රට හෙල්ලූ සිදුවීමක
අඩි සලකුණු දිගේ...
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙක් වවුනියාවේදී ෙකාටුකරගත්තේ එවකට වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසයට අනුයුක්තව පිහිටා තිබූ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක එස්. රාජා මහතාය.
ඒ වන විට වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටියේ ගාමිණි ද සිල්වා මහතාය.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ අන්තෝනිපිල්ලේ නේසරාසා හෙවත් මේජර් රඝු අප්පා නමැත්තෙකි.
වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම කොටි නායකයා බාරදෙනු ලැබුවේ එවකට කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි අපරාධ විමර්ශන මූලස්ථානය වෙතය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ 1997 වසරේ දිනකය.
එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ මේජර් තනතුරක් දරන නේසරාසාට රඝු අප්පා කියන නම ලබාදී ඇත්තේ එම සංවිධානය මගින්ය.
කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයට මේජර් රඝු අප්පා කියන කොටි නායකයා බාරදීමෙන් පසු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ට විශේෂ පුහුණුවීම් ලබාදීම සඳහා විදේශිකයන්ගේ සහාය ලබාගන්නා බව හෙළි විය.
විශේෂ පුහුණුවීම් ලබාදීම සඳහා කොටි පාලන ප්‍රදේශවලට පැමිණ සිටි විදේශිකයන් දෙදෙනෙක් ගැන මුල්වරට තොරතුරු හෙළිකරන ලද්දේ මේජර් රඝු අප්පා නමැති කොටි නායකයාය.
මෙයින් එක් අයකුගේ නමද ඔහු හෙළිකර ඇති අතර ඔහු ජර්මන් ජාතිකයකු වන මාටින් රිවාන් නමැත්තෙක් විය.
එවකට ජනාධිපති පදවිය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඝාතනය කිරීම සඳහා ඇය ජනාධිපති මන්දිරයේ රැඳී සිටින අවස්ථාවක දැවැන්ත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇති අතර එම ප්‍රහාරයේ නායකයා වශයෙන් එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් පත්කර ඇත්තේ මේජර් රඝු අප්පා නමැත්තාය.
ජනාධිපති මන්දිරයේ පිහිටීම එයට රහසිගතව ඇතුළුවිය හැකි ආකාරය ගැන තොරතුරු සොයාබලා එල්ටීටීඊ බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන්ට වාර්තා සපයා ඇත්තේ දෙමළ ජාතික ඉංජිනේරුවරයකු බවටද තොරතුරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කළේ මේජර් රඝු අප්පාය.
එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ට විශේෂ පුහුණුවීම් ලබාදීමට කොටි පාලන ප්‍රදේශවලට පැමිණ සිටි විදේශිකයන් දෙදෙනාගෙන් නම හෙළි වූ ජර්මන් ජාතිකයා ගැන තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දැනුම්දී ඔහු අත්අඩංගුවට ගැනීමට සෙව්වත් ඔහු අල්ලා ගැනීමට නොහැකි විය.
මේජර් රඝු අප්පාගෙන් ප්‍රශ්න කර මේ සියලු තොරතුරු අනාවරණය කරගත්තේ එවකට කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් අබේසිරි මහතාය.
කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙසද රාජකාරි කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිරි මහතා මේ වන විට විශ්‍රාම ලබා සිටී.
කොළොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බය පිපිරවීම, කොළඹ ගලදාරි හා මහ බැංකුවට එල්ල වූ කොටි ප්‍රහාරය ඇතුළු එල්ටීටීඊය කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුකළ පිපිරීම්වලට අදාළව විමර්ශනවලට හවුල්වී කොටි ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමට සුවිශේෂී මෙහෙවරක් කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිරි මහතා දක්ෂ පොලිස් නිලධාරියකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධව සිටියේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වසර 36 ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම ලැබූ අතර ඔහුගේ ඒ සේවා කාලය තුළ වැඩිම කාලයක් සිදුකර ඇත්තේ එල්ටීටීඊ සංවිධානයට අදාළ විමර්ශන කටයුතුය.
ඒ නිසාම එල්ටීටීඊ ක්‍රියාකාරකම් ගැන විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිරි මහතාට ඇත්තේ හසල දැනුමකි.
මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙසද අබේසිරි මහතා පත්කර ඇත.
වසර 20 ක අතීත මතක හාරා අවුස්සමින් විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් අබේසිරි මහතා ඉරිදා ලංකාදීපය සමඟ දොඩමළුවූයේ ඔහු සොයාගෙන ගිය අවස්ථාවේදීය.
මේ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියන ඒ කතාවයි.
වවුනියාවේ රාජකාරි කළ පොලිස් පරීක්ෂක රාජා කියා මහත්තයෙක් වවුනියාවේදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ නේසරාසා හෙවත් මේජර් රඝු අප්පා නමැත්තෙක් කොළඹ ග්‍රෙගරි පාරේ ඒ කාලයේ පිහිටා තිබුණ අපරාධ විමර්ශන මූලස්ථානයට ගෙනවිත් බාරදුන්නා. රඝු අප්පා කියන්නේ ඔහුට එල්ටීටීඊයට බැඳුණට පස්සේ ලබාදුන් නම. ඔහු එල්ටීටීඊයේ සන්නද්ධ අංශයේ මේජර් තනතුරක් දරපු කෙනෙක්. මේජර් රඝු අප්පා ගැන පරීක්ෂණ පැවැත්වීමට මටයි බාරදුන්නේ. රඝු අප්පාට රැඳවුම් නියෝග ලබාගත්තා.
රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටි රඝු අප්පාගෙන් මම දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්න පටන්ගත්තා. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී වන්නියේ කොටි පාලනය ප්‍රදේශයක් ලෙස එවකට පැවති පොක්කනේ ප්‍රදේශයේ ඒ කාලයේ පිහිටා තිබුණ කොටි කඳවුරේදී ජනාධිපති මන්දිරයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න රඝු අප්පා ඇතුළු 15 දෙෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මාසයක පමණ කාලයක් තිස්සේ පෙර පුහුණුවීම් ලබා තිබෙනවා. ජනාධිපති මන්දිරයේ ආකෘතියක් හදලා තමා මේ පුහුණුවීම් ලබාගෙන තිබෙන්නේ කියාත් ඔහු මාත් එක්ක කිව්වා. ජනාධිපති මන්දිරයට ගහන්න හිටිය තවත් කොටි දෙන්නෙක් වවුනියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා. මෙයින් එක් කෙනෙක් බාලකුමාර්සාමි අනෙකා විග්නේෂ්වරම් ෂර්මා. ජනාධිපති මන්දිරයට ප්‍රහාර එල්ල කරන්න අවශ්‍ය ඔත්තු බලා තොරතුරු කොටි සංවිධානයට බාරදීල තිබුණේ දමිළ ජාතික ඉංජිනේරුවරයෙක්. ඒ වෙනකොට ජනාධිපතිනිය වෙලා හිටියේ චන්ද්‍රිකා මැතිනියයි.
මේජර් රඝු අප්පා නමැති කොටි නායකයාගෙන් මම තවදුරටත් ප්‍රශ්න කරගෙන යද්දී ඔහු එල්ටීටීඊ සංවිධානයේ පුහුණු උපදේශකයකු වශයෙන් සේවය කරන විදේශිකයකු ගැන හෙළිවුණා. ඒ කාලයේ මේ විදේශීය උපදේශකවරයා ඉඳලා තියෙන්නේ යාපනය. එළදුමට්ටුවාල් ප්‍රදේශයේ පිහිටලා තිබුණ කොටි කඳවුරක බවත් හමුදාව යාපනය අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළාට පස්සේ ඒ කඳවුර ඉවත්කරගෙන යන්න තීරණය කළ බවත් රඝු අප්පා ප්‍රශ්න කරද්දී කිව්වා.
එල්ටීටීඊ සංවිධානයේ පුහුණු උපදේශකවරයකු ලෙස කාලයක් තිස්සේ කටයුතු කරපු මේ විදේශිකයාව ආරක්ෂිතව යාපනයෙන් පිටත් කරලා කොළඹට යවන්න ප්‍රභාකරන් තීරණය කරලා තිබෙනවා. මේ විදේශිකයාට යාපනයේ ඉඳලා කැලෑ මාර්ග ඔස්සේ පුත්තලම අනුරාධපුරය මාර්ගය දක්වා ආරක්ෂාකාරීව රැගෙන ඒමට විශේෂ පුහුණුව ලැබූ කොටි සාමාජිකයින් 30 දෙනෙකුට බාරදී තිබෙනවා. එළුවන්කුලම ගමේ ඒ කාලයේ හිටියා අරූල් ක්‍රිස්ටෝපර් ජෝශප් පාක්‍යයම් හා සුරල් කියන අය. මේ අය පවුල් කිහිපයක සමීප ඥාතීන්. කොටි සංවිධානයට උදව් කරන අය.
ඔවුන් ඒ වෙනකොට වන්නියේ කොටි පාලන ප්‍රදේශයට ඇවිත් හිටියේ. කොටි 30 දෙනෙකුගේ විශේෂ ආරක්ෂාව යටතේ එන එල්ටීටීඊ පුහුණු උපදේශක විදේශිකයාට මග පෙන්වන්න ඇවිත් තියෙන්නේ. අරූල් හා ක්‍රිස්ටෝපර් ඇතුළු කට්ටිය. මේ විදේශිකයාව කැලෑ පාරවල් ඔස්සේ යාපනයේ ඉඳලා පුත්තලම ගම්බිරිගස්වැව ප්‍රදේශයට ගෙනත් ඇරලවා ගොස් තිබෙනවා.
මේජර් රඝු අප්පා මේ තොරතුරු හෙළිකළාට පස්සේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් අබේසිරි මහතා ඇතුළු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් පුත්තලම ගම්බිරිගස්වැව ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇත්තේ මේ විදේශිකයා ගැන තොරතුරු සොයා බැලීමටය.
කොටි ත්‍රස්තවාදීන් 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකගේ විශේෂ ආරක්ෂාව යටතේ විදේශිකයා ගෙනවිත් ඇරලවා ඇත්තේ ගම්බිරිස්ගස්වැව ඉස්මත්තටය.
ඒ ප්‍රදේශයේ ඡායාරූප ගැනීමට ලංකාදීප කරුවලගස්වැව මාධ්‍යවේදී ජයන්ත වික්‍රමාරච්චි ගියේ අලි ඇතුන් ගහන කැලෑවක අතිශය දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේය.
විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිරි මහතා මීට අවුරුදු 20 ක පමණ කාලයකට ඉහතදී සිදුකෙරුණු පරීක්ෂණයක් ගැන මතකය අවදි කරමින් කියන කතාවේ ඉතිරිය පෙළ ගැස්සුවේ මෙසේය.
ඒ කාලයේ ගම්බිරිගස්වැව ගම්මානයේ ආරක්ෂාවට පොලිස් මුරපොළක් පිහිටා තිබුණා. අපි ඒ පොලිස් මුරපොළට ගිහින් ඒ මුරපොළේ තියන පොත්පත් පවා පරික්ෂා කර බැලුවා. පොලිස් මුරපොළේ රාජකාරිය කළ නිලධාරීන් කිව්වා විදේශිකයෙක් ගමේ අයකුගේ ට්‍රැක්ටරයක නැගලා එද්දී අපි නැවැත්තුවා. ඔහු විදේශිකයෙක් නිසා විස්තර විමසන්නේ නැතිව යන්න ඇරියා කියා. පොලිස් නිලධාරීන් මොහු පරික්ෂා කර බලා සැකකටයුතු කිසිවක් හමුවුණේ නැති නිසා මුදාහැරලා. විදේශිකයා ගැන තොරතුරු කිසිවක් පොලිස් පොත්පත්වල සටහන් කරලා තිබුණේ නැහැ. කොටි සටන් පුහුණු උපදේශකවරයෙක් විදිහට හිටපු ඒ විදේශිකයා ගැන කිසිම තොරතුරක් අපට දැනගැනීමට නොහැකිවුණා. මේ විදේශිකයා ආගිය අතක් සොයා ගැනීමට නොහැකිවුණා.
මේජර් රඝු අප්පා කියන්නේ හමුදාවට එරෙහිව කොටි ප්‍රහාර ගණනාවකටම නායකත්වය දුන් අයෙක් බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණා. ඔහු කළු හොඳ උස මහත කෙනෙක්. රඝු අප්පාගේ අම්මයි තාත්තයි ඒ වෙනකොට වවුනියාවේ සරණාගත කඳවුරක සිටියා යැයිද විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ව සිටි එම්. නිලාබ්දීන් මහත්තයා ළඟ එල්ටීටීඊ එකේ ප්‍රබලයන්ගේ ඡායාරූප ගොඩක් තිබුණා. ඒ ඡායාරූප තොගය අතරේ ජර්මන් ජාතිකයකුගේ ඡායාරූපයක්ද තිබුණා. මෝටාර් වගේ බර අවි කරේ දාගත්ත කොටි ත්‍රස්තවාදීන් ගොඩක් අතරේ මේ ජර්මන් ජාතිකයා ඉන්නා ඡායාරූපයක් තමා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලාබ්දීන් ළඟ තිබුණේ. මේ ඡායාරූපයේම තවත් විදේශිකයෙක්ද සිටියා. අපි මේ ඡායාරූපයේ හිටිය ජර්මන් ජාතිකයා සහ අනෙක් විදේශිකයාද සොයන්න පටන්ගත්තා. මොවුන් දෙන්නද එල්ටීටීඊ පුහුණු උපදේශකවරුන් බව අපට පරීක්ෂණවලින් පෙනී ගියා.
ජර්මන් ජාතිකයා සහ අනෙක් විදේශිකයා අත්අඩංගුවට ගන්න සොයමින් ඉන්න අතරවාරයේ කොළඹ වරායෙන් විදේශයක සිට ගෙන්වා තිබූ ජෙට්ස්කි වර්ගයේ කුඩා බෝට්ටු 23ක් රේගුබාරයට ගෙන තිබුණා. මේ බෝට්ටු කොටි සංවිධානයට යැවීමට ගෙන්වා ඇති බවට තොරතුරු ලැබුණ නිසා මේ සම්බන්ධවත් අප පරීක්ෂණ ආරම්භ කළා. මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි සිංහල ජාතිකයකු පොලිසියට ගෙනත් ප්‍රශ්න කළා. ඔහුට අපි ළඟ තිබුණ කොටින් එක්ක ඉන්න විදේශිකයන් දෙදෙනාගේ ඡායාරූපය පෙන්නුවා. ඡායාරූපයේ ඉන්න ජර්මන් ජාතිකයා කවුද කියා ඒ සිංහල ජාතිකයා හඳුනා ගත්තා. ජර්මන් ජාතිකයා මේ සිංහල ජාතිකයාගේ හෝටලයට නිතර යන එන අයෙක් බවත් නිතර බෙන්තොට පැත්තේ ගැවසෙන බවත් ඔහු අපිත් එක්ක කිව්වා. මේ ජර්මන් ජාතිකයා පිහිනුම් ශුරයකු බවත් ජෙට්ස්කි වර්ගයේ බෝට්ටු පැදවීමට ද අතිදක්ෂයෙක් බවත් සිංහල ජාතිකයාගෙන් අපට වැඩිදුරටත් දැන ගැනීමට හැකි වුණා.
මේ කියන ජර්මන් ජාතිකයා සොයා ඔහු අත්අඩංගුවට ගැනීමට අපි පුළුල් පරීක්ෂණ ආරම්භ කළා. මේ ජර්මන් ජාතිකයාගේ නම මාටින් හිමාන් බව අප විමර්ශන පවත්වා හෙළි කරගත්තා. අපේ රටේ රැඳී සිටීමට වීසා කාලය ඉකුත් වී තිබුණත් ඔහු රටින් පිටවී ගොස් නොමැති බවද අප කළ පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට ලැබුණා. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපත් පවා පස්සෙ අප සොයා ගත්තා.
මොහු අල්ලා ගැනීමට සෙව්වත් සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඊට පස්සේ මාටින් හිමන් කියා මේ ජර්මන් ජාතික කොටි නියෝජිතයා අල්ලා ගැනීමට ජාත්‍යන්තර පොලිසියට පවා ඔහු ගැන තොරතුරු අපි ලබාදුන්නා. එ්ත් ජර්මන් ජාතිකයා අත්අඩංගුවට ගැනීමට ලැබුණේ නැහැ යැයි විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිරි මහතා පවසයි.
මෙම පරීක්ෂණවලට එවකට කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් සැරයන් විජේරත්න මහතා ද හවුල්වී ඇත.
පොලිස් සැරයන් විජේරත්න මහතා මේ වන විට පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලබා තවමත් එනට රාජකාරියේ නිරතව සිටී.
සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - කරුවලගස්වැව ජයන්ත වික්‍රමාරච්චි