කොටින්ට එරෙහිව යාල්දේවී දුම්රියෙන් කළ “ඔපරේෂන් මිඩ්නයිට් එක්ස්ප‍්‍රස්”


 

ඒ, 1981 වර්ෂයේ අගෝස්තු මසයි. ස්ථානය:- දියතලාව, පළමුවන ගැමුණු හේවා බළඇණියේ විධායක අධිකාරී කාර්යාලයයි. එහි, තරුණ නිලධාරීන් දෙදෙනකුහට මෙසේ උපදෙස් ලැබේ:- "You two are going to North for operational duties you will report to Bravo to Bravo at EPS (උතුරේ ක‍්‍රියාන්විත රාජකාරීන් සඳහා, එක් නිලධාරියෙක් අලිමංකඩ ස්ථාන ගත වූ ‘‘බ‍්‍රාවෝ’’ කණ්ඩායමටද අනෙක් නිලධාරියා වෙල්වෙටිතුරයේ ස්ථානගත වූ ‘‘ඩෙල්ටා’’ කණ්ඩායමට ද වාර්තා කළ යුතු බව, රාත‍්‍රී තැපැල් දුම්රියෙන් පොල්ගහවෙලට ගොස් පසු දින උදෑසන ‘‘යාල්දේවි’’ දුම්රියෙන් යායුතු බව, ආරක්‍ෂාව සඳහා පිස්තෝල දෙකක් ලබා ගත යුතු බව, දුම්රිය බලපත‍්‍ර හා ගමන් නියෝග මූලස්ථානයෙන් ලබාගත යුතු බව යනාදී උපදෙස් මෙහිදී ලැබිණි.) මෙසේ උපදෙස් ලබා දුන්නේ එවකට විධායක අධිකාරි වූ කපිතාන් පාරමී කුලතුංගය. (මේජර් ජෙනරාල් නිලයට උසස්ව පසුව යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික නිලධාරී ධුරය හෙබවූ මෙම නිලධාරියා 2006 ජුනි 26 දින එල්.ටී.ටී.ඊ. යේ ස්වයංඝාතක බෝම්බකරුවකුගේ ප‍්‍රහාරයකින් පන්නිපිටියේදී ජීවිතක්‍ෂයට පත්විය.)  

 

 

මෙසේ උතුරු රාජකාරී සඳහා ගමන් ගැනීමට නියමිත නිලධාරීන් දෙදෙනා අතුරින් එක් නිලධාරියෙක් 2/ලුතිනන් මොහාන් ජයවර්ධනය. (පසු කලෙක මේජර් ජෙනරාල් නිලය දක්වා ඔහු උසස් විය) ඉන්දියාවේ, තමිල්නාඩු ප‍්‍රාන්තයේ ‘‘මැඩ්රාස් නිලධාරී පුහුණු පාසලේ’’ (OTS) හා ‘‘දියතලාව යුද හමුදා විද්‍යාපීීඨයේ’’ (SLMA) කෙඩෙට් නිලධාරී පුහුණුව අවසන් කර, එම වර්ෂයේ ජූලි මස පළමු ගැමුණු හේවා බළඇණියට අධිකාරීය ලැබූ ඔහු හා ඔහු සමඟින් ගමන් කිරීමට නියමිත අනෙක් නිලධාරියාද, උතුරේ රාජකාරී සඳහා යන පළමු අවස්ථාව මෙයය. එපමණක් නොව, ‘‘යාල්දේවී’’ දුම්රියෙන් මීට පෙර කිසිදා ගමන් ගෙන නොමැති ඔවුනට ‘‘උතුරු ගමන’’, මුළුමණින්ම නුහුරු අත්දැකීමකි.   


වේලාව 2000 පැයයි. සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් දෙපළ තම නිල ඇඳුම් ඇතුළු ආයිත්තම් අසුරන ලද ට‍්‍රන්ක් පෙට්ටි රැගෙන ජීප් රථයකින් දියතලාව දුම්රියපළට පැමිණේ. තම පිස්තෝලය ට‍්‍රන්ක් පෙට්ටිය තුළ ඇත. trunk පෙට්ටිය හා ‘‘අලි කකුල’’ / elephant leg ලෙස හැඳින්වූ බෑගය එවකට හමුදාවල "standard baggage" හෙවත් ස්ථාවර ගමන් මලූ විය. ජීප් රථ රියැදුරු ගමන්මලු රැගෙන යාමට උදවු වේ. වෙන් කරන ලද නිදන මැදිරි ටිකට් පත් දෙකක් තම ගමන් බලපත‍්‍රවලින් ලබාගත් ඔවුහු බදුල්ලේ සිටියහ. කොළඹ බලා යන ‘‘උඩරට මැණිකේ’’ රාත‍්‍රී තැපැල් දුම්රිය එන තෙක් බලා සිටියහ. වේලාව 20.30 පැයට පමණ දුම්රිය ළඟා විය. නිලධාරීහූ තම ගමන්මලු සමඟින් ඊට ගොඩ වූහ.   


වේලාව - පසුදින 0530 පැයයි. ස්ථානය - කොටුව දුම්රියපොළයි. ‘‘යාල්දේවී’’ දුම්රිය පලමු වන වේදිකාවේ නවතා අැත. ‘‘තව සුළු මොහොතකින් එය කන්කසන්තුරය දක්වා පිටත්වේ...’’ යන නිවේදනය නිකුත් කෙරේ! මේ අතර ‘‘උඩරට මැණිකේ’’ රාත‍්‍රී තැපැල් දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ ඇත.   

 


වේලාව - 0645 ට පමණ ඇත. ස්ථානය - පොල්ගහවෙල දුම්රියපළයි. ‘‘මොහාන් ! පිස්තෝල අපි ළඟ තියා ගමු... යාල්දේවීයේ ගමන ටිකක් අවදානම්... පළමුවෙනි වතාවටනේ යන්නේ... යි අනෙක් නිලධාරියා කීය. ‘‘හොඳ වේලාවට අපි බ‍්‍රවුනින් දෙකක් ගන්නේ නැතුව, චයිනීස් දෙකක් ඩ්‍රෝ කළේ...’’ යනුවෙන් මොහාන් කීය. (බ‍්‍රව්නින් යනු 9 මි.මී. වර්ගයේ චයිනීස් 7.62 මි.මී. පිස්තෝලයට වඩා තරමක් බර හා ප‍්‍රමාණයෙන් විශාල වූ පිස්තෝලයකි.) පිස්තෝල තම කලිසම් සාක්කුවේ රඳවා ගත්තද එහි මීට තරමක් පිටතට පෙනේ. එය බීම වැටීමටද ඇති ඉඩකඩ බොහෝය. යමකුට එය පැහැර ගැනීමටද පහසුය. සාමාන්‍යයෙන් නිලධාරියකුහට පිස්තෝලයක් නිකුත් කරන්නේ දැඩි වගකීමකිනි. අයථා පරිහරණය, අස්ථානගත කිරීම, පැහැර ගැනීමට හැකි වන සේ තබා ගැනීම හා එලෙස හැසිරීම, තම ආත්ම ආරක්‍ෂාවට හා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පමණක් හැර වෙනත් දෑ සඳහා භාවිතය යනාදිය හමුදා නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදවල්ය. එහෙයින්, නිලධාරීහු දෙදෙනා, තම පිස්තෝලය සමඟ නිකුත් කරනු ලැබූ එහි ශක්තිමත් ආරක්‍ෂිත lanyard / කෝඩ් නූල තම ඉණ වටා ගෙන ‘‘හදිසි පරිහරණයට’’ හැකි වනසේ එය සකස් කර එහි එක් කොනක් පිස්තෝලයට සම්බන්ධකර, තම කමිසය කලිසම් සාක්කු වැසීම පිණිස උඩින් දැමූහ.   


දුම්රිය ස්ථානාධිපති හමුවූ නිලධාරීන්ට, ‘‘යාල්දේවීය’’ කොටුවේ සිට මගීන් ගෙන් අධිකව පිරී පැමිණෙන බව දැනගත්හ. එහෙයින්, තම ගමන්මලු දුම්රියේ ‘‘ගාඩ් මැදිරියට’’ දැමීමට ඔවුහු අදහස් කළහ. වේලාව - 0700 පැයයි. ‘‘යාල් දේවිය’’ පොල්ගහවෙලට පැමිණේ. Good Morning ! We are two offcers From the Army...can we have our luggage inside යනුවෙන් නිලධාරීන් ප‍්‍රධාන නියාමකට කථා කර ඔහුගේ අවසරය ඇතිව තම ගමන්මලු එයට පටවා ගනී. දුම්රිය පිටත්වේ. මෙහිදී, නිලධාරීන් දෙදෙන දුම්රියේ ගමන් කරනු ලබන කිසිවකු හට තමන් පළමුවරට ගමන් කරන බව කීමට හෝ අන් අයට එසේ හැ​ෙඟන පරිදි හැසිරීමට හෝ ඉඩ සැලසෙන නොවන පරිදි සිටීමට ඔවුහු වග බලා ගත්හ. එය, ලබා තිබූ ‘‘ආරක්‍ෂක උපදෙස්’’ වලට අනුවය.   


එවකට පැවැති ආරක්‍ෂක තත්ත්වයට අනුව, උතුරේ මුහුදු බඩ ආශ‍්‍රිතව ඉන්දියාව සමඟ හොරබඩු ජාවාරම තදින් පැවතුණ හෙයින් එය මැඬලීම හමුදාවේ එක් ප‍්‍රධාන කාර්යයක් විය. ‘‘රාජ්‍ය විරෝධී ත‍්‍රස්තවාදීන්’’ ලෙස නම් කර තිබූ කල්ලි 15-20 අතර සංඛ්‍යාවකින් යුත් ඒවා විය. TELO, LTTE, PLTE, EPRLF මින් ප‍්‍රධාන විය. "wanted" නම් ලැයිස්තුවට අනුව එවකට කුට්ටුමනී, තංගදොරේ, ජෙගම්, උමා මහේශ්වරන්, ශ්‍රී සභාරත්නම්, ප‍්‍රභාකරන්. බාල කුමාර් යන්නවුන් ඉදිරියේම සිටි අතර මින් පළමු තිදෙනා ඒ වන විට හමුදාවට හසුව පසුව වැලිකඩ බන්ධනාගාර ගතව සිටියහ. එවකට උතුරේ රාජකාරී සඳහා යොදවා සිටියේ පාබල, සිංහ හා ගැමුණු බළඇණිවල කණ්ඩායම් කීපයකි. සමස්ත උතුරු අර්ධද්වීපයේ තිබූ අනුඛණ්ඩ/කඳවුරු ගණන 07 කි. ඉරට්ටපෙරියකුලම්, (නවතම බිහි කළ විජයබාහු ඒකකයේ මූලස්ථානය මෙහි තිබිණි) මාන්කුලම්, කොකාවිල් (මෙය රූපවාහිනී කුලුනෙහි ආරක්‍ෂාව හේතුවෙන් ඉදිවුණි), කිලිනොච්චි පන්සල ආරක්‍ෂිත මුරය, අලිමංකඩ හා නාවක්කුලි (1983 වර්ෂයෙන් පසුව ඉදිවූවකි) ‘‘යාල්දේවී’’ දුම්රිය මාර්ගයට සමාන්තරව දිවෙන ඒ 9 මාර්ගය ආශ‍්‍රිතව පිහිටා තිබූ හමුදා අනුඛණ්ඩ/කඳවුරු විය. වෙල්වෙටිතුරය, තොන්ඩමාරු හා මාදගල් උතුරු මුහුද ආශ‍්‍රිතව හා පූනරීන් කළපු ආශ‍්‍රිතව තිබූ අනුඛණ්ඩයන්ය. පලාලිහි උතුරු ආඥාා පෙදෙස් මූලස්ථානය හා 30 දෙනකුගෙන් පමණ යුත් කුඩා ගුවන් අනුඛණ්ඩයක් ගුවන් පථය ආශ‍්‍රිතව තිබිණි. උතුරු නාවුක අණදීම් මූලස්ථානය කරෙයිනගර්හි තිබිණි. එහි ස්ථානගත සංඛ්‍යාව 100 නොඉක්මවීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය ගුරුනගර්හි තිබූ අතර එහි 50ට ආසන්න පිරිසක් සිටියහ. 1981 සිට 1983 වර්ෂයේ ‘‘කළු ජූලිය’’ දක්වා කාලයේදී ‘‘යාල් දේවී’’ දුම්රිය හා ඒ 9 මාර්ගය භාවිතයට ගත් උතුරේ ස්ථානගතව සිටි සමස්ත භට පිරිස් සංඛ්‍යාව 800ට වඩා අඩු විය.   


එවකට හමුදාව සතුව විධිමත් ලෙස සකස් වූ බුද්ධි අංශයක්/ ඒකකයක් නොතිබූ හෙයින් උතුරු රාජකාරී සඳහා යන භට පිරිස් හට පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබිණි. එහෙයින්, ඇතැම් සන්නද්ධ කල්ලිහට එවකට කන්කසන්තුරය හා වවුනියාව අතර ප‍්‍රදේශයේ මෙන්ම කොළඹ (දකුණු) ප‍්‍රදේශය දක්වා සිදු කරන ලද තම කටයුතු ආරක්‍ෂිතව හා රහසිගතව කරගෙන යාම සඳහා ‘‘යාල් දේවීය’’ වැදගත් මාර්ගයක්ද එසේම, රියක්ද විය. මීට ප‍්‍රධාන හේතුව නම් ‘‘යාල් දේවිය’’ කිසිදු අන්දමට ‘‘මාර්ග බාධකයකට’’ හෝ ‘‘පරීක්‍ෂාවකට’’ ලක් නොවීම හා එසේ කිරීමට යාමේදී ප‍්‍රායෝගික ගැටලු රාශියක් ඇතිවීමය.


වවුනියාවෙන් පසු, ‘‘යාල්දේවිය’’ගේ වේගය ක‍්‍රමයෙන් අධික වේ. දුම්රිය මාර්ගයේ මඟ දෙපස පවතිනුයේ ඉතා ග‍්‍රාමීය තත්ත්වයකි. කටු පඳුරු සහිත තල් වගාව කැපී පෙනේ. මෙය, මුලුමනින්ම වර්තමාන තත්ත්වයට වඩා වෙනස්ය. ඉන්දීය පුහුණුවේදී තමිල්නාඩුව දැක තිබූ 2/ලුතිනන් මොහාන් ජයවර්ධන පැවසුවේ කේරළය ලංකාවේ සෙසු ප‍්‍රදේශයන්ට සමාන බවත් වවුනියාවෙන් උතුරු පෙදෙස තමිල්නාඩුවේ දකුණු ප‍්‍රදේශයට සමාන බවත්ය. මේ සියල්ලටම වඩා මෙම නිලධාරීන් දෙදෙනා හට අමුත්තක් ලෙස දැනුණේ ‘‘යාලි දේවීහි’’ හමුදා සාමාජිකයන් තිදෙනෙකු පමණක් ගමන් කරනු දැකීමය. මේ පිළිබඳව විමසීමේදී, රාජකාරී දුම්රිය බලපත‍්‍ර ලද අය පමණක් එසේ ගමන් කරන අතර නිවාඩු යන එන අය දුම්රියට වඩා බස් රථ භාවිත කිරීමට පුරුදුව සිටීමය.   


‘‘යාල් දේවිය’’ පරන්තන් දුම්රියපළට පැමිණේ. 2/ලූතිනන් ජයවර්ධන දුම්රියෙන් බැස ගනී. විනාඩි 10ක පමණ කාලයකින් පසු දුම්රිය අලිමංකඩ පසු කරයි. මේජර් ගාමිණී අංගම්මන එවකට අලිමංකඩ අනුඛණ්ඩය භාර නිලධාරී අණ දෙන විය. සැබැවින්ම, මෙහි දුම්රියපළක් නොවුවද පසු කලෙක දී නැවැත්වීමට උපදෙස් ලැබිණි. යුද හමුදා මූලස්ථානයෙන් රැගෙන එනු ලබන තැපැල් ලිපි / Army mail අලිමංකඩ අනුකණ්ඩය වෙත භාරදීම මෙහිදී සිදුවිය. සංඥා ඒකක රාජකාරියක් වන මෙය සඳහා එවකට මාණ්ඩලික නිලධාරී II ව සිටි සංඥා ඒකකයේ මේජර් ෆ්රෑන්ක් සිල්වා පුද්ගලිකවම තැපැල් ලිපි භාර දීම් හා භාර ගැනීම් සිදු කිරීම දක්නට ලැබීම එවකට සුලබ දර්ශනයක් විය. එහෙත් ‘‘යාල් දේවිය’’ හි ගමන් කළ ඇතැම් දමිළ ප‍්‍රභූවරු මෙම නැවැත්වීම හා ප‍්‍රමාදය පිළිබඳව එතරම් මනාපයක් නොදැක්වූහ.   

 

මතු සම්බන්ධයි