ඔ​ෙබි අත ඔබම බලාගන්න


යමකුගේ අත පරික්ෂා කර බලා පලාපල කීම, හස්ත රේඛා ශාස්ත්‍රය යනුවෙන් හැඳින්වේ. මෙම ශාස්ත්‍රයට අවුරුදු 3000 කටත් වඩා පුරාණයක් වේ. හස්ත රේඛා ශාස්ත්‍රය හැදෑරීමේ පළමු පියවර නම්, අත් වර්ග හඳුනා ගැනීමයි. මූලික හස්තය, චතුරස්‍ර හස්තය, කාර්මික හස්තය, දාර්ශනික හස්තය, කලා හස්තය, චෛතසික හස්තය, සහ මිශ්‍ර හස්තය යනුවෙන් අත් වර්ග 07 ක් තිබේ. අප ශාස්ත්‍ර කියන විට පරික්ෂා කළ යුතු අත පිළිබඳවද දැනගෙන සිටිය යුතුය.   

 

ප්‍රධාන වශයෙන් ස්ත්‍රියකගේ නම් වම් අතත් පුරුෂයකුගේ නම් දකුණු අතත් පරික්ෂා කළ යුතු බව මතක තබාගන්න. පොදුවේ අත් දෙකම පරික්ෂා කර බැලීමත් හුරු අත පරික්ෂා කිරීමත් කළ හැකිය. තවද අත (රේඛා) පරික්ෂා කිරීමට පළමුව ඇඟිලිවලින් තරමක් එම ස්ථානය මිරිකා බලන්න. එවිට රේඛාව මනාව පෙනේ.   


මැණික් කටුවෙන් පහළට විහිදී යන කොටසට හෙවත් අල්ලට සහ ඇඟිලිවලට මෙම ශාස්ත්‍රයේදී අත යනුවෙන් ව්‍යවහාර කෙරේ. පාණිතලය යනුද එයට තවත් නමකි.  


දැන් අපි අත් වර්ග එකින් එක විස්තර වශයෙන් විමසා බලමු.   

 


මූලික අත

   
මූලික හස්තයේ ඇඟිලි කෙටිය. විශේෂයෙන් මහපට ඇඟිල්ල ඉතා කෙටිව පිහිටයි. සම ගොරෝසුය. රළු රෝමයන්ය. මෙම අත්වල රේඛා අඩුය. මහපට ඇඟිල්ල කෙටි වුවද මහතට ශක්තිමත්ව පිහිටයි. අනෙක් ඇඟිලිද ශක්තිමත්ය. නියපොතුද කෙටිව තියුණුව පිහිටයි. අල්ල දුඹුරු වර්ණයක් ගනී. ගැඹුරු ජීවන රේඛාවක්ද කෙටි ශීර්ෂ රේඛාවක්ද පිහිටන අතර හෘදය රේඛාව එතරම් පැහැදිලි නැත. මහපට ඇඟිල්ල පස්සට නැමී ඇත. එහි නිය පිහිටි කොටස අනෙකට වඩා දිගය.   


මෙබඳු අත් හිමියන් අධ්‍යාපනයට එතරම් දක්ෂ නැත. පාපී සිතිවිලි සහිතය. මනුෂ්‍ය ගුණාංග සිතෙහි නොපිහිටන තරම්ය. ඉක්මනට කේන්ති යයි. දුරදිග නොබලා කටයුතු කර පාඩු සිදුකර ගනී. අධික ලෙස කාම ආශාව ඇත. බොහෝ කාම අපරාධ සිදුවන්නේ මෙවැනි අත් ඇත්තන් විසිනි. ඉදිරියට යාමේ ගතිය අල්පය. දියුණු උසස් සමාජයට පිවිසීමට මැලි වෙයි. එසේම හොඳ මතක ශක්තියක්ද පිහිටන අතර පටන් ගත් වැඩ කොටස අවසානය දක්වාම කරන ගතියක්ද වෙයි. බර වැඩ වලට දක්ෂ හෙයින් කම්කරු වෘත්තියට නෑකම් කියයි.   


චතුරස්‍ර අත   


චතුරස්‍ර අතෙහි මහපට ඇඟිල්ල තරමක් දිගය. හතරැස් ස්වභාවයක් ගන්නා නිය කෙටිය. ඇඟිලි පුරුක්ද හතරැස්ය. මෙම අතෙහි ඇඟිලි දිග හැරිය විට සෘජුව පිහිටයි. අල්ල තද මාංශ පේෂී වලින් යුක්තය. මෙහි ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව හා බුධ ගුරු මණ්ඩලය මනාව පිහිටා තිබේ.   


සමාජ සේවයට හා ආශ්‍රයට ළැදිය. වැඩ කටයුතු ක්‍රමානුකූලය. නව නිපැයුම් විමසයි. සාක්ෂි නොමැතිව යමක් නොපිළිගනී. දඬුවම් දීමේදී අනුකම්පා රහිතය. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට දනී. පටන් ගන්නා ලද වීර්යය නොසැලේ. ආදරය බොළඳ නැත. මොවුන් කෙරේ විශ්වාසය තබා කටයුතු කළ හැකිය. වැඩක් පටන් ගැනීමට පෙර ඒ ගැන බොහෝ දුරට සිතා බලයි. නෑයන් හා මිත්‍රයන් සමග සමීපව ඇසුරු කිරීමට දනී. තනිවම දියුණුවීමට පුළුවන්කමක් වෙයි. සමාජ ගෞරවය විශ්වාසය නිරායාසයෙන්ම ලැබේ. ආගමික දැනුම හා ඇදහීම් ඇත්තේය. ධනය ශක්තිය නාස්ති නොකරයි. සතුරු බල මැඩීමේ ශක්තිය සහිතය. බුද්ධිය මුල්කොට ගත් රැකියාවල නිරත වේ.   

 

 

මතු සම්බන්ධයි 

 

 

 

 
මංජුල තරුකෙම   
වැල්ලවාය