කාරෙකෙන් බාගයක් තෑගි පුරෝගෙන ක්‍රිස් මාව සොයාගෙන ආවා


ඇය සිංහල සිනමාවේ සුරූපී, වාසනාවන්ත නිළියක් ලෙස බොහෝ දෙනා සළකති. එද‌ා මෙන්ම අදටත් එකසේ තම ජනප්‍රියත්වය මෙන්ම රූසපුවද රැකගෙන ඇති ඇය, අද දවසේදී ද අලුත් නිළියන් මැද කැපී පෙනෙන රුවැත්තියකි. චිත්‍රපට රැසකින් තම දක්ෂතා දැක්වූ ඇය, එයින් ලැබූ සම්මාන ගණනද බොහෝය. පසුකලෙක චිත්‍රපට නිෂ්පාදනයටද අත ගැසූ ඇය තවත් පිම්මක් පනිමින් දේශපාලනයටද අවතීර්ණ වූවාය. මේ නිසාවෙන්ම ඇය බෙන්තර-ඇල්පිටිය ආසනය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ජනතා මනාපයෙන් තේරී පත්වීමට තරම් වාසනාවන්ත වූවාය.  


ඒත් ඇයට එය දිගු කලක් කිරීමට නොහැකිවිණි. ද්විත්ව පුරවැසිභාවය නිසා පසුගියද‌ා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණි. ඒ සමඟම නිවසේ සිදුවූ ගෑස් කාන්දුවක් නිසා පිළිස්සීමෙන් තුවාල ලබා රෝහල් ගතවීමට පවා ඇයට සිදුවිණි. මේ සියලු කාරණා මැද එඩිතරව අද යළිත් දේශපාලන පිටියට ඇය ඇවිත් සිටින්නීය. ඇය නමින් ගීතා සමන්මලී කුමාරසිංහය. මෙවර ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන කතා කරන්න අපි ඇයට ආරාධනා කළේ විවේකීව සිට මොහොතකදීය.  


තම ආදර සබඳතා පිළිබඳව ඇය මා සමඟ විවෘතව කතා කළාය. මා කෙරෙහි තැබූ විශ්වාසය නිසාවෙන්ම ඇය සමහර කරුණු මාධ්‍යයට හෙළිකළේ ප්‍රථම වතාවටය. ඒ විශ්වාසය එලෙසින්ම තබාගෙන ඇයගේ ආදර සබඳතා පිළිබඳව ලිවීමට මා සිතා ගත්තෙමි. කියවන්න, මේ ඇයගේ ආදරයේ එක් පරිච්ජේදයකි.  

 

බෙන්තර, ඇල්පිටිය වැනි පළාතකින් ඇවිත් මුළු රටේම ජනප්‍රියත්වයක් හිමිකරගත් ඔයාට ආ ගමන් මඟ පිළිබඳව ආපසු හැරී බැලීමේදී මොකද සිතෙන්නේ?  


හුඟාක් වෙලාවට මා ගත් තීරණ නිසා පාඩු සිදුවූ බව ඇත්ත. බොහෝ තීරණ මා ගත් ඒවා නිවැරදියි. පාඩු වුණත් මා ගත් තීරණ මගේ හෘදසාක්ෂියට අවංකව එඩිතරව ගත් ඒවා. අවුරුදු 40ක් තිස්සේ මා දේශපාලන කටයුතු කළ කෙනෙක්. පළාත් සභාවට තේරී පත්වී පාර්ලිමේන්තුවට ගිහින්, ඒ දේවල් නැතිවුණත් බොහොම සතුටින් සිනාවෙලා ඉන්න කෙනෙක් මම. ඒ හින්ද‌ා මා ආ ගමන්මග පිළිබඳව ඇත්තේ ලොකු සතුටක්.  


ඒ සතුට තුළ ජීවිතය පිළිබඳව ඔයාට ඇත්තේ කුමන විදිහේ හැඟීමක්ද?  


මම හැමද‌ාම ජීවිතය ගැන සිතන්නේ හරිම සුන්දර දෙයක් ලෙසටයි. මිනිස් ජීවිතය හරිම සුන්දරයි. ඒක අනාථ කරගන්නේ තමන්ගේම වැරැදිවලින්. ඒකට කරන්න දෙයක් නෑ. ප්‍රශ්න නැති ලෝකෙක අපි කාටවත් ජීවත්වෙන්න බැහැ. ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නවලට පුළුවන් තරම් උත්සාහ කරනවා නිසි සාධාරණයක් ඉෂ්ට කරගන්න. උපරිමයෙන් උත්සාහ කරනවා. ඒක බැරිවුණොත් මට පුළුවන් ඒ වගේම අනෙක් පැත්ත හැරෙන්න. මම උපරිම උත්සාහ කරන්නේ සාධාරණය ඇතුව කටයුතු කරන්නයි. දේශපාලනයේ විතරක් නොව සිනමාවේ පවා කාන්තාව කියන කෙනාට ගල් ගහනවා වැඩියි. නළුවකුට වඩා නිළියකට ප්‍රශ්න වැඩියි. මොකද ගැහැනිය කියන කෙනා මේ හැමදේටම මුහුණ දෙන නිසා. සර්වසම්පූර්ණ ගැහැනියක් බලාපොරොත්තු වන සමාජය පුංචි දෙයකින් පවා ගල් වැදෙනවා වැඩියි. එහෙම සමාජයක මට වඩා අනෙක් අය වෙනුවෙන් සාධාරණය කතා කිරීම තමයි මගේ ජීවිතය තුළ සිදු කළේ.  


ඒ ජීවිතය තුළ ආදරය, ප්‍රේමය ඔයා හඳුනාගත්තේ කොයි විදිහටද?  


ආදරය, ප්‍රේමයට මම හරිම ආදරෙයි. මගේ මුළු ජීවිත කාලය තුළම මම ආදරය බලාපොරොත්තු වූ කෙනෙක්. ආදරයට ආදරය කරන කෙනෙක්. ආදරයට හරිම කෑදර එක්කෙනෙක්. ආදරය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න සූද‌ානම් තැනැත්තියක්. ඉතිං ඒක නිසා මම ආදරයට හරිම ලෙන්ගතුයි. මම පුංචි කාලයේ මව්පියන්ට බයේ හැදිච්ච ගමේ මිනිසුන්ගේ ආකල්ප මත හැදුණු කෙනෙක්.  


ඔයාට මුලින්ම විරැද්ධ ලිංගික ආදරයක් ඇති වුණේ කොයි කාලයේද? පාසල් කාලයේදී නේද?  


ඔව්. මම එතකොට ඇල්පිටිය ආනන්ද විද්‍යාලයට ගිය කාලයේදී. බස් එකේ තමයි පාසලට ගියේ. බස් එකේ යන අතරතුරේ කවුද මට ලියුමක් දුන්නා. ඒ තමයි මට කවුරුහරි ප්‍රථමයෙන්ම ආදරය ප්‍රකාශ කරපු හැටි. ඒ ලියුම බලලා සතුටු වුණා. මට ආදරණීය හැඟීමක් ඇති වුණා. ඒක මොන විදිහේ ආදරයක්ද කියා මට තේරුම් ගන්න බැහැ. ගෙදර ගැන ලොකු බයක් ඇති වුණා. මේ ලියුම දකියි ද? තාත්තලා මොන ප්‍රශ්නයක් කරගනියි ද කියා හරිම බයක් මට ඇති වුණා. මට ඒක ඉරලා වීසිකරන්න ලොකු ඕනෑකමක් තිබුණා. ඒත් එහෙම කළේ නෑ. මම ඒක හැංගුවා. හැංගුවාට ඒක නැවත නැවත බලන්නත් ආස සිතුණා.  


 එහෙම ගිහිල්ලා ඒක අහුවුණා මට තවම මතකයි. ඒක මම ජීවිතේ ලොකු වැරැද්දක් කළා ව​ෙග් හැඟීමක් තමයි එද‌ා ඇති වුණේ. ගෙදර මිනිස්සු පුදුම වුණා. එතකොට මට අවුරුදු 14 යි. මගෙන් අහන්න ගත්තා ඔයාත් ලියුම් ලිව්වාද කියා. මම කිව්වා, ලිව්වේ නෑ. ලියන්න සිතුවා විතරයි කියා. ලෝකේ තිබෙන සේරම බැණුම් අහන්න සිද්ධ වුණා. කවුද කියලා කියන්න කිව්වා. මම කිව්වා, අඳුරන්නේ නෑ. එයා වැඩට යන කෙනෙක් කියලා. අම්මලාට කේන්ති ගියා. කොහොම හරි ඒ කොල්ලාගේ ගෙවල් හොයාගත්තා. ගිහින් කිව්වා අපේ ළමයාට මීට පස්සේ මොනවා හරි දුන්නොත් බලාගන්න පුළුවන් කියලා. ප්‍රේමය ඒතනින්ම ඉවරයි.  


ගමේ කොල්ලෝ ඔයාට ආදරය කරන්න ආවේ නැද්ද?  


එච්චර කාලයක් මට ගමේ ඉන්න ලැබුණේ නැහැනේ. අවුරුදු 16 වෙන විට සිනමාවට ආවා. ඒ කාලයේදී එහෙම ලයින් ද‌ාන්න කොල්ලන්ට අවස්ථාවක් ලැබුණේ නෑ.  


ඔයා සිනමාවට පැමිණි විටදී නම් ආදර සබඳතාවලට ආරාධනා නම් ගොඩක් එන්න ඇති නේද?  


අපොයි කියලා වැඩක් නෑ. සිනමාවට එන විටම ඒක නිකම් වදයක් වගේ වෙන්න ගත්තා. එක් එක්කෙනා ආදරය ප්‍රකාශ කරන විදිහ තිබෙනවානේ. කැමරාකරන කෙනා එක විදිහක්. මේකප් කරන කෙනා තව විදිහක්. ඒ අය මට ලව් කරන බව තේරෙනවා. ඒත් මම හිතනවා, එහෙම වෙන්න ඇති හැමෝටම කියලා. පස්සේ බලද්දී පොඩි ලව් එකක්. එහෙම ඒවා හරියට වැඩියි. තෝරා ගැනීමට අපහසුයි. කතාකරන හැම එකාම ලව් කරන්න එනවා. රඟපාන්න යද්දීත් එහෙමයි. නළුවෝ හැම කෙනා වගේ පොඩි ප්‍රේම කතා කියාගෙන ඇවිත් තිබෙනවා.  


ඒ අවස්ථාවල දුරදිග ගිය ප්‍රේමයක් තිබුණාද?  


 ගොඩක් දුරදිග ගිය ප්‍රේමයක් තිබුණේ නෑ. හැබැයි එක්කෙනෙක් හිටියා. දිගට සම්බන්ධතාවක් ගෙන ගියා. ඒ ගැන කියන්න මා කැමැති නෑ. ඒ තුළ මගේ හිතට ආදරයකුත් දැනුණා. නමුත් එයා වෙනත් කෙනකුගේ පෙම්වතෙක් නිසා ඒ ගැන මම දිගට හිතන්න ගියේ නෑ. එයා ගැන හැබැයි මා ගෙදර ඇවිත් හිතනවා. විශ්වාස කරන්න, අදත් මම එයා ගැන හිතනවා. ඒ මුහුණ තවම හිතේ තිබෙනවා. චිත්‍රපටිවල වැඩ කරද්දී සහෝදරත්වය වැඩිවෙනවා. ඒවා ඇත්ත දේවල් වගේ තමයි සිදුවුණේ.  


 අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රේම යෝජනා ආවේ නැත්තෙත් නෑ. ආවා. එ්ගොල්ලො බලාපොරොත්තු වෙන්නේ වෙන දේවල්. ඒ අයට ප්‍රේම කතා බොරුවක්. අනෙක් අතට මට අධ්‍යක්ෂවරුන්ගේ, නිෂ්පාදකවරුන්ගේ පස්සෙන් ගිහින් චිත්‍රපට ලබාගන්න වුවමනා වුණේ නෑ. මොකද කරගන්න බැරි තරමට මට චිත්‍රපට ලැබෙනවා. ජනප්‍රියත්වයේ ඉහළටම යනවා. ඒ වගේ වෙලාවක මම ඔවුන් ගණන් ගන්නේ නැති තත්ත්වයකට ආවා. මම දන්නවා. ඔවුන් බොරුකාරයෝ කියලා. එන හැම නිළියටම ප්‍රේම කරනවා ඇති. අනෙක කසාද බැඳපු අය. ඒ අය එක්ක මොන ප්‍රේමයක්ද?  


ඔයා එහෙම කිව්වත් විජය කුමාරතුංග කලාකරුවාට, නළුවාට පිස්සු හැදිලා වගේ හිටියා නේද?  


ඔව්. මම රඟපාන්නත් ඉස්සරවෙලා කැමැතිම නළුවා වෙලා හිටියේ විජය. ඔහුව මුලින්ම දැක්කේ බර්මින් ලයිලි චිත්‍රපටයක් කරන්න ගියා ‘අපර්ණා’ නමින්. එහි මුහුරත් උළෙලේදී තමයි මුලින් දැක්කේ. නමුත් ඒ චිත්‍රපටය කෙරුණේ නෑ. මගේ පළමු චිත්‍රපටය වන ‘වාසනා’ චිත්‍රපටයේ විජය එක්ක රඟපාන්න ලැබුණා. නමුත් පණපිටින් මුලින් දැක්කේ මුහුරත් උළෙලද‌ා. චිත්‍රපටවලින් විතරයි මම ඔහු දැකලා තිබුණේ. ඒ කාලයේ ‘තුෂාරා’ චිත්‍රපටය හරිම ජනප්‍රියයි. ඒ වගේම තිමති වීරරත්න කළ ‘මේ දෑස කුමකටද?’ චිත්‍රපටයත් මම බැලුවා, විජය හින්ද‌ා.  


විජය කියන්​ෙන් පුදුමාකාර ලෙන්ගතු ආදරණීය චරිතයක්. හරි රොමෑන්ටික් චරිතයක්. ඕනෑම ගැහැනියකගේ හිත්ඇදගන්න පුළුවන් චරිතයක්. ඉතිං එහෙම කෙනෙක්ට පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද නේද? අපි පුදුම කැමැත්තකින් ඔහුත් එක්ක කතා කරන්නේ. ළඟ දැවටෙන්නේ.  


ඔය වගේ ආදරණීය හැඟීම් ඇවිත් ඒවා නැතිවෙලා යන විට ඔයාට දුකක් විරහවක් ආවේ නැද්ද?  


ඕනෑ තරම් විරහව, දුක ඇතිවෙලා තිබෙනවා. සමහර වෙලාවට මම ආදරය කරන කෙනා, කැමැති කෙනා වෙනත් කෙනෙක් එක්ක ඉන්නේ කියලා දැනගත්තාම ඇත්තටම දුක ඇති වුණා. ඒවා කවද‌ාවත් මම පෙන්වන්න ගියේ නෑ. ඒ ගැන සාකච්ඡා කරළත් නෑ. ඒවා මම නොදන්නවා වගේ හිත හද‌ාගෙන හිටියා. එතකොට මට අවුරුදු 17-18ක් විතර ඇති. ජීවිත​යේ සුන්දරම කාලයේ. ළමා වියෙන් සිනමාවට ආ නිසා මට සිනමාව තුළ තමයි සියලුම ආදරණීය හැඟීම් ලෙන්ගතුකම් සියල්ල ගොඩනැඟුණේ.  


ඔය අතරේ ඔයා කෙනෙකුට තදින්ම ආදරය කළා නේද? ඒ ප්‍රේම සම්බන්ධයට මොකද වුණේ?  


ඔබ කොහොමද ඒ ගැන දන්නේ? ඔව්. ඒ කතාව ඇත්ත. මම නම කියන්නේ නෑ. කෙනෙකුට මම තදින් ආදරය කළා. හදවතින්ම. එ්ක අහම්බෙන් සිදුවූ දෙයක්. දැකලා කතා කරලා පුදුම බැඳීමක් ඇති වුණා. ඒ දවස්වල මම සිතුවා මගේ ජීවිතයට ලැබුණු හොඳම කෙනා මෙයා කියලා. අවුරුදු 2ක් විතර අපේ සම්බන්ධය ගෙන ගියා. පස්සේ මට දැනගන්න ලැබුණා එයා වෙනත් ගැහැනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබෙන බව. මට මතකයි ඒ සම්බන්ධය හොයාගන්න මොන තරම් මහන්සි වුණාද කියලා. මේ පුද්ගලයා සිනමාවට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්.  


 ඔහු අර අනෙක් ගැහැනු ළමයා එක්ක තිබෙන සම්බන්ධය ඔප්පු කරගන්න මම හුඟාක් උත්සහා කළා. මම ඒ ගැහැනු ළමයා හම්බවෙලා එයා එක්ක කතා බහ කරලා අපේ ගෙදරට එක්ක ගෙන ආවා. එයාට මම ඔහුත් එක්ක ගත්ත ​​ෙෆාටෝ එකක් පෙන්නුවා. එයා එකපාරටම කිව්වා ‘ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්’ කියලා. එතනදී මට ලෝකෙම අනික් පැත්ත වැටුණා වගේ දැනුණා. හරියට දුක් වුණා. හරිම අප්සට් වුණා. ඒක එතනින් නතර කළා.  


එ් ප්‍රේමය නතර වෙනකොටම තවත් ප්‍රේමයක් ඇති කර ගත්තා නේද? ඔහු විවාහ කර ගත්තා කියලත් ආරංචියි. ඇත්තද ඒ කතාව?  


 ඔව්. කාලයක් ගිය විටදී තවත් කෙනෙක් මට හමුවුණා. ඒක යෝජිත එකක්. එතකොට මට අවුරුදු 23ක් විතර ඇති. ‘දැන් ඔයා බඳින්න ඕන කාලේ. පවුල් ජීවිතයක් හද‌ාගන්න ඕනෑ. දරුවෙක් හද‌ාගෙන ලස්සනට ඉන්න ඕනෑ කියා අදහස මා තුළ ඇති වුණා. ඒක හැමද‌ාම මගේ සිත තුළ තිබුණු දෙයක්. ඔහු පිටරටක සේවය කළ කෙනෙක්. ලංකාවට ආ වෙලාවක තමයි හමුවුණේ. එකවරක් ලංකාවට ආ විට ඔහු කිව්වා, අපි ඉක්මනට විවාහ වෙමු කියලා. මම ඒ ගැන අම්මලාට කිව්වාම, හරිම සතුටු වුණා. හරිම සන්තෝෂෙන් මම ඔහු සමඟ විවාහ වුණා.  


 ඒ විවාහය ගැන හැමෝම දන්නවා. ඒ විවාහය තිබුණේ දවස් 30ක් පමණයි. ඒක හිතාගන්න බැරි කතන්දරයක්. දන්න අය එයා කවුද කියලා දන්නවා ඇති. යටගියාවක් ගැන කතා කරමින් කෙනකුට හානියක් වෙන්න පුළුවන් කියලා සමහරකුට හිතෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නෑ කියා මම සිතනවා. ඒක අතීතයක් පමණයි. සියලු දෙනාටම අතීතයේ යම් යම් අවස්ථා තිබෙනවා. ඒක ම​ෙග් වැරැද්දකින් සිද්ධ වෙන්නත් පුළුවන්. එයාගේ වැරැද්දකින් සිද්ධ වෙන්නත් පුළුවන්. 100%ක් මම අංගසම්පූර්ණ කෙනෙක් නොවෙයි. කොහොම හරි ඒ විවාහය ඉවර වුණා. ඒ විවාහය ඉවර වූ විදිහත් ඉතාම කණගාටුද‌ායක විදිහට සිද්ධ වුණේ.  


 ඒ කියන්නේ ඔහු මටත් නොකියා රට ගිහින් තිබුණා. මට තාම මතකයි මාස ගණනක් නොකා නොබී ඔහු ගැන හැමතැනම හෙව්වා. ඒක දරාගන්නවත් බැරි තරම් වුණා. ඒ අතරේ රූගත කිරීම්වලට යන්න ඕනි. ගියත් හිත වෙන තැනක. ඔහුගේ මුල්ම ඉල්ලීම වුණේ මට සිනමාවෙන් අයින් වෙන්න කියලයි. නමුත් භාරගත් වැඩ තිබුණා. ඒවා එකපාරටම නතර කරන්න බැහැ. ඒ ගැන හැමතිස්සේම සණ්ඩු කළා. එතකොටම ඒ දවස්වල ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටය තිරගත වුණා. එහි මම සංකීර්ණ චරිතයක් රඟපැවේ. ඒ චරිතය අද බොහෝ දෙනා අගය කරනවා. එද‌ා එතරම් අගය කළේ නෑ. නමුත් මා විවාහ වූ කෙනා ඒ චරිතය පිළිබඳව වෙනම විග්‍රහයක හිටියේ. එය බොළඳ ළදරු ක්‍රියාවලියක් ලෙසයි මා දැක්කේ. ඒ විවාහය එතනින්ම ඉවර වුණා. 


එතකොට කොහොමද ඔයාට ස්විස් ජාතික ක්‍රිස් හමුවන්නේ?  


ඒ කාලේ මම නිරූපණ ශිල්පිනියක් හැටියට කටයුතු කළා. පිටරටක සමාගමක ඇඳුම්වලට. එයට මෙරට වෙළෙඳ දැන්වීම් කරන ආයතනයක් මගින් තමයි මාව කැඳෙව්වේ. මට තිබුණේ ඔවුන්​ෙග් ඇඳුම් වෙනුවෙන් පෙනී ඉන්න. මට බටහිර පන්න​ෙය් පෙනුමක් තිබුණ නිසයි තෝරාගත්තේ. ඒ සඳහා මට හොඳ මුදලක් ගෙව්වා. ඒ සමාගමේ අයිතිකාරයා තමයි ක්‍රිස්. ඔහු කීපවතාවක්ම මුණ ගැසුණා. මම එතකොට දෙහිවල පදිංචි වෙලා හිටියේ. ඔහු අපේ ගෙදර ආවා. අපේ අම්මා බැලුවා මේ කවුද කියලා. පිටරට මනුස්සයෙක් හින්ද‌ා අම්මා එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ.  


නමුත් මට ඔහු ගැන හිතවත්කමක්, ලෙන්ගතුකමක් දැනුණා. එයා මට ආදරය ප්‍රකාශ කරන්න කියා කෑමකට ආරාධනා කළා. මම එද‌ා අපේ මුළු පවුලම අරගෙන ගියා. දැන් මට හිතෙනවා එද‌ා ඔහු මාව අතහැරලා දැම්මේ නැති එක ගැන පුදුමයක් කියලා. සීයා, අම්මා ඇතුළු 7, 8 දෙනෙක් හිටියා. හොලිඩේ ඉන් හෝටලයේ තමයි කෑම ගන්න තිබුණේ. ඔහු බලාපොරොත්තු වුණේ තනියෙන් ඇවිත් කෑම කාලා, කතා කරලා යයි කියලනේ. හැබැයි එද‌ා ඔහු ‘දැන් බලන්න එපා. ගෙදර ගිහින් බලන්න’ කියලා ඇන්ලොප් එකක් දුන්නා. ඒක ඇතුළේ ලස්සන කාඩ් එකක් තිබුණා. එහි ෆ්රේම් කරපු රෝස මලක් තිබුණා. එහි 'I Love you -kris' කියලා.  


 දැන් වගේ ටෙලිෆෝන් තිබුණේ නැහැනේ. එයාගේ දුරකතන අංකය ද‌ාලා තිබුණා. ඉස්සරහ ගෙදර දුරකතනයක් තිබුණා. මම ඒ ගෙදරට ගිහින් කෝල් එකක් ගත්තා. එයා කතා කළා. මම කිව්වා. Thank you for The Dinner කියලා. එතකොට ඔහු did you See my Letter's what do you think about it කියලා ඇසුවා. මම හිනාවෙන්න ගත්තා. yes වත් No වත් කිව්වේ නෑ. හිනාවෙනකොට 'I'll Come to your house today' කියලා කිව්වා. මුළු ගෙදර සියලු දෙනාට තෑගි අරගෙන, ගෙදර අයට කන්න වෙනම කෑම ලොකු හෝටලයකsන් අරගෙන කාර් එකෙන් භාගයක් විතර බඩුමුට්ටුත් අරගෙන අපේ ගෙදර ආවා. අපේ නංගිලා එතකොට පොඩියි. එයාලට ඉතිං නත්තල් සීයා ඇවිත් වගේ.  


 චොකලට් ලොකු පෙට්ටි ගෙනවිත් තිබුණේ. ළමයින්ට පුදුම ආසයි. නංගිලා කියනවා. එයා හරිම හොඳයි. ඔයා බඳින්නද යන්​ෙන් කියලා. මම ‘ඔව්’ කිව්වා. හෙටම බඳින්නලු. නංගිලාගේ එකම ඉල්ලීම පුළුවන් තරම් ඉක්මනට එයා බැඳගන්න. එතකොට එයාලට ලොකු චොකලට් ලැබෙනවානේ. නංගිලා තුන්දෙනාට ඔරලෝසු තුනක්, මල්ලිලා දෙන්නට අම්මාට, තාත්තාට ලොකු ඔරලෝසු ගෙනවිත් දුන්නේ. ඒ කාලේ දහපහළොස් දාහක් විතර ඒ ඔරලෝසුවක් වටිනවා. ඒ ඔක්කොමවෙලත් මම ඔහුට කිව්වේ තාත්තගෙන් අහන්න කියලා. තාත්තා කිව්​ෙව් ඔයාට ගැලපෙන පුද්ගලයා තමයි මේ හමුවෙලා ඉන්නේ. ඔයාට සැපෙන් ජීවත්වෙන්න පුළුවන්.’ කියලයි. ඊට පස්සේ මාස 8ක් ගිහින් අපි විවාහ වුණ. එතකොට මට අවුරුදු 25ක් වෙනවා.  


ක්‍රිස්ට ලියුම් ලිව්වේ ඔයා නොවෙයි නේද? ඔහුගේ පෙම් හසුන්වලට කොහොමද උත්තර යැව්වේ?  


මට ඉංග්‍රීසියෙන් ලියුම් ලියන්න බැහැ. වෙන ගෝලයෙක් හිටියා. රෙජී සිල්වා කියලා. මේකප් ද‌ාන කෙනෙක් හිටියා. එයාගේ නෝනා තමයි මට ලියුම් ලියලා දුන්නේ. ක්‍රිස් සමහර දවස්වලට රට යනවා. ඒ ගියාම ලියුම් තමයි එන්නේ. මොකද මට ටෙලිෆෝන් තිබ්බේ නැහැනේ. අරයා තමයි මා වෙනුවෙන් ලියුම් ලිව්වේ. ඇය රොමෑන්ටික් කතා ද‌ාලා ලියුම් ලිව්වේ. රෝමියෝ ජුලියට් කතා ද‌ාලා තමයි ඒ ලියුම් ලියන්නේ. මාත් ඒවාට හරි කැමැතියි. පස්සේ ක්‍රිස් දැනගත්තා අපි විවාහ වුණාට පස්​ෙස් මට දැනුනේ සින්ඩ්‍රෙල්ලා වගේ කියලයි. සුරංගනා කතාවක් වගේ වුණා ජීවිතය. බොහොම සුන්දර කාලයක්.  


විවාහය ගැන ඔයාට මොකද සිතුණේ?  


ක්‍රිස් වෙලාවට වැඩකරන කෙනෙක්. වෙලාව තමයි මට ප්‍රශ්නයක් වුණේ. මම ආසයි ඔහේ කැමැති වෙලාවක නැගිටලා, කැමැති වෙලාවක කෑම කන්න. මට වෙලාවට වැඩ කරන්න අමාරුයි. එයා නමුත් ​ෙවලාවට වැඩ කරන කෙනෙක්. ඒක තමයි අපි දෙන්නාගේ නොගැලපීමට තිබුණේ. නමුත් අපි හරිම ආදරයෙන් හිටියා. මම එයාගෙන් ඉල්ලීම් 3ක් ඉල්ලුවා. එකක් මම මොනම හේතුවක් නිසාවත් මේ රට අතහැරලා එයාගේ රටේ පදිංචියට එන්නේ කෑ කිව්වා. දෙවැනි ඉල්ලීම ගීතා කුමාරසිංහ නාමය විවාහ වුණත් අයින් කරන්නේ නෑ කිව්වා. මම මැරෙනතුරු ගීතා සමන්මලී කුමාරසිංහමයි. තුන්වැනි කාරණය මගේ ආගම වන බුද්ධාගම කියන එක මොනම හේතුවක් නිසාවත් අතහරින්නේ නෑ. මම එයාගේ ආගමට ​අගෞරව කළේ නෑ කවද‌ාවත්. ඔහු ඒ ඉල්ලීම් තුනට 100% ක්ම මට අවස්ථාව ලබා දුන්නා.  


හුඟාක් පන්සල්වලට උදව් කරන්න ඔහු උපකාර වුණා. අතදිගහැරලා ඔහු මට සල්ලි දුන්නා. ආගමේ වැඩවලට. පන්සල්වලට, දුප්පත් අයට වගේම ගෙදර පිරිත් කියන්න, ද‌ානේ දෙන්න යනාදී සියලුම දේවල් කරන්න ඔහු මට මුදල් දුන්නා. එයා ඕනෑවට වඩා කාලය යෙදෙව්වේ ව්‍යාපාරවලටයි. පෝය දවසටත් වැඩ. ලෝකයේ හැම තැනටම වැඩ නිසා යන්න වෙනවා. ව්‍යාපාරවලට මුල් තැන දුන්නා. නමුත් හරිම හොඳම ගති ගුණ තිබෙන කෙනෙක්. අද වන විට මම ස්විස් පුරවැසිභාවය අයින් කරගෙන තිබෙන්නේ. ඔහු එයින් මහා කම්පනයකට පත් වුණා. මෙච්චර කාලයක් විවාහ වෙලා ඒ රටේ පුරවැසිභාවයත් ගන්නවා කියන්නේ හරිම අමාරු කාර්යයක්. විවාහය අයින් කරගත්​ෙත් නෑ. අදටත් ඔහු මට සලකනවා.  


ඔයා ඔය විදිහට හිටියත් දේශපාලකයෙක් සමඟ සම්බන්ධකමක් පැවැත්වූ නේද? ඒ මිත්‍රත්වය අදටත් තිබෙනවා නේද?  


ඒක දේශපාලනඥයෙක් එක්ක විතරයි. නැත්නම් වැරැදියට වටහාගන්න පුළුවන්. මම පිටරට ගිහින් හිටියා ඉගෙන ගන්න. එතකොට ඔහුත් වැඩ කළේ ඒ රටේ. ප්‍රංශයේ තමයි අපි හිටියේ. සෑහෙන කාලයක් එ​ෙහ ඉන්න කොට තමයි ඒ හිතවත්කම ඇති වුණේ. මිනිස්සු එක එක විදිහට ඒ ගැන කතා හදනවා. නමුත් අදටත් අපි හොඳ යාළුවෝ. අද මේ මොහො​ෙතත් සතියකට දවස් 2, 3ක් වත් කොහේ ගියත් කොහොමද කියලා දුක සැප හොයනවා. ඕනෑම ප්‍රශ්නයකදී උදව් කරන අදත් මගේ ජීවිතයේ ඉන්න හොඳම යාළුවා තමයි ඔහු. ආදරය විවිධාකාරයි. ජීවිත​ෙය් එක එක්කෙනා හිතන පතන විදිහ වෙනස්. අපි නොහිතන දේවල් කරන්නත්, නොහිතන දේවල් සිද්ධ වෙන්නත් ජීවිත​ෙය් ඉඩ තිබෙනවා. මම කාටවත් බොරු කියලත් නෑ. රටට බොරු කියලත් නෑ. කියන්නෙත් නෑ. නමුත් මා ඒ ගැන දුක්වීමක් හෝ කණගාටුවක් නෑ. ඒ බැඳීම සංසාරගත බැඳීමක් වෙන්නැති. අවුරුදු තිස් ගණනක් තිස්සේ ඒ යාළුකම, හිතවත්කම තවමත් තිබෙනවා.  


ඔයාට තරුණ කොල්ලන්ගෙන් පවා ප්‍රේමාරාධනා ලැබුණා නේද? අදටත් ලැබෙනවා නේද?  


ඒක එහෙම තිබුණා. මේ ළඟදී මම පිච්චිලා ඉස්පිරිතාලේ ඉන්න කොටත් කොල්ලෙක් මට ආදරය කරන්න ගත්තා. මම නම් සිතුවේ මේක නම් වෙන්න බැරි දෙයක් කියලා. මට සිතුණා, මොළේ කචල්ද කියලා. ඒවායින් නම් කිසිම අඩුවක් නෑ. ඒ අපි වයසට ගියත්, අපේ පෙනුම වයසට යන්නේ නැති නිසා වෙන්නැති එහෙම වෙන්න. නේද?  


ඔයාට අඩු වයස් කොල්ලො ගැන හැඟීමක් ආවේ නැද්ද?  


එහෙම හැමතිස්සෙම ඇවිත් නෑ. හැඟීම් ආවා. බොරු කියන්නේ මොකටද? දැන් දැන් නම් එන්නෙම නැති තරම්. දැන් මගේ දුව ගොඩක් ලොකුයි. දුවගේ විවාහයත් පහුගිය දවස්වල කරන්න තිබුණේ. මම අසනීප වූ හින්ද‌ා බැරි වුණා. එය ලබන වසරේ අප්‍රේල් මාසයේදී කරන්න කල් ද‌ාගත්තා. එච්චර ලොකු දුවක් ඉන්න නිසා කොල්ලෙක් ගැන වුණත් මට හිතෙන්නේ දරුවෙක් වගෙයි කියලා. කතා කරන්නෙත් පුතා කියලයි. එහෙම දැන් ඒ අය මා දිහා බලන්නෙත් ගොඩක් ගෞරවයෙන්. අපි අඳින පළඳින ක්‍රියාකරන විදිහ දැන් වෙනස්. ජීවිතය දිහා බලන විදිහ වෙනස්. දේශපාලනයට පැමිණීමත් සමඟම ඒ හැඟීම්, ආකල්ප තිබුණු ඒවත් වෙනස් වෙලා ගියා.  


ඔයා දේශපාලනයට ආවට පස්​ෙස් දේශපාලකයන්ගෙන් අයුතු බලපෑම් එල්ල වුණාද? එහෙමත් නැත්නම් ප්‍රේමාරාධනා ලැබුණාද?  


 දේශපාලනඥයන් කියන්නෙත් හැඟීම්, දැනීම් ඇති මනුෂ්‍ය කොට්ඨාසයක්නේ. අයුතු අදහස් නම් ඇවිත් නෑ. යුතු අදහස් නම් ඇවිත් තිබෙනවා. බලහත්කාරකම් කරන්න, අතින් අදින්න කවුරුත් ඇවිත් නෑ. ආදරයට ආ අය නම් ගොඩායි. අර මුට්ටිය ද‌ාලා බලනවා මෙයා නම්මගන්න පුළුවන්ද කියා. ඒ වගේ ඒවා නම් වෙලා තිබෙනවා. ඒවා කාටවත් දොස් කියන්න තරම් වෙලා නෑ. ස්වභාවිකව මානුෂික හැඟීම් ඒවා.  


ලිංගිකත්වය ගැන ඔයාට මොකද සිතෙන්නේ?  


 බොහොම පරිස්සමෙන් පරිහරණය කළ යුතු කටයුත්තක්. විශේෂයෙන් හුදු ලිංගිකත්වයට වඩා මානසික සහ ආදරණීයත්වයට හැමද‌ාම ආදරය කළ ගරු කළ කෙනෙක් මම. මගේ සැමියා මට වඩා ගොඩක් වැඩිමල්. ම​ෙග් ඔය කියන දේශපාලන මිතුරාද මට වඩා අවුරුදු 16 කට විතර වැඩිමල්. ඉතිං මට ඒ අය පිළිබඳව තිබෙන්නේ ගෞරවාන්විත හැඟීමක්. ඒක ලිංගිකත්වයට එහා ගිය ආධ්‍යාත්මික ආදරයක්.  


‘ලිවිං ටු ගෙදර්’ ලෙස අද බොහෝ කලා ක්ෂේත්‍රයේ අය ඉන්න බවක් පෙනෙනවා. ඒ ගැන ඔයාට මොකද හිතන්නේ?  


මා හිතන්නේ එය වැරැද්දක් නෑ කියලා. දෙන්නෙක් කැමැති නම් ඒ දෙන්නාට නිදහස තිබෙනවා එකට ජීවත් වෙන්න. බොරුවට ලෝකෙට කෑගහලා වැඩක් නෑ. ලෝක​ෙය් වෙන රටවල් එය විවාහයක් හැටියට ගණන් ගන්නවා. ඔය ස්විට්සර්ලන්තයේ අවුරුදු 20-30 ‘ලිවිං ටු ගෙදර්’ ​ඉන්නවා. හැබැයි විවාහ වෙලා නෑ. එ් අය බයයි විවාහ වෙන්න. මොකද විවාහය කැඩෙයි කියලා. ඊට වැඩිය හොඳයි මෙහෙම ඉන්න එක කියලයි ඔවුන් හිතන්නේ. අපේ රටේ සංස්කෘතිය අනුව ඒක වෙනස්. නමුත් ගහමරාගෙන එකට ඉන්නවාට වඩා මෙහෙම ඉන්න එක හොඳයි කියා මට හිතෙනවා.  


ඔයයි ක්‍රිස්ගෙයි විවාහය කඩාකප්පල් කරන්න ඕනෑ තරම් අය ඉන්න ඇති නේද?  


අපොයි ඔව්. ඕන තරම් හිටියා. ක්‍රිස් ඒ කිසි දෙයක් අහන කෙනෙක් නොවෙයි. එයාගේ ජීවිතයේ එයා හැමවිටම කිව්වේ මම එක වයසකට ආ විට ස්විට්සර්ලන්තයේ පදිංචියට යනවා. එයා දැන් වැඩිපුර ඉන්නේ ස්විට්සර්ලන්තයේ. මාස 6-7 කට සැරයක් ලංකාවට එන්නේ. ඒ ජීවිතය ගැන මට සතුටු නෑ. නමුත් මම වගේ කෙනෙකුට පුරවැසිභාවය ගැන නඩු වැටෙන්නෙ ඇයි කියලයි මට හිතෙන්නේ. මොකද මම රටකට ගිහින් ඉන්න කැමැති නෑ. අනෙක් අයගේ සිහිනය රටකට ගිහින් පදිංචි වෙන්නයි. මගේ සිහිනය සියලු දුක් කන්දරාවල් දරාගෙන මේ රටේ ඉන්නයි. දැන් අපි දෙන්නා දෙවිදිහකට ජීවත් වෙන්නේ.  


හැබැයි දවසක් හැර දවසක් දුරකතනයෙන් හරි ඔහු කතා කරනවා. සියලු අවශ්‍යතා ඕනෑ එපාකම් ඉටුකරනවා. මේ දිනවල වෙනම තැනක මම ඉන්නේ. ම​ෙග් ගේ සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරනවා. ගෑස් ප්‍රශ්නය නිසා මට දැන් ගේ අලුත් විදිහකට දකින්නයි කැමැති. මගේ සැමියා මට උදව් කරනවා.  


ඉතිං ඔයාට දැන් තනිකමක් දැනෙන්නේ නැද්ද?  


 ඇයි නැත්තේ. තනිකම ඉතා හොඳින්, හුඟාක් මට දැනෙනවා. මට ඒක ටිකක් හරි අඩුවෙලා තිබෙන්නේ ම​ගේ සහෝදර සහෝදරියෝ හින්දයි. මම ඉස්පිරිතාලේ මාසයක් හිටියා. ඔවුන් මාව එක රැයක් තනි කළේ නෑ. නංගිලා බෙද‌ාගෙන මා ළඟ හිටියේ. මට නංගිලා පස්දෙනෙක් ඉන්නවා. ඔවුන් පුදුම විදිහට මට උදව් කළේ. මට ඔවුන් සහෝදරියන්ටත් වඩා ම​ෙග් දරුවෝ වගේ. මගේ දුවට වඩා වැඩියෙන්ම දුක් වුණේ මගේ නංගිලා. දැනටත් මාව බලන්න එනවා. නංගිලාගේ ළමයි මට කතා කරන්නේ ‘ලොකූ’ කියලයි. ළමයින්ගේ ලොකූ මමයි. රාත්‍රියේදී මම තනියෙන්ම ඉන්න කොට මට හිතෙනවා මට කොයිතරම් දේ තිබුණත් තනිකම මට තවමත් තිබෙනවා නේද කියලා.  


 ගීතා තම සිතැඟියාවන් විවෘතව පළ කළාය. ඇය ඒ සියල්ල හෘදයාංගම පැවසුවේ මා කෙරෙහි තැබූ විශ්වාසය නිසාවෙනි. ඒ විශ්වාසයට මම ඇයට පෙරළා තුති පුදන්නෙමි. ඉතිං ගීතා ගැන ඔබ නොදත් බොහෝ දේ මේ ලිපිය තුළ තිබෙන්න ඇති. ඇය කොතරම් නිර්ව්‍යාජ ගැමි කාන්තාවක් මෙන්ම එඩිතර නිර්භීත ගැහැනියක්ද කියා ඔබට වැටහේවි.  

 

 

 

 

 

 

 

 


කතාබහ කළේ  
සමන්ත යහම්පත්