ගීයක පද-රුත
තුංමං හංදියෙ අද මං පමණයි
අපෙ පංතියෙ වෙන කවුරුත් නෑ
මගෙ නැති බැරි කං අඩුවක් වී නම්
තරහ වුණත් මම තරහා නෑ
අනන්ත කරදර කඳුළේ දිය කළ
මට ඔබ දුන් දුක වැඩියක් නෑ
බිඳ දා ගිය මුත් අපෙ ළෙංගතු කං
ඔබ ගැන අහිතක් හිතන්න බෑ
පෙරහර ගිය පසු හිත හිත ඔබ ගැන
හැඬුවා හිස බිත්තියේ ගසා
සංසාරේ හැටි ඔහොමයි කියලා
කියන්නෙ ඇයි මට හිනා වෙලා
තනුව, සංගීතය හා ගායනය-
මහාචාර්ය සනත් නන්දසිරි
ගී පද රචනය -
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර.
‘‘සංයෝගය හා වියෝගය වූ කලී ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙකකි. එක්වීම හා නික්මීම ඉන් වියත් වෙයි. ජීවිතයට පැමිණීමේදී බොහෝ විට සිදුවන්නේ ප්‍රීතිමත් වීමයි. ප්‍රියයන් හා එක්වීම සතුටක් බැව් බුදුන්වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයෙහිද දේශනා කළ සේක. ජීවිතය හැර දා පිටව යෑමේදී ඉමහත් දුකක් ඇති වෙයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම කොපමණ දුකක්දැයි බුදුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද එම දම්සක් පැවතුම් සූත්‍රරෙහිය.
ජීවිතයේ දොරටු හතරක් තිබේ. අපි ඉන් පැමිණෙමු. නික්මෙමු. උපත, වැඩි විය පැමිණීම, විවාහය හා මරණය එම දොරටු හතරයි. මේ සියල්ල අතර බැඳීම් ඇති වේ. බැඳීම් නැති වේ.
භාරතීය රස සූත්‍රය අනුව ප්‍රථම රසය වන්නේ ගෘංගාර රසයයි. එයම සම්භෝග ශෘංගාරය හා විප්‍රලම්භ ශෘංගාරය යනු වෙන් බෙදීම් කරනු ලැබේ.’’ මේ ගීතය රචනා කිරීම ගැන පසුවදනක් සපයමින් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර පැවසුවේය.
මේ ගීතය යොවුන් වියේ බැඳී පැවතුණු ආදර සම්බන්ධතාව - ළෙන්ගතුකම, වියෝවීම- බිඳ වැටීම පිළිබඳ ශෝක ප්‍රවෘත්තිය ගීතයට නැංවීමට දැරූ ප්‍රයත්නයක් බවද රචකයාගේ අදහසයි
ගායක හා සංගීත නිර්මාණය කළ මහාචාර්ය සනත් නන්දසිරි පවසන්නේ, ගීත රචකයා ඉහත සඳහන් කළ යොවුන් වියේ බැඳී පැවතුණු මනෝ ගතිකයන් වෙතින් පළවන දුක්මුසු හැඟීම් දහර ගීයේ තනුව මගින් ජනනය කෙරෙන බවය. ගීයේ එන වයලීන වෘන්දය ශෝකය තීව්‍ර වන බවය. ගීතයේ ගීතතාව ඔප් නංවන ළයාකාරීය රිද්මය විලම්භීත ලයට සමීප මාධ්‍ය ලෙස ආශ්‍රය කරන්නේ යැයි හැඟෙන බවය.
මහාචාර්ය නන්දසිරිගේ ගායනයේ වියෝවක කම්පිත භාව මංජරිය මැනවින් ඉස්මතු වන බව ආචාර්ය අභයසුන්දර කියයි.
‘‘මේ ගීතය සත්‍ය අත්දැකීමක්. ගීතයට ගැලපෙන පරිදි රසභාව නැගෙන ලීලාවෙන් භාවිත වදන් සිත්තමකට මුසු කරන්නට මම උත්සහ කළා.’’
මෙම ගීතය මුලින් තනුව නිර්මාණය කොට පසුව ගීත පද රචනය සිදු කළ ගීතයක් බව අප අසා තිබේ. ගීතයේ අත්දැකීම සංගීතඥ ගායකයා විසින් ගීත රචකයාට පවසන ලද්දකි.
සංගීතඥ ගායකයා පාසල් කාලයේ සිට මිතුරකුගේ පෙම්වතියට ආලවන්තකම් ඇති කර ගැනීමට මුල් වූයේ ගායකයාණන්මය. මුල්ම පෙම් හසුන ලියා දුන්නේද ගායකයා විසිනි. කලක් තිස්සේ පැවති මෙම ප්‍රේම වෘතාන්තය විවාහයේ ප්‍රතිඵල දැරුවේ නැත. එම හාදකම කෙමෙන් ක්‍ෂය වී ගියේය.
ටික කලකට පසු පෙම්වතා සිය පෙම්වතිය විවාහ ප්‍රාප්ත වන බැව් කනින් කොනින් අසා ගායකයා හමුවන්නට පැමිණියේය. ඔවුහු තම පැරණි පාසලට පැමිණෙති. අරලිය මල් පිපුණු ගමේ ඉස්කෝලේ මඳක් උස් බිමක පිහිටියකි. ඔවුනට දැක ගන්නට හැකි වන්නේ තම පෙර පෙම්වතිය විවාහ වී යන රිය පෙරහරයි.
මේ ගැන දැඩි දුකට වෙහෙසට කම්පාවට පත් වී පැරණි පෙම්වතා උන් හිටි තැන් අමතකව අඬා වැළපෙන්නට වෙයි. මේ අත්දැකීම ඔහුටම අනන්‍ය වූ පෞද්ගලික අත්දැකීමකි. එහෙත් පොදුවේ බොහෝ පෙම්වතුන් මෙබඳු වියෝගයන්ට හැම විට මුහුණ පානු ලැබේ. ඇතැම්හු සිය දිවි නසා ගනිති. සමහරු උමතු වෙති. නිර්මාණශීලිහු සාහිත්‍ය සෞන්දර්ය කලා විෂයෙහි හෝ ආගම ධර්මයෙන් නැතහොත් ක්‍රීඩාවෙන් හෝ වෙනත් ක්‍රියාමාර්ගයෙන් ජීවිතයේ ගැටලු අභියෝගවලට මුහුණ දෙන්නට උත්සුක වෙති.
එහිදී නුවණ පුබුදුවා ජීවිතට මුහුණ දීමට ශක්තිය අවශ්‍යය. මේ ගීතය ශ්‍රී ලංකාවේ ලාංකික රසිකයන් අතර ආදරයට ලක් වූ සංයමයෙන්ද විනීතාචාරයෙන් ද සුපෝෂිත ගීතයක් වශයෙන් සඳහන් කිරීම යුක්ති යුක්තය.
මේ ගීතය රචනා කළ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් රචිත ගීත අතර මහාචාර්ය සනත් නන්දසිරි ගැයූ ‘‘මම නං ආසයි අහන්න නයනා’’, ‘‘වරදක් කළත් සිතකින් නොවේ’’, ‘‘මුළු ලොව මගෙන් අසාවි.’’ මාලනී බුලත්සිංහල ගැයු ‘‘තාර පාර දිග පාට පාට කඩ’’, ආචාර්ය නන්දා මාලිනී ගැයූ ‘‘තුන් රුවනේ’’ (උප්පලවණ්ණා චිත්‍රපටයට ගැයූ මේ ගීතයට හොඳම රචකයාට හිමි සිග්නිස් සම්මානය හිමි විය.) මල්කාන්ති නන්දසිරි ගැයූ ‘‘රෝස කරත්තේ’’ ගීත රචනා කළ විශිෂ්ට ගීත රචකයෙකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය අභයසුන්දර ලියූ ‘‘සිංහලයකු වී ඉපදීමෙන්’’ ගීත රචනා කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවිය.
ගායක හා සංගීත නිර්මාණක මහාචාර්ය සනත් නන්දසිරි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ය.
ඒ.ඩී. රන්ජිත් කුමාර