූර්ණ වන බව කතා වස්තුව දක්වයි. පූජාව මෙසේ කිරීමෙන් පිහිට ඉල්ලන්නන්ගේ ජීවිත ආලෝකමත් වෙයි. එය ලැබෙනුයේ ප්‍රධාන කරුණු තුනක් ඉටුකිරීමෙනුයි. ඒ, පේවීම, කැපවීම සහ ප්‍රාර්ථනා මතයි.
සෑම පූජාවක් අවසානයේදීම පත්තිනි මෑණියන්ට පින් දීම කළ යුතුයි. සම්පූර්ණ මණිමේඛලා පූජාව කරුණු පහක් මත රඳා පවතියි.
මණිමේඛලා පූජාවට ස්ථිර පැවැත්මක් තිබේ. සංස්කෘතියක් තිබේ. අනුපිළිවෙළක් තිබේ. එය පැය පහක පූජාවක් වනුයේ එබැවිනුයි.
සමුද්‍ර පූජාව විශාල තේරුමක් සහිතයි. එය බලගතු ආනිසංස ලබාදෙයි. සමුද්‍රයේ සිටින කුඩා මත්ස්‍යයාගේ සිට විශාලම මත්ස්‍යයා දක්වා පින් ලබාදීම එමගින් අරමුණු කරයි. මේ පූජාව කිරීමෙන් සිදුවන බලගතුම දෙය වනුයේ පෙනෙන නොපෙනෙන සියල්ලන්ටම පින් ලබාදෙමින් අපටත් පින් තබාගැනීමයි. විශේෂම දෙය වනුයේ අවසන් මහා පූජාව පුන් පොහෝ දිනක කිරීමට නියමව තිබීමයි. එය මසකට එක් දිනක් පමණක් වීම මණිමේඛලා පූජාවේ බැරෑරුම්කම සහ පූජාවේ ප්‍රබල බව මැනැවින් වටහා දෙයි.
අංගසම්පූර්ණ මණිමේඛලා අවසන් පූජාව පුරා පොහොය දිනෙක තැබීම පොදු නියමයයි. වසරකට පැවැත්වෙනුයේ පූජා දොළහක් පමණක් වීම මෙහි ඇති විශේෂත්වයයි. නියමය එක් පෝයකට එක් පූජාවක්ය යන්නයි. ඒ යටතේ පූජාව දායකත්ව අංශ දෙකකින් යුතුවෙයි. ඉන් පළමුවැන්න ප්‍රධාන දායකත්වයයි. දෙවැන්න උප දායකත්වයයි. මෙය පරිවාර දායකත්වය ලෙසින් හඳුන්වයි. නමින් පමණක් වෙනස් වන දායකත්වයන් ලබන මහත් ඵල ආනිශංස එක හා සමානයි. මේ යටතේ පූජාවේ දැක්වෙන විශේෂත්වය වනුයේ දායකත්වය ලබාගැනීමේ අසීරුතාව පමණයි.
පූජාවට මේ මහා විශ්වයද ආශිර්වාද කරයි. ඒ චන්ද්‍රයා හරහායි. මනුෂ්‍ය ලෝකයේ හොඳම සහ ළඟම අසල්වැසියා චන්ද්‍රයායි. පෘථිවියේ පාරිසරික සමබරතාව රකින වඩදිය බාදිය ඇතිකරනුයේ චන්ද්‍රයායි. පෘථිවිය තම අක්ෂය වටා නියමිත ක්‍රමයට භ්‍රමණය වීමට දායක වනුයේ චන්ද්‍රයායි. චන්ද්‍රයා පෘථිවිය වෙනුවෙන්ම නිර්මාණය වූවක් බව විශ්වාස කළ හැකියි. අනෙක් අතට පෘථිවියේ ඇලවීම මිනිසාගේ වාසයට ඉතාම අහිතකරයි. පෘථිවියට දිනකට කාල පරිච්ඡේද දෙකක් චන්ද්‍රයා ලබාදෙයි. ඒ දහවල සහ රැයයි. මෙම කාල දෙක සමාන කාලයකින් යුතුවීම මෙහි අනිත් විශේෂ ගුණයයි. එහි අර්ථය දිවා රාත්‍රී ඇති කරන සමාන කාල පරිච්ඡේදයයි.
ජලයට අධිපති මණිමේඛලා දෙවඟන මනුෂ්‍ය යහපතට තවත් දෙයක් ලබාදෙයි. ඒ ජල චක්‍රයයි. විස්මයජනක දෙය කරන ජල චක්‍රය අදියර තුනකින් යුක්තයි.
සූර්ය තාපය ජලය වාෂ්පකර වායු ගෝලයට ඇද ගනියි.
ජලය ඝනීභවනය කර වළාකුළු නිපදවයි.
වලාකුළු, වැස්ස හෝ අයිස් බවට හරවා නැවත පොළවට ලබාදෙයි.
ලොව පැතිර පවත්නා සමුදුර කලතා චන්ද්‍රයා ගමන් කරන ආකාරය එයයි. එම ගමන තුළ රැඳී තිබෙනුයේ සිසිල සහ උණුසුමයි. මිනිස් ජීවිතයේ පැවැත්ම තහවුරු කරන සිසිල සහ උණුසුම ලැබෙනුයේ එම ආකාරයටයි.
ලෝකයේ පළමු වරට ලංකාවේ පළමුවරට මණිමේඛලා දේව රූපයක් තැන්පත් කරනු ලැවුවේ සීනිගම දේවාල භූමිය තුළයි. මුහුදු දෙවඟන හෙවත් කරුණාවේ දෙවඟන නමින් අර්ථ ගැන්වේ. මණිමේඛකලා දෙවඟන දෙවැනි වනුයේ පත්තිනි මෑණියන්ට පමණයි.
එකම ස්වාමියකුට පතිවත රැකි ස්ත්‍රියකට ඊශ්වර දෙවියන් ලෝක විග්‍රහ නම් දේව ශක්තිය ලබාදෙයි. ඊශ්වර මෙම වරම ලබාදෙනුයේ කයිලාශ කූටයේ භාවනා කුටියේදීයි. ශක්තිය හිමිවනුයේ ඊශ්වරයන්ගේ පැහැදුණු ධ්‍යාන ශක්තියෙන් ඉපදුනු ශුද්ධවන්ත දේවතාවියකටයි. ඒ සළු දේවතාවියයි. පතිවෘත්තතා දහමට අධිපති පත්තිනි මෑණියන් වූයේ එම සළු දේවතාවියයි. මණිමේඛලා දෙවඟන වරම් ලැබුවේ එවන් බලයක් තිබෙන දේවතාවියකගෙනුයි. එය ඉතා බලසම්පන්න වරමක් වෙයි.
ස්ත්‍රී දහම දහම් තිස් දෙකකට බෙදෙයි. ගැහැනියකගේ ගැහැනුකමේ ශක්තීන් එකසිය අසූවක් තිබෙයි. ස්ත්‍රිය වටා පාප කර්ම අසූහත් දහසක් කරකැවෙයි. එම පාප කර්ම අසූහත් දහස ස්ත්‍රියක් නැසිය යුතුයි. ධර්මතා තිස් දෙකක් වඩවා ඒ තුළ සිත, කය, වචනය තුන් දොර හැසිරවිය යුතුයි. එය හැසිරවූ විට ශක්තීන් එකසිය අසූවක් උපදියි. එම ශක්තීන් දෙවැනි අවස්ථාවේදී එක් දහස් අටසීයක් දක්වා වර්ධනය වෙයි. තුන්වැනි අවස්ථාවේදී එක් කෝටි අටසීයක් දක්වා වර්ධනය වෙයි.
පත්තිනි මෑණියන්, මණිමේඛලා දෙවඟන වනුයේ මෙවන් දහමක් ආරක්ෂා කරන පත්තිනියන්මයි. පත්තිනියන්ට පුද පූජා පවත්වනවා නම් පිහිට ඉල්ලනවා නම් එක් කෝටි අටසීයක් වන ශක්තීන්ගෙන් පිහිට ලැබෙන බව පත්තිනි පුවත කියයි.
යම්කිසි ස්ත්‍රියක් පතිවත ආරක්ෂා කරයිද ඇගේ බලය පතිවතයි. යම්කිසි බලයක් දියුණු කරන්නේද ඇගේ බලය පතිවතයි. යම්කිසි ධ්‍යානයක් රකින්නේද එම ධ්‍යානය පතිවතයි. එම ශීලය, බලය, ධ්‍යානය රකින්නේද එම ස්ත්‍රිය ලෝකයට අග්‍ර වෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. මාතෘ වෙයි. තේජවන්ත පත්තිනිය වෙයි.
මණිමේඛලා කතා වස්තුව මෙසේ දක්වයි.
පත්තිනි මාතාවගෙන් වරම් ගත් මණිමේඛලා දෙවඟනගෙන් පිහිටක් ලද කෙනෙකු වෙත්ද එම අයට එයින් මතු කිසිදා බාධාවන් ඇති නොවෙයි.
දෙවඟන මේ සියල්ල කරනුයේ බල ශක්ති දෙකකිනුයි. ඒ ආධ්‍යාත්මික සහ ශාරීරික බලයෙනුයි. දෙවඟනගේ ආධ්‍යාත්මික බලය වනුයේ ශීල ගුණයයි. දෙවඟනගේ ශාරීරික බලය වනුයේ දෙඅත දරා සිටින ආයුධයි.
දෙවඟන එක් අතකින් අංකුසයක් දරා සිටියි. අනෙක් අතින් දක්ෂිණාවෘත වාලම්පුරියක් දරා සිටියි. අංකුසය යනු ත්‍රීශූලය වැනි ආයුධයකි. එය සමාන වනුයේ ඉන්ද්‍ර දෙවියන් අත ඇති වජ්‍රායුධයටයි. මුහුදේදී අනතුරකට පිහිටවීම එම ආයුධයෙන් කළ හැකියි.
දෙවඟන අත රැඳි අනෙක් ආයුධය වනුයේ දක්ෂිණාවෘත වාලම්පුරියයි. එය සංඛයක් වෙයි. එම සංකේතය දුර්ලභයි. විෂ්ණු දෙවියන් අත දරනුයේ එයයි. ශරීරය වසා ඇති සළුපට අත දරයි. වජ්‍ර මුද්‍රාව කියනුයේ මනුෂ්‍යයන්ට ආශිර්වාද කරනවා යන්නයි.
මණිමේඛලා දෙවඟනගේ මෑණියන් වනුයේ මාධවී යි. මාධවී ගැබ් ගනුයේ නෘත්‍ය රැජනක්ව සිටියදීයි. මණිමේඛලා පිළිසිඳ ගනු ලැබුවේ දැඩි කුණාටු අධික වර්ෂා සහිත දිනයකයි. ජල දහරා ගලා යනු ලැබුවේ රැලි ගසමිනුයි. මණිමේඛලා දෙවඟන ජලයට මුහුදට අධිපතිකම් කිරීම මෙයින්ද අර්ථ ගැන්වෙයි.
දෙවොල් පුදබිම භක්තියෙන් හැමවිට පිරී තිබෙනුයේ භක්තියෙනුයි. දෙවොලට පැමිණ දෙවිඳු නමැද විවාසයේ කිමිදිය හැකිනම් මණිමේඛලා දෙවඟන වෙතට ළඟාවිය හැකියි. ළඟා වී දෙවඟන වෙත සිත තුළ පවතින දුක, වේදනාව, ළතවිල්ල, වැලපිල්ල, හැඬීම දෙවඟනට ලබාදෙන්න. පැතූ ප්‍රාර්ථනා, ඉල්ලූ පිහිට කාල නියමයන්ට යටත්ව ලැබෙනු ඇත. ඒ දින හත, දින විසි එක, දින දහහතර, දින විසි එක, දින අනූව එම කාල නියමයන් වෙයි.
මනුෂ්‍ය ජීවිතය රෝසමල් යහනාවක් නොවෙයි. එය අභියෝගවලින් පිරී තිබේ. සතුට, සැනසුම පරදන දුක, කඳුළ එහි පිරී ඇත. සතුට සහ දුක සදහටම එහි නොපවතියි. සැමවිටකම දුක සැප සමබරව පවතිනු ඇත.
වටහාගත යුතුව තිබෙනුයේ මණිමේඛලා දෙවඟන දුකට පත් සියල්ලන්ට පිහිට වනුයේ අසහනය දුරුකර සහනය සකසා ගැනුමටයි.
මණිමේඛලා දෙවඟන වටහාදෙන නියමයක් මෙසේයි.
සිත අවදි කරන්න. වැසුණු නෙතු පියන් විවර කරන්න. ලිහිල්ව බලන්න සියල්ල එකට එකතු වූ බවක් පෙනෙනු ඇත. එහි අර්ථයක් තිබේ. එම අර්ථය වනුයේ මණිමේඛලා දෙවඟන සියල්ලන් වෙත කරුණාව පාන දෙවඟන වන බවයි.
මණිමේඛලා දෙවඟන වන්දනාවේ යෙදෙන්නන්ගේ සිත් ප්‍රීතිමත් කරයි. ප්‍රමෝදයට පත් කරයි. ඒ තුළ ජීවිත හැඩගස්වා ගැනීමේ මාර්ගය විවර වනු ඇත.
මණිමේඛලා දෙවඟනට ඔබේ ජීවිතය ඇපයට තැබිය හැකිනම් එය ඉතා සුරක්ෂිත වනු ඇත. එහි අර්ථය, ජීවිතය ඇපයක් ලෙස තිබෙන තාක් කාලයක් ඔබ සුරක්ෂිතව ජීවත්වන බවයි.
මණිමේඛලා දෙවඟන ළයට තුරුලු වන්න. සිතට දැනෙන සියලු දුක පවසන්න. බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු කල් නොයවා ලැබෙනු ඇත. මුළු හදවතින්ම මණිමේඛලා දෙවඟනට විශ්වාසය මත කැපවන්නේනම් දේවතාවියගේ කරුණාව හිමිවනු ඇත.
දේවතාවිය ළඟ සිතින් ජීවත්වන කවරකු වුව සතුටින් ජීවත්වන බව පමණක් සිත්හි තබාගැනීම හොඳටම සෑහෙයි. අව්ව, වැස්ස, සුළඟ, සාගරය යන සියල්ල මේ මහා විශ්වයටම පොදුවෙයි. ඒ විශ්වය මණිමේඛලා දෙවඟනට පොදුවෙයි. ඒ විශ්වයේ සිටින කිසියම් කෙනෙකු මණිමේඛලා දෙවඟනට පොදු නොවන බව පැවසීමට කවරකු හටනම් හැකියාවක් වෙත්ද?
අරුණඩේල් විජේරත්න