එද‌ා ජාතික වීරයන් සිරගත කළ බන්ධනාගාරය


 

දිස්ත්‍රික් ලේකම්වරයාගේ කාමරයේ බිත්තියේ ප්‍රදර්ශනය වන බදුල්ලේ හිටපු දිසාපතිවරුන්ගේ නාම ලේඛනය පෙන්වමින් දිස්ත්‍රික් ලේකම් අබේසිරි මහතා පැවසුවේ බිබිල ප්‍රදේශයේදී ඝාතනය වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතාගේ නම 1815 සිට බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිවරුන්ගේ ලේඛනයේ තෙවැනි ස්ථානයේ තිබෙන බවයි.
ඔහු ඌව උපතානාපති ලෙස පත්ව ඇත්තේ 1917 දී බව එහි සඳහන් වේ.
 

නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ අභ්‍යන්තර මාර්ගය තුළින් ගොස් යළිත් ​ෙඑතිහාසික ​ගොඩනැගිල්ල වෙත ගිය අප එතැන් සිට ඉහළට ඇවිදගෙන මීටර් 100ක් පමණ යන විට නෙත ගැටුණේ බදුල්ල පොලිස් ස්ථානය හා බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයයි.   


බදුල්ල මූලස්ථාන පොලිසියේ ගොඩනැගිල්ල මෑතකදී මහල් ​ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇතත් බදුල්ල ​ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය තවමත් යටත් විජිත සමයේ ඉදිකළ ගොඩනැගිල්ලක පවත්වාගෙන යයි.   


බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතා පැවසුවේ මෙම ගොඩනැගිල්ල තවමත් ශක්තිමත්ව පවතින බවයි.   
මෙම පරිශ්‍රයේ අස්ව ඉස්තාලයක් හා යුරෝපීය හමුදා සඳහා වූ බැරැක්කයක්ද තිබූ බවට තොරතුරු ඇතැයිද වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.   


පොලිස් පරිශ්‍රයෙන් නික්ම මීටර් කීපයක් ඉදිරියට යද්දි නෙත ගැටෙන අධිකරණ සංකීර්ණයද යටත් විජිත සමයේ ඉදිවූවකි.   


එහි ඉතිහාසය පිළිබඳව බදුල්ල හිටපු නගරාධිපති නීතීඥ උපාලි නිශ්ශංක ගුණසේකර මහතා විස්තර කීවේ මෙසේය.

  
‘‘මේ අධිකරණ සංකීර්ණය 1892 දී විවෘත කරනු ලැබ ඇත්තේ ශ්‍රීමත් ඒ.ඊ. හැව්ලොක් ආණ්ඩුකාර තුමා විසින්. සුළු පිළිසකර කිරීම් හැරුණු විට මෙම ගොඩනැගිල්ල එදා තත්ත්වයෙන්ම පවතිනවා. යෝධ කුලුනු සහ ආරුක්කු මත මෙහි පියස්ස රඳවා තියෙනවා. වාතාශ්‍රය සඳහා ඉතා උසින් වාකවුළු සකස් කර තිබීම් විශේෂත්වයක්. ගොඩනැගිල්ල තුළට ආලෝකය ලැබෙන අයුරින් හිරු නැඟෙන දිසාවලට ක්‍රමානුකූලව සකස් කළ විචිත්‍ර ඉංග්‍රීසි සිතුවමින් යුතු වූ නිර්මාණය සහිත, ජනෙල් විශේෂයක් දැවැන්ත බිත්ති තුනක් මත ස්ථාපිතයි.   


සම්පූර්ණයෙන්ම යකඩින් නිර්මාණය කළ සිංහ රූපයක් හා අශ්ව රූපයක් සහිත ඉංග්‍රීසි ජාතික ලාංඡනයක් දැනට දිසා අධිකරණයේ ශාලාවක තැන්පත් කර තිබෙනවා යැයි පැවසූ ගුණසේකර මහතා මේ අභිමානවත් බව අපට දැකගන්නට ද අවස්ථාව උදා කළේය.   
අධිකරණ සංකීර්ණය ආසන්නයේම ඇති වෙලේකඩේ පෞරාණික ගොඩනැගිල්ල බලකොටුවක් බවට පුරාවිද්‍යා බලධාරින් විසින් කලකට පෙර නම් කෙරී තිබුණත් එය වාණිජ මධ්‍යස්ථානයක් බව පසුව තහවුරු වී තිබේ.   


මුලින්ම සිංහල රජ දවස මෙහි වෙළෙඳපොළක් පැවැති බවත් ඉංග්‍රීසි පාලන සමයේ වත්මන් ගොඩනැගිල්ල ඉදිකර වාණිජ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් විශ්වාස කෙරේ.   


1890 දී ඉදිකළ මෙම පොදු ​ෙවළෙඳපොළ ගොඩනැගිල්ල සඳහා වැය කර ඇත්තේ රුපියල් 9455.26ක් බව සුදු මහත්තුරුන්ගේ ලේඛනවල දැක්වේ.   


බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ලක්ෂණ පිළිබිඹු කෙරෙන මී, හුලංහික්, කුඹුක් වැනි ශක්තිමත් දැවවලින් නිර්මාණය කර තිබේ.   


විවෘත වෙ​ෙළඳපොළක ලක්ෂණ පෙන්නුම් කරන මෙහි මැද කොටසේ වතුර මලක් සවිකර තිබී කලකට පෙර එය ගලවා ගෙනගොස් බදුල්ල උද්භිද උද්‍යානයේ ස්ථාපිත කර ඇත.   


බදුල්ල මහ දිසා රෝහලේ ආරම්භයද යටත් විජිත සමයේ (1890)දී ඉදිවූවකි. එදවස ඒ සඳහා වැය කළ මුදල රුපියල් 60000 හැටදහසක් බව බ්‍රිතාන්‍ය ලේඛනවල සඳහන් වෙයි.   


කැරැලි සමයේ අනතුරුවලට බඳුන් වන සෙබළුන්ට සහ කෝපි වගාවල කම්කරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකරන ලැදැයි සැලකෙන මෙම රෝහලේ ඉපැරැණි ගොඩනැගිලි තවමත් භාවිත කරන බවත්, ඒවා තවමත් ශක්තිමත් ගොඩනැගිලි බවත්, බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දයා ධර්මප්‍රිය මහතා විස්තර කළේ එම ගොඩනැගිලිද පෙන්වමිනි.   


අදටත් රෝග වාට්ටුව, මානසික රෝග වාට්ටුව හා ගබඩාව පවත්වාගෙන යන්නේ එදා සුද්දන් හැදූ මෙම ගොඩනැගිලිවලය.   
කෝච්චිය බදුල්ලට ආවේද යටත් විජිත සමයේය.   


උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානයද ඉදිකර ඇත්තේ මනරම් පරිසරයකය.   
බදුල්ල බන්ධනාගාරයද යටත් විජිත සමයේ ඉදිකළ එකකි.   


1818 කැරැල්ල මෙහෙයවූ ජාතික වීරයන් සිරගත කිරීම සඳහා මෙම බන්ධනාගාරය යොදාගෙන තිබේ. එදවස බදුල්ල බන්ධනාගාරය ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පාලනය වී ඇත. ආණ්ඩුකාරවරයා විසින් මෙහි බෞද්ධාගමික කටයුතු මෙහෙයවනු ලැබීමට බදුල්ල පොල්වත්ත විහාරස්ථානයට බලය පැවරූ ඓතිහාසික ලියවිල්ල අදත් දැකිය හැකිය. මෙම ගොඩනැගිල්ලේ පෞරාණික බව සනාථ කරන සාක්ෂි අතර එම ලිපියද වෙයි.  


මතු සම්බන්ධයි... 

බදුල්ලේ පාලිත ආරියවංශ