ඔබගේ හතර කේන්දරය බලවත්ද ?


1-4-7-10 රාශිවල කිසිදු ග්‍රහයකු නොමැතිවීම හෙවත් ‘‘හතර කේන්දරය පාළුවීම’’ දුර්වලතාවක් ලෙස සැලකේ. ජන්මියාගේ ශක්තිමත්භාවය අඩුවීමක් ලෙස බොහෝ දෙනකු සලකන්නේ ඒ නිසාය. වෙනත් බලවත් ග්‍රහයෝග පිහිටීමෙන් උසස් අධ්‍යාපනය හිමි වුවද, ජන්මියාගේ මූලික අරමුණ ඉටු කර ගැනීමට නොහැකිවීම මෙහි කැපී පෙනෙන ලක්‍ෂණය වේ.   


එ​සේ වුවද, එම රාශි අධිපතියන් කේන්දරයේ කුමන භාවයක හෝ බලවත්ව සිටීම හෝ එම භාවයන්ට සුබ ග්‍රහයකුගේ දෘෂ්ටියක් ලැබී තිබේ නම් ඉහත කී දුර්වලතා අවම වේ.   


ඉහත කී කේන්ද්‍රස්ථාන සතරෙන් ප්‍රධානත්වය ගනු ලබන්නේ සතර වැනි රාශියයි. සතර වැන්න මවගේ රාශිය වන අතර, ගේ දොර - ඉඩකඩම්, යාන වාහන මෙන්ම ශරීරයේ හදවත ද විස්තර කෙරේ. මාතෘකාරක සඳු හා සිකුරු ග්‍රහයන් දිග් බලයෙන් පිහිටන්නේ ද මෙම සතර වැන්න ඇසුරෙනි.   


ජන්ම කේන්දරයේ සතරවැන්නේ සිටින ග්‍රහයාත්, සතර වැන්නත්, ලග්නාධිපති ග්‍රහයා හෝ ධනස්ථාන (දෙවැන්න) හා අයස්ථාන (11 වැන්න) අධිපතියන් අතර සම්බන්ධතාව තිබේ නම් මවගේ අාර්ථික තත්ත්වය උසස් මට්ටමක පවතී.   


සිව්වැන්න බලවත්ව තිබියදී සිකුරු ග්‍රහයාගේ දැක්මක් හෝ සම්බන්ධතාවක් තිබුණහොත් යාන වාහන සුවපහසුකම් ද හිමි වේ. එසේම සිව්වැන්න අධිපතියා සුබ රාශියක සිටියදී අයස්ථාන අධිපතිගේ සංයෝගයක් හෝ දැක්මක් තිබේ නම් වාහන පහසුකම් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.   


සතර වැනි රාශියෙහි වැදගත්කම පරීක්‍ෂා කිරීමට නම් ඊට සම්බන්ධ චර, තිර, උභය රාශියක සම්බන්ධතාවය ද, එහි අධිපතියා පිහිටි රාශියේ බලදුබලතාව (විශේෂයෙන් නවාංශක කේන්දරයේ තත්ත්වය ද) ගැන මනා අවබෝධයක් තිබිය යුතුය.   


සිව් වැන්නාධිපතියා හා සඳු ග්‍රහයා බලවත්ව සුබ රාශියක, තිබියදී ඊට සුබ ග්‍රහයකුගේ දැක්මක් ද පිහිටියේ නම් දීර්ඝායු වැළඳීමේ ශක්තියක් ජන්මියාගේ මවට හිමි වේ. සිව් වැන්න අධිපතියාත්, සඳු ග්‍රහයාත් යන දෙදෙනාම දුර්වලවීම මෙන්ම පාප දෘෂ්ටි ලැබීම ද මවගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීමට හේතු වේ. ඒසේම ආයු කාරක සෙනසුරු ග්‍රහයා සතර වැන්නේ දුබලව සිටියදී පාප ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටීම ද, සඳු ග්‍රහයා ද නීචව හෝ දුර්වල තත්ත්වයෙන් සිටී නම් මවගේ ආයු බලය දුර්වල වේ.   

 

 

 

ජ්‍යොතිෂවේදී   
මිල්ටන් ​හේවාපතිරණ
330/සී/1/3, සර්පන්ටයින් මහල් නිවාස,
බොරැල්ල, කොළඹ - 08.
077-6518820