කුරුලු කූඩුවක් ගිනි තැබූ අනියම් ප්‍රේමය


පොලිස් පොතෙන්   

  • තමා හැර ගිය බිරිය හා ඇගේ පෙම්වතාට  සැමියා පෙට්‍රල් දමා ගිනිතබයි  

 ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියා ගීතයක කොටසක් පවතී. එය බොහෝ අවස්ථාවල අප අත්දකිමින් සිටින කාරණාවකි. ප්‍රේමයේ බිඳවැටීම් නිසා සිදුකරන පලිගැනීම්වලින් බරපතළ තුවාල ලැබූ හෝ ඝාතනයට ලක්වූ පෙම්වතුන් හා පෙම්වතියන් ගැන දිනපතාම අසන්නට ලැබේ. එවැනි පුවතක් පසුගිය දිනක රත්නපුර බලංගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබිණ.   


සැමියාගේ ව්‍යාපාරික හවුල්කරු සමග අනියම් පෙමක පැටලුණ කාන්තාවක් අනියම් සැමියාට බත් කවනු දැකීමෙන් කෝපයට පත් සැමියා ඔවුන්ට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව එම පුවතෙන් වාර්තා විය.   
 මෙම කතාවෙන් කියවෙන කාන්තාව විවාහ වී සිටියේ ඇඹිලිපිටිය, කොළොන්න ප්‍රදේශයේ පුද්ගලයකු සමගය. ඔහුගේ වයස මේ වන විට අවුරුදු තිස් හයකි. ඔහු වාහන අමතර කොටස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. බිරිඳ සමෘද්ධි බැංකු නිලධාරිනියකි.   


අගහිඟකම් මහ ලොකුවට ඔවුන්ට බලපෑවේ නැත. ඉන්න හිටින්නට ගෙයක් දොරක් තිබුණේය. දෙදෙනාටම රස්සා තිබුණේය. කැදැල්ල ආදරයෙන් පුරවන්නට සමත් දරුවන් එක්කෙනා දෙන්නා එකතු විය. ඔවුන් සියලු දෙනාම ගැහැනු දරුවන්ය. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු දහසයකි. දෙවැන්නා දාහතර හැවිරිදිය. තෙවැන්නා අට හැවිරිදි වූ අතර සිව්වැන්නා සිව් හැවිරිදිය. මේ දරුවන්ගේ සුරතලය හා ආදරය සමග ඔවුහු සතුටින් ජීවත් වූහ. ඔහුට අපි කුමාර යැයි පවසමු. ඇයට කුමාරි යැයි පවසමු.   

 


මීට වසර කීපයකට පෙර තමා සමග ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ තරුණයා මේ පවුලට ගිනි තබනු ඇතැයි කුමාර කිසි ලෙසකින්වත් සිතන්නට නැත.   


එහෙත් සමහර දේවල් සිදුවන්නේ අප කලින් සැලසුම් කළ පරිදිම නොවන බව තහවුරු කරන්නා සේ එක පැත්තකින් ව්‍යාපාරය දියුණු වෙද්දි අනෙක් පැත්තෙන් බිරිඳගේ ආදරය දිය වෙමින් යන බව ටික කලකින් කුමාරට දැනෙන්නට විය.   


ඔහු මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේ දී තම ව්‍යාපාරික මිතුරා සමග කුමාරි අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බව දැන ගෙන ඇත. එයින් ඔහු දැඩිව කම්පනයටත් කෝපයටත් පත්වූයේ බිරිඳ සිය අනියම් පෙම්වතා අතහැරීමට දැක්වූ අකමැත්ත නිසාය. මේ නිසා හවුල් ව්‍යාපාරය බිඳ වැටුණු අතර සිනාවෙන් පිරී ගිය කැදැල්ල නිරන්තරයෙන් අඬ දබරවලින් පිරෙන්නට විය. කුමාර නිතරම කුමාරිට පහර දෙන්නටත් බැණ අඬගසන්නටත් විම නිසා දරුවන්ට ද ඔහු එපා වන්නට විය. තාත්තා එපාවන දරුවන්ගේ තැන ගන්නට කුමාරිගේ අනියම් සැමියා උපක්‍රමශීලි විය. ඒ නිසා දරුවෝ ක්‍රමයෙන් ඔහුට ආදරය කරන්නට වූහ. එහෙත් කුමාර තවදුරටත් දරුවන්ට දැඩිව ආදරය කළේය.   


පවුල් ආරවුල එන්න එන්නම මහා ගිනි ජාලයක් සේ මතුව පවුලේ සමගිය ගිනි තබද්දි දෙදෙනා වෙන් වීම හොඳ බව කුමාරි නිතර පැවසුවාය. කුමාරගෙන් වෙන්ව බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තම සහෝදරියගේ නිවසේ පදිංචියට යාමට ඇය තීන්දු කළාය. ඒ අනුව දරුවන් ද රැගෙන ඇය එහි ගියාය.   


මුලින් සිය සහෝදරියගේ නිවසට ගිය කුමාරි කෙටි කාලයක දී බලංගොඩ පින්නවල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියාය. ඒ සිය අනියම් ඇසුර කාටත් හොර රහසේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසාය. එසේ ඔවුන් වෙනම පදිංචියට ගිය ද දරුවන්ට ඇති ආදරය නිසා කුමාර දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලුවේය. ඔවුන් වෙනුවෙන් ආහාර පාන ගෙනගොස් දැමුවේය. දුරකථනයෙන් කතාකර දුක සැප සොයා බැලුවේය.   

 


එදා එනම් පසුගිය 19 වැනිදා ද කුමාර දුරකථනයට ඇමතුමක් ගත්තේය. එහෙත් එහිදී ඇමතුම ගත්තේ දරුවන්ය. අම්මා කොහේදැයි විමසූ විට දරුවන් පැවසුවේ තමන් සිටින්නේ ආච්චි අම්මලාගේ ගෙදර බවය.   
“එහේ දානයක් තියෙනවා තාත්තේ ඒ නිසා අපි එහේ ආවා” යනුවෙන් ලොකු දුව පැවසුවාය.   
“එතකොට අම්මා.”   


“අම්මා පස්සේ එන්නම් කිව්වා.”   


මේ වදන්වලින් කුමාරට සැකයක් ඇති විය. දරුවන් ආච්චි අම්මලාගේ ගෙදර යැවූ කුමාරි අනියම් සැමියා ගෙන්වාගෙන දරුවන් ද නැති නිවසේ රිසිසේ සතුටු වන්නට ඇත. දරුවන්ගේ කතාවෙන් සැකයක් ඇති කරගත් කුමාර කාටත් නොදන්වා රහසේම කුමාරිලා විසූ නිවසට ගියේය. ඔහු කෙළින්ම ගෙට ගොඩ වූයේ නැත. නිදන කාමරයේ ජනේලයෙන් එබිකම් කළ ඔහුට දැකගත හැකි වූයේ කලක් තමන්ගේ ව්‍යාපාරික හවුල්කරුවා වී පසුව සිය බිරිඳගේ අනියම් සැමියා වූ පුද්ගලයාට බිරිඳ ආදරයෙන් බත් කවන අයුරුය. ඔහුගේ ඉහ මොළ රත්විය. උන්හිටිතැන් අමතක විය. එහෙත් ඔහු තමා පාලනය කර ගත්තේය. ඒ සිදුවීම අමතක කර දමා සන්සුන් වීමට නම් නොවේ. පලිගැනීමට හොඳම ක්‍රමය සෙවීමටය.   


රාත්‍රිය වේගයෙන් උදාවිය. රෑ බෝවන තෙක් බලා සිටි ඔහු නිවස ආසන්නයේ වූ පේර ගසකට නැග එහි ආධාරයෙන් වහලයට නැග ගත්තේය. වහලයේ උළුකැට කීපයක් ඉවත් කළ ඔහු එයින් නිවසට බැස ගත්තේය. නිවසේ ඉදිරිපස කොටසේ නවතා තිබූ බිරිඳගේ යතුරුපැදියෙන් පෙට්‍රල් ටිකක් ගෙන භාජනයකට දමා ගත් ඔහු ඇගේ කාමරයට පිවිස දෙදෙනාටම පෙට්‍රල් ගැසුවේ හිතේ ආවේගය පහව යන්නට පෙර සියල්ල අවසන් කරන අදහසින් මෙනි. දරුවන් ද නැති නිසා අනියම් සැමියා සමග හිතේ හැටියට සතුටුවෙමින් සිටි කුමාරිට කාමරයට කිසිවෙක් ඇතුළුවනවා දැනුණේවත් නැත. තමන්ගේ ඇඟට යමක් වැටෙනු දැනී වහා නැගිට බලන විට ඇය දුටුවේ තම සැමියා එහි සිටින බවය.   


එහෙත් කුමාරිට යමක් සිතන්නටවත් ඉඩක් නොතබා කුමාර ගිනි කූරක් ගැසුවේය. සුළු වේලාවකට පෙර සතුටෙන් ඉපිලෙමින් සිටි කුමාරිත් ඇගේ නියම් සැමියාත් ඒ ගින්නෙන් පිලිස්සෙද්දී කුමාර කරබාගෙනම ගෙදරින් පිටව ගියේය.   


ගින්නෙන් කුමාරි බරපතළ තුවාල ලබද්දි ඇගේ අනියම් සැමියා එතැනම මිය ගියේය. කුමාර ගමහැර පලාගියේ අපරාධයේ වගකීමෙන් මිදෙන්නටය. එහෙත් පොලිසිය දිනක් ඇතුළත ඔහු සොයා ගත්තේය.   
බලංගොඩ රෝහලට ඇතුළත් කළ කුමාරි පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ අතර ඇය ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක යෙදී සිටින්නීය.   


බලංගොඩ වැඩබලන මහේස්ත්‍රාත් එම්.එම්. මැණිකේ මහත්මිය මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළාය.   
පින්නවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂකවරුන් වන උපාලි ජයතිස්ස බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.   
මව්පියන්ගේ වැරදි නිසා අද අසරණවී සිටින්නේ ඔවුන්ගේ ලෙයින් මසින් උපන් දරුවන්ය. පියා හිරගෙදරය. අම්මා ජීවිතයත් මරණයත් අතර සටනකය. අධිකරණයේ නියෝගයෙන් දරුවන් ලොකු අම්මා භාරයට පත්ව සිටී. එහෙත් දරුවන්ට අම්මා තාත්තා සෙවණේ සිටිනවා තරමට අන් කවරෙක් නම් වටින්නේද? දෙමාපියන් යමක් කරන්නට පෙර මේ දේවල් සිතන්නේ නම් කෙතරම් වටින්නේද? දුරදිග නොසිතා කටයුතු කරන්නෝ අවසානයේ තමන්ද දුකට පත්ව අනෙකාද දුකට පත්කරති.   

 

 

මුදිතා දයානන්ද සහ බලංගොඩ නාලක ජේ. හෙට්ටිආරච්චි