කොළඹ සිට ගාල්ලට දිවෙන ගාලු පාරේ හමුවන ප්‍රධාන නගර අතර මොරටුව බොහෝ දෙනාගේ නෙත් සිත් ඇද බැඳගත් සුන්දර නගරයකි.
‘‘ගහට ගහක් මොරටුවේදී හමුවෙන බව මතක තියාගන්න’’ මේ අපේ ජන සමාජයේ කෙරෙන කතාවකි. මේ අයුරින් ජනයා තුළ මොරටුව ගැන ගොඩනැගී ඇති පැහැදිලි චිත්‍රයක් ඇත. එය නම් විස්මිත ලී වඩුවන් අතින් නිමවෙන කලාත්මක ලී බඩු හා කැටයම් කලාවේ අනන්‍යතාව බව නොරහසකි.
මොරටුව යනු සොබා සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයකි. එක් පෙසකින් සුන්දර බොල්ගොඩ ගඟත් අනෙක් පසෙන් පානදුරා නදියත්. තවත් පසෙකින් දැකුම් කලු ලුනාව කළපුවත් සමඟ නිල් පැහැයෙන් බබළන මහ සයුරෙන් වටවූ සොඳුරු බිම් තීරුවක උරුමය සොබා දහමෙන්ම මොරටුවට ලැබී ඇත. බස්නාහිර පළාතේ කොළඹ දිසාවේ සල්පිටි කෝරළයේ පල්ලෙපත්තුවේ මොරටු පේරුවට අයත් ගම් 18 කින් මොරටු ග්‍රාමය සෑදී ඇත.
මොරටුව ගමට නම ලැබී ඇති අන්දම සොයා බැලීමේදී ‘මුර අටුව’ යන්නේ ‘අ’ යන්න ලොප් වී මුරටුව යන නම සෑදී ඇති බවත් සුඛෝච්චාරණයේ පහසුවට මුරටුව මොරටුව වූ බව අදටත් ගමේ ජීවත්වෙන පැරැන්නෝ පවසති. තවදුරටත් ඉතිහාසගත කරුණු සොයා යෑමේදී 6 වැනි වීර පරාක්‍රම බාහු රජතුමා හස්තිනා පුරයෙන් ගෙන් වූ යුද භටයන්ට කුඩා මුර අට්ටාලයක් තනා දුන් ස්ථානයක් පැවැති නිසා එයට ‘මුරඅටුව’ යනුවෙන් හැඳින් වූ බවත් පසුව එය මොරටුව වූ බවත් ඉතිහාසගත කරුණුවලින් පැහැදිලි වෙයි. පැරණි සංදේශ කාව්‍ය පරීක්ෂා කිරීමේදී මුලින්ම තිසර සංදේශයේ මොරටුව ගැන සඳහන් වී ඇත්තේ මේ අයුරිනි.
ලෙළවමින් තන බර පුවළ අළඟන රන් තැඹිලියේ
දුහුලැඳ උඩු දණ මඬලද සිරිසර පාමි නෙළියේ
ගෙරි නවතමින් යනෙන ගොපලු අඟණන් තුනුඑළියේ
නෙතු සිතු සනසමින් සබඳ නොලසව මොරටු එළියේ
ෂඩ්භාෂා පරමේශ්වර ෙතාටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද පරෙවි සංදේශයේ ‘‘ලපා නොවැ යනෙන ලිය දැක නොවැ මැළියේද’’ යනුවෙන් මොරටුව ගැන සඳහන් කොට ඇත. මේ අයුරින් තිසර, කෝකිල, ගිරා පරෙවි යන සංදේශ කාව්‍යවල මොරටුඑළියේ තණ බුදින හරකුන් රැකබලාගන්නා ගොපලු කතුන් ගැන වර්ණනා කොට ඇත. එසේ නම් මොරටු එළියේ ගවයන්ට තණ කෑමට හැකි තණ බිම් එකල තිබූ බව පෙනේ.
එදා මොරටුවේ තිබූ සොබා සෞන්දර්යට වශී කෘත වූ අය අතර 1798 ඔක්තෝබර් 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් ප්‍රෙඩ්රික් නෝත්ද මොරටුවේ සුන්දරත්වයට ප්‍රියකළ අයෙකි. ඔහු ඉඩ ලද විගස විවේක ගැනීමට තෝරාගත් ප්‍රදේශය වූයේ මොරටුවයි. ඉංග්‍රීසි ජාතිකයන් මොරටුවේ ෙසාබා සෞන්දර්යට ආදරය කරද්දී සිංහල ජාතියටම ආදරය කරන ජාතික වීරවරයෙක්ද මොරටුවෙන් බිහිවී ඇත. ඔහු වීර සන්නද්ධ වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු හෙවත් වීර පුරන්අප්පු නමින් ප්‍රසිද්ධ විය. පුරන්අප්පු මොරටු පුරවරයෙන් බිහිවී 1848 මාතලේ කැරැල්ලේ නායකයා වශයෙන් ක්‍රියාකොට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ ශ්‍රේෂ්ඨ මොරටු පුත්‍රයෙකි.
මොරටු පුරාණය ගැන තොරතුරු සොයා යෑමේදී හමුවූ මොරටුමුල්ල තාපසාරාමාධිපති මොරටුවේ සුමනරතන නාහිමියන් තම උපන්ගම ගැන අදහස් දැක්වූයේ මෙසේය.
මොරටුවේ ඉපදීම ගැන මා තුළ ඇත්තේ ඇත්තෙත්ම ආඩම්බරයක් තමයි. ඒ මන්ද පුරන්අප්පුගේ ඉඳලා බොහෝ දෙනා රට, ජාතිය, ආගම වෙනුවෙන් උතුම් මෙහෙවරක් ඉටුකිරීම ගැන අපි හදවතින්ම ආඩම්බරවෙනවා. ඒක මේ ගම් දහඅටේම ඉපදුණු අයට තියෙන්න ඕනෑ දෙයක්.
වඩු කර්මාන්තයෙන් දස්කම් විස්කම් දක්වපු උදවිය සිංහල රජ කාලේ පවා අපේ ගම් දහඅටේ ඉඳලා තියෙනවා. කෝට්ටේ යුගයේ රජකම් කරපු 6 වැනි වීර පරාක්‍රමබාහු රජතුමාට ඉතාම අනර්ඝ තත්ත්වයෙන් කැටයම් ශිල්පෙය් විස්මිත නිර්මාණයක් වශයෙන් රාජකීය සිංහාසනයක් හදලා මොරටුවේ ජීවත් වූ ‘සිඤ්ඤයියා කියලා අපේ මුතුන් මිත්තෙක් ඒ කාලේ තෑගි කරලා තියෙනවා. රජතුමා බොහෝම සතුටට පත්වෙලා ඔහුට ‘වන්නකු වත්ත වඩුගේ’ කියලා ගෞරව නාමයකින් ගරු බුහුමන් දක්වලා තියෙනවා. මේ ‘සිඤ්ඤයියා’ කියන දක්ෂ වඩුරාළට පුතුන් 4 ක් ඉඳලා තියෙනවා. දෙන්නෙක් බෞද්ධ වුණා. දෙන්නෙක් කතෝලික වුණා. බෞද්ධ වූ දෙදෙනාගේ දරුවන් වන්නකු වත්ත වඩුගේ ප්‍රනාන්දුලා වුණා. කතෝලික පුතුන් දෙදෙනාගේ දරුවෝ වන්නකු වත්ත වඩුගේ පෙරේරා වුණා.
අපේ ජාතියේම ගෞරවාදරයට පාත්‍ර වූ කොරළවැල්ලෙන් බිහි වූ වන්නකු වත්ත වඩුගේ ඇල්බට් පෙරේරා පසුව මහා ගාන්ධර්වයා වශයෙන් පිදුම් ලැබු පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මැතිඳුන් ඒ වන්නකු වත්ත වඩුගේ පෙරේරා පරපුරෙන් බිහිවූ කෙනෙක්. මොරටුවෙන් බිහිවූ පරිත්‍යාගශීලී දානපතියන් අතර සොයිසා පරපුරෙන් පැවත එන චාල්ස්ද සොයිසා මැතිඳුන් වගේම චන්ද්‍රසේකර පරපුරෙන් එන චන්ද්‍රසේකර මුදලිතුමා ප්‍රදේශයේ පමණක් නොව රටේ පොදු දියුණුව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකළ මහාදානපතිෙයක් වුණා. කොළඹ සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මොරටුව සොයිසාරාමය, මොරටුව සොයිසා ක්‍රීඩාංගණය, වේල්ස් කුමාර විදුහල, වේල්ස් කුමරි විදුහල, ලුනාව රෝහල, මංමාවත් ආදිය වැඩි දියුණු කිරීමට සිය ධනය යෙදවූ ආකාරය ඉතාම ප්‍රශංසනීයයි.
මොරටුව කොරළවැල්ලේ උපත ලැබූ ටී. විලියම් ප්‍රනාන්දු ගැන දන්න පිරිස බොහෝම අඩුයි. සුද්දන්ගේ අවසාන කාලයේ නුවරඑලියේ තේවත්තක තේ පෙට්ටි සෑදීමට බාස් කෙනකු වශයෙන් ගිය විලියම් ප්‍රනාන්දු මහතා ස්වෝත්සාහයෙන්ම ඉගෙන ගත් කෙනෙක්. මේ පහත රටින් ගිය කෙනෙක්. විලියම් ප්‍රනාන්දු මහත්තයා නුවර එළියේ පසුකාලීනව බොහෝම ප්‍රසිද්ධ දේශපාලනඥයකු වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ ගාමිණී දිසානායක මහතාගේ පියා නුවරඑළියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළියේ ආසනයේ මන්ත්‍රීවරයා වුණා. ඒ මහත්තයාගේ නම ඇන්ඩෘ දිසානායක මහත්තයා කියලයි. නමුත් ඊට පස්සේ 1960 මැතිවර්ණ දෙකේ දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළියේ ආසනයේ මන්ත්‍රීවරයා වුණේ අපේ මොරටුගම් 18 කොරළවැල්ල ගමෙන් ගිය විලියම් ප්‍රනාන්දු මහත්තයා තමයි. ඒක මොරටුවට විශාල ගෞරවයක්. ඊළඟට නුවරඑළියේ ජනපද ඇති කිරීමේ පුරෝගාමියා වුණේ මෙතුමා තමයි. සිංහල රජවරුන්ගේ නම්වලින් තැනූ සියලු ජනපද එතුමාගේ යෝජනාවක් අභයපුර, ගජබාපුර, ගාමිණී පුර, විජිතපුර, ශාන්තිපුර ආදී සිංහල ගම්මාන රාශියක් ඒ මහත්තයා නුවර එළියේ ගොඩනැගුවා. දුර්ලභම බෙහෙත් පැළෑටි වර්ග සංරක්ෂණය කිරීමට ඒ මහතා පියවර ගත්තා. 1970 නුවරඑළියේ නගරාධිපති ධුරය පවා විලියම් ප්‍රනාන්දු මහතා දැරුවා. ඒ මහත්තයාව මේ විදිහට සිහිපත් කළේ අපේ මොරටු පුත්‍රයකු නිසයි.
කුරුණෑගල දිසාවේ මැල්සිරිපුර ආරම්භ කළෙත් මේ මොරටුවෙන් ගිය මැල් කියන මහත්තයෙක් බව අමතක නොකළ යුතුයි. මොරටුවේ පළමු ගම් සභාපති වුණේ එම්.පී. ප්‍රනාන්දු කියලා හිටපු ඇමැති ටිරෝන් ප්‍රනාන්දුගේ සීයා තමයි. ඉස්සර මොරටුව ආසනය කියන්නේ වාමාංශික ආසනයක්. සමසමාජ පක්ෂයට තමයි බර. විල්ලෝරාවත්තේ විසූ ඇස්.පී. ප්‍රනාන්දු මහත්තයා වේල්ස් කුමාර විදුහලේ හිටපු ගුරුවරයෙක්. ඒ මහත්තයත් කලක් මොරටුවේ උපනගරාධිපති වුණා. ඒ මහත්තයාගේ දියණියක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහත්තයා සමඟ විවාහ වෙලා හිටියේ.
මොරටුවේ ජන ජීවිතය ගැන කතා කළොත් අපේ සුන්දර ළමා වියට යන්න සිදුවෙනවා. අද මොරටුව විශ්වවිද්‍යාලය තිබෙන ඉඩම් ඉස්සර විශාල කජු කැලෑවක් තමයි. අපි පුංචි කාලේ කොල්ලෝ එක්ක එකතුවෙලා මේ කජු කැළේට ගිහිල්ලා පුළුවන්තරම් කජු කනවා. කජු පුහුලන් හරිම රසයි. පාසල් නිවාඩු කාලෙට වගේම ඉස්කෝලේ ගිහින් සවස් වරුව කෙළි දෙලෙන් ගෙවෙන්නේ ෙම් කැලෑවල තමයි. මේ කජු කැලේ අසල අද ආතර් සී. ක්ලක් මධ්‍යස්ථානය අවට පොඩි රෝහලක් තිබුණා. ඒකේ තමයි ඒ කාලේ මැලේරියා රෝගීන්ට වෙදකම් කරන්නේ. මොරටුමුල්ල හන්දියේ ඉඳලා කොටියා කැලේ කියලා කැලෑ ප්‍රදේශයක් තිබුණා. අපි පුංචි කාලේ මේ වගේ තිබුණ බඩවැටි තළාගෙන ගිහිල්ලා බඩකට පුරා පිරෙන්න හිඹුටු, පේර, මාදං කනවා. සවසට බොල්ගොඩ ගඟේ නාන්න යනවා. ඒ කාලේ වතුර හරිම පිරිසිදුයි. බොල්ගොඩ ගඟ ඉදිබැද්දේදී ඉඳිබැද්ද ගඟ වුණා. විල්ලෝරාවත්තේදී විල්ලෝරාවත්ත ගඟ වුණා. ඉතාම සුන්දර ළමාවියක මිහිර අපි ඒ කාලේ වින්දා. අද හැදෙන වැඩෙන දරුවන්ට ඒ සුන්දර ළමාවිය නැතිවීම ගැන මට නම් තියෙන්නේ පුදුම සංවේගයක් තමයි. දුවලා පැනලා නිදහසේ අපි එදා ගතකළ ළමාවිය කවරදාවත් ආයේ අපට වර්තමාන ළමා පරපුරෙන් දකින්න ලැබෙන්නේ නැහැ. එදා හිටපු වැඩිහිටියොත් තමන්ගේ දුර්වලකම්, අඩුපාඩුවක් දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරනවා අඩුයි. මගේ පියා අපි පුංචි කාලේ බොහෝම වෙහෙස මහන්සිවෙලා දෑතේ කර්මාන්තයෙන් ජීවත්වෙන අය නිසා සවසට හීන් අඩියක් ගහපු බව අපි දැනගත්තේ කුප්පිලාම්පු එළි අතරින් ගිහිල්ලා වැල් ඇඳේ ඉඳගෙන පැරණි නාඩගම් ගීතයක් හරි රූපසිංහ මාස්ටර් හා රුක්මණී දේවි ගැයූ ‘ශ්‍රී බුද්ධගයා විහාරේ’ යන ගීතය ඇහෙන කොට තමයි. මගේ අනිත් අයියලා දෙන්නත් එක්ක මම මුවින් මුව බලා ගැනීමෙන් අද තාත්තා පොඩි අඩියක් ගහලා තියෙන බව දැන ගන්නවා. ඒ තරම් අහිංසක විදිහට තමයි අපේ වැඩිහිටියෝ ඒ කාලේ හැසිරුණේ.
වඩුකර්මාන්තය දෑතේ කර්මාන්තයක් වශයෙන් දවස් 365 දවසේම අතපය මහන්සි කළොත් මුදල් ලැබෙනවා. ඒ වගේම තමයි ඒ මහන්සිය විඩාව දුරුකරගන්නේ සංගීතයෙන් තමයි. ඒ අනුව මේ මොරටු ගම් දහඅටේම සංගීතය සමග මුසු වූ ජන සමාජයක් ගොඩනැඟිලා තියෙනවා. වඩු මඩුවේ වැඩ අවසන් වුණාම ඩොල්කිය, සර්පිනාව, පියානෝව, ගිටාරය, ඔවුන්ගේ අතට එනවා. මියුරු සංගීතයක රාවය මුළු ගම පුරාම ලස්සනට ඇහෙනවා. විටෙක කපිරිඤ්ඤා බයිලා වෙන්නට පුළුවන් එයින් ඔවුන් කිසියම් සතුටක් ලබනවා. අපේ ගමටම ආවේනික සංගීත භාණ්ඩයක් තිබෙනවා. ඒකට කියන්නේ ‘රව කිඤ්ඤාව’ කියලයි මේ පසුබිම මොරටු පුරවරයෙන් සංගීතඥයන් මෙන්ම ගායක ගායිකාවන් බිහිවීමට ප්‍රබල හේතුවක් වුණා.
මොරටු ගම් දහඅටේ ජීවත්වෙන ගැහැනු පිරිමි හොඳට අඳිනවා පළඳිනවා. අනෙක් ප්‍රදේශවල මිනිස්සු අඳින්නෙ පළඳින්නේ නැතුව ඉන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් මොරටු වැසියෝ දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම තමයි වන්දනා ගමන් විනෝද චාරිකා යන්න පුදුම ආශාවක් ඒ කාලේ ඉඳලම මේ ගම්වල තියෙනවා. කතරගම ශිව රාත්‍රිය සමරන්න වැඩිපුරම යන්නේ මොරටුවේ මිනිස්සු. කතරගම් ප්‍රදේශයේ මිනිස්සු ශිව රාත්‍රියට කියන්නේ මොරටු රාත්‍රිය කියලා තමයි. මොරටු ගම් පළාතේ තවත් සුවිශේෂ කරුණක් තිබෙනවා. ඒ තමයි බෞද්ධ කතෝලික මිශ්‍ර විවාහ හරියට සිදුවෙනවා. එකම වහලක්යට ඉඳගෙන එකම හැළියේ බත් කමින් බෞද්ධ හා කතෝලික ආගම් දෙකේම ආගමික වතාවත් ඉටුකෙරෙන ගෙවල් මේ මොරටුවේ තියෙනවා. ඒ අය සතුටින් සමාදානයෙන් ජීවත් වෙනවා.
මොරටු දෙවියෝ කියලා දෙවි කෙනෙක් මේ මොරටුව ගම් පළාතට ඉන්නවා. මොරටු දෙවියන්ට අදත් පුද සත්කාර කරනවා. මොරටු දෙවියන්ගේ පරම්පරාවෙන් පැවැත එන අය අදටත් මොරටුවේ ඉන්නවා. මොරටු දෙවියන්ගේ මහ දේවාලය තියෙන්නේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ තමයි. මොරටුගම් 18 ටම ගම් හැදුණු ආකාරය මම දන්නවා. එයින් රාවතාවත්ත කියලා හැදිලා තියෙන්නේ නුවර යුගයේ ගණින්නාන්සේ නමක් මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ නම රේවත, රේවත ගණින්නාන්සේ වැඩ වාසය කළ ප්‍රදේශය රේවතයා වත්ත වුණා. පස්සේ මේක රාවතාවත්තවුණු බව අපේ මුතුන්මිත්තෝ අපිට කියලා දීලා තියෙනවා. මොරටුවේ කලකරුවන් කලාකාරිනියන් සිහිපත් කිරීමේදී දෙස් විදෙස්වල පවා ගෞරවාදරයට පාත්‍ර වූ අමරදේව මැතිඳුන් මගේ මතකයට එනවා. ඒ වගේම චිත්‍රපට ගීත ගායනයට ජනාධිපති සම්මානයෙන් පිඳුම් ලැබූ ගායිකාවක වන දමයන්ති ජයසූරිය මහත්මියත් බුදු දහමට ළැදි බෞද්ධ කාන්තාවක් හා ගායිකාවක් වශයෙන් මගේ මතකයේ තිබෙනවා. මට මුලදී සඳහන් කරන්න බැරි වූ දෙයක් තිබෙනවා. ඒ තමයි මොරටු පුරවරයේ බොල්ගොඩ ගඟටම ආවේණික වූ මත්ස්‍ය විශේෂයක් ඉන්නවා. මාළු දෙවර්ගයක්ම ඉන්නවා. ඒ තමයි අයිරාවෝ හා දිය කළන්දෝ කියන දෙවර්ගය. බොල්ගොඩ ගඟට සිදුවන පරිසර හානි නිසා මේ මත්ස්‍ය සම්පත වඳවෙමින් පවතිනවා. අවසන් වශයෙන් මොරටුවේ ඉපදුණු මොරටු පුත්‍රයෙක් වශයෙන් මේ ගම් 18 ටම සේවය කරමින් ජීවත්වීම තරම් සතුටක් මට තවත් ඇත්තේ නැහැ යනුවෙන් සුමනරතන නාහිමියෝ පවසති. මොරටුව ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් වසර ගණනක් සේවය කොට පරිපාලන අත්දැකීම් ඇතිව පසුව මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් මහජන ඡන්දයෙන් තේරීපත් වූ ඒ.ටී.කේ. චන්ද්‍රදාස මහතා මොරටුව ගැන අදහස් දැක්වූයේ මේ අයුරිනි.
තුන් පැත්තකින් ස්වභාවික ජලපෝසක ප්‍රදේශවලින් වට වූ මොරටුව ගොඩ මායිමක් තියෙන්නේ රත්මලාන පැත්තෙන් පමණයි. මැතිවරණ කොට්ඨාසය වගේම ප්‍රාදේශීය ෙල්කම් කොට්ඨාසයත් පළාත් පාලන කොට්ඨාසත් එකම සීමාවක එක මායිමක පිහිටලා තියෙන එකම ප්‍රදේශය තමයි මොරටුව කියන්නේ. අනාදිමත් කාලයක සිට දැව කර්මාන්තය වගේම ධීවර කර්මාන්තයට යොමු වූ පිරිසක් තමයි මේ මොරටුව ප්‍රදේශයේ බහුතරයක් ඉන්නේ. බොහෝ පිරිසක් ප්‍රනාන්දු, මැන්දිස්, පීරිස්, පෙරේරා යන වාසගම්වලට උරුම කම් කියූ අය තමයි මේ ප්‍රදේශයේ වාසය කරන්නේ. මොරටුව යනු හොඳ බෞද්ධ ජන නායකයන් හිටපු ප්‍රදේශයක්. මොරටුව බෞද්ධ මන්දිරය ගොඩ නැඟු එන්.ජේ.සී. ප්‍රනාන්දු මෙහිදී සිහිපත් කරන්න පුළුවන්.
ගාල්ලේ හිටපු විජයානන්ද දහනායක මහත්තයා සමඟ ගාල්ලට තරග කළ තෝමස් අමරසූරිය මහතා ද බොහෝ කලක් ජීවත් වී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ තමයි. දහනායක මහත්තයා ගාල්ලේ රැස්වීම්වලදී ඔන්න මම සල්ලි ගහක් හොලවනවා අහුල ගනිල්ලා කිව්වේ මේ අමරසූරිය මහත්තයාට තමයි. මොරටුව ආසනය ඉස්සර කැස්බෑව දක්වා දිවයන විශාල ආසනයක්. මුල ඉඳලම මේ ආසනය වමට බර ආසනයක් වශයෙන් තමයි ප්‍රසිද්ධ වුණේ.
ලංකා සමසමාජ පක්ෂයෙන් සෝමවීර චන්ද්‍රසිරි වැනි කවියෙක් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට රැගෙන ගියේ මේ ආසනෙය් ජනතාව තමයි. 1952 සෝමවීර චන්ද්‍රසිරි මහතා සිරගෙදර සිටියදී ජයග්‍රාහණය කරන්න තරම් ප්‍රබල වාමාංශික ආසනයක් වශයෙන් මොරටුව ඉතිහාසගත වෙනවා. මෙරිල් ඩී. ප්‍රනාන්දු, විමලසිරි ද මැල් වැනි සමසමාජ මන්ත්‍රීවරුද පාර්ලිමේන්තුව නියෝජනය කොට ඇත. ඉස්සර සමසමාජ පක්ෂයේ කාන්තා ක්‍රියාකාරිනියක් වශයෙන් ට්‍රික්සි මෙන්ඩිස් මහත්මියත් සිහිපත් කළ යුතු වෙනවා. ඇයත් මොරටුව ආසනයේ ඒ කාලේ ජනප්‍රිය රතු කාන්තාවක්. මොරටුවේ රෙදිපිළි කර්මාන්තයට ඒ කාලේ ඉහළ ඉල්ලුමක් තිබුණා. මොරටුවේ ‘වෙලෝනා’ සමූහ ව්‍යාපාරය ඒ කාලේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක්. විශාල පිරිසක් වෙලෝනා රෙදිපිළි කර්මාන්ත ශාලාවේ සේවය කළා. එහි අයිතිකරු වූ රස්කින් ප්‍රනාන්දු මහතාත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වගේම මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන්ද කටයුතු කළා. 1977 දී මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ ටිරොන් ප්‍රනාන්දු මහත්තයා වැඩිම කලක් මෙහි මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළා. ඒ වගේම මහජන සුබසිද්ධිය වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් ඔහු අතින් ඉටුවුණා. ඉතාම කෙටි කලක් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මොරටුව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක වශයෙන් ක්‍රියා කළත් සිනමා නළු ජීවන් කුමාරතුංග මහතා ද වසර ගණනක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා වශයෙන් ප්‍රදේශයට සේවයක් කළ බව මේ මොහොතේ අමතක කරන්න බැහැ. 1997 දී මොරටුව නගර සභාව මහනගර සභාවක් බවට පත්වීමෙන් පසු මම මහ ඡන්දයෙන් වැඩිම මනාප ලබාගෙන නගරාධිපතිවරයා වශයෙන් සේවය කළා.
මොරටුවෙන් බිහි වූ කලාකරුවන් හා දැනට මොරටුවේ ජීවත්වෙන කලාකරුවන් අතර රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ටෙනිසන් කුරේ, මැණිකේ අත්තනායක, නිශ්ශංක දිද්දෙණිය, සමුද්‍රා හික්කඩුව, නිල්මිණි තෙන්නකෝන් වැනි රංගධාරීන්ද, ගායන ක්ෂත්‍රයේ නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්ත, අසංක ප්‍රියමන්ත පීරිස් ද අයත්වෙති. නීති ක්ෂත්‍රයේ මොරටුව නියෝජනය කළ අය අතර අපරාධ නීතිය ගැන හසල දැනුමක් තිබූ අර්ඩ්ලි පෙරේරා මහතා ද, ටිරෝන් ප්‍රනාන්දු, ඒ.පී. අබේසීල, අනුෂ ගුණසේකර යන මහත්වරු මා මතකයේ තිබෙනවා. ලංකාවේ පවතින පැරණි මෙන්ම ප්‍රබලම ස්වේච්ඡා සංවිධානයක් වන සර්වෝදය ව්‍යාපාරය ද ඇත්තේ මේ මොරටු පුරවරයේ තමයි. එහි නායක ඒ.ටී. ආරියරත්න මහතා ද බොහෝ කලක සිට ජීවත්වන්නේ ද මේ මොරටු ප්‍රදේශයේම තමයි.
ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කිරීමේදී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, රමේෂ් කළුවිතාරණ, සහන් විජේරත්න, රුමේෂ් තිරිමාන්න ආදී ක්‍රිකට් ක්‍රීඩා තරුද, චමත් සේරසිංහ, සැම්සන් ද මැල්, ගයාන් මීදෙණිය වැනි පැසිපන්දු ක්‍රීඩකයන් ද මොරටුවෙන් බිහිවී ඇත. අවසන් වශයෙන් මොරටුවේ ඉහළම පරිපාලන නිලධාරියා වශයෙන්ද මොරටු නගරයේ ප්‍රධාන පුරවැසියා වශයෙන් ක්‍රියාකොට සිදුකළ මහජන මෙහෙවර ගැන සතුටුවෙමින් මොරටු වැසියකු වශයෙන් දරු මුණුපුරන් සමග ජීවත් වීමට ලැබීම වාසනාවක් වශයෙන් හිටපු නගරාධිපති ඒ.ටී.කේ. චන්ද්‍රදාස මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.
සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ