කෙනකුගේ දියුණුව, අලංකරණය හෝ සුන්දරත්වය දෙස ඊර්ෂ්‍යාසහගත සිතින් බැලීමත් ඒ ගැන තවකෙනකු සමග කථා කිරීමත් විරල දෙයක් නොවේ. එහෙත් මේ සියලු දෙනාටම එකහා සමාන ලෙසින් ඇස්වහ කටවහ දෝෂ ඇතිකිරීමේ හැකියාව නොමැත. එය තම තමන් තුළම නිර්මාණය වී ඇති පාප වේගයන්ට සාපේක්ෂවම තුලනය වන්නකි. පින්දහම්වල යෙදිමේ ජීවිත හුරුවක් නොමැතිව ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරයම පෝෂණය කරගනිමින් ජීවත්වන්නකුගේ අධ්‍යාත්මයද විශේෂයෙන්ම පිරි පවතින්නක් වන බැවින් මෙම දෝෂ ඇතිකිරීමේ හැකියාව ඔවුන් තුළ ඉතා ඉහළය.
හොදින් ඵල දරමින් පැවති අඹ, කොස්, පැපොල් වැනි ගස් වල ගෙඩි මෝරන්නටත් පෙර පණුවන් ඇති වී විනාශ වීමට පටන්ගත් විටක හෝ පැලී කුණු වී වැටෙන්නට පටන්ගත් විටක එය ඇස්වහ කටවහ දෝෂයකින් සිදුවන්නක් බවට පැරණි ගැමි සමාජය තදින්ම විශ්වාස කළේය. කුඹුරක් හොදින් පැසීගෙන එන විට ඒ මැද පඹයකු සවිකිරීමට ඔවුන් පුරුදුවී සිටියේ කුරුල්ලන් බියගන්වා පලවා හරින්නටම නොව කුඹුර දෙස බලන්නන්ගේ සෘජු අවධානය වෙනතකට යොමුකරවීෙම් උපාය මාර්ගයක්ද වශයෙනි. කුඩා බිලිඳකු නිවෙසින් බැහැරකට ගෙන යන විටක එම බිලිඳාගේ නළල මත අක්‍රමවත්ව තිලකයක් තබාගෙන යන්නට එදා ගැමියෝ අමතක නොකළේ නිවසක් ඉදිකරන තැනක එය මඟතොට යන එන අයට නොපෙනෙන ලෙස ආවරණය කරන්නටත් උස් ගොඩනැගිල්ලක් නම් ඒ මත පඹයින් වෙස්මුහුණු වැනිදේ එල්ලා තැබීමට හෝ ‘බුදුසරණයි’ ‘ඇස්වහ කටවහ දෝස දුරුවේවා’ ‘මෙම නිවසට යහපතක්ම වේවා’ ආදී වශයෙන් වැකියක් ලියා කාටත් හොඳින් පෙෙනන තැනක් ප්‍රදර්ශනය කර තබන්නටත් බොහෝ දෙනකු කටයුතු කර ඇති අයුරු වර්තමානය තුළද දක්නට ලැබේ.
ඇතමකු, විද්‍යාවෙන්, තාක්ෂණයෙන් දියුණු වෙමින් පවතින අද වැනි යුගයක ඇස්වහ, කටවහ දෝෂ මිත්‍යා විශ්වාස ලෙසින්ද සලකා බැහැර කළද මේවායින් අත්මිදීම සඳහා බොහෝ දෙනකු විවිධ උපක්‍රමයන් අනුගමනය කිරීම, මෙම දෝෂ පිළිබද සමාජය තුළ මුල්බැසගත් බිය කෙබඳුවේදැයි මැනැවින් පිළිබිඹු කරයි.
විවිධ අකුසල කර්මයන්හි යෙදෙමින් පංචශීලය නොසලකා හරිමින් කටයුතු කරන්නකු තුළට පෙරභවයේ කළ අකුසල කර්ම වේගයන්ද ඇදී ඒම නොවැළැක්විය හැකිය. එවැනි පුද්ගලයකු තුළ කෙනෙකුගේ දියුණුවක් යහපතක් දෙස ආශිර්වාද පෙරදැරිව දැකිය හැකි අධ්‍යාත්මයක් ඇතැයි සිතිය නොහැක. ග්‍රහදෝෂ, අමුනුෂ්‍ය දෝෂ වලටත් වඩා බිහිසුණු කරදර විපත් ඇතිකරමින් පෙරමෙන් අදත්, මතුවටත් ඇස්වහ, කටවහ දෝෂ ඇති කරන්නන් බිහිවී අප අතරම සමාජගත වන්නේ මෙම යථාර්ථ සාධකය තුළින් බව තේරුම් ගැනීම අපහසු නොවේ.
මෙම දෝෂවලට ලක්ව පීඩාවට පත් වූ අය ඒවායින් ගැලවීම සඳහා වතුර මැතිරීම, දෙහි කැපීම, පිරිත් සජ්ජායනාකරවීම සහ දේවාලවලට ගොස් විවිධ ශාන්තිකර්ම කරවා ගැනීම ආදි ක්‍රමවේද වලට යොමුවනු දක්නට ලැබෙයි. එසේ නමුත් ධාර්මික දිවිපෙවතකට ජීවන පැවැත්ම හුරුකරගත් අයකු වෙත මෙම දෝෂ අාකර්ෂණය වීමේ ප්‍රවණතාවය ඉතා අඩු බවද පෙනීයයි. මේ අනුව ඇස්වහ, කටවහ දෝෂ ඇතිකිරීමේ හැකියාවත් ඒවා ආකර්ෂණය වීමේ අවදානමක් තමතමන් විසින්ම රැස්කර ගැනුණු අකුසල් ඵලයන්ම බව මැනැවින් පැහැදිලි වේ.
දයානන්ද පතිරගේ
ජ්‍යොතිෂවේදි
අකුරැස්ස පාර, පැදින්නෝරුව - වංචාවල.