මළ හිරු බැස යන සැන්දෑ යාමේ රෝද දෙකේ කුරුල්ලා මත නැගී ෙහමි, හෙමිහිට බේස්ලයින් පාරේ දැවැන්ත තදබදය අවසන් කරමින් පෑලියගොඩ මීගමු පාරට සේන්දු වූවා පමණි. එතරම් වාණිජ වෙෙළඳසල් නොවූ එම ප්‍රදේශයේ කොට ගවුමක් ඇඳගත් සුරූපිනියක් පාරේ ඉදිරියෙන් ගමන් ගන්නා වග මාගේ දර්ශන පථයට වැටුණේද ඉදිරියෙන් ගිය යතුරුපැදිකරු නොහොත් බයික්කාරයා එම තරුණිය ආසන්නයට ගොස් යම් වාග් මාලාවක් දොඩමින් ඇයගේ පිටුපසට තට්ටුවක් දමා පලා යෑමෙන් අනතුරුවයි. මෙවැනි සිද්ධියක් කනවැකුණු, ඇස ගැටුණු පළමු වතාව නොවූයෙන් මෙම උන්මත්තක බයික්කාරයන්ගේ පැටිකිරිය සොයා තරමක දුෂ්කර ගවේෂණයක යෙදුණේ ඉන් යම් සාධනීය පිළිතුරක් ලැබෙතැයි අපේක්ෂාවෙනි.
ලංකාවේ කොතැන කොහොම, කුමන වෙලාවක, මාර්ගයකම බැස්සද යතුරු පැදිකරුවකු දැකීම සුලභ දසුනකි. එ්තරමට ලංකාවේ යතුරු පැදි ප්‍රමාණය අධිකය. මන්ද අඩු ආදායම්ලාභීන්ගේ පවුලේ වාහනයත්, තරුණ තරුණියන්ගේ විසේකාර දිවි පැවැත්මට ගැලපෙන කදිම වාහනයත් යතුරු පැදිය වන හෙයිනි. නමුත් සමස්තය අතරින් ඉතා සුළු පිරිසක් වන තරුණයින් සංඛ්‍යාවක් යතුරුපැදියට නැග ගත් කල ඔවුන් අහසේ පියාසර කරන පක්ෂීන් යැයි සිතන පිරිසක් බව මගතොට උරණව කෑකෝ ගසන වැඩිහිටියන්ගේ වාග් මාලාවෙන් අපගේ කනට නුහුරු කියමනක් නෙවෙයි.
ඉක්මනින් තැනකට ළඟාවීමට පහසු ලාභදායී වාහනය වීමත් දෛනික ජීවිත පැවැත්ම තුළ ගමනාගමනයට කදිම වාහනය වීමත් මෙන්ම ඕනෑම තදබදයක පවා රිංගාගෙන යා හැකි රථයක් වන හෙයින් යතුරුපැදිය ජන ජීවිතයට සමීප වී ඇත. තවද ඒ හා සමාන ලෙස ලංකාවේ දිනපතා සිදුවන මාර්ග අනතුරුවලින් වැඩි ප්‍රමාණයකට භාජනය වන්නේද මෙම යතුරුපැදියයි. මන්ද හිස් වැසුමෙන් හිස පමණක් යම්තාක් දුරකට ආරක්ෂා කරගත හැකි වුවත් සම්පූර්ණ විවෘත ධාවන පරිචය මත යතුරුපැදිය යනු රිය අනතුරුවලදී ඉක්මනින්ම හානියට ලක්වන සහ ඉක්මනින්ම රියැදුරු හෝ ගමන් ගන්නන් මරණයට පත්වන මාධ්‍ය වේ.
අද කතිකාව යතුරුපැදි පිළිබඳව නොවෙයි. අද ගවේෂණයට පාදක වූයේ යම්කිසි යතුරුපැදිකරුවන් පිරිසකගේ නොහොබිනාකම නිසා වාචිකව හා ශාරීරිකව හිංසනයට ලක්වන තරුණියන් හා එම උන්මත්තකවූවන්ගේ පැටිකිරිය ගැන වඩාත් පුළුල් ලෙස සොයා බැලීමයි.
හබරකඩ ප්‍රදේශයේ පදිංචි ලක්ෂිකා යනු රූමත් තරුණියකි. පෞද්ගලික බැංකුවක සේවය කරන හෙයින් ඇයට ව්‍යාපාරික තත්ත්වයට ගැලපෙන ලෙස ඇඳුම් ඇඳීම සිදුකළ යුත්තකි. එම නිසාම ඇයගේ ඇඳුම බෙහෝ විට දණහිසට අඟල් කිහිපයක් ඉහළට පමණ වූ සාය වේ. සංවර්ධිත රටක හෝ යුරෝපීය රටක මෙවැනි ව්‍යාපාරික තත්ත්වයට අනුකූල ලෙස හැඳ පැළඳීම සරල සමාන්‍ය දෙයකි. එසේම එය හුදෙක් තම වෘත්තියට ගැලපෙන ලෙස විනා ඒ තුළින් රාගයක් හෝ කාමුක බවක් ඇති වන ලෙස වටහා ගැනීම ලංකාවේ සමහරක් පුරුෂයන් සතුව ඇති දුර්වලකමක් වේ.
බස් රථයෙන් බැස ගත් ලක්ෂිකාට වෙනත් අතුරු මාර්ගයක් දිගේ මීටර 400ක් පමණ ඇවිද ඇයගේ නිවසට ළඟාවිය යුතු විය. දිනපතාම උදෑසනටත් සවසටත් මෙය මාර්ගයේ ගමන් ගන්නා සෙසු පුද්ගලයන්ටත් සාමාන්‍ය දසුනක් විය. නමුත් අහඹු ලෙස එක් දිනක් මෙම මාර්ගය කෙටි මාර්ගයක් ලෙස සලකා ගිය යතුරුපැදිකරුවකුට ඇයගේ රූ සපුවත් ඇගේ වස්ත්‍රත් යම්කිසි මානසික අවපීඩනයකට ලක් කිරීමක් බඳුය.
එහි ප්‍රතිඵලය ලෙස එක් දිනක් එම යතුරුපැදිකරු අැය අසලින් යනවිට යතුරුපැදිය සෙමින් ධාවනය කරමින් ඇයට උසුළු විසුළු අසභ්‍ය ලෙස චාචිකව හිරිහැර කර ක්ෂණිකව පලායන්නට විය. එසේම වෙනත් දිනක එම යතුරුපැදිකරු නැවතත් ඇයට මාන බලාගෙන සිටිමින් පැමිණ ඇය පසුකර ගොස් යතුරුපැදිය නවතා ඇගේ රූ පසුව දෙස කෑදර බැල්මක් හෙළමින් ඇය ඔහු පසුකර යනවිට ඉතාමත් අසභ්‍ය ලෙස කතා කරන්නට විය.
සාමාන්‍ය පවුලක චරිතවත් තරුණියක වූ ඇයට එම වාග් මාලාව දැඩි ලෙස අප්‍රසන්න විය. ඉන් ඇය බොහෝ අපහසුතාවට ලක්වුණි. මේ බව ඇය තම සේවා ස්ථානයේ මිතුරියන්ටද පවසන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ දිනයේදී ඇය පැමිණෙන තෙක් යතුරුපැදිකරු බලා සිටින විට ලක්ෂිකා තම මව්පියන්ගේ හා සහෝදරයන්ගේ සහය පැතුවාය. ඊළඟ දිනයේ ද ඇය ගමන් කරන විට දැක යතුරුපැදිකරු එදිනද ඇය අසලට පැමිණ ඇයට අසභ්‍ය ලෙස කථාකරන්නටත් ඇයව ස්පර්ශ කිරීමටත් උත්සාහ කරන ලදී. එසැණින් ක්‍රියාත්මක වූ පිරිස යතුරුපැදිය නවතා යතුරුපැදිකරු අල්ලා ගත්හ.
යන්තම් වයස විසි දෙකක් වූ එම තරුණයා ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක අලෙවි නිලධාරියකු ලෙස සේවය කරන්නෙකි. ලක්ෂිකාගේ සහෝදරයන් අතින් සුළු පහරදීමකට ලක්වූ පසු එම තරුණයා තමන් කළ වරද ගැන පසුතැවිලි වන්නටත් සමාව ඉල්ලීමටත් විය. පසුව ඔහු විසින් එලෙස කටයුතු කිරීමට පෙළඹීමට හේතුද පවසන ලදී. තමාටද පෙම්වතියක ඇති බව පැවසූ ඔහු ඇය එතරම් පැහැපත් නොමැති බව පැවසීය. එම නිසා තමා මෙවැනි පැහැපත් තරුණියන්ට දැඩි ලෙස ආශා කරන බවත් ඔවුන්ගේ ආවරණය නොවූ පැහැපත් සම තම මනස අවුල් කරන බවත් එහිදී තමන් මෙලෙස කටයුතු කරන බවත් පැවසීය.
ලක්ෂිකා යනු ඔහු අතින් වාචික හිංසනයට ලක්වූ පළමු හෝ දෙවන තරුණිය නොවීය. පසුගිය වසර දෙක පුරාවට ඔහු මෙලෙස තරුණියන් සිය ගණනක් වාචිකව හිංසනයට ලක්කොට ඇත්තෙකි.
මෙය අනවශ්‍ය ලෙස අඩ නිරුවත් නොවී සංවරව ඇඳුම් අඳින තරුණියකට පවා මග තොට තනිව සැරිසැරීම සේම තම පෙම්වතා හෝ මවුපියන් සමග ගමන් කිරීමත් නුසුදුසු කාලයක් වී ඇත. මිනීමරු ත්‍රස්තවාදය පහව ගිය ද තවමත් ලංකාවේ තරුණියකට පාරේ බැස තනිව ගමන් කිරීමට තරම් උචිත කාලයක් උදාවී නැත. මෙහි වැරදිකරුවන් වනුයේ කාමයට ලොබ බඳින අසහනකාරී පුරුෂයන්ය. ඇතැමුන් මෙය නොපිළිගෙන ශරීරය නිරාවරණය වන ලෙස ඇඳුම් අඳින තරුණියන්ට දෙස් තැබීමට පුළුවන. එලෙස දකින විට හැඟීම් ඇවිස්සීමට මූලික හේතුව ඇය විය හැකි බැවිනි. නමුත් ලංකාව හා ඉන්දීයාව වැනි ආසියාතික රටවලට පමණක් සීමාවූ මෙම අසහනකාරී සිතුවිල්ල තුළ කිසිම සාධාරණීය තර්කයක් නොමැත. මන්ද සෙසු රටවල එලෙස ඇඳීම සරල සාමාන්‍ය දෙයක් වන බැවිනි. චාම් පිළිගැනීමටත් එය සාමාන්‍ය දෙයක් වීමටත් ඔවුන්ගේ මනස හා හැදියාව දියුණු වී ඇත
අඩනිරුවත් කාන්තා රුවක් මාර්ගෙය් සිටීම හැඟීම් උත්තේජනයකට මුල පිරීමක් නොවිය යුතු අතර එය ඊටත් වඩා එහා ගිය කාන්තා හිංසනයකට යාමට තරම් කරුණක් නොවේ. ආසියාතික රටක් ලෙස දේශයට අනන්‍ය වූ සම්ප්‍රදායක් පවතින බැවින් ඊට අනුකූල ලෙස සිටිය යුතු නමුත් රටක් ලෙස පවතින තාක්ෂණය හා ගෝලීයකරණය මත හැඩගැසෙන කල ඇතැම් විට සමහර පුද්ගලයන්ට ඔවුන්ගේ තරාතිරම මත ජීවන චර්යාව හෝ සමාජයේ පැවැත්ම වෙනස් විය හැක.
කොලොන්තොට ආශ්‍රිතව කොට කලිසම්කාරියන් හා කොට ගවුම්කාරියන් බහුල ලෙස දැකිය හැකි කාලය හා තාක්ෂණය අනුව වෙනස්වන ලෝකයේ ඒ වෙනස්වීමට අප සියල්ලෝම හුරුවිය යුතුය. එම වෙනසට අකමැති නම් එය නොපිළිගත යුතුය. නමුත් ඒ හැර වෙනසට අකමැතිව වෙනසට ලක්වූවන්ට හිරිහැර කිරීම හෝ හිංසනයට ලක් කිරීම සුදුසු කටයුත්තක් නොවේ.
පසුගිය සති කිහිපය පුරාවට අපට ලක්ෂිකා මෙන් වාචිකව හිංසනයට ලක්වූ තරුණියන් බොහෝ පිරිසක් ගැන දැන ගැනීමට ලැබුණි. ඉන් බොහෝ පිරිසක් හිංසනයට ලක්වූයේ යතුරුපැදිකරුවන් මගිනි.
නුගේගොඩ පදිංචි හංසනී තම මව සමග දිනක් තම නිවසේ සිට සුපිරි වෙෙළඳසලට ගියේ ගෙදරට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ අරමුණිනි. නිවෙසේ සිට මීටර් 500ක පමණ දුරින් පිහිටි එම ස්ථානයට ඔවුන් ගියේ අතුරු මාර්ගයක් හරහාය. නිවාඩු දිනයක් වූයෙන් ඇය නිවස තුළ හැඳ සිටින කොට කලිසම පිටින්ම මව සමග ගියේ මවගේ පෙරැත්ත මත ඇයගේ තනි නොතනිය පිණිසය. කෙසේ හෝ සුපිරි වෙෙළඳසලට මීටර් 100ක් පමණ තිබියදී වේගයෙන් පැමිණි යතුරුපැදියක් ඇයගේ පසුපසට තට්ටුවක් දමාගෙන ක්ෂණිකව ඉගිල යන ලදී.
යතුරුපැදිය පැමිණ වේගය මත යතුරුපැදිකරු ඇයට කළ හිරිහැරය සෙමින් යැයි සිතා කෙරුවද එය වේගවත් පහරක් වූ අතර හංසනී කෑ ගැසීමටත් වැටීමටත් එය හේතුවක් විය. අසහනකාරී එම යතුරුපැදිකරුගේ නොමනා ක්‍රියාවෙන් මව සමග ගමන් කළ හංසනී හිංසනයට ලක්වූවාය. වර්තමානයේ මෙය සරල හෝ හුදු විනෝදය සඳහා වන්නක් ලෙස සිතිය නොහැක. මන්ද මින් හිංසනයට ලක්වන්නේ තරුණියන් වීමයි. මවක් සමග දුවකුට මාර්ගයේ යාමට ඉඩ නොදෙන සමාජය පිරිහී ඇති බව මෙහි නිදසුන්ය.
මෙලෙසම බොරැල්ල උමං පද්ධතිය තුළින් එහා මෙහා යන තරුණියන්ට හා කාන්තාවන්ට සමහර මිනිසුන්ගේ අසභ්‍ය වදන්වලට ලක්වීමට සිදුව ඇත. සාරියක් හැඳ ගමන් කරන කෙනෙකුට පවා එහි යාමට නොහැකි ලෙස පිරිමි අහුමුලුවල තැන්තැන්වල රැක ඉඳිමින් අසභ්‍ය වචනයෙන් ඔවුන්ට කතා කරති. තවද ජාත්‍යන්තර පාසල් අසල ගැවසෙන යතුරුපැදිකරුවන් එම ශිෂ්‍යාවන් පාසල නිමවී වාහනයට යන අවස්ථාවේ පවා අසභ්‍ය ලෙස ඇමතීමට කෑදර ලෙස ඔවුන්ගේ ශරීරය දෙස බලා සිටීමත් දක්නට ලැබෙයි.
අප මෙවැනි ක්‍රියාවන් පසුපස ඇති හේතු මානසික වෛද්‍යවරයකු මගින් තවදුරටත් පැහැදිලි කරන්නෙමු. ඒ අනුව සමහර පුරුෂයන් කාන්තාවට වාචිකව හිරිහැර කරමින් පරුෂ වචනවලින් අසභ්‍ය ලෙස කතා කරමින් සතුටු වන අතර එය මානසික රෝගයක් ලෙස පැහැදිලි කෙරිණි. සමහරු තම ලිංගික අවයවයන් ප්‍රසිද්ධියේ කාන්තා පාසල් අසල හෝ කාන්තාවන් ගමන් ගන්නා මාර්ගවල ප්‍රදර්ශනය කරමින් සිටින බවද පැවසීය. ලිංගික අාශාවන්වල පවතින විවිධත්වය අතර සමහර මෙවැනි පුරුෂයන්ට මෙවැනි අස්වාභාවික ලිංගික ආශාවන් තිබිය හැකි බව හෙළිවිණි. විසි එක්වන සියවස පසුකරන අවධියේ කාන්තා නිදහස මෙලෙස අපහරණයට ලක්කිරීම අසහනකාරී පුරුෂයන් නිසා ප්‍රබල වී ඇත.
අවසන් ලෙස මෙවැනි සිද්ධීන් පිළිබඳව නොපමාව ළඟම ඇති පොලිසියට හෝ ළමා හා කාන්තා දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් හැකිනම් යතුරුපැදි අංක හා පුද්ගලයන්ගේ හැඩරුව සමග ලබාදිය හැකිනම් එවැනි අසහනකාරී බයික්කාරයන්ව නීතියට කොටුකර ගැනීමට හැකි වනු ඇත. මන්ද තරුණියකට පවා මගතොට බියක් නොමැතිව යාමට හැකි විය යුතු හෙයිනි.
සටහන - ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු