කොළඹ අහසේ ඇමෙරිකා මෙහෙයුම


අඳුරු යුගයක   නොලියවුණු කතාව
 

 

සී.අයි.ඒ නමැති ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණයක පසු වූ ඇමෙරිකානු කෙනට් ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු කිහිපදෙනෙක් සී.අයි.එ් සංවිධානයට අයත් හෙළිදරව්ව තිබූ නිල ලිපිගොනු කිහිපයක් පරීක්ෂාකරමින් සිටියහ. එහිදී ඇමෙරිකානු හමුද‌ාවට අයත් නොවන පෞද්ගලික අංශයේ ගුවන් සමාගම් කිහිපයක ගමන්වාර කිහිපයක් සඳහා සී.අයි.ඒ සංවිධානය ගෙවීම් කර ඇති බව සොයාගත්හ. ඔවුන් මේ ගැන දිගින් දිගටම සොයාබැලුවේ ඇමෙරිකානු ආරක්ෂක අංශයක වැය ශීර්ෂයේ පිටස්තර සමාගමක යානා සඳහා ගෙවීම් සිදු නොවන බව දන්නා නිසාය.   

අවසානයේ ඔවුන් සොයා ගත්තේ ලෝකයම මවිතයට පත්කරන සිදුවීම් ද‌ාමයකි. එනම් ඇමෙරිකානු රහස් ඔත්තු සේවය කුලියට ගත් ගුවන්යානා යොදවා තලේබාන් සහ අල්කයිඩා ඇතුළු ත්‍රස්තසංවිධාන සාමාජිකයන් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බවය.  


මේ සඳහා යොදවා ගත් ගුවන්යානා සියල්ල සුදුපැහැති ජෙට්යානා වූ හෙයින් මෙම මෙහෙයුම ‘වයිට් ප්ලේන් ධවල යානා මෙහෙයුම නමින් නම් කිරීමට මෙම විශ්ව විද්‍යාලයීය කණ්ඩායම කටයුතු කළේය. මෙම ඇමෙරිකානු සී.අයි.ඒ රහස්ඔත්තු සේවා මෙහෙයුම අප රටට වැදගත් වෙන්නේ මෙසේ පැහැරගෙන ගිය අල්කයිඩා/තලේබාන් සාමාජිකයකු පැහැරගත්තේ ලංකාවේදී වීමය. එමෙන්ම මෙම ධවල යානා ගමන්වාර කිහිපයක්ම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ සිදු වී තිබීමද මෙකී විද්‍යාඥයින් පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්ව තිබේ.   


මේ පිළිබඳ රහස් ලිපිගොනුවට ඇමෙරිකානු ජනමාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදුන්නේය.  


ඇෆ්ගනිස්ථානය, ලිබියාව, පාකිස්ථානය, තායිලන්තය, ලිතුවේනියාව හා ශ්‍රී ලංකාව යන රටවල සිට තලේබාන් - අල්කයිඩා සාමාජිකයන් 40 දෙනකු පමණ ගුවන් ගමන්වාර 60 ක් මගින් කුදලාගෙන ඇමෙරිකාවට අයත් කියුබාවේ පිහිටි ගුවාතනාමෝ බේ කඳවුරේ රඳවා තබාගත් බව එම ලිපිගොනුවෙන් අනාවරණය වේ. සුබෙයාර් නමැති සැකකරු ගෙනයාම සඳහා තායිලන්තය ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් තුන තුළ සිදුකළ ගුවන්ගමන 2003 ජුනි 19 වැනිද‌ා ද, රිදුවාන් ඉසමුදීන් හම්බාලි නමැති සැකකරු ගෙනයාම සඳහා තායිලන්තය ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් අතර සිදුකළ ගුවන් ගමන 2003 අගෝස්තු 13 වැනිද‌ාද ලිලී නමැති සැකකරු ගෙනයාම සඳහා කළ ගුවන් ගමන 2003 සැප්තැම්බර් 22 වැනිද‌ා ද සිදුකළ බව එම වාර්තාවේ සඳහන්ය.   


මෙම සියලු ගුවන් ගමන් අතිශය රහසිගත විය. එහෙත් ඒ සඳහා අද‌ාළ රටවල පූර්ණ අනුග්‍රහය හිමිවිය.  


අපි අද ඔබට 2003 වසරේ කොළඹ අහසේ සිදු වූ මෙම ඔත්තුසේවා මෙහෙයුම පිළිබඳ කතාන්දරය ඉදිරිපත් කරමු.  


අහසේ සිට විනිවිඳ දකින්නෝ   


රොයිටර් පුවත් සේවයේ ජිම් වුල්ෆ් 2007 ඔක්තෝබර් 3 වැනිදා මෙවැනි වාර්තාවක් පළ කළේය.   


අධිතාක්‍ෂණික ශක්‍යතා සහිත ඉතාම නවීන ඔත්තු බලන යානයක් ආසියාවේ රටවල් රැසක සහයෝගය ඇතිව ආරක්‍ෂක අංශ ප‍්‍රයෝජනය පිණිස ගුවන් ගත කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත. මෙමගින් ඇමෙරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන්නේ එම ආසියානු රටවල් 11 සහයෝගයෙන් ආසියාකරයේ තම ආරක්‍ෂක බලය වඩාත් ශක්තිමත් කර ගැනීමටය.   


එක්සත් ජනපද පැසිපික් කමාන්ඩ් බළඇණියේ ආරංචිමාර්ග පැවසුවේ අධිතාක්‍ෂණික ඇසකින් යුතු ග්ලෝබල් හෝක් යානයක් මෙසේ ගුවන් ගත කිරීමට තීරණය කළ බවයි. රොයිටර් ඊමේල් මගින් කළ විමසුමක දී පැසිපික් බළඇණි ප‍්‍රධානියකු පැවසුවේ රටවල් ගණනාවකට මෙමගින් යුද සහයෝගිතාව ලැබෙනු ඇති බවයි. 


2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු ග්ලෝබල් හෝක් ව්‍යාපෘතියට යළි පණ දුන්නේය. මෙම යානයට ඉන්දු පැසිපික් සයුරේ අඩි හැටපන්දහසක් ඉහළ සිට ඡායාරූප ගත හැකිය.   


වැඩි දියුණු කළ ග්ලෝබල් හෝක් ගුවන් යානය පැසිපික් සයුරේ ගුවාම් කඳවුරෙන් ගුවන් ගතකෙරේ. එහි පාලනය එහි සිට කෙරෙයි. මෙමගින් කලාපීය රටවල් 11කට ඔත්තු තොරතුරු ඇතුළු ප‍්‍රතිලාභ සැලසේ. එමෙන්ම එම රටවල ගුවන් පථවලට එම යානය ගොඩබැස්වීම සහ ගුවන් ගත කිරීමේ පහසුකම්ද ඇමෙරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වෙයි. ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, පිලිපීනය, ඉන්දුනීසියාව මලයාසියාව, තායිලන්තය, ඉන්දියාව, බෲනයි සහ ශ‍්‍රී ලංකාව මෙමගින් ප‍්‍රතිලාභ ලබන රටවල් 11 අතරට වැටේ.” රොයිටර් වාර්තාවේ එසේ පළවිය.  


තමන්ගේ සතුරු රටවල යුද රහස් සෙවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අහසට පිවිසෙන්නට තීරණය කළේ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන විටය. ඒ වනවිට ගුවන්යානා මගින් යම් දුරකට ඔත්තු බැලීම හා භූමියේ ඡායාරූප ගැනීම සිදුවුවද ඇමරිකානුවන්ට අවශ්‍ය වූයේ ඈත අහසේ සිට නොපෙනී තම කටයුතු කර ගැනීමටයි. මේ වන විට සෝවියට් සමූහාණ්ඩු සංගමයද තම සතුරන්ගේ ඔත්තු බැලීම සඳහා අහසට නැගීමට තීරණය කර තිබිණ.

 

   

 

පළමුව යැවුණේ ඉහළ අහසට යා හැකි ගුවන් යානාය. ක‍්‍රමයෙන් වර්ධනය වූ එහි අග‍්‍රඵලය බ්ලැක් බර්ඩ් විය. ලොක්හීඩ් එස්.ආර් 7 බ්ලැක් බර්ඩ් යානා 1960 නිෂ්පාදනය ඇරඹූ දා සිට අවුරුදු 34 ක කාලයක් ඉහළ අහසේ තම ආධිපත්‍යය පතුරා තිබිණ. ලොව පුරා පිහිටුවා තිබූ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරුවලින් ගුවන් ගතවන කළු කුරුල්ලා සතියට ගමන් වාර දෙකක් වසර 34 ක්ම ලොවපුරා දීවේ තමාට පහතින් ඇති රටවල භූමියේ ඡායාරූප ද ගනිමිනි. එම වසර තිස් දෙකට යානා තිස් දෙකක් නිපදවා තිබිණි. එය ඉහළම වේගයද ඉහළම දුර දිවීමේ හැකියාව ඇති යානයද විය. අහසේ අනතුරුවලදී යානා දොළහක් විනාශ වූ අතර ඒ සියල්ල තාක්ෂණික දෝෂ විය. ඒ කිසිවක් සතුරු ප‍්‍රහාරයකට ලක් නොවීම කැපී පෙනිණ.   


සෝවියට් සෑම් වර්ගයේ ප‍්‍රහාරක මිසයිල වලට මෙම යානා හඹා යාමට හැකියාවක් නොවීය. ප්‍රිඩේටර් යානා ආවේ ඉන් අනතුරුවය. නියමුවන් රහිතව ගමනට යැවෙන එම යානා සතුරු හා මිතුරු සියලු රටවල් ඉහළ අහසේ සිට ඡායාරූපයට නගා තම පාලන මධ්‍යස්ථාවල ඇති විද්‍යාගාරවලට ඡායාරූප ලබාදුන්නේ තම රාජකාරිය අකුරටම ඉටු කරමිනි. 

 
2011 වන විට ප්‍රිඩේටර්, යූඒවී ආදි විවිධ නම්වලින් හැඳින්වූ නියමුවන් රහිත යානා අහසේ ආධිපත්‍ය පතුරා තිබිණ. ග්ලෝබල් හෝක් එහි අග‍්‍රඵලය විය. 2012 ජූලියේ දී නවීන ග්ලෝබල් හෝක් යානයක් ඉන්දියානු සාගරයේ තම මෙහෙවරේ යෙදෙමින් සිටියේය. කොළඹ එම යානයේ මුර සංචාරක ගමන් මාර්ගයට අයත් ස්ථාවර අංකයක් බවට පත්ව තිබුණි. එයට හේතුව ‘ග්ලෝබල් හෝක්’ තම අණ ලබා ගත්තේ අංකවලින් නිසාය.


ඇමෙරිකාව මුස්ලිම් ත්‍රස්තවාදීන් සොය සොයා පහරදුන්නේ නිව්​ෙ‌යා්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්වාරයට අල්කයිඩා පහර එල්ලවූ පසුවය. 2001 සැප්තැම්බර් 11 වැනිදා සිදුවූ එම බිහිසුණු ප්‍රහාරය සිදුවූයේ මේ අයුරිණි.   


පියාසර අංක 11   


2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්​ෙ‌යා්ක් අහස අතිශය දීප්තිමත්ව තිබිණි. එදා සැප්තැම්බරයේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් වුවද නිව්​ෙ‌යා්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ යෝධ නිවුන් කුළුණු විදේශවල පවා රූපවාහිනී තිරමත සජීවී දසුන් මවාපෑවේ එහි සිට රූපවාහිනී විකාශන කීපයක් ඒ මොහොතේත් විකාශය වෙමින් තිබූ බැවිනි. උදෑසන 8.46ට මෙකී පැහැදිලි අහස පුරා පැහැදිලි දර්ශන මවමින් දැවැන්ත බෝයිං යානයක් කුළුණු ද්වාරයේ උතුරු කුළුණට සමාන්තරව පෙනී ගියේය. නියමු අසුනේ සිටි මොහොමඩ් අට්ටා හැර වෙනත් කිසිවකුත් යානයේ ගමන් මාර්ගය දැන සිටියේ නැත. අට්ටා කාබුල්හි තම නායකයන්ගේ නියෝග නිසි පරිදි පිළිපදිමින් නියමු කුටියට කඩාවැදී යානය පැහැරගත් පසු තම පාලනයට ගත් යානය දක්‍ෂ ලෙස හසුරුවමින් සිටියේය. යානය පැහැරගෙන ඇති බව පළමුව පාලන කුළුණට දන්වන ලද්දේ ගුවන් සේවිකා ඇමී ස්වෙනි සහ බෙටී ඔන්ග් විසින්ය. එය ඔවුන්ගේ අවසන් පණිවිඩය විය. ලෝක දේශපාලන ගමන්මග වෙනස් කරමින් අට්ටා පැහැදිලි නිව්​ෙ‌යා්ක් අහස දෙබෑ කර ගෙනවිත් උතුරු කුළුණට ඇතුළු වූයේ පසුපසින් දුම් හා ගිනිදළු බුර බුරා   
නැගෙද්දීය.   


පියාසර අංක 175 

 
යුනයිටඩ් එයාර්ලයින් සමාගමේ බෝයිං 767 යානය මගීන් 51 ක් සහ නව දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලය සමග ලෝගන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බොස්ටන් මැසචුසෙට්ස් හරහා නිව්​ෙ‌යා්ක් කරා පියාසැරීම ඇරඹුවේ 2001 සැප්තැම්බර් 11වැනිදා පාන්දරය. උදෑසන 8.51ට යානය නිව්​ෙ‌යා්ක් ගුවන් රේඩාර් පද්ධතියේ සටහන් වුවද යානයේ නියමු කුටිය තුළ වූයේ ලෝගන් සිට යානය ගුවන් ගත කරද්දී නියමු කුටියේ සිටි කපිතාන්වරයා නොවන බව පාලන කුළුණ දැන සිටියේ නැත.   


මේ වන විට කාර්ය මණ්ඩලය තම අත තිබූ සෙලියුලර් දුරකථන මගින් තමන් පැහැර ගෙන ඇති බව හතර අතේ මිතුරන්ට පණිවිඩ දෙමින් සිටියහ. එහෙත් යානය අතරමග   දී විනාශ කිරීමට ප‍්‍රහාරක යානා ගුවනට නොපිවිසි අතර පැහැරගත් කණ්ඩායමේ නායක මාවන් අල් ෂෙබි තම ඉලක්කය කරා යානයේ ලීවර ක්‍රියාත්මක කරමින් සිටියේය. මාර්වන් අල් ෂෙබි ඇමරිකාවට ආවේ එක්සත් අරාබි එමිරේටයේ සිටය. දකුණු ෆ්ලොරිඩාවේදී ඔහු ගුවන් නියමු බලපත‍්‍ර ලැබීය. ඔහුගේ සහාය පිණිස තවත් සෞදි ජාතිකයෝ තිදෙනෙක්ද අල් කයිඩාවෙන් එවා තිබිණි. පළමු ප‍්‍රහාරයෙන් විනාඩි 17 කට පසු පියාසර අංක 175 උදෑසන 9.03 ට දකුණු කුළුණ බිඳගෙන ඇතුළට ගියේය.     


අල්කයිඩාව දිවි නසා ගන්නා මෙම මෙහෙයුම් මාලාව වෙනුවෙන් තම සාමාජිකයන් දහනව දෙනකුද මගීන් සිය ගණනක්ද බිලි දී තිබිණ.   


අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වහාම තම තීරණය ප‍්‍රකාශයට පත්කළේය. එය තවත් දිගු දුර යුද මෙහෙයුමක ආරම්භය විය. පලිගැනීම ද ලජ්ජාව වසා ගැනීමද මෙහෙයුම කැඳවීමට අරමුණ වී තිබිණි. පලිගැනීමේ මෙහෙයුම ඇරඹීමට ප‍්‍රථම ‘‘ග්ලෝබල් හෝක්” යානා දුසිමකට වැඩි සංඛ්‍යාවක් ස්ථානගත කර තිබූ ප‍්‍රදේශයේ සිට ආසියාකරය කරා තම පිරික්සුම් පහන් එල්ල කළේය. ආසියාවේ අල්කයිඩා කඳවුරු මෙහි නිරීක්ෂණයට ලක්විය.   


”ග්ලෝබල් හෝක්” අඳුර අතරින් ආලෝකය දකින්නෙක් විය.   


වොෂිංටන් පෝස්ට් පුවත්පත 2001 සැප්තැම්බර් 12 වැනිදා මෙසේ වාර්තා කළේය.   


”2001 සැප්තැම්බර් මස 11 වැනිදා මධ්‍යහ්න 2.40ට ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෂිල්ඩ් මෙයට මැදිහත් වීමක් තිබේදැයි වහාම සොයා බලන ලෙස සිය සහායකයින්ට වේගවත් නියෝග නිකුත් කරමින් සිටියේය. ජ්‍යෙෂ්ඨ ප‍්‍රතිපත්ති සම්පාදක ස්ටෝන් කැම්බ්‍රේන් ගෙන් රම්ස්ෂීල්ඩ් ඉල්ලා සිටියේ ප‍්‍රවෘත්තියක් ඉක්මනින් ලබා දෙන   ලෙසයි. මෙය සදාම් හා ඔසාමා දෙදෙනාටම පාඩමක් ඉගැන්වීමේ වේලාවයි. ඔසාමාට පමණක් නොවේ. ඔහු ඔසාමා හැඳින්වූයේ ඕ.බී.එල්. (ඔසාමා බින් ලාඩ්න්) නමිනි. ‘‘අපේ කණ්ඩායම් ඉලක්ක හඹා යෑමට හොඳම වේලාවයි එය ඉතා වේගයෙන්.” ආරක්‍ෂක ලේකම් කීවේය.   


ප‍්‍රහාරය වහ වහා සූදානම් කෙරිණි. නිවුන් කුළුණු ඇද දැමූ ප‍්‍රහාරයට පෙර මෙම හඹා යාම සැලසුම් කර ඇතැයි යම් කිසිවකුට සිතන්නට පුළුවන් වන පරිදි ක්‍ෂණික ප‍්‍රහාරයක් සූදානම් කෙරිණි.   
නේටෝ ආඥා මණ්ඩලය තම ප‍්‍රඥප්තියේ පස්වැනි වගන්තිය අනුව තම සගයකුට වූ ප‍්‍රහාරය තමන්ට වූ ප‍්‍රහාරයක් සේ සලකා ප‍්‍රති ප‍්‍රහාරයට අනුමැතිය දුන්නේය. නියමුවන් රහිත ප‍්‍රිඩේටර් හා ග්ලෝබල් හෝක් යානාවල ගමන් මාර්ග වහ වහා වෙනස් කරන්නට ඒවා බාරව සිටි නිලධාරීහු පාලක කුටිවෙත දුව ගියහ. වහා නියෝග නිකුත් වෙමින් තිබිණි. නියමුවන් රහිත සියලූ යානා ඇෆ්ගනිස්ථාන අහස උඩට පෙළ ගැස්විණි.” යැයි වොෂිංටන් පෝස්ට් වාර්තාවක සඳහන් විය.   


2001 ඔක්තෝබර් 7 වැනිදා ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා මහා සංග‍්‍රාමය අරඹමින් කාබුල් නුවරට සහ තලිබාන් හමුදා කඳවුරුවලට නොනවතින ගුවන් ප‍්‍රහාර   
ආරම්භ කළහ. අල්කයිඩා සැකකරුවන් සොයා ඇමෙරිකානු පරීක්‍ෂකයෝ ලොව පුරා දිවූහ. පාකිස්ථානයේ සිට නිරතුරුව සංචාරකයන් එන ශ්‍රී ලංකාවද ඔවුන්ගේ නිරීක්ෂණයෙන් ඉවත් වුණේ නැත.   


ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය එල්ලකර ක‍්‍රියාත්මක වූ අල්කයිඩා මහා ප‍්‍රහාරයෙන් පසු රාජ්‍යයේ ඉහළම ආරක්‍ෂක ප‍්‍රධානීහු රහස් තීරණ ගණනාවක්ම ගත්හ. ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් අසීමාන්විත ප‍්‍රහාර සඳහා හමුදාවට අණදී තිබූ අතර ලොව පුරා පැතිරී සිටින අල්කයිඩා සාමාජිකයන් සොයා විනාශ කිරීමටත් තම රටට අත්‍යවශ්‍ය පුද්ගලයන් පැහැරගෙන ඒමටත් මධ්‍යම තොරතුරු ඒජන්සිය තීරණය කළේය. එම පැහැරගැනීම් සිදු කෙරෙන්නේ ඇමරිකානු රජයේ කිසිදු දායකත්වයක් පිටට නොපෙනෙන ආකාරයෙනි.

 

 

එහෙත් සියලු මෙහෙයුම් රජයේ වගකීම පිට විය. 2002 මැද ආසියාව අප්‍රිකාව, යුරෝපය හා ඇමරිකාව යන මහද්වීපවල ක‍්‍රියාත්මක වන සහ සැඟවී සිටින අල්කයිඩා සාමාජිකයන් සොයා මෙහෙයුම් ඇරඹී තිබිණ. යම් යම් රටවලින් සොයා ගන්නා ත‍්‍රස්තවාදී සැකකරුවන් රැගෙන ඒම ද රහසිගතව සිදුවිය යුතු අතර ඒ සඳහා ප‍්‍රවාහන මාධ්‍ය වන්නේ ගුවන් යානායි. නිවුන් කුළුණු ඇද දැමීමෙන් මාස කීපයකට පසු තමන්ට අවශ්‍ය ත‍්‍රස්තවාදී සැකකරුවන්ගේ නම් සී.අයි.ඒ සහ එෆ්.බී.අයි විමර්ශකයන් අතට පත්ව තිබිණි.   


2003 වසර එළැඹෙන විට ඇ​ෆ්ගනිස්ථානයේ අල්කයිඩා ජාලය දෙදරා තිබිණ. තලේබාන් ආණ්ඩුව බිඳවැටී තිබූ අතර නායකයෝ වේගයෙන් පලායමින් සිටියහ.  


ඔත්තු සේවා නිලධාරීහු ඒ වන විට අල්කයිඩාවේ ඉහළ මට්ටමේ සිටි නායකයන් එක එකා කුදලා ගනිමින් සිටියහ. ඇමරිකාව ප‍්‍රමුඛ සන්ධාන හමුදාවේ දැවැන්ත මරණීය ප‍්‍රහාර හමුවේ අල්කයිඩාව යාන්තමින් දිවිගලවා ගෙන සිටියද ඔවුන්ගේ ඉහළ අනුගාමිකයන් එක එකා අතුරුදන් වන්නේ කෙසේදැයි කීමට කිසිවකුටත් හැකිව තිබුණේ නැත.  


ග්ලෝබල් හෝ මගින් කොළඹ නිරීක්ෂණය කළ ඔවුන් යමක් සොයා ගත්තේ මේ වකවානුවේය. හරියටම ඒ 2003 ජුනි මාසයේ දවසක් විය.  

 

 


මතු සම්බන්ධයි 

 

 

 

 

 

 
ප්‍රේමකීර්ති රණතුංග