කැසිනිගේ සමුගැනීම


ඇමෙරිකා නාසා ආයතනයේ මෙහෙයවීමෙන්, සෙනසුරු ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන්ගේ රහස් සෙවීමට යැවුණු ‘කැසිනි’ අභ්‍යවකාශ රොබෝ යානයේ සමුගැනීම පසුගිය 15 වැනිදා සිදුවිය. යානයේ සමුගැනීම සිදුවූයේ එය සෙනසුරුගේ වායුගෝලයට කඩා වැටෙන්න සැලැස්වීමෙනි. වායුගෝලය කඩා වැටෙන්න සැලැස්වූ අවස්ථාවේදී කැසිනි යානය සුනුවිසුනු විය. ඒ අනුව, ඇමෙරිකන් ඩොලර් බිලියන 3.26 ක් වැය කෙරුණු, මිනිස් ඉතිහාසයේ තවත් ඉතා සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමක අවසානය සනිටුහන් විය.

කඩා වැටීමට සැලැස්වීමෙන් පසු සෙනසුරුගේ වායුගෝලයට පිවිසුණු කැසිනි තත්පර 45 ක් පෘථිවියට සංඥා එවූ බවත්, ඉන්පසු එය කැබැලි වුණු බවත් නාසා විද්‍යාඥයෝ කියති. කැසිනි යානය සෙනසුරු ග්‍රහයාට පිවිසියේ පැයට සැතපුම් 1,23,000 ක වේගයකිනි. කැසිනි නිකුත් කළ අවසන් සංඥාව, පෘථිවියට ලැබෙද්දී, එය විනාශ වී හමාරය. නාසා විද්‍යාඥයන් වැඩි දුරටත් කියා සිටියේ එම සංඥාව දෝංකාර දෙමින්, විශ්වය පුරා පැතිර ගිය බවය.

 

අවසන් තත්පර හතළිස් පහේදී පවා කැසිනි යානය සිය කාර්යය නොපිරිහෙළා ඉටු කළේය. අවසන් මොහොතේ පවා, කැසිනි සෙනසුරුගේ ප්‍රචණ්ඩ මෙන්ම අති බිහිසුණු වායු ගෝලය ඡායාරූපයට නැගීය. වායු ගෝලයේ දත්ත රැස් කළේය. ඒ, සියල්ල පෘථිවියට ලැබෙන්න සැලැස්වීය. ඒ අනුව, සෙනසුරුගේ වායුගෝලයේ රසායනික සංයුතිය කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන්ට මුල්වරට තොරතුරු දැනගන්න ලැබුණි.

 

කැසිනි යානාව මේ අයුරින්, සෙනසුරු මතට කඩා වැටෙන්න සලස්වා විනාශ කිරීමට නාසා විද්‍යාඥයන් තීරණය කළේ, කැසිනි යානයේ ආයු කාලය අවසන් වූ නිසාය. කැසිනි යානය සූර්ය බලයෙන් ද ක්‍රියාත්මක වූ යානයකි. කැසිනි අක්‍රිය වීමෙන් පසු එය පාලනයකින් තොරව, සෙනසුරු ග්‍රහයා අසල හෝ සෙනසුරුගේ චන්ද්‍රයන් අතර හෝ ඉබාගාතේ පාවෙමින් තිබෙනවාට වඩා එය විනාශ කිරීම හොඳ යැයි නාසා විද්‍යාඥයන් තීරණය තිබුණි. යානය විනාශ කළේ ඒ අනුවය.

 

 

කැසිනි යානය සෙනසුරු මතුපිටට කඩා වැටෙන්න එය මෙහෙයවීම් කළේ, නාසා ආයතනයට අයත් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පැසඬේනා හි පිහිටුවා ඇති ජෙට් ප්‍රචාලන පර් යේෂණාගාරයේ, මෙහෙයුම් මැදිරියයි. කැසිනි යානය සෙනසුරු මතට පතිත කිරීම සිදු කළේ පසුගිය සැප්තැම්බර් 15 වැනිදාය.


කැසිනි මෙහෙයුමේ අවසානය සනිටුහන් කිරීමට පෙර, නාසා මෙහෙයුම් නිලධාරී අර්ල් මෙයිස් පාලන මැදිරියේ සිටි තම සගයින් ඇමැතුවේය. ‘ඔබ හැමෝටම සුබ පැතුම්. කැසිනි මෙහෙයුම සාර්ථක ඉතා අපූරු මෙහෙයුමක්. ඊට දායක වුණු ඔබ සැමගේ මෙහෙවර අතිවිශිෂ්ටයි. දැන් ඉතින් සමු දෙන්න වෙලාව ඇවිල්ලා. කැසිනි මෙහෙයුම නිල වශයෙන් අවසන් වෙනවා.’ යැයි අර්ල් මෙයිස් පැවැසුවේය.


එය ලෝකවාසීන් බොහෝ දෙනකු දෑස් දල්වාගෙන සිටි මොහොතක් විය. පැසඬේනා ජෙට් ප්‍රචාලන පර් යේෂණාගාරයේ, මෙහෙයුම් මැදිරියේ මෙහෙයුම් නිලධාරීන්ට, ඉන්ජිනේරුවන්ට එය සතුට මෙන්ම ඇසට කඳුළ ගෙනා මොහොතක් විය. කැසිනි යානය පෘථිවි අපට ‘ආයුබෝවන්’ කියා විනාශ වී යද්දී, පාලන මැදිරියේ බොහෝ දෙනා හැඟීම්බරව එකිනෙකා වැළඳ ගන්නට විය. 


කැසිනි යානයේ ප්‍රධාන අරමුණ වූයේ හිරුගේ සිට සය වැනි තැන පිහිටි වළලු ග්‍රහයා හෙවත් සෙනසුරු ග්‍රහයා ගවේෂණයයි. කැසිනි යානය අභ්‍යවකාශයට ගොස් වසර 20 කි. එයින් වසර 13 ක් එය සෙනසුරු සහ සෙනසුරුගේ චන්ද්‍රයන් ගවේෂණයේ යෙදුණේය.


සෙනසුරු වායුවලින් පිරි ග්‍රහයෙකි. එය සැලකෙන්නේ වායු යෝධයකු ලෙසිනි. එසේ වුවත් එය වායුවලින් සහ ද්‍රවවලින් ද නිර්මාණය වී ඇත. සෙනසුරු නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් හියිඩ්‍රජන් සහ හීලියම් වායුවලිනි. සෙනසුරුගේ ඝන මතුපිටක් ඇත්තේ හරි මැද කුඩා කොටසකි. විශාල ග්‍රහයකු හෙයින් සෙනසුරුගේ අභ්‍යන්තර පීඩනය ඉතා වැඩිය.  හයිඩ්‍රජන් වායු ද්‍රව බවට පත් කිරීමට එය සමත් වෙයි. අධික පීඩනය නිසා ද්‍රව හයිඩ්‍රජන් ලෝහයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රමාණයෙන් විශාල වුවත්, සෙනසුරු යනු ඉතා වේගයෙන් කැරැකෙන ග්‍රහයෙකි. පැයට කිලෝ මීටර් 35,000 ක වේගයකින් එය පරිභ්‍රමණය වන බව පැවැසෙයි.


වළාකුළු තට්ටු නිසා සෙනසුරුගේ මතුපිට පැහැදිලිව දකින්න ලැබී නැත. කෙසේ නමුත් කැසිනි යානයේ ආධාරයෙන් සෙනසුරුගේ ධ්‍රැව ප්‍රදේශවල අකුණු සුළි කුණාටු දැක ගැනීමට නාසා විද්‍යාඥයෝ සමත් වූහ. වායුවලින් පිරි ග්‍රහයකු වන සෙනසුරුගේ වායුගෝලය නිරන්තරයෙන් කැළැඹෙයි. සෙනසුරු මතුපිට ඇතිවන්නේ කුණාටු නොව, සුපිරි කුණාටු යැයි නාසා විද්‍යාඥයන් දැනගත්තේ කැසිනිගේ උදව්වෙනි. සෙනසුරුගේ සුපිරි සුළි කුණාටු පැයට කිලෝ මීටර් 200 ක වේගයකින් හමා යයි. සෙනසුරු කළඹන මහා කණාටු පමණක් නොවේ, සෙනසුරුගේ සංකීර්ණ වළලුවල අඩංගු අයිස් අංශු ආදිය ගැන සැඟවුණු රහස් පමණක් නොවේ, ජීවය පැවැතීමට සාධක ඇති සෙනසුරුගේ චන්ද්‍රයන් ගැන විස්මිත කරුණු පවා අපට හෙළි කළේ කැසිනි යානයයි. 


සෙනසුරුගේ වළලු නිර්මාණය වී ඇත්තේ අයිස් කැබලි, අංශු, දූවිලි සහ කුඩා පාෂාණ කැබැලි එක්වීමෙනි. සෙනසුරුගේ සමකයට එපිටින් වළලු පිහිටා ඇත. හිරු එළිය අයිස් අංශු සහ අයිස් කුට්ටි මත පතිත වෙද්දී ඒවා දීප්තිමත් වෙයි. ඒ අනුව සෙනසුරුගේ වළලු ද දීප්තියෙන් දැල්වෙයි. මෙම වළලු නිර්මාණය වී ඇත්තේ සෙනසුරුට අයත් ව තිබුණු චන්ද්‍රයකු සෙනසුරුගේ ගුරුත්ව බලය හේතුවෙන් සිදුවුණු හැල හැප්පීම් නිසා විනාශ වී, විසිරී පැතිරුණු අයිස්, පාෂාණ සහ දූවිලි අංශුවලින් යැයි ද පැවැසෙයි. 

 

සෙනසුරුගේ වළලු පළමුවෙන්ම දැක්කේ ගැලීලියෝ ගැලීලිය. ඒ, 1610 වසරේදීය. කෙසේ නමුත් ඒවා වළලු යැයි හඳුනා ගත්තේ ඕලන්ද තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියන් හයිගන්ස් (1629-1695) විසිනි. ඒ, 1695 වසරේදීය. සෙනසුරුගේ වළලු කොටස් දෙකකි. ඒවා ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් නම් කෙරුණි. ‘ඒ’ සහ ‘බී’ වළලු කොටස් දෙක වෙන්වී ඇති කලාපය හැඳින්වෙන්නේ ‘කැසිනි බෙදීම’ යන නමිනි. වළලු අතර ඇති මෙම කලාපය ‘කැසිනි බෙදීම’ යනුවෙන් නම් කර ඇත්තේ එය සොයා ගත් තාරකා විද්‍යාඥයා ජෝන් කැසිනි (1625-1712) නිසාය. ජියෝවානී ඩොමිනිකෝ කැසිනි ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකි. ඔහුට මෙම බෙදීම දැක ගැනීමට ලැබුණේ 1675 වසරේදීය. 1850 වසරේ දී පෘථිවි තාරකා විද්‍යාඥයන්ට සෙනසුරුට තවත් වළල්ලක් දකින්න ලැබුණි. මෙම වළල්ල ‘සී’ යනුවෙන් නම් කෙරුණි. 1980 දශකයේ සිට තවත් කුඩා වළලු කට්ටල රැසක් ඇති බව ද තහවුරු කර ගැනීමට පෘථිවි විද්‍යාඥයෝ සමත් වූහ. 

 

හිරුගේ සිට සය වැනි ග්‍රහයා වන සෙනසුරු අප සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි දීප්තිමත්ම ග්‍රහයා වෙයි. පෘථිවිය මෙන් 764 ගුණයක් විශාලය. විෂ්කම්භය කි.මී. 1,20,000 කි. හිරු වටා යන්න සෙනසුරුට අවුරුදු 29.5 ක් ගත වෙයි. එහෙයින් සෙනසුරුගේ අවුරුද්දක් පෘථිවි අවුරුදු 29.64 කි. සෙනසුරුගේ කක්ෂය කිලෝ මීටර් බිලියන 4.5 ඉක්මවයි. සෙනසුරු ග්‍රහයා ඉංග්‍රීසි බසින් ‘සැටර්න්’ යනුවෙන් හැඳින්වෙයි. ‘සැටර්න්’ යනු රෝම දෙවියකු වන ‘සැටර්නස්’ සිහිගන්වන වදනකි. ‘සැටර්නස්’ යනු අස්වැන්නට අධිපති දෙවියාය. ‘සැටුරාලියා’ යන රෝමයේ පැවැත්වෙන අස්වනු මංගල්‍යය ද මෙම දෙවියන් වෙනුවෙන් පැවැත්වෙයි. 


සෙනසුරුගේ චන්ද්‍රයන් අතරින් කැපී පෙනෙන්නේ ටයිටන් සහ එන්සෙලඩස් යන චන්ද්‍රයන්ය. ඒ අතරින් ටයිටන් චන්ද්‍රයා ඉතා වැදගත්ය. ටයිටන්ට ඇත්තේ ඝන මතුපිටකි. එය මීතේන් වැසි ඇද හැළෙන අසාමාන්‍ය ලෝකයකි. අහස තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර විශාල විල්වලින් ද සමන්විත වෙයි. 

 

 

කැසිනි රොබෝ යානය සෙනසුරු බලා ගියේ තනිවම නොවෙයි. කැසිනි මවු යානයක් සේ ක්‍රියා කරමින්, තවත් කුඩා රොබෝ යානයක් ගෙන ගියේය. හයිගන්ස් යනු එම යානයයි. මෙය යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්ගේත් නාසා විද්‍යාඥයන්ගේත් එකමුතුවෙන් නිර්මාණය වූ යානයකි. කැසිනි ගවේෂණ යානය නිර්මාණය ආරම්භ වී ඇත්තේ 1980 දශකයේ සිටය. හයිජන්ස් යානය අන්තර්ගත වූ හෙයින් කැසිනි මෙහෙයුම ‘කැසිනි හයිජන්ස්’ යනුවෙන් නම් කෙරුණි. ඒ, ජියොවානි කැසිනි සහ ක්‍රිස්ටියන් හයිගන්ස් තාරකා විද්‍යාඥයන්ට ගරු කිරීමක් ලෙසිනි. කැසිනි යානය පෘථිවියෙන් පිටවී ගියේ 1997 වසරේ ඔක්තෝබර් 15 වැනිදාය. කැසිනි මවු යානය සෙනසුරු වෙත ළඟා වූයේ 2004 වසරේ ජූලි 4 වැනිදාය. වසර 2000 දී, කැසිනි යානය සෙනසුරු බලා පැමිණිමට පෙර සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්ත ග්‍රහයා වන බෘහස්පති වටා යමින් ගවේෂණ චාරිකාවක නියැලුණේය.


2004 වසරේ සෙනසුරුගේ කක්ෂයට පිවිසීමෙන් පසු කැසිනි යානය වසර හතරක් තිස්සේ සෙනසුරුගේ වළාකුළු, වළලු සහ චන්ද්‍රයන් අධ්‍යයනය කළේය. කැසිනි මවු යානයෙන් වෙන්වුණු හයිගන්ස් ගවේෂණ යානය, ටයිටන් චන්ද්‍රයා මතුපිටට පතිත කළේ 2005 වසරේ ජනවාරි 14 වැනිදාය. එය අසීරු මෛහයුමක් විය. ටයිටන් මතුපිට සිට, සෙනසුරුගේ කක්ෂයේ රැඳී සිටි කැසිනි යානය හරහා පෘථිවියට දත්ත එවීමට හයිගන්ස් සමත් විය. ටයිටන්ගේ ඡායාරූප පෘථිවියට ලැබුණේ විද්‍යාඥයන් මවිත කරවමිනි. 

 

 

 

 

ලුසිත ජයමාන්න
නාසා තොරතුරු ඇසුරිනි