ඩේරියස් පරාජය කළ ඇලෙක්සැන්ඩර් පර්සියාවේ බලය අල්ලා ගනී


 ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දියානු ආක‍්‍රමණය 3

 

 

ග‍්‍රැනිකස් සටනින් පසු සුළු ආසියානු වෙරළ තීරය ඔස්සේ ඇලෙක්සැන්ඩර් හා ඔහුගේ හමුදා හැලිකර්නාසූස් නගරයට සමීප වූහ. පර්සියානුවන් නාවික ශක්තියෙන් ප‍්‍රබල ස්ථානයක පසු වූවද ඇලෙක්සැන්ඩර්ට ශක්තිමත් නාවික බලයක් නොතිබිණි. ඇලෙක්සැන්ඩර් හැලිකර්නාසූස් බලා ගමන් කරන බවට තොරතුරු ලද පර්සියානුවෝ නාවික බළඇණියක් එම ප‍්‍රදේශයට යවා එහි ශක්තිමත් ආරක්ෂක වළල්ලක් ස්ථාපනය කළහ.   

කාරියාවේ අදා කුමරිය කලක් හැලිකර්නාසූස් හි රාජිනියව සිටියාය. ඇය කාරියාවේ ප‍්‍රාදේශික පාලකයා වූ හෙකටොම්නස්ගේ දියණිය වූවාය. ඇයට මාසලස්, අර්තෙමිසියා, ඉදිරියස් හා පික්සෝදාරුස් නමින් සොහොයුරන් සිවු දෙනෙක් වූ අතර ඇයගේ විවාහය සිදුවූයේ ඔවුන්ගෙන් එක් සොහොයුරකු වූ ඉදිරියස් සමගිනි. එකල යුරෝපයේ මෙවැනි සිරිතක් පැවතිණ. ප‍්‍රාදේශික පාලක වූ ඉදිරියස්ගේ මරණින් පසු අදා රැජින ප‍්‍රාදේශික පාලක ධුරයට පත්වූවාය. ඇයට වැඩි කලක් එම තනතුරේ සිටින්නට ඇගේ තවත් සොහොයුරකු වූ පික්සොදාරුස් ඉඩ තැබුවේ නැත. ඔහු අදා පළවා හැර පාලක ධුරය තමන් සතු කර ගත්තේය. අදා අලින්දා බළකොටුවට පළා ගියාය. ඇලෙක්සැන්ඩර් එම ප‍්‍රදේශයට පැමිණි කල ඔහු තම පුත‍්‍ර තනතුරට පත් කරගත් අදා රාජිනිය අලින්දා බළකොටුව ඔහු වෙත පවරා දුන්නාය.   


පික්සොදාරුස්ගේ මරණින් පසු ඩේරියස් රජ කාරියාවේ පාලකයා ලෙස ඔරොන්ටොබේටස් පත් කළ අතර ඔරොන්ටොබේට්ස් හා රෝඩිස් හි මෙම්නොන් හැලිකර්නාසූස්හි විශේෂ ආරක්ෂක වළල්ලක් තනා එහි පාලනය ගෙන ගියහ. හැලිකර්නාසූස් අත්පත් කර ගැනීම සඳහා ඇලෙක්සැන්ඩර් ඔවුන් හා සටනට එළැඹිණි. ඔහුගේ හමුදා නගර ද්වාරය බිඳ දමා එහි ඇතුළු වූහ. නගරය පරාජය වන බැව් වටහාගත් මෙම්නොන් නගරය ගිනිබත් කොට හමුදාව සමග පසුබැස්සේය. හැලිකර්නාසූස් අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර් කාරියාවේ පූර්ණ පාලනය අදා රාජිනිය වෙත පවරා දෙනු ලැබීය. කාරියාවේ වැසියෝ ඇලෙක්සැන්ඩර්ට හා අදා රාජිනියට දැඩි පක්ෂපාතීත්වයක් පළ කළහ.   


ඩේරියස් හා සටන් කිරීම සඳහා ඇලෙක්සැන්ඩර්ට වසරක පමණ කාලයක් කල් මරන්නට සිදු විය. ක්‍රි.පූ. 333දී දකුණු ඇනටෝලියාවේ දී ඇලෙක්සැන්ඩර් රජු හා තුන් වැනි ඩේරියස් රජුගේ හමුදා අතර මහා සටන ඇරඹිණි. ඇලෙක්සැන්ඩර්ගේ ආසියානු ආක‍්‍රමණයේ දෙවැනි දරුණුතම සටන එය විය. තම හමුදා නායකයා වූ රෝඩිස්හි මෙම්නොන්ගේ පසුබැසීමෙන් පසු සටනේ නායකත්වය තමන් වෙත පවරා ගත් තුන් වැනි ඩේරියස් ග්‍රීක හමුදාවට ආධාර ලැබෙන මාර්ග සියල්ල වසා දැමීය. තම හමුදාවට අවශ්‍ය ආහාර හා ආධාර ලබා ගැනීමට මගක් සොයා ගන්නා තෙක් ඇලෙක්සැන්ඩර් මදක් පසුබැස සිටියේය. එහෙත් නොබෝ දිනකින්ම සටන් ඇවිළිණි. ක්‍රි.පූ. 333 නොවැම්බර් 5 වැනි දින පිනාරස් නදිය අසල ඉස්සූස් හිදී (තුර්කියේ වත්මන් ඉස්කෙන්ඩරුන් නගරය) මහා සටන ඇරඹිණි.   


ඩේරියස්ගේ අශ්වාරෝහක හමුදාව මෙහෙය වන ලද්දේ පලැන් විසිනි. ඉතිහාසඥ ඒ.එම්. ඩිවයින්ට අනුව එකී හමුදාවට 12,000ක පමණ පිරිසක් වූ බැව් පැවසේ. ඩේරියස්ගේ පාබළ හමුදාව 20,000ක් පමණ වූ බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි. මහා සටන අවසානයේ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට ජය අත්විය. තුන් වැනි ඩේරියස් රජු සමග සටන් බිමට පැමිණ සිටි ඔහුගේ බිසව වූ පළමු වැනි ස්ටැටේරියාද, ඔහුගේ දියණියන් වූ දෙවැනි ස්ටැටේරියා හා ඩ‍්‍රයිපටිස්ද ඩේරියස්ගේ මව වූ සිසිගැම්බිස්ද ඇලෙක්සැන්ඩර්ගේ අත්අඩංගුවට පත් වූහ.   


ඇලෙක්සැන්ඩර් තම අත්අඩංගුවට පත් වූ කාන්තාවන්හට ඉතා ගෞරවණීය ලෙස සැලකූ බැව් ඉතිහාසයේ සඳහන්ය. යළි සටනක් ඇතිවීම වළක්වාලීම සඳහා තුන් වැනි ඩේරියස් ඇලෙක්සැන්ඩර් හට යෝජනා තුනක් ඉදිරිපත් කළේය. තම ආකියාමෙනිඩ් අධිරාජ්‍යයෙන් අඩක් භාර ගන්නා ලෙසද, රිදී තලෙන්තු 30,000ක වන්දියක් ගෙවීමට සූදානම් බවට හා තම වැඩිමහලු දියණිය විවාහ කරගන්නා ලෙසට වූ එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ ඇලෙක්සැන්ඩර් එකම අහසේ සූර්යයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් එසේ වුවහොත් ලෝකයේ පැවැත්ම අවුල් සහගත වන බවත් ඔහුට දන්වා යැවීය. ඇලෙක්සැන්ඩර් ඩේරියස්ට විකල්ප දෙකක් ඉදිරිපත් කළේය. ඒ සටන් කොට ප‍්‍රබලයා තෝරා ගැනීම හෝ නැතිනම් යටත් වීමය.   


ඉස්සූස් සටනින් පසු ඇලෙක්සැන්ඩර් මධ්‍යධරණී වෙරළ තීරය ඔස්සේ ඉතා බලවත් නගර රාජ්‍යයක් වූ ටයර් රාජ්‍ය වෙත ගමන් කළේය. ටයරය උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වූ දිවයිනක් විය. ෆිනීෂියාවේ විශාලම හා වැදගත්ම නගර රාජ්‍යයද එය විය. අඩි 150ක් පමණ උසැති දැවැන්ත පවුරුවලින් ආවරණය වී තිබූ ටයර් රාජ්‍යයට ස්වභාවික වරාය දෙකක් තිබිණි. ඔවුන් සතුව විශාල නාවික හමුදාවක් පැවැති හෙයින් නාවික ශක්තියෙන් හීන වූ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මුහුදින් ගොස් ප‍්‍රහාර එල්ල කිරීම අසීරු වූයේය.   

 


මෙහිදී ඇලෙක්සැන්ඩර් අනුගමනය කරන ලද්දේ රාජ්‍යතාන්ත‍්‍රික ක්‍රියා මාර්ගයකි. ඔහු ටයර් නගර රාජ්‍යයේ පාලකයන් සමග සාමකාමී ගිවිසුමකට එළැඹීම සඳහා දූත පිරිසක් එහි යැවීය. එහෙත් ටයර් පාලකයෝ ඇලෙක්සැන්ඩර්ගේ සාමකාමී හස්තය පිළිගැනීමට නොකැමති වූහ. තමන් වෙත සාම පණිවුඩය ගෙන ආ දූත පිරිස මරාදැමූ ඔවුහු ඔවුන්ගේ සිරුරු වෙරළ අද්දර පවුරු මත එල්ලා දැමූහ.   


ඇලෙක්සැන්ඩර් ටයරය සමග යුද ප‍්‍රකාශ කළේය. එම දිවයින අත්පත් කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මාස හතක පමණ කාලයක් සටන් කිරීමට සිදු විය. අවසානයේ ඔහුගේ ඉංජිනේරුවෝ ගොඩබිම සිට ටයර් දිවයින දක්වා සැතපුම් බාගයක් පමණ දිග පාලමක් තැනූහ. ඒ ඔස්සේ මුහුද දෙසින් දූපතට සමීප වූ ඔවුහු විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන් පවුර මතට ගොඩ වී නගරයට ප‍්‍රහාර එල්ල කළහ. ටයර් රාජ්‍යයේ ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඔවුහු නගරයෙන් අඩක් පමණ විනාශ කළහ. ඇරියන් නමැති ඉතිහාසඥයාට අනුව නගරය අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව එහි වාසය කළ 8,000කට අධික වැසියන් පිරිසක් ඝාතනය කර තිබේ. 30,000කට අධික පිරිසක් වහලුන් ලෙස විකුණා දැමිණි.   

 

ඊජිප්තුව ජයගත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා අප්‍රේල් මාසයේ යළි ෆිනීෂියාව දෙසට ගමන් ඇරඹූහ. ටයිග්‍රීස් නදිය තරණය කළ ඔහුට චරපුරුෂයන්ගෙන් අසන්නට ලැබුණේ ඩේරියස් විශාල හමුදාවක් සමඟ යළි ඔහු හා සටනට සූදානම් වන බවකි. ඇලෙක්සැන්ඩර් තම හමුදාව සමග ඩේරියස් සොයා ගියේය. ක්‍රි.පූ. 331 වසරේ ඔක්තෝබර් 1 දින දෙපිරිස ගොගමේලා හිදී (වත්මන් ඉරාක කුර්දිස්තානයේ ඩෝහුක් නගරය) මුහුණට මුහුණ හමු වූහ. පර්සියානු හමුදාවට නායකත්වය දෙන ලද්දේ ඩේරියස් රජු හා ඔහුගේ දක්ෂම සෙන්පතියන් වූ මෙසියස් සහ බෙසුස්ය. පර්සියානු හමුදාව 2,00,000 භට පිරිසකින් සමන්විත වූ අතර ඇලෙක්සැන්ඩර්ට සිටියේ 40,000ක පාබළ හමුදාවක් සහ 7,000ක අශ්වාරෝහක හමුදාවකි. ඔවුනට නායකත්වය දෙන ලද්දේ ඇලෙක්සැන්ඩර් සහ පාර්මේනියන් විසිනි. අර්බෙලා සටන නමින් ප‍්‍රකට එම සටනින් ග්‍රීකයන්ට ජය අත් විය.   

 


ටයරය ජයගත් ඇලෙක්සැන්ඩර් ජෙරුසලම ඔස්සේ ඊජිප්තුව දක්වා ගමන් ඇරඹීය. වසර 200කට අධික කාලයක් පුරා ඊජිප්තුව පර්සියාවේ යටත් රාජ්‍යයක් වශයෙන් පැවතියේය. පාරාවෝ රජුන්ගේ නිජබිම වූ ඊජිප්තුව හැඳින්වූයේ මධ්‍යධරණියේ ‘පාන් පැස’ ලෙසිනි. මධ්‍යධරණී කලාපයේ විශාලතම තිරිඟු නිෂ්පාදකයා වූයේද ඊජිප්තුවයි. තම හමුදාව සඳහා විශාල වශයෙන් ආහාර අවශ්‍ය වූ හෙයින් ඇලෙක්සැන්ඩර්ට ඊජිප්තුව ඉතා වැදගත් විය.   


ඇලෙක්සැන්ඩර් ඊජිප්තුවට ඇතුළු වූයේ ගැලවුම්කරුවකු ලෙසිනි. ටයරය මෙන් නොව ඊජිප්තුවේදී ලේ වැගිරීමක් සිදු නොවීය. පර්සියානුවෝ ඊජිප්තු වැසියන්ගේ ආගමික නිදහසට බාධා කළහ. එහෙයින් ඊජිප්තු වැසියෝ පර්සියානුවන් කෙරෙහි පසුවූයේ දැඩි වෛරයකිනි. ඇලෙක්සැන්ඩර්ගේ පැමිණීම පිළිබඳව සතුටට පත් ඔවුහු ඔහු මහත් හරසරින් පිළිගත්හ. ඊජිප්තු පාලකයෝ ඇලෙක්සැන්ඩර් දේවත්වයෙන් සැලකූහ. ක්‍රි.පූ. 331 දී ඇලෙක්සැන්ඩර් පාරාවෝ රජකු ලෙසින් ඔටුනු පැළඳවීමටද ඊජිප්තු පාලකයෝ ක්‍රියා කළහ. එකල ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 24ක් විය. ඔහු තම අනාගත පුරවරය වූ ඇලෙක්සැන්ඩ්‍රියාව නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලද්දේ ද, ඩේරියස් සමග ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත සටනට සූදානම් වූයේද ඊජිප්තුවේ සිටය.   


ඉස්සූස්හී දරුණු පරාජයෙන් පසු ඩේරියස් තම ප‍්‍රවේශය වෙනතක යොමු කළේය. උපායශීලී ලෙස ජයග‍්‍රහණය කරා යමින් සිටි ඇලෙක්සැන්ඩර් පරාජය කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව ඔහු තම අවධානය යොමු කළේය. තමා විසින් ඇලෙක්සැන්ඩර්ට යොමු කෙරුණු නිර්ලෝභී කොන්දේසි ඔහු විසින් තෙවරක්ම ප‍්‍රතික්ෂේප කරනු ලැබීම සම්බන්ධයෙන් ඩේරියස් පසු වූයේ දැඩි කෝපයකිනි. සිසිර සෘතුව අවසන් වන විට ඇලෙක්සැන්ඩර්ගේ හමුදා සමග සටන් කිරීම ඔහුගේ අරමුණ විය.   


ඊජිප්තුව ජයගත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා අප්‍රේල් මාසයේ යළි ෆිනීෂියාව දෙසට ගමන් ඇරඹූහ. ටයිග්‍රීස් නදිය තරණය කළ ඔහුට චරපුරුෂයන්ගෙන් අසන්නට ලැබුණේ ඩේරියස් විශාල හමුදාවක් සමඟ යළි  සටනට සූදානම් වන බවකි. ඇලෙක්සැන්ඩර් තම හමුදාව සමග ඩේරියස් සොයා ගියේය. ක්‍රි.පූ. 331 වසරේ ඔක්තෝබර් 1 දින දෙපිරිස ගොගමේලා හිදී (වත්මන් ඉරාක කුර්දිස්තානයේ ඩෝහුක් නගරය) මුහුණට මුහුණ හමු වූහ. පර්සියානු හමුදාවට නායකත්වය දෙන ලද්දේ ඩේරියස් රජු හා ඔහුගේ දක්ෂම සෙන්පතියන් වූ මෙසියස් සහ බෙසුස්ය. පර්සියානු හමුදාව 200,000 භට පිරිසකින් සමන්විත වූ අතර ඇලෙක්සැන්ඩර්ට සිටියේ 40,000ක පාබළ හමුදාවක් සහ 7,000ක අශ්වාරෝහක හමුදාවකි. ඔවුනට නායකත්වය දෙන ලද්දේ ඇලෙක්සැන්ඩර් සහ පාර්මේනියන් විසිනි. අර්බෙලා සටන නමින් ප‍්‍රකට එම සටනින් ග්‍රීකයන්ට ජය අත් විය.   


සටනින් පරාජය වූ ඩේරියස් කුඩා හමුදාවක් සමග එක්බතානා වෙත පලා යන්නට සමත් විය. ඔහුගේ පලා යෑමත් සමග පර්සියානු අධිරාජ්‍යය නැගෙනහිර සහ බටහිර වශයෙන් දෙකොටසකට බෙදිණි. ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාව බලා ගමන් ඇරඹීය. ඩේරියස්ට අවශ්‍ය වූයේ නැගෙනහිරට ගොස් හමුදා සංවිධානය කොට යළි ඇලෙක්සැන්ඩර් හා සටන් කිරීමටය. එහෙත් යළි රාජකීය හමුදාවක් ගොඩනගා ගැනීමට ඔහුට කිසි දිනෙක නොහැකි විය. තමාට පක්ෂපාතීත්වයෙන් සිටින ලෙසට ඉල්ලා ඩේරියස් නැගෙනහිර ප‍්‍රාදේශික නායකයන් හට ලිපි යැවීය. එහෙත් ප‍්‍රාදේශික නායකයන් තුළ වූයේ වෙනත් අරමුණකි.   


ප‍්‍රාදේශික පාලකයන් හා හමුදා නායකයන් සහ රජමාළිගයේ ප‍්‍රධාන ආරක්ෂකයා වූ නබරාසනේස් විසින් කුමන්ත‍්‍රණයක් මෙහෙයවන ලදහ. එහි නායකයා වූයේ ඩේරියස්ගේ විශ්වාසවන්තම සෙන්පතියකු වූ බෙසුස්ය. ඩේරියස් රජු අල්ලා රථයකට දමා ගත් ඔවුහු හෙලිවලින් ඇණ ඔහු මරා දැමූහ. ඩේරියස් මරා දැමුණේ වර්තමාන ටෙහෙරානයට නැගෙනහිරින් පිහිටි රහ්ගාහිදීය. ඝාතනය වන විට ඩේරියස්ගේ වයස අවුරුදු 50කි.   
ඇලෙක්සැන්ඩර්ට අවශ්‍ය වූයේ ඩේරියස් ජීවග‍්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමටය. තම සතුරා වුවද ඩේරියස්ට එවැනි ඛේදනීය මරණයක් හිමිවීම පිළිබඳව ඔහු ශෝකයට පත්විය. රථයේ තිබූ ඩේරියස්ගේ මළ සිරුර දුටු ඇලෙක්සැන්ඩර් ඔහුගේ අතැඟිල්ලේ වූ රාජකීය මුදුව ගලවා ගෙන සිරුර රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කිරීම සඳහා පර්සෙපොලිස් නගරයට යැවීය.   


ඩේරියස්ගේ මරණින් පසු පර්සියාව තුළ ඇලෙක්සැන්ඩර්ගේ පාලනය තහවුරු විය. ඩේරියස් මරා දැමූ බෙසුස්, පස් වැනි අර්තැක්ස්රෙස් යන රාජකීය නාමයෙන් පෙනී සිටිමින් තමා ආසියාවේ රජු යැයි නිවේදනය කළේය. ඇලෙක්සැන්ඩර් ඔහු අත්අඩංගුවට ගෙන දරුණු වධ බන්ධනවලට පමුණුවා මරණයට පත් කළේය.   


පර්සියානු අධිරාජ්‍යය තමන් සතු කර ගනු ලැබුවද දිග්විජය කිරීමේ ආසාව ඇලෙක්සැන්ඩර් වෙතින් ඉවත් වූයේ නැත.   

 

 

මතු සම්බන්ධයි   

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා