භාරත දේව සභාව
දෙවිවරු, මිනිසුන්ට හපන්ය. මිනිස් ලෝකයේ මෙන්ම දිව්‍ය ලෝකයේද ගැටුම්, යුද ගැටුම්, පැහැර ගැනීම්, බෙලි කැපීම්, බල ලෝබය, ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම්, ශාප කිරීම්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම් වැනි දුර්ගුණ බොහෝය. අල්පේශාක්‍යයන්ට හැමවිටම සිදුවෙන්නේ මහේශාක්‍යයන්ගේ අහංකාරකම් බලන්නටය. ලස්සන දෙවඟනන්ට දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම වැටීම පමණක් නොව, ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරන්නටද සිදුවෙයි.
දේව සභාව කවරක් වුවත් එනම් ග්‍රීසිය, භාරතය, ඊජිප්තුව, රෝමය, සුමේරියාව, ඉන්කාව වැනි කුමන සංස්කෘතියක වුවත් හැම දිව්‍ය ලෝකයකම තිබෙන්නේ එක වගේම කතන්දරය. වෙනස් වන්නේ ඒ ඒ දෙවිවරුන්ගේත් දේවතාවියන්ගේත් නම් ගම් වාසගම් පමණි.
භාරතයේ එහෙමත් නැත්නම් හින්දු මිත්‍යා කතා සාහිත්‍යයේ සඳහන් වෙන මෙම කතාව ඉන්ද්‍ර දෙවියන්ට ලක්ෂ්මිය සරණපාවා ගන්නට සිදු වූ ආකාරය විස්තර කෙරෙන්නකි. එහි මූලාරම්භය සිදුවෙන්නේ ඉන්ද්‍ර දෙවියන්ට ඉසිවර දුර්වාස ශාප කිරීමෙනි.
මෙහි මුල් කොටස් ඉකුත් දෙසතියේ පළවිය.
දැන් උද්ගතව ඇත්තේ වෙනත් ගැටලුවකි.
ගැඹුරු සයුරට හෙළන ලද මන්දර පව්ව මුහුදු දියේ පාවෙන්නට පටන් ගෙන තිබේ. දෙවියනුත් අසුරයනුත් එක්ව කොයිතරම් උත්සාහ ගත්තත් මන්දර පව්ව මගින් සාගර පත්ල කැලඹීම අපහසු වී තිබේ.
ඉන්දු අග්නි දෙස බැලුවේ කම්පාවෙනි.
අපි දැන් කුමක්ද කරන්නෙ. මන්දර පව්ව සාගරයේ පාවෙනවා. එයින් සාගර පත්ල කැලඹීමට නොහැකියි.
අග්නි, ඉන්දුගේ උරහිස මතින් සුරත තැබුවේය.
ඔබ කණගාටු වන්නට එපා, විෂ්ණු අපට උපකාර කරයි’’
විෂ්ණු උපකාර කරයිද?
එවිටම විෂ්ණු ඔවුන් ඉදිරියේ පෙනී සිටියේය. හැබැයි ඒ යෝධ ගල් ඉබ්බකුගේ වේෂයෙනි. සයුරට බට ඉබ්බා සයුර පතුළට කිමිදුණේය. මන්දර පව්ව අසලට ගිය ඌ එය ගෙන තම පිට මත තබාගෙන සයුර මැදට ගියේය.
ඊළඟට කළ යුත්ත තිබුණේ වාසුකී ට ය. දැවැන්ත සර්පයකුගේ වෙස් ගත් වාසුකී මන්දර පව්ව මැද දරණ ගසා එය හොඳින් වෙලාගත්තේය.
දැන් සාගරය කලඹවන්න පුළුවනි.
වාසුකී කීවේය.
දෙවියයෝද අසුරයයෝද වාසුකී අසලට ළංවූහ. එමොහොතෙහි දෙවිවරුන්ට සිහිවූයේ විෂ්ණු අන්තිම වතාවට දුන් අවවාදයයි. වාසුකීගේ වලිගය පමණක් අල්ලාගන්න යන ඒ අවවාදය අනුව දෙවිවරු වහාම වාසුකීගේ වලිගය පැත්තට ගියහ.
අපිට ඕනෑ සර්පයාගේ හිස පැත්ත’’
අසුර රජු වන බාලි අභිමානවත් හඬින් පැවසුවේය.
ඉන්ද්‍ර ඊට එකඟතාව පළකළේය.
කොහොමටත් දැන් උඹල දුර්වල වෙලා ඉන්ෙන. උඹලට සර්පයාගේ වලිගයෙන් මිස හිසෙන් අදින්න බැහැ’’
බාලි කටකාර හඬින් කීවේය
ඉන්ද්‍ර ඇතුළු දෙව්වරු නිහඬව සිටියේ විෂ්ණුගේ අවවාදය සිහියට නගමිනි.
එසේ වුවත් අසුරයෝ, දෙව්වරුන් සමච්චල් කරමින් සර්පයාගේ හිස තදින් අල්ලාගත්හ.
‘‘දැන් සයුර කලඹවමු’’
සුර අසුර දෙපිරිසම එකඟතාවට පැමිණි අතර ඔවුන් සර්පයාගේ වලිගයෙන්ද හිසෙන්ද අදිමින් මන්දර පව්ව එහාටත් මෙහාටත් කැරකෙව්වේය. ඒ හැම විටෙකම සයුර පත්ල කැලඹිණි.
යෝධ සර්පයාගේ හිසෙන් අල්ලා ගත් අසුරයන් ඌ එහාටත් මෙහාටත් ඇද්දේ තම උපරිම ශක්තිය යොදමිනි. ඒ නිසා සර්පයාට රිදිණි. උගේ මුවින් විෂ නිකුත් වූ අතර සර්පයා ඒ විෂ පිම්බේය. විස වැදුණු අසුරයෝ එකා දෙන්නා සිහිසුන්ව බිම වැටෙන්නට වූහ. එහෙත් බාලිට කිසිවක් කළ නොහැකි විය. ඔහු සිදුවන සිදුවීම් දෙස ඔහේ බලා සිටියේය.
පැයක් පමණ තිස්සේ සයුරු පත්ල, කැලඹෙන්නට විය. එහි ප‍්‍රතිඵලය වූයේ, හතු වර්ගයක් මතුවීමය. උග‍්‍ර විෂ සහිත මේ හතු විශේෂය සයුරු දිය මත පාවෙන්නට වූවේය. මේවායේ විස කොයි තරම්ද යත් අසුරයන් සේම දෙව්වරුද සිහිසුන් වෙන්නට පටන් ගත්තෝය.
මෙම හතු විශේෂයෙන් වහනය වූ විෂ දුම වලාකුළක් පරිද්දෙන් පැතිර යන්නට විය. එය මුළු ලෝකයම ගිලගන්නා තරමට එක දිගට වහනය වෙද්දී ඉන්ද්‍රට දැනුණේ අසරණ හැඟීමකි. ඔහුට කර කියා ගන්නට දෙයක් නොවීය.
වහා බිම දණ ඇනගත් ඉන්ද්‍ර අනේ ශිව, මේ විපතින් අප දිවි රැකදෙන්න යැයි ආයාචනා කළේය.
ඒ ආයාචනයට සියලු දෙවිවරු එක් වූ අතර එක් මොහොතක සියලු දෙනාගේම කටහඬවල් ඇසෙන්නට විය.
‘‘අප බේරාගත හැකි එකම තැනැත්තා ඔබ පමණයි. කරුණාකර අපට පිහිට වන්න’’
දෙවිවරු සියගණනක් එක්ව කී මේ වදන ශිවගේ සවනට පතිත විය.
එය ඇසුණු සැණින් ඔහු දෙවියන් සිටි තැනට පැමිණියේය.
හතුවලින් නිකුත්වෙන හලාහල විෂ දුමෙන් විශ්වය රැකගන්නා ආකාරය ශිව දැන සිටියේය. වහා ක‍්‍රියාත්මක වූ ශිව, තම අත්ල පා සියලු විෂ අත්ලට ගත්තේය. අත්ලට ගත් මේ විෂවලට ඊළඟට කළ යුතු එකම දෙය තම උගුරට දමා ගැනීමය. එය තම ජීවිතය කෙරෙහි බලපාන්නේ නරක ලෙස බව ශිව නොදැන සිටියා නොවේ. එහෙත් විශ්වය රැක ගැනීමට නම් ඔහු එය කළ යුතුම විය. අත්ලෙහි වූ විෂ තම උගුරට දමා ගන්නට ශිව අත එසෙව්වේය.
‘‘එපා, ඔබ ඔය කුමක්ද කරන්නෙ?’’
ශිව සමගම පැමිණි සිටි පාර්වතී ඇසුවේ ශිවගේ අතින් අල්ලාගනිමිනි.
එහෙත් ඒ වන විටත් ශිව හලාහල විෂ තම මුවට හලාගෙන අවසන්ය. පාර්වතී වහාම තම සුරතින් ශිවගේ ගෙල තද කළේය. හලාහල විෂ ශිවගේ උගුරෙහි සිරවූ අතර, උගුරෙන් පහළට ගමන් කිරීම වැළකිණි, එහෙත් ශිවගේ උගුර තද නිල් පැහැයක් ගත්තේය.
එදා පටන් ශිවට නිල් උගුරා හෙවත් නීලකණ්ට යන නමද පටබැඳිණි.
දෙවියනුත් අසුරයනුත් එක්ව ශිවට ස්තුතිය පළකළහ.
‘‘උතුමාණෙනි’’ ඔබ අපේ ජීවිතය බේරුවා. ඔබ අපේ ලෝකය බේරුවා. ඔබ නොපැමිණියානම් අර හලාහල විෂ විසින් මුළු විශ්වයම වනසනු ලබනවා. අප ඔබට ණය ගැතියි.’’
ශිව කිසිත් නොපවසා බලා සිටියේය. පාර්වතී දෙවියන්ටත් අසුරයන්ටත් ඔවුන්ගේ කාර්යය කරන්නට ආශිර්වාද කළාය.
සුර අසුර දෙපිරිස නැවත වතාවක් සාගරය කලඹනු පිණිස යෝධ සර්පයාට වද දෙන්නට පටන්ගත්හ.
කැළඹෙන සයුරු පතුලෙන් ඊළගට මතුවූයේ කාම ධේනුවයි. අශ්වයාද කල්පවෘක්ෂයද ඊළඟට සයුරෙන් මතුවිය.
සුර අසුර දෙපිරිස තව තවත් උනන්දුවෙන් සාගරය කැලඹූහ. අමෘතය මතුවෙන තෙක් බලාසිටි ඔවුනට දකින්නට ලැබුණේ ලෝකයේ ලස්සනම කාන්තා රත්නයයි.
ලක්ෂ්මිය යන නම් ගත් ඇය තරම් රූ සම්පන්න රන්වන් පැහැති කාන්තාවක් ඉන් පෙර සුර අසුර කිසිවෙකුත් දැක නොතිබිණි. මේ දෙවඟනගේ සිරුර, සුර අසුර දෙපිරිසම අන්දමන්ද කරන්නට සමත් විය. කොටින්ම ඔවුනට සයුර කැලඹිය යුතු බවද අමතකව ගියේය.
එක් දෙවියෙක් වහාම පුටුවක් රැගෙන ලක්ෂ්මිය වෙත ගියේය.
‘‘කරුණාකර වාඩිවෙන්න’’
පුටුව පසෙක තැබූ ඔහු ලක්ෂ්මියට ආරාධනා කළේය.
රැස්ව සිටින දෙවිවරු දෙසත් පුටුව දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ලක්ෂ්මිය අනතුරුව පුටුවෙහි වාඩි වූවාය.
එවිටම ඇසුණේ රන් රසුදැල් සැලෙන හඬකි. නාටිකාංගනාවන් පිරිසක් තාලයට පාතබමින් ලක්ෂ්මිය වෙත එමින් සිටියහ.
පාද තබන රිද්මයටම ඔවුන්ගේ පුළුල් උකුළු තල සෙලවිණි. මේ රූමතියන්ගේ නර්තන ලීලාවන් දෙස බලාසිටි සුර අසුර දෙපිරිසටම ‘‘අමෘත් ය’’ පවා මොහෙතකට අමතකව ගියේය. අර සුරූපිනියන්ගේ මෙන්ම ලක්ෂ්මියගේ සුන්දරත්වය සියලු පිරිමි සිත් උමතු කර තිබිණි.
ලක්ෂ්මිය වටා දෙතුන් වටයක් නටමින් ගිය නාටිකාංගනාවන් අතුරින් ලස්සනම එකිය අත තිබූ නැවුම් මල්වලින් සැදි සුවඳැති මල්දම, ලක්ෂ්මියට දුන්නාය.
ඒ මල්දම සුරතින් ගත් ලක්ෂ්මිය, ඇය වට කරගෙන සිටි දෙවිවරුන් දෙස බැලුවාය. සුන්දර යොවුන් වියේ පසුවූ ලක්ෂ්මියට ඒ මොහොතේ අවශ්‍ය වූයේ සැමියකු තෝරාගන්නටය. ලක්ෂ්මිය දෙස ආශාවෙන් බලාසිටි හැම දෙවියකු දෙසම නෙත් හෙලූ මුත් ඒ කිසිවෙක් කෙරෙහි ඇගේ හිත බැඳුණේ නැත. අන්තිමේදී ඇය දුටුවේ තද නිල් පැහැති සිරුරකට හිමිකම් කී විෂ්ණුය.
ඔහු දුටු සැණින් ලක්ෂ්මියගේ සිත බැඳුණි. විෂ්ණු දෙස මොහොතක් බලාසිටි ඇගේ දෙතොල මදහසකින් ආලෝකමත් විය. අනතුරුව ඇය සිනාවක් පෑවාය. නෙතක් මඳක් කුඩා කළ ඇය ඔහුට ඉඟිමැරුවාය.
පුටුවෙන් නැගී සිටි ලක්ෂ්මිය ඊළඟට අත වූ මල්දම විෂ්ණුට දුන්නාය.
මෙකල කාන්තාවක විසින් යම් පුරුෂයකුට මල් දමක් දෙන්නේ නම් ඇය ඔහුට ආදරය කරන බව හැඟවේ. කොටින්ම විවාහයට ඇති කැමැත්ත හැඟවේ.
රූබර ලක්ෂ්මියගේ ආදරය ප‍්‍රතික්ෂේප කරන්නට කිසිම දෙවියෙක් කැමති වේද? විෂ්ණු මහත් සතුටින් ලක්ෂ්මියගේ සුරත ගත්තේය.
ඔවුන්ගේ විවාහ මංගල්‍යය සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ සිදු කෙරිණි.
ඉනික්බිතිව තම ගරුඬ වාහනයට නැඟුණ විෂ්ණු, ලක්ෂ්මියද හිඳුවා ගෙන තම මංගල මධුසමය පතා පිටත්ව ගියේය.
ඒ සමගම නැවත වරක්, සයුර කලඹන්නට සුර අසුර දෙපිරිසම එක් වූහ.
කාලය ගෙවී ගියේය. සුර අසුර දෙපිරිසම දාඩිය මුගුරු දාගෙන හති අරින්නට වූහ. සාගර පත්ලෙන් මතුවූයේ විවිධ ගල් වර්ග පමණි. එහෙත් ඒ කිසිදු ගලක කිසිදු වටිනාකමක් නොවීය. සුර අසුර දෙපිරිසම බලාසිටියේ අමෘතය මතුවන තුරුය.
‘‘කෝ අමෘතය?’’
සුර අසුර කවුරුත් තමන්ගෙන්ම ප‍්‍රශ්න කළහ.
කොයි මොහොතක හරි අමෘතය මතුවේවි. වටිනා දෙයක් කවදාවත් පහසුවෙන් ලබාගන්න බැහැ. එයට බොහෝ සේ වෙහෙස විය යුතුයි.
එක් දෙවියෙක් කීවේය.
මේ තරම් වේලාවක් වෙහෙස වූ බැවින් මේ ව්‍යායාමය අත්හැර දැමීමට කිසිවෙකුත් කැමැති වූයේ නැත. සුර අසුර දෙපිරිසම මහත් වුවමනාවෙන් සාගරය කැලඹූහ.
අවසානයේ ධන්වන්ත‍්‍රී මතුවූවාය. ඇගේ සුරතෙහි විසිතුරු හුරුබුහුටි බඳුනක් වූයේය. ඒ තුළ ඇත්තේ අමෘතය බව සුර අසුර දෙපිරිසම දැන සිටියහ.
ඔවුන් දෙගොල්ලගේම හිත්වල හටගත්තේ සතුටකි. ඒ දැඩි සතුට නිසා ඔවුනට උන්හිටි තැන්ද අමතක විය. දෙව්වරු අත් ඔසොවා ප‍්‍රීතියෙන් ඔල්වරසන් දෙන අතර තුරේ අසුරයෝ ධන්වන්ත‍්‍රී වෙත දිවයන්නට වූහ. ඔවුන් උත්සාහ කළේ අමෘත මංජුසාව උදුරාගැනීමටය.
එහෙත් ඉන්ද්‍ර වහා ඔවුන් ඉදිරියට පැන්නේය. අසුරයන්ගේ ගමන නතර කළ විට බාලි කෝපයට පත් වූයේය.
‘‘අමෘතය අපි දෙපිරිස අතරේ බෙදාදෙන බව පැවසුවා. අපි දෙගොල්ලමයි අමෘතය ලබාගැනීමට වෙහෙසුණේ.’’
බාලි කීවේය.
අත මිට මෙල වූ ඉන්ද්‍ර බාලිගේ මුහුණු හරහා පහරක් එල්ල කළේය. ඒ පහරේ වේගයට බාලි බිම ඇද වැටිණ.
‘‘මෝඩයා උඹ හිතනවද ඇත්තටම අපි දෙගොල්ල අමෘතය බෙදා ගනියි කියලා. මතක නැද්ද උඹලා අපේ හතුරන් බව.
ඉන්දු තමන්ටම කියාගත්තේය.
දණිපනිගා නැගිටින්නට හැදූ බාලි තම අසුර පිරිවර ඇමතුවේය.
‘අමෘතයෙන් අපේ කොටස අපි ලබාගත යුතුමයි. ඒ නිසා වහාම පෙළ ගැසෙන්න අපේ මේ ගමන කිසිවකුටත් වළක්වන්නට දෙන්න එපා.
කළ යුත්තේ කුමක්දැයි සිතාගැනීමට අපහසුවූ ඉන්ද්‍ර මොහොතකට දෙනෙත් පියාගත්තේය. විෂ්ණුගේ රුව දෙනෙතෙහි හැඳගත් ඉන්ද්‍ර විෂ්ණුගෙන් පිහිට පැතුවේය.
උතුමාණෙනි, අසුරයන් අමෘතයෙන් කොටසක් ඉල්ලා සිටිනවා. නමුත් අපි විශ්වාස කළා ඔබ අමෘතය ඔවුනට නොදෙන බව. කරුණාකර මේ මොහොතේ අපට පිහිටවන්න, අමෘතය ඔවුනට නොදී සිටීමට.’’
ඉන්ද්‍රගේ කටහඬ මුණු මුණුවක් පමණක් විය.
එහෙත් ඒ මොහොතේත් සුන්දර ලක්ෂ්මියගේ ඇකය මත මුහුණ හොවාගෙන සිටි විෂ්ණුට ඉන්ද්‍රගේ මුණු මුණුව ඇසිණි.
ඊළඟ මොහොතේ ඉන්ද්‍ර නෙතු පිය විවර කළේය. ඔහු දුටුවේ තමන් ඉදිරිපිට සිටගෙන සිටින දෙව්ලොව ලස්සනම ලස්සන කාන්තාව වූ ලක්ෂ්මියයි.
ඇගේ සුන්දර රුව දුටු බාලි වහා ඇය වෙත ගියේය.
‘‘ඔබ කව්ද සුන්දරිය?’’
බාලි ඇසුවේ ආශාවෙන් මත්වය.
මමද? මම තමයි මෝහිනී’’
මුව විවර කළ ලක්ෂ්මිය අනුරාගී ස්වරයකින් පැවසුවාය.
‘‘මෝහිණී’’
බාලි මවිතයට පත්ව කට ඇරගෙන බලාසිටියේය.
‘‘හොඳමයි, මෝහිනී, මේ මොහොතේ අපට හිමිවුණේ අනගි තිළිණයක්. අපි හැමෝම එය බෙදාගත යුතුයි. ඔබට පුලුවනි ඒ මහඟු තිළිණයෙන් අපේ කොටස ලබාදීමට.
මෝහිනී මිහිරි හඬින් සිනාසුණාය. ඉක්බිතිව තම ඇහි බැමි ලෙළවූ ඇය අසුරයන් දෙස බැලුවාය.
‘‘ඔබට අවශ්‍ය මේ තිළිණය ඔබ අතර බෙදා ගැනීමටද?’’
අසුරයෝ එකඟතාව පළකළහ.
මෝහිනී ධන්වන්ත‍්‍රීගේ අතේ වූ කුසලානය තම සුරතට ගත්තාය. දෙවිවරුන් වෙතට හැරුණු ඇය එක් එක්කෙනා බැගින් තමන් වෙත පැමිණෙන්නැයි පැවසුවාය.
‘‘ඔබේ අවධානය අප වෙතෙ ෙයාමුවන්නේ නැද්ද?’’
බාලි ඇසුවේ නොසංසුන්වය.
මෝහිනී හිස සැලුවාය.
‘‘ඔබේ පිරිස ඉන්නේ නොසංසුන්ව. ඒ වගේම තැන තැන විසිරිලා. සියලුදෙනා එකට එකතු වෙලා සංසුන් වෙනතුරු ඔබ ගැන අවධානය යොමු කළ නොහැකියි.’’
බාලි අකැමැත්තෙන් හිස සැලුවේය.
‘‘හරි ඔබ එසේ කියනවානම්, අපි සංසුන්ව පෙළගැහී ඉන්නම්. අපට අමෘත් ය බෙදා දෙනතුරු අපි ඉවසන්නම්.’’
බාලිගේ ඇමැතිවරයා පැවසුවේය.
ඒ පිළිතුරෙන් බාලි කෝපයට පත්විය. ඔහු මොහොතකට මෝහිනීගේ මුහුණ බැලුවේය. ඇගේ මුහුණෙහි තිබුණේ සතුටකි. කපටිකමකි. තම උපක‍්‍රමය සාර්ථක වීමේ ප‍්‍රීතිය ඇය භුක්ති වින්දාය. බාලි මෝහිනී දෙස සැකමුසු දෙනෙතින් බලාසිටියේය.
සුර අසුර දෙපිරිස, දෙපැත්තෙන් පිළිවෙළට වාඩිකරවූ මෝහිනිය අසුරයන් දෙස බලා සුන්දර ලෙස සිනාසුණාය. ඒ සිනාව කොයිතරම් වශීකෘත වීද යත් සියලු අසුරයෝ මෝහනයට පත්වූහ. ඔවුහු මෝහිණියගේ සුන්දර සිරුර දෙස බලමින් රස හැඟුම් ජනිත කරද්දී මෝහිනී දෙවිවරුන් වෙත යමින් අමෘතය බෙදුවාය.
එසේ වුවත් අසුරයන් අතර සිටි රාහුට නුවණ ලැබිණි. මෝහිනී අමෘතය බෙදන්නේ දෙවියන්ට පමණක් බවත්, ඔවුනට අමෘතය බෙදූ පසු අසුරයන්ට බෙදන්නට අමෘතය ඉතිරි නොවිය හැකි බවත් රාහු කල්පනා කළේය. ඔහු හෙමින් සීරුවේ දෙවිවරුන්ගේ පැත්තට ගියේය.
අමෘතය බෙදාගෙන ගිය මෝහිනී, රාහු වෙතද අමෘතය ලබා දුන්නාය.
‘‘ඔහු දෙවියෙක් නොවේ.’’
ඒ දුටු සූර්යා පැවසුවේය.
‘‘නිවැරැදියි. මෙතෙක් කලකට මා ඔහු දැක නැහැ’’
එවර චන්ද්‍රාද පැවසුවාය.
එහෙත් ඒ වන විටත් අමෘතය ලැබුණු රාහු එය වහා තම උගුරෙහි සඟවාගත්තේය. ඔහුගේ ගෙලෙහි වූ සුදර්ශන චක‍්‍රය, මෝහිනීගේ නෙත ගැටුණේ එමොහොතෙහිය. තමන් අතින් වරදක් සිදු වූ බවත් රාහු නමැති අසුරා හට අමෘත් ය ලබාදුන් බවත් වටහාගත් මෝහිනී කෝපයට පත් වූවාය. වහාම තම රුව වෙනස්කරගෙන විෂ්ණුගේ රුව මවාගත්තාය.
‘‘උතුමාණනි,’’
දෙවිවරු වහා හිස් පහත්කර විෂ්ණුට ගෞරවය පළකළහ.
ඒ වනවිට දෙවිවරු සිටියේ ශක්තිමත්වය. අමෘතය පානය කිරීමේ හේතුවෙන් නව ජවයක් ලද දෙවිවරුන්ගෙන් මෙතෙක් ගත කළ උදාසීන ඉරියව් දකින්නට නොලැබිණි. දුර්වාස ඉසිවරයාගේ ශාපය තවදුරටත් ඔවුනට පීඩා කළේ නැත.
තමන් රැවටුණු බව සියලු අසුරයෝ තේරුම් ගත්හ. ඔවුනට අමෘතය නොලැබුණු බැවින් අමෘතය ලැබුණු දෙවියන් සමග තව දුරටත් හැප්පෙන්නට නොහැකි වන බව අවබෝධ කරගත්හ. දෙවියන් පිළිබඳ අසීමිත කෝපයක් අසුරයන්ගේ හිතේ උපනිණ.
එහෙත් දෙවිවරු සටන පටන්ගත්හ. අසුරයන් පසුපස පන්න පන්නා පහර දෙන්නට වූහ. තම බලසම්පන්න අවිවලින් අසුරයන්ගේ අඩවියට ප‍්‍රහාර එල්ල කළහ.
අසුරයන් පණ එපා කියමින් තමන්ගේ ලෝකයට පළා ගියහ. කොටින්ම ඉතා කෙටි කලකින් යුද්දය අවසන් විය. ඉන්ද්‍ර දෙව්ලොව රජ කිරුළ යළිත් පැළඳුවේය.
කෙසේ වෙතත් රාහු පමණක් බලසම්පන්නව සිටියේය. අසුරයන් බියෙන් පලාගියත් රාහුට බයක් තිබුණේම නැත. ඒ ඔහුට ලැබුණු අමෘතය හේතුවෙනි.
තමන්ට අමෘතය ලැබෙනු දුටු සූර්යයා සහ චන්ද්‍රයා ඒ මොහොතේ රාහුට එරෙහි වූහ. ඒ වෛරය රාහුගේ හිතේ තිබිණි. එය සිහිපත්වෙන හැම විටෙකම රාහු හිරුටත් සඳුටත් පහර දෙන්නේය. ඒ වෛරය සදාකාලික බැවින් තවමත් සූර්යග‍්‍රහණ සහ චන්ද්‍රග‍්‍රහණ සිදුවෙයි. හඳ රාහු ගිලගන්නා බව අප පවසන්නේ ඒ නිසාය.
ශාන්ත කුමාර විතාන