දඹානේ පළමු රාජ්‍ය නිලධාරියා


ගැමි රසවිත

 

වර්ෂ එක්දාස් නවසිය හතළිස් හයේ අගෝස්තු 17 දින දඹාන ගම්මානයට පිවිසෙන කැලෑ ගමෙහි බඩුබාහිරාදිය අතින් කටින් එල්ලාගෙන ගමන් ගත් ආගන්තුකයින් දෙදෙනෙකි. මින් එක් අයෙකුගේ නම ඒකනායකය. අනෙකා ඔහුගේ සහායකයා වූ සමරවීරය. ඒකනායක රැගෙන යන බඩුබාහිරාදියට අමතරව සිය උරෙහි 303 වර්ගයේ රයිෆලයක් ද රුවාගෙන සිටියේය.   

අඩි පාර දිගේ කැලෑව මැද්දෙන් මයිල දෙක තුනක් ඉදිරියට ගමන් ගත් ඔවුනට ඈතින් දිස්වූයේ ඉළුක් සෙවිලි කළ පැල් කොටයකි. පැල් කොටය දෙසට ළඟාවත්ම ඒ අසල සරම් හැඳි පුද්ගලයෙකු සමග අමුඩ කෙටිවලින් සැරසුණ තවත් දෙදෙනෙකු ද ඔවුනට දැකගත හැකි විය.   


ඒකනායකත් සමරවීරත් පැල්කොටය දෙසට ළඟාවත්ම අමුඩ කෙටි හැඳ සිටි දෙදෙනා පසු නොබලාම කැලය දෙසට දිවගියහ. එහෙත් සරම් හැඳි මිනිසා එහිම නතරව ආගන්තුකයින් දෙදෙනා එන දෙස බලා සිටියේය.   


පැල් කොටය අසලට ගිය ඔවුන්ට සරම හැඳි මිනිසා හා කළ කතා බහේ දී දැන ගන්නට ලැබුණේ ඔහු පිට ප්‍රදේශයකින් දඹානට පැමිණි වෙළෙන්දකු බවය. පැන ගිය වුන් දෙදෙනා ආදිවාසීන් දෙදෙනෙකු බව ද ඔවුනට වෙළෙන්දා හා කතා බහේදී දැනගන්නට හැකි වූයේය.   


ආගන්තුකයින් දෙදෙනා වෙළෙන්දා සමග කතා බහේ යෙදෙමින් සිටියදීම පෙරටු කොටගෙන කැලයෙන් එළියට වන්හ. ඔවුන් තිදෙනාම වෙළෙන්දාගේ පැල්කොටය අසලට පැමිණියහ. කැටුව විත් ඒකනායකලා රැගෙන ගිය කූඩාරම අටවා ගැනීමට ඔහු සහාය විය.   


දඹාන වැදි ගම්මානයේ වැදි ජනයාගේ සහ අනෙකුත් දිළිඳු ගැමියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා විජේරත්න බණ්ඩාර ඒකනායකගේ දඹානාගමනය සිදුවන්නේ එලෙසය.   


වැදි ජනයාගේ සුභසාධක නිලධාරියා ලෙස (Waddas welfare Officer) පත්ව ගිය ඒකනායක ඒ ගැන සිය සටහන් තබා ඇත්තේ මෙලෙසය. 


‘1936 - 1939 දක්වා ඇති වූ දරුණු නියඟය නිසා හේන් පාළුවී ආහාර හිඟයකින් පෙලුන මැලේරියා උණ වසංගතයෙන් පීඩාවින්ද දඹාන සහ අවට ගම්මානවල විසූ වැදි ජනයාගේ ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය තත්ත්වයන් දියුණු කිරීම මූලිකව ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද පුනරුත්ථාපන වැඩපිළිවෙළ මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 1946 වර්ෂයේ දී ශුභසාධක නිලධාරී වශයෙන් ස්වේච්ඡාවෙන් බිම්තැන්න පත්තුවේ දඹානට යාම.   


දඹාන, කන්දේගම්වෙල, කෑරගොඩ, තලාව, කොටබකිනියාව, මාවරගල, අඹගස් වැව, ගල්පෝරුයාය වැනි ගම් ඒකනායකගේ රාජකාරි වැයික්කියට අයත් වුණි. ඒකනායක සමග දඹානට ගිය සහායකයා වන සමරවීර මාසයකින් පමණ ආපසු ගියද සිය රාජකාරිය දේවකාරිය සේ සැලකූ ඒකනායක වර්ෂ 1946 සිට 1953 දක්වා ව්‍යාපෘති කාලය නිමාවෙන තෙක්ම දඹානේ පදිංචිව සිටිමින් ඉටුකළ රාජකාරිය සුළුපටු වූවක් නොවේ. ඒ අතරේ ඔහු අත්විඳි බිහිසුණු අත්දැකීම් ද එමටය.   
එකල පමණක් නොව අදත් දඹානේ ආදිවාසී ජනතාව අතරේ ඒකනායක හුරා ලෙසින් ගෞරවණීයව සිහිපත් කරනු ලබන විජේරත්න බණ්ඩාර ඒකනායක ගැන ලියුම්කරුට තොරතුරු ලැබෙනුයේ මින් වසර හතරකට පමණ ඉහත දී අහඹුවෙනි. ඒ ඒකනායක හුරාගේ ඇඹණිය වන සුධර්මා කුමාරි ඇතිපොළ මහත්මිය මුණගැසුණ විටක දීය. අනතුරුව මෑතක දී වත්මන් ආදිවාසී නායක උෟරුවරිගේ වන්නියලැත්තන් හමුවීමෙන් අනතුරුව ද සුධර්මා කුමාරිගේ කතාව තහවුරු කරගත හැකි විය.   
ඒකනායක හූරා දඹානට ගිය මුල්ම අවස්ථාවේ දී එවකට සිටි වැදි නායක ඌරුවරිගේ තිසාහාමි මුණගැසී නැත. එය ද සිදුව ඇත්තේ අමුතුම අයුරකටය.   
වත්මන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඒ ගැන කීවේ මෙලෙසය.   ඒකනායක හූරා දඹානට ආව ගමන්ම මුණගැහිල තියෙන්නේ බුබුලේ බණ්‍ඩා ගමරාල විතරයි.   
ඊට සති දෙක තුනකට පස්සේ තමයි අප්පිලැත්තන්ට (ඌරුවරිගේ තිසාහාමිට) ඒකනායක හූරා මුණගැහිල තියෙන්නේ.   
ඒකනායක හූරා ආ දවසේ ඉඳලම දවස ගානේ දවල්ටත් රෑටත් එක දිගට වෙඩි සද්දෙ කොටබකිනියට ඇහිල තියනවා. මේ සද්දෙ ගැන විපරම් කරන්න දවසක අප්පිලැත්තෝ දඹාන පැත්තට ගිහින් තියෙනවා.   


එහෙම යනකොට තමයි ඒකනායක හූරා හිටපු කූඩාරම දැකල එතනට ගිහින් තියෙන්නේ. ඒ දවස්වල දවල්ටත් දඹානට අලි එනවා. අලි ආපු වෙලාවට තමයි ඒකනායක හූරා වෙඩි තියල තියෙන්නේ. ඒත් අලින්ට වදින්න වෙඩි තියල නෑ. ළඟ තිබුණ බුළුගහක කඳට තමයි වෙඩි තියලා තියෙන්නේ.   
එදවස පටන් ඒකනායක හූරා සහ වැදිනායක තිසාහාමි අතර පැවත ඇත්තේ අපූරුතම මිත්‍ර සන්ථවයකි. එතැන් පටන් වසර හතක් වූ ඒකනායක හූරාගේ දඹානේ වෘත්තීය ජීවිතය විවිධ අත්දැකීම් සමූහයක් සමග ගෙවුණකි. ඒවායින් ඇතැම් ඒවා ලොමුඩැහැ ගැන්වෙන බිහිසුණු ඒවාය.   
දිය නෑවීම   


එකල වැදි ජනයා ස්නානය කිරීමට මැළිකමක් දැක්වූවෝය. දිය නෑම සිය නෑයකුන් තරහා කරගැනීමට හේතුවක් බවත් එසේ දිය නෑමෙන් නෑ යකුන් විසින් ඔවුනට විවිධ ලෙඩ රෝග ඇතිකරවීමට හේතුවක් වන බව ඔවුන්ගේ විශ්වාසය වූයේය.   
හරිහැටි දියනෑමක් හිස පිරීමක් නොමැති වැදි දරුවන් දුටු ඒකනායක හූරාගේ සිතෙහි ඇතිවූයේ අනුකම්පාවකි. එනිසා මොවුන්ට දියනා පිරිසිදුව සිටීමේ වැදගත්කම අවබෝධ කළ යුතු යැයි සිතුනේය. බුබුලේ බණ්ඩා ගමරාලත් තිසාහාමි වැදිනායකයාත් හමුවී ඒකනායක හූරා සිය අදහස පැවසූ විට ඔවුන් දෙදෙනාගෙන්ම ඔහුට ඊට අනුමැතිය ලැබිණ.
එක්තරා දිනෙක ඒකනායක හූරා වැදි දරුවන් කැටුව ඒ අසල වූ දෙමටන් ඇළට ගියේය. තුමූද දියට බැස දියනාමින් වැදි දරුවන් හා වැඩිහිටියන් දිය නෑමට පෙළඹ වූයේය. ඒකනායක හූරා ඒ ගැන සිය මතක සටහන් තබා ඇත්තේ මෙලෙසය.   


මෙම කාර්යය ඉතාම වැදගත් වනුයේ එකල ආදිවාසී ජනයා චර්ම රෝගවලින් ද පෙලුන බැවිනි. ඒකනායකගේ දඹාන ප්‍රවේශයත් ඔහුගේ ජනහිතකාමී ක්‍රියාකාරකමුත් හේතුවෙන් වැදි ජනතාව ඔහු කෙරෙහි අතිශය ලෙංගතු වූහ. එනිසාම ඔවුන් ඒකනායකව ඒකනායක හූරා යන ගෞරව නාමයෙන් යුතුව අමතන්නට පුරුදු වූහ.   
මෙ අතරේ සෑම දිනකම පාහේ සවස් ජාමයේ වැදිනායක තිසාහාමි හා බුබුලේ බණ්ඩා ගමරාල ඒකනායක හූරාගේ කූඩාරමට පැමිණ කතාබහ කිරීමේ පුරුද්දක් ද ඇතිව තිබුණි. එහිදී ඒකනායක හූරා සිය මිතුරන් දෙදෙනා සමග දඹානේ සිදුකිරීමට යන පුනරුත්ථාපන කාර්යයන් සම්බන්ධයෙන් කතා කිරීම ද ඔවුන්ගේ අදහස් යෝජනා පිළිබඳ විමසීම ද ඒ සුපුරුදු චර්යාවේම කොටසක් වූයේය.   
‘‘තිසාහාමි නායක ඇත්තෝ මගේ අදහසක් තියෙනව ගමේ දරුවන්ට ඉගෙන ගන්න පාසලක් පටන්ගන්න.   
ඔය දෙන්නගේ අදහස මොකක්ද?’’  
පුළුවන් නම් හොඳම වැඩක් ඒකනායක හූරා. අපේ එවුන්ටත් අකුරු සාස්තරේ ඉගෙන ගන්න තියනවා නම් බොහොම හොඳයිනෙ.  
බුබුලේ බණ්ඩා ගමරාලගේ ක්ෂණික පිළිතුර වූයේය.  
‘තිසාහාමිලැත්තො මොකද කියන්නේ.’  
‘මමත් ඒ වැඩේට මනාපයි.’


‘එහෙනම් අපි අද හෙටම පාසල පටන් ගම්මු.’  
පසුදින උදෑසන අවදිවූ ඒකනායක හූරාගේ සිතට පහළ වූයේ පාසල ආරම්භ කරන්නේ කොහේද යන්න ගැනය. කූඩාරමෙන් පිටට පැමිණ ඔහු කල්පනා කළේ පාසල ආරම්භ කිරීමට සුදුසු තැනක් ගැනය.  
එසේ සිටිය දී කූඩාරමට නුදුරෙන් පිහිටි විශාල බුළුගහ දෙසට ඔහුගේ දෙනෙත යොමු විය.  
එය ඔහු සැමදා දකින දසුනක් වුවත් එදින නම් එහි වෙසෙසක් ඔහු දිටීය. රූස්ස දැවැන්ත බුළුගසේ අතු විශාල බිම්කඩක් සිසාරා විහිද සෙවන සදමින් තිබේ.  
මෙතන තමයි පාසල පටන් ගන්න හොඳම තැන. ඔහු කල්පනා කළේය. එදිනම බුබුලේ බණ්ඩා සහ තිසාහාමි නායකතුමා ද මුණගැසී සිය අදහස පැවසූ විට ඔවුහු එකහෙලාම එයට එකඟ වූහ.  


පාසල ආරම්භ වූයේය. වැදි දරුවන් වාඩි වූයේ බිම නැතිනම් කඩා වැටුණු කොටන් උඩය. අකුරු ලීවේ වැල්ලේය. ගුරුවරයා ඒකනායක හූරාය.  
ඒකනායක හූරා ඒ ගැන තබා ඇති සටහන මෙලෙසය.  

 


‘‘1946 නොවැම්බර් මාසයේ දී දඹාන වැදි ළමයින් 16 දෙනෙකුට වැදි ඉතිහාසයේ පළමුවරට අකුරු ඉගැන්වීම රූක්ෂ බුළුගසක සෙවනේ මවිසින් එක් උදෑසනක ආරම්භ කිරීම මගේ ජීවිතයේ ඉතා වැදගත් අමතක නොවන ස්වර්ණමය සිද්ධියක් විය. අමුඩ කෙටි ඇඳගෙන සිටි කැකුළන්ට සහ දණ තෙක් රෙදි කැබැල්ලක් දවටාගත් කැකුළියන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ පොත්පත් එදින මවිසින් සපයන ලදී. මේ දරු දැරිවියන්ට පොත්පත් ඇඳුම් දත්බෙහෙත් යනාදිය සපයා ගැනීමට උදව්කළෝ ඒකනායක හූරාගේ මහනුවර මිතුරන්ය. ඒකනායක හූරා ද මේ සඳහා සම්මාදම් වූයේය.  
මේ සිද්ධියත් සමගම ඉනට පමණක් රෙදි කඩක් ඇඳ උඩුකය නිරුවත්ව සිටි වැදි කාන්තාවන් ද ඇඳුම් පැළඳුම් ගැන උනන්දුවක් දක්වමින් ඒවා අතපත ගාන්නටත් ඇඟට තබා හැඩ බලන්නට උත්සුකව ඇත. තිසා හාමිලැත්තන් මේ ගැන ඒකනායක හූරාට පවසන ලදුව ඔහුගේ පිළිතුර වූයේ ඔබ කැමති නම් ඒ අයත් කැමැති නම් ඇඳුම් සැපයීමට තමන්ට හැකියාවක් තිබෙන බවයි.  


අවසන් ප්‍රතිඵලය වූයේ වැදි කාන්තාවන්ට ද ඇඳුම් ප්‍රදානය කරන්නට ඒකනායක හූරා කටයුතු කිරීමය. ඒ සඳහා ද ඒකනායක හූරාගේ නුවර මිතුරන් මුදලින් උදව් කළ බව ඒකනායක හූරා සිහිපත් කරනුයේ කෘතවේදීවය.  
ආහාරත්, ඇඳුම් පැළඳුමුත්, වාසස්ථාන, සෞඛ්‍ය හා යහපත් ඉගෙනුම් පරිසරයක් හා ජීවිත පරිසරයක් තිබීම මිනිස් මූලික අයිතිවාසිකම්ය. මෙකී කාරණා ඒකනායක හූරා හොඳින් දැන සිටි බවට මේ සංසිද්ධින් හොඳම නිදසුන් වේ.  
බුළුගහ යට ඉස්කෝලය පවත්වාගෙන ගියේ අවම පහසුකම් යටතේය. ගුරුපුටු, දරුවන්ට පුටු, මේස, කළුලෑලි ආදී කිසිවක් මේ පාසලට තිබුණේ නැත. එහෙත් දරුවෝ ඇල්මෙන් අකුරු ඉගෙන ගත්හ. මෙය සෙනරත්ව තව තවත් දිරිගන්වන්නක් වූයේය. පාසල සඳහා ගොඩනැගිල්ලක් තැනුවොත් මැනවැයි සිතූ ඒකනායක හූරා ඒ ගැන බුබුලේ බණ්ඩා සහ තිසාහාමි සමග සාකච්ඡා කළේය. ප්‍රතිඵලය වූයේ දිගින් අඩි 30 ක් හා පළලින් අඩි 15 ක් වූ වල් ලීවලින් තැනූ ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට හැකිවීමය.  
මේ හා සමගම අසල්වැසි ගම්මු වෙල්පල්ලේවෙල, බිම්මලමුල්ල, ගොඩපෝරුයාය යන සිංහල ගම්වල දෙමාපියෝ ද සිය දරුවන් පාසලට එවූහ. මේ නිසා පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 48 දක්වා වැඩිවිණ. ඒ හාම තිබෙන ගොඩනැගිල්ල ද ප්‍රමාණවත් නොවීය. එබැවින් ඒකනායක හූරා අඩි 60x20 ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කළේය. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට ඔහු සිය ගමෙන් වඩුවන් පවා කැඳවාගෙනද ආවේය.  


ඒකනායක හූරා සිය රාජකාරිය සිදුකළ ආකාරය තහවුරු කෙරෙන ප්‍රකාශයක් මෙසේ දැක්විය හැකිය.  
වැදි ජනතාවගේ පාරම්පරික සිරිත් විරිත් කතාබහ, ඇදහිලි නැටුම් ගැයුම් විශ්වාසයන් කිසිම දෙයකට විරුද්ධව අපි ක්‍රියා කළේ නෑ. ඒ විතරක් නොවෙයි. සංස්කෘතික අංග රැකගැනීමේ අගය අපි ඒ අයට වැඩි වැඩියෙන් කියා දුන්නා. අපි පාසලෙන් ඒ දේවල් ඉගැන්නුවා. පාසල් ළමුන් සංඛ්‍යාව වැඩිවෙමින් පැවැතියේය. පාසල ඇරඹුව ද එය ඒකනායකගේ මුඛ්‍ය රාජකාරියේ අතුරු කොටසක් පමණක් විය. ඔහුගේ රාජකාරි පරාසය තුළ කටයුතු තවත් බොහෝ දෑ වූයේය. එනිසා ඔහු පාසල රජයට පැවරීමට කටයුතු කළෙන් 1947 සැප්තැම්බර් මාසයේ දී රජයට පවරා ගැනින. රජයෙන් පත්කර එවූ පළමු ගුරුවරයා වූයේ එල්. සිල්වා නම් මහතෙකි. මේ වනවිට ඒකනායක හූරා ඇරඹූ බුළුගහ යට පාසල එම ස්ථානයේම පවත්වාගෙන යන අතර දඹාන කනිෂ්ඨ විදුහල නමින් හැඳින් වෙයි. මේ පාසලෙන් ඉගෙන ගත් වැදි දරුවකු විශ්වවිද්‍යාලයට පිවිස එම පාසලේම ගුරුවරයෙකු ලෙස ද සේවය කර ඇත්තේය. ඔහු ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘවරයකු වන දඹානේ ගුණවර්ධනය.  
දඹානේ සිය රාජකාරි දිවිය තුළ සමුපකාරයක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් මෙන්ම තැපැල් හලක් ද ආරම්භ කිරීමට ඒකනායක හූරා සමත්ව ඇත. විශේෂ කරුණ නම් ඔහු මේ සියලු ස්ථානයන්හි කටයුතු සිය කරමතට ගෙන කටයුතු කිරීමය.   


දඹාන ජනයාගේ කෘෂි නිෂ්පාදන මීපැණි හා දඩමස් මිල දී ගත්තෝ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ය. බොහෝවිට මේ මිල දී ගැනීම සිදුවූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයටය. ඇතැම්විට ආදිවාසී ජනයා මේ වෙළෙන්දන්ගෙන් සුළු මුදලක් ණයට ද ලබාගත්හ. මේ කොයික සිදුවුවත් කපටි වෙළෙන්දන් සිදුකළේ තමන්ට වාසිදායක අයුරින් ගනුදෙනුව සිදු කිරීමය. එනම් ආදිවාසී ජනයාගේ භාණ්ඩ කුණු කොල්ලයටත් තමන්ගේ භාණ්ඩ අධික මිලකටත් මිල කිරීමේ න්‍යායට ගනුදෙනුව සිදු කිරීමය. කාලයක් තිස්සේ මේ ක්‍රියාවලින් දෙස ඇස ගසාගෙන සිටි ඒකනායක හූරා මෙයට විසඳුමක් ලබාදෙනු වස් දඹානේ සමුපකාරයක් ආරම්භ කළේය. සමුපකාර සාමාජිකත්ව මුදල වන රුපියල් 380 ක් දැරුවේ ද ඒකනායක හූරාමය.  
මේ නිසා වෙළෙන්දන් විසින් කලෙක සිට තමන් උපයාගත් අධික ලාභය ඔවුන්ට අහිමි විය. ඔවුහු ඒකනායක හූරා සමග වෛර බැන්දාහ. 
‘අපි ඕකව මරණව. දඹානේ යහතින් ඉන්නට ඉඩ තියන්නේ නෑ.’ යනුවෙන් වෙළෙන්දෝ විවිධ පණිවිඩ ඒකනායක හූරාට යැවූහ. මෙයින් උපාරිස් නමැති වෙළෙන්දා සහ තවත් අයෙකු ඉදිරියෙන්ම සිටියේය.  


ඒකනායක හූරා මෙවැනි තර්ජනවලට බියවන්නෙක් නොවේ.  


‘හරි පුළුවන් දෙයක් කරපල්ලා’ ඔහුද පණිවුඩ එව්වන් අතේම පණිවිඩ යැවුවේය.  
මේ ආරවුලේ දී වැදිනායක තිසාහාමි සහ බුබුලේ බණ්ඩා ගමරාල ඍජුවම ඒකනායක හූරාගේ පාර්ශවය ගත්තේය. ටික කලක දී වෙළෙන්දෝ පසු බැස්සාහ. එක් අයෙකු දඹාන අතහැර ගිය අතර උපාරිස් ද වැදි ගැහැණියක සමග විවාහවී දඹානේම පැළපදියම් වූයේය.  
සමුපකාරයේ කළමනාකරු මෙන්ම සේවකයා වූයේත් ඒකනායක හූරාමය. ඒ සඳහා සහායක් ගන්නට අයෙක් දඹානේ ගමෙහි නොවීය. උපාරිස් වැන්නෙකු ආරවුලෙන් ඉවත්ව ගමේ පැළපදියම් වුවත් ඔහු කෙරෙහි විශ්වාසයක් තබන්නට ඒකනායක හූරා තබා තිසාහාමි වැදිනායකයා හෝ බුබුලේ බණ්ඩා ගමරාල ද කැමති නොවීය. එනිසා සමුපකාරයේ කටයුතු පවරන්නට කෙනෙකු සෙවීම ද ඒකනායක හූරා මතම වැටුණේය. ඔහු සිය ගම් ප්‍රදේශයට ගොස් තරුණයකු කැඳවාගෙන විත් සමුපකාර කටයුතු පැවරීය. එනිසා ඔහුට තවදුරටත් ආදිවාසීන්ගේ ශුභසාධක කටයුතු කෙරෙහි නැඹුරුවන්නට අවස්ථාව උදාවිණ.  


දඹාන වාසීන්ට හදිසි රෝගාබාධයක් ඇතිවුවහොත් පමණක් නොව උණ සෙම්ප්‍රතිශ්‍යාවකට පවා බෙහෙත් හේතක් ගන්නට නම් සැතපුම් දාහතරක් ගෙවා ඇකිරියන් කුඹුරට යායුතු විය. එය ද දුෂ්කර ගමනකින් පසුවය. ඇකිරියන් කුඹුරේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටින ඇපොතිකරි වෛද්‍යවරයා මුණගැසී සති දෙකකට වතාවක්වත් දඹානට කැඳවාගත හැකි නම් මැනවයි ඒකනායක හූරා කල්පනා කළේය. කෝ ඒත් වෛද්‍යවරයකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු ස්ථානයක්. ඒකනායක හූරා තමන්ටම කොඳුරා ගත්තේය.  
ප්‍රාදේශීය ලේකම්වරයා ඇතැම් දිනෙක දඹානට පැමිණෙන්නේ ඒකනායක හූරා මුණ ගැසීමටය. එවන් අවස්ථාවක ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඔලුවට මේ අදහස දමන්නට ඒකනායක හූරා සිතුවේය.  


ප්‍රාදේශීය ලේකම්වරයා එසේ පැමිණි විටෙක ඔහු කීවේ,  


සර් මෙහෙ මිනිස්සුන්ට බෙහෙත් ටිකක් ගත්ත තැනක් හදලා දුන්නොත් මොකද?  
ඒකනායක හොඳ අදහසක්. අපි ඒක කරලා දෙමු.  

 


වැඩිකල් නොගොස්ම ප්‍රාදේශීය ලේකම්වරයාගේ වියදමින් බෙහෙත් ශාලාවක් සඳහා සුදුසු නිවහනක් ඉදිකෙරිණ. ඒ සඳහා ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම්වරයාගේ පෞද්ගලික මුදලිනි. එම නිවහනෙහි වෛද්‍යවරයාට නැවතීමට කාමරයක් ද ඉදිකරන ලද්දේය.  


දැන් සති දෙකකට වතාවක් ඇකිරියන් කුඹුරේ සිට ඇපොතිකරිවරයා පැමිණ දඹානේ රෝගීන්ට බෙහෙත් ප්‍රතිකාර කරයි. වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ නිකුත් කරන්නේ ඒකනායක හූරාය.  

සති දෙකෙන් දෙකට වෛද්‍යවරයා පැමිණිය ද ඒ අතරතුර කාලයේ දඹානේ ජනයාගේ සුළු රෝගී තත්ත්වයන්ට බෙහෙත් දෙන්නට සිදුවූයේ ඒකනායක හූරාටය.  
පසුකලෙක දඹානට ස්ථිරව වෛද්‍යවරයකු පැමිණිය ද ආදිවාසීන් වඩාත් කැමැත්තක් දැක්වූයේ ඒකනායක හූරාගෙන් බෙහෙත් ගන්නටය.

 

 

 

සටහන/ ඡායාරූප සැපයුම : 
නිමල් අබේසිංහ