කාන්තාරයේ සැඟවී තිබූ වසර 9000 ක් පැරණි විස්මිත නගරයක්


 

19 වැනි ශතවර්ෂයේ මුල්කාලයේ ජෝර්ද‌ානයේ ‘වාඩි ඇරබා’ වලට නැගෙනහිරින් පිහිටි කාන්තාර මිටියාවතක සංචාරය කරමින් සිටි යුරෝපීය ජාතිකයින් පිරිසකට කාන්තාරයේ වැලි වලින් වැසී ගොස් තිබූ ගොඩනැගිලිවල නටබුන් රාශියක් දැක ගැනීමට හැකි විය. එහි තිබූ ආකර්ෂණීය ගෘහ නිර්මාණ, ප්‍රතිමා, සංකීර්ණ රටාවලින් යුත් භාජන හා ස්වර්ණාභරණ ද හමු වී ඇත. 1929 දී බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් මෙම ප්‍රදේශය සිතුවම් ගතකර කැණීම් කර ඇතත් පුළුල් වශයෙන් කැණීම් ආරම්භ කර ඇත්තේ 1958 වසරේදීය. කැණීම්වලින් හමුවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මෙහි ජනාවාස ආරම්භ වී තිබෙන්නේ කිස්තුපූර්ව 7000 ට ඉහතදී බැව් පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. වටිනා පුරාවිද්‍යාත්මක නටබුන් රැසකින් හෙබි මෙම නගරය ‘පෙට්‍රා’ නමින් හැඳින් වේ. 

 
 ‘පෙට්‍රා’ යනු ලතින් භාෂාවෙන් ගල් පර්වතය යන අර්ථය ගෙන දේ. ජෝර්දානයේ ‘වාඩි ඇරබා’වලට නැගෙනහිරින් මල මුහුදට කී.මී. 80ක් පමණ දකුණෙන් ඇති සචිභේද නිම්නයක පෙට්‍රා නගරය පිහිටා ඇත. මුල් කාලයේ මෙහි වාසය කර ඇත්තේ ‘එඩොමිට්ස්’ වරුන් වන අතර එම යුගයේදී මෙම ප්‍රදේශය හඳුන්වා ​ ඇත්තේ රතු යන අර්ථය ඇති ‘එඩම්’ යනුවෙනි. අරාබි එඩේර ගෝත්‍රිකයන් වූ නබටියන්වරු (Nabatgeans) එඩොමිට්ස්වරුන් දකුණු දිග පලස්තීනයට පලවා හැර මෙහි බලය අල්ලාගෙන ඇත. නබටියන්වරු සුවිශේෂී හැකියාවකින් හා කුසලතාවයන්ගෙන් පිරිපුන් ජාතියක් වූ අතර රාජධානියක් පිහිටුවා පෙට්‍රා තම අගනුවර ලෙස පත්කර ගත්හ.   


අතීතයේ ආසියාව, අරාබිය හා අප්‍රිකාව වැනි රටවල නිෂ්පාදනය කළ රෙදිපිළි, සුවඳ විලවුන්, කුළුබඩු, ඇත්දළ හා වෙනත් වටිනා භාණ්ඩ රැගත් වෙළෙඳුන් වාණිජ කටයුතු සඳහා පැමින ඇත්තේ නබටියන්වරුන්ගේ ප්‍රදේශය හරහාය. අධික බරකින් යුත් වෙළෙඳ භාණ්ඩ ශුෂ්ක කාන්තාරය හරහා ප්‍රවාහනය කිරීම වෙළඳුන්ට දුෂ්කර කාර්යයක් විය. නබටියන්වරු මෙලෙස පැමිණෙන වෙළඳුන්ගෙන් මුදල් ලබාගෙන නවාතැන් හා ජල පහසුකම් සපයා දීමට කටයුතු කර ඇති අතර තම ප්‍රදේශය හරහා ගමන් කිරීම වෙනුවෙන් අතිරේක මුදලක්ද ලබාගත්හ. වාණිජ කටයුතු සඳහා වෙළෙඳුන් වැඩි වැඩියෙන් පැමිණෙත්ම පෙට්‍රා නගරය වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. වාණිජ ව්‍යාපාරයෙන් මහත් ධනස්කන්ධයක් උපයාගත් නබටියන්වරු ආර්ථික වශයෙන් බලවත් පිරිසක් බවට පත්ව සිටියහ. ලොව පුරාම වාණිජ කටයුතුවල යෙදී සිටි වෙළෙඳුන් විශේෂයෙන්ම ඊජිප්තුව, චීනය හා ග්‍රීසියෙන් පැමිණි වෙළෙඳුන් නිසා පෙට්‍රා නගරය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට ද පත්ව ඇත. නබටියන්වරු ආර්ථික වශයෙන් බලවත් වීමත් සමගම තම රාජධානියේ අගනුවර වූ පෙට්‍රාහි විශාල කුලුනු හා පඩිපෙළවලින් යුත් කැටයම් කරන ලද ගොඩනැගිලි ද සම්භාව්‍ය ප්‍රතිමාද නිර්මාණය කර පෙට්‍රා සමාධිමත් වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගත්හ. කඳු සහිත ප්‍රදේශයක පෙට්‍රා පිහිටීම නිසා සතුරන් පලවා හැරීමට ද නබටියන්වරුන්ට හැකිවීමෙන් ඔවුන්ගේ රාජධානිය ද සුරක්ෂිත එකක් විය.   


 නබටියන්වරුන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගල් කඳු හාරා කරන ලද ගෘහ නිර්මාණ ශිල්පයටත් ජල පාලනය කර ඇති ආකාරයටත්ය. පෙට්‍රා රතු රෝස නගරය ලෙසින් ද හඳුන්වා ඇත්තේ ගොඩනැගිලි සෑදු කඳු එම පැහැයෙන් යුක්ත වීම නිසාය. කැණීම්වලදී හමු වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව කාන්තාරයක පිහිටි නගරය කෙම්බිමක් බවට පත්කිරීම සඳහා නබටියන්වරුන්ට ජල කළමනාකරණය කිරීම පිළිබඳව තිබූ හැකියාව හා කුසලතාව පෙන්නුම් කෙරේ. නිරතුරුවම ජලගැලීම්ම ඇතිවන මෙම ප්‍රදේශයේ ගංවතුර පාලනය කර ඇත්තේ ජලය රඳවා තැබීමට වේලි සකස්කිරීමෙන්, භූගත ජල ටැංකි තැනීමෙන් හා දිය අගල් තැනීමෙන් බව හමුවූ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පැහැදිලි වේ. කර්කශ මුඩුබිම් කාන්තාරයක්ව තිබූ පෙට්‍රා නගරය සාරවත් ලෙස ධාන්‍ය වගා කළ හරිත වර්ණ උද‌ාන වලින් හා විනෝදාස්වාදය සඳහා තැනූ ජල තටාකවලින් සමන්විත නගරයක් බවට පත්කර ඇති අයුරු විශ්මයජනකය. ස්ථාවර ජල උල්පත් හා ඍතූන් අනුව ඇතිවන ජල ප්‍රවාහවලින් ලැබෙන ජලය කළුගල් හාරා සකස්කරන ලද ඇළ මාර්ග හරහා උමං මාර්ගයකින් ගෙනගොස් ඇත. ජලය කාන්දු නොවන අයුරින් හා වාෂ්පීකරණය නොවන අයුරින් භූගත ටැංකිවල ජලය ගබඩා කර තැබීමට නබටියන්වරුන් කටයුතු කර තිබේ. මෙම නවෝත්පාදන ක්‍රමයෙන් ජලය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පමණක් නොව වියළි කාලයේදී වුවද ජල අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුනට හැකි විය. 

 
පෙට්‍රා නගරයට ඇතුළුවීමට ඇති නැගෙනහිර පිවිසුම් මාර්ගය සිත්ගන්නා සුළු ගැඹුරු ඉතා පටු දුර්ගයකින් සමන්විතය. ස්වභාවික භූවිද්‍යාත්මක පිහිටීමක් වන මෙම දුර්ගය ‘සික්’ යනුවෙන් හැඳින්වෙන අතර දුර්ගය අවසානයේ විශිෂ්ඨ ලෙස නිර්මාණය කළ නටබුන් රාශියක් දැකිය හැක. ‘අල් කෂ්නා’ (Al Khasneh) නමින් හැඳින්වෙන භාණ්ඩාර ගොඩනැගිල්ල ප්‍රපාතාකාර පර්වතයේ මුහුණත හාරා නිර්මාණය කර ඇති අතර වර්තමානයේදී පවා ඉතා හොඳින් ආරක්ෂා වී තිබේ. ධන සම්පත් සඟවා ඇති බවට ලැබුණ දූෂමාන ආරංචියකට අනුව ඒවා ලබා ගැනීම සඳහා ‘බෙඩොයින්’ ගෝත්‍රිකයන් විසින් කරන ලද වෙඩි තැබීම්වලින් සිදුවූ සිදුරු සිය ගණනක් මෙහිදී දැකගත හැක. භාණ්ඩාර ගොඩනැගිල්ලට මදක් ඈතින් En Neja කඳුවැටිය ක්‍රමානුකූලව කපා ආසන සකස් කොට නිර්මාණය කළ විශාල එළිමහන් රඟහලක් ඇත. නගර මධ්‍යයෙහි ජල තටාක හා උද්‍යාණ සංකීර්ණය පිහිටා තිබී ඇති අතර පුරාවිද්‍යාඥයින් සඳහන් කරනුයේ මෙම ප්‍රදේශය වාණිජ කටයුතු සඳහා වෙන්ව තිබූ ස්ථානයක් විය හැකි බවය. 

 
 පුරා විද්‍යාඥයින් විසින් චන්ද්‍රිකා හා ඩ්‍රෝන යානා මගින් ලබාගත් ඡායාරූප වලින් පෙට්‍රා නගරයට පිටතින් මීට ප්‍රථම හඳුනා නොගත් විශාල නටබුන් කීපයක් සොයාගෙන ඇත. ඒවා නබටියන්වරු පොදු ගොඩනැගිලි සෑදූ ක්‍රි.ව. 150 ට අයත් වන බව ඔවුන් සඳහන් කර තිබේ. නබටියන්වරු ප්‍රධාන වශයෙන් තම වාණිජ ව්‍යාපාරය ගෙනගොස් ඇත්තේ රෝම අධිරාජ්‍යය සමගය. ක්‍රි.ව. 106 දී රෝමන්වරු පෙට්‍රා නගරය ආක්‍රමණය කර එහි බලය අල්ලාගෙන ඇති අතර පෙට්‍රාහි ස්වාධීනත්වය ද නැතිවී ගොස් තිබේ. රෝමන්වරුන් විසින් පෙට්‍රා හි නාමය ද Arabia Petraea ලෙස ද වෙනස් කර ඇත. මේ අවධියේ රෝමන්වරුන් මුහුදු මාර්ගයක් ද ආරම්භ කර තිබූ නිසා වාණිජ නගරයක් ලෙස පෙට්‍රාහි තිබූ වැදගත්කම ද නැති වී ගොස් ඇත.   


 ක්‍රි.ව. 363 දී මෙම ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවකින් පෙට්‍රා නගරයේ තිබූ ගොඩනැගිලි රාශියක් විනාශ වී තිබුණි. රෝම අධිරාජ්‍යය කාලයේදී පල්ලි ගොඩනැගුව ද පෙට්‍රාහි තිබූ සශ්‍රීකත්වය නැවත ගොඩනැගිය නොහැකි විය. ඉස්ලාමීය ආක්‍රමණ කාලයේදී පෙට්‍රා මුළුමනින්ම අභාවයට ගොස් තිබුණි. 1985 දී යුනෙස්කෝ සංවිධානය විසින් පෙට්‍රා ලෝක උරුමයක් බවට පත්කර ඇති යුනෙස්කෝ සංවිධානය සඳහන් කර ඇත්තේ මානව සංස්කෘතික උරුමයන් අතුරෙන් වඩාත්ම සුවිශේෂී ස්ථානයක් පෙට්‍රා නගරයට හිමි වන බවය. වර්තමානයේ පෙට්‍රා ජෝර්ද‌ානයේ සංකේතය බවට පත්ව ඇති අතර ජෝර්ද‌ාන රජයේ අධීක්ෂණය යටතේ තවදුරටත් කැණීම් සිදුකෙරෙමින් පවතී.

 

 

 

ශාස්ත්‍රවේදී පී.ඩබ්ලිව්. ගුණතිලක   
 (විස්තර හා ඡායාරූප අන්තර්ජාලයෙනි)