ඔබ වෘශ්චික ලග්නයේ නම් මෙන්න ඔබ ගැන හරියටම


ඔබේ ලග්නය වෘශ්චික නම්, ඔබ තරමක් උස, යහපත් ලෙස වැඩුණු අවයව ඇති රැළි සහිත හිස කෙස් ඇති අයකු විය යුතුය. ඔබ නිරෝගීමත්ය. එඩිතරය. කඩිසරය. වැඩට දක්ෂය. ක්‍රීඩා ආදියට කැමතිය. ඔබ ආගිය තැන කැපී පෙනෙන ගතියක් ඇත. යමක් උඩින් පිළිනොගන්නා අතර හොඳ අවබෝධයකින් පසුව පිළිගනී. ඔබට ඉක්මනින් කේන්ති යයි. එහෙත් එය පවතින්නේ සුළු වේලාවකි.   

කේන්ති ගිය විටදී කළ, කී දේවල් ගැන පසුව ඔබම පසුතැවේ. ඔබට අන් අයගේ අඩුපාඩු හොඳින් පෙනේ. ඒවා පෙන්වා දීමට යාමෙන් ඔබම අපහසුතාවට පත්වේ. ඔබේ අඩුපාඩු වෙනත් අය විසින් පෙන්වා දෙනවාටද ඔබ කැමති නැත. ඔබට අවශ්‍ය දේ තනි මතයට කරන්නට ලැබේ නම් ඕනෑම වැඩක් හොඳින් කරයි.  


ඉක්මනින් කලබලවීමේ ගතිය ඔබට සහජයෙන්ම ඇත. කුඩා දේටත් ලොකුවට කලබල වේ. කඩිසරව කටයුතු කළත් අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට කිරීමට උනන්දුවක් නොදක්වයි. කටයුතු අන්තිම මොහොත දක්වා කල්දැමීම ඔබේ සහජ ගතියකි. එහෙත් අන්තිම මොහොතේ එය කරයි.  


ඕනෑම දුකක්, කරදරයක් විඳ දරා ගැනීමේ හැකියාව ඔබට ඇත. යමක් කිරීමට සිතුවොත් එය කෙසේ හෝ කරයි. අන් අයගේ ඇණුම් පද හෝ කතාවන්ද එතරම් ගණන් නොගනී. අන් අය සමඟ සණ්ඩු සරුවල් ඇති කර ගැනීමටද කැමති නැත. මිල මුදල් රැස්කර ගැනීමටද එතරම් තද ආශාවක් නොමැති අතර මසුරුකමද නැත. ඕනෑවට වඩා කිසිම දෙයක් ගණන් නොගනී. කරන දේ කෙළින් කරන අතර කියන දේ මූණටම කියයි. හේතුවක් නැතිව යමක් ඇසූ දුටු පමණින් පිළි නොගනී.  


රැකියා ස්ථානය තුළදී ඔබ ප්‍රධානීන්ට වැඩි හිතවත්කමක් දක්වයි. ඔවුන්ට අන් අයගේ වැරදි කියයි. බොහෝ දේ දුටු හැටියේ කළ හැක. නොයෙක් දේ සෙවීමටද ප්‍රිය කරයි. කාලය අනුව ගරු කරන සිරිත් විරිත් අගයයි. හිත සාරවත්ය. එහෙත් තරමක කුඩුකේඩු බව ඇත.  


වෘශ්චික ලග්නයේ ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ප්‍රියමනාප අයෙකි. හොඳට අඳින පළඳින සමාජශීලී අයෙකි. ඔහුගේ හෝ අැයගේ ආදරය ඔබට හොඳින් ලැබේ. ඔහුගේ හෝ අැයගේ ඥාතීන්ට ඔබ හොඳින් සලකයි.  


ප්‍රේමයේදී ඔබ අවංකය. පෙම්වතාට තම පණමෙන් ආදරය කරයි. වැඩිහිටි විරෝධය පිළිබඳව කිසිදු තැකීමක් නොකරයි. විවාහ ජීවිතය හොඳින් පවත්වා ගැනීමට මහන්සි ගනී. සැමියාගේ වැරදි අඩුපාඩුකම්වලදී කේන්තියෙන් ක්‍රියා කළත්, පසුව ඒවා අමතක කර දමා ඔහු සමඟ හොඳින් කටයුතු කරයි.  


ඔබේ ශරීරයේ උෂ්ණාධික බව වැඩිය. ඒ නිසා සමේ රෝග ඇතිවේ. නිතර උදරාබාධ ඇතිවේ. ඔබ වෘශ්චික ලග්න හිමි කාන්තාවක් නම් ඔබට ප්‍රසූති අවස්ථාව වේදනාකාරී විය හැකිය. මුත්‍රාශයේ ගර්භාෂයේ සොයා ගැනීමට අපහසු හදිසි රෝග පීඩාවලට ලක්වීමට ඉඩ ඇත.  

 

 

 

 

 

 

 


ජ්‍යොතිෂ්‍යවේදී සාම විනිසුරු  
කපිල ඉන්ද්‍රික ගුණද‌ාස  
මාලිබොඩ දැරණියගල